Skip to content

පටුනට යන්න

බයිබලය සුරැකුණු අයුරු

බයිබලය සුරැකුණු අයුරු

  බයිබලය සුරැකුණු අයුරු

මිනිස් ඉතිහාසයේ වැඩියෙන්ම බෙදාහැර ඇති පොත ලෙස සැලකෙන්නේ ශුද්ධ බයිබලයයි. එක් ගණන් බැලීමකට අනුව මේ දක්වා ලොව පුරා බයිබල් පිටපත් මිලියන 480ක් බෙදාහැර තිබෙනවා. වර්ෂ 2007දී බයිබල් පිටපත් මිලියන 65කට ආසන්න සංඛ්‍යාවක් මුද්‍රණය කර තිබෙනවා. නමුත් එම වසරේ එක්සත් ජනපදයේ වැඩියෙන්ම අළෙවි වූ පොත මුද්‍රණය කර තිබුණේ පිටපත් මිලියන 12ක් පමණයි.

අද වන විට බයිබලයේ පිටපත් බොහෝ ප්‍රමාණයක් බෙදාහැර තිබුණත් අතීතයේදී එය බොහෝ උවදුරුවලට ලක් වුණා. ඇතැම් අවස්ථාවලදී බයිබලය තහනම් කරනු ලැබූ අතර එය පුලුස්සා විනාශ කිරීමටත් උත්සාහ කර තිබෙනවා. එමෙන්ම බයිබලය පරිවර්තනය කළ අයට වධ හිංසා කිරීමටත් ඔවුන්ව ඝාතනය කිරීමටත් බලධාරීන් පෙලඹුණා. නමුත් බයිබලයේ පැවැත්මට ප්‍රබලම තර්ජනය වුණේ ඒවා නොව බයිබල් අත්පිටපත් දිරාපත් වීමයි. එසේ පැවසීමට හේතුව කුමක්ද?

බයිබලය, කුඩා පොත් 66කින් සමන්විත පොතක්. දෙවිගේ මඟ පෙන්වීම ඇතුව ඊශ්‍රායෙල්වරුන් විසින් එහි ඇති සමහර පොත් ලියා තිබෙන්නේ මීට වසර 3,000කටත් ඉහතදීයි. එම ලේඛකයන් බයිබලයට අයත් පොත් ලියනු ලැබුවේ දිරාපත් වී යන පැපිරස් කඩදාසි සහ සත්ව හම්වලයි. ඒවායේ අත්පිටපත් සෑදීමටත් යොදාගනු ලැබුවේ සත්ව හම් සහ පැපිරස් කඩදාසියි. බයිබල් ලේඛකයන් විසින් ලියූ මුල් පිටපත් කිසිවක් අද වන තුරු සොයාගෙන නැහැ. නමුත් ඒ මුල් පිටපත් ඇසුරෙන් කර තිබෙන පැරණි අත්පිටපත්වල කොටස් දහස් ගණනක් සොයාගෙන තිබෙනවා. ඊට උදාහරණයක් ලෙස යොහන් සුවිශේෂයේ පැරණි අත්පිටපතේ කොටස් සඳහන් කළ හැකියි. මෙම අත්පිටපත පිළියෙල කර තිබෙන්නේ යොහන් ඔහුගේ සුවිශේෂය ලියා අවසන් කර වසර 30කටත් වඩා අඩු කාලයකදීයි.

පැරණි බයිබල් අත්පිටපත් සොයාගැනීමට ලැබීම විශේෂ දෙයක් කියා පැවසීමට හේතුව කුමක්ද? මුල් බයිබල් අත්පිටපත්වල තිබූ අදහස් නිවැරදිව අද තිබෙන බයිබල් පරිවර්තනවලට ඇතුළත් වී තිබෙනවාද?

වෙනත් පැරණි ලියවිලිවලට සිදු වූ දේ

පුරාණයේදී ඊශ්‍රායෙල්වරුන් පමණක් නොව වෙනත් ජාතීන්ද ලේඛන කටයුතුවල නිරත වුණා. එවැනි ජාතීන්ගේ ලියවිලිවලට සිදු වූ දෙය සලකා බැලීමෙන් බයිබල් අත්පිටපත් ආරක්ෂා වීම පුදුම කරවන්නක් බව තහවුරු වෙනවා. උදාහරණයකට අතීතයේ සිටි තීර් ජාතිකයන් ගැන සලකා බලමු. ක්‍රිස්තු පූර්ව දහසත් එකත් අතර කාලයේදී ඔවුන් ඊශ්‍රායෙල් ජාතියේ අසල්වැසි ජාතියක්ව සිටියා. මුහුදු ගමන්වලට නම් දරා සිටි ඔවුන් මධ්‍යධරණී මුහුද අවට ප්‍රදේශවල තම අක්ෂර ක්‍රමය ව්‍යාප්ත කළා. එමෙන්ම ඔවුන් ඊජිප්තුවෙන් පැපිරස් කඩදාසි ලබාගෙන ඒවා ග්‍රීක පාලනය යටතේ පැවති රටවලට අළෙවි කිරීමෙන් විශාල ලාභයක්ද ලැබුවා. එක් ප්‍රසිද්ධ සඟරාවක තීර් ජාතිකයන්ගේ පැරණි ලියවිලි ගැන මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “තීර් ජාතිකයන් පැපිරස් කඩදාසිවල ලියූ ඉතා වැදගත් ලියවිලි රාශියක් තිබුණු බව වාර්තා වෙනවා. නමුත් ඒ කිසි ලියවිල්ලක් මේ වන විට ඉතිරි වී නැහැ. එමනිසා තීර් ජාතිය ගැන අද අපි දන්නේ ඔවුන්ගේ සතුරු ජාතීන් විසින් ඔවුන් ගැන වාර්තා කර තිබෙන තොරතුරු පමණයි.”—National Geographic.

ඊජිප්තුවරුන්ගේ ලියවිලි ගැන පැවසිය හැක්කේ කුමක්ද? රූප සහ සංකේත යොදාගෙන ඔවුන් නිර්මාණය කළ අක්ෂර ක්‍රමය ඊජිප්තුවේ ඇති දේවාලවල බිත්ති මත අදටත් දකින්න ලැබෙනවා. එමෙන්ම ලේඛන කටයුතු සඳහා පැපිරස් කඩදාසි නිෂ්පාදනය කළේත් ඔවුන්මයි. කොහොමවුණත්  ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන හදාරන පුරාවිද්‍යාඥයෙක් වන කේ. ඒ. කීචන් මෙසේ පැවසුවා. “ක්‍රිස්තු පූර්ව 3000ත් ග්‍රීක රෝම පාලන සමයත් අතර කාලයේදී පැපිරස් කඩදාසිවල ඊජිප්තු ජාතිකයන් ලියූ ලියවිලි සියයට අනූනවයක්ම මේ වන විට විනාශ වී ගොස් තිබෙනවා.”

රෝමවරුන්ගේ පැරණි ලියවිලි ගැන පැවසිය හැක්කේ කුමක්ද? එක් පොතක සඳහන් වන ආකාරයට රෝම සෙබළුන්ට වසරකට තුන් වතාවක් වැටුප් ගෙවා තිබෙනවා. ඉන්පසු ඒ පිළිබඳ වාර්තාවක් පැපිරස් කඩදාසි මත සටහන් කරනු ලැබුවා. ඒ අනුව ඔගස්ටස් අධිරාජ්‍යයාගේ පාලන සමයේ (ක්‍රි.පූ. 27- ක්‍රි.ව. 14) සිට ඩයක්ලීෂන් අධිරාජ්‍යයාගේ පාලන සමය (ක්‍රි.ව. 284-305) දක්වා ගෙවුණු වසර 300 ඇතුළත සෙබළුන්ට ගෙවූ වැටුප් පිළිබඳ වාර්තා 22,50,00,000ක් තිබිය යුතුයි. නමුත් අද වන විට ඒ අතරින් ඉතිරි වී තිබෙන්නේ එවැනි වාර්තා දෙකක් පමණයි.—එම පොත Roman Military Records on Papyrus.

පැපිරස් ලියවිලි විනාශ වී යෑමට හේතුව කුමක්ද? ලේඛන කටයුතු සඳහා යොදාගත් පැපිරස් කඩදාසි සහ සත්ව හම් ශීත දේශගුණය හමුවේ ඉක්මනින්ම විනාශ වී යනවා. එක් ශබ්දකෝෂයක ඒ ගැන මෙසේ සඳහන් වුණා. “පැපිරස් ලියවිලි ආරක්ෂා කරගැනීමට නම් ඒවා වියළි දේශගුණයක් තිබූ කාන්තාරවල හෝ ගල් ගුහාවල තැබිය යුතු වුණා. එසේත් නැත්නම් ඒවා ආවරණය කර තැබිය යුතු වුණා.”—The Anchor Bible Dictionary.

බයිබල් අත්පිටපත් ආරක්ෂා වූ අයුරු

බයිබල් ලේඛකයන්ද තොරතුරු වාර්තා කළේ තීර්, ඊජිප්තු සහ රෝම ජාතිකයන් මෙන් දිරාපත් වී යන පැපිරස් කඩදාසි සහ සත්ව හම් මතයි. එසේනම් බයිබල් අත්පිටපත් පමණක් ආරක්ෂා වුණේ කෙසේද? මහාචාර්ය ජේම්ස් එල්. කූගල් ඊට එක් හේතුවක් සඳහන් කරනවා. ඔහු පැවසුවේ ‘බයිබලයේ මුල් පිටපත් ලියා අවසන් වූ විගස ඒවායේ අත්පිටපත් රාශියක් සකස් කළ’ බවයි. එමනිසා මුල් පිටපත නැති වී ගියත් දිගින් දිගටම කළ එම අත්පිටපත් පැවතුණා.

අද තිබෙන බයිබල් පිටපත් පැරණි අත්පිටපත්වලට කොතරම් දුරට එකඟද? රතු මුහුද අසලින් සොයාගත් පැරණි ලියවිලි අධ්‍යයනය කරන පර්යේෂණ කණ්ඩායමක සාමාජිකයෙකු වන මහාචාර්ය ජූලියෝ ට්‍රෙබෝයේ බරේරා මෙසේ පැවසුවා. ‘රතු මුහුද අසලින් සොයාගත් පැරණි ලියවිලි හා අද තිබෙන බයිබල් පිටපත්වල අදහස් අතර කිසිම වෙනසක් නැහැ. නමුත් වෙනත් සාහිත්‍ය කෘති ඒවායේ මුල් පිටපත් සමඟ සසඳන විට ඒ ආකාරයේ එකඟතාවක් දකින්න නැහැ.’ බයිබල් විශාරදයෙක් වන එෆ්. එෆ්. බෲස් මෙවැනි දෙයක් පැවසුවා. ‘ඇතැම් ජනප්‍රිය සාහිත්‍ය කෘතීන්වලට වඩා බයිබලයේ නිරවද්‍යතාව ඔප්පු කිරීමට ඕනෑ තරම් සාක්ෂි තිබෙනවා.’ මේ අනුව බලන කල බයිබලය අන් සියලුම පොත්වලට වඩා අද්විතීය පොතක් කියා පැවසිය හැකියි. එසේනම් එම අද්විතීය පොත දිනපතා කියවීම කොතරම් වැදගත්ද!—1 පේතෘස් 1:24, 25.

[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘පැරණි ලියවිලි හා අද තිබෙන බයිබල් පිටපත්වල අදහස් අතර කිසිම වෙනසක් නැහැ. නමුත් වෙනත් සාහිත්‍ය කෘති ඒවායේ මුල් පිටපත් සමඟ සසඳන විට ඒ ආකාරයේ එකඟතාවක් දකින්න නැහැ.’—මහාචාර්ය ජූලියෝ ට්‍රෙබෝයේ බරේරා

[14වන පිටුවේ පින්තූර]

දැනට පැරණි ගිවිසුමට අයත් අත්පිටපත් 6,000ක් සහ අලුත් ගිවිසුමට අයත් අත්පිටපත් 5,000ක් සොයාගෙන තිබෙනවා

[හිමිකම් විස්තර]

Left: Todd Bolen/Bible Places.com; right: Shrine of the Book, Israel Museum, Jerusalem

[13වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

From the book The Parallel Bible, The Holy Bible, 1885