Skip to content

“ඔබට නොමිලේ ලැබුණේය. නොමිලේ දෙන්න”

“ඔබට නොමිලේ ලැබුණේය. නොමිලේ දෙන්න”

“ඔබට නොමිලේ ලැබුණේය. නොමිලේ දෙන්න.” (මතෙව් 10:8, NW) යේසුස් එම උපදේශය තම ප්‍රේරිතයන්ට දුන්නේ ශුභාරංචිය දේශනා කිරීමට ඔවුන් පිටත් කර හරින අවස්ථාවේදීය. ප්‍රේරිතයන් මෙම මඟ පෙන්වීමට කීකරු වූවාද? ඔව්, යේසුස් පොළොවෙන් පිටත්ව ගියායින් පසුවද ඔවුහු දිගටම එසේ කරගෙන ගියහ.

නිදසුනක් වශයෙන්, කලින් මන්ත්‍රකාරයෙකු වශයෙන් කටයුතු කළ සීමොන්, ප්‍රේරිත පේතෘස්ට සහ යොහන්ට ආශ්චර්යයන් කිරීමට බලය තිබෙන බව දුටු කල, එම බලය තමන්ට ලබා දෙන ලෙස ඉල්ලමින් ඔවුන්ට මුදල් ගෙවීමට ඉදිරිපත් විය. නමුත් පේතෘස් සීමොන්ට තරවටු කළේ මෙසේ කියමිනි. “දෙවි නොමිලේ දෙන දීමනාව මුදල් දී ලබාගන්න ඔබ සිතූ නිසා, ඔබේ රිදී ඔබ සමඟම විනාශ වේවා!”—ක්‍රියා 8:18-20, NW.

ප්‍රේරිත පාවුල්ද විදහා පෑවේ පේතෘස්ට සමාන මානසික ආකල්පයකි. කොරින්තියේ විසූ තම ක්‍රිස්තියානි සහෝදරයන්ට මූල්‍යමය අතින් බරක් වෙන්නට පාවුල්ට හැකිකම තිබුණි. කෙසේවෙතත්, ඔහු කළේ තමාව නඩත්තු කරගැනීමට තමාගේම අත්වලින් වැඩ කිරීමය. (ක්‍රියා 18:1-3) මේ නිසා, තමන් කොරින්තිවරුන්ට ශුභාරංචිය දේශනා කර තිබුණේ “අය කිරීමකින් තොරව” බව නිසැකවම කීමට ඔහුට හැකි විණි.—1 කොරින්ති 4:12; 9:18, NW.

කනගාටුවට කරුණක් නම්, ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්යයි කියා සිටින බොහෝදෙනෙකු, ‘නොමිලේ දීමට’ ඒ ආකාරයේම කැමැත්තක් නොපෙන්වීමය. ඇත්තවශයෙන්ම, ක්‍රිස්තියානි ලෝකයේ ආගමික නායකයන් බොහෝදෙනෙක්, “කුලියට උගන්වති.” (මීකා 3:11) ඇතැම් ආගමික නායකයෝ තමන්ගේ රැළේ සාමාජිකයන්ගෙන් මුදල් ගරාගෙන පොහොසතුන් බවට පවා පත්ව සිටිති. වර්ෂ 1989දී, එක්සත් ජනපදයේ එක් එවැන්ජලිස්තවරයෙකුව වසර 45ක කාලයකට සිරගෙට නියම කරන ලදි. මීට හේතුව වූයේ කුමක්ද? ඔහු “තම අනුග්‍රාහකයන්ගෙන් ඩොලර් මිලියන ගණනක මුදල් ප්‍රමාණයක් වංචා කර තිබූ අතර, නිවෙස්, කාර් මිල දී ගන්නට හා නිවාඩු ගත කිරීමට මෙන්ම වායු සමනය කර ඇති බලු කූඩුවක් පවා මිල දී ගන්නටද එම මුදල් සමහරක් වැය කොට තිබිණි.”—පීපල්ස් ඩේලි ග්‍රැෆික්, 1989 ඔක්තෝබර් 7.

වර්ෂ 1990 මාර්තු 31වනදා ඝානියන් ටයිම්ස් නම් පුවත්පතේ පළ වූ පරිදි, එක්තරා රෝමානු කතෝලික පූජකයෙක්, ආගමික මෙහෙය අතරතුරදී එකතු කරනු ලැබූ මුදල් රැස් වී සිටි බැතිමතුන් දෙසට විසි කළේය. “ඔහු ඊට දුන් හේතුව වූයේ වැඩිහිටියන් වශයෙන් වටිනාකමින් ඉහළ මුදල් නෝට්ටු සම්මාදම් කිරීම තමන් ඔවුන්ගෙන් අපේක්ෂා කරන” බවයි. බොහෝ පල්ලි තමන්ගේ සාමාජිකයන්ව මුදල් ඉපයීම පිණිස සූදුව හා වෙනත් උපක්‍රමවලට වැඩි වැඩියෙන් යොමු කරවීම මගින්, ඔවුන් තුළ ගිජුකම ඇවිස්සීමට අරඇඳීම පුදුමයට කරුණක් නොවේ.

ඊට හාත්පසින්ම වෙනස්ව, යෙහෝවාගේ සාක්ෂිකරුවන් දැඩි සේ උත්සාහ කරන්නේ යේසුස්ව සහ ඔහුගේ මුල් ගෝලයන්ව අනුකරණය කිරීමටයි. වැටුප් ගෙවනු ලබන පැවිද්දන් ඔවුන් අතර නැත. සෑම සාක්ෂිකරුවෙක්ම අන්‍යයන්ට ‘රාජ්‍යයේ ශුභාරංචිය’ දේශනා කිරීමේ වගකීම පවරනු ලැබූ දේවසේවකයෙක්ය. (මතෙව් 24:14) මේ අනුව, ඔවුන්ගෙන් මිලියන හයකට වඩා වැඩි සංඛ්‍යාවක් ජනයා වෙත ගොස් “ජීවන වතුර” නොමිලයේ බෙදා දීම සඳහා මහන්සි වෙති. (එළිදරව් 22:27) මේ අන්දමින්, ‘මුදල් නැත්තන්ටද’ බයිබලයේ සඳහන් පණිවිඩයෙන් ප්‍රයෝජන ගත හැකියි. (යෙසායා 55:1) ඔවුන්ගේ ලෝක ව්‍යාප්ත සේවයට ස්වේච්ඡා සම්මාදම්වලින් මුදල් ලැබුණද, ඔවුහු කිසිම විටෙක මුදල් නොඉල්ලති. දෙවිගේ සැබෑ සේවකයන් වන ඔවුහු ‘දෙවිගේ වචනය විකුණා ජීවත් වන අය නොවේ.’ ඔවුහු “අවංකකමින්, එසේය, දෙවි විසින් යවන ලද අය මෙන්” කතා කරති.—2 කොරින්ති 2:17, NW.

එසේනම්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් තමන්ගේම  වියදමින් අනුන්ට උපකාර කිරීමට කැමති වෙන්නේ ඇයි? මේ සඳහා ඔවුන් පෙලඹෙන්නේ කුමක් නිසාද? නොමිලේ දීම කීමෙන් අදහස් කරන්නේ ඔවුන්ගේ ප්‍රයත්නයට කිසිම විපාකයක් නැති බවද?

සාතන්ගේ අභියෝගයට පිළිතුරක්

මිදීමේ මිලය නමැති නොමිලයේ ලැබෙන තෑග්ග නිසා කිසිම ගාස්තුවකින් තොරව ශුභාරංචිය දීමට ක්රිස්තියානීන් පෙලඹෙයි

අද දින ක්‍රිස්තියානීන් අනුන්ට උපකාර කිරීමට මූලික වශයෙන්ම පෙලඹෙන්නේ යෙහෝවාව සතුටු කිරීමට ඔවුන් තුළ තිබෙන ආශාව නිසායි. එසේ නැතුව තමන් මුදල් අතින් පොහොසත් වීමට නොවේ. මේ නිසා, සියවස් ගණනාවකට ඉහතදී සාතන් වන යක්ෂයා විසින් නඟන ලද අභියෝගයකට පිළිතුරක් සැපයීමට ඔවුන්ට හැකි වී තිබේ. ධර්මිෂ්ඨ මිනිසෙකු වූ යෝබ් නමැති මිනිසා සම්බන්ධයෙන්, සාතන් යෙහෝවාට අභියෝග කළේ මෙසේයි. “යෝබ් දෙවි කෙරෙහි භය වෙන්නේ නිකමටද?” සාතන් චෝදනා කළේ යෝබ් දෙවිට සේවය කරන්නේ දෙවි ඔහු වටා ආරක්ෂක වැටක් බැඳ තිබීම නිසාය කියායි. යෝබ්ගේ ද්‍රව්‍යමය දේපළ නැති කළා නම්, යෝබ් දෙවිගේ මුහුණටම ශාප කරන බවටද සාතන් වාද කළේය!—යෝබ් 1:7-11.

සාතන්ගේ අභියෝගයට පිළිතුරු දීම පිණිස, “ඔහුට ඇති සියල්ල නුඹේ අත යටතේය” යයි පවසමින් දෙවි යෝබ්ව පරීක්ෂණයට ලක් කිරීමට සාතන්ට ඉඩහැරියේය. (යෝබ් 1:12) මෙහි ප්‍රතිඵලය වූයේ කුමක්ද? සාතන් බොරුකාරයෙකු බව යෝබ් ඔප්පු කළේය. තමාට කිනම් විපතකට මුහුණ දෙන්නට සිදු වුණත් යෝබ් දිගටම සිටියේ පක්ෂපාතවයි. ඔහු පැවසුවේ, “මා නසින තුරු මාගේ අඛණ්ඩතාව මම මගෙන් ඉවත නොදමන්නෙමි” කියායි!—යෝබ් 27:5, 6, NW.

අද දින සැබෑ නමස්කාරකයන්ද පෙන්වන්නේ යෝබ්ට සමානම ආකල්පයකි. ඔවුන් දෙවිට සේවය කිරීම සඳහා ඉදිරිපත් වන්නේ ද්‍රව්‍යමය අවශ්‍යතා ලබාගැනීමේ අටියෙන් නොවේ.

නොමිලේ ලැබෙන මහත් කරුණාව නමැති දෙවිගේ දීමනාව

සැබෑ ක්‍රිස්තියානීන් ‘නොමිලේ දීමට’ කැමති වන තවත් හේතුවක් නම්, ඔවුන්ම දෙවිගෙන් ‘නොමිලේ ලබා’ තිබීමයි. මිනිස් වර්ගයා තම මුල් පියා වූ ආදම්ගේ පාපය නිසා සිටින්නේ පාපය සහ මරණය යන වහල්කම යටතේය. (රෝම 5:12) යෙහෝවා ඉතා මහත් ප්‍රේමයෙන් යුතුව තම පුත්‍රයාවම යාගික මරණයක් විඳිමින් මිය යෑමට සැලැස්සූ අතර, මෙය දෙවිගේ පැත්තෙන් සිදු කළ අතිමහත් පරිත්‍යාගයකි. නිසැකවම මිනිස් වර්ගයා මෙය ලැබීමට වටින්නේ නැත. ඇත්තෙන්ම, මෙය දෙවිගෙන් ලැබුණු මහත් තෑග්ගක් හෙවත් දීමනාවකි.—රෝම 4:4, NW; 5:8; 6:23.

රෝම 3:23, 24හි [NW] වාර්තා වී ඇති පරිදි, පාවුල් ආලේප ලත් ක්‍රිස්තියානීන්හට කීවේ මෙසේයි. “සියල්ලෝම පව් කර, දෙවිගේ තේජසින් පහත වැටී සිටිති. ඔහුගේ මහත් කරුණාව නිසා ක්‍රිස්තුස් යේසුස් ගෙවූ මිදීමේ මිලය මගින් ඔවුන්ව නිදහස් කර, නොමිලේ දෙන දීමනාවක් ලෙස ඔවුන්ව ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කරනු ලබන්නේය.” ඒ හා සමානව, පොළොවෙහි සදාකාල ජීවනය ලැබීමේ බලාපොරොත්තුව ඇති අය මෙම “නොමිලේ දෙන දීමනාව” ලබන්නෝ වෙත්. මෙම දීමනාවට ඇතුළත් වන තවත් දෙයක් නම්, යෙහෝවාගේ මිත්‍රයන් වශයෙන් ධර්මිෂ්ඨ අය බවට ප්‍රකාශ කරනු ලැබීමේ වරප්‍රසාදයයි.—යාකොබ් 2:23; එළිදරව් 7:14.

ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල යාගයෙන් සියලු ක්‍රිස්තියානීන් උදෙසා උදා වෙන තවත් ප්‍රස්තාවක් නම්, ඔවුන්ට දෙවිගේ සේවකයන් බවට පත්වීමට හැකිකම ලැබීමය. ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. “මට නොමිලේ දෙන ලද ඔහුගේ මහත් කරුණාවේ දීමනාව ලෙස, මම එහි [පරිශුද්ධ රහසේ] දේවසේවකයෙක් වුණෙමි.” (එෆීස 3:4-7, NW) තමන් ලැබීමට වටින්නේ නැති හෝ තමන්ට ලබාගත නොහැකි සැපයුමක් මාර්ගයෙන් මෙම දේවසේවයට තමන්ව කැඳවනු ලැබ සිටින හෙයින්, මෙම සැපයුම පිළිබඳ පුවත් අනුන් සමඟ බෙදාගැනීමේදී තමන්ට ද්‍රව්‍යමය වශයෙන් යමක් ගෙවනු ලැබිය යුතුයි කියා දෙවිගේ සැබෑ සේවකයන්ට කිසිසේත් අපේක්ෂා කළ නොහැකියි.

 සදාකාල ජීවනය—ආත්මාර්ථකාමීත්වය උද්දීපනය කිරීමක්ද?

එසේනම්, මින් අදහස් කරන්නේ, දෙවි ක්‍රිස්තියානීන්ගෙන් අපේක්ෂා කරන්නේ කිසිම ප්‍රතිඵලයක් බලාපොරොත්තු නොවී ඔහුට සේවය කිරීමද? නැත. මන්ද ප්‍රේරිත පාවුල් සෙසු ඇදහිලිවන්තයන්ට පැවසුවේ මෙයයි. “ඔබ කළ සේවයද ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද අමතක කිරීමට දෙවි අධර්මිෂ්ඨ නැත.” (හෙබ්‍රෙව් 6:10, NW) යෙහෝවා අයුක්තිසහගත කෙනෙක් නොවේ. (ද්විතීය කථාව 32:4, NW) යෙහෝවා වනාහි ‘ඔහුව ඕනෑකමින් සොයන අයට විපාක දෙන කෙනෙක්ය.’ (හෙබ්‍රෙව් 11:6, NW) එහෙත්, පාරාදීසයේ සදාකාල ජීවනය ලැබීම නමැති පොරොන්දුව මගින් මිනිසා තුළ ඇති ආත්මාර්ථකාමීත්වය උද්දීපනය වන්නේ නැද්ද?—ලූක් 23:43.

අද දින ක්‍රිස්තියානීන් මූලිකවම සේවය කිරීමට පෙලඹෙන්නේ යෙහෝවාව සතුටු කිරීමට ඇති ආශාව නිසා මිස, මිල මුදල් රැස් කරගනිමින් පොහොසත් වීමට ඇති ආශාව නිසා නොවේ.

කොහෙත්ම නැත. එක් හේතුවක් නම්, පොළොව මත පාරාදීසයක සදාකල් ජීවත් වීමේ ආශාව අප තුළ ඇති කළ තැනැත්තා දෙවිමයි. පළමු මිනිස් යුවළට මෙම අපේක්ෂාව දානය කළේද ඔහුයි. (උත්පත්ති 1:28; 2:15-17) ආදම් සහ ඒව, තමන්ගෙන් පැවතෙන්නන්ට මෙම අපේක්ෂාව අහිමි කළ විට, එය යළි පිහිටුවීමටද දෙවි කටයුතු පිළියෙළ කළේය. මෙසේ, “ඒ මැවිල්ලද දිරාපත් වීමේ වහල්කමින් නිදහස් වී දෙවිගේ දරුවන්ට හිමි තේජවත් නිදහස ලබන” බව දෙවි තම වචනය තුළ පොරොන්දු වෙයි. (රෝම 8:21, NW) එබැවින්, පුරාණයේ විසූ මෝසෙස් මෙන්, අද දින ක්‍රිස්තියානීන්ද, ‘විපාකය දෙස ඕනෑකමින් බලා සිටීම’ මුළුමනින්ම නිවැරදි දෙයකි. (හෙබ්‍රෙව් 11:26, NW) දෙවි මෙම විපාකය ඉදිරිපත් කරන්නේ අල්ලසක් ලෙස නොවේ. ඔහු එය ඉදිරිපත් කරන්නේ ඔහුට සේවය කරන අය කෙරෙහි ඇති අව්‍යාජ ප්‍රේමය නිසයි. (2 තෙසලෝනික 2:16, 17) මීට ප්‍රතිචාරය දැක්වීමෙහිලා “අප ප්‍රේම කරන්නේ පළමුකොට ඔහු අපට ප්‍රේම කළ නිසාය.”—1 යොහන් 4:19, NW.

දෙවිට සේවය කිරීමේදී තිබිය යුතු නිසි චේතනාව

ඒ කෙසේවෙතත්, අද දින සිටින ක්‍රිස්තියානීන් දෙවිට සේවය කරන්නේ කුමන චේතනාවෙන්ද කියා ඉතා පරෙස්සමින් සෝදිසි කර බැලිය යුතුයි. යොහන් 6:10-13හි අපට කියවන්නට තිබෙන්නේ යේසුස් පන්දහසකට වඩා වැඩි ජනකායකට ප්‍රාතිහාර්යමය ලෙස කන්නට දුන් බවයි. ඇතැමුන් යේසුස් වෙතට ඇදී එන්නට පටන්ගත්තේ සහමුලින්ම ආත්මාර්ථකාමී චේතනාවෙන්ය. යේසුස් ඔවුන්ට පැවසුවේ මෙසේයි. “ඔබ මාව සොයන්නේ, . . . රොටි කා තෘප්තියට පැමිණි නිසාය.” (යොහන් 6:26, NW) දශක ගණනාවකට පසු, ඇතැම් කැප වූ ක්‍රිස්තියානීන්ද ඒ හා සමානව දෙවිට සේවය කළේ ‘පිරිසිදු චේතනාවෙන් නොවේ.’ (ෆිලිප්පි 1:17, NW) ‘යේසුස් ක්‍රිස්තුස්ගේ සුවදායී වචනවලට එකඟ නොවූ’ ඇතැමුන් උත්සාහ කළේ ක්‍රිස්තියානීන් සමඟ ඇසුරු කර යම් පෞද්ගලික වාසි ප්‍රයෝජන ලබාගැනීමටයි.—1 තිමෝති 6:3-5, NW.

තමන්ට පාරාදීසයක සදාකල් ජීවත් වීමට වුවමනා නිසා පමණක් සේවය කරන ක්‍රිස්තියානියෙකු එසේ කරන්නේ ආත්මාර්ථකාමී චේතනාවකින් විය හැකියි. අන්තිමේදී ඔහු ආත්මිකව යම් උවදුරකට ලක්වීමට ඉඩ ඇත. සාතන්ගේ මේ සමාජ ක්‍රමය තමන් හිතුවාටත් වඩා බොහෝ කාලයක් පැවත තිබෙන බවක් පෙනෙන්ට ඇති නිසා, අන්තිමය ප්‍රමාද වී ඇති බවට හැඟීමක් ඇතිවීමෙන් ඔහු ‘හෙම්බත් වෙන්නට’ පුළුවන. (ගලාති 6:9, NW) තමන් කළ ද්‍රව්‍යමය පරිත්‍යාග ගැන සිතා ඔහුට කේන්තියක් ඇති වෙන්නට පවා ඉඩ තිබේ. යේසුස් අපට මතක් කළේ මෙයයි. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු සිතින්ද ඔබේ මුළු ජීවිතයෙන්ද ඔබේ මුළු මනසින්ද ප්‍රේම කළ යුතුය.” (මතෙව් 22:37, NW) එසේය, මූලිකවම ප්‍රේමය නිසා දෙවිගේ සේවයේ නියුතු පුද්ගලයෙකු කරන සේවයට නිශ්චිත කාල සීමාවක් නැත. ඔහු අදිටන් කරගෙන සිටින්නේ යෙහෝවාට සදාකල්ම සේවය කිරීමටයි! (මීකා 4:5) දෙවිට සේවය කිරීමෙහිලා තමන් කර ඇති ඕනෑම පරිත්‍යාගයක් ගැන ඔහු කනගාටු වෙන්නේ නැත. (හෙබ්‍රෙව් 13:15, 16) ජීවිතයේ පළමු තැන දෙවිට දීමට ඔහු පෙලඹෙන්නේ දෙවි කෙරෙහි ඔහු තුළ ඇති ප්‍රේමය නිසායි.—මතෙව් 6:33.

අද දින, සැබෑ නමස්කාරකයන් මිලියන හයකට වඩා වැඩි සංඛ්‍යාවක් යෙහෝවාගේ සේවය වෙනුවෙන් “සිය කැමැත්තෙන්ම තමන්වම ඉදිරිපත් කරති.” (ගීතාවලිය 110:3, NW) ඔබ ඔවුන් අතරින් කෙනෙක්ද? එසේ නොවේ නම්, දෙවි ඉදිරිපත් කරන දේවල් ගැන කල්පනා කර බලන්න. ඒවා නම්, සත්‍යය පිළිබඳ පිරිසිදු දැනුමය. (යොහන් 17:3) බොරු ආගමික ඉගැන්වීම්වලට ඇති වහල්භාවයෙන් නිදහසය. (යොහන් 8:32) සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුවය. (එළිදරව් 21:3, 4) මේ සියල්ලම ඔබට දෙවිගෙන් ලබාගත හැකි අන්දම ගැන ඉගෙනගැනීම සඳහා ඔබට උපකාර කිරීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට හැකියි. ඔවුන් එසේ කරන්නේ නොමිලයේය.