Skip to content

පටුනට යන්න

 ජීවිත කතාව

බිඳුණු බැඳීම ආයෙත් ඇති කරගත්තා

බිඳුණු බැඳීම ආයෙත් ඇති කරගත්තා

දවසක් අම්මා මගෙන් ප්‍රශ්න වැලක් ඇහුවා. “ඇයි ඔයා මුතුන්මිත්තන්ව අදහන්නේ නැත්තේ? ඔයා අද මෙහෙම ඉන්නේ ඒ අය හින්දා නේද? ඔයාට එයාලා ගැන කිසිම අගයක් නැද්ද? පරම්පරාවෙන් එන චාරිත්‍ර කොහොමද ඔයා මේ විදිහට අත්හරින්නේ? අපි මෙච්චර කල් කළේ මෝඩ දේවල්ද?” ඊටපස්සේ අම්මා හොඳටම ඇඬුවා.

අම්මා මීට කලින් කවදාවත් එහෙම කතා කරලා නැහැ. අනික, අම්මාම තමයි මට බයිබලේ පාඩම් කරන්න කිව්වේ. එයා පාඩමකට කැමති නැහැ කියලා කෙළින් කියන්න බැරි නිසයි මට කරන්න කිව්වේ. මං අම්මා කියපු දේවල් කළේ හරිම කැමැත්තෙන්. ඒත් මුතුන්මිත්තන්ව අදහන්න කියලා කියද්දී ඒකට එකඟ වෙන්න දැන් මට බැහැ. අම්මාට අකීකරු වෙන එක අමාරු වුණත් මට ඕන වුණේ යෙහෝවා දෙවිව සතුටු කරන්නයි. එදා දෙවි උදව් කළේ නැත්නම් මං කොහොමටවත් හරි දේ කරන එකක් නැහැ.

සැබෑ දෙවි ගැන විශ්වාසයක් ඇති වුණා

ජපානයේ ඉන්න හුඟදෙනෙක් වගේ අපිත් බෞද්ධ. සාක්ෂිකරුවන් එක්ක පාඩම පටන් අරන් මාස 2ක් යද්දී මං තේරුම්ගත්තා බයිබලේ තියෙන්නේ සත්‍යය කියලා. දෙවි ස්වර්ගයේ ඉන්න අපේ තාත්තා කියලා ඉගෙනගද්දී ඔහු ගැන තවත් දැනගන්න මට ඇති වුණේ ලොකු ආසාවක්. ඉගෙනගන්න දේවල් ගැන මං ආසාවෙන් අම්මා එක්ක කතා කළා. ඉරිදා රැස්වීම් යන්නත් පටන්ගත්තා. බයිබලේ තියෙන දේවල් හොඳින් අවබෝධ වෙද්දී මං අම්මාට කිව්වා බෞද්ධ චාරිත්‍රවලට සම්බන්ධ වෙන්න මට බැහැ කියලා. එතකොට අම්මා කිව්වා “මුතුන්මිත්තන් අදහන්නේ නැති කෙනෙක් පවුලේ ඉන්න එක මහ නින්දාවක්” කියලා. පාඩමයි රැස්වීමුයි වහාම නතර කරන්න කියලා අම්මා සැරෙන් කිව්වා. අම්මා එහෙම කියයි කියලා මං කවදාවත් හිතුවේ නැහැ. එදා ඉඳන් අම්මා හුඟක් වෙනස් වුණා.

තාත්තාත් අම්මාගේ පැත්ත ගත්තා. එෆීස 6වෙනි පරිච්ඡේදයෙන් මං ඉගෙනගත්තා දෙමාපියන්ට කීකරු වෙන එක යෙහෝවා දෙවි මගෙන් බලාපොරොත්තු වෙනවා කියලා. ඒ නිසා මං හිතුවා ටික කාලයක් එයාලා කියන විදිහට කළොත් මගේ විශ්වාසයන්ට එයාලත් මට ඉඩ දෙයි කියලා. ඒකෙන් අපි අතරේ තිබුණු ප්‍රශ්නත් අඩු වෙයි කියලා. ඔය කාලෙදී මට ඉහළ පන්තිවලට ඇතුල් වෙන විභාගෙට සූදානම් වෙන්නත් තිබුණා. ඒ නිසා මාස 3කට අම්මලා කියන විදිහට කරන්න මං කැමති වුණා. ඒත් මං දෙවිට පොරොන්දු වුණා මාස 3 ඉවර වුණු ගමන්ම ආයෙත් රැස්වීම් එනවා කියලා.

ඒ තීරණේ වැරදියි කියලා පස්සේ මට තේරුණා. මාස 3ක් කියන්නේ කෙටි කාලයක් නිසා ඒක ලොකුවට මට බලපායි කියලා මං හිතුවේ නැහැ. ඒත් දෙවිත් එක්ක තිබුණු බැඳීම ශක්තිමත් කරගන්න අවශ්‍ය පෝෂණය ලැබුණේ නැති නිසා මං දෙවිගෙන්  ඈත් වෙනවා කියලා මට දැනුණා. අනික, අම්මලා මගේ විශ්වාසයන්ට ඉඩ දෙයි කියලා හිතුවත් වුණේ ඒකේ අනිත් පැත්ත.

විරුද්ධවාදිකම් මැද

ඒ අමාරු කාලෙදී මට හයියක් වුණේ සභාවේ අය. පවුලේ අයගෙන් ආපු විරුද්ධවාදිකම්වලට මුහුණ දීපු අයත් සභාවේ හිටියා. ඒ අය හැම වෙලාවෙම මට කිව්වේ ‘ඔයාගේ උදව්වට යෙහෝවා දෙවි ඉන්නවා’ කියලා. (මතෙ. 10:34-37) පවුලේ අයව දෙවිට ළං කරන්න පුළුවන් හොඳම කෙනා මමයි කියලත් එයාලා මට කිව්වා. ඒ නිසා දෙවිව විශ්වාස කරලා දේවල් කරන්න මට උදව් කරන්න කියලා මං නිතරම යාච්ඤා කළා.

අම්මා සමහර වෙලාවට ‘ඕක නවත්තන්න’ කියලා අඬලා කිව්වා. තවත් වෙලාවලදී ඇයි අම්මා එහෙම කියන්නේ කියලා මට පැහැදිලි කරලා දුන්නා. එහෙම කියපු හුඟක් වෙලාවලදී මං කිසි දෙයක් නොකියා හිටියා. ඒත් මං මොනවා හරි කිව්වොත් කතාව නතර වෙන්නේ අපි දෙන්නම අඬලා. මං කියපු සමහර දේවල් ගැන හිතද්දී ඊට වඩා අම්මා ගැන සැලකිලිමත් වෙන්න තිබුණා කියලා මට දැන් හිතෙනවා. එහෙම කළා නම් සන්සුන්ව දේවල් විසඳගන්නත් තිබුණා. ඒ කාලේ අම්මායි තාත්තායි පුළුවන් තරම් උත්සාහ කළේ මාව ගෙදරට කොටු කරලා තියන්නයි. මාව එළියට දාලා දොර වහපු දවසුත් තිබුණා. සමහර දවස්වලට මට කෑමත් නැහැ.

අම්මා එතනින් නතර වුණේ නැහැ. වෙන වෙන අයගෙනුත් උදව් ඉල්ලුවා. මගේ ටීචර්ටත් කියලා තිබුණා මගේ හිත වෙනස් කරන්න කියලා. දවසක් මාව අම්මා එයාගේ බොස්ව හම්බ වෙන්නත් එක්කගෙන ගියා. කිසිම ආගමක් අදහලා වැඩක් නැහැ කියලා මට තේරුම් කරන්නයි බොස්ට ඕන වුණේ. මං ගෙදර ඉන්න වෙලාවලදී අම්මා නෑදෑයන්ට කෝල් කරලා අඬඅඬ උදව් ඉල්ලනවා. ඒක දරාගන්න මට හුඟක් අමාරු වුණා. ඒත් වැඩිමහල්ලෝ මට මෙහෙම කිව්වා. “ඔයාගේ අම්මා දන්නෙම  නැතුව කරන්නේ ඒ අයට අපේ විශ්වාසයන් ගැන සාක්ෂි දරන එකයි. ඒ ගැන හිතන්න.”

ප්‍රශ්න එතනින් නතර වුණේ නැහැ. අම්මලාගේ ආසාව වුණේ මං හොඳ රස්සාවක් කරලා සැපට ඉන්නවා දකින්නයි. ඒ නිසා මාව විශ්වවිද්‍යාලයට යවන්න එයාලට ඕන වුණා. ඒත් මට ඕන වුණේ ඒක නෙමෙයි. ඒ ගැන අපිට සන්සුන්ව කතා කරන්න බැරි නිසා මං එයාලට ලියුම් කීපයක්ම ලියලා මගේ ඉලක්ක ගැන කිව්වා. දවසක් තාත්තාට කේන්ති ගිහින් “හෙට වෙනකොට රස්සාවක් හොයාගන්න බැරි නම් මෙහෙන් යන්න” කියලා කිව්වා. මං ඒ කාරණේ යෙහෝවා දෙවිට භාර දුන්නා. ඊළඟ දවසේ සේවයේ යද්දී සහෝදරියෝ දෙන්නෙක්ම මගෙන් ඇහුවා එයාලගේ ළමයින්ට ටියුෂන් දෙන්න පුළුවන්ද කියලා. ඒත් තාත්තා නම් ඒ ගැන පොඩ්ඩක්වත් සතුටු වුණේ නැහැ. එයා මා එක්ක කතා කරන එක සම්පූර්ණයෙන්ම නතර කළා. අම්මා කිව්වේ මං සාක්ෂිකාරයෙක් වුණාට වඩා අපරාධකාරයෙක් වුණා නම් හොඳයි කියලා.

මං හිතපු විදිහ නිවැරදි කරලා යන්න ඕන පාර පෙන්නුවේ යෙහෝවා දෙවි

සමහර වෙලාවට දෙවි ඇයි මගෙන් මෙච්චර දේවල් බලාපොරොත්තු වෙන්නේ කියලා හිතුණා. ඒත් දෙවිට යාච්ඤා කරද්දී දෙවිගේ ආදරේ ගැන කතා කරන බයිබල් පද ගැන හිතද්දී සැලෙන්නේ නැතුව අභියෝගවලට මුහුණ දෙන්න මට ශක්තිය ලැබුණා. දෙමාපියන්ගේ පැත්තෙන් දේවල් දිහා බලන්නත් මට පුළුවන් වුණා. මං හිතපු විදිහ නිවැරදි කරගත්තේ යෙහෝවා දෙවිගේ උදව්වෙන්. සේවයේ වැඩියෙන් හවුල් වෙද්දී ලබපු සතුට නිසා පුරෝගාමි සේවය කරන්න මට ඕන වුණා. යන්න ඕන පාර දෙවි මට පෙන්නුවා.

පුරෝගාමි සේවය පටන්ගත්තා

මං පුරෝගාමි සේවය කරන්න ආසාවෙන් ඉන්නවා කියලා දැනගත්තම සහෝදරියන් කීපදෙනෙක්ම කිව්වා ගෙදර තත්වය හොඳ අතට හැරෙන කල් ඉන්න කියලා. ඒ වෙලාවේ හරි තීරණය ගන්න උදව් ඉල්ලලා මං යාච්ඤා කළා. පොත්වලින් තොරතුරු අධ්‍යයනය කළා. ඒ සේවයට මං ආසාවෙන් ඉන්නේ ඇයි කියලත් හොඳට හිතුවා. අද්දැකීම් තියෙන සහෝදරයන් එක්ක ඒ ගැන කතා කළා. මට ඕනෙ යෙහෝවා දෙවිව සතුටු කරන්නයි කියලා තේරුම්ගන්න ඒවා මට උදව් වුණා. අනික, පුරෝගාමි සේවය පටන්ගන්න එක කල් දැම්මා කියලා අම්මලා වෙනස් වෙයි කියලා හිතන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ.

ඉස්කෝලේ අන්තිම අවුරුද්දෙදී මං පුරෝගාමි සේවය පටන්ගත්තා. ටික කාලයක් සේවය කරද්දී මට ඕන වුණා ප්‍රචාරකයන් අඩු පළාතකට යන්න. ඒත් මං ගෙදරින් යනවට අම්මලා කැමති වුණේ නැහැ. ඒ නිසා මට අවුරුදු 20ක් වෙන කල් හිටියා. ඊටපස්සේ මං ශාඛා කාර්යාලයෙන් ඇහුවා ජපානයේ දකුණු පළාතේ තියෙන සභාවකට පැවරුමක් දෙන්න පුළුවන්ද කියලා. එහේ අපේ නෑදෑයන් හිටපු නිසා අම්මාගෙනුත් ලොකු ප්‍රශ්නයක් ආවේ නැහැ.

එහෙදී මං පාඩම් කරපු කීපදෙනෙක්ම බව්තීස්ම වෙද්දී දැනුණ සතුට කියන්න වචන නැහැ. සේවය තව වැඩියෙන් කරන්න මට උදව් වෙයි කියලා හිතලා මං ඉංග්‍රීසිත් ඉගෙනගත්තා. අපේ සභාවේ විශේෂ පුරෝගාමි සහෝදරයෝ දෙන්නෙකුත් හිටියා. එයාලගේ උද්‍යෝගය, උදව් කරන්න තිබුණු කැමැත්ත දැක්කම මටත් ආසා හිතුණා විශේෂ පුරෝගාමි සේවය කරන්න. ඔය කාලෙදී අම්මා දෙපාරක්ම හොඳටම අසනීප වුණු නිසා එයාට සාත්තු කරන්න මං ගෙදර ගියා. මං ආපු එක ගැන අම්මා පුදුම වුණා විතරක් නෙමෙයි මං ගැන හිතපු විදිහත් ටිකක් වෙනස් වුණා කියලා මට දැනුණා.

නිමක් නැති ආශීර්වාද

මං කලින් කිව්ව විශේෂ පුරෝගාමීන් දෙන්නගෙන් එක් කෙනෙක් අවුරුදු 7කට පස්සේ මට විවාහ යෝජනාවක් කරලා ලියුමක් එව්වා. එයාගේ නම ආට්සුෂි. ඒත් මං කවදාවත් එයා ගැන ඒ විදිහට හිතලා තිබුණේ නැහැ. එයාව ආශ්‍රය කරලා අඳුනගන්න කැමතියි කියලා මාසෙකට පස්සේ මං එයාට ලියලා යැව්වා. අපි දෙන්නටම තිබුණේ එක වගේ ඉලක්ක කියලා අපිට තේරුණා. ඒ නිසා අපි විවාහ වෙන්න තීරණය කළා. අපේ විවාහයට අම්මායි තාත්තායි වගේම නෑදෑයෝ කීපදෙනෙකුත් ආපු එක ගැන මට දැනුණේ ලොකු සතුටක්.

නේපාලය

අපි ස්ථාවර පුරෝගාමි සේවය කරකර ඉද්දී ආට්සුෂිව ආදේශක චාරිකා සේවකයෙක් විදිහට පත් කළා. ඊටපස්සේ අපි දෙන්නටම විශේෂ පුරෝගාමීන්  විදිහට සේවය කරන්න පැවරුම ලැබුණා. ටික කාලයක් යද්දී චාරිකා සේවය දිගටම කරන්නත් අපිට අවස්ථාව ලැබුණා. ඒ චාරිකාවට අයිති හැම සභාවකටම එකපාරක් ගියාට පස්සේ ශාඛා කාර්යාලයෙන් කෝල් කරලා ඇහුවා “නේපාලයේ චාරිකා සේවය කරන්න කැමතිද” කියලා.

විවිධ රටවල සේවය කරද්දී මං යෙහෝවා දෙවි ගැන හුඟක් දේවල් තේරුම්ගත්තා

සේවය කරන්න මං වෙන රටකට යන එක ගැන අම්මලාට කොහොම හැඟෙයිද කියලා මං කල්පනා කළා. ඒ ගැන මං එයාලට කිව්වම තාත්තා මෙහෙම කිව්වා. “ෂා! ඔයාලා යන්නේ ලස්සන රටකට.” ඊට සතියකට කලින් තාත්තාගේ යාළුවෙක් නේපාලය ගැන පොතක් එයාට දීලා. ඒක බැලුවම තාත්තාට හිතිලා තියෙනවා නිවාඩුවකට යන්න ඒක නියම රටක් කියලා.

අපි එහේ ටික කාලයක් සේවය කරද්දී අපේ චාරිකාවට බංග්ලාදේශයත් ඇතුළත් කරලා කියලා දැනගන්න ලැබුණා. නේපාලයට කිට්ටුවෙන් තිබුණත් බංග්ලාදේශයේ සංස්කෘතිය, සේවය කරන්න වුණු විදිහ හරිම වෙනස්. ඔහොම අවුරුදු 5ක් ඒ පැවරුම කළාට පස්සේ ආයෙමත් ජපානයේ චාරිකා සේවය කරන්න අපිට එන්න කිව්වා. අපි ඒ පැවරුම අද වෙන කල් හරිම සතුටින් කරනවා.

කොහේ ජීවත් වුණත් යෙහෝවා දෙවි අපි එක් එක් කෙනා ගැන සැලකිලිමත් කියලත් අපිට උදව් කරන්න, ආශීර්වාද කරන්න ආසාවෙන් ඉන්නවා කියලත් ඒ රටවල සේවය කරද්දී මට හොඳින්ම තේරුණා.

යෙහෝවා දෙවි මට කොච්චර නම් ආශීර්වාද කරලද! දෙවිව හොඳින් අඳුනගන්න, ඔහුට සේවය කරන්න මට අවස්ථාව දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි දෙවිට ආදරේ කරන හොඳ සැමියෙක් මට ඉන්නවා. හරි තීරණ ගන්න දෙවි මට උදව් කරපු නිසා දෙවි එක්ක කිට්ටු බැඳීමක් අදටත් තියාගන්න මට පුළුවන් වෙලා තියෙනවා. අම්මායි තාත්තායි එක්කත් දැන් මට හොඳ බැඳීමක් තියෙනවා. ඉස්සර වගේ අපි ආයෙමත් හොඳ යාළුවෝ. බිඳුණු බැඳීම ආයෙත් ඇති කරගන්න උදව් කරපු එක ගැන මං දෙවිට ගොඩක් ස්තුති කරනවා.

චාරිකා සේවයෙන් අපි ලොකු සතුටක් ලබනවා