Skip to content

පටුනට යන්න

දෙවිට ළං වීම මට යහපතක්

දෙවිට ළං වීම මට යහපතක්

මම ඉපදුණේ අයිවරි කෝස්ට්වල. මගේ ජීවිතේට අඳුරු වලාවක් පෑව්වේ මීට අවුරුදු 34කට කලින්. එතකොට මගේ වයස 9යි. ඒ කාලෙදී මගේ වර්ධනය නතර වුණා. අදටත් මගේ උස අඩි 3යි. මම මිටි කෙනෙක් කියලා පේන්න පටන්ගද්දී අම්මලා කිව්වේ ඒ ගැන හිතහිත ඉන්නේ නැතුව මොකක් හරි වැඩක් කරන්න කියලා. ඉතිං මං අපේ ගේ ඉස්සරහ පලතුරු ලෑල්ලක් දාගෙන පලතුරු වික්කා. හුඟදෙනෙක් පලතුරු ගන්න ආවා.

කොච්චර වැඩ කෙරුවත් මගේ උසේ වෙනසක් වුණේ නැහැ. කඩේකට ගිහින් බඩුවක් ගන්න එක පවා ලේසි නැහැ. හැම දේම තිබුණේ උස අයට හරියන විදිහට. මට මං ගැනම දුක හිතුණා. ඒත් මට අවුරුදු 14ක් වෙද්දී මගේ අඳුරු වලාවේ රිදී ඉරක් පෑව්වා.

දවසක් මගෙන් පලතුරු ගන්න ආව යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියන් දෙන්නෙක් බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා ඇහුවා. මමත් ඒකට කැමති වුණා. මට තේරුණා මගේ පෙනුමට වඩා වැදගත් වෙන්නේ යෙහෝවා දෙවි ගැනත් එයාගේ අරමුණු ගැනත් දැනගන්න එක කියලා. ඒකෙන් වුණේ මගේ ජීවිතේට යහපතක්. මං ආසම බයිබල් පදයත් ගීතාවලිය 73:28. ඒකේ මුල් කොටසේ කියන්නේ “දෙවිට ළං වී සිටීම මට යහපතක්” කියලා.

හදිස්සියෙන්ම අපි බර්කිනා ෆාසෝවල පදිංචියට ගියා. ගමේදී වගේ නෙමෙයි මෙහෙට මං අලුත් නිසා හැමෝම මං දිහා බැලුවේ අමුතු විදිහට. මං සති ගණන් ගේ ඇතුළටම වෙලා හිටියා. එතකොට මට හිතුණා දෙවිට ළං වෙලා ඉන්න එක කොච්චර යහපතක්ද කියලා. ඒ නිසා පාඩමක් කරන්න කාව හරි එවන්න කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට මං ලිව්වා. එයාලා මට එව්වේ හොඳම කෙනාවයි. ඒ නානී කියන මිෂනාරි සහෝදරිය. එයා ආවේ ස්කූටරයෙන්.

අපේ ගෙදරට එන්න තිබුණේ වැලි පාරක්. වහින දවස්වලට මඩ වෙනවා. නානී අපේ ගෙදර එද්දී කීප සැරයක්ම බයිසිකලය පෙරළිලා වැටුණා. ඒත් එයා එන එක අත්හැරියේ නැහැ. දවසක් එයා මට එයාලගේ රැස්වීමට එන්න කිව්වා. එකපාරටම මට මතක් වුණේ මිනිස්සු මාව දකියි කියලා. ඒ විතරක් නෙමෙයි මමත් ස්කූටරයේ ඉඳගත්තම නානීට තවත් බරක් අදින්න වෙනවා. එයා යන්නෙත් අමාරුවෙන්. ඒ වුණත් මම ආසම බයිබල් පදයේ දෙවෙනි කොටස ගැන හිතලා කොහොමහරි යන්න හිත හදාගත්තා. එතන කියන්නේ ‘යෙහෝවා දෙවි මාගේ රක්ෂස්ථානයය’ කියලයි.

 සමහර දවස්වලට නානීයි මායි දෙන්නාම මඩ ගොඩේ වැටුණා. ඒ මොන දේ වුණත් රැස්වීම් යන එක ගොඩක් වටිනවා. මොකද එහේ හිටිය අය මං දිහා බැලුවේ ලස්සන හිනාවකුත් එක්ක. පිට අය මං දිහා බලපු විදිහට වඩා ඒක කොච්චර වෙනස්ද! මාස 9කට පස්සේ මං බව්තීස්ම වුණා.

“යෙහෝවා දෙවිගේ සියලු ක්‍රියා මම ප්‍රකාශ කරමි.” ඒක තමයි මම ආසම බයිබල් පදයේ තුන්වෙනි කොටස. සේවයේ යන එක නම් මට ලේසි දෙයක් නෙමෙයි කියලා මං දැනගෙන හිටියා. මට තාමත් මතකයි මුල්ම වතාවට ගෙයින් ගෙට සේවයේ ගිය දවස. පුංචි අය විතරක් නෙමෙයි ලොකු අයත් මං දිහා බැලුවේ පුදුමෙන්. මගේ පස්සෙන් ඇවිත් මං අවිදින විදිහට ඇද කරකර ඇවිද්දා. මට ඒක දරාගන්න බැරි වේදනාවක් වුණා. ඒත් මං හිතුවා මට පාරාදීසය ඕනෙ වගේම එයාලටත් ඒක ඕනෙනේ කියලා. හැම වේදනාවක්ම දරාගෙන දිගටම සේවයේ හවුල් වුණා.

මම අතින් පදින්න පුළුවන් රෝද තුනේ බයිසිකලයක් ගත්තා. ඒක සේවයට පහසුවක්. මාත් එක්ක සේවයේ ගිය කෙනා කඳු වගේ තැන්වලදී බයිසිකලය උඩට තල්ලු කෙරුවා. කන්දෙන් පහලට බහිද්දී එයාත් බයිසිකලයේ ඉඳගෙන පහලට ගියා. මුලදී සේවයේ යන එක අභියෝගයක් වුණත් පස්සේ ඒක ලොකු සතුටක් වුණා. කොච්චර සතුටු වුණාද කියනවා නම් 1998දී මම ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගත්තා.

මම හුඟක් බයිබල් පාඩම් කළා. ඒ අයගෙන් හතරදෙනෙක් බව්තීස්ම වුණා. මගේ නංගිත් සත්‍යය පිළිගත්තා. මානසිකව වැටිලා ඉන්න වෙලාවලදී මං සහනයක් ලැබුවේ මං බයිබල් පාඩම් කරපු අයගේ දියුණුව ගැන අහලා. මැලේරියාව හැදිලා හිටපු කාලේ අයිවරි කෝස්ට්වලින් ආව ලියුම ඒකට හොඳ උදාහරණයක්. ඒක එව්වේ කලින් බර්කිනා ෆාසෝවල හිටපු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. එයාට මම බයිබල් පාඩමක් කරලා තිබුණා. පස්සේ ඒක සහෝදරයෙක්ට භාර දුන්නා. දැන් එයා බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක්.

ආබාධිත අයට උගන්වන සංවිධානයකින් මං මහන්න ඉගෙනගත්තා. එක ගුරුවරියක් මං වැඩ කරන විදිහ දැකලා “අපි ඔයාට සබන් හදන්න උගන්වන්නං” කියලා කිව්වා. එයාලා මට සබන් හදන්න ඉගැන්නුවා. ඊටපස්සේ මම ගෙදර ඉඳන් සබන් හදන්න පටන්ගත්තා. ගොඩක් අය මගේ සබන්වලට කැමතියි. ඉතිං මං මගේ ස්කූටරෙන් ගෙවල්වලට ගිහින් සබන් විකුණුවා. ඒ විදිහට තමයි ජීවත් වෙන්න සල්ලි හොයාගත්තේ.

කොඳු ඇට පෙළේ තිබුණ ආබාධය වැඩි වුණ නිසා දුකෙන් වුණත් 2004දී පුරෝගාමි සේවය නැවැත්තුවා. කොහොමවුණත් දැන් මට පුළුවන් උපරිමයෙන් සේවයේ හවුල් වෙනවා.

හුඟක් අය කියන්නේ මගේ හිනාව දැක්කම එයාලාගේ හිතටත් සතුටක් දැනෙනවා කියලා. මට සතුටු වෙන්න ඕන තරම් හේතු තියෙනවා. මොකද දෙවිට ළං වීම මට යහපතක් වුණා.—සේරා මයිග.