Skip to content

පටුනට යන්න

 ජීවිත කතාව

තරුණ කාලේ ගත්ත තීරණය ගැන එයා කවදාවත් පසුතැවුණේ නැහැ

තරුණ කාලේ ගත්ත තීරණය ගැන එයා කවදාවත් පසුතැවුණේ නැහැ

මගේ ලොකු සීයාගේ නම නිකොලයි ඩුබවින්ස්කයි. එයා සෝවියට් දේශයේ දෙවිගේ සෙනඟගේ වැඩ තහනම් කරලා තිබුණු කාලෙදී දෙවිට විශ්වාසවන්තව සේවය කරපු කෙනෙක්. දුක, සතුට පිරුණු එයාගේ ජීවිත කතාව ජීවිතේ අන්තිම කාලෙදී එයා ලිව්වා. කොච්චර අමාරුකම්, අභියෝග තිබුණත් කලකිරිලා ඉන්නවා වෙනුවට එයා නිතරම ජීවිතේ දිහා සතුටින් බලපු කෙනෙක්. එයා කියපු දෙයක් තමයි එයාගේ ජීවිත කතාව තරුණ අයට කියන්න හරිම ආසයි කියලා. ඒ නිසා මං ඒ කතාව ඔයාලට කියන්නම්. සීයා ඉපදුණේ 1926 යුක්රේනයේ ගම්බද පළාතක.

සත්‍යය ලැබුණු විදිහ

සීයා එයාගේ කතාව පටන්ගන්නේ මෙහෙමයි. “1941 දවසක මගේ අයියා සාක්ෂිකරුවන්ගේ පොත් පත් වගයක් ගෙනාවා. ‘දෙවිගේ වීණාව,’ ‘යුග පිළිබඳ දිව්‍ය සැලැස්ම’ කියන පොත් 2ත් ‘මුරටැඹ’ ඇතුළු තවත් සඟරා කීපයකුත් ඒ අතර තිබුණා. මං ඒ ඔක්කොම කියෙව්වා. හැම ගැටලුවකටම වග කියන්න ඕන සාතන් මිසක් දෙවි නෙමෙයි කියලා දැනගද්දී මට පුදුම හිතුණා. ඒ පොත් පත් එක්ක මගේ ළඟ තිබුණු සුවිශේෂ පොත් 4ත් මං කියෙව්වා. එතකොට මට තේරුණා මට සත්‍යය ලැබුණා කියලා. මං උනන්දුවෙන් සත්‍යය ගැන අනිත් අය එක්කත් කතා කළා. ඒ පොත් දිගටම අධ්‍යයනය කරද්දී සත්‍යය ගැන හොඳ අවබෝධයක් ලැබුණා වගේම යෙහෝවා දෙවිගේ සේවකයෙක් වෙන්නත් ලොකු ආසාවක් ඇති වුණා.

“මගේ විශ්වාසයන් නිසා ඉස්සරහට හුඟක් පීඩාවන්ට මුහුණ දෙන්න වෙයි කියලා මං දැනගෙන හිටියා. ඒක යුද්ධ කාලයක්. ඒත් හමුදාවට බැදෙන්නේ නැහැ කියලා මං තීරණයක් ගත්තා. ඉස්සරහට එන පීඩාවලට මුහුණ දෙන්න සූදානමක් විදිහට මං මතෙව් 10:28 සහ 26:52 කියන බයිබල් පද හොඳින් මතක තියාගත්තා. මැරෙන්න සිද්ධ වුණත් දිගටම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉන්නයි මට ඕන වුණේ.

“එතකොට මට අවුරුදු 18 පිරුණා විතරයි. 1944දී හමුදා සේවයට මාව කැඳවලා තිබුණා. කැඳවපු අය අතරේ අපේ සහෝදරයොත් හිටියා. මුල්ම වතාවට මට සහෝදරයන්ව හම්බ වුණේ එදායි. අපි හමුදාවේ බලධාරීන්ට කිව්වා යුද්දෙට හවුල් වෙන්න අපිට බැහැ කියලා. එතකොට හාමතේ තියෙනවා, කානු කපන්න දානවා නැත්නම් වෙඩි තියලා මරලා දානවා කියලා ඒ අය අපිට තර්ජනය කළා. ‘අපි දැන් ඉන්නේ ඔයගොල්ලන් යටතේ. ඒ නිසා කැමති දෙයක් ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. ඒත් “මිනී නොමරන්න” කියලා දෙවි දීලා තියෙන ආඥාව කඩ කරන්න නම් අපිට බැහැ’ කියලා අපි බය නැතුව කිව්වා.—නික්. 20:13.

“මාවත් සහෝදරයන් දෙන්නෙක්වත් බෙලෝරුසියාවට යැව්වා. අපිට පැවරිලා තිබුණේ වතුපිටිවල වැඩයි, කැඩුණු ගෙවල් අලුත්වැඩියා කරන වැඩයි. පිච්චුණු ගස්, තැනින් තැන වැටිලා තිබුණු මළ මිනී, මැරිලා ඉදිමිලා තිබුණු අශ්වයන්ගේ සිරුරු, අතහැරලා දාලා ගිය ට්‍රැක්ටර්, කාල තුවක්කු, ගුවන් යානාවල සුන්බුන් මං දැක්කා. දෙවිගේ ආඥා කඩ කරද්දී ලැබෙන ප්‍රතිඵල මගේ ඇස් ඉදිරිපිටම තිබුණා.

“1945දී යුද්දේ ඉවර වුණත් හමුදාවට බැඳුණේ නැති වරදට අපිට අවුරුදු 10ක සිරදඬුවමක් නියම කළා. හිරගෙදර ගත කරපු පළවෙනි අවුරුදු 3දී අපිට රැස්වීම්  තියන්නවත් කිසිම ප්‍රකාශනයක්වත් ලැබුණේ නැහැ. සහෝදරියන් කීපදෙනෙක් එක්ක ලිපි මගින් පණිවිඩ හුවමාරු කරගත්තත් පස්සේ ඒ අයවත් අත්අඩංගුවට ගත්තා. අවුරුදු 25ක සිරදඬුවමක් නියම කරලා බර වැඩ සහිත කඳවුරකට ඒ අයව යැව්වා.

“සම්පූර්ණ දඬුවම් කාලේ ඉවර වෙන්න කලින් 1950දී අපිට සමාව ලැබුණු නිසා මං ආයෙත් ගෙදර ආවා. මං හිරේ ඉන්න කාලෙදී මගේ අම්මායි නංගියි සාක්ෂිකරුවන් වෙලා. අයියලා තුන්දෙනත් බයිබලේ පාඩම් කරමින් හිටියා. මං අත් නෑර දේශනා සේවයේ හවුල් වුණු නිසා සෝවියට් ආරක්ෂක බලධාරීන්ට ඕන වුණා මාව ආයෙත් හිරේට දාන්න. ඒ නිසා මූලිකත්වය අරන් වැඩ කරපු සහෝදරයන් මට කිව්වා රහසිගතව අපේ ප්‍රකාශන මුද්‍රණය කරන වැඩවලට හවුල් වෙන්න කියලා. එතකොට මට වයස 24යි.”

රහසින් කරගෙන ගිය මුද්‍රණ වැඩ

“දේවරාජ්‍යයේ වැඩකටයුතු තහනම් කළොත් හොර රහසින් හරි ඒවා කරගෙන යන්න ඕනෙ කියන අදහසින් තමයි සහෝදරයන් හිටියේ. (හිතෝ. 28:28) ඒ කාලේ අපේ ප්‍රකාශනවලින් වැඩි හරියක්ම මුද්‍රණය කළේ පොළොවේ යට ඉදි කරලා තිබුණු තැන්වල රහසින්. මමත් මුල් කාලේ මුද්‍රණ වැඩ කළේ මගේ අයියාගේ ගෙදර පොළොවේ යට හදලා තිබුණු බංකරේක. සමහර වෙලාවට මං සති 2ක් එක දිගට බංකරේට වෙලා වැඩ කරනවා. ඒ කාමරේ තිබුණු ලාම්පුවේ භූමිතෙල් තියෙද්දීත් ඒක නිමුණොත් මං දැනගන්නවා කාමරේ ඔක්සිජන් අඩු වෙලා කියලා. ඒ වෙලාවට මං කරන්නේ ලාම්පුව පත්තු නොකර කාමරේ හොඳ වාතයෙන් පිරෙන කල් ටික වෙලාවක් බිම දිගා වෙලා ඉන්න එකයි.

නිකොලයි මුද්‍රණ වැඩ කරපු බංකරේ දළසටහනක්

“දවසක් මාත් එක්ක වැඩ කරපු සහෝදරයෙක් ඇහුවා ‘නිකොලයි ඔයා බව්තීස්ම වෙලාද’ කියලා. අවුරුදු 11ක් තිස්සේ මං යෙහෝවා දෙවිට සේවය කරමින් හිටියත් බව්තීස්ම වෙලා හිටියේ නැහැ. එයා එදා රෑම මාත් එක්ක ඒ ගැන සාකච්ඡා කළා. ලස්සන වැවක බව්තීස්ම වෙද්දී මට වයස 26යි. ඊට අවුරුදු 3කට පස්සේ මට තවත් වගකීමක් ලැබුණා.  ඒ දේශීය කමිටුවේ සාමාජිකයෙක් විදිහට සේවය කරන්න. වගකීම් දරන සහෝදරයන්ව අත්අඩංගුවට ගත්තම නිදහසේ හිටපු සහෝදරයන් ඒ වගකීම් භාරගත්තා. ඒ නිසා දේවරාජ්‍යයේ වැඩකටයුතු නවත්තන්නේ නැතුව කරගෙන යන්න පුළුවන් වුණා.”

අභියෝග පිරුණු කාලයක්

“පොළොව යට රහසින් මුද්‍රණ වැඩ කරන එක හිරගෙදර ඉන්නවට වඩා අමාරුයි. රජයේ ආරක්ෂක නිලධාරීන්ට අහු නොවී දිගටම වැඩ කරගෙන යන්න ඕන නිසා මට අවුරුදු 7ක් විතර රැස්වීම්වලට යන්න බැරි වුණා. දෙවි එක්ක තියෙන බැඳීම දුර්වල නොවී තියාගන්න ඒ අවුරුදු ගාණ පුරාම මට තනියම දේවල් කරන්න සිද්ධ වුණා. පවුලේ අයව හම්බ වෙන්න ලැබුණෙත් කලාතුරකින්. හැම වෙලාවෙම හරිම විමසිල්ලෙන් දේවල් කරන්න වුණු නිසා මට දැනුණේ ලොකු පීඩනයක්. ඕනම වෙලාවක ඕනම දේකට මුහුණ දෙන්න අපි හිටියේ සූදානමින්. දවසක් මං හිටපු ගෙදරට පොලිස් නිලධාරීන් දෙන්නෙක් ආවා. මං ඉක්මනින්ම පිටිපස්සේ ජනෙලෙන් පැනලා කැලේට දිව්වා. කැලෙන් එළියට මතු වෙද්දී විසිල් ගහනවා වගේ සද්ද මට ඇහුණා. ඒ වෙඩි උණ්ඩ මාව පහු කරගෙන යන සද්දේ කියලා මට තේරුණේ ටික වෙලාවකට පස්සේ. එක පොලිස් භටයෙක් අස්සයෙක් පිටේ නැඟලා තුවක්කුවේ උණ්ඩ ඉවර වෙන කල් වෙඩි තියතිය මගේ පස්සෙන් ආවා. එකක් මගේ අතටත් වැදුණා. අන්තිමේදී කි.මී. 5ක් විතර දුවලා කැලෑවකට රිංගලයි මං බේරුණේ. පස්සේ කාලෙක තියපු නඩු විභාගෙදී මං දැනගත්තා එදා මගේ දිහාට වෙඩි පහරවල් 32ක්ම තියලා කියලා.

“වැඩි කාලයක් පොළොව යට ගත කරපු නිසා මගේ පෙනුම හරිම මලානික වෙලා තිබුණා. මාව දැක්කම ඕන කෙනෙක්ට තේරුණා මං රහසිගත වැඩක් කරන කෙනෙක් කියලා. ඒ නිසා මං පුළුවන් හැම වෙලාවකම හිරු එළිය වදින්න එළිමහනේ හිටියා. පොළොවේ යට ගත කරපු කාලෙදී මගේ සෞඛ්‍යයත් දුර්වල වුණා. දවසක් නහයෙන්, කටෙන් ලේ ගලන්න පටන්ගත්ත නිසා සහෝදරයන් එක්ක තිබුණු වැදගත් රැස්වීමකට යන්නත් මට බැරි වුණා.”

අත්අඩංගුවට ගනියි

1963දී මොඩ්විනියාවේ හිරකඳවුරේ

“1957 ජනවාරි 26වෙනිදා මාව අත්අඩංගුවට ගත්තා. ඊට මාස 6කට පස්සේ යුක්රේනයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මට මරණ දණ්ඩනය නියම කළා. ඒ වෙඩි තියලා මරලා දාන්න. ඒත් රටේ ඒ වෙනකොට මරණ දණ්ඩනය තහනම් කරලා තිබුණු නිසා මගේ දඬුවම අවුරුදු 25ක සිරදඬුවමක් විදිහට වෙනස් කළා. අපි අටදෙනෙකුට ඒ දඬුවම ලැබුණා. අපිව යැව්වේ මොඩ්විනියාවල තිබුණු හිරකඳවුරුවලටයි.  ඒවාවල සාක්ෂිකරුවන් 500ක් විතර හිටියා. කඳවුරේදී අපි රහසින් පොඩි පොඩි කණ්ඩායම් විදිහට රැස් වෙලා ‘මුරටැඹ’ සාකච්ඡා කළා. අපි ළඟ තිබුණු සඟරා කීපයක් හොයාගත්ත ආරක්ෂක නිලධාරියෙක් ඒවා පරීක්ෂා කරලා මෙහෙම කිව්වා. ‘ඔයාලා මේ සඟරා දිගටම කියෙව්වොත් මොනවා කරලවත් ඔයාලගේ විශ්වාසය බිඳින්න බැරි වෙයි.’ හිරගෙදරදී අපිට වැඩ කරන්න තිබුණු පැය ගාණ අපි මහන්සි වෙලා වැඩ කළා. සමහර වෙලාවට වැඩියෙනුත් වැඩ කළා. ඒත් කඳවුරේ ප්‍රධානියා හැම වෙලේම කිව්වේ ‘ඔයාලා මෙහෙ කොච්චර වැඩ කරත් අපිට වැඩක් නැහැ. අපිට ඕනෙ ඔයාලා මේ රටට, ජාතියට පක්ෂපාත වෙනවා දකින්නයි’ කියලා.”

“හිරගෙදරදී අපිට වැඩ කරන්න තිබුණු පැය ගාණ අපි මහන්සි වෙලා වැඩ කළා. සමහර වෙලාවට වැඩියෙනුත් වැඩ කළා”

සීයාගේ විශ්වාසය නම් අඩු වුණේ නැහැ

වෙලිකියේ ලුකිවල නමස්කාර මධ්‍යස්ථානය

1967දී කඳවුරෙන් නිදහස් වුණාට පස්සේ සීයා එස්තෝනියාවේ සහ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්වල තිබුණු සභාවල වැඩකටයුතු සංවිධානය කරන්න උදව් කළා. වරදක් කරලා තියෙනවා කියලා ඔප්පු කරන්න තරම් සාක්ෂි නැති නිසා 1957දී එයාලට විරුද්ධව දීපු තීන්දුව වැරදි එකක් කියලා 1991දී දැනුම් දුන්නා. ඒ කාලේ නිලධාරීන්ගේ කෲර වධ හිංසාවලට ලක් වුණු හුඟක් සාක්ෂිකරුවන්ව චෝදනාවලින් නිදහස් කළා. ශාන්ත පීටර්ස්බර්ග් ඉඳන් කි.මී. 500ක් විතර එහායින් තියෙන වෙලිකියේ ලුකිවලට සීයා පදිංචියට ගියේ 1996දී. එයා එහේ පොඩි ගෙයක් ගත්තා. 2003දී ඒ ඉඩමේ නමස්කාර මධ්‍යස්ථානයක් හැදුවා. අද ඒක සභා 2ක් පාවිච්චි කරනවා.

මමයි මගේ සැමියායි සේවය කරන්නේ රුසියාවේ තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ. සීයා මිය යන්න මාස කීපයකට කලින් 2011 මාර්තු මාසේදී අපිව බලන්න ආවා. එදා එයා මේ වචන කියද්දී එයාගේ ඇස් දීප්තියෙන් බැබළුණා මට මතකයි. “පේන්න තියෙන හැම දෙයක් දිහාම බලපුවම මට කියන්න පුළුවන් හත්වන දවසේ යෙරිකෝව වටේ යන ගමන පටන් අරන් කියලා.” (යොෂු. 6:15) ඒ වෙද්දී එයාට වයස 85යි. ජීවිතේ මොන තරම් දුක් ගැහැට තිබුණත් ගෙවුණු අතීතය ගැන සීයා කිව්වේ මෙහෙමයි. “තරුණ කාලේ යෙහෝවා දෙවිට සේවය කරන්න තීරණ කරපු එක ගැන මං හුඟක් සතුටු වෙනවා. ඒ තීරණය ගැන කවදාවත් පසුතැවෙන්නේ නැහැ.”