Skip to content

පටුනට යන්න

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - රුසියාවේදී

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - රුසියාවේදී

1991 වසර රුසියාවේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට නම් අමතක වෙන්නේ නැහැ. මොකද ඒ අවුරුද්දේ තමයි සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතුවලට තිබුණු තහනම ඉවත් වුණේ. සාක්ෂිකරුවන්ගේ ගණන දහ ගුණයකින් වැඩි වෙලා 1,70,000ක් දක්වා වර්ධනය වෙයි කියලා නම් එදා හිටපු අය හිතන්නවත් නැතුව ඇති. ඒ වර්ධනයට දායක වුණු අය අතරේ වෙනත් රටවල්වලින් ආපු අයත් හිටියා. (මතෙ. 9:37, 38) අපි දැන් ඒ කීපදෙනෙක්ගේ අද්දැකීම් බලමු.

කැමැත්තෙන් ඉදිරිපත් වුණු සහෝදරයෝ

1991දී මැතිව්ගේ වයස අවුරුදු 28යි. ඔහු ජීවත් වුණේ බ්‍රිතාන්‍යයේ. නැඟෙනහිර යුරෝපයේ සභාවල සහෝදරයන්ගේ ලොකු අවශ්‍යතාවක් තියෙනවා කියලා ඒ අවුරුද්දේ පවත්වපු සමුළුවකදී ඔහුට අහන්න ලැබුණා. උදාහරණයකට දේශනය දීපු සහෝදරයා රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්වල තියෙන සභාවක් ගැන කිව්වා. ඒකෙ ප්‍රචාරකයන් බයිබල් පාඩම් සිය ගණනක් පැවැත්තුවත් සභාව බලාගන්න ඉන්නේ එක සහායක සේවකයෙක් විතරයි කියලා ඔහු කිව්වා. ඒ දේශනය ඇහුවාට පස්සේ දැනුණු දේ ගැන මැතිව් මෙහෙම කිව්වා. “ඒක ඇහුවට පස්සේ මටත් රුසියාවට යන්න ඕන වුණා. මං ඒ ගැන කියලා යෙහෝවා දෙවිට යාච්ඤා කළා.” මැතිව් සල්ලි ටිකක් ඉතුරු කරගත්තා. එයා ළඟ තිබුණු ගොඩක් දේවල් විකුණුවා. 1992දී රුසියාවට ගිය ඔහුට එහේ ජීවත් වෙන එක ලේසි වුණාද?

මැතිව්

ඒ ගැන මැතිව් කිව්වේ මෙහෙමයි. “භාෂාව මට ලොකු අභියෝගයක් වුණා. ඒ නිසා අනිත් අයට බයිබලය කියලා දෙන එක ලේසි වුණේ නැහැ.” මැතිව්ට තිබුණු අනිත් ප්‍රශ්නය ගැන ඔහු මෙහෙම කිව්වා. “මං කීපාරක් ගෙවල් මාරු කරලා තියෙනවාද කියලා මටම මතක නැහැ. සමහර වෙලාවට අයිතිකාරයා ගේ ඉල්ලපු ගමන්ම යන්න වෙනවා.” ඒත් ඔහු කිව්වේ “මං මගේ ජීවිතේ ගත්ත හොඳම තීරණය තමයි රුසියාවට ගිය එක. එහේ සේවය කරද්දී මම වැඩි වැඩියෙන් දෙවි මත රඳා ඉන්න ඉගෙනගත්තා. ගොඩක් පැතිවලින් යෙහෝවා දෙවි මට මඟ පෙන්වන විදිහ මං අද්දැක්කා” කියලයි. කාලයක් ගියාට පස්සේ වැඩිමහල්ලෙක් සහ විශේෂ පුරෝගාමියෙක් විදිහට සේවය කරපු මැතිව් දැන් ඒ රටේ ශාඛා කාර්යාලයේ සේවය කරනවා.

ජපානයේ ජීවත් වුණු හීරෝ දේවසේවා පුහුණු පාසැලේ පුහුණුව ඉවර කළේ 1999දියි. එතකොට ඔහුට අවුරුදු 25යි. ඒ පාසැලේ උපදේශකයෙක් වෙනත් රටකට ගිහින් සේවය කරන්න කියලා ඔහුට උනන්දු කළා. රුසියාවේ ලොකු  අවශ්‍යතාවක් තියෙනවා කියලා හීරෝට දැනගන්න ලැබුණු නිසා ඔහු ඒ භාෂාව ඉගෙනගන්න පටන්ගත්තා. ඒ වගේම ඔහු කරපු තවත් දෙයක් ගැන මෙහෙම කිව්වා. “මං අහලා තිබුණා රුසියාවේ ශීත කාලය ගොඩක් දරුණුයි කියලා. ඒ නිසා සීතල දරාගන්න පුළුවන් වෙයිද කියලා බලන්න ශීත කාලයේදී මං රුසියාවට ගියා.” මාස 6කට පස්සේ නැවතත් ඔහු ජපානයට ගිහින් ගොඩක් සරල ජීවිතයක් ගත කළා. එහෙම කළේ සල්ලි ටිකක් ඉතුරු කරගෙන ආයිත් රුසියාවට ගිහින් දිගටම සේවය කරන්නයි.

හීරෝ සහ ස්වෙට්ලානා

මේ වෙනකොට හීරෝ රුසියාවේ සභා කීපයකම අවුරුදු 12ක් පුරා සේවය කරලා තියෙනවා. එක කාලයකදී වැඩිමහල්ලෙක් හැටියට ප්‍රචාරකයන් 100කට වඩා හිටපු සභාවක් තනිවම බලාගත්තා. තවත් සභාවක සේවා පාසැල සහ ‘මුරටැඹ’ පාඩම මෙහෙයවන්නත් සේවා රැස්වීමේ කොටස් බොහොමයක් කරන්නත් පොත් පාඩම් කණ්ඩායම් 5ක පාඩම් පවත්වන්නත් ඔහුට සිද්ධ වුණා. සභාවේ අයව දිරිගන්වන්නත් ඔහු ගියා. ඒ කාලය ගැන මතක් කරමින් හීරෝ මෙහෙම කියනවා. “සහෝදර සහෝදරියන්ට දෙවි එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න උදව් කරන්න පුළුවන් වුණු එක ගැන මට හරි සතුටුයි.” ඔහු ගත්ත තීරණය නිසා ලබපු ප්‍රයෝජන ගැන ඔහු මෙහෙම කිව්වා. “රුසියාවට යන්න කලිනුත් මං වැඩිමහල්ලෙක් හා පුරෝගාමියෙක් විදිහට සේවය කරලා තිබුණා. ඒත් මෙහේ ආවට පස්සේ මට දැනෙනවා මට දෙවිත් එක්ක තිබුණු බැඳීම තවත් අලුත් වෙලා කියලා. මං දැන් ඉස්සරට වඩා දෙවිව විශ්වාස කරලා වැඩ කරන්න පුරුදු වෙලා තියෙනවා.” 2005දී හීරෝ සහෝදරි ස්වෙට්ලානා එක්ක විවාහ වුණා. දැන් ඒ දෙන්නම එකතුවෙලා සතුටින් පුරෝගාමි සේවය කරනවා.

මයිකල් හා ඔල්ගා, මරීනා හා මැතිව් එක්ක

අවුරුදු 34ක් වයස මැතිව් හා 28ක් වයස ඔහුගේ මල්ලි මයිකල් ජීවත් වුණේ කැනඩාවේ. ඒ දෙන්නා රුසියාවට ගිය වෙලාවේ සත්‍යය ගැන උනන්දුවක් දක්වන හුඟදෙනෙක් රැස්වීම් එනවා දැක්කා. ඒත් ඒ අයට උදව් කරන්න හිටියේ සහෝදරයන් අතළොස්සක් විතරයි. ඒ ගැන මැතිව් මෙහෙම කියනවා. “මම ගිය රැස්වීමකට 200ක් විතර ඇවිල්ලා හිටියා. ඒත් රැස්වීමේ කොටස් කරන්න හිටියේ වයසක වැඩිමහල්ලෙකුයි තරුණ සහායක සේවකයෙකුයි විතරයි. ඒක දැක්කම මට හිතුණා ඒ අයට උදව් කරන්න යන්න ඕනේ කියලා.” ඔහු 2002දී රුසියාවට ගියා.

අවුරුදු 4කට පස්සේ මයිකලුත් රුසියාවට ගියා. ඒ වෙනකොටත් රුසියාවේ සහෝදරයන්ගේ ලොකු අවශ්‍යතාවක් තිබුණා. සහායක සේවකයෙක් වන මයිකල් සභාවේ ගිණුම්, පොත් පත් අංශය හා සේවය කරන ප්‍රදේශය බාරව වැඩ කළා. ඒ වගේම ලේකම් කරන වැඩකටයුතු කරන්නත් බයිබල් දේශන දෙන්නත් සමුළු සංවිධානය කරන්න සහාය වෙන්නත් නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන වැඩවලට උදව් වෙන්නත් ඔහුට සිද්ධ වුණා. අදටත් ඒ සභාවල සහෝදරයන්ගේ ලොකු අවශ්‍යතාවක් තියෙනවා. පැවරුම් කීපයක් එකවර කරන එක අමාරු කාර්යයක් වුණත් දැන් වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන මයිකල් මෙහෙම කියනවා. “සහෝදරයන්ට උපකාර කරන එකෙන් මං ලොකු තෘප්තියක් ලබනවා. කරන්න පුළුවන් හොඳම දේ ඒකයි.”

ටික කාලයකින් මැතිව් මරීනා එක්ක හා මයිකල් ඔල්ගා එක්ක විවාහ වුණා. අවශ්‍යතා ඇති සභාවලට ගිහින් සේවය කරන තවත් අයත් එක්ක එකතු වෙලා ඔවුනුත් දැන් සේවය කරනවා.

සේවයට උර දුන් සහෝදරියෝ

ටට්යානා

1994 වෙද්දී ටට්යානාට වයස අවුරුදු 16යි. යුක්රේනයේ තිබුණු එයාගේ සභාවට චෙක් ජනරජය, පෝලන්තය හා ස්ලොවැක් ජනරජයෙන් විශේෂ පුරෝගාමි සහෝදර සහෝදරියන් 6දෙනෙක් සේවය කරන්න ආවා. ටට්යානා ඒ අය ගැන මෙහෙම කිව්වා. “ඒ අය හරිම උනන්දුවෙන් සේවය කළා. හරිම කරුණාවන්තයි. ඕන කෙනෙක්ට ඕන වෙලාවක එයාලත් එක්ක කතා කරන්න පුළුවන්. බයිබලය ගැනත් ඒගොල්ලන්ට හොඳ දැනුමක් තිබුණා.” ඔවුන් දෙවි වෙනුවෙන් කරලා තියෙන පරිත්‍යාගවලට දෙවි ඔවුන්ට ආශීර්වාද කරලා තියෙන විදිහත් ඇය දැක්කා. ඇයටත් ඕන වුණේ කවදා හරි ඔවුන් වගේ වෙන්නයි.

ඔවුන්ගේ ආදර්ශයෙන් උනන්දුවක් ලබපු ටට්යානා ඉස්කෝලේ නිවාඩු කාලේදී යුක්රේනයේ හා බෙලෝරුසියාවේ මීට කලින් කවදාවත් සේවය කරලා නැති ප්‍රදේශවලට සේවය කරන්න ගියා. ඇය ඒ සේවයෙන් කොච්චර ප්‍රීතියක් ලැබුවාද කියනවා නම් කාලයක් යද්දී ඇය රුසියාවේ සේවය කරන්න යන්න තීරණය කළා. ඒ නිසා ඇය මුලින්ම කළේ සේවය කරන්න වෙනත් රටකින් රුසියාවට ඇවිල්ලා ඉන්න සහෝදරියක් එක්ක ටික කාලයක් නතර වුණ එකයි. ඒ අතරතුර  කාලයේදී පුරෝගාමි සේවය කරගෙන යන්න පුළුවන් රස්සාවක් හොයාගන්න ඇය මහන්සි වුණා. 2000දී රුසියාවට ගිය ටට්යානා මුහුණ දීපු අභියෝග මොනවාද?

ඒ ගැන ඇය මෙහෙම කියනවා. “මටම කියලා ගෙයක් කුලියට ගන්න වත්කමක් තිබුණේ නෑ. ඒ නිසා මං ගෙදරක කාමරයක් කුලියට ගත්තා. අනිත් අයත් එක්ක එක ගෙදරක ජීවත් වෙන එක ලේසි වුණේ නැහැ. මට සමහර වෙලාවට ආයේ ගෙදර යන්නත් හිතුණා. ඒත් මේ සේවය දිගටම කරන එකෙන් තියෙන ප්‍රයෝජන ගැන හිතන්න යෙහෝවා දෙවි මට උදව් කළා.” ටට්යානා දැන් මිෂනාරි කෙනෙක් විදිහට රුසියාවේ සේවය කරනවා. තමන් ගත්තු තීරණය නිසා ලබපු ආශීර්වාද ගැන ඇය මෙහෙම කියනවා. “වෙන රටක සේවය කරන්න ආපු එකෙන් මට ගොඩක් අද්දැකීම් ලැබුණා. ඒ විතරක් නෙමෙයි අලුත් යාළුවෝ හුඟදෙනෙකුත් හම්බ වුණා. මේ අවුරුදු කීපය තුළ මගේ විශ්වාසය ශක්තිමත් වුණු එක මට ඒ හැම දේටම වඩා වටිනවා.”

මසාකෝ

වයස අවුරුදු 50ක් විතර වෙන මසාකෝ හිටියේ ජපානයේ. ඇයට මිෂනාරි සේවය කරන්න ලොකු ආශාවක් තිබුණත් අසනීප නිසා ඒක කරන්න බැරි වුණා. ඒත් සෞඛ්‍යය ටිකක් හොඳ අතට හැරුණාම ඇය රුසියාවේ සේවය කරන්න ගියා. ඉන්න තැනක් හා ස්ථිර රැකියාවක් හොයාගන්න එක අමාරු වුණත් ඇය ජපන් භාෂාව උගන්වලා, පිරිසිදු කිරීමේ වැඩ කරලා ආදායමක් හොයාගත්තා. ඇයට දිගටම රුසියාවේ සේවය කරන්න උදව් වුණේ මොනවද?

අවුරුදු 14ක් පුරා සේවය කරන්න පුළුවන් වුණු හේතුව ගැන ඇය මෙහෙම කියනවා. “සේවය කරද්දි මං ගොඩක් අමාරුකම්වලට මුහුණ දුන්නා. ඒත් සේවයෙන් ලැබුණු සතුට එක්ක බලද්දි ඒවා මට ලොකු දේවල් නෙමෙයි. මම සේවය කරන්නේ ප්‍රචාරකයන්ගේ ලොකු අවශ්‍යතාවක් තියෙන ප්‍රදේශයක නිසා කරන්න ගොඩක් වැඩ තියෙනවා. පහුගිය අවුරුදු ගණනාව පුරාම මට කන්න, අඳින්න, ඉන්න තැනක් දීලා මාව බලාගත්තේ දෙවියි. ඒක දෙවි කරපු ආශ්චර්යයක් වගෙයි මට දැනෙන්නේ.” මසාකෝ රුසියාවේ විතරක් නෙමෙයි කිර්ගිස්තානයෙත් සේවය කරලා තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසි, චීන, වීගු වගේ භාෂා කතා කරන කණ්ඩායම්වලට උදව් කරන්නත් ඇයට පුළුවන් වෙලා තියෙනවා. දැන් ඇය පුරෝගාමියෙක් විදිහට සේවය කරන්නේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයෙයි.

උපකාර කරන පවුල්

ඉන්ගා හා මයිකේල්

සමහර පවුල් වෙන රටවල්වලට යන්නේ ඒ අයගේ ආර්ථිකය හදාගන්නයි. ඒත් ආබ්‍රහම් සාරා වගේ දෙවිගේ  කැමැත්ත වෙනුවෙන් තමන්ගේ රටවල් අත්හැරලා යන අයත් අපි අතර ඉන්නවා. (උත්. 12:1-9) මයිකේල් හා ඉන්ගා යුක්රේනයේ ජීවත් වුණු යුවළක්. 2003දී රුසියාවේ සේවය කරන්න ගිය ඔවුන්ට බයිබලය ගැන දැනගන්න ආසාවෙන් ඉන්න හුඟක් අයව හම්බ වුණා.

මයිකේල් මෙහෙම කියනවා. “කවදාවත් සේවය කරලා නැති ප්‍රදේශයකට අපි දවසක් ගියා. අපි ගෙදරකට ගියාම වයසක කෙනෙක් ඇවිල්ලා ඇහුවා ‘ඔයාලා දේශනා කරන අයද’ කියලා. අපි ඔව් කිව්වම ‘ඔයාලා කවදා හරි දවසක එයි කියලා මම දැනගෙන හිටියා. එහෙම වුණේ නැත්නම් යේසුස් කියපු වචන බොරු වෙනවනේ’ කියලා ඔහු කිව්වා. එහෙම කියලා ඔහු මතෙව් 24:14 තියෙන දේත් කිව්වා. අපිට ඒ ප්‍රදේශයේ බැප්ටිස් ආගමේ කාන්තාවන් 10දෙනෙක්වත් හම්බ වුණා. සත්‍යය ගැන ඔවුන්ට ලොකු උනන්දුවක් තිබුණා. ‘සදා ජීවනය’ පොතක් හම්බ වෙලා තිබුණු නිසා හැම සති අන්තයකම ඔවුන් ඒ පොතෙන් බයිබලය ගැන ඉගෙනගෙන තිබුණා. එදා අපි එයාලා අහපු ප්‍රශ්නවලට පැය ගාණක් උත්තර දුන්නා. ගීතිකාත් කිව්වා. අපි එහෙන් පිටත් වුණේ ඒ අයත් එක්ක කෑම වේලකුත් කාලයි. මට නම් ඒ ගමන කවදාවත් අමතක වෙන්නේ නැහැ.” අවශ්‍යතා වැඩි ප්‍රදේශවල සේවය කරන එකෙන් යෙහෝවා දෙවිට ළං වෙන්නත්, මිනිසුන්ට තියෙන ආදරය වැඩි කරගන්නත් පුළුවන් කියලා ඔවුන් කියනවා. ඒ වගේම ජීවිතයේ නියම තෘප්තිය ලබන්න පුළුවන් කියලත් ඔවුන් අද්දැකලා තියෙනවා. මයිකේල් හා ඉන්ගා දැන් චාරිකා සේවය කරනවා.

ඔක්සානා, ඇලෙක්සේ හා යූරී

යුක්රේනයේ ජීවත් වුණු යූරී හා ඔක්සානා අවුරුදු තිස් ගණන්වල පසු වෙන යුවළක්. ඒ දෙන්නට අවුරුදු 13ක් වයස ඇලෙක්සේ කියලා පුතෙකුත් ඉන්නවා. 2007 අවුරුද්දේ දවසක මේ තුන්දෙනා රුසියාවේ ශාඛා කාර්යාලය බලන්න ගියා. තවමත් රුසියාවේ දේශනා කරලා නැති ප්‍රදේශ ගොඩක් තියෙනවා කියලා එදා ඔවුන් සිතියමකින් දැක්කා. ඒ ගැන ඔක්සානා මෙහෙම කියනවා. “රුසියාවේ ප්‍රචාරකයන්ගේ ලොකු අවශ්‍යතාවක් තියෙනවා කියලා අපිට තේරුණා. එහෙට ගිහින් සේවය කරන්න අපි පෙලඹුණේ ඒ නිසයි.” ඒ තීරණය ගන්න එයාලට උදව් වුණු තවත් දෙයක් ගැන යූරී මෙහෙම කිව්වා. “අපේ සඟරාවල පල වුණු ‘විදේශීය ක්ෂේත්‍රයක සේවය කරන්න ඔබට පුළුවන්ද?’ වගේ ලිපි කියවපු එක අපිට ලොකු උදව්වක් වුණා. * ශාඛා කාර්යාලයෙන් යන්න කියපු ප්‍රදේශයට ගිහින් නවාතැනක් හා රැකියාවක් හොයාගන්න පුළුවන්ද කියලා අපි හොයලා බැලුවා.” 2008දී ඔවුන් රුසියාවට ගියා.

මුලින් රැකියාවක් හොයාගන්න එක ලේසි වුණේ නැහැ. ඔවුන්ට කීප සැරයක්ම ගෙවල් මාරු කරන්නත් වුණා. යූරී මෙහෙම කියනවා. “අපිට අධෛර්ය වෙන්නේ නැතුව ඉන්න උදව් කරන්න කියලා අපි නිතරම දෙවිට යාච්ඤා කළා. දෙවි ගැන විශ්වාසය තියලා අපි දිගටම සේවයේ ගියා. දේවරාජ්‍යයට මුල් තැන දෙද්දී දෙවි අපිව බලාගන්නවා කියන එක අපි අපේ ජීවිතයෙන්ම අද්දැක්කා. මේ සේවය නිසා අපේ පවුලේ තිබුණු බැඳීමත් ශක්තිමත් වුණා.” (මතෙ. 6:22, 33) ඔවුන්ගේ තීරණය ඇලෙක්සේට බලපාපු විදිහ ගැන ඔක්සානා මෙහෙම කියනවා. “පුතා අවුරුදු නවයේදී බව්තීස්ම වුණා. සේවය කරන අයගේ ලොකු අවශ්‍යතාවක් තියෙනවා කියලා එයාටත් දැනෙනවා. ඒ නිසා ඉස්කොලේ නිවාඩු කාලේදී එයා සහයක පුරෝගාමි සේවය කරනවා. සේවය කරන්න එයාට තියෙන උනන්දුවයි ආසාවයි දැක්කම අපිට හරි සතුටුයි.” දැන් යූරී හා ඔක්සානා විශේෂ පුරෝගාමින් විදිහට සේවය කරනවා.

“මං දුක් වෙන්නේ . . . ”

ඒ අද්දැකීම්වලින් පැහැදිලි වෙන්නේ අවශ්‍යතා වැඩි ප්‍රදේශයකට ගිහින් සේවය කරන්න නම් කෙනෙක්ට දෙවි ගැන ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ කියලයි. ඔවුන්ට ගොඩක් අභියෝගවලට මුහුණ දෙන්න වුණත් රාජ්‍ය පණිවිඩයට මිනිසුන් දක්වන උනන්දුව දැක්කම ඔවුන්ට දැනෙන ප්‍රීතිය කියලා නිම කරන්න බැහැ. ප්‍රචාරකයන්ගේ අවශ්‍යතාවක් තියෙන ප්‍රදේශයකට ගිහින් සේවය කරන්න ඔබටත් පුළුවන්ද? ඔබ එහෙම කරන්න තීරණය කරලා තියෙනවා නම් ඔබටත් වැඩි කාලයක් යන්න කලින් යූරීට හැඟුණා වගේ හැඟෙයි. ඔහු කිව්වේ මෙහෙමයි. “මං දුක් වෙන්නේ මේ තීරණය මං මීට කලින් ගත්තේ නැති එක ගැනයි.”

^ 20 ඡේ. 1999 ඔක්තෝබර් 15 ‘මුරටැඹ’ සඟරාවේ 23-27 දක්වා පිටු බලන්න.