Skip to content

පටුනට යන්න

ඔහු මිනිසුන්ට ආදරේ කළා

ඔහු මිනිසුන්ට ආදරේ කළා

“මා බොහෝ සෙයින් ප්‍රිය කළේ මනුෂ්‍ය පුත්‍රයන්ටයි.”—හිතෝ. 8:31.

1, 2. යේසුස්ට මිනිසුන් ගැන ලොකු ආදරයක් තියෙනවා කියලා ඔප්පු වුණේ කොහොමද?

යෙහෝවා දෙවිගේ කුලුඳුල් පුතා සහ “ප්‍රධාන සේවකයා” වන යේසුස් දෙවිට තියෙන ප්‍රඥාවට හොඳම සාක්ෂියයි. තමන්ගේ පියා ‘අහස පිහිටුවලා, පොළොවේ අත්තිවාරම් නියම කරපු වෙලාවේ’ ඔහුට මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද! ඒත් ඒ හැම එකකටම වඩා ඔහු “බොහෝ සෙයින් ප්‍රිය කළේ මනුෂ්‍ය පුත්‍රයන්ට.” (හිතෝ. 8:22-31) මිනිසුන්ව නිර්මාණය කරපු දා ඉඳන්ම යේසුස් ඔවුන්ට ආදරේ කළා.

2 මිනිසුන්ට තියෙන ආදරය වගේම තම පියාට තියෙන ආදරය, පක්ෂපාතකම මොන තරම්ද කියලා යේසුස් ඔප්පු කරපු අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ස්වර්ගය අත්හැරලා පොළොවේ ජීවත් වෙන්න ඔහු කැමැත්තෙන්ම ඉදිරිපත් වුණු අවස්ථාව. ඔහු පොළොවට ආවේ “බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි.” (මතෙ. 20:28; ෆිලි. 2:5-8) පොළොවේ ඉද්දී හුඟක් ආශ්චර්යයන් කරන්න දෙවි ඔහුට බලය දුන්නා. ඒ ආශ්චර්යයන්වලින් ඔහු මිනිසුන්ට කොච්චර ආදරේද කියලත් අනාගතයේදී ඔවුන් වෙනුවෙන් මොන තරම් දේවල් කරන්න බලාගෙන ඉන්නවද කියලත් පැහැදිලි වුණා.

3. අපි මේ ලිපියේ බලන්නේ මොනවා ගැනද?

3 පොළොවේදී යේසුස් “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය” දේශනා කළා. (ලූක් 4:43) දෙවිගේ නමට ඇති වෙලා තියෙන කැළැල නැති වෙන්නෙත් මිනිසුන් මුහුණ දෙන හැම ප්‍රශ්නයක්ම විසඳෙන්නෙත් දේවරාජ්‍යයෙන් විතරයි කියලා ඔහු දැනගෙන හිටියා. ඒ නිසයි ඔහු දේශනා සේවයට මුල් තැන දුන්නේ. දේශනා කරන අතරතුරේ ඔහු කරපු ආශ්චර්යයන් ගැන හොඳට කල්පනා කරද්දී ඔහු මිනිසුන් ගැන කොච්චර සැලකිල්ලක් දැක්කුවද කියලා තේරෙනවා. ඒක තේරුම්ගද්දී අනාගතය ගැන අපිට තියෙන බලාපොරොත්තුව තව ශක්තිමත් වෙනවා. දැන් අපි යේසුස් කරපු ආශ්චර්යයන් 4ක් ගැන බලමු.

‘දෙවිගේ බලය ඔහු තුළ ක්‍රියාත්මක වුණා’

4. යේසුස් ගලීලයේ දේශනා කරමින් ඉද්දී සිද්ධ වුණේ මොකක්ද?

4 මේ සිද්ධිය වුණේ යේසුස් ගලීලයේ දේශනා කරද්දී. එහේ නගරෙක ලාදුරු රෝගියෙක් හිටියා. (මාක් 1:39, 40) ඔහුගේ තත්වය කොච්චර දරුණුද කියනවා නම් ලූක් ඔහුව විස්තර කරන්නේ “මුළු ශරීරය පුරාම ලාදුරු රෝගය පැතිර තිබූ මිනිසෙක්” විදිහටයි. (ලූක් 5:12) ඔහු “යේසුස්ව දුටු විගස දණින් වැටී, ‘ස්වාමීනි, ඔබ කැමති නම් මාව පවිත්‍ර කරන්න ඔබට පුළුවන්’ කියා ඉතා බැගෑපත්ව පැවසුවේය.” තමන්ව සුව කරන්න යේසුස්ට බලය තියෙනවා කියලා ඔහු දැනගෙන හිටියා. ඒත් ඔහුට ඕන වුණේ ඒක කරන්න යේසුස් කැමතිද කියලා දැනගන්න. මොකද පරිසිවරු ලාදුරු රෝගීන්ට සලකපු විදිහ ඔහු අද්දැකලා තිබුණා. ඔහුට ඕන වුණේ යේසුත් ඔහුව හෙළා දකීද කියලා දැනගන්න. යේසුස්ට ඔහු ගැන හැඟුණේ කොහොමද? ඒ තරම් අන්ත අසරණ, අප්‍රසන්න තත්වයක හිටපු ඔහුට යේසුස් සැලකුවේ කොහොමද? ඒ වෙලාවේ ඔයා එතන හිටියා නම් ඔයා මොකද කරන්නේ?

5. යේසුස් ලාදුරු රෝගියාව සුව කරද්දී “මා කැමතියි” කියලා කිව්වේ ඇයි?

5 නීතියේ හැටියට නම් ඒ වෙලාවේ ඒ මිනිසා කරන්න ඕනෙ තමන් “අපවිත්‍රය, අපවිත්‍රය” කියලා කෑගහන එක. (ලෙවී. 13:43-46) ඔහු එහෙම කළේ නැහැ කියලා කේන්ති ගන්නවා වෙනුවට යේසුස් ඔහු හිටපු තත්වය ගැන සැලකිලිමත් වුණා. යේසුස්ට ඕන වුණේ ඔහුට උදව් කරන්න. යේසුස්ට ඔහු ගැන ලොකු දුකක්, අනුකම්පාවක් දැනුණා. යේසුස් ඔහු ළඟට ගිහින් ඔහුව ඇල්ලුවා. ඔහු කළේ වෙන කිසිම කෙනෙක් කරන්නේ නැති දෙයක්. ඔහුව අල්ලලා ලොකු දයානුකම්පාවකින් “මා කැමතියි. පවිත්‍ර වෙන්න” කියලා කිව්වා. “ඒ මොහොතේදීම ලාදුරු රෝගය සුව වී, ඔහු පවිත්‍ර වුණා.” (ලූක් 5:13) “යෙහෝවා දෙවිගේ බලය යේසුස් තුළ ක්‍රියාත්මක වුණු” නිසා ඒ ආශ්චර්යය කරන්නත් තමන්ගේ හිතේ මිනිසුන් ගැන තිබුණු ආදරේ පෙන්නන්නත් යේසුස්ට පුළුවන් වුණා.—ලූක් 5:17.

6. යේසුස්ගේ ආශ්චර්යයන්වල තියෙන විශේෂත්වය මොකක්ද? ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද?

6 දෙවි දුන්න බලය යොදාගෙන යේසුස් ලාදුරු රෝගීන්ව විතරක් නෙමෙයි තවත් හුඟක් රෝගීන්ව සුව කළා. “ගොළු මිනිසුන් කතා කරන බවද කොර වූ මිනිසුන් ඇවිදින බවද අන්ධ අයට පෙනීම ලැබී ඇති බවද දුටු සමූහයා විස්මයට පත් වුණා” කියලා බයිබලේ කියනවා. (මතෙ. 15:31) කෙනෙක්ව සුව කරන්න තවත් කෙනෙක් අවයවයක් පරිත්‍යාග කරන කල් බලාගෙන ඉන්න යේසුස්ට අවශ්‍ය වුණේ නැහැ. හානි වුණු ඕනෑම අවයවයක් ඒ වෙලාවේම සුව කරන්න යේසුස්ට බලය තිබුණා. තමන් හිටපු තැනට ඈතින් හිටපු අයව ඒ තැනට යන්නේ නැතුව වුණත් සුව කරන්න ඔහුට පුළුවන් වුණා. (යොහ. 4:46-54) යේසුස් කරපු ඒ පුදුමාකාර දේවලින් පැහැදිලි වෙන්නේ අසනීප සදහටම ඉවත් කරන්න අපේ රජ වන යේසුස්ට බලයත් ආසාවත් තියෙනවා කියන එකයි. ඔහු මිනිසුන්ට සලකපු විදිහ ගැන ඉගෙනගද්දී පාරාදීසයේදී ඔහු ‘අසරණ, දිලිඳු අයට අනුකම්පාවෙන්’ සලකනවා කියන දේ ගැන අපි තුළ තියෙන නිසැකකම තව වැඩි වෙනවා. (ගීතා. 72:13) ඒ කාලෙදී මිනිසුන්ගේ දුකට හේතු වෙන හැම දෙයක්ම අයින් කරන්න ඔහු ඉන්නේ හරිම කැමැත්තෙන්.

“නැඟිට, ඔබේ යහනත් රැගෙන ඇවිදින්න”

7, 8. ගලීලයේ ඉඳන් යුදයට ගිය ගමනේදී යේසුස් කළේ මොනවද?

7 ලාදුරු රෝගියාව සුව කරලා මාස කීපයක් ගත වෙලා තිබුණා. ගලීලයේ ඉඳන් දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරමින් ආපු යේසුස් මේ වෙනකොට හිටියේ යුදයේ. පණිවිඩයට ඇහුම්කන් දෙන්න දහස් ගාණකට අවස්ථාව ලැබුණා විතරක් නෙමෙයි ඔවුන් වෙනුවෙන් යේසුස්ගේ හිතේ තිබුණු ආදරයත් ඔවුන් අද්දැක්කා. දුප්පත්, අසරණ අයට සහනයක් වෙන්න, ඔවුන්ගේ ජීවිතවලට බලාපොරොත්තුවක් දෙන්න යේසුස්ට තිබුණේ ලොකු වුවමනාවක්.—යෙසා. 61:1, 2; ලූක් 4:18-21.

8 නීසාන් මාසය උදා වෙනවත් එක්කම පාස්කු උත්සවය පවත්වන්න යේසුස් යෙරුසලමට ආවා. උත්සවය පවත්වන්න ආපු මිනිසුන්ගෙන් නගරය පිරී ඉතිරී ගිහින්. මේ සිද්ධිය වෙනකොට යේසුස් හිටියේ දේවමාලිගාවේ බෙත්සාතා කියන පොකුණ ළඟ. ඔත්පළ වෙලා ඇවිදගන්න බැරුව හිටපු කෙනෙක්ව එතනදී ඔහුට මුණගැහෙනවා.

9, 10. (අ) මිනිසුන් බෙත්සාතා පොකුණ ළඟට ගියේ ඇයි? (ආ) පොකුණ අසලදී යේසුස් කළේ මොකක්ද? ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

9 බෙත්සාතා පොකුණ ළඟ තිබුණේ ලොකු තදබදයක්. පොකුණේ වතුර කැලඹෙන වෙලාවේ ඒකට බහින අයගේ අසනීප ආශ්චර්යයවත් විදිහට සුව වෙනවා කියලා මතයක් තිබුණු නිසා අසනීපෙන් හිටපු විශාල පිරිසක් පොකුණ අසල හිටියා. දුක් විඳිමින් හිටපු ඒ පිරිසට ඕන වුණේ කොහොමහරි පොකුණට බැහැලා තමන්ගේ අසනීපය හොඳ කරගන්න. ඒ වෙලාවේ එතන හිටපු අයගේ හැඟීම් ඔයාට තේරුම්ගන්න පුළුවන්ද? ඒත් කිසිම ලෙඩක් තිබුණේ නැති යේසුස්, ඒ වෙලාවේ එතන හිටියේ ඇයි? ඔහු එතනට ගියේ මිනිසුන්ට තිබුණු ආදරේ නිසයි. යේසුස් මේ පොළොවේ ජීවත් වුණාටත් වඩා වැඩි කාලයක් තිස්සේ ඔත්පළව හිටපු ඒ මිනිසාව ඔහුට මුණ ගැහෙන්නේ එතනදියි.—යොහන් 5:5-9 කියවන්න.

10 ‘සුව වෙන්න කැමතිද’ කියලා යේසුස් ඔහුගෙන් ඇහුවා. සුව වෙන්න ආසාවෙන් හිටියත් පොකුණට බහින්න තමන්ට උදව් කරන්න කවුරුත් නැහැ කියලා කියද්දී ඒ මිනිසාගේ මුහුණේ මොන තරම් අසරණකමක් තියෙන්න ඇද්ද! ඊටපස්සේ යේසුස්, හිතාගන්නවත් බැරි දෙයක් කරන්න කියලා ඔහුට කියනවා. යේසුස් කිව්වේ “නැඟිට, ඔබේ යහනත් රැගෙන ඇවිදින්න” කියලයි. කිව්ව විදිහටම ඔහු නැඟිටලා ඇවිදින්න පටන්ගත්තා. පාරාදීසයේදී යේසුස් මිනිසුන් වෙනුවෙන් කරන දේවලට ඒ ආශ්චර්යය හොඳ සාක්ෂියක්. යේසුස්ගේ හිතේ මිනිසුන් වෙනුවෙන් තියෙන ආදරයත් ඒ සිද්ධියෙන් පේනවා. උදව් ඕන කරන අයව හොයාගෙන ගිහින් ඒ අයට උදව් කරන්න යේසුස්ට තිබුණේ ලොකු වුවමනාවක්. අපි සේවය කරන ප්‍රදේශයේ ජීවත් වෙන, ලෝකෙ සිද්ධ වෙන නපුරු දේවල් නිසා දුකෙන් ඉන්න අයව අත් නෑර හොයන්න යේසුස්ගේ ආදර්ශය අපිව පොලඹවන්නේ නැද්ද?

“මාගේ වස්ත්‍රය ඇල්ලුවේ කවුද”

11. අසනීපයෙන් ඉන්න අය ගැන යේසුස් සැලකිලිමත් කියලා මාක් 5:25-34 සඳහන් සිද්ධියෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

11 මාක් 5:25-34 කියවන්න. ඇයට තිබුණේ කිසි කෙනෙකුට කියාගන්න බැරි ලෙඩක්. අවුරුදු 12ක් තිස්සේ ඒ ලෙඩේ ඇගේ මුළු ජීවිතේම අවුල් කරලා තිබුණා. හිතේ හැටියට දෙවිට නමස්කාර කරන්නත් ඒ ලෙඩේ ලොකු බාධාවක් වුණා. දන්න කියන හැම වෙදෙක් ළඟටම ගියත් තමන්ට තිබුණු සේසතම වියදම් කළත් අසනීපේ තවත් නරක අතට හැරුණා මිසක් හොඳ වුණේ නම් නැහැ. දවසක් ඇය තමන්ගේ ලෙඩේ සුව කරගන්න මීට කලින් නොගිය ගමනක් යනවා. ඒ යේසුස්ව හොයාගෙන. ඇය සෙනඟ මැදින් තෙරපි තෙරපී ගිහින් යේසුස්ගේ ඇඳුමින් අල්ලනවා. (ලෙවී. 15:19, 25) තමන්ගෙන් යම් ශක්තියක් පිට වුණා කියලා තේරුණු නිසා “මාගේ වස්ත්‍රය ඇල්ලුවේ කවුද” කියලා යේසුස් අහනවා. ඒ වෙලාවේ ඒ ස්ත්‍රිය “භයින් වෙවුලමින්” යේසුස් “ළඟට ඇවිත් දණින් වැටී, කිසිවක් නොසඟවා ඇත්ත කිව්වා.” යෙහෝවා දෙවි ඇයව සුව කරලා කියලා තේරුම්ගත්ත යේසුස්, කාරුණිකව ඇයට මෙහෙම කියනවා. “දුවේ, ඔබ සුව වුණේ ඔබ තුළ තිබෙන විශ්වාසය නිසයි. සමාදානයෙන් යන්න. ඔබේ බරපතළ රෝගය දැන් සුව වෙලා.”

අපි ගැනත් අපේ ප්‍රශ්න ගැනත් යේසුස් සැලකිලිමත් කියලා ඔහුගේ ආශ්චර්යයන්වලින් ඔප්පු වෙනවා (11 සහ 12 ඡේද බලන්න)

12. (අ) අපි ඉගෙනගත්ත තොරතුරුවලට අනුව යේසුස් මොන වගේ කෙනෙක් කියලද ඔයා හිතන්නේ? (ආ) යේසුස් අපිට තිබ්බේ මොන වගේ ආදර්ශයක්ද?

12 යේසුස් ලෙඩින් හිටපු අයට ආදරෙන් කතා කරපු විදිහ, කාරුණිකව සලකපු විදිහ ගැන හිතද්දී අපේ හිතේ ඔහු ගැන මොන තරම් ආදරයක් ඇති වෙනවද! අපේ කිසිම වටිනාකමක් නැහැ, අපිට කවුරුත් ආදරේ නැහැ කියන අදහස හැම තිස්සෙම අපේ ඔළුවට දාන්න හදන සාතන්ට වඩා යේසුස් කොච්චර වෙනස්ද! ඔහු කරපු ආශ්චර්යයන්වලින් පේන්නේ ඔහු අපි ගැනත් අපේ ප්‍රශ්න ගැනත් ඇත්තටම සැලකිලිමත් කියලා නේද? අපි වෙනුවෙන් ඒ වගේ රජෙක්, උත්තම පූජකයෙක් දුන්න එක ගැන අපි දෙවිට කොයි තරම් නම් ස්තුතිවන්ත වෙන්න ඕනෙද! (හෙබ්‍රෙ. 4:15) කාලයක් තිස්සේ යම් අසනීපයක් නිසා දුක් විඳින අයගේ හැඟීම් මොන වගේද කියලා තේරුම්ගන්න සමහරවිට අපිට අමාරුයි. ඒත් යේසුස් ගැන හිතන්න. කිසිම ලෙඩක් හැදුණේ නැති කෙනෙක් වුණත් අසනීපෙන් හිටපු අයට ඔහු මොන තරම් දයානුකම්පාවෙන් සැලකුවාද! අපිත් පුළුවන් උපරිමයෙන් ඔහුව ආදර්ශයට ගමු.—1 පේතෘ. 3:8.

“යේසුස්ගේ දෑස් කඳුළින් පිරී ගියා”

13. ලාසරුස්ව නැවත නැඟිටවපු සිද්ධියෙන් යේසුස් ගැන පැහැදිලි වෙන්නේ මොකක්ද?

13 අනිත් අය වේදනාවෙන් ඉන්නවා දකිද්දී යේසුස්ගේ හිතටත් ඒක දැනුණා. ලාසරුස් මැරුණු දුකට ඔහුගේ පවුලේ අය, යාළුවෝ ලොකු වේදනාවකින් ඉන්නවා දැකලා යේසුස්ටත් ‘මහත් ශෝකයක්, මහත් වේදනාවක්’ දැනුණා. (යොහන් 11:33-36 කියවන්න.) තමන් තව ටිකකින් ලාසරුස්ව නැවත නැඟිටුවනවා කියලා දැනගෙන හිටියත් දැනුණු වේදනාව නිසා ඔහුගේ “දෑස් කඳුළින් පිරී ගියා.” ඔහු ඒ කඳුළු සඟවන්න උත්සාහ කළේ නැහැ. ලාසරුස්ටත් ඔහුගේ පවුලේ අයටත් යේසුස්ගේ හිතේ තිබුණු ආදරය නිසා දෙවිගේ බලය යොදාගෙන ලාසරුස්ව නැවත නැඟිටුවන්න ඔහු පෙලඹුණා.—යොහ. 11:43, 44.

14, 15. (අ) දුක් වේදනාවන් නැති කරන්න දෙවිට ලොකු වුවමනාවක් තියෙනවා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද? (ආ) “සිහි වීම සඳහා සාදන ලද සොහොන් ගෙවල්” කියලා යේසුස් කියපු දෙයින් පැහැදිලි වෙන්නේ මොකක්ද?

14 යේසුස් ඔහුගේ පියා වගේමයි කියලා බයිබලේ කියනවා. (හෙබ්‍රෙ. 1:3) එහෙමනම් යේසුස් කරපු ආශ්චර්යයන්වලින් පේන්නේ අසනීප, වේදනාව, මරණය නැති කරලා දාන්න යෙහෝවා දෙවි ආසාවෙන් ඉන්නවා කියන දේ නේද? ළඟදීම යෙහෝවා දෙවිත් යේසුත් මිය ගිය මිලියන ගාණක්ව නැවත නැඟිටුවනවා. “සිහි වීම සඳහා සාදන ලද සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාටම” නැවත නැඟිටීමක් ලැබෙන “කාලය පැමිණෙනවා” කියලා යේසුස්ම කිව්වා.—යොහ. 5:28, 29 පාදසටහන.

15 “සිහි වීම සඳහා සාදන ලද සොහොන් ගෙවල්” කියලා යේසුස් කියපු දෙයින් පැහැදිලි වෙනවා මිය ගිය අයව කවුරු හරි මතකයේ තියාගෙන ඉන්නවා කියලා. මේ මුළු විශ්වයම නිර්මාණය කරපු, සියලුම බලය හිමි යෙහෝවා දෙවිට, ඔහු ආදරේ කරපු ඒත් දැන් ජීවතුන් අතරේ නැති අයව අමතක වෙයි කියලා ඔයා හිතනවද? ඒ අයගේ පෞද්ගලිකත්වයේ හැම පුංචි විස්තරයක්ම දෙවිට මතකයි. (යෙසා. 40:26) දෙවිට ඒ අයව මතක තියාගන්න පුළුවන් විතරක් නෙමෙයි මතක තියාගන්න ලොකු වුවමනාවකුත් ඔහුට තියෙනවා. ඒ අයව පාරාදීසයේදී අනිවාර්යයෙන්ම නැවත නැඟිටුවනවා කියන්න යේසුස් කරපු නැවත නැඟිටුවීම් හොඳ සාක්ෂියක්.

අපි ඉගෙනගන්න දේ

16. දෙවිගේ සේවකයන් වැඩිදෙනෙක්ට ලැබෙන්නේ මොන වරප්‍රසාදයද?

16 මහත් පීඩාවෙන් ගැලවෙන්න ලැබීම මෙතුවක් කාලේකට සිද්ධ වුණු, අනාගතයේ සිද්ධ වෙන්න තියෙන ශ්‍රේෂ්ඨතම ආශ්චර්යයන්වලින් එකක්. දිගටම දෙවිට විශ්වාසවන්තව හිටියොත් ඒ ආශ්චර්යය අද්දකින්න අපිටත් පුළුවන්. හර්–මගෙදොන් යුද්ධය ඉවර වෙනවත් එක්කම තව හුඟක් ආශ්චර්යයන් දකින්න අපිට අවස්ථාව ලැබෙනවා. ඒ කාලෙදී හැමෝටම ආයෙත් හොඳ ශරීර සෞඛ්‍යක් ලැබෙනවා. (යෙසා. 33:24; 35:5, 6; එළි. 21:4) එදාට මිනිසුන් ඔවුන්ගේ ඇස් කණ්ණාඩි, හැරමිටි, කිහිලිකරු, රෝද පුටු, ශ්‍රවණාධාර වීසි කරලා දාන හැටි ඔයාගේ හිතින් මවාගන්න පුළුවන්ද? එදාට හැමෝටම කරන්න හුඟක් වැඩ තියෙනවා. පොළොව ලස්සන පාරාදීසයක් කරන වගකීම තියෙන්නේ ඔවුන්ටයි. (ගීතා. 115:16) ඒ දේවල් කරන්න හොඳ ශරීර සෞඛ්‍යයක් ඔවුන්ට ඕනෙ කියලා දෙවි දන්නවා.

17, 18. (අ) යේසුස් ආශ්චර්යයන් කළේ ඇයි? (ආ) පාරාදීසයේ ජීවත් වෙන්න අවශ්‍ය සුදුසුකම් ලබාගන්න ඔයා දැන් උපරිම උත්සාහයක් ගන්න ඕනෙ ඇයි?

17 යේසුස් අසනීප අයව සුව කරපු අවස්ථා ගැන බයිබලෙන් කියවද්දී අපිට ලැබෙන්නේ ලොකු දිරිගැන්වීමක්. “මහත් සමූහයට” අයිති අය විදිහට අනාගතයේදී කිසිම ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. යේසුස්ගේ ආශ්චර්යයන් නිසා ඒ බලාපොරොත්තුව තවත් ශක්තිමත් වෙනවා. (එළි. 7:9) ඒ සිද්ධීන්වලින් යේසුස්ගේ හිතේ මිනිසුන් ගැන මොන තරම් ආදරයක් තියෙනවද කියලත් ඔප්පු වෙනවා. (යොහ. 10:11; 15:12, 13) ඔහු මිනිසුන් වෙනුවෙන් පෙන්නපු ඒ දයානුකම්පාව කියාපාන්නේ යෙහෝවා දෙවිගේ හිතේ තම සේවකයන් ගැන තියෙන ආදරේ නෙමෙයිද?—යොහ. 5:19.

18 දුක, වේදනාව, මරණය අද අස්සක් මුල්ලක් නෑර පැතිරිලා. (රෝම 8:22) පොළොව ඒ දේවල් නැති ලස්සන පාරාදීසයක් වෙන කල් අපි බලාගෙන ඉන්නේ ඒ නිසයි. පාපයේ බලපෑමෙන් නිදහස් වුණු කිසිම ලෙඩක් දුකක් නැති ජීවිතයක් දෙනවා කියලා දෙවි දුන්න පොරොන්දුව ඉටු වෙන දවසේදී මලාකි 4:2 කියන විදිහට “තර වස්සෙකු මෙන් සතුටින් දුව පැන යන්න” අපිට පුළුවන්. යෙහෝවා දෙවි වෙනුවෙන් හිතේ නැඟෙන අගය නිසාත් ඔහුගේ පොරොන්දු ගැන තියෙන විශ්වාසය නිසාත් පාරාදීසයේ ජීවත් වෙන්න අවශ්‍ය සුදුසුකම් ලබාගන්න ඕන කරන හැම දේම කරන්න අපි තුළ පෙලඹීමක් ඇති වෙන්නේ නැද්ද? අනාගතයේදී යේසුස්ගේ පාලනය යටතේ මිනිසුන්ට පාරාදීසයක සදාකල්, සතුටින් ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙනවා කියන දේට ඔහු කරපු ආශ්චර්යයන් සහතික නෙමෙයිද?