Skip to content

පටුනට යන්න

“කිංස්ලිට පුළුවන් නම් මටත් පුළුවන්”

“කිංස්ලිට පුළුවන් නම් මටත් පුළුවන්”

උරහිසට දුන්න පොඩි තට්ටුවකුත් එක්කම කිංස්ලි බයිබල් කියවීම පටන්ගත්තා. මේක සේවා පාසැලේ එයා කරපු පළවෙනි බයිබල් කියවීම. එයා පරෙස්සමින් එක අකුරක්වත් වරද්දන්නේ නැතුව ලස්සනට කියවගෙන ගියා. ඒත් හරි පුදුමයි! එයා කියෙව්වේ බයිබලේ දිහා බලන්නෙවත් නැතුවයි.

කිංස්ලි අන්ධ කෙනෙක්. එයා ජීවත් වුණේ ශ්‍රී ලංකාවේ. එයාගේ කන් ඇහෙන්නෙත් හරිම අඩුවෙන්. එහෙ මෙහෙ ගියේ රෝද පුටුවෙන්. ඒ වගේ කෙනෙක් කොහොමද යෙහෝවා දෙවි ගැන ඉගෙනගෙන සේවා පාසැලේ පැවරුමක් කළේ කියලා මං ඔයාලට කියන්නම්.

මට මුලින්ම කිංස්ලිව හම්බ වුණු දවස අද වගේ මතකයි. බයිබලේ තියෙන සත්‍යය දැනගන්න කිංස්ලිට තිබුණු උනන්දුව දැකලා මං පුදුම වුණා. එයා කලින් සාක්ෂිකරුවන් කීපදෙනෙක් එක්කම බයිබලේ සාකච්ඡා කරලා තිබුණා. ‘සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම’ පොතේ බ්රේල් පිටපතකුත් එයා ළඟ තිබුණා. * ඒක දැක්කම මට තේරුණා එයා ඒක සෑහෙන්න පාවිච්චි කරලා තියෙනවා කියලා. ආයේ පාඩමක් පටන්ගන්න කැමතිද කියලා ඇහුවම එයා ඒකට කැමති වුණා. ඒත් අපිට අභියෝග 2ක් තිබුණා.

පළවෙනි එක තමයි එයා හිටපු තැන. එයා හිටියේ මහලු සහ ආබාධිත අය ඉන්න නිවසක. එතන කට්ටියක් හිටපු නිසා සද්ද බද්ද ටිකක් වැඩියි. කිංස්ලිගේ කන් ඇහෙනවත් අඩු නිසා මට සිද්ධ වුණා ටිකක්  හයියෙන් කතා කරන්න. කොච්චර හයියෙන් කතා කළාද කියනවා නම් අපි පාඩම කරද්දී ඒක මහලු නිවාසේ හිටපු හැමෝටම වගේ ඇහුණා.

කිංස්ලිට එක වතාවකට කියවලා තේරුම්ගන්න පුළුවන් හරිම පොඩි ප්‍රමාණයක් විතරයි. ඒක තමයි දෙවෙනි අභියෝගය. පාඩම කරන වෙලාවේ පුළුවන් තරම් තොරතුරු ඉගෙනගන්න තිබුණු ආසාව නිසා එයා පාඩමට කලින්ම සූදානම් වෙන්න හුඟක් මහන්සි වුණා. පාඩමට කලින් අදාළ කොටස කීප වතාවක්ම කියවලා එයා ළඟ තිබුණු බ්රේල් බයිබලෙන් පදත් බැලුවා. ඊටපස්සේ ඡේදවල උත්තරත් මතක තියාගත්තා. එයාගේ මහන්සියට හොඳ ප්‍රතිඵල ලැබුණා. අපි පාඩම කරන්නේ පැදුරක වාඩි වෙලා. ඉගෙනගන්න දේවල් නිසා එයා කොච්චර සතුටු වුණාද කියනවා නම් එයා ඒවා විස්තර කළේ අතින් පැදුරට තට්ටු කරකර හයියෙන් කෑගහලා. වැඩි කල් යන්න කලින් අපි සතියට දෙපාරක්ම පාඩම කරන්න ගත්තා. එක පාඩමක් අපි පැය 2ක් විතර කළා.

රැස්වීම්වලට සහභාගි වුණු විදහ

කිංස්ලි සහ පෝල්

රැස්වීම්වලට එන්න කිංස්ලි හිටියේ හරිම ආසාවෙන්. ඒත් ඒක ලේසි දෙයක් නෙමෙයි. එයා ඉන්න තැනින් උස්සලා අරන් රෝද පුටුවෙන් තියන්නත් රෝද පුටුවෙන් අරන් කාර් එකේ වාඩි කරන්නත් කාර් එකෙන් අරන් ආයෙත් රෝද පුටුවේ තියලා නමස්කාර මධ්‍යස්ථානයට එක්කගෙන යන්නත් කිංස්ලිට අනිත් අයගේ උදව් ඕන වුණා. සහෝදරයෝ හරිම කැමැත්තෙන් එයාට උදව් කළා. රැස්වීම වෙලාවේදී පොඩි ස්පීකර් එකක් කිංස්ලි එයාගේ කන ගාවින්ම තියාගෙන රැස්වීමට හොඳට ඇහුම්කන් දුන්නා. උත්තරත් දුන්නා.

ටික කාලෙකින් කිංස්ලිට ඕන වුණා සේවා පාසැලේ ශිෂ්‍යයෙක් වෙන්න. පාසැලේ එයාගේ පළවෙනි බයිබල් කියවීමට සති 2කට කලින් මං එයාගෙන් ඇහුවා ඔයා ඒකට පුරුදු වුණාද කියලා. “ඔව්, මං තිස් පාරක් පුරුදු වුණා” කියලා එයා කිව්වා. මං එයාව අගය කරලා “එහෙමනම් මට ඇහෙන්න කියවන්නකෝ” කියලා කිව්වා. එතකොට එයා බ්රේල් බයිබලේ පෙරළලා අදාළ කොටසට ඇඟිලි තියාගෙන කියවන්න පටන්ගත්තා. ඒත් හොඳට බලද්දී මං දැක්කා එයා සාමාන්‍යයෙන් කියවද්දී කරනවා වගේ එයාගේ ඇඟිලි පිටුව හරහා ගියේ නැහැ කියලා. බලනකොට එයා මුළු කොටසම කටපාඩම් කරලා!

ඒක දැකලා මගේ ඇස්වලට කඳුළු ආවා. තිස් පාරක් කියවලා කොහොමද ඔයා ඒක කටපාඩම් කරගත්තේ කියලා ඇහුවම “තිස් පාරක් කිව්වේ දවසට තිස් පාරක්” කියලා එයා කිව්වා. මාසයක් තිස්සේ කිංස්ලි ඒ කොටස කටපාඩම් කරලා.

කිංස්ලිට පාසැලේ පැවරුම කරන්න තියෙන දවස උදා වුණා. කියවීම හොඳට කළාට පස්සේ මුළු සභාවම හයියෙන් අත්පුඩි ගැහුවා. මේ අලුත් ශිෂ්‍යයාගේ අධිෂ්ඨානය දැකලා හුඟක් අයගේ ඇස්වල කඳුළු පිරුණා. හිතේ තිබුණු බය නිසා සේවා පාසැලේ කතා දෙන්නේ නැතුව හිටපු සහෝදරියක් ආයෙත් පාසැලේ කතා දෙන්න කැමතියි කියලා කිව්වා. ඒ ඇයි දන්නවද? එයා කිව්වේ “කිංස්ලිට පුළුවන් නම් මටත් පුළුවන්” කියලයි.

අවුරුදු 3ක් බයිබල් පාඩම කළාට පස්සේ 2008 සැප්තැම්බර් 6වෙනිදා කිංස්ලි යෙහෝවා දෙවිට එයාගේ ජීවිතේ කැප කරලා බව්තීස්ම වුණා. එදා ඉඳන් 2014 මැයි 13වෙනිදා එයා මිය යන කල්ම දෙවිට විශ්වාසවන්තව සේවය කළා. පාරාදීසයේදී කිසිම ආබාධයක් නැතුව, හොඳ ශරීර සෞඛ්‍යයකින් දිගටම යෙහෝවා දෙවිට සේවය කරන්න තමන්ට පුළුවන් කියන දේ ගැන කිංස්ලිට කිසිම සැකයක් තිබුණේ නැහැ. (යෙසා. 35:5, 6)—පෝල් මැක්මැනස්.

^ 4 ඡේ. මේ පොත ප්‍රකාශයට පත් කළේ 1995. දැන් ඒක මුද්‍රණය කරන්නේ නැහැ.