Skip to content

පටුනට යන්න

ආදර්ශ යාච්ඤාවට එකඟව ජීවත් වෙමු - 1වෙනි කොටස

ආදර්ශ යාච්ඤාවට එකඟව ජීවත් වෙමු - 1වෙනි කොටස

“ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා!”—මතෙ. 6:9.

1. මතෙව් 6:9-13 තියෙන ආදර්ශ යාච්ඤාව අපි සේවයේදී යොදාගන්නේ කොහොමද?

මතෙව් 6:9-13 තියෙන ආදර්ශ යාච්ඤාව ගැන හුඟක් අය දන්නවා. දේවරාජ්‍යය සැබෑ ආණ්ඩුවක් කියලත් ඉදිරියේදී ඒ රාජ්‍යය මගින් මේ පොළොව පාරාදීසයක් කරනවා කියලත් පැහැදිලි කරලා දෙන්න ඔයාත් ඒ යාච්ඤාවේ තොරතුරු සේවයේදී යොදාගන්නවා ඇති. ඒ විතරක් නෙමෙයි දෙවිට නමක් තියෙනවා කියලත් ඒකට කැළැලක් වෙන කිසිම දෙයක් කරන්න හොඳ නැහැ කියලත් පෙන්නලා දෙන්න ඒ යාච්ඤාවේ තියෙන “ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා” කියන යෙදුම අපිට උදව් වෙනවා.—මතෙ. 6:9.

2. ආදර්ශ යාච්ඤාව කටපාඩමින් කියන්න ඕනෙ නැහැ කියලා අපි දන්නේ කොහොමද?

2 අද හුඟක් අය යේසුස්ගේ ආදර්ශ යාච්ඤාව කටපාඩම් කරගෙන යාච්ඤා කරන හැම වතාවකම ඒක කියනවා. යේසුස් ඒ යාච්ඤාව කියලා දුන්නේ එහෙම කරන්නද? නැහැ. ඒ යාච්ඤාව කියන්න කලින් යේසුස්ම කිව්වා ‘ඔබ යාච්ඤා කරන විට එකම දේ නැවත නැවතත් නොකියන්න’ කියලා. (මතෙ. 6:7) යාච්ඤාව ගැන ගෝලයන්ට කියලා දුන්න තවත් අවස්ථාවකදී යේසුස් ඒ යාච්ඤාව ආයෙත් කිව්වා. ඒත් ඒ වතාවේදී ඔහු ඒක කිව්වේ කලින් කියපු විදිහටම, ඒ වචනම පාවිච්චි කරලා නෙමෙයි. (ලූක් 11:1-4) ඒකෙන් තේරෙන්නේ යේසුස් ආදර්ශ යාච්ඤාව කිව්වේ අපේ යාච්ඤාවලට ඇතුල් කරන්න ඕන දේවල් ගැන උගන්වන්න කියලයි.

3. ආදර්ශ යාච්ඤාව අධ්‍යයනය කරද්දී ඔයාගෙන්ම අහලා බලන්න පුළුවන් මොන ප්‍රශ්නද?

3 අපි මේ ලිපියෙනුත් ඊළඟ ලිපියෙනුත් ආදර්ශ යාච්ඤාව ගැන හොඳින් අධ්‍යයනය කරනවා. එහෙම කරද්දී ‘දැන් කරනවට වඩා අර්ථවත් විදිහට යාච්ඤා කරන්න ආදර්ශ යාච්ඤාව මට උදව් වෙන්නේ කොහොමද’ කියලත් ‘මං ඒ යාච්ඤාවට එකඟව ජීවත් වෙනවද’ කියලත් හිතලා බලන්න.

“ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි”

4. “අපගේ පියාණෙනි” කියලා අමතද්දී අපිට මතක් කරන්නේ මොන කාරණයද? “අපගේ පියාණෙනි” කියලා යෙහෝවා දෙවිව අමතන්න පුළුවන් ඇයි?

4 යේසුස් යාච්ඤාව පටන්ගද්දී යෙහෝවා දෙවිව ඇමතුවේ “අපගේ පියාණෙනි” කියලා මිසක් “මගේ පියාණෙනි” කියලා නෙමෙයි. ඒකෙන් තේරෙන්නේ ලෝකෙ පුරාම ඉන්න සහෝදර සහෝදරියන් හැමෝගෙම ආදරණීය පියාණන් යෙහෝවා දෙවි කියන එකයි. (1 පේතෘ. 2:17) දෙවි තම බලය මාර්ගයෙන් අභිෂේක ලත් අයව තමන්ගේ පුත්‍රයන් විදිහට පිළිගෙන තියෙන නිසා ඔවුන් සහ දෙවි අතරේ දැනටමත් විශේෂ පිය පුතු බැඳීමක් තියෙනවා. (රෝම 8:15-17) පොළොවේ සදාකල් ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් දෙවිට “පියාණෙනි” කියලා අමතන්න පුළුවන්. මොකද ඔවුන්ට ජීවිතයත් අවශ්‍ය කරන හැම දේමත් දෙන්නේ ඔහුයි. ඒත් ඔවුන්ව “දෙවිගේ දරුවන්” විදිහට හරියටම හඳුන්වන්න පුළුවන් වෙන්නේ ඔවුන් පරිපූර්ණ පුද්ගලයන් වෙලා අවසන් පරීක්ෂණයේදී තමන්ගේ විශ්වාසවන්තකම ඔප්පු කළාට පස්සෙයි.—රෝම 8:21; එළි. 20:7, 8.

5, 6. දරුවන්ට දෙන්න පුළුවන් වටිනාම දායාදය මොකක්ද? එක් එක් දරුවාට තියෙන වගකීම මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

5 දෙමාපියන්ට තමන්ගේ දරුවන්ට දෙන්න පුළුවන් දායාදයක් තමයි යෙහෝවා දෙවි ඔවුන්ගේ ආදරණීය පියාණන් කියලා තේරුම්ගන්න උදව් කරන එක. ඒ වගේම දෙවි එක්ක යාච්ඤාවෙන් කතා කරන්න උගන්වන එක. දකුණු අප්‍රිකාවේ චාරිකා සේවකයෙක් මෙහෙම කියනවා. “මං වැඩකට ගෙදරින් පිට හිටපු දවසක ඇරෙන්න අපේ දුවලා දෙන්නා ඉපදුණු දා ඉඳන් හැමදාම රෑට මං ඒ දෙන්නා එක්ක යාච්ඤා කළා. ඒ යාච්ඤාවල කියපු දේවල් දැන් එයාලට මතක නැති වුණත් දෙවි එක්ක කතා කරපු ඒ වෙලාව දවසේ හොඳම වෙලාවයි කියලා එයාලා තාමත් කියනවා. ඒ වෙලාවේ ලොකු සැහැල්ලුවක් දැනුණු හැටි, දෙවිගේ ආරක්ෂාව තියෙනවා කියන හැඟීම ඇති වුණු හැටි එයාලට අදටත් මතකයි. දෙන්නා ටික ටික ලොකු වෙද්දී ශබ්ද නඟලා යාච්ඤා කරන්න කියලා මං එයාලට දිරිගැන්නුවා. ඒක මට උදව් වුණා එයාලාගේ හිතේ තියෙන දේවල් තේරුම්ගන්න. යේසුස්ගේ ආදර්ශ යාච්ඤාවේ තියෙන කාරණා ඇතුළත් කරලා එයාලගේ යාච්ඤා තව අර්ථවත් කරන්න පුළුවන් විදි කියලා දෙන්න ඒ නිසා මට පුළුවන් වුණා.”

6 වයසෙන් වැඩෙද්දී යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීම තව තවත් ශක්තිමත් කරගන්න ඒ දෙන්නට පුළුවන් වුණා. දැන් එයාලා විවාහ වෙලා පූර්ණකාලීනව දෙවිට සේවය කරනවා. යෙහෝවා දෙවි සැබෑ පුද්ගලයෙක් කියලත් ඔහුව හොඳම යාළුවා කරගන්න පුළුවන් කියලත් උගන්වන එක තරම් තමන්ගේ දරුවන් වෙනුවෙන් කරන්න පුළුවන් වටිනා දෙයක් දෙමාපියන්ට තියෙනවද? ඒත් දෙවි එක්ක තියෙන බැඳීම දිගටම ශක්තිමත්ව තියාගන්න වගකීම තියෙන්නේ එක් එක් දරුවාටයි.—ගීතා. 5:11, 12; 91:14.

“ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා!”

7. අපි ගෞරවයක් විදිහට සලකන්නේ මොකක්ද? ඒත් එක්කම අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

7 දෙවිගේ නම දැනගන්න ලැබීමත් ඔහුගේ නම දරන සෙනඟගෙන් කෙනෙක් වෙන්න ලැබීමත් අපිට ගෞරවයක්. (ක්‍රියා 15:14; යෙසා. 43:10) අපේ ආශාව දෙවිගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් වෙනවා දකින්නයි. ඒ නිසයි අපි “ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා” කියලා දෙවිට කන්නලව් කරන්නේ. ඒ ඉල්ලීම කරන අතරේ දෙවිගේ නමට කැළැලක් වෙන කිසිම දෙයක් නොකර ඉන්න අපිට උදව් කරන්න කියලත් දෙවිගෙන් ඉල්ලන්න අමතක කරන්න එපා. යම් දේවල් කරන්න කියලා අනිත් අයට උගන්වනවා මිසක් ඒක නොකරපු පළවෙනි සියවසේ හිටපු ක්‍රිස්තියානීන් වගේ වෙන්න නම් අපිට ඕනෙ නැහැ. පාවුල් ඒ අයට කිව්වේ “ඔබ කරන දේවල් නිසා ජාතීන් අතරේ දෙවිගේ නාමය අපහාසයට ලක් වී ඇත” කියලයි.—රෝම 2:21-24.

8, 9. දෙවිගේ නමට කැළැලක් වෙන කිසිම දෙයක් නොකර ඉන්න අදිටන් කරගෙන ඉන්න අයට දෙවි උදව් කරනවා කියලා අද්දැකීමෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

8 දෙවිගේ නමට කැළැලක් වෙන කිසිම දෙයක් නොකර ඉන්නයි අපිට ඕනේ. මේ අද්දැකීම බලන්න. නෝර්වේ රටේ ඉන්න සහෝදරියකගේ සැමියා හදිස්සියේ මිය ගිය නිසා අවුරුදු දෙකේ පුතාත් එක්ක එයා තනි වුණා. එයා මෙහෙම කියනවා. “ඒක ජීවිතේ අමාරුම කාලයක්. ඒ වෙලාවේ මෝඩ තීරණයක් අරන් දෙවිට අවිශ්වාසවන්ත වෙන විදිහේ දෙයක් මගේ අතින් වුණොත් සාතන් ඒක අතකොළුවක් කරගෙන දෙවිට නින්දා කරයි කියලා මං දැනං හිටියා. එහෙම නොවී ඉන්න උදව් කරන්න කියලා හැම දවසක් ගානේම මං දෙවිට යාච්ඤා කළා. මට ඕනෙ වුණේ දෙවිගේ නමට කැළැලක් වෙන කිසිම දෙයක් නොකර ඉන්නයි. ඒ වගේම මගේ පුතාට එයාගේ තාත්තාව පාරාදීසයේදී මුණගස්වන්නයි.”—හිතෝ. 27:11.

9 යෙහෝවා දෙවි එයාගේ යාච්ඤාවලට උත්තර දුන්නද? ඔව්. දිගටම විශ්වාසවන්තව ඉන්න සහෝදර සහෝදරියන් මාර්ගයෙන් යෙහෝවා දෙවි එයාට උදව් කළා. අවුරුදු 5කට පස්සේ එයා වැඩිමහල්ලෙක් එක්ක විවාහ වුණා. “පුතාව ඇතිදැඩි කරන්න මහත්තයාගෙන් මට හුඟක් උදව් ලැබුණා” කියලා ඒ සහෝදරිය කියනවා. දැන් එයාගේ පුතාට වයස 20යි. එයා බව්තීස්ම වුණු සහෝදරයෙක්.

10. තමන්ගේ නමට ඇති වෙලා තියෙන කැළැල දෙවි සම්පූර්ණයෙන්ම අයින් කරන්නේ කොහොමද?

10 දෙවිගේ නමට ඇති වෙලා තියෙන කැළැල සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්නේ යෙහෝවා දෙවිව පාලකයා විදිහට පිළිගන්නේ නැති, ඔහුට අගෞරව කරන හැම කෙනෙක්වම දෙවි මේ පොළොවෙන් අයින් කරලා දාන දවසටයි. (එසකියෙල් 38:22, 23 කියවන්න.) ඊටපස්සේ මිනිසුන් ක්‍රමානුකූලව පරිපූර්ණත්වයට පත් වෙනවා. ස්වර්ගයෙත් පොළොවෙත් ඉන්න හැමෝම එදාට වැඩ කරන්නේ දෙවිගේ නාමය ගෞරවයට පත් වෙන විදිහටයි. ඒ කාලෙදී අපේ ආදරණීය දෙවි “සියලුදෙනාගේම එකම පාලකයාණන් ලෙස කටයුතු කරයි.”—1 කොරි. 15:28.

“ඔබගේ රාජ්‍යය පැමිණේවා!”

11, 12. 1876දී යෙහෝවා දෙවි තමන්ගේ සේවකයන්ට උදව් කළේ මොන දේ තේරුම්ගන්නද?

11 යේසුස් ස්වර්ගයට යන්න කලින් “ස්වාමීනි, ඔබ ඊශ්‍රායෙල් දේශයට රාජ්‍යයක් ආපසු ලබා දෙන්නේ මේ කාලයේදීද” කියලා ගෝලයන් ඇහුවා. දේවරාජ්‍යයේ පාලනය ආරම්භ වෙන්නේ කවදාද කියලා ඔවුන්ට දැනගන්න කාලය ඒක නෙමෙයි කියලත් ඒ වෙලාවේ වැදගත්ම දේ දේශනා සේවයට අවධානය දෙන එකයි කියලත් යේසුස් ඔවුන්ට මතක් කළා. (ක්‍රියා 1:6-8 කියවන්න.) ඒ වුණත් දේවරාජ්‍යය පැමිණෙන කල් ආශාවෙන් බලාගෙන ඉන්න කියලත් ඒ ගැන දිගටම යාච්ඤා කරන්න කියලත් ඔහු ගෝලයන්ට කිව්වා. එදා ඉඳන් මේ වෙන කල් යේසුස්ගේ අනුගාමිකයන් දේවරාජ්‍යය පැමිණේවා කියලා යාච්ඤා කරන්නේ ඒ නිසයි.

12 ස්වර්ගයේ යේසුස්ගේ පාලනය ආරම්භ වෙන්න කිට්ටු වෙද්දී ඒක වෙන්නේ මොන අවුරුද්දේදීද කියලා තේරුම්ගන්න යෙහෝවා දෙවි තමන්ගේ සේවකයන්ට උදව් කළා. 1876දී චාල්ස් ටේස් රසල් “වෙනත් ජාතීන් සඳහා නියමිත කාලය නිම වන්නේ කවදාද” කියන මාතෘකාවෙන් ලිපියක් පළ කළා. ඔහු ඒ ලිපියේ දානියෙල් පොතේ සඳහන් “කාලවල් සත” ගැන තියෙන අනාවැකිය “ජාතීන් සඳහා නියමිත වූ කාලය” ගැන යේසුස් කියපු අනාවැකියට සමාන වෙන විදිහ පැහැදිලි කළා. ඒ කාලය අවසන් වෙන්නේ 1914දී කියලත් ඔහු ඒ ලිපියේ විස්තර කළා. *දානි. 4:16; ලූක් 21:24.

13. 1914දී සිද්ධ වුණේ මොකක්ද? 1914 ඉඳන් ලෝකෙ සිද්ධ වෙන දේවලින් පැහැදිලි වෙන්නේ මොකක්ද?

13 1914දී යුරෝපයෙන් ආරම්භ වුණු යුද්ධය මුළු ලෝකයටම පැතිරුණා. ඒ නිසා දරුණු සාගත ඇති වුණා. 1918දී යුද්ධය අවසන් වෙනවත් එක්කම පැතිරිලා ගිය මාරාන්තික උණ නිසා යුද්දෙන් මිය ගියාටත් වඩා වැඩි පිරිසක් මිය ගියා. ඒ හැම එකක්ම යේසුස් ස්වර්ගයේ පාලනය පටන්ගත්තා කියලා අඳුනගන්න දීපු ලකුණට අයිති දේවල්. යේසුස් 1914දී ස්වර්ගයේ රජ වුණා කියලා ඒ සිද්ධිවලින් හොඳින්ම පැහැදිලි වුණා. (මතෙ. 24:3-8; ලූක් 21:10, 11) ස්වර්ගයේ රජ වීමත් එක්කම ‘සම්පූර්ණ ජයග්‍රහණයක් අත් කරගැනීමට පිටත් වුණු ඔහු’ සාතන්වත් භූතයන්වත් පරාජය කරලා පොළොවට හෙළුවා. (එළි. 6:2) බයිබලේ සඳහන් මේ අනාවැකිය ඉටු වෙන්න පටන්ගත්තේ ඊටපස්සෙයි. “පොළොවටත් මුහුදටත් මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න සිදු වේද! මන්ද තමාට ඉතුරු වී ඇත්තේ ඉතා කෙටි කාල පරිච්ඡේදයක් බව දැන සිටින යක්ෂයා, මහත් කෝපයෙන් ඔබ වෙතට බැස ඇවිත් සිටියි.”—එළි. 12:7-12.

14. (අ) දේවරාජ්‍යය පැමිණේවා කියලා අපි තවමත් යාච්ඤා කරන්නේ ඇයි? (ආ) අපි මේ කාලේ කරන්න ඕනෙ වැදගත් කාර්යය මොකක්ද?

14 යේසුස් දේවරාජ්‍යයේ රජ වුණු කාලෙදීම වගේ පොළොවේ භයානක දේවල් සිද්ධ වෙන්න පටන්ගත්තේ ඇයි කියලා තේරුම්ගන්න එළිදරව් 12:7-12 සඳහන් ඒ අනාවැකිය අපිට උදව් වෙනවා. යේසුස්ගේ පාලනය ස්වර්ගයේ පටන්ගත්තත් පොළොවේ පාලනය තවමත් තියෙන්නේ සාතන් යටතේ. ඒත් ළඟදීම යේසුස් මේ පොළොවේ තියෙන හැම නපුරු දෙයක්ම ඉවත් කරලා “සම්පූර්ණ ජයග්‍රහණයක්” ලබනවා. ඒ දවස උදා වෙන කල් අපි දිගටම දේවරාජ්‍යය පැමිණේවා කියලා යාච්ඤා කරමු. ඒ වගේම දේවරාජ්‍යය ගැන ශුභාරංචිය හැමෝටම කියන්න අපේ උපරිමය කරමු. එහෙම කරනවා නම් “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි” කියන අනාවැකියේ ඉටු වීමට හවුල් වෙන්න අපිටත් පුළුවන්.—මතෙ. 24:14.

‘ඔබගේ කැමැත්ත පොළොවෙහිද සිදු වේවා!’

15, 16. දෙවිගේ කැමැත්ත පොළොවේ ඉටු වෙන්න කියලා යාච්ඤා කරන එක විතරක් ඇද්ද? පැහැදිලි කරන්න.

15 මීට අවුරුදු 6,000කට කලින් මේ පොළොවේ හැම දෙයක්ම සිද්ධ වුණේ යෙහෝවා දෙවි කැමති විදිහට. ‘සියල්ල ඉතා හොඳින් තිබුණා’ කියලා දෙවි කිව්වේ ඒ නිසයි. (උත්. 1:31) ඊටපස්සේ සාතන් කැරලිගැහුවා. එදා මෙදා තුර හිටපු මිනිසුන්ගෙන් වැඩිදෙනෙක් වැඩ කළේ දෙවි කැමති විදිහට නෙමෙයි. ඒත් අද වෙනකොට යොහෝවා දෙවිට සේවය කරන මිලියන 8ක විතර සෙනඟක් පොළොවේ ඉන්නවා. දෙවිගේ කැමැත්ත පොළොවේ ඉටු වෙන්න කියලා යාච්ඤා කරන අතරෙම ඔවුන් දෙවිගේ කැමැත්තත් ඉටු කරමින් ඉන්නවා. ඒ කියන්නේ ඔවුන් දෙවි කැමති විදිහට ජීවත් වෙනවා වගේම දේවරාජ්‍යය ගැන උනන්දුවෙන් අනිත් අයට දේශනා කරනවා.

දෙවිගේ කැමැත්ත පොළොවේ ඉටු කරන්න කියලා කරන ඉල්ලීමට එකඟව ජීවත් වෙන්න දරුවන්ට ඔයා උදව් කරනවද? (16 ඡේදය බලන්න)

16 1948දී බව්තීස්ම වුණු, දැන් වයස 80ක් වන මිෂනාරි සේවය කරපු සහෝදරියක් මෙහෙම කියනවා. “බැටළුවන් වගේ හදවත් තියෙන හැම කෙනෙක්වම අවසානයට කලින් හොයාගන්න පුළුවන් වෙන්න කියලා මං නිතරම යාච්ඤා කරනවා. ඒ වගේම කාට හරි සාක්ෂි දරන්න කලින් ඒ කෙනාගේ හිතට දැනෙන විදිහට කතා කරන්න මට ප්‍රඥාව දෙන්න කියලා මං දෙවිගෙන් ඉල්ලනවා. දැනටමත් අපිට හම්බ වෙලා ඉන්න අයව රැකබලා ගන්න අපි දරන උත්සාහයට ආශීර්වාද කරන්න කියලත් මං යාච්ඤා කරනවා.” යෙහෝවා දෙවි ගැන දැනගන්න හුඟක් අයට උදව් කරන්න මේ සහෝදරියට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේ උද්‍යෝගයෙන් යෙහෝවා දෙවිගේ කැමැත්ත කරන මහලු සහෝදර සහෝදරියන්ව ඔයාත් දන්නවද?—ෆිලිප්පි 2:17 කියවන්න.

17. යෙහෝවා දෙවි මිනිසුන් වෙනුවෙනුත් පොළොව වෙනුවෙනුත් ඉදිරියේදී කරන්න යන දේවල් ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

17 යෙහෝවා දෙවි තමන්ගේ හැම සතුරෙක්වම විනාශ කරලා දාන කල් දිගටම දෙවිගේ කැමැත්ත මේ පොළොවේ ඉටු වෙන්න කියලා අපි යාච්ඤා කරමු. ළඟදීම මේ පොළොව පාරාදීසයක් වුණාම මිය ගිය බිලියන ගාණක්ව නැවත නැඟිටුවනවා. “සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාටම ඔහුගේ හඬ ඇසෙන කාලය පැමිණෙනවා” කියලා යේසුස් කිව්වා. (යොහ. 5:28, 29) එදාට දෙවි අපේ “ඇස්වලින් සියලු කඳුළු පිස දමනවා.” (එළි. 21:4) අපි ආදරේ කරන, ඒත් දැන් මිය ගිහින් ඉන්න අය නැවත නැඟිටිද්දී අපිට මොන තරම් සතුටක් දැනෙයිද! මිය යන්න කලින් යෙහෝවා දෙවිවත් යේසුස්වත් දැන හඳුන ගන්න අවස්ථාව නොලැබුණු හුඟදෙනෙකුත් නැවත නැඟිටිනවා. යෙහෝවා දෙවිගේ කැමැත්ත ගැන කියලා දීලා ඒ අයටත් “සදාකාල ජීවනය ලබාගැනීමට” අවස්ථාව දෙන්න අපිට පුළුවන්. ඒක මොන තරම් සතුටක්ද!—යොහ. 17:3; ක්‍රියා 24:15.

18. මිනිසුන්ට අත්‍යවශ්‍යම දේවල් මොනවද?

18 දෙවිගේ රාජ්‍යය පොළොවට පැමිණියට පස්සේ ඒ කියන්නේ දෙවිගේ කැමැත්ත පොළොවේ සිද්ධ වෙද්දී දෙවිගේ නමට ඇති වෙලා තියෙන කැළැල සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. විශ්වයේ ඉන්න හැම කෙනෙක්ටම එක්සත්ව යෙහෝවා දෙවිට නමස්කාර කරන්න පුළුවන් වෙන්නේ එතකොටයි. මිනිසුන්ට අත්‍යවශ්‍යම දේවල් යේසුස්ගේ ආදර්ශ යාච්ඤාවේ සඳහන් පළවෙනි ඉල්ලීම් 3න් ඉටු වෙනවා. අපේ යාච්ඤාවලට ඇතුළත් කරන්න පුළුවන් තවත් වැදගත් කාරණා 4ක් ගැනත් යේසුස් කියලා දුන්නා. ඒ ගැන ඊළඟ ලිපියෙන් බලමු.