Skip to content

පටුනට යන්න

හැමදාටම ආදරෙන් ඉන්න පුළුවන්ද?

හැමදාටම ආදරෙන් ඉන්න පුළුවන්ද?

“ප්‍රේමය ගිනිදලු මෙන් ඇවිළෙන්නේය. ඒ ගින්න යෙහෝවා දෙවිගෙන්ය.”—සල. 8:6.

1, 2. සලමොන්ගේ ගීතිකාව සලකා බලන එක ප්‍රයෝජනවත් වෙන්නේ කාටද? ඒ ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

‘දෙන්නට දෙන්නා කොයි තරම් නම් ආදරෙයිද!’ එහෙම හිතුවේ ටික වෙලාවකට කලින් විවාහ උත්සවයේ දේශනය දුන්න වැඩිමහල්ලයි. අලුත බැඳපු යුවළ අත් අල්ලගෙන එකිනෙකා දිහා ආදරෙන් බලාගෙන ඉන්න විදිහ දකින ඔහු මෙහෙමත් හිතනවා. ‘හැමදාමත් මේ දෙන්නා මේ වගේ ආදරෙන් ඉන්නවා නම් කොච්චර හොඳද!’ දෙන්නට දෙන්නා ඇත්තටම ආදරේ නම් එන ඕනම ප්‍රශ්නෙකට එකට මූණ දීලා, ඉවසීමෙන් දේවල් දරාගන්න යුවළකට පුළුවන්. ඒත් ආදරෙන් යුග දිවියට ඇතුල් වෙන හුඟදෙනෙක්ගේ බැඳීම වැඩි දවසක් යන්න කලින් බිඳිලා යනවා. එහෙමනම් හැමදාටම ආදරෙන් ඉන්න එක සිහිනයක්ද?

2 සලමොන් රජු ජීවත් වුණ කාලෙදීත් ආදරෙන් බැඳුණු යුවළක් හොයාගන්න එක ලේසි වුණේ නැහැ. ඒකට හේතුව ගැන සලමොන් කියන්නේ මෙහෙමයි. “පුරුෂයන් දහසක් අතරින් එක් ධර්මිෂ්ඨ පුරුෂයෙකු සොයාගත් නමුත් ස්ත්‍රීන් අතරින් එක් ධර්මිෂ්ඨ ස්ත්‍රියකවත් මට සොයාගැනීමට නොහැකි විය. සැබෑ දෙවි මිනිසාව කිසි දෝෂයක් නැතුව සෑදූ නමුත් මිනිසා විවිධාකාර සැලසුම් යොදා වෙනත් මඟක ගමන් කිරීමට තෝරාගෙන ඇත.” (දේශ. 7:26-29) ඒ කාලේ බාල් දෙවියාට නමස්කාර කරපු, අනාචාරයේ යෙදුණ වෙනත් ජාතීන්වලට අයිති ස්ත්‍රීන් ඊශ්‍රායෙල්වරුන් අතරේ ජීවත් වුණා. ඔවුන්ගේ බලපෑමට අහු වුණ හුඟක් ඊශ්‍රායෙල්වරුන් ගත කළේ අනාචාර ජීවිත. * ඒ වුණත් සලමොන් ඒ දේ කියන්න අවුරුදු 20කට කලින් නියම ආදරෙන් බැඳුණු දෙන්නෙක් ගැන ඔහු අලංකාර ගීතිකාවක් ලිව්වා. අපි විවාහක අය වුණත් නැතත් සැබෑ ආදරයක නියම අරුත තේරුම්ගන්නත් ඒක පෙන්නන්නත් සලමොන්ගේ ඒ ගීතිකාව අපිට උදව් වෙනවා.

නොවෙනස් වෙන ආදරයක් සිහිනයක් නෙමෙයි

3. නොවෙනස් වෙන ආදරයක් යුවළක් අතරේ ඇති කරගන්න පුළුවන් කියලා කියන්නේ ඇයි?

3 සලමොන්ගේ ගීතිකාව 8:6 කියවන්න. සලමොන් කියන්නේ “ප්‍රේමය ගිනිදලු මෙන් ඇවිළෙන්නේය. ඒ ගින්න යෙහෝවා දෙවිගෙන්ය” කියලයි. ඔහු කිව්වා හරි. මොකද යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨතම ගුණාංගය ප්‍රේමයයි. දෙවි අපිව නිර්මාණය කරලා තියෙන්නේ ප්‍රේමය කියන ඔහුගේ ගුණාංගය අනුකරණය කරන්න පුළුවන් විදිහටයි. (උත්. 1:26, 27) මුල්ම මිනිසාව නිර්මාණය කරපු දෙවි, ඔහුට ලස්සන බිරිඳක් දුන්නා. තමන් ඉදිරියේ ඉන්න ඒ රූමත් බිරිඳව දැකපු මුල්ම වතාවේ හිතේ ඇති වුණ සතුට, ආදරේ වචනවලට පෙරළලා ආදම් කියපු දේ හරියට ප්‍රේමාන්විත කවියක් වගේ. යෙහෝවා දෙවි ඒවව නිර්මාණය කළේ ආදම්ගේ ඉළ ඇටයකින් නිසා ඒවටත් තමන්ගේ සැමියා එක්ක ලොකු බැඳීමක් ඇති වුණා. (උත්. 2:21-23) පිරිමියෙක් සහ ගැහැනියක් අතර කිසිදා නොවෙනස් වෙන ආදරයක් ඇති කරගන්න පුළුවන් විදිහට දෙවි ඔවුන්ව නිර්මාණය කළා කියන දේ මිනිස් ඉතිහාසයේ ආරම්භයේදීම පැහැදිලි වුණා.

4, 5. සලමොන්ගේ ගීතිකාවේ සඳහන් වෙන කතාව මොකක්ද?

4 දෙන්නෙක් අතරේ ඇති වෙන ආදරය ගැන සලමොන්ගේ ගීතිකාවේ විස්තර කරනවා. ඒකේ සලමොන් ලියන්නේ ෂුනෙම් නැත්නම් ෂුලෙම් කියන ගමේ ඉන්න තරුණියක් සහ එඬේර තරුණයෙක් අතර ඇති වුණ ආදර කතාවක් ගැනයි. මේ ඒ දෙන්නගේ කතාවයි. තරුණිය ඇගේ සහෝදරයන්ගේ මිදිවත්තේ වැඩ කරනවා. ඒ මිදිවත්තට කිට්ටුවෙන් තමයි සලමොන් රජු ඔහුගේ සෙබළුන් එක්ක කඳවුරු බැඳගෙන ඉන්නේ. දවසක් ඒ තරුණියව දකින රජ ඇයව කඳවුරට අරන් එන්න කියලා සෙබළුන්ට කියනවා. රජ ඇය කොයි තරම් ලස්සනද කියලා එක එක විදිවලින් වර්ණනා කරනවා. තෑගි දෙන්නත් පොරොන්දු වෙනවා. ඒත් ඒ වෙනකොට ඒ තරුණිය එඬේර තරුණයෙක් එක්ක පෙමින් බැඳිලයි හිටියේ. ඇයට ඕන වුණේ ඒ තරුණයා එක්ක ජීවිත කාලෙම එකට ගත කරන්න. (සල. 1:4-14) තමන් ආදරේ කරන පෙම්වතියව හොයාගෙන ඒ තරුණයාත් කඳවුරට එනවා. දෙන්නා මුණගැහුණම හිතේ තියෙන ආදරේ ඔවුන් පෙන්නුවේ ලස්සන කවි පදවලින්.—සල. 1:15-17.

5 සලමොන් යෙරුසලමට යන්නේ ඒ තරුණියවත් අරගෙනයි. එඬේර තරුණයාත් ඔවුන් පස්සෙන් යනවා. (සල. 4:1-5, 8, 9) රජ මොන තරම් ලස්සන වචනවලින් ඇයව වර්ණනා කළත් මොන තරම් දේවල් දෙන්න හැදුවත් එඬේර තරුණයා ගැන තරුණියගේ හිතේ තිබුණ ආදරේ පොඩ්ඩක්වත් වෙනස් වුණේ නැහැ. (සල. 6:4-7; 7:1-10) ඇගේ හිතේ තියෙන්නේ නොවෙනස් වෙන ආදරයක් කියලා තේරුම්ගන්න සලමොන් අන්තිමේදී තරුණියට යන්න දෙනවා. තමන්ගේ ආදරේ ජය ගත්තා කියලා දැනගත්තම “තරුණ මුවෙකු මෙන්” තමන් වෙතට දිව එන්න කියලා තරුණිය පෙම්වතාට කරන ආරාධනාවත් එක්කම ඒ ලස්සන කතාව අවසන් වෙනවා.—සල. 8:14.

6. ගීතිකාවේ කවුරුන් කාට කියනවද කියලා එකපාරටම තේරුම්ගන්න අමාරු ඇයි?

6 ඒ කතාව ගීතිකාවක් විදිහට සලමොන් රචනා කළා. “ගීතිකා අතරින් අලංකාරවත්ම ගීතිකාව මෙයයි.” (සල. 1:1) ඒත් ඒ ගීතිකාවේ තරුණියගෙවත් තරුණයාගෙවත් නම සඳහන් කරලා නැහැ. ඒ ඇයි? ඒකට හේතුව සලමොන්ට ඕන වුණේ වැඩි විස්තර කියනවට වඩා අලංකාරවත් කවි පද වැල් විදිහට ඒක ලියන්නයි. නම සඳහන් නොවුණත් සංවාදවලදී කවුරුන් කාට කියනවද කියලා තේරුම්ගන්න පුළුවන්.

“ඔබේ ආදරය වයින්වලටත් වඩා අගනේය”

7, 8. එඬේර තරුණයා සහ තරුණිය හිතේ තිබුණ ආදරේ දැන්නුවේ කොහොමද? උදාහරණ දෙන්න.

7 තරුණියත් තරුණයාත් තමන්ගේ හිතේ තියෙන ආදරේ එකිනෙකාට දැන්නුවේ ලස්සන වචනවලින්. ඔවුන්ගේ පෙම්බර වදන් අමුතු ඒවා කියලා අපිට හිතුණත් ඒවා මීට අවුරුදු 3,000කට විතර කලින් ලියපු වචන කියලා අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ කාලේ සංස්කෘතිය අපේ සංස්කෘතියට වඩා වෙනස්. ඒත් ඒ දෙන්නට එකිනෙකා ගැන හැඟුණු විදිහ අපිට ඒ වචනවලින් තේරුම්ගන්න පුළුවන්. උදාහරණෙකට තමන්ගේ පෙම්වතියගේ ඇස් ගැන තරුණයා මෙහෙම කියනවා. “ඔබේ දෙනුවන් පරෙවියෙකුගේ දෙනෙත් මෙන් කාන්තිමත්ය.” (සල. 1:15) ඔහු එහෙම කියන්නේ ඒ අහිංසක ඇස්වලට ඔහු ආදරේ කරපු නිසයි. ඔහුගේ ඇස් පරෙවියෙකුගේ ඇස් තරම් ලස්සනයි කියලා ඇයත් කියනවා. (සලමොන්ගේ ගීතිකාව 5:12 කියවන්න.) ඇයට ඔහුගේ ඇස් පෙනුණේ කිරෙන් නාන පරෙවියන් වගේ.

8 දෙන්නා එකිනෙකාගේ පෙනුම විතරක් වර්ණනා කරලා නැවතුණේ නැහැ, ගතිගුණත් වර්ණනා කළා. උදාහරණෙකට ඇය අනිත් අයට කාරුණිකව කතා කරන විදිහට ඔහු හුඟක් ආදරේ කළා. (සලමොන්ගේ ගීතිකාව 4:7, 11 කියවන්න.) “ඔබ තෙපලන වදන් මීවදයකින් වෑස්සෙන මීපැණි මෙන්ය. ඔබේ දිවගේ ඇත්තේ කිරි සහ මීපැණිය” කියලා ඔහු කිව්වේ ඒ නිසයි. “මාගේ පෙම්වතිය, ඔබ නිකැළැල්, රූමත් ළඳකි” කියලත් ඔහු කියනවා. ඔහු ආදරේ කළේ ඇගේ රූමත්කමට විතරක් නෙමෙයි ඇගේ හොඳ ගතිගුණවලටත් ඔහු ආදරේ කළා.

9. (අ) සැමියෙක් සහ බිරිඳක් අතරේ තියෙන්න ඕනෙ මොන වගේ ආදරයක්ද? (ආ) යුවළක් හිතේ තියෙන ආදරේ කියන එක, දැනෙන්න සලස්වන එක වැදගත් ඇයි?

9 අද හුඟක් අයගේ පවුල් ජීවිතවල ආදරයක්, බැඳීමක් නැහැ. ඒක විවාහ සහතිකයකට විතරක් සීමා වෙලා. ඒත් යෙහෝවා දෙවිට සේවය කරන යුවළක් එකිනෙකාට ඇත්තටම ආදරෙයි. ඒ ආදරේ වචනවලින්, ක්‍රියාවෙන් පෙන්නන්න අමතක කරන්නෙත් නැහැ. ඒක මොන වගේ ආදරයක්ද? පොදුවේ හැම කෙනෙක්ටම පෙන්නන්න කියලා බයිබලේ අපිට උගන්වන ආදරේද? (1 යොහ. 4:8) අපේම පවුලේ අයට තියෙන ආදරේද? කිට්ටු යාළුවෝ අතරේ තියෙන ආදරේද? (යොහ. 11:3) එහෙම නැත්නම් පෙම්වතුන් අතරේ ඇති වෙන ආදරේද? (හිතෝ. 5:15-20) ඇත්තටම විවාහක යුවළක් ඒ හැම විදිහකින්ම එකිනෙකාට ආදරය කරන්න ඕනේ. ඔයා කියන, කරන දේවලින් ඔයාගේ ආදරේ අනිත් කෙනාට දැනෙන්න සලස්වන්න. එහෙම කරන්න බැරි තරමට ජීවිතේ කාර්යබහුල කරගන්න එපා. සමහර සංස්කෘතීන්වල විවාහ වෙන්න කෙනෙක්ව හොයලා දෙන්නේ දෙමාපියන්. ඒ නිසා විවාහයට කලින් එකිනෙකාව අඳුනගන්න එයාලට අවස්ථාව ලැබෙන්නේ අඩුවෙන්. ඒත් විවාහෙන් පස්සේ දෙන්නා එකිනෙකාව තවත් හොඳින් අඳුනගද්දී දෙන්නා අතරේ ආදරෙත් වැඩි වෙනවා. එහෙම වෙන්න නම් හිතේ තියෙන ආදරේ අනිත් කෙනාට කියන්න ඕනේ. ඒක එයාට දැනෙන්න සලස්වන්න ඕනේ. එතකොට දෙන්නා තව තවත් ආදරෙන් බැඳෙනවා.

10. හිතේ තියෙන ආදරේ පෙන්නන එක විවාහ බැඳීම ශක්තිමත් කරගන්න උදව් වෙන්නේ කොහොමද?

10 යුවළක් ආදරේ පෙන්නද්දී, ආදරෙන් කතා කරද්දී විවාහ බැඳීම දිගටම ශක්තිමත්ව තියාගන්න ඒක උදව්වක්. සලමොන් රජ ෂූලම්මීය තරුණියට “රන් පළඳනාවක්ද රිදී ආභරණද” තෑගි කරන්න හැදුවා. ඇය “පුර සඳ මෙන් ශෝභමානය. හිරු කිරණ මෙන් දීප්තිමත්ය” කියලා වර්ණනා කළා. (සල. 1:9-11; 6:10) ඒත් ඇගේ හිතේ එඬේර තරුණයා ගැන තිබුණ ආදරය පොඩ්ඩක්වත් වෙනස් වුණේ නැහැ. ඒ මොකක් නිසාද? දෙන්නට වෙන් වෙලා ඉන්න වුණත් ඇයට සහනයක් දැනුණේ මොකක් නිසාද? ඔහු ඇයට කියලා තිබුණ ආදර වදන් ඇගේ හිතේ තිබුණ නිසයි. (සලමොන්ගේ ගීතිකාව 1:2, 3 කියවන්න.) ඔහුගේ වචනවලින් තමන් කොයි තරම් සතුටු වුණාද කියලා ඇයට මතක තිබුණා. ඒ වචන ඇයට “වයින්වලටත් වඩා අගනේය” කියලා ඇය කිව්වේ ඒ නිසයි. ඒ වගේම සලමොන්ගේ මාලිගාවේ හිටපු කාලය පුරා ‘හිස මත වත් කරන සුගන්ධවත් තෛලයට’ වඩා සුවයක් ඒ වචන මතක් වෙද්දී ඇයට දැනුණා. (ගීතා. 23:5; 104:15) යුවළක් නිතරම වගේ තමන්ගේ හිතේ තියෙන ආදරේ වචනවලින්, ක්‍රියාවලින් පෙන්නන්න ඕනේ. එතකොට දෙන්නගේ බැඳීම තවත් වැඩි වෙනවා. ඒ ආදර වදන් මතක් වෙන්න වෙන්න දෙන්නගේ ආදරයත් ශක්තිමත් වෙනවා.

“ආදර හැඟීම් අවදි කිරීමට වෑයම් නොකරන්න”

11. ෂූලම්මීය තරුණිය ස්ත්‍රීන්ට කියපු දෙයින් අවිවාහක අයට ඉගෙනගන්න පුළුවන් මොනවද?

11 ඔයා විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද? ෂූලම්මීය තරුණියගෙන් ඔයාට මොනවද ඉගෙනගන්න පුළුවන්? සලමොන් රජු ගැන ඇගේ හිතේ කිසිම ආදරයක් ඇති වුණේ නැහැ. “මා තුළ ආදර හැඟීම් අවදි කිරීමට වෑයම් නොකරන්න” කියලා මාලිගාවේ හිටපු ස්ත්‍රීන්ට ඇය ස්ථිරවම කිව්වේ ඒ නිසයි. (සල. 2:7; 3:5) හිත යන ඕනම කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්න එක ඥානවන්ත නැහැ කියන දේ ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන්. හොඳම දේ ඉවසීමෙන් ඉඳලා ඔයාට ඇත්තටම ආදරේ කරන්න පුළුවන් කෙනෙක් එක්ක විවාහ වෙන එකයි.

12. ෂූලම්මීය තරුණිය එඬේර තරුණයාට ආදරේ කළේ ඇයි?

12 ෂූලම්මීය තරුණිය එඬේර තරුණයාට ආදරේ කළේ ඔහු කඩවසම් නිසාද? ඇත්ත, ඔහු කඩවසම් කෙනෙක්. ඇය ඔහුව දැක්කේ “නාඹර මුවෙකු” වගේ. ඔහුගේ “ඇඟිලි රන්වන්” කියලත් දෙපා “කිරිගරුඬ කණු දෙකක් මෙන්” ශක්තිමත් කියලත් ඇය කිව්වා. ඒත් ඔහුගේ ශක්තිමත්කමට, කඩවසම්කමට වඩා දෙයක් ඇය දැක්කා. ඔහු යෙහෝවා දෙවිට ආදරේ කරපු කෙනෙක් කියලත් ඔහුට හොඳ ගුණාංග තිබුණා කියලත් ඇය දැනගෙන හිටියා. ඒ නිසයි ඔහුව “වනයේ ගස් අතුරින් කැපීපෙනෙන ඇපල් ගසක්” තරම් ඇයට විශේෂ කෙනෙක් වුණේ.—සල. 2:3, 9; 5:14, 15.

13. එඬේර තරුණයා ෂූලම්මීය තරුණියට ආදරේ කළේ ඇයි?

13 තරුණියත් හුඟක් රූමත් කෙනෙක්. ඒ නිසයි ‘බිසෝවරු හැටදෙනෙක්, උපභාර්යාවෝ අසූදෙනෙක් සහ කන්‍යාවෝ අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක්’ හිටපු සලමොන් රජුගේ හිතත් ඒ තරුණියට ඇදිලා ගියේ. එඬේර තරුණයා ඇයට ආදරේ කළේ ඇය රූමත් නිසා විතරද? නැහැ. ඇයත් යෙහෝවා දෙවිට ආදරේ කරන, හොඳ ගතිගුණ තියෙන කෙනෙක් කියලා ඔහු දැනගෙන හිටියා. ඇය ඇත්තටම නිහතමානී කෙනෙක්. ඒ නිසයි ඇය තමන්ව ‘ෂාරොන්හි වැවෙන සාමාන්‍ය මලකට’ සමාන කළේ. ඒත් තරුණයා නම් ඇයව දැක්කේ “කටු ගස් අතරේ පිපී ලෙළ දෙන ලස්සන ලිලී මලක්” වගෙයි.—සල. 2:1, 2; 6:8.

14. විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට ෂූලම්මීය තරුණියගෙන් සහ එඬේර තරුණයාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද?

14 යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ට අණ කරලා තියෙන්නේ විවාහ වෙනවා නම් ඒ කෙනා “අනිවාර්යයෙන්ම ස්වාමීන්ගේ අනුගාමිකයෙකු විය යුතුයි” කියලයි. (1 කොරි. 7:39) ඒ කියන්නේ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න ඕනෙ, විවාහ වෙන්න ඕනෙ බව්තීස්ම වුණ කෙනෙක් එක්ක විතරයි කියන එකයි. බැන්දට පස්සේ දෙන්නට එදිනෙදා ඇති වෙන ප්‍රශ්නවලට, පීඩනවලට මුහුණ දෙන්න වෙනවා. ඒත් දෙන්නටම යෙහෝවා දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියෙනවා නම් ඒ විවාහය සතුට පිරුණු, සාමකාමී එකක් වෙනවා. ඔයාත් විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් ෂූලම්මීය තරුණිය වගේ වෙන්න. එඬේර තරුණයා වගේ වෙන්න. යෙහෝවා දෙවිට ආදරේ කරන, ලස්සන ගතිගුණ තියෙන කෙනෙක් එක්ක විතරක් විවාහ වෙන්න.

දෙවිට සේවය කරන කෙනෙක් බව්තීස්ම වෙලා නැති කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්නේ නැහැ (14 ඡේදය බලන්න)

‘මාගේ මනාලිය වැටකින් වට කළ උයනකි’

15. විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න යුවළකට ෂූලම්මීය තරුණියව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

15 සලමොන්ගේ ගීතිකාව 4:12 කියවන්න. තමන්ගේ පෙම්වතිය “වැටකින් වට කළ උයනකි” කියලා එඬේර තරුණයා කිව්වේ ඇයි? වැටකින් වට කළ උයනකට ඇතුල් වෙන්න හැමෝටම බැහැ. ඒ තරුණිය ඒ උයන වගේ කියලා ඔහු කිව්වේ ඇය ඔහුට විතරක් ආදරේ කරපු නිසයි. ඇය විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් හිටියේ ඔහු එක්කයි. සලමොන් රජ මොන තරම් දේවල් කිව්වත් කළත් ඇගේ ආදරේ වෙනස් වුණේ නැහැ. “නිතර ඇරෙන වැහෙන දොරක්” වගේ වෙනවා වෙනුවට ඇය “පවුරක් මෙන් ස්ථිරව” හිටියා. (සල. 8:8-10) විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න යුවළකුත් ඒ වගේ එකිනෙකාට විශ්වාසවන්තව ඉන්න ඕනේ. වෙනත් අය ගැන ආලවන්ත හැඟීම් ඇති කරගන්න හොඳ නැහැ.

16. විවාහ වෙන අරමුණින් ඇසුරු කරන දෙන්නෙකුට සලමොන්ගේ ගීතිකාවෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද?

16 තමන් එක්ක ඇවිදින්න යන්න එන්න කියලා එඬේර තරුණයා ඇයට කතා කළාම ඇගේ අයියලා ඒකට ඉඩ නොදී ඇයව ඔවුන්ගේ මිදිවත්ත බලාගන්න යවනවා. එහෙම කළේ ඔවුන්ට ඇයව අවිශ්වාස නිසාද? නැහැ. ඇගේ අයියලාට ඕන වුණේ නරක දෙයක් ඇය අතින් වෙන්න පුළුවන් අවස්ථාවකින් ඇයව ආරක්ෂා කරන්නයි. (සල. 1:6; 2:10-15) ඔයාත් විවාහ වෙන අරමුණින් ප්‍රේම සම්බන්ධයක් පවත්වන කෙනෙක් නම් අනාචාරයට මඟ පාදන්න පුළුවන් දේවලින් වළකින්නේ කොහොමද? දෙන්නා තනි වෙන්න තියෙන අවස්ථා මඟහරින්න. දෙන්නගේ ඇසුර පවිත්‍රව තියාගන්න කලින්ම සැලසුම් කරන්න. ආදරේ පෙන්නන එකේ වරදක් නැති වුණත් දෙන්නා අතරේ අපවිත්‍ර ක්‍රියාවක් සිද්ධ නොවෙන්න වගබලා ගන්න.

17, 18. සලමොන්ගේ ගීතිකාවෙන් ඔයා ඉගෙනගත්තේ මොනවද?

17 යෙහෝවා දෙවිට ඕනෙ විවාහ වුණ දෙන්නෙක් හැමදාම සතුටින්, ආදරෙන් ඉන්නවා දකින්න. ඇත්ත, බැඳපු අලුත ආදරෙන් ඉන්න එක අමාරු නැහැ. ඒත් ඒ විවාහ බැඳීම හැමදාටම තියාගන්න නම්, ගිනිදැල්ලක් නිවී යන්න දෙන්නේ නැතුව තියාගන්නවා වගේ දෙන්නගේ ආදරයත් දවසින් දවස ශක්තිමත් කරගන්න වෙහෙසෙන්න ඕනේ.—මාක් 10:6-9.

18 විවාහ වෙන්න ඔයාත් ආශාවෙන් ඉන්නවා නම් ඔයාට ඇත්තටම ආදරේ කරන්න පුළුවන් කෙනෙක්ව හොයාගන්න. එහෙම කෙනෙක් එක්ක විවාහ වුණාට පස්සේ දෙන්නා එකතු වෙලා ඒ ආදරේ තවත් වැඩි කරගන්න. සලමොන්ගේ ගීතිකාවෙන් අපි ඉගෙනගත්තා වගේ කිසිදා නොවෙනස් වෙන නියම ආදරයක් හොයාගන්න බැරිකමක් නැහැ. මොකද ගිනිදල්ලක් මෙන් දිගටම ඇවිලෙන ප්‍රේමයේ උල්පත යෙහෝවා දෙවියි.—සල. 8:6.