Skip to content

පටුනට යන්න

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - නිව් යෝර්ක්වලදී

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - නිව් යෝර්ක්වලදී

කැලිෆෝර්නියාවේ ජීවත් වුණු සෙසා සහ එයාගේ බිරිඳ රෝසිඕ මීට අවුරුදු කීපයකට කලින් ගත කළේ සැප පහසු ජීවිතයක්. සෙසාගේ රැකියාව වුණේ වායු සමීකරණ, හීටර් සහ වාතාශ්‍ර පද්ධති සවි කිරීම. රෝසිඕ වැඩ කළේ වෛද්‍යවරයෙක් ළඟ. ඒකත් සතියකට දවස් කීපයක් විතරයි. එයාලටම අයිති නිවසකුත් තිබුණා. දරුවෝ හිටියෙත් නැහැ. ඒත් එකපාරටම එයාලගේ ජීවිතවල ලොකු වෙනසක් වුණා. ඒ මොකක්ද?

2009 ඔක්තෝබර් මාසේ එක්සත් ජනපදයේ ශාඛා කාර්යාලෙන් ඒ රටේ තිබුණ හැම සභාවකටම ලියුමක් යැව්වා. ඒකේ තිබුණේ නිව් යෝර්ක් ප්‍රාන්තයේ වෝල්කිල්වල ශාඛා කාර්යාලය තවත් විශාල කරන්න යන නිසා ඒ වැඩවලට දක්ෂකම් තියෙන අය ඉන්නවා නම් තාවකාලික බෙතෙල් සේවකයන් විදිහට අයදුම් කරන්න කියන පණිවිඩයයි. බෙතෙල් සේවයට බඳවගන්නේ එක්තරා වයස් සීමාවක ඉන්න අයව විතරයි. ඒත් ඒ සීමාව පැනපු අයටත් අයදුම් කරන්න පුළුවන් කියලා ලිපියේ දන්වලා තිබුණා. “අපේ වයස එක්ක බලද්දී බෙතෙල් සේවය කරන්න අපිට කවදාවත් පුළුවන් වෙන්නේ නෑ. මේක ජීවිතේටම එක වතාවක් ලැබෙන අවස්ථාවක් කියලා අපිට තේරුණා. ඒක නැති කරගන්න අපිට කොහොමටවත් ඕන වුණේ නෑ” කියලා ඔවුන් කිව්වා.

වෝර්වික්වල ස්වේච්ඡාවෙන් සේවය කරන සමහරදෙනෙක්

අයදුම්පතක් යවලා අවුරුද්දකට වඩා ගත වුණත් ඒකට පිළිතුරක් ලැබුණේ නැහැ. ඒත් එහෙම වුණා කියලා ඒ ඉලක්කය නම් ඔවුන් අත්හැරගත්තේ නැහැ. ඒ වෙනුවට ජීවිතේ සරල කරගන්න ඔවුන් පියවර ගත්තා. “අපේ ගරාජ් එක තනි කාමරයක් විදිහට හදලා කාමර 7 අපේ ලොකු ගේ කුලියට දෙන්න අපි තීරණය කළා. අපිට තිබුණේ අපි දෙන්නම සිහින මවපු විදිහේ ගෙයක්. ඒක හදලත් අවුරුදු දෙක තුනකට වඩා නෑ. ඒත් ඒක අත්හැරලා අපි තනි කාමරයේ පදිංචි වුණා. එහෙම කළේ හදිස්සියේ බෙතෙල් සේවෙට කතා කළොත් ලෑස්ති පිට ඉන්න බලාගෙනයි” කියලා සෙසා කියනවා. දන්නවද මොකද වුණේ කියලා? “අපි කාමරයට පදිංචියට ගිහින් මාසයක් විතර යද්දී ආරාධනාවක් ලැබුණා වෝල්කිල්වල තාවකාලික ස්වේච්ඡා සේවකයන් විදිහට සේවය කරන්න එන්න කියලා. ජීවිත සරල කරගත්ත නිසා යෙහෝවා දෙවි අපිට ආශීර්වාද කළා කියලා එදා අපිට හොඳටම තේරුණා.”

ජේසන්, සෙසා සහ විලියම්

ඉදිරිපත් වීමට ලැබුණු ආශීර්වාද

ඒ දෙන්නා වගේ තවත් සිය ගාණක් සහෝදර සහෝදරියන් නිව් යෝර්ක්වල සිද්ධ වෙන ඉදි කිරීම් වැඩවලට හවුල් වෙන්න හුඟක් කැප කිරීම් කළා. ඒ අයගෙන් සමහරුන්ට වෝල්කිල්වල ශාඛා කාර්යාලය විශාල කිරීමේ වැඩවලට හවුල් වෙන්නත් තවත් අයට වෝර්වික්වල ඉදි කරන ලෝක  මුලස්ථානේ වැඩවලට හවුල් වෙන්නත් අවස්ථාව ලැබුණා. * ඔවුන් අතර ඉන්න හුඟක් යුවළයන් ඔවුන්ගේ සැප පහසු ගෙවල්, ඉහළ රැකියාවන් විතරක් නෙමෙයි ඔවුන්ගේ සුරතල් සතුන්වත් දාලා ආවේ දෙවිට වැඩියෙන් සේවය කරන්නයි. යෙහෝවා දෙවි ඒ කැප කිරීම්වලට හුඟක් ආශීර්වාද කළා.

වේ

විදුලි කාර්මිකයෙක් වුණු වේ සහ ඔහුගේ බිරිඳ ඩෙබ්රා ඒ වගේ යුවළක්. දැන් ඒ දෙන්නට වයස 60කට කිට්ටුයි. කැන්සාස්වල තිබුණු ගෙදරයි, බඩු මුට්ටුයි විකුණලා වෝල්කිල්වලට ආපු ඒ දෙන්නා දැන් බෙතෙල් නිවසින් පිට තැනක නැවතිලා බෙතෙල් එකේ සේවයට එනවා. * ඒ කැප කිරීම් අපතේ ගියේ නැහැ කියලා එයාලට තේරුණා. බෙතෙල් එකේ ලැබුණු පැවරුම ගැන ඩෙබ්රා මෙහෙම කියනවා. “සමහර වෙලාවට මට හිතෙන්නේ අපේ පොත් පත්වල පාරාදීස පොළොවේ ඉදි කිරීම් වැඩ ගැන පෙන්නන චිත්‍රයක හැබෑවටම මමත් ඉන්නවා කියලා.”

මෙල්වන් සහ ෂැරන් කියන යුවළත් දකුණු කැරොලිනාවල තිබුණු ඔවුන්ගේ ගෙදරයි බඩු මුට්ටුයි විකුණලා වෝර්වික්වලට ආවා. එහෙම කරන එක එච්චර ලේසි නැති වුණත් මේ ඓතිහාසික ඉදි කිරීම් ව්‍යාපෘතියට හවුල් වෙන්න ලැබුණු එක වරප්‍රසාදයක් කියලයි ඔවුන් හිතන්නේ. ඒ ගැන ඔවුන් මෙහෙම කියනවා. “ලෝකෙ පුරාම ඉන්න සහෝදරයන්ට ප්‍රයෝජනවත් වෙන කාර්යයකට හවුල් වෙන්න අපිටත් පුළුවන් වුණානේ කියන හැඟීම තරම් සතුටක් අපිට තවත් නෑ.”

කෙනත්

කැලිෆෝර්නියාවේ හිටපු කෙනත් නිවාස ඉදි කරන්නෙක් විදිහට වැඩ කරලා දැන් විශ්‍රාම සුවෙන් ඉන්න කෙනෙක්. එයාටත් එයාගේ බිරිඳ මෝරින්ටත් වයස 55කට කිට්ටුයි. ඒ දෙන්නත් දැන් වෝර්වික්වලට ඇවිත්. එහෙම එන්න කලින් කෙනත්ගේ මහලු පියාව රැකබලා ගන්න වගකීම ඔහුගේ පවුලේ අයත් එක්ක කතා කරලා සැලසුම් කරගත්තා. ගේ බලාගන්න සභාවේ සහෝදරියකට භාර දුන්නා. කැප කිරීම් කරලා බෙතෙල් එකේ සේවය කරන්න ආපු එක ගැන එයාලා පසුතැවෙනවද? කොහොමටවත් නැහැ. “අපිට පුදුම විදිහට ආශීර්වාද ලැබිලා තියෙනවා” කියලා කෙනත් කියනවා. “ඇත්ත, අපිට හුඟක් අභියෝග තිබුණා. ඒත් දැන් අපි ගත කරන්නේ තෘප්තිමත් ජීවිතයක්. මෙහෙට ඇවිත් සේවය කරන්න කියලා අපි අනිත් අයටත් ආරාධනා කරනවා.”

අභියෝග ජය ගැනීම

එහෙම එන අයට අභියෝග නැතුවමත් නෙමෙයි. විලියම් සහ සැන්ඩ්‍රාට දැන් වයස 60ක් විතර වෙනවා. පෙන්සිල්වේනියාවේ හිටපු ඒ දෙන්නට ඔවුන්ගේම කියලා ව්‍යාපාරයක් තිබුණා. ඔවුන් යටතේ 17දෙනෙක් විතර වැඩ කළා. ඒ වගේම ඒ දෙන්නා සේවය කළෙත් පොඩි කාලේ ඉඳන්ම හිටපු සභාවෙයි. නෑදෑයෝ හිටියෙත් ළඟපාත. වෝල්කිල් බෙතෙල් එකේ තාවකාලිකව සේවය කරන්න එන්න කියලා ආරාධනාවක් ලැබුණාම ඔවුන් සතුටු වුණා. ඒත් ඒක පිළිගන්නවා කියන්නේ දන්න කියන හැමෝගෙන්ම සමුගන්න වෙනවා කියලත් එයාලට අයිති දේවල් දාලා යන්න වෙනවා කියලත් ඒ දෙන්නා තේරුම්ගත්තා. “අපිට හුරු පුරුදු ජීවිතේ  අත්හැරලා යන එක තමයි අපිට තිබුණ එකම අභියෝගේ” කියලා විලියම් කියනවා. ඒත් දෙවිට හුඟක් සැරයක් යාච්ඤා කළාට පස්සේ වෝල්කිල්වලට යන්න ඔවුන් තීරණය කළා. ගත්ත තීරණය ගැන එයාලා පොඩ්ඩක්වත් පසුතැවෙන්නේ නැහැ. “බෙතෙල් පවුල එක්ක එකට සේවය කරන එක වෙන කිසිම දෙයක් එක්ක සසඳන්න බැහැ. සැන්ඩ්‍රායි මමයි ජීවිතේ මීට කලින් කවදාවත් විඳපු නැති විදිහේ සතුටක් දැන් විඳිනවා” කියලා විලියම් කියනවා.

වෝල්කිල්වල සේවය කරන යුවළයන්ගෙන් සමහරදෙනෙක්

හවායිවල ඉදි කිරීම් ව්‍යාපෘති කළමනාකරුවෙක් වුණ රිකීටත් වෝර්වික්වලට ඇවිත් සේවය කරන්න ආරාධනාවක් ලැබුණා. එයාගේ බිරිඳ කෙන්ඩ්‍රාත් ඒකට ගොඩක් කැමති වුණා. ඒත් එයාලට තිබුණු අභියෝගය තමයි එයාලගේ පුතා ජේකොබ්. එයාට තවම අවුරුදු 11යි. නිව් යෝර්ක්වලට ගියොත් හැම දේම අලුතෙන් පටන්ගන්න වෙන නිසා ඒ වෙනස්කම්වලටත් අලුත් පරිසරයටත් හුරු වෙන්න ජේකොබ්ට පුළුවන් වෙයිද කියලා ඒ දෙන්නා හිතුවා.

“අපිට වැඩියෙන්ම ඕන වුණේ නමස්කාර වැඩ හොඳට කරන දරුවෝ ටිකක් ඉන්න සභාවක් හොයාගන්නයි. එතකොට ජේකොබ්ට ආශ්‍රය කරන්න හොඳ යාළුවෝ ඉන්නවනේ” කියලා රිකී කියනවා. කොහොමවුණත් එයාලට යන්න වුණේ දරුවෝ ටිකදෙනෙක් ඉන්න සභාවකටයි. ඒත් ඒ සභාවේ බෙතෙල් සාමාජිකයෝ නම් කීපදෙනෙක්ම හිටියා. “පළවෙනි රැස්වීමට ගිහින් ආවට පස්සේ මම පුතාගෙන් ඇහුවා කොහොමද අලුත් සභාව කියලා. එයාගේ වයසේ අය හිටපු නැති නිසා එයා අකමැති වෙයි කියලා මම බයෙන් හිටියේ. ඒත් බෙතෙල් එකෙන් එන තරුණ සහෝදරයෝ ඔක්කොම මගේ යාළුවෝ කරගන්න පුළුවන් කියලා පුතා කිව්වා.”

ජේකොබ්ටත් එයාගේ දෙමාපියන්ටත් සභාවේ ඉන්න බෙතෙල් සාමාජිකයන්ගේ ආශ්‍රය ලොකු දිරිගැන්වීමක්

තරුණ බෙතෙල් සහෝදරයෝ ජේකොබ්ව එයාලගේ යාළුවෙක් කරගත්ත නිසා සිද්ධ වුණේ මොකක්ද? රිකී මෙහෙම කියනවා. “දවසක් මම පුතාගේ කාමරේ ළඟින් යද්දී ඒකේ ලයිට් දාලා තියෙනවා දැක්කා. මං හිතුවා පුතා නිදාගන්නේ නැතුව ගේම්ස් ගහනවා ඇති කියලා. කාමරේට ගියාම මටම පුදුමයි! එයා බයිබලේ කියවකියව හිටියා. ‘මමත් දැන් පොඩි බෙතෙල් සාමාජිකයෙක්. ඒ නිසා අවුරුද්දක් ඇතුළත මමත් බයිබලේ කියවලා ඉවර කරනවා’ කියලා පුතා කිව්වා.” රිකී සහ කෙන්ඩ්‍රා දැන් ඉන්නේ හරිම සතුටින්. ඒ රිකීට වෝර්වික්වල වැඩවලට හවුල් වෙන්න ලැබුණු නිසා විතරක් නෙමෙයි ගත්ත තීරණය නිසා එයාලගේ පුතාටත් නමස්කාර වැඩ තව හොඳට කරන්න අවස්ථාව ලැබුණු නිසයි.—හිතෝ. 22:6.

අනාගතය ගැන බයක් නැහැ

ලුයිස් සහ ඩේල්

වෝල්කිල්වලත් වෝර්වික්වලත් ඉදි කිරීම් වැඩ දවසක ඉවර වෙයි. තමන්ගේ බෙතෙල් සේවය තාවකාලිකයි කියලා ඒ වැඩවලට උදව් කරන්න ගිහින් ඉන්න අය දන්නවා. ඊටපස්සේ කොහෙද යන්නේ, මොනවද කරන්නේ කියලා ඒ අය හිතහිත කනස්සලු වෙනවද? නැහැ. හුඟක් අයට හැඟෙන්නේ ෆ්ලොරිඩාවල ඉඳන් ඇවිත් සේවය කරන, මැදි වයසේ ඉන්න මේ අයට හැඟෙන විදිහටයි. ඉදි කිරීම් කළමනාකරුවෙක් වන ජෝන් සහ එයාගේ බිරිඳ කාමන් තාවකාලික ස්වේච්ඡා සේවකයන් විදිහට වෝර්වික්වල සේවය කරනවා. ජෝන් මෙහෙම කියනවා. “මේ වෙන කල් යෙහෝවා දෙවි අපිව රැකබලා ගත්ත විදිහ හරිම පුදුමයි. ඔහු අපිව මේ සේවයට තෝරගත්තේ පස්සේ අපිව අත්හැරලා දාන්න නෙමෙයි කියලා අපි දන්නවා.” (ගීතා. 119:116) ගිනි  මැඩ පවත්වන ජල පද්ධති නිර්මාණය කරන ලුයිස්, එයාගේ බිරිඳ වන කෙන්‍යා එක්ක වෝල්කිල්වල කරන සේවය ගැන මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි අපිට අවශ්‍ය දේවල් දෙන විදිහ අපි අද්දැක්කා. දෙවි ඒක ඉදිරියේදීත් කරනවා කියලා අපිට විශ්වාසයි. ඒ කොහොමද, කවදද, කොහෙදිද කියලා අපි දන්නේ නෑ. ඒත් දෙවි අනිවාර්යයෙන්ම අපිව බලාගන්නවා කියලා නම් අපි දන්නවා.”—ගීතා. 34:10; 37:25.

‘ගබඩා පිරී ඉතිරී යන තරමට ආශීර්වාද’

ජෝන් සහ මෙල්වන්

නිව් යෝර්ක්වල ඉදි කිරීම් වැඩවලට හවුල් වෙන හුඟක් අයට ඒකට ඉදිරිපත් නොවී ඉන්න ඕන තරම් හේතු තිබුණා. ඒත් යෙහෝවා දෙවි අපි හැමෝටම දීලා තියෙන මේ පොරොන්දුව  ගැන ඔවුන් විශ්වාස කරලා වැඩ කළා. “මා ඔබට ආශීර්වාද කරන්නේ නැද්ද කියා බලන්න. මම අහසේ කවුළු විවර කර ඔබේ ගබඩා පිරී ඉතිරී යන තරමට ඔබට ආශීර්වාද කරන්නෙමි.”—මලා. 3:10.

දෙවි දීලා තියෙන ඒ පොරොන්දුව ඒ විදිහටම ඉටු කරයිද කියලා සෝදිසි කරලා බලන්න ඔයාත් කැමතිද? දෙවිගේ සංවිධානය මේ කාලේ කරන පුදුමාකාර වැඩවලට හවුල් වෙන්න ඔයාටත් පුළුවන්ද කියලා යාච්ඤා කරලා හොඳට හිතලා බලන්න. ඒක නිව් යෝර්ක්වල වුණත් ඔයාගේ රටේ ඉදි කිරීමේ වැඩක් වුණත් ඔයා මුළු හිතින්ම ඒකට හවුල් වෙනවා නම් යෙහෝවා දෙවි ඔයාට ආශීර්වාද කරයි.—මාක් 10:29, 30.

ගැරී

සිවිල් ඉංජිනේරුවෙක් වන ඩේල් සහ ඔහුගේ බිරිඳ කැති ජීවත් වුණේ ඇලබාමාවල. වෝල්කිල්වල ස්වේච්ඡාවෙන් සේවය කරන ඔවුන් අනිත් අයටත් මේ සේවය අත්හදා බලන්න කියලා කියනවා. “හුරු පුරුදු ජීවිතේ අත්හැරලා එන්න ඔයාට ධෛර්යයක් තියෙනවා නම් යෙහෝවා දෙවිගේ බලය ක්‍රියාත්මක වෙන විදිහ අද්දකින්න ඔයාටත් පුළුවන් වෙයි” කියලා එයාලා කියනවා. මේ වගේ වැඩකට ඉදිරිපත් වෙන්න නම් ඔයාට ඕන කරන්නේ මොනවද? ඩේල් මෙහෙම කියනවා. “ඔයාගේ ජීවිතේ සරල කරගන්න. එහෙම කළොත් ඔයා කවදාවත් පසුතැවෙන එක්ක නෑ.” ඉදි කිරීම් කළමනාකරණය ගැන අවුරුදු 30ක අද්දැකීම් තියෙන ගැරී සහ එයාගේ බිරිඳ මෝරින් ජීවත් වුණේ උතුරු කැරොලිනාවල. එයාලා කියන විදිහට වෝර්වික්වලට ආපු එකෙන් එයාලට ලැබුණු එක ආශීර්වාදයක් තමයි අවුරුදු ගාණක් යෙහෝවා දෙවිට විශ්වාසවන්තව බෙතෙල් එකේ සේවය කරන සහෝදර සහෝදරියන් එක්ක වැඩ කරන්න, ආශ්‍රය කරන්න ලැබුණු අවස්ථාව. ගැරී මෙහෙම කියනවා. “බෙතෙල් එකේ සේවය කරන්න නම් ඔයා සරල ජීවිතයක් ගත කරන්න ඕනේ. ඒක තමයි මේ දුෂ්ට සමාජයේ ජීවත් වෙන්න පුළුවන් හොඳම විදිහ.” ඉලිනොයිස්වල ඉඳන් ආපු ජේසන්, ඉලෙක්ට්‍රිකල් වැඩ කරන ආයතනයක සේවය කරපු කෙනෙක්. එයාත් එයාගේ බිරිඳ ජෙනිෆර්ත් දැන් වෝල්කිල්වල සේවය කරනවා. එයාලා කියන්නේ වෝල්කිල්වල බෙතෙල් නිවසේ වැඩ කරන එක “පාරාදීසයේ ජීවිතය දැන් රස බලන්න පුළුවන් හොඳම විදිහ” කියලයි. “අපි කරන හැම වැඩක්ම දෙවි අගය කරනවා. අපි දැන් කරන සේවය දෙවි හැමදාටම වටින එකක් විදිහට සලකනවා. ඒ හැම දෙයක්ම අපිට ආශීර්වාදයක්. පිරී ඉතිරී යන තරමට ආශීර්වාද කරන්න දෙවි අමතක කරන්නේ නෑ කියන එක ඇත්තක්” කියලා ජෙනිෆර් කියනවා.

^ 7 ඡේ. තාවකාලිකව බෙතෙල් සේවයට එන අයට ඔවුන්ගේ නවාතැන්වලටවත් වියහියදම්වලටවත් ශාඛා කාර්යාලයෙන් මුදලක් දෙන්නේ නැහැ. ඔවුන්ගේම මුදල්වලින් සතියකට දවසක් නැත්නම් දවස් කීපයක් බෙතෙල් එකට ඇවිත් සේවය කරනවා.