Skip to content

පටුනට යන්න

 ජීවිත කතාව

දශක පහක මතකය අවදි කරන අක්කා නඟෝ

දශක පහක මතකය අවදි කරන අක්කා නඟෝ

“ඔයාට නම් පුරෝගාමි සේවය කරන්න හරි ලේසියි. ඔයාගේ අම්මයි තාත්තයි දෙන්නම සත්‍යයේ. එයාලා ඉන්නවනේ ඔයාට උදව් කරන්න” කියලා දවසක් අපි අපේ යාළුවෙක්ට කිව්වා. හැබැයි එයා අපිට මෙහෙම කිව්වා. “අපි හැමෝගෙම තාත්තා එක් කෙනයි.” ඒකෙන් එයා අපිට වැදගත් දෙයක් මතක් කරලා දුන්නා. ඒ තමයි අපේ පියා වන යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ව බලාගන්නවා සහ ශක්තිමත් කරනවා කියන කාරණය. අපේ ජීවිත කාලය පුරාම අපි ඒක අද්දැක්කා.

 අපි ජීවත් වුණේ ෆින්ලන්තයේ ඔස්ට්‍රාබොත්නියාවේ උතුරු පැත්තේ ගොවිපොළකයි. අපේ පවුලේ දරුවන් දහදෙනෙක් හිටියා. දෙවෙනි ලෝක මහ යුද්ධය කාලයේදී අපි පොඩියි. යුද්ධය තිබුණේ හුඟක් ඈත වුණත් මිනිස්සු හුඟක් දුක් විඳිනවා කියලා අපි දැනගෙන හිටියා. එක දවසක් රෑ, ඕලු සහ කලායෝකි කියන නගර දෙකටම බෝම්බ දැම්මම ඒ පැත්තේ අහස පුරාම රතු එළියක් අපි දැක්කා. යුද්ධ ගුවන් යානා දැක්ක ගමන්ම හැංගෙන්න ඕනෙ කියලා අපේ අම්මලා අපිට කියලා දුන්නා. දවසක් අපේ ලොකු අයියා තවුනො, අපිට අලුත් දෙයක් කිව්වා. ඒ තමයි මිනිස්සු කවදාවත් දුක් විඳින්නේ නැති කාලයක් ගැන. ඒ කාලයේදී පොළොව පාරාදීසයක් වෙනවා කියලත් එයා කිව්වා. ඒ ගැන තවත් දැනගන්න අපිට ඕනෙ වුණා.

බයිබල් ශිෂ්‍යයන්ගේ පොත් පත් කියවලා තමයි ලොකු අයියා ඒක දැනගෙන තිබුණේ. එතකොට එයාට අවුරුදු 14යි. බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් නිසා යුද්ධ කරන එක වැරදියි කියලා එයා තේරුම්ගත්තා. ඒ නිසා දෙවෙනි ලෝක මහ යුද්ධය පටන්ගත්තම එයා හමුදාවට බැඳුණේ නැහැ. ඒකෙන් එයාට හිරේ යන්න සිද්ධ වුණා. එහේදී අයියට හුඟක් හිරිහැර කළා. ඒත් ඒකෙන් වුණේ යෙහෝවා දෙවිට සේවය කරන්න අයියට තිබුණ අධිෂ්ඨානය තවත් ශක්තිමත් වුණ එකයි. හිරෙන් නිදහස් වුණාට පස්සේ එයා තවත් උනන්දුවෙන් සේවයේ ගියා. ලොකු අයියගේ විශ්වාසය දැක්කම අපිටත් ආශාවක් ඇති වුණා ළඟ තියෙන ගමක සාක්ෂිකරුවන් පවත්වපු රැස්වීම්වලට යන්න. සමුළුවලට යන්න සල්ලි හොයන්න අපි ලූනු වගා කළා, බෙරි ගෙඩි කඩන්න ගියා, කුලී ඇඳුම් මැහුවා වගේ එක එක දේවල් කළා. ගොවිපොළේ හුඟක් වැඩ තිබුණ නිසා සමුළු යද්දී කාට හරි ගෙදර නතර වෙන්න වුණා.

වමේ සිට: මත්ති (තාත්තා), තවුනො, සයිමි, මරියා එමිලියා (අම්මා), වැයිනො (අතේ ඉන්න දරුවා), අයිලි සහ අන්නික්කි 1935දී

යෙහෝවා දෙවි සහ ඔහුගේ අරමුණු ගැන අපි ඉගෙනගද්දී දෙවි ගැන අපිට ලොකු ආදරයක් ඇති වුණා. අපි දෙන්නම 1947දී බව්තීස්ම වුණා. (අයිලිට 17යි, අන්නික්කිට 15යි.) ඊටපස්සේ විටින් විට සහායක පුරෝගාමීන් විදිහට සේවය කරන්න අපි හිතුවා. අපේ අක්කා සයිමිත් ඒ අවුරුද්දෙම බව්තීස්ම වුණා. ඒ වෙනකොට විවාහ වෙලා හිටපු අපේ තවත් අක්කා කෙනෙක් එක්කත් අපි බයිබලය පාඩම් කළා. එයාගේ නම ලින්යා. එයාගේ පවුලේ අයත් සාක්ෂිකරුවන් වුණා.

පූර්ණකාලීන සේවය

වමේ සිට: ඒවා කල්ලියෝ, සයිමි මත්තිලා සුරියලා, අයිලි, අන්නික්කි සහ සාරා නොපොනන් 1949දී

වර්ෂ 1955දී අපි දෙන්නා කෙමි කියන නගරයේ පදිංචි වුණා. අපි දෙන්නම පූර්ණකාලීන රැකියා කළත් අපේ ආශාව වුණේ පුරෝගාමි සේවය කරන්න. හැබැයි රස්සාව අත්හැරලා පුරෝගාමි සේවය කළොත් ජීවත් වෙන්න සල්ලි තියෙයිද කියන භය අපිට තිබුණා. ඒ නිසා අපි මුලින් සල්ලි ටිකක් ඉතුරු කරගන්න හිතුවා. ඒ කාලයේදී වගේ තමයි, අපි කලින් සඳහන් කළ අපේ පුරෝගාමි යාළුවා එක්ක ඒ සාකච්ඡාව ඇති වුණේ. අපේ හැකියාව ගැන හරි, අපේ දෙමව්පියන් අපිට දෙන උදව් ගැන හරි, විශ්වාස කරනවට වඩා යෙහෝවා දෙවිව විශ්වාස කරන්න එයා කියපු දේ අපිට උදව් වුණා.

වර්ෂ 1952දී කොපියෝවල සමුළුවට යන අතරේ. වමේ සිට: අන්නික්කි, අයිලි, ඒවා කල්ලියෝ

ඒ වෙද්දී මාස දෙකකට පුරෝගාමි සේවය කරන්න අවශ්‍ය මුදල් අපි ඉතුරු කරලා තිබුණා. ඒ නිසා ආක්ටික් වෘත්තයට ඉහළින් පිහිටි ලැප්ලන්තයේ පෙල්ලෝ කියන ප්‍රදේශයේ මාස දෙකකට සේවය කරන්න අපි  1957 මැයි මාසයේදී ඉදිරිපත් වුණා. ඒත් වියදමට ඉතුරු කරපු සල්ලි ඇති වෙයිද කියන භය අපේ හිතේ තිබුණා. හැබැයි මාස දෙක ගෙවිලා ගියාට අපි ඉතුරු කරපු මුදල්වලින් සතයක්වත් වියදම් වෙලා තිබුණේ නැහැ. ඉතිං අපි තව මාස දෙකකට සේවය කරන්න ඉදිරිපත් වුණා. ඒ මාස දෙකත් ගෙවුණා. සල්ලි තාම ඉතුරුයි! ඒකෙන් අපිට හොඳටම පැහැදිලි වුණා අපිව බලාගන්නේ යෙහෝවා දෙවි කියලා. අපි දැන් අවුරුදු 50කටත් වඩා වැඩි කාලයක් පුරෝගාමි සේවය කරලා තියෙනවා. ඉතුරු කරපු සල්ලි තාම අපි ගාව තියෙනවා. අපිට දැනෙන්නේ හරියට යෙහෝවා දෙවි ඒ කාලය පුරාම අපි දෙන්නව අතින් අල්ලගෙන, ‘භය වෙන්න එපා. ඔයාලට උදව් කරන්න මං ඉන්නවා’ කියලා කිව්වා වගෙයි.—යෙසා. 41:13.

පුරෝගාමි සේවය කරපු වසර 50 පුරාම අපිට මුදල් හිඟයක් තිබුණේ නැහැ

කයිසු රෙයික්කො සහ අයිලි සේවයේදී

වර්ෂ 1958දී, ලැප්ලන්තයේ සොඩන්කිලා කියන ප්‍රදේශයේ සේවය කරන්න කැමතිද කියලා අපේ චාරිකා සේවක අපෙන් ඇහුවා. ඒ කාලයේ එහේ හිටියේ එක සහෝදරියක් විතරයි. එයාට සත්‍යය ලැබිලා තිබුණේ පුදුම විදිහකට. එයාගේ පුතා පන්තියේ ළමයි එක්ක ෆින්ලන්තයේ අගනුවර වන හෙල්සිංකි බලන්න ගිහින් තිබුණා. ඒ ළමයි ටික නගරයේ ඇවිදගෙන යද්දී එක වයසක සහෝදරියක් ‘මේක ඔයාගේ අම්මට දෙන්න’ කියලා ඒ දරුවට මුරටැඹ සඟරාවක් දීලා තියෙනවා. ඒ සඟරාව කියවලා තමයි ඒ සහෝදරිය සත්‍යයට ඇවිල්ලා තිබුණේ.

සොඩන්කිලා ප්‍රදේශයේ අපි ජීවත් වුණේ ලී මෝලක උඩුමහලේ. අපේ රැස්වීම් තිබ්බෙත් එතනම තමයි. මුලදී රැස්වීම්වලට හිටියේ අපි දෙන්නයි අර සහෝදරියයි එයාගේ දුවයි. අපි සතියට නියමිත රැස්වීම් කොටස් එකට කියෙව්වා විතරයි. ටික දවසකින් සාක්ෂිකරුවන් එක්ක පාඩම් කරපු කෙනෙක් ඒ ලී මෝලේ වැඩ කරන්න ආවා. එයයි එයාගේ පවුලේ අයයි රැස්වීම්වලට එන්න පටන්ගත්තා. පස්සේ එයයි එයාගේ භාර්යාවයි බව්තීස්ම වුණා. ඒකෙන් අපේ රැස්වීම් මෙහෙයවන්න අපිට සහෝදරයෙක් ලැබුණා. ලී මෝලේ වැඩ කරපු තවත් පිරිමි අය රැස්වීම්වලට ඇවිල්ලා පස්සේ සාක්ෂිකරුවන් වුණා. ඉක්මනින් ඒ පුංචි කණ්ඩායම සභාවක් වුණා.

අභියෝග

මිනිසුන්ට දේශනා කරන්න අපිට හුඟක් දුර ගමන් කරන්න වුණා. ඉර අව්ව හොඳට වැටෙන කාලෙට අපි පයිනුත්, බයිසිකල්වලත්, බෝට්ටුවලත් ගියා. අපේ බයිසිකල්වලින් නම් අපි හොඳට ප්‍රයෝජන ගත්තා. සමුළු යන්න, අපේ දෙමව්පියන්ව බලන්න යන්න අපි කිලෝමීටර් සිය ගණනක් බයිසිකල් පැද්දා. ශීත කාලයේදී නම් පාන්දරින්ම බස් එකේ නැඟලා ගමකට ගියා. එතැනින් අපි ගෙයින් ගෙට ඇවිදගෙන ගියා. ඒ ගමේ හැම ගෙදරකටම කතා කළාට පස්සේ ඊළඟ ගමට ඇවිදගෙන ගියා. සමහර දවස්වල පාරවල් හොඳටම හිමෙන් වැහිලා තිබුණා. එතකොට ඇවිදින්න හරි අමාරුයි. අපි යන කොටම වගේ ඒ පාරේ හිම  කරත්තයක් එහෙම ගිහින් තිබුණා නම් ඒකට හෑරුණ පාර දිගේ අපි ඇවිද්දා. ඒත් ආයෙත් හිම වැටුණම ඒකත් වැහිලා ගියා. ශීත කාලය අවසන් වෙනකොට හිම දිය වෙන්න පටන්ගන්නවා. එතකොටත් පාරවල්වල ඇවිදින්න හරිම අමාරුයි. හරියට මඩේ ඇවිදිනවා වගේ.

සීතල දවසක සේවයේ යද්දී

සීතලට හරියන විදිහට අඳින්නත් ඕනෙ. අපි කොට මේස් කුට්ටම් දෙක තුනක්ම දාලා ඒකට උඩින් දිග වූල් මේස් කුට්ටමක් දාලා තමයි අපේ බූට්ස් දාගත්තේ. ගන හිම තට්ටුව නිසා ඇවිදිනකොට අපේ බූට්ස් ඇතුළට හිම ගියා. අපි ගෙයකට ගියාම පඩිය උඩට නැඟලා බූට්ස් දෙක ගලවලා ඒකේ තිබ්බ හිම ගසලා දැම්මා. අපි සීතලට ඇන්ද දිග කබාවල වාටිය පාරේ තියෙන හිම නිසා තෙමිලා, සීතලට මිදුණා. දවසක් අපි ගෙයක් හොයාගන්න කිලෝමීටර් 11කට වැඩියෙන් ඇවිද්දා. ඒ ගෙදර හිටපු කාන්තාව අපිට කිව්වා, “මේ වගේ කාලගුණයක් තියෙද්දීත් මේ සේවය කරන්න ඔයාලට පුදුම විශ්වාසයක් තියෙන්න ඕනෙ” කියලා.

ආපහු ගෙදර යන්න දුර වැඩි නිසා හුඟක් අවස්ථාවලදී අපි රෑට කාගෙ හරි ගෙදරක නතර වුණා. හුඟක් අය ජීවත් වුණේ පොඩි ගෙවල්වල. ඒත් ඒ මිනිස්සු අපිට හොඳට සැලකුවා. ඉන්න විතරක් නෙවෙයි කන්න බොන්නත් දුන්නා. සමහර දවස්වල අපේ පැදුර වුණේ පිනිමුවෙක්, ගෝනෙක්, වලහෙක් වගේ සතෙක්ගේ හමයි. ඉඳලා හිටලා අපිට ඊට වඩා සැපට ඉන්නත් පුළුවන් වුණා. දවසක් ලොකු ගෙදරක හිටපු කාන්තාවක් ඒ ගෙදර උඩුමහලේ තිබුණ ලස්සන කාමරයක් අපිට දුන්නා. ඒකේ තිබුණ ඇඳට ලස්සන ලේස් අල්ලපු සුදු ඇතිරිලි දාලා තිබුණා. ඒ වගේ නතර වෙච්ච හැම වෙලාවකම වගේ අපි රෑ වෙනකල් ගෙදර අයත් එක්ක බයිබලයේ තියෙන දේවල් කතා කළා.

ආශීර්වාද

ලැප්ලන්තය කියන්නේ හරිම ලස්සන ප්‍රදේශයක්. ඍතු වෙනස් වෙද්දී ඒ පරිසරයේ ඇති වෙන වෙනසත් හරිම ලස්සනයි. ඒත් යෙහෝවා දෙවි ගැන දැනගන්න ආශාවක් දක්වපු මිනිස්සු තමයි අපිට ගොඩක්ම ලස්සන වුණේ. ගස් කපන අයටත් අපි දේශනා කළා. සමහර දවස්වල අපි ගෙදරකට ගියාම ඒකේ ගස් කපන හැඩිදැඩි පිරිමි දහයක් දොළහක් විතර හිටියා. අපිට පුංචි භයක් දැනුණත් එයාලා කැමැත්තෙන් අපේ පණිවිඩයට ඇහුම්කන් දීලා පොත් පතුත් ලබාගත්තා.

දවසක් අපි බස් එකට විනාඩි පහක් පරක්කු වුණා. ඉතිං අපි වෙන බස් එකක නැඟලා වෙන ගමකට ගියා. ඒ පැත්තේ අපි කවදාවත් සේවය කරලා තිබුණේ නැහැ. ඒත් පළවෙනිම ගෙදර හිටපු තරුණිය අපිට මේ වගේ දෙයක් කියද්දී අපි පුදුම වුණා. “ඔයාලා එනකං මම බලාගෙනයි හිටියේ.” එයත් එක්ක කතා කරද්දී අපි දැනගත්තා එයාගේ අක්කා අපිත් එක්ක බයිබලය පාඩම් කරනවා කියලා. අක්කා හිටියේ වෙන ගමක. ඒ අක්කා අපි ගැන නංගිට කියලා තිබුණ නිසා නංගිටත් බයිබලය ගැන දැනගන්න ආස හිතිලා අපිට එන්න කියලා අක්කා අතේ පණිවිඩයක් යවලා තිබුණා. ඒත් ඒ පණිවිඩය අපිට ලැබුණේ නැහැ. ඒ තරුණිය එක්කත් ළඟ ගෙදරක හිටපු එයාගේ නෑදෑයන් එක්කත් අපි පාඩම් කරන්න පටන්ගත්තා. පස්සේ ඒ පාඩම් දෙකම එක පාඩමක් කරන්න අපි තීරණය කළා. ඒකට 12දෙනෙක් විතර සහභාගි වුණා. ඒ පවුල්වලින් හුඟක් අය දැන් යෙහෝවා දෙවිට සේවය කරනවා.

 වර්ෂ 1965දී ආක්ටික් වෘත්තයට පහළින් පිහිටි කුසාමෝ කියන ප්‍රදේශයේ තියෙන සභාවත් එක්ක සේවය කරන්න අපිට පැවරුමක් ලැබුණා. ඒ දවස්වල එහේ ප්‍රචාරකයන් ටිකදෙනයි හිටියේ. මුලදී ඒ ප්‍රදේශයේ මිනිසුන්ට දේශනා කරන්න ලේසි වුණේ නැහැ. එයාලගේ ආගමට එයාලා හුඟක් ළැදි නිසා අපේ පණිවිඩයට ඇහුම්කන් දෙන්න එයාලා එච්චර කැමති වුණේ නැහැ. හැබැයි හුඟක් අය බයිබලයට ගරු කළා. ඒ නිසා එයාලා කැමති විෂයක් ගැන කතා කරලා ටිකෙන් ටික එයාලත් එක්ක යාළු වෙන්න අපිට පුළුවන් වුණා. අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ බයිබල් පාඩම් පටන්ගන්න එක ටිකක් ලේසි වුණා.

දැනුත් උනන්දුවෙන් සේවය කරනවා

අපිත් එක්ක පාඩම් කරපු සමහර අය

දැනුත් අපි හැමදාම වගේ සේවයේ යනවා. ඒත් ඉස්සර වගේ මුළු දවසම සේවය කරන්න තරම් ශක්තියක් දැන් අපිට නැහැ. අපේ ලොකු අයියගේ පුතා හැම තිස්සෙම කිව්වා කාර් එළවන්න පුරුදු වෙන්න කියලා. ඒ නිසා අයිලි 1987දී රියදුරු බලපත්‍රයක් අරගත්තා. එතකොට එයාගේ වයස අවුරුදු 56යි. අපේ ප්‍රදේශය විශාල එකක් නිසා ඒක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ඒ වගේම අපේ සභාවට අලුත් නමස්කාර මධ්‍යස්ථානයක් හැදුවම ඒකට යා කරලා පුංචි ගෙයකුත් හැදුවා. දැන් අපි පදිංචි වෙලා ඉන්නේ ඒකේ.

ෆින්ලන්තයේ යෙහෝවා දෙවිට සේවය කරන අයගේ සංඛ්‍යාව දකිනකොට අපිට දැනෙන්නේ පුදුම සතුටක්. අපි පුරෝගාමි සේවය පටන්ගත්ත මුල් කාලයේ ප්‍රචාරකයන් ටිකදෙනයි හිටියේ. ඒත් දැන් සභා කිහිපයක් තියෙන චාරිකාවක්ම තියෙනවා. හුඟක් වෙලාවට අපි සමුළුවකට ගියාම කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අපිට කියනවා, එයා පුංචි කාලේ එයාගේ පවුලේ අයත් එක්ක පාඩම කළේ අපි කියලා. අපි කරපු සේවයට යෙහෝවා දෙවි ගොඩක් ආශීර්වාද කරලා තියෙනවා.—1 කොරි. 3:6.

වැස්සත් අපි සේවේ යන්න ආසයි

වර්ෂ 2008දී විශේෂ පුරෝගාමීන් විදිහට අපි අවුරුදු 50ක් සම්පූර්ණ කළා. යෙහෝවා දෙවිට දිගටම සේවය කරන්න එකිනෙකාට දිරිගන්වන්න පුළුවන් වුණ එක ගැන අපි දෙවිට හුඟක් ස්තුතිවන්ත වෙනවා. අපි ගත කළේ සරල ජීවිතයක් තමයි. ඒත් කවදාවත් අපිට කිසිම දෙයකින් අඩුවක් තිබුණේ නැහැ. (ගීතා. 23:1) පුරෝගාමි සේවය පටන්ගන්න අපි මුලදී භය වුණේ මොකටද කියලා දැන් හිතෙනවා. මොකද යෙහෝවා දෙවි මේ විදිහට පොරොන්දු වෙලා තියෙනවා. “මම ඔබව ශක්තිමත් කරන්නෙමි. ඔබට පිහිට වන්නෙමි. ධර්මිෂ්ඨකම නමැති මාගේ දකුණතින් ඔබව තදින් අල්ලාගන්නෙමි.” (යෙසා. 41:10) ඒ පොරොන්දුවට එකඟව, ගත වෙලා තියෙන මේ අවුරුදු ගණනාව පුරාම දෙවි අපිව ශක්තිමත් කළා.