Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිව තේරුම්ගැනීමට හැකි හදවතක්!

යෙහෝවා දෙවිව තේරුම්ගැනීමට හැකි හදවතක්!

“මා යෙහෝවා දෙවි බව තේරුම්ගැනීමට හැකි හදවතක් මම ඔවුන්ට ලබා දෙන්නෙමි. . . . මාගේ සෙනඟ ලෙස මම ඔවුන්ව පිළිගන්නෙමි.”—යෙරෙ. 24:7.

1, 2. අත්තික්කා ගෙඩි ගැන දැනගන්න එකේ තියෙන ප්‍රයෝජන මොනවද?

අත්තික්කා ගෙඩියක රස බලන්න කවදා හරි ඔබට ලැබිලා තියෙනවද? අතීතයේ හිටපු ඊශ්‍රායෙල්වරු නම් අත්තික්කා ගෙඩිවල රස වින්දා. (නාහු. 3:12; ලූක් 13:6-9) අත්තික්කා රසයෙන් වගේම ගුණයෙනුත් පිරුණු පලතුරක්. විශේෂයෙන්ම හෘදය නිරෝගීව තියාගන්න අත්තික්කා ගොඩක් හොඳයි කියලා සමහරු කියනවා.

2 යෙහෝවා දෙවිත් එක අවස්ථාවක අත්තික්කා ගෙඩි ගැන කතා කළා. ඒත් ඒ, අත්තික්කා ගෙඩිවල තියෙන රස ගුණ ගැන නම් නෙවෙයි. මිනිසුන්ගේ සිත් ගැන යමක් කියලා දෙන්නයි දෙවි අත්තික්කා ගෙඩි ගැන කතා කළේ. දෙවි කියපු ඒ දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද කියලා දැන් බලමු.

3. යෙරෙමියා දැක්ක දර්ශනයේ තිබුණ අත්තික්කාවලින් නියෝජනය වුණේ මොනවද?

3 ක්‍රිස්තු පූර්ව 617දී ජීවත් වුණ යූදාවරු යෙහෝවා දෙවි පිළිකුල් කරපු දේවල් හුඟක් කළා. ඉදිරියේදී ඔවුන්ට වෙන්න යන දේ ගැන දර්ශනයක් මගින් දෙවි යෙරෙමියාට දැනුම් දුන්නා. යෙරෙමියා ඒ දර්ශනයේදී අත්තික්කා ගෙඩිවලින් පිරුණු කූඩ දෙකක් දැක්කා. එක කූඩයක තිබුණේ “හොඳ අත්තික්කා” ගෙඩි. අනිත් කූඩයේ තිබුණේ “නරක් වී” තිබුණ අත්තික්කා ගෙඩි. (යෙරෙමියා 24:1-3 කියවන්න.) නරක් වුණ ඒ අත්තික්කාවලින් නියෝජනය වුණේ ශෙදකියා රජ ඇතුළු දෙවි පිළිකුල් කරන දේවල් කරපු අයවයි. ඉතාම ඉක්මනින් ඔවුන් බැබිලෝනිවරුන් අතින් විනාශ වෙන්න නියමිතව තිබුණා. ඒත් හොඳ අත්තික්කාවලින් නියෝජනය වුණේ ඒ කාලේ හිටපු එසකියෙල්, දානියෙල් සහ ඔහුගේ මිත්‍රයන් තුන්දෙනා වගේ ධර්මිෂ්ඨ අයවයි. ඔවුන්ව වහලුන් විදිහට බැබිලෝනියට අරන් ගියත් සමහරුන්ට ආයෙත් යෙරුසලමට ඇවිත් දේවමාලිගාව ගොඩනඟන්න අවස්ථාව ලැබෙනවා.—යෙරෙ. 24:8-10; 25:11, 12; 29:10.

4. දෙවි යූදාවරුන් ගැන කියපු දේ අපිට අදාළ වෙන්නේ කොහොමද?

4 ඒ ධර්මිෂ්ඨ අය ගැන දෙවි මේ වගේ දෙයක් කිව්වා. ‘මා යෙහෝවා දෙවි බව තේරුම්ගැනීමට හැකි හදවතක්  මම ඔවුන්ට ලබා දෙන්නෙමි. මාගේ සෙනඟ ලෙස මම ඔවුන්ව පිළිගන්නෙමි.’ (යෙරෙ. 24:7) දෙවිට ඕනෙ ඔහුව ‘තේරුම්ගන්න පුළුවන් හදවතක්’ අපිට තියෙනවා දකින්නයි. ඒ කියන්නේ ඔහුව හොඳින් දැන හඳුනා ගෙන, ඔහුට සේවය කරන අය වෙනවා දකින්නයි. ඒ වගේ කෙනෙක් වෙන්න නම් බයිබලය හොඳින් අධ්‍යයනය කරලා ඒ මඟ පෙන්වීම් ජීවිතයට අදාළ කරගන්න ඕනෙ. ඊටපස්සේ අපි කරපු වැරදි ගැන පසුතැවිලි වෙලා ඒවා ආයෙත් නොකර ඉන්න අධිෂ්ඨාන කරගන්න ඕනෙ. එතකොට අපේ ජීවිත දෙවිට කැප කරලා බව්තීස්ම වෙන්න අපිට පුළුවන්.—මතෙ. 28:19, 20; ක්‍රියා 3:19.

5. යෙරෙමියා පොතේ වැඩියෙන්ම කතා කරන්නේ කවුරුන් ගැනද?

5 ඔබත් දෙවිට කැප වෙලා බව්තීස්ම වුණ කෙනෙක්ද? එහෙමනම් ඉස්සරහටත් ඔබ හිතන විදිහ ගැනත් ජීවත් වන විදිහ ගැනත් හුඟක් සැලකිලිමත් වෙන්න ඕනෙ. ඒකට යෙරෙමියා සිත ගැන කියපු දේවල් උපකාරවත් වෙනවා. යෙරෙමියා පොතේ වැඩියෙන්ම කතා කරන්නේ යුදෙව්වන් ගැනයි. (යෙරෙ. 1:15, 16) ඔවුන් මෝසෙස්ගේ කාලේ ඉඳලම යෙහෝවා දෙවිට කැප වුණ ජාතියක්. (නික්. 19:3-8) ඒ විතරක් නෙවෙයි යෙරෙමියාගේ කාලයේදිත් “යෙහෝවා දෙවියනි, ඔබයි අපේ දෙවි. අපි ඔබ වෙතට නැවත හැරී ආවෙමු” කියලා ඔවුන් කිව්වා. (යෙරෙ. 3:22) ඒත් ඔවුන්ගේ සිත් හොඳ තත්වයක තිබුණද?

සිත්වලට සැත්කමක්

6. සිත ගැන දෙවි කියපු දේ අපිට වැදගත් ඇයි?

6 අපේ හෘදය වස්තුව ගැන දැනගන්න වෛද්‍යවරුන්ට පුළුවන්. ඒත් අපේ සිත ගැන දැනගන්න පුළුවන් යෙහෝවා දෙවිට විතරයි. දෙවි මෙහෙම කියනවා. ‘සියල්ලටම වඩා මිනිසාගේ සිත රැවටිලිකාරය. එබැවින් ඔහු උත්සාහ කරන්නේ කෙසේ හෝ තම ආශාව ඉටු කරගැනීමටය. ඒ රැවටිලිකාර සිත තේරුම්ගත හැක්කේ කාටද? යෙහෝවා දෙවි වන මම මනුෂ්‍යයන්ගේ සිත් සෝදිසි කර බලන්නෙමි. මා එසේ කරන්නේ ඔවුන් එකිනෙකා ගත කරන ජීවිතයට අනුව ඔවුන්ට නිසි ප්‍රතිඵල ලබා දීමටය.’ (යෙරෙ. 17:9, 10) අපි කැමති අකමැති දේවල්, අපේ සිතුම් පැතුම් සහ ඉලක්ක වගේ අපේ සිතේ තියෙන හැම දෙයක්ම සෝදිසි කරලා බලන්න දෙවිට පුළුවන්. අපිත් වෑයමක් දැරුවොත් අපේ හිතේ තියෙන දේ දැනගන්න අපිටත් පුළුවන්.

7. යුදෙව්වන්ගේ සිත් ගැන දෙවි කිව්වේ මොකක්ද?

7 යෙරෙමියාගේ කාලයේ හිටපු යුදෙව්වන් ගැන යෙහෝවා දෙවිට හැඟුණේ කොහොමද? දෙවි ඔවුන්ව හැඳින්නුවේ “අචර්මච්ඡේදිතයන්” විදිහටයි. (යෙරෙ. 9:25) ඒත් යුදෙව් පුරුෂයෝ හැම කෙනෙක්ම චර්මච්ඡේදනය වෙලයි හිටියේ. එහෙමනම් දෙවි ඒකෙන් අදහස් කළේ මොකක්ද? ඒක තේරුම්ගන්න අපිට යෙරෙමියා 9:26හි පාදසටහන උදව් වෙනවා. එතනදී ඔවුන්ව හඳුන්වන්නේ “සිත් චර්මච්ඡේදනය කර නොගත්” සෙනඟක් විදිහටයි. එහෙමනම් ඔවුන් චර්මච්ඡේදනය කරගන්න ඕනෙ වුණේ ඔවුන්ගේ සිත් කියලා පැහැදිලියි. ඒ කියන්නේ ඔවුන්ගේ ‘සිත් පවිත්‍ර කරගන්න’ ඕනෙ කියන එකයි.—යෙරෙ. 9:26.

8, 9. හුඟක් යුදෙව්වන් කරන්න අවශ්‍ය වුණේ මොනවද?

8 දෙවි ඔවුන්ට සිත් පවිත්‍ර කරගන්න කියලා කිව්වේ ඇයි? “ඔබ එසේ නොකළොත් ඔබේ දුෂ්ට ක්‍රියා නිසා මාගේ උදහස කිසිවෙකුට නිවිය නොහැකි ගින්නක් මෙන් ඇවිළෙනු ඇත” කියලා දෙවි කිව්වා. කැප වුණ ජාතියක් වුණත් ඔවුන් දුෂ්ට දේවල් කළේ ඔවුන්ගේ සිත් නරක තත්වයක තිබුණ නිසයි. (මාක් 7:20-23 කියවන්න.) මුරණ්ඩු සෙනඟක් වුණ ඔවුන්, තමන් හිතන විදිහ වෙනස් කරගන්න කොහොමටවත් කැමති වුණේ නැහැ. ඔවුන්ට තිබුණේ දුෂ්ට සිතක්. (යෙරෙමියා 5:23, 24; 7:24-26 කියවන්න.) “යෙහෝවා දෙවි වන මා ඉදිරියේ ඔබේ සිත් පවිත්‍ර කරගන්න” කියන එකෙන් අදහස් කළේ ඔවුන් ගත කරමින් හිටපු ජීවිතය වෙනස් කරගන්න ඕනෙ කියන එකයි.—යෙරෙ. 4:4; 18:11, 12.

9 අතීතයේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ගේ වගේම යෙරෙමියාගේ කාලයේ හිටපු යුදෙව්වන්ගේ සිත් තිබුණෙත් නරක තත්වයකයි. (ද්වි. 10:16; 30:6) වෙන විදිහකට කියනවා  නම් ඔවුන් හිටියේ ඔවුන්ගේ සිත්වලට සැත්කමක් කළ යුතු තත්වයකයි. හෘදය වස්තුවේ තියෙන සමහර රෝග සුව කරගන්න නම් සැත්කමක් කරන්නම වෙනවා. ඒ වගේ, නරක තත්වයක තිබුණ ඔවුන්ගේ සිත් පවිත්‍ර කරගන්න ඔවුන්ට ලොකු වෑයමක් දරන්න සිද්ධ වුණා. හරියට සැත්කමක් කරනවා වගේ දෙවිගේ නීතිවලට විරුද්ධව ඔවුන්ගේ සිතේ තිබුණ චේතනාවන්, සිතුවිලි වගේ දේවල් ඔවුන්ගේ සිත්වලින් සම්පූර්ණයෙන්ම ඉවත් කරගැනීම අවශ්‍ය වුණා.—ක්‍රියා 7:51.

දෙවිව “තේරුම්ගැනීමට හැකි හදවතක්” අපිටත්

10. දාවිත් කළේ මොකක්ද? අපිට දාවිත්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

10 දෙවිට කැප වුණ අය විදිහට අපිත් අපේ සිත් ගැන සැලකිලිමත් වෙන්න ඕනෙද? සභාවේ ඉන්න වැඩිදෙනෙක් දෙවිට විශ්වාසවන්තව, ඔහු සතුටු වෙන විදිහට ජීවත් වෙනවා. ‘නරක් වූ’ අත්තික්කා වගේ වෙන්න ඔවුන් කැමති නැහැ. දාවිත් රජත් ඒ වගේ කෙනෙක්. ඒත් ඔහු මෙහෙම කිව්වා. ‘අනේ දෙවියනි, මාව විමසා බලා මාගේ හදවතේ තිබෙන දේ දැනගන්න. මාව සෝදිසි කර බලා මාගේ සිතට වධ දෙන දේ දැනගන්න. මාව නොමඟට යවන දෙයක් මා තුළ තිබේද කියා සොයා බලන්න.’ අපි හිතන්න ඕනෙත් ඒ විදිහට නේද!—ගීතා. 17:3; 139:23, 24.

11, 12. (අ) අපි අපේ සිත් සෝදිසි කරලා බලන්න ඕනෙ ඇයි? (ආ) දෙවි කරන්නේ නැත්තේ මොකක්ද?

11 යෙහෝවා දෙවිට ඕනෙ අපි ඔහුව හොඳින් තේරුම් අරගෙන ඔහුව සතුටු කරන විදිහට දිගටම ජීවත් වෙනවා දකින්න. ඒ විදිහට ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන අයගේ සිත් සෝදිසි කරද්දී ඔවුන්ගේ “හදවතේ ඇති දේද ඇතුළාන්ත හැඟීම්ද” දෙවිට පේනවා. (යෙරෙ. 20:12) යෙහෝවා දෙවි ධර්මිෂ්ඨ අයගෙත් සිත් සෝදිසි කරනවා නම් අපි හැමෝම අපේ සිත්වල තියෙන්නේ මොනවද කියලා සෝදිසි කරලා බලන්න ඕනෙ නේද? (ගීතාවලිය 11:5 කියවන්න.) අපේ හිතෙත් පුංචි හරි වැරදි අදහසක්, හැඟීමක්, ඉලක්කයක් තියෙනවා වෙන්න පුළුවන්. දෙවි දෙන මඟ පෙන්වීම් ඉක්මනින් අදාළ කරගන්න අපි ටිකක් අදිමදි කරනවා වෙන්නත් පුළුවන්. එහෙමනම් අපේ හිත්වලට සැත්කමක් කරන්න කාලය ඇවිත් කියලා මතක තියාගමු. අපි ඉක්මනින්ම ඒ වැරදි දේවල් අපේ සිතෙන් ඉවත් කරගන්න ඕනෙ.—යෙරෙ. 4:4.

12 අපේ වැරදි හදාගෙන වෙනස් වෙන්න කියලා යෙහෝවා දෙවි අපිට බල කරන්නේ නැහැ. “හොඳ අත්තික්කා” වගේ ඉන්න මිනිසුන් ගැන දෙවි කිව්වේ “මා යෙහෝවා දෙවි බව තේරුම්ගැනීමට හැකි හදවතක් මම ඔවුන්ට ලබා දෙන්නෙමි” කියලයි. එහෙම නැතුව ‘මම ඔවුන්ට බල කරන්නෙමි’ කියලා දෙවි කිව්වේ නැහැ. දෙවිව තේරුම් අරගෙන ඔහුව සතුටු කරන්න ඔවුන් තුළත් උවමනාවක් තියෙන්න ඕනෙ වුණා. අපිත් ඒ වගේ වෙන්න ඕනෙ.

ඔබේ සිත සෝදිසි කරලා වැරදි ආශාවන් ඉවත් කරගත්තොත් දෙවිගේ ආශීර්වාද ලබන්න ඔබටත් පුළුවන්

13, 14. සිතේ තියෙන දේ අපිට අනතුරුදායක වෙන්න පුළුවන් කොහොමද?

13 යේසුස් කිව්වේ ‘දුෂ්ට අදහස්, මිනී මැරීම, අනාචාරය වැනි දේවල් ඇරඹෙන්නේ සිතින්’ කියලයි. (මතෙ. 15:19) කෙනෙක්ගේ හිතේ වැරදි ආශාවන් තියෙනවා නම් ඔහු අනාචාරයේ යෙදෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේ බරපතළ වරදක් කරලා ඔහු පසුතැවිලි වුණේ නැත්නම් දෙවි ඔහුව අත්හරිනවා. කෙනෙක් බරපතළ වරදක් කළේ නැතත් ඔහු තුළ තියෙන වැරදි ආශාවන් තව තවත් වැඩි වෙන්න ඉඩහැරීමත් වරදක්. (මතෙව් 5:27, 28 කියවන්න.) දෙවි අනුමත  කරන්නේ නැති විදිහේ සම්බන්ධයක් ගැන ඔබ රහසිගතව සිතන කෙනෙක්ද? එහෙමනම් ඉක්මනින්ම ඔබේ හිතෙන් ඒ ආශාව ඉවත් කරගන්න ඕනෙ කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

14 කෙනෙක් තවත් කෙනෙක් එක්ක දිගින් දිගටම අමනාපයෙන් ඉන්න එකත් වරදක්. මොකද, අන්තිමේදී ඔහු ඒ කෙනාට වෛර කරන්නත් ඉඩ තියෙනවා. (ලෙවී. 19:17) ඒ වගේ වැරදි සිතුවිලි අපේ සිතෙන් අයින් කරගන්න අපි ලොකු වෑයමක් දරන්න ඕනෙ.—මතෙ. 5:21, 22.

15, 16. (අ) “සිත් පවිත්‍ර කර නොගත්” ක්‍රිස්තියානියෙක් හැසිරෙන්නේ කොහොමද? (ආ) “සිත් පවිත්‍ර කරගන්න” එක ඒ තරම් වැදගත් දෙයක් කියලා ඔබට හිතෙන්නේ ඇයි?

15 යේසුස් “දුෂ්ට අදහස්” ගැනත් කතා කළා. අනිත් හැම දේටම වඩා අපි අපේ පවුලේ අයගේ පැත්ත ගන්න ඕනෙ කියන හැඟීම ඒ වගේ දෙයක්. ඒත් ඒකෙන් අදහස් කරන්නේ “තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති” මේ සමාජයේ අය වගේ වෙන්න ඕනෙ කියන එක නෙවෙයි. (2 තිමෝ. 3:1, 3) අපි අපේ පවුලේ අයට, නෑදෑයන්ට ආදරෙයි. ඒත් අපි ඒකෙ අන්තයට යන්න හොඳ නැහැ. ‘මගේ පවුලේ කෙනෙක්ට කවුරු හරි හිත රිදෙන දෙයක් කළොත් හරි කිව්වොත් හරි මමත් ඒ පුද්ගලයා එක්ක අමනාප වෙනවද’ කියලා අපෙන්ම අහගමු. දීනාගේ සිද්ධිය මතකද? දීනාට වුණ වරද නිසා එයාගේ සහෝදරයන්ට ගොඩක් කේන්ති ගිහින් හුඟක් අයව මරලා දැම්මා. (උත්. 34:13, 25-30) අබ්සලොම් කියන්නෙත් ඒ වගේම වැරදි අදහස් තිබුණ කෙනෙක්. තමන්ගේ සහෝදරියට වුණ වරදට පළිගන්න ඔහු අම්මොන්ව මරලා දැම්මා. (2 සාමු. 13:1-30) “දුෂ්ට අදහස්” මොන තරම් භයානකද!

16 අපේ පවුලේ කෙනෙක්ට කවුරු හරි වරදක් කළා කියලා හිතන්න. එහෙම නැත්නම් පවුලේ කෙනෙක්ට කවුරු හරි වරදක් කළා කියලා අපි වැරදි වැටහීමක ඉන්නවා කියලා හිතන්න. ගොඩක් අය ඒ වගේ වෙලාවට කරන්නේ ඒ පුද්ගලයා එක්ක කේන්ති ගන්න එකයි. සමහරවිට ඒ වගේ කෙනෙක්ව තමන්ගේ ගෙදරට පිළිගන්නවා තියා ඔහු එක්ක කතා කරන්නවත් කැමති නැති වෙන්න පුළුවන්. (හෙබ්‍රෙ. 13:1, 2) ඒත් තමන්ගේ සහෝදරයන්ට ප්‍රේම කරන ක්‍රිස්තියානියෙක් එහෙම කරන්නේ නැහැ. යෙහෝවා දෙවි අපේ හිතේ තියෙන්නේ මොනවද කියලා හොඳටම දන්නවා. අපේ හිතේ තියෙන්නේ වැරදි අදහස් නම් “සිත් පවිත්‍ර කර නොගත්” කෙනෙක් විදිහට දෙවි අපිව දකියි. (යෙරෙ. 9:25, 26) “සිත් පවිත්‍ර කරගන්න” කියලා දෙවි අපිට කියන්නේ ඒ නිසයි.—යෙරෙ. 4:4.

අවශ්‍ය වෙනස්කම් කරන්න

17. දෙවි ගැන ගරුබියක් අපේ සිතේ තියෙනවා නම් අපි කරන්න පෙලඹෙන්නේ මොනවද?

17 ඔබ හිතන විදිහ ගැන හොඳට සෝදිසි  කරලා බලද්දී යෙහෝවා දෙවි දෙන මඟ පෙන්වීම් ජීවිතයට අදාළ කරගන්න ඔබ ටිකක් ප්‍රමාද වෙනවා කියලා ඔබට හිතෙන්න පුළුවන්. දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න ප්‍රමාද වීම ‘සිත පවිත්‍ර කර නොගත්’ කෙනෙක්ගේ ලක්ෂණයක්. ඔබ එහෙම කරන්නේ අනිත් අය ඔබ ගැන මොනවා හිතයිද කියන භය නිසාද? ප්‍රසිද්ධ වෙන්න හරි, ධනවත් වෙන්න හරි තියෙන ආශාව නිසාද? ‘කවුරු මොනවා කිව්වත් මම කරන්නේ මට ඕනෙ දේ’ කියලා මුරණ්ඩු විදිහට හිතන නිසාද? එහෙම හිතපු අය අතීතයෙත් හිටියා. (යෙරෙ. 7:24; 11:8) දෙවි යුදෙව්වන්ට මොන තරම් ආදරය කළත් අවශ්‍ය දේවල් ලබා දුන්නත් ඔවුන් ‘දෙවිට ගරුබිය’ දැක්වුවේ නැහැ. ඔවුන්ට තිබුණේ “ඉතා මුරණ්ඩු කැරලිකාර” හිතක්. (යෙරෙ. 5:23, 24) අපි ඔවුන්ට වඩා වෙනස් වෙන්න ඕනෙ නේද? යෙහෝවා දෙවි ගැන ගරුබියක් අපේ හිතේ ඇති කරගන්න අවශ්‍යයි. එතකොට අපේ නරක සිතුවිලි ඉවත් කරගන්නත් අවශ්‍ය වෙනස්කම් කරලා දෙවි කියන ඕනෙම දෙයක් කරන්නත් අපිට පහසු වෙනවා.

18. අලුත් ගිවිසුමට ඇතුළත් අය ගැන යෙහෝවා දෙවි දුන්න පොරොන්දුව මොකක්ද?

18 අවශ්‍ය වෙනස්කම් කරගන්න අපිට පුළුවන් උපරිමය කරනවා නම් යෙහෝවා දෙවිව “තේරුම්ගැනීමට හැකි හදවතක්” දෙවි අපිට ලබා දෙනවා. දෙවි ඒ දේ අලුත් ගිවිසුමට ඇතුළත් අභිෂේක ලත් අයට ලබා දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙන්නේ මෙහෙමයි. “මම මාගේ නීති ඔවුන්ගේ සිත්වල තබන්නෙමි. ඒවා ඔවුන්ගේ හදවත්වල ලියන්නෙමි. මම ඔවුන්ව මාගේ සෙනඟ ලෙස පිළිගෙන ඔවුන්ගේ දෙවි වන්නෙමි.” දෙවි තවදුරටත් මෙහෙම පැවසුවා. “‘යෙහෝවා දෙවිව දැන හඳුනා ගන්න’ කියා එකිනෙකා තම තමාගේ අසල්වැසියාටවත් සහෝදරයාටවත් ඉදිරියේදී උගන්වන්නේ නැත. මන්ද සුළුම තැනැත්තාගේ සිට උතුම්ම තැනැත්තා දක්වා ඔවුන් අතරේ සිටින සියලුදෙනා මාව හොඳින් දැන හඳුනා ගෙන සිටිනු ඇත . . . මම ඔවුන් කළ වරදට සමාව දෙන්නෙමි. ඔවුන් කළ පව් නැවත කිසිදාක සිහි නොකරන්නෙමි.”—යෙරෙ. 31:31-34. *

19. අපිට තියෙන්නේ මොන වගේ බලාපොරොත්තුවක්ද?

19 දෙවිගේ ඒ පොරොන්දුව ඉටු වෙනකල් අපි ආශාවෙන් බලාගෙන ඉන්නවා. දෙවිව හොඳින් තේරුම් අරන් ඔහුගේ සෙනඟ අතර ඉන්න අපි ගොඩක් කැමතියි. ඒ විදිහට සදහටම යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලබන්න අපිට පුළුවන් වෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන අරන් අපේ පව්වලට සමාව ගත්තොත් විතරයි. දෙවිත් අපිට සමාව දෙන නිසා කොයි තරම් අමාරුයි කියලා හිතුණත් අපිත් අනිත් අයට සමාව දෙමු. අනිත් අය ගැන අපේ හිතේ ඇති වෙන කේන්තිය, වෛරය සම්පූර්ණයෙන්ම නැති කරලා දාමු. එහෙම කරද්දී යෙහෝවා දෙවිට සේවය කරන්න අපි ආශාවෙන් ඉන්නවා කියලත් තවත් හොඳින් ඔහුව තේරුම්ගන්න අපිට ඕනෙ කියලත් අපි අපේ ජීවිතයෙන් පෙන්වනවා. එතකොට අපි ගැනත් යෙහෝවා දෙවි මෙහෙම කියයි. “ඔබ මුළු හදවතින්ම මා වෙතට හැරී මාගේ මඟ පෙන්වීම් පතන නිසා මට නමස්කාර කිරීමට ඔබට හැකි වනු ඇත. මමද ඔබ කරන නමස්කාරය පිළිගන්නෙමි.”—යෙරෙ. 29:13, 14.

^ 18 ඡේ. අලුත් ගිවිසුම ගැන දැනගන්න යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි නමැති පොතේ 14වෙනි පරිච්ඡේදය බලන්න.