Skip to content

පටුනට යන්න

හිත ගැන හිතන්න

හිත ගැන හිතන්න

අපේ හදවතේ නිරෝගීකම ගැන අපි හැමෝම හිතනවා. ඒත් ඊට වඩා අපි හිතන්න ඕනෙ දෙයක් තියෙනවා. ඒ අපේ හිත ගැනයි. ‘සියල්ලටම වඩා හිත රැවටිලිකාර’ නිසා අපේ හිත කොයි වගේද කියලා අපි හිතලා බලන්න ඕනෙ.—යෙරෙ. 17:9.

අපේ හිත මොන වගේද? අපිත්, අපේ හිතට මොනවා හරි දෙයක් හිතුණොත් ඒක කොහොමහරි කරගන්න හදනවද? බයිබලයේ මෙහෙම කියනවා. “දුෂ්ට අදහස්, මිනී මැරීම, අනාචාරය, වේශ්‍යාකම, සොරකම, බොරු සාක්ෂි කීම සහ අපහාස කිරීම වැනි දේවල් ඇරඹෙන්නේ සිතිනුයි.” (මතෙ. 15:19) ඒ නිසා පරෙස්සම් වෙන්න. අපේ හිත අපිව රවට්ටන්න පුළුවන්. දෙවි අකමැති දෙයක් කරන්නත් එහෙම කළාට කමක් නැහැ කියලා නිදහසට කරුණු කියන්නත් අපේ හිත අපිව පොලඹවන්න පුළුවන්. ඒත්, ‘මං කළේ මෝඩ වැඩක්’ කියලා තේරෙනකොට පරක්කු වැඩියි. ඒ නිසා හිතට එන ඕනෙම දෙයක් කරන්න කලින් ඒ ගැන දෙපාරක් හිතන්න ඕනෙ. ඒකට අපිට උදව් කරන්නේ මොනවද?

හිතේ තියෙන දේ හඳුනගන්න

දිනපතා බයිබලය කියවීමෙන් හිතේ තියෙන දේ දැනගන්න පුළුවන්

බයිබලය කියවලා ඒ ගැන හොඳට හිතන්න.

‘දෙවිගේ වදන් ජීවමානයි, බලවත්. ඕනෑම දෙමුවහත් කඩුවකට වඩා තියුණුයි. ඒක කොයි තරම් ගැඹුරට පසාරු කරගෙන යනවාද කිව්වොත් යමෙකුගේ බාහිර ස්වභාවය ඔහුගේ සැබෑ ඇතුළාන්ත ස්වභාවයට වඩා කොතරම් වෙනස්ද කියලා පෙන්වන්නත් සන්ධිවලින් ඇටමිදුලු වෙන් කර දක්වන්නත් ඒකට පුළුවන්. එමගින් යමෙකුට තම සිතේ සිතුවිලිද චේතනාද වටහාගන්න පුළුවන්.’ (හෙබ්‍රෙ. 4:12) ඒ නිසා හැම දවසකම බයිබලය කියවලා ඒ ගැන හොඳට හිතමු. එහෙම කරද්දී අපේ හිතේ ඇත්තටම මොනවද තියෙන්නේ කියලා තේරුම්ගන්නත් යෙහෝවා දෙවි හිතන විදිහ තේරුම් අරන් ඒ විදිහට හිතන්නත් අපි පුරුදු වෙනවා.

 බයිබලයේ තියෙන මඟ පෙන්වීම් හා ප්‍රතිපත්ති අපේ ජීවිතයට අදාළ කරගන්න උත්සාහ කරද්දී ඒක අපේ හෘදය සාක්ෂියටත් බලපානවා. (රෝම 9:1) බයිබල් ප්‍රතිපත්තිවලට අනුව හෘදය සාක්ෂිය පුහුණු කරපු කෙනෙක් යම් වරදක් කරන්න යද්දී ‘මං කරන්න යන්නේ වරදක්’ කියලා එයාගේ හිත එයාට අනතුරු අඟවනවා. ඒ වගේම බයිබලය කියවද්දී අපි ඉගෙනගන්න චරිතවලිනුත් ‘අපිට අනතුරු ඇඟවීම්’ ලැබෙන නිසා අපි වැරදි කිරීමෙන් වළකිනවා. (1 කොරි. 10:11) ඒ නිසා දිනපතා බයිබලය කියවන එක කොච්චර වැදගත්ද!

අපි ඇත්තටම මොන වගේ අයද කියලා දැනගන්න යාච්ඤාව උදව් වෙනවා

හිතේ තියෙන දේ හඳුනගන්න උදව් ඉල්ලලා යාච්ඤා කරන්න.

යෙහෝවා දෙවි “සිත් සෝදිසි කරන දෙවි කෙනෙක්.” (1 ලේක. 29:17) ‘අපට වඩා හොඳින් දෙවි අපේ සිත් ගැනත් සියලු දේ ගැනත්’ දන්නවා. (1 යොහ. 3:20) ඒ නිසා දෙවිව රවට්ටන්න කාටවත් බැහැ. අපි අවංකවම අපේ හිතේ තියෙන හැම දේම යෙහෝවා දෙවිට යාච්ඤා කරලා කිව්වොත් අපේ හිතේ ඇත්තටම තියෙන්නේ මොනවද කියලා දැනගන්න දෙවි අපිට උදව් කරයි. ඒ වගේම “පිරිසිදු හදවතක් ලබා දෙන්න” කියලත් අපිට දෙවිගෙන් ඉල්ලන්න පුළුවන්.—ගීතා. 51:10.

අපි හිතන විදිහ හදාගන්න රැස්වීම් අපිට උපකාරයක්

රැස්වීම්වලට හොඳ අවධානයක් දෙන්න.

රැස්වීම්වලට හොඳින් සවන් දෙනවා නම් ඒකත් අපිට උදව් වෙනවා අපේ හිතේ තියෙන දේ දැනගන්න. හැම රැස්වීමකදීම අලුත් කාරණා උගන්වන්නේ නැහැ තමයි. ඒත් බයිබල් ප්‍රතිපත්ති තවත් හොඳින් තේරුම්ගන්නත් ඉගෙනගත්ත දේවල් නැවත මතක් කරගන්නත් රැස්වීම් අපිට උදව් කරනවා. එතකොට අපේ හිතේ ඇත්තටම මොනවද තියෙන්නේ කියලා හිතලා බලන්න අපි පෙලඹෙයි. ඒ වගේම අපේ සහෝදර සහෝදරියන්ගේ උත්තරත් අපිට දිරිගැන්වීමක්. (හිතෝ. 27:17) ඒවාවලින් අපේ හිතේ තියෙන දේ තේරුම් අරන් අඩුපාඩු හදාගන්න අපිට ආසාවක් ඇති වෙනවා. රැස්වීම්වලට යන්නෙවත් සහෝදරයන්ව ආශ්‍රය කරන්නෙවත් නැතුව හිටියොත් අපි “ආත්මාර්ථකාමී ආශාවන් පසුපස” යන්න ඉඩ තියෙනවා. (හිතෝ. 18:1) ඒකෙන් හානියක් වෙන්නේ අපිටමයි. ඒ නිසා ‘එක රැස්වීමක්වත් අතපසු නොකර මං හැම රැස්වීමකටම යනවද’ කියලා අපෙන්ම අහගමු.—හෙබ්‍රෙ. 10:24, 25.

හිත තියෙන්නේ කොහෙද?

හිත රැවටිලිකාර නිසා සමහර කාරණාවලදී අපිටත් නොදැනීම අපිව වැරදි පාරක ගෙනියන්න අපේ හිතට පුළුවන්. ඒ වගේ කාරණා හතරක් ගැන දැන් බලමු. ඒවා නම් (1) ධන සම්පත් සෙවීම, (2) මත්පැන් පානය, (3) මිතුරු ඇසුර සහ (4) විනෝදාංශයි.

ධන සම්පත් සෙවීම.

අපිට ජීවත් වෙන්න මුදල් අවශ්‍යයි. ඒත් ධන සම්පත් ගැන විතරක් හිතන එක කොච්චර භයානකද කියලා යේසුස් පුංචි කතාවකින් කියලා දුන්නා. ඒ කතාවේ හැටියට එක ධනවතෙකුට ගබඩා පිරී යන තරම් අස්වැන්නක් ලැබුණා. ඒ නිසා තියෙන ගබඩා කඩලා ලොකු ගබඩා හදන්න ඔහු තීරණය කළා. “එතකොට මට පුළුවන් මගේ මුළු ධාන්‍ය අස්වැන්න සහ මගේ අනිකුත් හැම සම්පතක්ම එහි රැස් කර තබන්න. එතකොට අවුරුදු ගණනාවක් ජීවත් වෙන්න අවශ්‍ය දේවල් ඇති තරම් මට තියෙයි. මට පුළුවන් වෙයි හොඳින් කා බී, ප්‍රීති වෙමින් විවේක සුවයෙන් ඉන්න” කියලා ඔහු හිතුවා. ඒත් ‘මගේ ජීවිතය අද නැති වුණොත් මං රැස් කරපු දේවලට මොනවද වෙන්නේ’ කියලා හිතන්න ඔහුට බැරි වුණා.—ලූක් 12:16-20.

අපි හිතන්නෙත් ඒ ධනවතා වගේද? දවසින් දවස වයසට යද්දී ‘මං වයසට ගියාම නිදහසේ ජීවත් වෙන්න දැන්ම සල්ලි ටිකක් හොයලා තියන්න ඕනෙ’ කියලා  අපිට හිතෙනවද? එහෙම හිතලා රැස්වීම් අතපසු වෙන විදිහට හරි, ක්‍රිස්තියානියෙක් විදිහට තියෙන වගකීම් අතපසු වෙන විදිහට හරි වැඩි වෙලාවක් රැකියාවේ යෙදෙනවද? අපි ඉන්නේ තරුණ වයසේ නම් පුරෝගාමි සේවය තරම් වටිනා තවත් දෙයක් නැහැ කියලා අපිට තේරෙනවා ඇති. ඒ නිසා මුලින් සල්ලි ටිකක් හොයාගෙන පස්සේ ඒවා කරන්න පුළුවන් කියලා අපිට හිතෙන්න පුළුවන්. ඒත් හෙට අපේ ජීවිත නැති වුණොත් ඒක කරන්න අපිට පුළුවන් වෙයිද? ඒ නිසා කල් දාන්නේ නැතුව දැන්මම අපි දෙවිගේ සේවයට මුල් තැන දීලා වැඩ කරමු.

මත්පැන් පානය.

‘වයින්වලට ලොල් වූ අය සමඟ එකතු වෙන්න එපා’ කියලා හිතෝපදේශ 23:20 කියනවා. මත්පැන්වලට ඕනෑවට වඩා ලොල් වුණු කෙනෙක් ‘ඔය ටිකක් බිව්වට මොකද්ද ඒකේ තියෙන වරද? අනික මම බේබද්දෙක් වගේ බොන්නේ නැහැනේ. මනස සැහැල්ලු කරගන්න පුළුවන් ගානට ටිකක් ගන්නවා. එච්චරයි’ කියලා තමන්වම රවට්ටගන්න ඉඩ තියෙනවා. මනස සැහැල්ලු කරගන්න මත්පැන් ගන්න ඕනෙමයි කියලා හිතෙනවා නම් මත්පැන් පානය කිරීම ගැන මගේ හිතේ ඇත්තටම තියෙන දේ ගැන හිතලා බලන්න කාලය ඇවිත් කියලා මතක තියාගමු.

මිතුරු ඇසුර.

පාසැලේදී, රැකියාවේදී, දේශනා සේවයේදී දෙවිට සේවය නොකරන අය එක්කත් අපිට ආශ්‍රය කරන්න සිද්ධ වෙනවා. ඒත් ඒ අය එක්ක ඕනෑවට වඩා මිත්‍රකම් ඇති කරගන්න එක නම් භයානකයි. ‘එයා දෙවිට සේවය කළේ නැති වුණාට, සාක්ෂිකරුවන්ටත් වඩා හොඳ ගතිගුණ තියෙනවනේ’ කියලා අපි නිදහසට කරුණු කියනවද? එහෙමනම් ‘මුළා වෙන්න එපා. නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වෙන්න පුළුවන්.’ (1 කොරි. 15:33) කිරි කළේකට ගොම බින්දුවක් වැටුණොත් මුළු කිරි කළේම නාස්ති වෙනවා නේද? ඒ වගේ, දෙවි එක්ක කොච්චර හොඳ බැඳීමක් තියෙන කෙනෙකුට වුණත් ඒ හැම දේම නරක ආශ්‍රය නිසා නැති වෙන්න පුළුවන්. ඒ ආශ්‍රය අපි හිතන, කතා කරන, හැසිරෙන සහ අඳින පළඳින විදිහට බලපානවා.

විනෝදාංශ.

මුළු ලෝකෙම තියෙන විනෝදාංශ අතේ ඇඟිලි තුඩු ළඟට ගේන්න පුළුවන් තරමට අද තාක්ෂණය දියුණු වෙලා. ඒ අතර තියෙන සමහර විනෝදාංශ ගැන නම් දෙපාරක් හිතන්න ඕනෙ. සමහර ඒවා අපිට කොහෙත්ම සුදුසු නැහැ. ඒත්, ‘ජීවිතේට විනෝදෙකුත් ඕනෙනේ. අනික තෝරගන්න ඕනෙ මොන වගේ දෙයක්ද කියන එක මගේ පෞද්ගලික තීරණයක්’ කියලා අපිට හිතෙනවද? එහෙමනම් ‘කිසිම ආකාරයක අපවිත්‍ර ක්‍රියා ගැන ඔබ අතරේ කිසිසේත් සඳහන් නොකළ යුතුයි’ කියලා පාවුල් කිව්ව දේට එකඟවද මම විනෝද වෙන්නේ කියලා හිතලා බලමු.—එෆී. 5:3.

හිත වෙනස් කරගන්න පුළුවන්

හිතට රැවටිලා අපි කරන දේවල් සාධාරණයි කියලා නිදහසට කරුණු කියන්න අපිත් පුරුදු වෙලා ඉන්නවා නම් අපිට වෙනස් වෙන්න පුළුවන්. (එෆී. 4:22-24) මේ අද්දැකීම් දෙක බලමු.

මිගෙල් * මෙහෙම කියනවා. “අපි හිටියේ නවීන තාක්ෂණික උපකරණ හා සැප පහසු ජීවිතයක් අත්‍යවශ්‍යයි කියලා හිතන මිනිස්සු ඉන්න සමාජයක. එක කාලෙක මමත් හිතුවේ දෙවිට සේවය කරන ගමන්ම තියෙන තරම් දේවල් මිල දී අරන් සැප පහසු ජීවිතයක් ගත කරන්න මට පුළුවන් කියලයි. ඒත් මට තේරුණා මුදල් පස්සේ දුවන එක කෙළවරක් නැති ගමනක් වගේ කියලා. මං හිතන විදිහ ගැන කියලා දෙවිට යාච්ඤා කළා. මගේ බිරිඳත් පුතත් එක්ක එකතු වෙලා දෙවිට සේවය කරන්නයි මට ඕනෙ කියලා මම දෙවිට කිව්වා. ඒ නිසා අපේ ජීවිත සරල කරගෙන අවශ්‍යතාව වැඩි පැත්තකට ගිහින් පුරෝගාමි සේවය කරන්න අපිට පුළුවන් වුණා. ජීවිතේ නියම සතුට අද්දකින්න නම් ධන සම්පත් අත්‍යවශ්‍ය නැහැ කියලා දැන් අපි දන්නවා.”

තමන්ගේ හිතේ තියෙන දේ හොයලා බලලා ජීවිතේ වෙනස් කරගත්ත ලී කියන දේ බලන්න. “මගේ රස්සාව නිසා මට ගොඩක් විදේශීය ගනුදෙනුකරුවන්ව ආශ්‍රය කරන්න සිද්ධ වුණා. හවුල් ව්‍යාපාරිකයන් එක්ක තිබුණු රැස්වීම් හුඟක් වෙලාවට අවසන් වුණේ බෝතලෙන්. සමහර දවස්වලදී මං වෙරි වෙනකං බිව්වා. මං හිටියේ බේබදුකමට වැටෙන්න ඔන්න මෙන්න. ඒ ගැන මගේ හිත මට වධ දුන්නා. බයිබලයේ තියෙන මඟ පෙන්වීම් නිසත් වැඩිමහල්ලන්ගේ උපකාරය නිසත් මං තේරුම්ගත්තා මං ආශ්‍රය කරන්නේ වැරදි අයත් එක්ක කියලා. ඒ නිසා මං දැන් ඒ අයත් එක්ක පුළුවන් තරම් අඩුවෙන් ආශ්‍රය කරන්නත් දුරකථනයෙන් විතරක් ගනුදෙනු කරන්නත් උත්සාහ කරනවා.”

අපේ හිතේ තියෙන්නේ මොනවද කියලා අවංකවම සෝදිසි කරලා බලමු. ඒක කරන්න ‘සිතේ ඇති රහස් දන්නා’ දෙවිට යාච්ඤා කරලා ඔහුගෙන් උපකාර ඉල්ලමු. (ගීතා. 44:21) බයිබලය කණ්ණාඩියක් වගේ නිසා ඒක දිහා බලලා අපේ අඩුපාඩු හදාගන්න පුළුවන්. (යාකො. 1:22-25) පොත් පත් සහ රැස්වීම්වලින් අපිට ලැබෙන සිහිගැන්වීම් කොච්චර වටිනවද! දෙවි අපිට දීපු ඒ හැම දේකින්ම ප්‍රයෝජන අරන් අපේ හිත ගැන හිතමු. වෙනස්කම් කරන්න තියෙනවා කියලා හිතෙනවා නම් ඒවා කරමු. එතකොට අපිට පුළුවන් වෙයි දෙවි සතුටු වෙන විදිහට දිගටම ජීවත් වෙන්න.

^ 18 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.