Skip to content

පටුනට යන්න

අපේ සතුට ගැන හිතන වැඩිමහල්ලන්

අපේ සතුට ගැන හිතන වැඩිමහල්ලන්

“අපි ඔබේ ප්‍රීතියට දායක වන ඔබ සමඟ හවුලේ සේවය කරන අය වන්නෙමු.”—2 කොරි. 1:24.

1. පාවුල්ගේ ප්‍රීතිය තවත් වැඩි වුණේ ඇයි?

ක්‍රිස්තු වර්ෂ 55දී පාවුල් නතර වෙලා හිටියේ ත්‍රෝවස් නගරයෙයි. ඒත් පාවුල්ගේ හිත තිබුණේ කොරින්තියේ. තමන්ගේම දරුවෝ වගේ ඉන්න කොරින්ති සභාවේ අය අතර ආරවුල් හා මතභේද ඇති වෙලා කියලා ආරංචි වුණු නිසා පාවුල් හිටියේ හිතේ කරදරෙන්. ඒ නිසා තාත්තා කෙනෙක් තමන්ගේම දරුවන්ට ලියනවා වගේ සෙනෙහසකින් පාවුල් ඔවුන්ට ලිපියක් ලිව්වා. (1 කොරි. 1:11; 4:15) ඔවුන්ගේ විස්තර දැනගෙන එන්න කියලා තීතස්වත් ඔවුන් ළඟට යැව්වා. ඒත් මාස ගාණක් ගියත් තීතස් ආපහු ආවේ නැහැ. ඔහුව හමු වුණේ මැසිඩෝනියාවට ගියාට පස්සෙයි. පාවුල්ට කියන්න තීතස් ළඟ තිබුණේ ශුභාරංචියක්. පාවුල්ගේ උපදෙස් කොරින්තියේ සහෝදරයන් සතුටෙන් පිළිගත්තා කියලත් පාවුල්ව දකින්න ඔවුන් ආසාවෙන් ඉන්නවා කියලත් තීතස් කිව්වා. ඒක අහපු පාවුල්ගේ ‘ප්‍රීතිය තවත් වැඩි වුණා.’—2 කොරි. 2:12, 13; 7:5-9.

2. (අ) විශ්වාසය හා ප්‍රීතිය ගැන පාවුල් කොරින්තිවරුන්ට ලිව්වේ මොනවද? (ආ) මේ ලිපියෙන් සලකා බලන ප්‍රශ්න මොනවද?

2 ටික දවසකට පස්සේ පාවුල් කොරින්තිවරුන්ට තවත් ලිපියක් ලියලා මෙහෙම කිව්වා. “අප ඔබේ විශ්වාසයට බලපෑම් කරන පාලකයන් නොවන බව මතක තබාගන්න. ඒ වෙනුවට අපි ඔබේ ප්‍රීතියට දායක වන ඔබ සමඟ හවුලේ සේවය කරන අය වන්නෙමු. මන්ද ඔබ ස්ථිරව සිටින්නේ ඔබ තුළ තිබෙන විශ්වාසය නිසා මිස අප නිසා නොවේ.” (2 කොරි. 1:24) පාවුල් ඒකෙන් අදහස් කළේ මොකක්ද? ඒ වචනවලින් වැඩිමහල්ලන්ට ඉගෙනගන්න පුළුවන් මොනවද?

විශ්වාසය හා ප්‍රීතිය

3. (අ) “ඔබ ස්ථිරව සිටින්නේ ඔබ තුළ තිබෙන විශ්වාසය නිසා” කියලා කියද්දී පාවුල් ඒකෙන් අදහස් කළේ මොකක්ද? (ආ) අද සිටින වැඩිමහල්ලන් පාවුල්ව ආදර්ශයට ගන්නේ කොහොමද?

3 ඒ බයිබල් පදයේ පාවුල් ක්‍රිස්තියානීන් ළඟ තියෙන විශ්වාසය හා ප්‍රීතිය ගැන කතා කරනවා. අපි මුලින්ම විශ්වාසය ගැන බලමු. “අප ඔබේ විශ්වාසයට  බලපෑම් කරන පාලකයන්” නෙවෙයි කියලත් “ඔබ ස්ථිරව සිටින්නේ ඔබ තුළ තිබෙන විශ්වාසය නිසා” කියලත් පාවුල් කියනවා. කොරින්තිවරු දෙවිට හොඳින් සේවය කරන්නේ ඔවුන්ගේ විශ්වාසය නිසා මිසක් පාවුල් හරි වෙන කෙනෙක් හරි නිසා නෙවෙයි කියලා පාවුල් දැනගෙන හිටියා. ඔවුන් ඇත්තටම දෙවිට ආදරය කරනවා කියලත් හරි දේ කරන්න ඔවුන්ට ඕනෙකමක් තියෙනවා කියලත් පාවුල් තේරුම් අරන් හිටියා. ඒ නිසා ඔවුන්ගේ විශ්වාසයට ඇඟිලි ගහන්න පාවුල්ට අවශ්‍ය වුණේ නැහැ. (2 කොරි. 2:3) අද ඉන්න වැඩිමහල්ලනුත් පාවුල්ව ආදර්ශයට ගන්නවා. සහෝදරයන්ට දෙවි ගැන ලොකු විශ්වාසයක් තියෙනවා කියලත් ඔවුන් දෙවිට සේවය කරන්නේ හොඳ චේතනාවෙන් කියලත් වැඩිමහල්ලන්ට විශ්වාසයි. (2 තෙස. 3:4) ඒ නිසා ඔවුන් සභාවේ ඉන්න අයට නීති දාන්නේ නැහැ. ඒ වෙනුවට බයිබලයේ මඟ පෙන්වීම් අනුවත් සංවිධානයෙන් දීලා තියෙන මඟ පෙන්වීම් අනුවත් තීරණ ගන්න උදව් කරනවා. ඔවුන් සහෝදරයන්ගේ “විශ්වාසයට බලපෑම් කරන පාලකයන්” නෙවෙයි.—1 පේතෘ. 5:2, 3.

4. (අ) “අපි ඔබේ ප්‍රීතියට දායක වන ඔබ සමඟ හවුලේ සේවය කරන අය” කියලා කියද්දී පාවුල් ඒකෙන් අදහස් කළේ මොකක්ද? (ආ) අද සිටින වැඩිමහල්ලන් පාවුල්ව ආදර්ශයට ගන්නේ කොහොමද?

4 “ඔබේ ප්‍රීතියට දායක වන ඔබ සමඟ හවුලේ සේවය කරන අය” ගැන පාවුල් ඊළඟට කතා කරනවා. “හවුලේ සේවය කරන අය” කියලා පාවුල් කිව්වේ ඔහු එක්ක කොරින්ති සභාවේ අයට උදව් කරන්න මහන්සි වෙලා වැඩ කරපු අයටයි. සිල්වානස් සහ තිමෝති කියන්නේ ඒ වගේ දෙන්නෙක්. (2 කොරි. 1:19) ඒ වගේම පාවුල් එක්ක දේශනා සේවයේ හවුල් වුණු අපොලොස්, අකිලා, ප්‍රිස්කා, තිමෝති, තීතස් ගැන කතා කරද්දිත් ඔහු “හවුලේ සේවය කරන අය” කියලා ඔවුන්ව හැඳින්නුවා. (රෝම 16:3, 21; 1 කොරි. 3:6-9; 2 කොරි. 8:23) පාවුල්ටත් ඔහු සමඟ සේවය කළ අයටත් අවශ්‍ය වුණේ දෙවිට සතුටින් සේවය කරන්න තම සහෝදරයන්ට උදව් කරන්න. “අපි ඔබේ ප්‍රීතියට දායක වන ඔබ සමඟ හවුලේ සේවය කරන අය” කියලා පාවුල් කිව්වේ ඒ නිසයි. අද ඉන්න වැඩිමහල්ලන්ටත් ඕනෙ “සතුටින් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න” සහෝදරයන්ට උදව් කරන්නයි.—ගීතා. 100:2; ෆිලි. 1:25.

5. සහෝදර සහෝදරියන් කිහිපදෙනෙකුගෙන් අහපු ප්‍රශ්නය මොකක්ද? ඔවුන් කියපු දේවල් ගැන කතා කරද්දී ඔබට හිතන්න පුළුවන් මොනවා ගැනද?

5 ‘ඔබට සතුටින් දෙවිට සේවය කරන්න උදව් වුණු වැඩිමහල්ලන් කියපු දෙයක් හරි, කරපු දෙයක් හරි තියෙනවද’ කියලා විවිධ රටවල ඉන්න සහෝදර සහෝදරියන් කිහිපදෙනෙකුගෙන් ඇහුවා. ඔවුන් කියපු දේවල් කිහිපයක් ගැන අපි දැන් කතා කරන්න යනවා. ඒ ගැන කතා කරද්දී ඔබේ වැඩිමහල්ලන්, ඔබේ සතුට වෙනුවෙන් කරපු, කියපු දේවල් ගැන හිතන්න. ඒ වගේම ඔබේ සභාවේ අයට සතුටින් දෙවිට සේවය කරන්න, ඔබට කරන්න පුළුවන් දේවල් ගැනත් හිතන්න. *

‘එයාට මගේ නමත් මතක තිබුණා’

6, 7. (අ) තමන් අනිත් අය ගැන සැලකිලිමත් කියලා වැඩිමහල්ලෙකුට පෙන්නන්න පුළුවන් එක විදිහක් කියන්න. (ආ) ඒ අයගේ නම් මතක තියෙන එක ගැන සහෝදර සහෝදරියන්ට දැනෙන්නේ කොහොමද?

6 සහෝදර සහෝදරියන් හැමෝම කැමතියි ඒ අය ගැන වැඩිමහල්ලන් සැලකිල්ලක් දක්වනවට. ඒක කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි හැමෝගෙම නම් මතක තියාගෙන ඒ නමින් කතා කරන එක. දාවිත්, එලිහු, යේසුස් වගේ අය එහෙම කළා. (2 සාමුවෙල් 9:6; යෝබ් 33:1; ලූක් 19:5 කියවන්න.) සහෝදරයන්ගේ නම් මතක තියාගෙන ඒ අයගේ නම් කියලම ඔවුන්ට කතා කරන එක වැදගත් කියලා පාවුල් පවා දැනගෙන හිටියා. උදාහරණයකට “අපට ඉතා හිතවත් පර්සිස්ටද මගේ සුබ පැතුම් දෙන්න” කියලා ඔහු රෝමවරුන්ට ලියපු ලිපියේ සඳහන් කළේ ඇගේ නම ඔහුට හොඳින් මතක තිබුණ නිසයි. ඒ ලිපියේ  තවත් සහෝදර සහෝදරියන් 25දෙනෙකුගේ පමණ නම් ඔහු සඳහන් කළා.—රෝම 16:3-15.

7 සමහර වැඩිමහල්ලන්ට සභාවේ ඉන්න හැමෝගෙම නම් මතක තියාගන්න අමාරුයි තමයි. ඒත් ඒක කරන්න වැඩිමහල්ලෙක් උත්සාහ කරද්දී ‘එයා මං ගැන කොච්චර හිතනවද, එයාට මගේ නමත් මතක තිබුණා’ කියලා සහෝදර සහෝදරියන්ට හිතෙයි. (නික්. 33:17) මුරටැඹ පාඩමේදීත් වෙනත් රැස්වීම්වලදීත් ඒවා මෙහෙයවන වැඩිමහල්ලන් ඔබේ නම කියලා ඔබෙන් උත්තර අහද්දී ඔබට සතුටක් දැනෙන්නේ නැද්ද!—යොහන් 10:3 බලන්න.

‘මං කරපු පුංචි දේත් එයා අගය කරානේ!’

8. යෙහෝවා දෙවිගෙන් සහ යේසුස්ගෙන් පාවුල් ඉගෙනගත්ත වැදගත් දේ මොකක්ද?

8 අනිත් අයව සතුටින් තියන්න පුළුවන් තවත් විදිහක් තියෙනවා. ඒ තමයි අවංකව ඔවුන්ව අගය කරන එක. පාවුල් කොරින්තිවරුන්ට ලිව්වා, ‘මට ඔබ ගැන මහත් ආඩම්බරයක් දැනේ’ කියලා. (2 කොරි. 7:4) ඒ වචන කියවද්දී පාවුල් ඔවුන්ට කොච්චර ආදරෙයිද කියලා කොරින්තිවරුන්ට දැනෙන්න ඇති. පාවුල් වෙනත් සභාවල අයවත් අගය කළා. (රෝම 1:8; ෆිලි. 1:3-5; 1 තෙස. 1:8) පර්සිස් ගැන පාවුල් කිව්වේ “ඇය ස්වාමීන්ගේ අනුගාමිකයෙකු ලෙස බොහෝ වෙහෙස මහන්සි වී සේවය කර ඇත” කියලයි. (රෝම 16:12) ‘අනේ පාවුල්ට මං කරපු දේවලුත් මතක තිබුණා නේද’ කියලා හිතෙද්දී ඇයට මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද! අනිත් අයව අගේ කරද්දී පාවුල් අනුකරණය කළේ යෙහෝවා දෙවිවයි යේසුස්වයි.—මාක් 1:9-11; යොහන් 1:47 කියවන්න; එළි. 2:2, 13, 19.

9. එකිනෙකාව අගය කරද්දී සභාවේ හැමෝටම සතුටක් දැනෙන්නේ ඇයි?

9 තමන්ගේ සභාවේ සහෝදර සහෝදරියන් කරන දේවල් ගැන වැඩිමහල්ලන්ගේ හිතේ කොච්චර ලොකු අගය කිරීමක් තියෙනවද කියලා සමහරවිට ඔවුන් නොදන්නවා ඇති. ඒ නිසා ඒ අගය කිරීම වචනවලට පෙරළලා ඔවුන්ට කියන එක වටිනවා කියලා වැඩිමහල්ලන් තේරුම්ගන්නවා. (හිතෝ. 3:27; 15:23) එහෙම කරද්දී ‘ඔයා කොච්චර මහන්සි වෙනවද කියලා මම දන්නවා’ කියලා ඔබ කියනවා වගේ ඔවුන්ට දැනෙයි. වැඩිමහල්ලන් කියන හිත සනසන වදන් අහන්න සහෝදර සහෝදරියන් ආසාවෙන් බලන් ඉන්නවා. අවුරුදු 50කට වඩා වයස සහෝදරියක් කියන දේ බලන්න. “මතක තියෙන කාලෙක මම වැඩ කරන තැන ඉන්න අය මාව අගය කරලා නැහැ. ඒ නිසා සභාවේ ඉන්න වැඩිමහල්ලෙක් ඇවිල්ලා මාව අගය කරද්දී මට දැනෙන්නේ කියාගන්න බැරි සතුටක්. ‘සභාව වෙනුවෙන් මං කරපු පුංචි දේත් එයා අගය කරානේ’ කියලා මට හිතුණා. මගේ දෙවි මට කොච්චර ආදරෙයිද කියලත් මට දැනුණා.” බිරිඳක් නැතුව දරුවෝ දෙන්නෙක් හදාගන්න පියෙක්ව වැඩිමහල්ලෙක් අගය කළාම ඔහුට දැනුණ දේ ඔහු විස්තර කළේ මෙහෙමයි. “එයා කියපු වචන නිසා මට දැනුණේ හරියට අලුත් පණක් ලැබුණා වගේ.” වැඩිමහල්ලෙනි! ඔබේ කාරුණික වචන සභාවේ අයට ගෙන දෙන්නේ පුදුම සතුටක්. “විඩාවට පත්” නොවී දිගටම දෙවිට සතුටින් සේවය කරන්න ඔවුන්ට ඒක ලොකු හයියක්.—යෙසා. 40:31.

‘එයාගේ දිරිගැන්වීම මට පුදුම සහනයක් වුණා’

10, 11. (අ) නෙහෙමියාව ආදර්ශයට ගන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද? (ආ) කෙනෙක්ව හමු වෙන්න ගිහින් එයාට උදව් කරන්න නම් වැඩිමහල්ලෙක් කරන්න ඕනෙ මොනවද?

10 සභාවේ අයට ආදරේ කරනවා කියලත් ඔවුන්ගේ සතුට ගැන හිතනවා කියලත් වැඩිමහල්ලෙකුට පෙන්වන්න පුළුවන් තවත් විදිහක් තියෙනවා. ඒ තමයි හොඳ අවධානයකින් ඉඳලා අවශ්‍ය වෙලාවේදී කරන දිරිගැන්වීම. (ක්‍රියා 20:28 කියවන්න.) නෙහෙමියා කියන්නෙත් ඒ වගේ කෙනෙක්. තමන්ගේ සෙනඟ අධෛර්යය වුණා කියලා දැනගත්ත ගමන්ම ඔහු ඔවුන්ව දිරිගැන්නුවා. (නෙහෙ. 4:14) අද ඉන්න වැඩිමහල්ලනුත් තමන්ගේ සභාවේ අය අධෛර්යය වෙලා ඉන්නකොට ඔවුන්ව දිරිගන්වන්න පුළුවන් හැම දේම කරන්න උත්සාහ කරනවා. ඒ වගේ කෙනෙක්ව හමු වෙන්න  ඔහුගේ ගෙදරටම ගිහිල්ලා ‘දෙවි සමඟ ඇති ඔහුගේ බැඳීම තවත් ශක්තිමත් කරනවා.’ (රෝම 1:11) ඔවුන් එහෙම කරන්නේ කොහොමද කියලා බලමු.

11 කෙනෙක්ව හමු වෙන්න ඔහුගේ ගෙදරට යන්න කලින් වැඩිමහල්ලෙක් ඒ කෙනා ගැන හුඟක් හිතන්න ඕනෙ. ඔහුට තමන්ගෙන්ම මේ වගේ ප්‍රශ්න අහගන්න පුළුවන්. ‘එයාට තියෙන්නේ මොන වගේ ප්‍රශ්නද? එයාගේ හිතට සහනයක් දෙන්න මට කියන්න පුළුවන් මොන වගේ දේවල්ද? එයාට දිරිගන්වන්න බයිබල් පදයක් හරි, බයිබලයේ සඳහන් සිද්ධියක් හරි මට හොයාගන්න බැරිද?’ ඒ වගේ කාලය අරන් හොඳට හිතලා කෙනෙක්ව හමුවෙන්න ගියොත් ඒකෙන් එයාට ලොකු උපකාරයක් ලැබෙයි. එදිනෙදා දේවල් ගැන කතා කරනවාට වඩා විශ්වාසය ශක්තිමත් වෙන දෙයක් ගැන කතා කරන එක කොයි තරම් වටිනවද! එහෙම කෙනෙක්ව හමු වෙන්න ගියාම වැඩිමහල්ලන් එයා කියන දේවල්වලට කාරුණිකව ඇහුම්කන් දෙනවා. (යාකො. 1:19) “ගොඩක් උනන්දුවෙන් එයා ඇහුම්කන් දුන්න නිසා මම දිරිගැන්වුණා. ඒක මට පුදුම සහනයක්” කියලා එක සහෝදරියක් වැඩිමහල්ලෙක් ගැන කිව්වා.—ලූක් 8:18.

අපිව හමු වෙන්න එන්න කලින් අපිව දිරිගන්වන්න පුළුවන් කොහොමද කියලා වැඩිමහල්ලන් හිතනවා

12. වැඩිමහල්ලන්ගේ දිරිගැන්වීම් ඕනෙ කාටද? ඇයි?

12 වැඩිමහල්ලන්ගේ දිරිගැන්වීම් ඕනෙ කාටද? සභාවේ ඉන්න හැම කෙනෙකුටම දිරිගැන්වීම් ඕනෙ. පාවුල් කිව්වේ “මුළු රැළ” ගැනම අවධානයෙන් ඉන්න කියලයි. අවුරුදු ගාණක් පුරා දෙවිට විශ්වාසවන්තව සේවය කරන ප්‍රචාරකයන්ටත් පුරෝගාමීන්ටත් දිරිගැන්වීම් ඕනෙ. එහෙම කියන්නේ ඇයි? දෙවි ගැන කොච්චර විශ්වාසයක් තිබුණත් ඔවුනුත් සාතන්ගේ මේ දුෂ්ට ලෝකය නිසා අධෛර්යය වෙනවා. ඇති වෙන ප්‍රශ්න තවත් නම් දරාගන්න බැහැ කියලා හිතනවා. ඒ වගේ අයටත් උදව් ඕනෙ. හරියට දාවිත්ට උදව් ඕනෙ වුණා වගේ.—ක්‍රියා 20:28.

‘අබිෂයි දාවිත්ගේ උපකාරයට එයි’

13. (අ) ඉෂ්බි-බෙනොබ්, දාවිත්ව මරා දාන්න ආවේ මොන අවස්ථාවේදීද? (ආ) අබිෂයි අවශ්‍ය මොහොතේදී උදව් කළේ කොහොමද?

13 දාවිත්, රෙෆායිවරයෙක් වූ ගොලියත් කියන යෝධයාව නිර්භීතව මරා දැම්ම සිද්ධිය ඔබට මතක ඇති. (1 සාමු. 17:4, 48-51; 1 ලේක. 20:5, 8) ඊට අවුරුදු ගාණකට  පස්සේ දාවිත් තවත් යෝධයෙක් එක්ක සටන් කළා. ඉෂ්බි-බෙනොබ් නම් ඔහුත් රෙෆායිවරයෙක්. (2 සාමු. 21:16) ඒත් මේ වෙලාවේදී නම් දාවිත්ට ලේසි වුණේ නැහැ. දාවිත්ව මරලා දාන්නත් ඉඩ තිබුණා. ඒකට හේතුව දාවිත්ගේ නිර්භීතකමේ අඩුවක් නෙවෙයි ඔහු ‘හොඳටම වෙහෙසට’ පත් වෙලා හිටපු නිසයි. යෝධයා මේක දැක්කා. ඔහු හිතුවා දාවිත්ව මරලා දාන්න මේක තමයි හොඳම අවස්ථාව කියලා. ඒත් දාවිත් ගැන ඇහැගහගෙන හිටිය අබිෂයි ඒ වෙලාවෙම දාවිත්ගේ උදව්වට ඇවිත් යෝධයාව මරලා දැම්මා. (2 සාමු. 21:15-17) අබිෂයි සැලකිල්ලෙන් තමන් දිහා බලාගෙන ඉඳලා අවශ්‍ය මොහොතේදී උදව් කරපු එක ගැන දාවිත් ඔහුට කොච්චර ස්තුති කරන්න ඇද්ද! මේ කතාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

14. (අ) යෝධයෝ හා සමාන අභියෝගවලට මුහුණ දෙන්න අපිට පුළුවන් කොහොමද? (ආ) වැඩිමහල්ලන් අපේ උපකාරයට එන්නේ මොන වගේ වෙලාවලදීද? උදාහරණයක් දෙන්න.

14 දෙවිගේ සෙනඟ වන අපි දෙවිට සේවය කරන්නේ සාතන් ඇතුළු බොහෝදෙනෙක් කරන පීඩා හා බාධා මැදයි. සමහර පීඩා අපිට පේන්නේ මහා යෝධයෝ වගේ. ඒත් ගොලියත්ව පරාජය කරන්න දාවිත්ට පුළුවන් වුණා වගේ අපිත් බොහෝ අවස්ථාවලදී ඒ වගේ තත්වයන්වලට සාර්ථකව මුහුණ දීලා ජය අරන් තියෙනවා. අපිට ඒක කරන්න පුළුවන් වුණේ දෙවි කෙරෙහි සම්පූර්ණයෙන් විශ්වාසය තියපු නිසයි. ඒත් දිනපතා කරන මේ සටනේදී අපිව වෙහෙසට පත් වෙන, අපේ විශ්වාසය අඩු වෙන අවස්ථා නැතුවාම නෙවෙයි. පුංචි දෙයකින් වුණත් අපි අධෛර්යය වෙන වෙලාවල් තියෙනවා. ඒත් අපි දිහා හොඳින් ඇහැගහගෙන ඉන්න වැඩිමහල්ලෙක් ඒ වගේ වෙලාවක ඇවිත් අපිට අවශ්‍ය දිරිගැන්වීම් දෙද්දී ඒක අපිට කොච්චර සහනයක්ද! දිගටම දෙවිට සතුටින් සේවය කරන්න ඒකෙන් ලැබෙන්නේ අලුත් ප්‍රබෝධයක්. ඔබත් ඒ අද්දැකීම ලබලා ඇති. අවුරුදු 65ක් විතර වයස පුරෝගාමි සහෝදරිය කියන දේ බලන්න. “මගේ වයස නිසා මං ටිකක් දුර්වල වෙලයි හිටියේ. ඒ නිසා සේවයේ ගියාම ගොඩක් මහන්සියි. ඒක තේරුම්ගත්ත වැඩිමහල්ලෙක් මාව හම්බ වෙන්න ඇවිල්ලා බයිබලයෙන් කොටසක් කියවලා මාව දිරිගන්වද්දී මට ලොකු ශක්තියක් ලැබුණා. එයා දුන්න මඟ පෙන්වීම් මම අදාළ කරගත්ත නිසා මට හුඟක් ප්‍රයෝජන ලැබුණා. එයා මං ගැන සැලකිලිමත් වෙලා මට උදව් කරපු එක කොච්චර වටිනවද!” අබිෂයි, දාවිත්ට උදව් කළා වගේ අපේ ප්‍රේමණීය වැඩිමහල්ලනුත් අපි දිහා ආදරෙන් බලන් ඉඳලා අවශ්‍යම වෙලාවේදී අපිට උදව් කරන්න සූදානමින් ඉන්නවා. ඒක මොන තරම් ආශීර්වාදයක්ද!

පාවුල්ගේ ආදරය ඔවුන්ට දැනුණා

15, 16. (අ) සහෝදර සහෝදරියන් පාවුල්ට ආදරේ කළේ ඇයි? (ආ) අපේ වැඩිමහල්ලන්ට අපි ආදරේ කරන්නේ ඇයි?

15 වැඩිමහල්ලන් ඔබ වෙනුවෙන් මොන තරම් වෙහෙසෙනවද කියලා ඔබ දන්නවද? සමහර දවස්වලට හරිහමං නින්දක්වත් නැතුව ඔවුන් ඔබ ගැන හිතනවා. මහ රෑ නැඟිටලා ඔබ ගැන යාච්ඤා කරනවා. ඒ විතරක් නෙවෙයි රැයක් දවාලක් කියලා බලන්නේ නැතුව ඇවිත් ඔබට උදව් කරනවා. (2 කොරි. 11:27, 28) ඒත් ඒ හැමදේම ඔවුන් කරන්නේ සතුටෙන්. හරියට පාවුල් වගේ. “ඔබ වෙනුවෙන් මා සතු සෑම දෙයක්ම, මගේ ජීවිතය පවා දීමට සතුටු වන්නෙමි” කියලා පාවුල් කොරින්තිවරුන්ට කිව්වා. (2 කොරි. 12:15) සහෝදරයන්ව ශක්තිමත් කරන්න පාවුල් තමන්ට පුළුවන් හැම දේම කළේ ඔහු ඔවුන්ට ආදරය කළ නිසයි. (2 කොරින්ති 2:4 කියවන්න; ෆිලි. 2:17; 1 තෙස. 2:8) ඒ ආදරය ඔවුන්ට හොඳින් දැනුණා. ඒ වගේ කෙනෙකුට සහෝදරයනුත් ආදරය කිරීම පුදුමයක්ද!—ක්‍රියා 20:31-38.

16 අපිත් අපේ වැඩිමහල්ලන්ට ආදරය කරනවා. ඔවුන් අපි ගැන හිතන එක ගැනත් අපිව හම්බ වෙන්න ඇවිල්ලා අපිව දිරිගන්වන එක ගැනත් අපි ඉන්නේ හරිම සතුටෙන්. අවශ්‍යම වෙලාවේදී උදව් කරන්න බලාගෙන ඉන්න ප්‍රේමණීය වැඩිමහල්ලන් පිරිසක් අපිට ඉන්නවා කියලා අමතක කරන්න එපා. ඔවුන් ඇත්තටම අපේ සතුට ගැන හිතනවා. ඔවුන්ව අපිට දුන්න එක ගැන අපි යෙහෝවා දෙවිට ස්තුති කරමු.

^ 5 ඡේ. ‘ඔබ වැඩිමහල්ලෙකුගෙන් වැඩියෙන්ම බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දේවල්ද’ කියලත් ඔවුන්ගෙන් ඇහුවා. වැඩිදෙනෙක් කිව්වේ ඔවුන් කැමති කාරුණික, මිත්‍රශීලී, හොඳින් ඇහුම්කන් දෙන වැඩිමහල්ලන්ට කියලයි. වැඩිමහල්ලන් එහෙම වෙන්න ඕනෙ ඇයි කියලා ඉදිරි ලිපියකින් කතා කරමු.