Skip to content

පටුනට යන්න

හොඳ සැලසුමකින් ලැබුණු ප්‍රතිඵල!

හොඳ සැලසුමකින් ලැබුණු ප්‍රතිඵල!

මාරියා ඉසබෙල් ජීවත් වෙන්නේ දකුණු ඇමරිකාවේ චිලී රටේ. එයා දේශනා සේවයට හුඟක් කැමති අවුරුදු දහයක දැරියක්. ඒගොල්ලෝ මාපූඩුංගූන් භාෂාව කතා කරන මාපූචි ගෝත්‍රිකයන්. මාරියාගේ මුළු පවුලම ආසාවෙන් හිටියේ ඒ භාෂාවෙන් අලුත් සභාවක් ඇති වෙනවා දකින්න.

යේසුස්ගේ මරණය සිහි කිරීමට ඒ භාෂාවෙනුත් රැස්වීමක් පවත්වනවා කියලත් ඒ භාෂාවෙන් ආරාධනා පත්‍රිකා 2,000ක් මුද්‍රණය කරනවා කියලත් සභාවේ නිවේදනය කළාම ඒ වෙනුවෙන් මොනවා හරි කරන්න ඕනේ කියලා පුංචි මාරියා හිතුවා. ඉස්කෝලේ ළමයින්ටත් ගුරුවරුන්ටත් සාක්ෂි දරලා හොඳ ප්‍රතිඵල ලබපු වෙනත් සාක්ෂිකරුවන්ගේ අද්දැකීම් එයාට මතක් වුණා. ඊටපස්සේ මාරියා එයාගේ අම්මයි තාත්තයි එක්ක කතා කළාම එයාලා කිව්වා පත්‍රිකා බෙදන්න පුළුවන් විදිහක් එයාට හිතන්න කියලා. මාරියා මොනවද කළේ?

ආරාධනා පත්‍රිකාවක් අලවපු දැන්වීමක් ඉස්කෝලේ ප්‍රධාන ගේට්ටුව ළඟ එල්ලලා තියන්න, මාරියා එයාගේ ඉස්කෝලේ ගුරු මණ්ඩලෙන් අවසර ඉල්ලුවා. එයාලා ඒකට අවසර දුන්නා විතරක් නෙවෙයි ඒ වගේ දේකට මාරියා දරපු උත්සාහයටත් ප්‍රශංසා කළා. එක දවසක් උදේ මාරියාගේ ආරාධනය ගැන විදුහල්පති මුළු පාසැලටම නිවේදනයකුත් කළා.

ඊටපස්සේ මාරියා හැම පන්තියකම ගුරුවරයාගෙන් අවසර අරගෙන ඒ පන්තිවල මාපූචි ගෝත්‍රයේ ළමයි ඉන්නවද කියලා හොයලා බැලුවා. “මම හිතුවේ මුළු ඉස්කෝලෙම ළමයි දහයක් පහළවක් විතර ඉඳියි කියලයි. ඒත් ඊට වඩා හුඟක් ළමයි හිටියා. අන්තිමට මම ආරාධනා පත්‍රිකා 150ක්ම බෙදුවා” කියලා මාරියා කිව්වා.

“බලාපොරොත්තු වුණේ වැඩිහිටි කෙනෙක්”

ඉස්කෝලේ ගේට්ටුව ළඟ තිබුණු දැන්වීම දැකලා ඒ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් කාගෙන්ද කියලා කාන්තාවක් ඇහුවා. පුංචි මාරියා ළඟට එයාව අරන් ගියාම ඒ කාන්තාව පුදුම වුණා. “එයා බලාපොරොත්තු වුණේ වැඩිහිටි කෙනෙක් හම්බවෙයි කියලයි” කියලා මාරියා සිනා සෙමින් කිව්වා. ඒ කාන්තාවට සිහි කිරීම ගැන කෙටියෙන් විස්තර කරලා ආරාධනා පත්‍රිකාවක් දුන්නට පස්සේ මාරියා එයාගේ ලිපිනය ඉල්ලගත්තා. අම්මයි තාත්තයි එක්ක පස්සේ දවසක ඇවිත් එයාට දෙවිගේ රාජ්‍යය ගැන තව විස්තර කියලා දෙන්න මාරියා පොරොන්දු වුණා. සිහි කිරීමට ඒ කාන්තාවත් මාපූචි ගෝත්‍රයට අයිති තවත් 26දෙනෙකුත් ඇවිත් හිටියා. මාපූඩුංගූන් භාෂා කණ්ඩායමේ සේවය කරන ප්‍රචාරකයන් 20දෙනා ඒ ගැන හුඟක් සතුටු වුණා. දැන් ඒ කණ්ඩායම සභාවක් වෙලා.

ඔබේ වයස කුමක් වුණත් මාරියා වගේ උනන්දුවෙන් ඉස්කෝලේ අයට හරි රැකියා ස්ථානයේ අයට හරි සිහි කිරීමට, බයිබල් දේශනයකට හෝ තුන් දින සමුළුවකට ආරාධනා කරන්න ඔබටත් පුළුවන්ද? සාර්ථක වෙන්න පුළුවන් විවිධ ක්‍රම ගැන අද්දැකීම් දැනගන්න අපේ ප්‍රකාශන කියවලා බලන්න. ඒ වගේම දෙවි ගැන කතා කරන්න අවශ්‍ය නිර්භීතකම ඉල්ලලා යාච්ඤා කරන්න. (ලූක් 11:13) ඒ විදිහට හොඳින් සැලසුම් කරනවා නම් ලැබෙන ප්‍රතිඵල ගැන ඔබටත් පුදුම හිතෙයි.