Skip to content

පටුනට යන්න

ධෛර්යවත් වන්න දෙවි ඔබ සමඟයි!

ධෛර්යවත් වන්න දෙවි ඔබ සමඟයි!

“ධෛර්යවත්ව, එඩිතරව සිටින්න . . . ඔබේ දෙවි යෙහෝවා වන මම ඔබ සමඟ සිටින්නෙමි.”—යොෂු. 1:9.

1, 2. (අ) අපිට අත්‍යවශ්‍ය දේවල් දෙක මොකක්ද? (ආ) විශ්වාසය කියන්නේ මොකක්ද? උදාහරණයක් දෙන්න.

යෙහෝවා දෙවිට සේවය කරන එකෙන් අපි හැමෝම ලොකු සතුටක් ලබනවා. ඒත් සාමාන්‍යයෙන් මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්න ගැටලුවලට වගේම ‘ධර්මිෂ්ඨ දේ කරන නිසා දුක් විඳින්නත්’ අපිට සිදු වෙනවා. (1 පේතෘ. 3:14; 5:8, 9; 1 කොරි. 10:13) ඒ නිසා අපිට ධෛර්යයකුත් දෙවි ගැන හොඳ විශ්වාසයකුත් අත්‍යවශ්‍යයි.

2 විශ්වාසය කියන්නේ මොකක්ද? “විශ්වාසය යනු තමන් බලාපොරොත්තු වන දේවල් ඉටු වන බව කිසි ලෙසකින්වත් සැක නොකිරීමයි. එසේම තමන් විශ්වාස කරන දේ ඇසට නොපෙනුණත් ඒවා සැබෑ බවට ස්ථිර සාක්ෂි ඇති නිසා ඒවා නිසැකව පිළිගැනීමයි.” (හෙබ්‍රෙ. 11:1) අපි ඒ පදය පුංචි උදාහරණයකින් තේරුම්ගමු. කෙනෙක්ගේ නමට ඔප්පුවක් තියෙනවා කියලා හිතන්න. ඒ ඉඩම ඒ කෙනා දැකලා නැතත් ඒක තමන්ට අයිතියි කියලා එයාට කිසි සැකයක් නැහැ. විශ්වාසයත් ඒ ඔප්පුව වගෙයි. අපි ළඟ විශ්වාසය තියෙනවා කියන්නේ දෙවි අපිට අනාගතයේදී දෙන්න පොරොන්දු වෙලා තියෙන දේවල් අපි දැකලා නැතත් ඒ ගැන අපිට කිසි සැකයක් නැහැ කියන එකයි.

3, 4. (අ) ධෛර්යවත් කෙනෙක් මොන වගේද? (ආ) අපේ විශ්වාසය හා ධෛර්යය ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද?

3 ධෛර්යය කියන්නේ මොකක්ද? ඒක තේරුම්ගන්න ධෛර්යවත් පුද්ගලයෙක් ගැන බලමු. ඒ වගේ කෙනෙක් මොන තරම් අමාරු, භයානක තත්වයකදී වුණත් භය නැතුව කතා කරනවා. නිර්භීතව වැඩ කරනවා. මානසිකවත් හුඟක් ශක්තිමත්. ඕනෙම දෙයක් දරාගන්න පුළුවන්. අපිටත් ඕනෙ ඒ වගේ කෙනෙක් වෙන්න නේද!—මාක් 6:49, 50; 2 තිමෝ. 1:7.

4 ඒත් ‘මට හිතෙන්නේ මගේ විශ්වාසය ටිකක් අඩු වෙලා වගේ. මීට වඩා ධෛර්යවන්තව ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න තිබුණා’ කියලා ඔබට හිතිච්ච අවස්ථා ඕනෑ තරම් ඇති. ටිකක් හිතන්න, දෙවි ගැන විශ්වාස කරලා ධෛර්යයෙන් වැඩ කරපු කීදෙනෙක් ගැන නම් බයිබලයේ සඳහන් වෙනවද! ඒ අයගේ ආදර්ශවලින් ඔබට ශක්තියක්  ලබාගන්න පුළුවන්. අපි දැන් ඒ අයගෙන් කිහිපදෙනෙක් ගැන ටිකක් කතා කරමු.

යොෂුවා ළඟින්ම දෙවි හිටියා

5. යොෂුවාට කරන්න තිබුණු භාරදූර කාර්යය ඉටු කරන්න ඔහුට අවශ්‍ය වුණේ මොනවද?

5 මුලින්ම අපි අවුරුදු 3,500ක් අතීතයට යමු. ඒ වෙද්දී ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් නිදහස් වෙලා අවුරුදු 40ක් ගත වෙලා. ඒ කාලය පුරාම ඔවුන්ගේ නායකයා වුණේ මෝසෙස්. ඒත් මෝසෙස්ට පොරොන්දු දේශයට යන්න ලැබුණේ නැහැ. ඔහු වෙනුවට නායකයා හැටියට පත් කරලා තිබුණේ ‘දෙවිගේ බලය ක්‍රියාත්මක වූ නිසා ප්‍රඥාවන්තව කටයුතු කරපු’ යොෂුවාවයි. (ද්වි. 34:1-9) කානාන් දේශය අල්ලගැනීමේ භාරදූර කාර්යය සාර්ථක කරගන්න යොෂුවාට දෙවිගෙන් ප්‍රඥාව ඕනෙ වුණා. ඒ විතරක් නෙවෙයි, දෙවි ගැන විශ්වාසය ඇතුව ධෛර්යයෙන් හා එඩිතරව කටයුතු කරන්නත් ඔහුට අවශ්‍ය වුණා.—ද්වි. 31:22, 23.

6. (අ) යොෂුවා 23:6හි ඇති දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? (ආ) ක්‍රියා 4:18-20 සහ ක්‍රියා 5:29හි සඳහන් දේවලින් ඉගෙනගන්න පුළුවන් මොනවද?

6 කානාන් දේශය අල්ලගන්න සටන් කරපු කාලය පුරාම යොෂුවාට තිබුණු ප්‍රඥාව, ධෛර්යය සහ විශ්වාසය ඊශ්‍රායෙල්වරුන්ට ලොකු ශක්තියක් වෙන්න ඇති. තමන්ගේ ජීවිතයේ අවසාන දවස්වලදී අවසන් වතාවට ඊශ්‍රායෙල්වරුන්ව ඇමතුව යොෂුවා ඔවුන්ට මෙහෙම කිව්වා. “නීතියේ සඳහන් සෑම දෙයක්ම ඉටු කිරීමට අධිෂ්ඨාන කරගන්න. එයින් දකුණටවත් වමටවත් නොහැරී එය පිළිපදින්න. එසේ කිරීමට ඔබ එඩිතර විය යුතුයි.” (යොෂු. 23:6) ඒ දේ කරන්නත් ඔවුන්ට ධෛර්යය ඕනෙ වුණා. ඒ අයට වගේ අපිටත් හැම වෙලාවෙම යෙහෝවා දෙවිට කීකරුව ඉන්න ධෛර්යය ඕනෙ. දෙවිට අකීකරු වෙන්න කියලා සමහරු අපිට බල කළත් ඒකට විරුද්ධව ඉන්නත් අපිට ධෛර්යය ඕනෙ. (ක්‍රියා 4:18-20; 5:29 කියවන්න.) අපි යාච්ඤා කරනවා නම්, දෙවිව විශ්වාස කරනවා නම් නිර්භීතව ඒ වගේ අවස්ථාවලට මුහුණ දෙන්න දෙවි අපිට උදව් කරනවා.

සාර්ථකත්වයට මඟ

7. ධෛර්යය ලබාගන්නත් ජීවිතය සාර්ථක කරගන්නත් යොෂුවා කරන්න ඕනෙ වුණේ මොනවද?

7 දෙවිගේ කැමැත්ත කරන්නත් අපිට ධෛර්යය ඕනෙ. ඒ සඳහා දෙවිගේ වචනය අධ්‍යයනය කරලා ඒ අනුව ජීවත් වෙන්න ඕනෙ. නායකයා හැටියට යොෂුවාව තෝරගත්ත වෙලාවේ දෙවි ඔහුට මෙහෙම කිව්වා. “නීතියට ඇතුළත් සෑම දෙයක්ම ඉටු කරන පිණිස ධෛර්යවත්ව, එඩිතරව සිටීමට වගබලා ගන්න. . . . මේ නීතියේ සඳහන් සියල්ල එලෙසම පිළිපදින පිණිස දිවා රෑ දෙකේම එය කියවා ඒ ගැන හොඳින් කල්පනා කර බලන්න. එහි සඳහන් දේවල් ගැන නිතරම අන් අය සමඟ කතා කරන්න. එවිට ඥානවන්තව තීරණ ගෙන ජීවිතය සාර්ථක කරගැනීමට ඔබට හැකි වන්නේය.” (යොෂු. 1:7, 8) දෙවි කියපු විදිහටම යොෂුවා කළ නිසා ඔහුගේ “ජීවිතය සාර්ථක” වුණා. අපිත් යොෂුවා වගේ කළොත් දෙවිට කරන සේවය තවත් සාර්ථක කරගන්නත් ධෛර්යයෙන් සේවය කරන්නත් අපිට පුළුවන් වෙයි.

වර්ෂ 2013 වාර්ෂික පදය: “ධෛර්යවත්ව, එඩිතරව සිටින්න . . . ඔබේ දෙවි යෙහෝවා වන මම ඔබ සමඟ සිටින්නෙමි.”—යොෂුවා 1:9

8. වර්ෂ 2013 සඳහා වාර්ෂික පදය මොකක්ද? ඒ පදය ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?

8 යෙහෝවා දෙවිගේ මේ වචන ඇහෙද්දී යොෂුවාට මොන තරම් ධෛර්යයක් ලැබෙන්න ඇද්ද! “ධෛර්යවත්ව, එඩිතරව සිටින්න කියා මා ඔබට අණ කළ බව සිහි කරන්න. ඔබ කොතැනකට ගියත් ඔබේ දෙවි යෙහෝවා වන මම ඔබ සමඟ සිටින්නෙමි. එහෙයින් භය නොවන්න. තැති නොගෙන එඩිතරව සිටින්න.” (යොෂු. 1:9) දෙවි, යොෂුවා ළඟ හිටියා වගේ අපි ළඟිනුත් ඉන්නවා.  ඒ නිසා දුක් කරදර එද්දී “තැති නොගෙන එඩිතරව සිටින්න” අපිට පුළුවන්. නිතරම යොෂුවා 1:9 තියෙන “ධෛර්යවත්ව, එඩිතරව සිටින්න . . . ඔබේ දෙවි යෙහෝවා වන මම ඔබ සමඟ සිටින්නෙමි” යන වචන මතක තියාගන්න. වර්ෂ 2013 සඳහා වාර්ෂික පදයත් එයයි. ඒ වචන මේ අවුරුද්ද පුරාම ඔබට ශක්තියක් වෙනවා නොඅනුමානයි.

ධෛර්යවත් කාන්තාවන් දෙදෙනෙක්

9. රාහබ්, විශ්වාසය හා ධෛර්යය පෙන්නුවේ කොහොමද?

9 යොෂුවා කානාන් දේශයට ඔත්තුකරුවන් දෙන්නෙක්ව යැව්ව අවස්ථාව ගැන හිතන්න. රාහබ් ඔවුන්ව සතුරන්ගෙන් ආරක්ෂා කළා. රාහබ් එහෙම කළේ එයාට ධෛර්යයකුත් දෙවි ගැන ලොකු විශ්වාසයකුත් තිබුණු නිසයි. ඒකෙන් එයාගෙත් එයාගේ පවුලේ අයගෙත් ජීවිත බේරුණා. (හෙබ්‍රෙ. 11:30, 31; යාකො. 2:25) ගණිකාවක් වුණු රාහබ් දෙවිට සේවය කරන්න එයාගේ අනාචාර ජීවිතයත් අතහැරියා. රාහබ් වගේ අදත් හුඟක් අය තමන්ගේ ජීවිත වෙනස් කරගෙන තියෙනවා. එහෙම කරන්න විශ්වාසයක්, ධෛර්යයක් වගේම හිතේ හයියකුත් තියෙන්න ඕනෙ.

10. දෙවිට සේවය කරන්න රූත් කෙළින් තීරණයක් ගත්තා කියලා කියන්නේ ඇයි? ඇයට ලැබුණු ආශීර්වාද මොනවද?

10 රූත් කියන්නේ ඊශ්‍රායෙල් කෙනෙක් නොවුණත් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න කෙළින් තීරණයක් ගත්ත කාන්තාවක්. සැමියා මිය ගියාට පස්සේ රූත් තමන්ගේ ඊශ්‍රායෙල් ජාතික නැන්දම්මා එක්ක මෝවබ් දේශය අතහැරලා ඊශ්‍රායෙල් දේශයට එන්න කැමති වුණා. එහෙම එන අතරතුරේදී තමන්ගේ ගම්බිම් බලා යන්න කියලා නායොමි රූත්ගෙන් කොතරම් ඉල්ලා හිටියත් රූත් කැමති වුණේ නැහැ. “ඔබව අත්හැර යන්න කියලා නම් මට කියන්න එපා. ඔබ යන ඕනෑම තැනකට මමත් යනවා. . . . ඔබේ සෙනඟ මගෙත් සෙනඟයි. ඔබේ දෙවි මගෙත් දෙවියි” කියලා රූත් කිව්වා. (රූත් 1:16) දෙවි ගැන විශ්වාසයෙන් හා ධෛර්යයෙන් වැඩ කරපු රූත්ට දෙවි ආශීර්වාද කළාද? ඔව්! නායොමිගේ නෑදෑයෙක් වුණු බෝවස් එක්ක විවාහ වෙන්නත් දාවිත්ගෙත් යේසුස්ගෙත් පෙළපතට සම්බන්ධ වීමේ වරප්‍රසාදයත් ඇයට ලැබුණා.—රූත් 2:12; 4:17-22; මතෙ. 1:1-6.

දිවි පරදුවට තැබූ අය

11. යෙහෝයාදා හා යෙහෝෂෙබා ධෛර්යයෙන් කටයුතු කළේ කොහොමද? ඒ නිසා සිදු වුණු යහපත් දේවල් මොනවද?

11 දෙවි වෙනුවෙනුත් දෙවිට සේවය කරන අය වෙනුවෙනුත් තමන්ගේ ජීවිත පරදුවට තිබ්බ අය එක්ක දෙවි හැමදාම හිටියා. ඒ වගේ අය ගැන ඉගෙනගද්දී අපේ විශ්වාසයත් ධෛර්යයත් තවත් ශක්තිමත් වෙනවා. උත්තම පූජක යෙහෝයාදා හා ඔහුගේ බිරිඳ යෙහෝෂෙබා ඒ වගේ ජීවිත පරදුවට තිබ්බ යුවළක්. අහසියා රජු මිය ගියාට පස්සේ ඔහුගේ මව වුණු අතලියා, ඔහුගේ පුතුන්ව මරලා දාලා පාලනය අතට ගත්තා. ඒත් යෙහෝයාදාත් ඔහුගේ බිරිඳත්, රජගේ පුතෙක් වූ යෙහෝයාෂ්ව බේරගෙන අවුරුදු හයක් හංගගෙන හිටියා. හත්වෙනි අවුරුද්දේ ඔවුන් යෙහෝයාෂ්ව රජ කරලා අතලියාව මරලා දාන්න අණ කළා. (2 රාජා. 11:1-16) පස්සේ කාලෙක දේවමාලිගාව අලුත්වැඩියා කරන්නත් රජුට උදව් කළේ යෙහෝයාදායි. “ඔහු ඊශ්‍රායෙල් දේශය වෙනුවෙන්ද සැබෑ දෙවි හා ඔහුගේ ගෘහය උදෙසාද බොහෝ යහපත් දේවල් කළ නිසා” ඔහු මිය ගියාට පස්සේ රජවරුන්ව තැන්පත් කරන ස්ථානයේ ඔහුවත් තැන්පත් කළා. (2 ලේක. 24:15, 16) මේ දිරිය යුවළ නිසා දාවිත් සිට යේසුස් දක්වා පෙළපත ආරක්ෂා වුණා.

12. ඒබෙද්-මෙලෙක් තමන්ගේ ජීවිතය පරදුවට තිබ්බේ කොහොමද?

12 ඒබෙද්-මෙලෙක් ගැන මතකද? ඔහු යෙරෙමියාව බේරගන්න තම ජීවිතය පරදුවට තියපු කෙනෙක්. අධිපතීන් පිරිසක් යෙරෙමියා ගැන බොරු චෝදනා කරපු නිසා ශෙදකියා රජ, යෙරෙමියාව මරා දැමීමට මඩ පිරුණු ළිඳකට දාන්න අණ කළා. (යෙරෙ. 38:4-6) රජමාලිගාවේ නිලධාරියෙක් වුණු ඒබෙද්-මෙලෙක්, එයාගේ ජීවිතය අනතුරේ තියලා යෙරෙමියා වෙනුවෙන් ශෙදකියා රජු එක්ක කතා කළා. ඔහු කිව්ව දේ අහපු රජ, යෙරෙමියාව ළිඳෙන් එළියට ගන්න අණ කළා. ඒබෙද්-මෙලෙක් කළ දේ අගය කරපු  යෙහෝවා දෙවි යෙරුසලම විනාශ කරද්දී ඔහුගේ ජීවිතය බේරලා දෙන්න පොරොන්දු වුණා.—යෙරෙ. 39:15-18.

13. හෙබ්‍රෙව් තරුණයන් තුන්දෙනා නිර්භීතව ක්‍රියා කළේ කොහොමද? ඔවුන් අපිට ආදර්ශයක් වෙන්නේ කොහොමද?

13 හෙබ්‍රෙව් තරුණයෝ තුන්දෙනත් අපිට ආදර්ශයක්. නෙබුකද්නෙෂර් රජ, විශාල රන් රූපයක් හදලා උසස් නිලධාරීන් සියලුදෙනාට ආරාධනා කරලා උත්සවයක් පැවැත්වුවා. ඒ අවස්ථාවේදී ඒ රූපයට නමස්කාර කරන්න කියලා ඔහු අණ කළා. ඒ රූපයට නමස්කාර නොකරන අයව ගිනි උදුනකට දානවා කියලා දැනදැනත් ඒ තරුණයෝ තුන්දෙනා රජුට මෙහෙම කිව්වා. ‘ඔබ අපිව ගිනි උදුනට විසි කළත් අපි නමස්කාර කරන දෙවිට පුළුවන් එයින් අපිව බේරගන්න. නමුත් දෙවි අපිව බේරාගත්තේ නැතත් අපි කවදාවත් ඔබේ දෙවිවරුන්ට නම් නමස්කාර කරන්නේ නැහැ. ඔබ ඉදි කළ මේ රන් රූපයට අපි කොහොමටවත් නමස්කාර කරන්නේ නැහැ.’ (දානි. 3:16-18) රජ ඔවුන්ව ගිනි උදුනට දැම්මත් ඔවුන් එයින් බේරුණු හැටි දැනගන්න දානියෙල් 3:19-30 දක්වා කියවා බලන්න. ඒ වගේ අපිව කවුරුත් ගිනි උදුනකට දාන එකක් නැහැ. ඒත් දෙවිට තියෙන අපේ විශ්වාසය ඔප්පු කරන්න වෙන අවස්ථා නම් ඕනෙ තරම් තියෙනවා. ඒ වගේ වෙලාවලදී අපිත් ධෛර්යයෙන් හා විශ්වාසයෙන් වැඩ කරමු. දෙවි අපිටත් ආශීර්වාද කරයි.

14. දානියෙල් ධෛර්යවත් කෙනෙක් කියලා කියන්න පුළුවන් ඇයි? ලැබුණු ප්‍රතිඵලය මොකක්ද?

14 දැන් අපි දානියෙල් ගැන බලමු. දානියෙල්ගේ සතුරන් දාරියුස් රජගෙන් මේ වගේ දෙයක් ඉල්ලා හිටියා. ‘දවස් තිහක් යන තෙක් ඔබට හැර වෙන දෙවි කෙනෙකුට හෝ මනුෂ්‍යයෙකුට යාච්ඤා කරන ඕනෑම කෙනෙකුව සිංහ ගුහාවට විසි කරන ලෙස නීතියක් පනවන මෙන් ඉල්ලන්න කැමතියි.’ ඒකට අනුමැතිය දුන්න බව දැනගත්ත දානියෙල් “තම නිවසට ගොස් උඩුමහල් කාමරයට ඇතුල් විය. එම කාමරයේ කවුළු යෙරුසලම දෙසට ඇරී තිබිණ. ඔහු සුපුරුදු පරිදි දණ ගසා දෙවිට ප්‍රශංසා කරමින් යාච්ඤා කළේය. ඔහු දවසට තුන් වතාවක්ම එසේ කිරීමට පුරුදු වී සිටියේය.” (දානි. 6:6-10) නොසැලෙන විශ්වාසයකින් වැඩ කළ මේ මිනිසාව සිංහ ගුහාවට දැම්මත් දෙවි ඔහුව බේරගත්තා.—දානි. 6:16-23.

15. (අ) අකිලා හා ප්‍රිසිලා කළේ මොකක්ද? (ආ) යොහන් 13:34හි ඇති වචනවලින් යේසුස් අදහස් කළේ මොකක්ද? සාක්ෂිකරුවන් ඒ වගේ ප්‍රේමයක් පෙන්නලා තියෙන්නේ කොහොමද?

15 අකිලා හා ප්‍රිසිලා යන යුවළගෙනුත් අපිට යමක් ඉගෙනගන්න පුළුවන්. පාවුල් වෙනුවෙන් ඔවුන් “බොහෝ අනතුරුවලට මුහුණ” දුන්නා. (ක්‍රියා 18:2; රෝම 16:3, 4) ඔවුන් එහෙම කළේ ‘මම ඔබට අලුත් ආඥාවක් දෙන්න කැමතියි. එනම් ඔබ එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. මම ඔබට ප්‍රේම කළා වගේ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න’ කියලා යේසුස් කිව්ව නිසයි. (යොහ. 13:34) යේසුස් දුන්න අලුත් ආඥාව මොකක්ද? මෝසෙස්ගේ නීතියේ තිබුණේ කෙනෙක් තමාට වගේ  අනිත් අයටත් ප්‍රේම කරන්න ඕනෙ කියලයි. (ලෙවී. 19:18) ඒත් යේසුස් කිව්වේ “මම ඔබට ප්‍රේම කළා වගේ,” ඒ කියන්නේ තමන්ගේ ජීවිතය වුණත් දෙන්න තරම් ප්‍රේමයක් තියෙන්න ඕනෙ කියලයි. අදත් හුඟක් සාක්ෂිකරුවන් තමන්ගේ සහෝදරයන්ව සතුරන්ගේ කුරිරුකම්වලින් බේරගන්න තම ජීවිත පරදුවේ තියලා වැඩ කරනවා.—1 යොහන් 3:16 කියවන්න.

මුල් ක්‍රිස්තියානීන් තමන්ගේ විශ්වාසය පාවා දුන්නේ නැහැ

16, 17. මුල් ක්‍රිස්තියානීන් මුහුණ දුන්නේ මොන වගේ අවස්ථාවකටද? ඒ වගේ දේකට සාක්ෂිකරුවන් මුහුණ දුන්නේ කොහොමද?

16 මුල් ක්‍රිස්තියානීනුත් යේසුස් වගේම නමස්කාර කළේ දෙවිට විතරයි. (මතෙ. 4:8-10) රෝම අධිරාජ්‍යයාට සුවඳ දුම් ඔප්පු කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඔවුන් ඒ බව පෙන්නුවා. (පින්තූරය බලන්න.) ඒ ගැන එක පොතක මෙහෙම තියෙනවා. “එළිමහන් පිට්ටනියක දැල්වෙමින් තිබුණු පූජාසනයක් තිබුණා. හිරකරුවෙක්ට කරන්න තිබුණේ ඒ පූජාසනයට සුවඳ ද්‍රව්‍ය ටිකක් දාන එක විතරයි. එහෙම කළොත් ඔහුට සහතිකයක් දීලා නිදහස් කළා. ඊට කලින් ඔවුන්ට පැහැදිලි කරලා කිව්වා ඔවුන් මේ කරන්නේ රෝම අධිරාජ්‍යයාට වඳින එක නෙවෙයි, ඔහුව දේවත්වයෙන් සලකන එකත් රෝමයේ පාලකයා හැටියට පිළිගන්නවා කියන එකත් විතරයි කියලා. ඒත් එක් කෙනෙක් දෙන්නෙක් හැර අනික් හැම කෙනෙක්ම ඒක ප්‍රතික්ෂේප කළා.”—Those About to Die.

17 ඒ වගේම දෙයක් නාට්සි ගාල් කඳවුරුවල හිටපු සාක්ෂිකරුවනුත් කළා. මරණ දඬුවම හිමි වෙලා තිබුණු හිරගෙදර ජීවිතයෙන් නිදහස් වෙන්න නම් ඔවුන්ට කරන්න තිබුණේ දෙවිට සේවය කරන්නේ නැහැ කියලා ලියවිල්ලකට අත්සන් කරන එක විතරයි. ඒත් හැම කෙනෙක්ම වගේ ඒක ප්‍රතික්ෂේප කළා. ඒ වගේම රුවන්ඩාවේ සමූල ඝාතනයක් සිදු වුණු කාලයේ ටුට්සි හා හුටු ගෝත්‍රවල සහෝදරයන් එකිනෙකාගේ ජීවිත ආරක්ෂා කළේ තම ජීවිත ගැනවත් හිතන්නේ නැතුවයි.

දෙවි අපි ළඟිනුත් ඉන්නවා

18, 19. දේශනා සේවය සාර්ථක කරගන්න උදව් වෙන ආදර්ශ මොනවද?

18 ශුභාරංචිය දේශනා කරමින් මිනිසුන්ට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න උපකාර කරන කාර්යය දෙවි තම සේවකයන්ට මේ තාක් පවරපු වටිනාම කාර්යයයි. (මතෙ. 24:14; 28:19, 20) ‘දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමට නුවරින් නුවරටත් ගමින් ගමටත් ගිය යේසුස්ව’ අපිත් ආදර්ශයට ගන්නවා. (ලූක් 8:1) ඒ සේවය කරන්න අපිටත් යේසුස්ට වගේ විශ්වාසයකුත් ධෛර්යයකුත් අවශ්‍යයි. ජලගැල්මකින් විනාශ වීමට නියමිතව සිටි, ‘දෙවිට කිසි ගෞරවයක් නොදැක්වූ’ මිනිස්සුන්ට නිර්භීතව ‘දේශනා කරන්න’ නෝවාට දෙවි උපකාර කළා. ඒ වගේ අපිටත් උපකාර කරනවා.—2 පේතෘ. 2:4, 5.

19 දේශනා සේවය සාර්ථකව කරන්න යාච්ඤාවත් අපිට උපකාරයක්. පීඩා විඳදරාගනිමින් හිටපු යේසුස්ගේ අනුගාමිකයන් ‘කිසිම බියක් සැකක් නැතුව දිගටම කතා කරන්න’ උපකාර ඉල්ලලා යාච්ඤා කරපු අවස්ථාවලදී දෙවි ඔවුන්ට උදව් කළා. (ක්‍රියා 4:29-31 කියවන්න.) දේශනා සේවයේ යන්න ඔබටත් යම් බියක් ලැජ්ජාවක් තියෙනවද? එහෙමනම් ඒ ගැන දෙවිට කියන්න. දෙවි ඔබටත් විශ්වාසයෙන් හා ධෛර්යයෙන් සේවය කරන්න උදව් කරනවා නොඅනුමානයි.—ගීතාවලිය 66:19, 20 කියවන්න. *

20. අපි තනි වෙලා නැහැ කියලා කියන්න පුළුවන් කොහොමද?

20 මේ නපුරු දුෂ්ට සමාජයේ දිගටම දෙවිට විශ්වාසවන්තව ජීවත් වෙන එක අභියෝගයක් තමයි. ඒත් ඔබ තනිවෙලා කියලා හිතන්න එපා. දෙවි සහ යේසුස් ඔබ ළඟින්ම ඉන්නවා. ඒ විතරද? ලොව පුරා ලක්ෂ 70කට වඩා ඉන්න අපේ සහෝදර සහෝදරියන්ව ඔබට අමතක වුණාද! ඒ නිසා කිසිම දේකට සැලෙන්න එපා! “ධෛර්යවත්ව, එඩිතරව සිටින්න . . . ඔබේ දෙවි යෙහෝවා වන මම ඔබ සමඟ සිටින්නෙමි” යන 2013 වාර්ෂික පදය නිතරම මතක තියාගමු. (යොෂු. 1:9) දෙවිට විශ්වාසවන්තව දිගටම සේවය කරමු.

^ 19 ඡේ. ධෛර්යයෙන් ක්‍රියා කරපු තවත් අය ගැන දැනගැනීමට 2012 පෙබරවාරි 15 මුරටැඹ කලාපයේ “ධෛර්යවත්ව එඩිතරව සිටින්න!” යන ලිපිය බලන්න.