Skip to content

පටුනට යන්න

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - නෝර්වේවලදී

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - නෝර්වේවලදී

රොආල් සහ එල්සබෙත් කියන්නේ නෝර්වේවල බර්ජන් කියන නගරයේ ජීවත් වුණු යුවළක්. හතළිස් ගණන්වල අගභාගයේ පසු වුණු ඔවුන්ට ඉසබෙල් කියලා දුවෙකුත් ෆේබියන් කියලා පුතෙකුත් හිටියා. රොආල් වැඩිමහල්ලෙක් විදිහටත් එල්සබෙත් පුරෝගාමියෙක් විදිහටත් දරුවෝ දෙන්නා හොඳ ප්‍රචාරකයන් විදිහටත් සේවය කළා.

වර්ෂ 2009 සැප්තැම්බර් මාසයේදී ඔවුන් පවුලක් හැටියට සේවය වැඩි කරන්න තීරණයක් ගත්තා. දුර පළාතකට ගිහිල්ලා සතියක් පුරා එහේ නැවතිලා සේවය කරන්න ඔවුන් හිතුවා. ඒ යුවළ වසය අවුරුදු 18ක් වුණු ෆේබියන් එක්ක ආක්ටික් වෘත්තයට ඉහළින් පිහිටලා තියෙන ෆින්මාක් කියන ප්‍රදේශයේ, නෝකින් කියන තැනට ගියා. ඒ ප්‍රදේශයට වෙනත් ප්‍රදේශවලිනුත් සහෝදර සහෝදරියන් ඇවිල්ලා හිටියා. ඔවුන් එක්ක එකතු වෙලා මේ තුන්දෙනා යොල්ෆියෝඩ් කියන ගම්මානයේ සේවය කළේ හරි සතුටින්. “මුළු සතියක්ම මේ විදිහට සේවය කරන්න පුළුවන් වුණ එක ගැන මට මුලදී ලොකු සතුටක් දැනුණා” කියලා රොආල් කිව්වා.

 බලාපොරොත්තු නොවූ යෝජනාවක්

ඊටපස්සේ වුණු දේ ගැන රොආල් මෙහෙම කියනවා. “ඒ ප්‍රදේශයේ අපිත් එක්ක මාර්යෝ කියලා පුරෝගාමියෙක් සේවය කළා. එයා කරපු යෝජනාවක් නිසා කරන්න ඕනෙ මොනවද කියලා මට හිතාගන්නවත් බැරි වුණා. ‘ලාක්සාල්ව් කියන නගරයේ ප්‍රචාරකයන් 23දෙනෙක් ඉන්න පුංචි සභාවක් තියෙනවා. ඔයා කැමති නැද්ද පවුලත් එක්ක ගිහිල්ලා ඒ සභාවේ සේවය කරන්න’ කියලා මාර්යෝ මගෙන් ඇහැව්වා. අවශ්‍යතාව තියෙන පැත්තකට ගිහිල්ලා සේවය කරන්න ඕනෙ කියලා අපිත් හිතහිතා තමයි හිටියේ, ඒත් ළමයි ලොකු වෙලා ගෙදරින් ගියාට පස්සේ එහෙම කරන්නයි අපි සැලසුම් කරලා තිබුණේ.” ඒත් ඒ සතියේ දේශනා කරද්දී ගොඩක් අය දෙවි ගැන දැනගන්න ආසාවෙන් හිටපු හැටි දැක්කාම රොආල් හිතුවා “මේගොල්ලන්ට උදව් කරන එක පස්සට දානවාට වඩා දැන්ම කරන එක තමයි හොඳ” කියලා. ඔහු මෙහෙම කියනවා “මාර්යෝ කියපු දේ නිසා මගේ හිත ගොඩක් වධ දුන්නා. සමහර දවස්වල හරියට නින්ද ගියෙත් නැහැ.” දවසක් මාර්යෝ, රොආල්ගේ පවුලේ අයවත් එක්කගෙන කිලෝමීටර් 240ක් විතර ඈතින් තිබුණ ලාක්සාල්ව්වලට ගියා. ඔහුට ඕනෙ වුණේ රොආල්ගේ පවුලේ අයට ඒ සභාවේ අයව මුණගස්සන්නයි.

ආන්ඩ්‍රේයාස් කියන්නේ ඒ සභාවේ හිටපු වැඩිමහල්ලන් දෙන්නගෙන් එක් කෙනෙක්. ඔහු ඔවුන්ට ඒ ප්‍රදේශයත් නමස්කාර මධ්‍යස්ථානයත් පෙන්නුවා. සභාවේ හිටපු හැමෝම ඔවුන්ව පිළිගත්තේ හරිම සතුටින්. රොආල්ගේ පවුලේ අය ඒගොල්ලන් එක්ක සේවය කරන්න එනවා නම් ඔවුන් ඒ ගැන ගොඩක් සතුටුයි කියලත් කිව්වා. මේ වෙනකොට ආන්ඩ්‍රේයාස් රොආල්ටයි ෆේබියන්ටයි රැකියා හොයාගන්න පුළුවන් විදිහට දේවල් සකස් කරලත් තිබුණා! මේ පවුල මොන වගේ තීරණයක් ගනීවිද?

තීරණය මොකක්ද?

ෆේබියන් නම් ගත් කටටම කිව්වේ “මට නම් මේ පැත්තට එන්න ආස නැහැ” කියලයි. පුංචි කාලේ ඉඳලාම හිටපු සභාවේ යාළුවන්ව දාලා මේ වගේ පොඩි නගරයකට ඇවිත් ජීවත් වෙන එක ගැන හිතන්නවත් එයා කැමති වුණේ නැහැ. ඒ වගේම එයා විදුලි කාර්මිකයෙක් වෙන්න පුහුණු වෙමිනුයි හිටියේ. ඒ පාඨමාලාවත් තවම ඉවර වෙලා තිබුණේ නැහැ. ඒ වෙනකොට වයස අවුරුදු 21ක් වෙලා හිටපු ඉසබෙල් නම් කිව්වේ “මං නම් ආසාවෙන් හිටියේ ඒ වගේ දෙයක් කරන්න. ඒත් යාළුවන්වත් හුරුපුරුදු සභාවත් දාලා ඒ වගේ පැත්තකට මට යන්න පුළුවන් වෙයිද කියලා මට හිතුණා” කියලයි. එල්සබෙත් මොනවද කිව්වේ? “මට දැනුණේ යෙහෝවා දෙවි අපේ පවුලට පැවරුමක් දුන්නා වගේ. ඒත් අපේ ගෙදර අලුත්වැඩියා කළේ ළඟදී. ඒ ගෙදරත් අවුරුදු 25ක් තිස්සේ අපි එකතු කරපු බඩුත් දාලා යන එක ගැන හිතනකොට නම් මට ලොකු දුකක් දැනුණා.”

දකුණ: එල්සබෙත් සහ ඉසබෙල්

දුර පළාතේ සේවය කරපු සතිය ඉවර වෙලා ඔවුන් ආයෙත් බර්ජන්වලට ආවා. ඒත් කිලෝමීටර් 2,100ක් විතර දුර හිටිය ලාක්සාල්ව්වල සහෝදර සහෝදරියන්ව අමතක කරන්න නම් ඔවුන්ට පුළුවන් වුණේ නැහැ. “මම ඒ ගැන දෙවිට ගොඩක් යාච්ඤා කළා. ඒ වගේම එහේදි හම්බ වුණු යාළුවෝ එක්ක නිතර නිතර කතා කළා. පින්තූර හුවමාරු කරගත්තා” කියලා එල්සබෙත් කියනවා. රොආල් කියන්නේ මෙහෙමයි. “එහෙට යන එක ගැන හිතන්න මටත් ටික කාලයක් ඕනෙ වුණා. ඒක අපිට කරන්න පුළුවන් වෙයිද, අපේ වියදම් පිරිමහන්න සල්ලි හොයන්නේ කොහොමද කියලත් මම කල්පනා කළා. ඒ ගැන මම හුඟක් යාච්ඤා කළා. ඒ වගේම පවුලේ අය එක්කත් අද්දැකීම් තියෙන සහෝදරයන් එක්කත් කතා කළා.” ෆේබියන් මෙහෙම කියනවා. “මං ඒ ගැන හිතන්න හිතන්න මට තේරුණා ඒ යෝජනාවට අකමැති වෙන්න මට කිසිම හේතුවක් නැහැ කියලා. ඒ ගැන යාච්ඤා කරපු නිසා පස්සේ ටිකෙන් ටික එහේ යන්න මටත් ආසාවක් ඇති වුණා.” හදිසියේ යන්න වුණොත් ඒකට සූදානම් වෙන්න හිතාගෙන පුරෝගාමි සේවය පටන්ගත්ත ඉසබෙල් ඒ කාලය පුරාම බයිබලය හොඳින් අධ්‍යයනය කරන්නත් කාලය ගත්තා.

අවශ්‍ය පියවර ගත්ත විදිහ

සාක්ෂිකරුවන් අඩු ප්‍රදේශයක සේවය කරන්න තියෙන ආසාව ඉටු කරගන්න මේ පවුල අවශ්‍ය පියවර ගත්තා. ඒ වෙනකොට හොඳ පඩියක් ලැබෙන රැකියාවක් කරගෙන හිටපු රොආල් අවුරුද්දක නිවාඩුවක් ඉල්ලුවත් ප්‍රධානියා කිව්වේ ඔහුට විටින් විට ඇවිල්ලා වැඩ කරන්න කියලයි. ඒ නිසා ඔහු සති දෙකක් වැඩ කරලා සති හයක් නිවාඩු ගන්න විදිහට වැඩ කරන්න කැමති වුණා. “ඒකෙන් මගේ ආදායම ගොඩක් අඩු වුණා තමයි, ඒත් අපිට ඒක ප්‍රමාණවත් වුණා.”

ඉසබෙල් මෙහෙම කියනවා. “අපේ ගෙදර කුලියට දීලා ලාක්සාල්ව්වලින් ගෙයක් කුලියට ගන්න අපි තීරණය කළා. ඒක කරන්න ලේසි වුණේ නැහැ. ඒත් ඒක සාර්ථක වුණා. ටික කාලෙකට පස්සේ දරුවෝ දෙන්නටත් අර්ධකාලීන රැකියා හොයාගන්න පුළුවන් වුණ නිසා කෑමවලටත් ගමන්බිමන්වලට යන වියදම පිරිමහගන්න ඒගොල්ලොත් උදව් කළා.

“මේ පුංචි නගරයට ආවම ලොකුම අභියෝගය වුණේ රැකියාවක් හොයාගන්න එකයි” කියලා ඉසබෙල් කියනවා. මෙහෙට ආපු මුල් අවුරුද්දේ විතරක් ඇය අර්ධකාලීන රැකියා නවයක්ම කළේ පුරෝගාමි සේවය කරන්නත් වියදම්  පිරිමහගන්නත් එයින් අවස්ථාව ලැබුණු නිසයි. ෆේබියන් මොනවද කළේ? “විදුලි කාර්මිකයෙක් විදිහට මං කරපු පාඨමාලාව අවසන් කරන්න මං නුපුහුණු කාර්මික ශිල්පියෙක් විදිහට ලාක්සාල්ව්වල වැඩ කළා. පස්සේ සාර්ථකව පාඨමාලාව නිම කරලා විදුලි කාර්මිකයෙක් විදිහට අර්ධකාලීන රැකියාවක් කරන්නත් මට පුළුවන් වුණා.”

වැඩි සේවයක් කළ තවත් අය

දකුණ: මාරල්යස් සහ කෙසියා සාමි ගෝත්‍රයේ කාන්තාවකට දේශනා කරයි

අවශ්‍යතාව තියෙන ප්‍රදේශයක සේවය කරන්න ආසාවෙන් හිටපු තවත් දෙන්නෙක් තමයි මාරල්යස් සහ ඔහුගේ බිරිඳ කෙසියා. වයස අවුරුදු 29ක් වන මාරල්යස් මෙහෙම කියනවා. “සමුළුවල පුරෝගාමි සේවය ගැන තිබුණ කතා සහ සම්මුඛ සාකච්ඡා නිසා මට ඒ ගැන ලොකු ආසාවක් ඇති වුණා.” ඒත් වයස අවුරුදු 26ක් වන කෙසියා කියන්නේ මේ වගේ දෙයක්. “මං ගොඩක් ආදරේ කරන මගේ පවුලේ අයගෙන් ඈත් වෙලා ඉන්න එක ගැන මට හිතන්නවත් බැරි වුණා.” ඒ වගේම තමන්ගේ ගේ මිල දී ගන්න ඔවුන් ණය වෙලයි හිටියේ. ඒ ණය ගෙවන්න මාරල්යස් පූර්ණකාලීන රැකියාවක් කරමින් හිටියා. “අපි ඒ ගැන ගොඩක් දෙවිට යාච්ඤා කරලා උදව් ඉල්ලුවා” කියලා මාරල්යස් කියනවා. මුලින්ම ඔවුන් බයිබලය අධ්‍යයනය කරන්න වැඩි කාලයක් යෙදෙව්වා. පස්සේ නිවස විකුණලා රැකියාවෙනුත් අස් වුණු ඔවුන්, 2011 අගෝස්තු මාසයේදී උතුරු නෝර්වේවල නගරයක් වන ඕල්ටාවල පදිංචියට ගියා. පුරෝගාමි සේවය කරන ගමන් ඔවුන්ගේ වියදම් පිරිමහගන්න මාරල්යස් ගණකාධිකාරීවරයෙක් විදිහටත් කෙසියා සාප්පුවකත් අර්ධකාලීනව රැකියා කළා.

නූට් සහ ලිස්බට් කියන්නේ 30ගණන්වල මැදභාගයේ පසුවන යුවළක්. අවශ්‍යතාව තියෙන ප්‍රදේශයකට ගිහින් සේවය කරපු අයගේ අද්දැකීම් වාර්ෂික පොතෙන් කියවපු ඔවුන්ටත් ඒ වගේ කරන්න ලොකු ආසාවක් ඇති වුණා. “ඒ අද්දැකීම් කියවපුවාම අපිටත් හිතුණා වෙන රටකට ගිහිං සේවය කරන්න. ඒත් මං වගේ කෙනෙකුට පුළුවන් වෙයිද එහෙම කරන්න කියලා මට භයකුත් දැනුණා” කියලා ලිස්බට් කියනවා. ඒත් ඔවුන්ගේ අරමුණ ඉටු කරගන්න ඔවුන්ට පුළුවන් වුණා. නූට් මෙහෙම කියනවා. “අපි හිටපු ගේ විකුණලා අපි මගේ අම්මලාගේ ගෙදරට පදිංචියට ගියා. ඊටපස්සේ අවශ්‍යතාව තියෙන ප්‍රදේශයක සේවය කරන්න පුරුදු වෙන්න කියලා හිතාගෙන අපි ලිස්බට්ගේ අම්මලාගේ ගෙදර පදිංචියට ගිහින් එහේ ඉඳන් බර්ජන්වල තිබුණු ඉංග්‍රීසි භාෂාව කතා කරන සභාවක් එක්ක අවුරුද්දක් සේවය කළා.” වැඩි කාලයක් යන්න කලින් ඔවුන්ට උගන්ඩාවට ගිහින් සේවය කරන්න පුළුවන් වුණා. ඔවුන් දැන් හැම අවුරුද්දකම මාස දෙකක් නෝර්වේවලට ඇවිත් වැඩ කරලා ඔවුන්ගේ වියදම හොයාගන්නවා. අනිත් මාසවල ඔවුන් පුරෝගාමීන් විදිහට උගන්ඩාවේ සේවය කරනවා.

“යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න”

“අපේ පවුලේ බැඳීමත් වැඩි වුණා.”—රොආල්

කැමැත්තෙන්ම දෙවිට සේවය කරන්න ඉදිරිපත් වුණු ඒ අයට ලැබුණු ආශීර්වාද මොනවද? රොආල් මෙහෙම කියනවා. “මේ දුෂ්කර පළාතේ සේවය කරද්දී බර්ජන්වල හිටියට වඩා අපි පවුලක් විදිහට එකතු වෙලා එකට වැඩ කළා. අපේ පවුලේ බැඳීමත් වැඩි වුණා. ඒ වගේම දරුවෝ දෙන්නත් දෙවිත් එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගත්තා. දේපළ මිල මුදල් ගැන දැන් අපි ඕනෑවට වඩා කරදර වෙන්නේ නැහැ. ඒවා නැතුවත් අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා අපිට තේරෙනවා.”

ලාක්සාල්ව් සභාවට අයිති ප්‍රදේශයට කාරස්යෝක් ගම්මානයත් ඇතුළත් වෙනවා. ඒ ගම්මානයේ සාමි ගෝත්‍රිකයන් ඉන්නවා. ඔවුන් නෝර්වේ, ස්වීඩනයේ, ෆින්ලන්තයේ  සහ රුසියාවේ උතුරු ප්‍රදේශවල හිටපු ආදිවාසීන්. ඔවුන්ටත් ශුභාරංචිය ගැන කියන්න ඕනෙ නිසා එල්සබෙත් සාමි භාෂාව ඉගෙනගත්තා. එහෙම කරපු නිසා සේවයෙන් එයා සතුටක් ලබනවද? ඇය ගොඩක් සතුටින් මෙහෙම කියනවා. “මට දැන් බයිබල් පාඩම් හයක්ම තියෙනවා. ලෝකයේ වෙන කොහේවත් ඉන්නවාට වඩා මෙහේ ඉන්නයි මං ආස!”

ෆේබියන් දැන් පුරෝගාමියෙක් සහ සහායක සේවකයෙක් විදිහට සේවය කරනවා. ඉසබෙල් එක්ක එකතුවෙලා සභාවේ යෞවන යෞවනියන් තුන්දෙනෙකුට සභාවේ වැඩකටයුතුවල වැඩියෙන් හවුල් වෙන්න උදව් කරන්න පුළුවන් වුණා කියලා ඔහු කියනවා. ඒ තුන්දෙනාම දැන් හොඳට සේවය කරගෙන යනවා. ඔවුන්ගෙන් දෙන්නෙක් බව්තීස්ම වුණා වගේම 2012 මාර්තු මාසයේදී සහායක පුරෝගාමීන් විදිහටත් සේවය කළා. ඒ තුන්දෙනාගෙන් එක යෞවනියක් කලින් දෙවිගෙන් හුඟක් ඈත් වෙලයි හිටියේ. යෙහෝවා දෙවිත් එක්ක නැවත හොඳ බැඳීමක් ඇති කරගන්න ෆේබියන් සහ ඉසබෙල් උදව් කළ නිසා ඇය ඔවුන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ෆේබියන් මෙහෙම කියනවා. “දෙවිට ළං වෙන්න කෙනෙක්ට උදව් කරන්න ලැබෙන එක ලොකු සතුටක්.” “මේ සභාවේ සේවය කරද්දී ‘යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න’ මට ඇත්තටම පුළුවන් වෙලා තියෙනවා. මේ විදිහට සේවය කරන එක හරිම ෂෝක් අද්දැකීමක්” කියලා ඉසබෙල් කියනවා.—ගීතා. 34:8.

මාරල්යස් සහ කෙසියා දැන් ගත කරන්නේ සරල ජීවිතයක්. ඒත් ඔවුන් ඉන්නේ සතුටින්. ඔවුන් සේවය කරන අල්තාවල තියෙන සභාවේ දැන් ප්‍රචාරකයන් 41දෙනෙක් ඉන්නවා. මාරල්යස් මෙහෙම කියනවා. “අපේ ජීවිතය කොයි තරම් වෙනස් වෙලාද! පුරෝගාමීන් විදිහට මේ පළාතට ඇවිත් සේවය කරන්න අවස්ථාව දුන්නට අපි දෙවිට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපිට මීට වඩා සතුටක් තවත් නැහැ.” කෙසියා කියන්නේ මේ වගේ දෙයක්. “යෙහෝවා දෙවිව විශ්වාස කරලා වැඩ කරන්න මං ඉගෙනගත්තා. ඔහු අපිව අත්හැරියේ නැහැ. පවුලේ අයගෙන් දුරස් වෙලා හිටපු නිසා ඒගොල්ලන්ව මුණගැහෙන්න ලැබුණු අවස්ථාවලදී මං ගොඩක් සතුටු වුණා. අපි ගත්ත තීරණය ගැන මං කවදාවත් පසුතැවෙන්නේ නැහැ.”

වම: නූට් සහ ලිස්බට් උගන්ඩාවේදී පවුලක් එක්ක බයිබල් පාඩමක් කරයි

නූට් සහ ලිස්බට් යුවළත් දැන් උගන්ඩාවේ සතුටින් සේවය කරනවා. “මේ රටේ පරිසරයටයි සංස්කෘතියටයි හැඩගැහෙන්න ටික කාලයක් ගියා. විදුලි බලය, ජල පහසුකම්වල යම් යම් ප්‍රශ්න විතරක් නෙවෙයි බඩේ අමාරුත් නිතර නිතර ආවා. ඒත් මොන බාධාව ආවත් අපි දැන් බයිබල් පාඩම් හුඟක් කරනවා” කියලා නූට් කියද්දී, ලිස්බට් කියන්නේ මෙහෙමයි. “අපි ඉන්න තැන ඉඳන් පැය භාගයක විතර දුරකින් තියෙන සමහර ප්‍රදේශවල ඉන්න අය කවදාවත් ශුභාරංචිය අහලා නැහැ. ඒත් අපි එහෙට ගියාම අපි දැක්කා ඒ අය බයිබලය කියවනවා. බයිබලය ගැන ඉගෙනගන්නත් ආසයි කියලා ඔවුන් කියනවා. ඒ වගේ අයට බයිබලය ගැන කියලා දෙන එක තරම් සතුටක් තවත් නං නැහැ.”

තමන් පටන්ගත්ත ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය පොළොවේ ඈත කෙළවරවලටත් ව්‍යාප්ත වෙලා තියෙනවා දකිද්දී අපේ නායකයා වන යේසුස් කොයි තරම් සතුටු වෙනවා ඇද්ද! “සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න” යන යේසුස්ගේ ආඥාව ඉටු කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වන දෙවිගේ සෙනඟ ඒක කරන්නේ හරිම සතුටින්.—මතෙ. 28:19, 20.