Skip to content

පටුනට යන්න

අතීතය ගැන කනස්සලු නොවී සේවය කරමු

අතීතය ගැන කනස්සලු නොවී සේවය කරමු

‘අත්හැර දැමූ දේවල් අමතක කර ඉදිරියේ තිබෙන දේවල් අත් කරගැනීමට මහත් වෑයමක් දරන්න.’—ෆිලි. 3:13.

1-3. (අ) සමහරුන්ට තමන්ගේ අතීතය ගැන හැඟෙන්නේ කොහොමද? අපේ අතීත වැරදි අපිට බලපාන්න පුළුවන් කොහොමද? (ආ) පාවුල් මොන වගේ කෙනෙක්ද?

අපි කාටත් අතීතයක් තියෙනවා. අපි අපේ අතීතයේ සමහර දේවල් ගැන හිතලා සතුටු වෙනවා. සමහර දේවල් මතක් කරන්නවත් කැමති නැහැ. ‘මට අවස්ථාවක් ලැබෙනවා නම් මං කරපු දේ කොහොම හරි වෙනස් කරගන්නවා’ කියලා හිතුණ අවස්ථා ඔබටත් ඇති. ඒත් සමහරු තමන් කරපු හරි නොකරපු හරි දේවල් ගැන හිතලා, ඕනෑවට වඩා දුක් වෙනවා. ඔබත් එහෙම කෙනෙක්ද?

2 සමහරු අතින් බරපතළ වරදක් වෙලා ඇති. නැත්නම් ලොකු මෝඩකමක් කරලා ඇති. තවත් අය ගත්ත තීරණ වැරදිලා ඇති. සමහර අය තමන් කරපු දෙයක් ගැන හරි ගත්ත තීරණයක් ගැන හරි හිතලා පසුතැවෙන ගමන්, ‘මට එහෙම නොකර ඉන්නයි තිබුණේ’ කියලා හිතහිතා දුක් වෙනවා ඇති. (ගීතා. 51:3) සමහරුන්ට නම් තමන්ට වැරදුණු තැන් අමතක කරලා ඉදිරිය ගැන හිතලා වැඩ කරන්න පුළුවන්. ඒත් ඔබ මොන වගේ කෙනෙක්ද? ඔබ අතින් වුණු වැරදි අඩුපාඩුකම් ගැන ඕනෑවට වඩා දුක් නොවී, පුළුවන් උපරිමයෙන් දෙවිට සේවය කරන්න ඔබ කැමතිද? එහෙම කරපු කෙනෙක් ගැන අපි ටිකක් කතා කරමු. ඒ තමයි පාවුල්.

3 පාවුල් කියන්නේ ජීවිතයේ හොඳම තීරණ වගේම නරකම තීරණත් ගත්ත කෙනෙක්. තමන් අතින් වුණු බරපතළ වැරදි ගැන හිතලා පාවුල් හුඟක් දුක් වුණා තමයි. ඒත් ඔහු දෙවිට කරපු සේවය තමන්ට කරන්න පුළුවන් උපරිමයෙන් කරන්න ඉගෙනගත්ත කෙනෙක්. අපි දැන් ටිකක් ඒ අතීතයට යමු.

පාවුල්ගේ අතීතය

4. පාවුල්ගේ අතීතය මොන වගේද?

4 තරුණ පරිසිවරයෙක් විදිහට පාවුල් ගත කරපු ජීවිතය දිහා හැරිලා බලද්දී ඔහුට කොහොමටවත් සතුටු වෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ කාලයේ සාවුල් යන නමින් සිටි ඔහු යේසුස්ගේ අනුගාමිකයන්ට පුදුමාකාර විදිහට පීඩා කළා. ස්තේපන්ව මරලා දාපු සිද්ධියෙන් පස්සේ ‘සාවුල් සභාවට විරුද්ධව ඉතා කුරිරු  ආකාරයකින් ක්‍රියා කරන්න පටන්ගත්තා. ඔහු ගෙයක් ගෙයක් ගානේ ගිහින් පුරුෂයන්වද ස්ත්‍රීන්වද පිටතට ඇදගෙන ඇවිත් ඔවුන්ව සිරගෙට භාර දුන්නා.’ (ක්‍රියා 8:3) “ඉතා කුරිරු ආකාරයකින්” කියලා සඳහන් වන දේ විස්තර කරන බයිබල් විශාරදයෙක් (ඇල්බට් බාන්ස්) කියන්නේ, පාවුල් ක්‍රිස්තියානීන්ට පහර දුන්නේ හරියට “වනමෘගයෙක්” වගේ කියලයි. ඒ කාලයේ ඔහු හිතුවේ ක්‍රිස්තියානීන්ව විනාශ කරන එක දෙවිගේ කැමැත්ත ඉටු කිරීමක් කියලයි. ඒ නිසා ඔහු දිගටම ඔවුන්ට පීඩා කළේ ක්‍රිස්තියානි “පුරුෂයන්ව හා ස්ත්‍රීන්ව” මරා දමනවා කියලා තර්ජනය කරමිනුයි.—ක්‍රියා 9:1, 2; 22:4. *

5. සාවුල්ගේ ජීවිතය වෙනස් වුණේ මොන සිද්ධිය නිසාද?

5 ඔහු එතනින් නතර වුණේ නැහැ. ඔහුට ඕනෙ වුණේ දමස්කයටත් ගිහින් එහේ ඉන්න ක්‍රිස්තියානීන්වත් යෙරුසලමට ගෙනල්ලා යුදෙව් මහ අධිකරණය ලවා ඔවුන්ට දඬුවම් කරන්නයි. ඒත් සභාවේ නායකයා වුණු යේසුස් ඒකට මැදිහත් වුණා. (එෆී. 5:23) සාවුල් දමස්කයට යන අතරතුරේදී අහසින් පැමිණි ආලෝකය නිසා ඔහු අන්ධ වුණා. යේසුස් ඔහුට දර්ශනය වෙලා කිව්වා ‘දමස්කයට ගිහින් ඊළඟට කරන්න ඕනෙ දේ කියනකල් එහේ ඉන්න’ කියලා. ඊටපස්සේ සිද්ධීන් පෙළ ගැසුණේ කොහොමද කියලා අපි දන්නවා.—ක්‍රියා 9:3-22.

6, 7. තමන් කරපු බරපතළ වැරදි පාවුල් තේරුම්ගත්තා කියලා අපි දන්නේ කොහොමද?

6 ඒ සිද්ධියෙන් පස්සේ පාවුල්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරුණා. තමන් වැරදියි කියලා තේරුම්ගත්ත පාවුල්, එදා ඉඳන් යේසුස් ගැන උද්‍යෝගයෙන් දේශනා කරන්න පටන්ගත්තා. ඒත් තමන් කළ වැරදි පාවුල්ට අමතක වුණේ නැහැ. “මා කලින් යුදෙව් ආගම ඇදහූ කාලයේදී කටයුතු කළ ආකාරය ඔබට ආරංචි වී ඇති බවට සැකයක් නැත. මම ඉතා දරුණු ලෙස දෙවිගේ සභාවට පීඩා කරමින් එය නැති කර දැමීමට පවා උත්සාහ කළෙමි” කියලා පාවුල් කිව්වේ ඒ නිසයි. (ගලා. 1:13) ඔහු කොරින්තිවරුන්ට ලියද්දිත්, ෆිලිප්පිවරුන්ට ලියද්දිත්, තිමෝතිට ලියද්දිත් තමන් කරපු වැරදි ගැන නැවත නැවතත් ලිව්වේ ඒ ගැන ඔහු දුක් වුණු නිසයි. (1 කොරින්ති 15:9 කියවන්න. ෆිලි. 3:6; 1 තිමෝ. 1:13) තමන් අතින් වුණු බරපතළ වැරදි ගැන ඔහු ලැජ්ජා වුණත් ඒවා හංගන්න උත්සාහ කළේ නැහැ. ඒවා පිළිගත්තා.—ක්‍රියා 26:9-11.

7 “තමන් ක්‍රිස්තියානීන්ට කළ පීඩා ගැන පාවුල්ගේ හිත ඔහුට කොයි තරම් නම් වධ දෙන්න ඇද්ද! ඔහු කරපු දේවලට අනිත් අය ඔහුට කොයි තරම් නම් දොස් කියන්න ඇද්ද” කියලා එක් බයිබල් විශාරදයෙක් (ෆ්‍රෙඩ්රික් ඩබ්ලිව්. ෆැරර්) කිව්වා. ඒ විතරද, පාවුල් විවිධ සභාවලට ගියාම ඔහුට මුලින්ම හමු වුණු අය ඔහු දිහා බලලා ‘ආ! ඔයාද ක්‍රිස්තියානීන්ට පීඩා කරපු පාවුල්’ කියලා කියද්දී පාවුල්ට කොහොම හැඟෙන්න ඇද්ද!—ක්‍රියා 9:21.

8. දෙවි සහ යේසුස් තමන්ට දක්වපු කරුණාව හා ආදරය ගැන පාවුල්ට හැඟුණේ කොහොමද? ඔහුගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

8 තමන්ට යේසුස්ගේ නියෝජිතයෙක් හැටියට සේවය කරන්න ලැබුණේ දෙවිගේ කරුණාව නිසයි කියන දේ පාවුල් තේරුම්ගත්තා. බයිබලයේ තියෙන ඔහු ලියපු පොත් 14 තුළ 90 වතාවක් පමණ දෙවිගේ මහත් කරුණාව ගැන ඔහු සඳහන් කරන්නේ ඒ නිසයි. (1 කොරින්ති 15:10 කියවන්න.) වෙන කිසිම බයිබල් ලේඛකයෙකුට වඩා ඔහු ඒ ගැන කතා කළා. ‘දෙවි මං වගේ කෙනෙකුටත් කරුණාව පෙන්නුවා නේද’ කියලා හිතුණු හැම වෙලාවකම පාවුල්ට දෙවි ගැන පුදුම ආදරයක් හිතෙන්න ඇති. ඒ නිසා ඔහු අනිත් හැම නියෝජිතයෙකුටත් වඩා වැඩියෙන් දෙවිගේ සේවයේ නියැලුණා. අපිට ඔහුගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද? අපිත් යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තියලා අපේ වැරදි හෙළි කරලා ඒ වැරදි ආයෙත් කරන්නේ නැත්නම් අපි කරපු බරපතළ වැරදිවලට පවා දෙවි සමාව දෙනවා. ඔබ කරලා තියෙන්නේ යේසුස්ගේ ජීවිත  පූජාවෙන් සමාව දෙන්න බැරි තරම් වරදක් කියලා කවදාවත් හිතන්න එපා. එහෙම හැඟුණොත් පාවුල් ගැන හිතලා බලන්න. (1 තිමෝති 1:15, 16 කියවන්න.) පාවුල් යේසුස්ට කොච්චර පීඩා කළාද! ඒත් යේසුස් ඔහුට ආදරේ කළා කියලත් ඔහු වෙනුවෙන් මැරුණා කියලත් ලියද්දී පාවුල්ගේ දෙනෙත් කඳුළින් බර වෙලා තියෙන්න ඇති. (ක්‍රියා 9:5; ගලා. 2:20) අතීතය ගැන හිතලා දුක් නොවී ඉන්න නම් මීටපස්සේ හරි දෙවිට උපරිමයෙන් සේවය කරන්න ඕනෙ කියලා පාවුල් තේරුම්ගත්තා.

අතීතය ගැන හිතලා දුක් වෙනවා වෙනුවට පාවුල් උපරිමයෙන් දෙවිට සේවය කළා

ඔබ අතීතය ගැන දුක් වෙනවද?

9, 10. (අ) අපිට දුකක් ඇති වෙන්නේ මොන වගේ හේතු නිසාද? (ආ) කරපු වැරදි ගැන ඕනෑවට වඩා හිතහිතා ඉන්න එකෙන් ප්‍රයෝජනයක් නැත්තේ ඇයි?

9 ඔබත් අතීතයේදී කළ දේවල් ගැන දුක් වෙනවද? මීට වඩා වටිනා දේකට මගේ කාලය, ශක්තිය යොදවන්න තිබුණා නේද කියලා ඔබට හිතෙනවද? කාව හරි රිදවන නැත්නම් කාට හරි අනතුරක් වෙන දෙයක් ඔබ කළාද? එහෙම නැත්නම් මීට වඩා වෙනස් විදිහට කරන්න තිබුණා කියලා හිතුණ වෙනත් දේවල් තියෙනවද? ඔබට එහෙම හිතෙනවා නම් මොනවද කරන්න පුළුවන්?

10 සමහරු තමන්ගේ අතින් වුණු වැරදි ගැන හිතහිතා හැම තිස්සේම දුක් වෙවී ඉන්නවා. දුක් වුණා කියලා ප්‍රශ්න විසඳගන්න පුළුවන්ද? මෙහෙම හිතන්න, පුංචි ළමයෙක් ලී අශ්වයෙක් පිට නැඟලා ‘අස්සයා ගෝං’ කියකියා කොච්චර හයියෙන් පැද්දුවත් ඒක ඉස්සරහට යයිද? නැහැනේ. ඒකෙන් වෙන්නේ දරුවා මහන්සි වෙන එක විතරයි. ඒ වගේ අපි අතින් වුණු වරදක් ගැන හිතහිතා ඉන්න එකෙන් වෙන්නේ අපි කලකිරෙන එක විතරයි. ප්‍රශ්නේ විසඳෙන්නෙත් නැහැ. ඒ නිසා දුක් වෙවී ඉන්නවා වෙනුවට ප්‍රශ්නය විසඳගන්න පුළුවන් හැම දේම කරන්න. කාව හරි රිද්දුවා නම් එයාගෙන් සමාව අරන් සමාදාන වෙන්න බලන්න. ඔබ අතින් වරදක් වුණා නම් ඇයි එහෙම දෙයක් වුණේ කියලා හිතන්න. එතකොට ඔබ අතින් ආයෙත් ඒ වරද වෙන එකක් නැහැ. සමහර වෙලාවට කරපු වරදේ ප්‍රතිඵල විඳින්න වෙනවා තමයි. ඒත් ඒ ගැන හිතහිතා කනගාටු වුණා කියලා ඔබට කිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම දෙවිට උපරිමයෙන් සේවය කරන්නත් ඒක බාධාවක් වේවි.

11. (අ) දෙවිගෙන් සමාව ලබන්න නම් කරන්න ඕනෙ මොනවද? (ආ) කරපු වැරදි ගැන කනස්සලු නොවී හිතේ සාමය ඇතුව ඉන්න නම් කරන්න ඕනෙ මොනවද?

 11 ‘මං කරපු වැරදි කොච්චර බරපතළද, අනික මං කීපාරක් වැරදි කරලා තියෙනවද, මට නං කවදාවත් දෙවිගෙන් සමාව ලැබෙන එකක් නැහැ’ කියලා සමහරු හිතනවා. අතීතයේදී අපි කොයි තරම් බරපතළ වරදක් කරලා තිබුණත් ඒ ගැන පසුතැවිලි වෙලා ඒ වැරදි හදාගෙන දෙවිගෙන් සමාව ඉල්ලන්න අපිට පුළුවන්. (ක්‍රියා 3:19) දෙවි හුඟක් අයට සමාව දීලා තියෙනවා වගේ අපිටත් සමාව දෙයි. නිහතමානී, අවංක, කරපු වැරදි ගැන ඇත්තටම දුක් වෙන අයට දෙවි අනිවාර්යයෙන්ම සමාව දෙනවා. යෝබ්ට දෙවි සමාව දුන්නේ ඒ නිසයි. (යෝබ් 42:6) කනස්සලු නොවී හිතේ සාමය ඇතුව ඉන්න නම් කරන්න ඕනෙ මොනවද කියලා බයිබලයේ මෙහෙම කියනවා. “තමාගේ වැරදි සඟවන තැනැත්තා සාර්ථක වන්නේ නැත. නමුත් ඒවා හෙළි කර ඒවායින් ඈත් වන්නාට දයාව පෙන්වනු ලැබේ.” (හිතෝ. 28:13; යාකො. 5:14-16) දෙවිට අපේ වැරදි ගැන කියලා දෙවිගෙන් සමාව අයදිනවා නම්, ඒක ගැන අපි ඇත්තටම කනගාටු වෙනවා කියලා අපි වැඩ කරන විදිහෙන් පෙන්වනවා නම්, දෙවි අපිට “මුළු හදින්ම” සමාව දෙනවා.—යෙසා. 55:7; 2 කොරි. 7:10, 11.

12. (අ) කරපු වරදක් ගැන හිතෙන් දුක් විඳින විට දාවිත් වගේ අපි කරන්න ඕනෙ මොකක්ද? (ආ) යෙහෝවා දෙවි ‘කනගාටු වුණා’ කියලා බයිබලයේ කියන්නේ ඇයි? ඒ ප්‍රශ්නයට පිළිතුර අපිට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද? (කොටුව බලන්න.)

12 යාච්ඤාව කියන්නේ පුදුම දෙයක්. දෙවි තමන්ගේ යාච්ඤාවලට පිළිතුරු දුන්න විදිහ ගැන හද පිරි සතුටකින් දාවිත් ගීතිකාවක් රචනා කළා. (ගීතාවලිය 32:1-5 කියවන්න.) තමන් කරපු වරද හෙළි කරන්න කලින් දාවිත් හිතෙන් හුඟක් දුක් වින්දා, කනගාටු වුණා. ඔහු හිටියේ ලොකු පීඩනයකින්. ඒත් ඔහු කරපු වැරදි ගැන දෙවිට යාච්ඤාවෙන් කිව්වට පස්සෙයි දෙවි ඔහුට සමාව දුන්නේ. ඊටපස්සේ ඔහුට ලොකු සහනයක් දැනුණා. දාවිත්ගේ යාච්ඤාවලට දෙවි පිළිතුරු දුන්නා විතරක් නෙවෙයි, හිතෙන් වධ විඳින එක නවත්වලා හරි දේ කරන්නත් ඔහුට උදව් කළා. ඔබත් කරපු වැරදි ගැන දුක් වෙවී ඉන්න කෙනෙක් නම් දෙවිට උනන්දුවෙන් යාච්ඤා කරන්න. ඔහුගෙන් සමාව ඉල්ලන්න. වැරදි හදාගන්න අවශ්‍ය කරන දේවල් පුළුවන් උපරිමයෙන් කරන්න. එහෙම කළොත් දෙවි ඔබේ යාච්ඤාවලටත් ඇහුම්කන් දීලා ඔබට සමාව දෙනවා කියලා නිසැක වෙන්න පුළුවන්.—ගීතා. 86:5.

ඉදිරිය ගැන හිතන්න

13, 14. (අ) අපි දැන් හිතන්න ඕනෙ මොනවා ගැනද? (ආ) අපි හිතලා බලන්න ඕනෙ ප්‍රශ්න මොනවද?

13 අතීතයේ වුණු වැරදිවලින් ජීවිතයට පාඩමක් ඉගෙනගන්න පුළුවන් තමයි. ඒත් ගෙවුණු ඊයේ ගැන හිතනවා වෙනුවට ජීවත් වෙන අද ගැනත්, උදා වෙන හෙට ගැනත් හිතලා වැඩ කරන්න. මේ පුංචි ප්‍රශ්න ටික ඔබෙන්ම අහලා බලන්න. ‘අවුරුදු ගාණක් ගත වෙලා ජීවිතය දිහා ආපහු හැරිලා බලද්දී අද මං ගත්ත තීරණ ගැන මට පසුතැවෙන්න වෙයිද? මීට වඩා වෙනස් විදිහට කළා නම් හොඳයි කියලා එදාට  මට හිතෙයිද? අනාගතයේදී කිසිම විදිහකින් කනගාටු නොවී ඉන්න පුළුවන් විදිහට මං අද දෙවිට සේවය කරනවද?’

14 අපි ඉන්නේ මහත් පීඩාව අද්දරයි. ප්‍රමාද වෙන්නේ නැතුව දැන්මම ඔබේ හිතට තට්ටු කරලා මේ ප්‍රශ්න ටිකත් අහගන්න. ‘මීට වඩා මට දෙවිට සේවය කරන්න බැරිද? පුරෝගාමි සේවය කරන්න මට බැරි ඇයි? සහායක සේවකයෙක් වෙන්න නම් මම දියුණු කරගන්න ඕනෙ පැති මොනවද? අලුත් පෞද්ගලිකත්වයක් ඇති කරගන්න මට පුළුවන් හැම දේම මම කරනවද? මේ පොළොව පාරාදීසයක් වෙද්දී මාවත් එහි පුරවැසියෙක් කරගන්න දෙවි කැමති වෙයිද?’ ඔබ නොකරපු දේවල් ගැන හිතහිතා ඉන්නේ නැතුව දැනටමත් කරන දේවල් ගැන හිතන්න. ඔබට පුළුවන් උපරිමයෙන් දෙවිට සේවය කරන්න. අනාගතයේ පසුතැවෙන්න වෙන විදිහේ තීරණ ගන්නේ නැතුව ඉන්න අධිෂ්ඨාන කරගන්න.—2 තිමෝ. 2:15.

කළ කැප කිරීම් ගැන පසුතැවෙන්න එපා

15, 16. (අ) දෙවිට වැඩියෙන් සේවය කරන්න සමහරුන් කරලා තියෙන කැප කිරීම් මොනවද? (ආ) දෙවි වෙනුවෙන් කරන කැප කිරීම් ගැන පසුතැවෙන්න අවශ්‍ය නැත්තේ ඇයි?

15 ඔබ පූර්ණකාලීනව දෙවිට සේවය කරන කෙනෙක්ද? එහෙමනම් සමහරවිට ඒක කරන්න ඔබ උසස් රැකියාවක්, හොඳ ව්‍යාපාරයක් අත්හරින්න ඇති. එහෙම නැත්නම් ඔබ බෙතෙල් සේවය කරන, ජාත්‍යන්තර ඉදි කිරීමේ කටයුතුවලට හවුල් වෙන, චාරිකා සේවයේ, මිෂනාරි සේවයේ යෙදෙන කෙනෙක්ද? එහෙමනම් විවාහ නොවී ඉන්න හරි විවාහ වෙලා නම් දරුවන් නැතුව ඉන්න හරි ඔබ තීරණය කරලා ඇති. දවසින් දවස වයසට යනවා නේද කියලා හිතද්දී ඔබ ගත්ත ඒ තීරණය ගැන පසුතැවිල්ලක් ඇති වෙනවද? දෙවි වෙනුවෙන් ඔබ කරපු පරිත්‍යාග ගැන ඔබට කොහොමද හැඟෙන්නේ? ‘මට ඒ තීරණය ගන්නේ නැතුව ඉන්නයි තිබුණේ’ කියලා හරි ‘මම ඒ තීරණය ගත්තේ වැරදි වෙලාවක’ කියලා හරි ඔබට හිතෙනවද? එහෙම හිතන්න එපා.

16 ඔබ ඒ වගේ තීරණයක් ගත්තේ ඇයි කියලා හොඳට හිතන්න. එහෙම කළේ ඔබ යෙහෝවා දෙවිට හද පත්ලෙන්ම ආදරය කරන නිසයි. ඒ වගේම අනිත් අයත් දෙවිට සේවය කරනවා දකින්න ඔබ ආස නිසයි. ‘අපරාදේ! මම ඒ තීරණේ ගන්නේ නැතුව හිටියා නම් මට මීට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න තිබුණා’ කියලා කවදාවත් හිතන්න එපා. ඔබ අරන් තියෙන්නේ ඔබට මේ ජීවිතයේ ගන්න පුළුවන් හොඳම තීරණයයි. ඔබ දෙවි වෙනුවෙන් කරන හැම පුංචි කැප කිරීමක්ම දෙවි කවදාවත් අමතක කරන්නේ නැහැ. පාරාදීස පොළොවේ “සැබෑ ජීවිතය” ගත කරන කාලයේදී මේ කරපු හැම කැප කිරීමකටම හිතාගන්නත් බැරි විදිහට දෙවි ඔබට ආශීර්වාද කරනවාමයි.—ගීතා. 145:16; 1 තිමෝ. 6:19.

දිගටම සතුටින් දෙවිට සේවය කරන්න

17, 18. (අ) ජීවිතයේ පසු කාලයකදී කනස්සලු නොවී ඉන්න පාවුල් කළේ මොනවද? (ආ) පාවුල්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

17 ජීවිතයේ පසු කාලයකදී කනස්සලු නොවී ඉන්න පාවුල් කළේ මොනවද? අතීතය ගැන දුක් වෙවී ඉන්නේ නැතුව තමන්ට ලබාගන්න පුළුවන් ආශීර්වාද වෙනුවෙන් ඔහු මහන්සි වෙලා වැඩ කළා. (ෆිලිප්පි 3:13, 14 කියවන්න.) යුදෙව් ආගමේ ඉද්දී කරපු වැරදි දේවල් ගැන ඔහු ඕනෑවට වඩා හිතහිතා දුක් වුණේ නැහැ. ඒ වෙනුවට තමන්ට පුළුවන් හැම දේම කරලා දෙවිට විශ්වාසවන්තව හිටියා. එහෙම කළොත් විතරයි අමරණීය ජීවිතය ලැබෙන්නේ කියලා ඔහු දැනගෙන හිටියා.

18 පාවුල් කියපු දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? අපිට වෙනස් කරන්න බැරි අතීතයක් ගැන හිතහිතා දුක් වෙනවට වඩා ඉදිරියේදී ලැබෙන්න තියෙන ආශීර්වාද ලබාගන්න පුළුවන් හැම දේම කරමු. අතීතයේ අපි කරපු වැරදි සම්පූර්ණයෙන්ම අපිට අමතක වෙන එකක් නැහැ. ඒත් ඒ ගැනම හිතලා හිතේ කරදරෙන් ඉන්න අපිට ඕනෙ නැහැ. ඒ නිසා අතීතයේ කරපු වැරදි අමතක කරමු. පුළුවන් උපරිමයෙන් දැන් දෙවිට සේවය කරමු. අපිට ලැබෙන්න තියෙන ඒ ලස්සන අනාගතය ගැන නිතරම හිතමු.

^ 4 ඡේ. පාවුල් පීඩා කළ අය අතර ස්ත්‍රීනුත් හිටියා. එයින් පැහැදිලි වෙන්නේ අද වගේම පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානි ස්ත්‍රීන්ද දේශනා සේවයේ විශාල වශයෙන් හවුල් වූ බවයි.—ගීතා. 68:11.