Skip to content

පටුනට යන්න

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා බ්‍රසීලයේදී

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා බ්‍රසීලයේදී

රූබියාට (1) දැන් වයස අවුරුදු 30යි. ඇය දකුණු බ්‍රසීලයේ තියෙන පුංචි සභාවක පුරෝගාමි සේවය කරන සන්ඩ්‍රාව (2) හමු වෙන්න මීට අවුරුදු කීපයකට කලින් ගියා. එහෙදී ඇහුව දෙයක් නිසා ඇගේ ජීවිතයේ ලොකු වෙනසක් සිදු වුණා. ඒ මොකක්ද කියලා අපි රූබියාගෙන්ම දැනගමු.

“අදහාගන්න බැරි වුණා”

“දවසක් සන්ඩ්‍රා මාව බයිබල් පාඩමකට එක්කං ගියා. පාඩම අතරතුරේ ඒ කාන්තාව සන්ඩ්‍රාට මෙහෙම කිව්වා. ‘අපේ වැඩපොළේ ගෑනු ළමයි තුන්දෙනෙකුත් බයිබලේ පාඩම් කරන්න ආසාවෙන් ඉන්නවා. හැබැයි මං එයාලට කිව්වා තව ටික කාලයක් බලං ඉන්න වෙයි කියලා. මොකද ඉතිං මේ අවුරුද්දටම ඇති වෙන්න පාඩම් ඔයාට තියෙනවානේ.’ ඒක අහපු මට අදහාගන්න බැරි වුණා. මොකද අපේ පැත්තෙ නං එක බයිබල් පාඩමක් හරි හොයාගන්න  ගොඩක් මහන්සි වෙන්න ඕන. ඒත් මෙහෙ, යෙහෝවා දෙවි ගැන දැනගන්න මිනිස්සු ඉන්නේ පෝළිමේ! ඒ නිසා මෙහෙ ඇවිත් සේවය කරන්න ඒ වෙලාවෙම මගේ හිතේ ලොකු ආසාවක් ඇති වුණා. වැඩි කල් යන්න කලින් මං හිටපු නගරෙන් පිට වෙලා මේ ගමට ආවා.”

එයින් ලබපු අද්දැකීම ගැන රූබියා මෙහෙම කියනවා. “මාස දෙකක් යන්නත් කලින් මං පාඩම් 15ක් පටන්ගත්තා. මාත් එක්ක පාඩම් කරන්නත් සමහරුන්ට පෝළිමේ ඉන්න සිද්ධ වුණා කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරන එකක් නෑ.”

සේවය ගැන අලුතෙන් හිතුවා

ඩියේගෝ (3), වයස අවුරුදු 22ක විතර සහෝදරයෙක්. දවසක් ඔහු දකුණු බ්‍රසීලයේ තිබුණු පෘඩෙන්ටොපලිස් කියන ගමේ සේවය කරන පුරෝගාමීන් දෙන්නෙකුව හමු වෙන්න ගියා. ඒ හමු වීම ඔහුගේ ජීවිතයේ ලොකු වෙනසක් සිදු කළා. තමා කරමින් සිටි සේවය ගැන අලුතෙන් හිතන්න ඔහු තුළ පෙලඹීමක් ඇති වුණා. ඒ ගැන ඩියේගෝ මෙහෙම කියනවා. “මම සභාවේ හිටියේ ඉන්නවට ඉන්නවා වගෙයි. සේවය දියුණු කරගන්න මට කිසිම උවමනාවක් තිබුන්නෑ. මාසෙකට පැය කීපයක් දාන්න විතරයි සේවේ ගියේ. ඇත්තම කියනවා නම් මං හිටියේ එක තැන පල් වෙවී. හැබැයි පුරෝගාමීන්ගේ අද්දැකීම් අහලා ඒගොල්ලන්ගේ සතුට දැක්කට පස්සේ මගේ ජීවිතේ අරමුණක් ඇතුව ගත කරන්න ඕන කියලා මං තීරණේ කළා.” ඒ හමු වීමෙන් පසු ඩියේගෝ පුරෝගාමී සේවය පටන්ගත්තා.

තරුණයෙනි, ඔබේ තත්වය මොකක්ද? ඔබ සේවයේ ගියත් රැස්වීම්වලට සහභාගි වුණත් ඉන් කිසිම සතුටක් නැහැ කියා හෝ සේවය යාන්ත්‍රිකයි කියා ඩියේගෝට හැඟුණා වගේ ඔබටත් හැඟෙනවාද? එහෙමනම් ජීවිතයේ යම් වෙනසක් කරගන්න ඔබ කැමති නැද්ද? අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට ගිහින් සේවය කර එහි සතුට අද්දකින්න ඔබ කැමතිද? සැපපහසු ජීවිතය අත ඇරලා පහසුකම් අඩු තැනක ජීවත් වෙනවා කියලා හිතන එකත් ලේසි නැහැ තමයි. ඒත් බොහෝ තරුණ තරුණියන් එහෙම කරන්න තීරණය කර තිබෙනවා. දෙවිට වැඩිපුර සේවයක් කරන්න තිබෙන කැමැත්ත නිසා ඔවුන් තම ආශාවන් දෙවෙනි තැනට දමා තිබෙනවා. බෲනෝ එසේ කළ තවත් තරුණයෙක්.

සංගීතයට දෙවෙනි තැන

දැන් වයස අවුරුදු 28ක් වූ බෲනෝ (4) මීට අවුරුදු කීපයකට කලින් ප්‍රසිද්ධ සංගීත විද්‍යාලයක සංගීතය හැදෑරුවා. ඔහුගේ ආශාව වුණේ කවදා හරි වාදක කණ්ඩායමක් මෙහෙයවන්නයි. ඔහු කොතරම් සාර්ථක වුණාද කියනවා  නම් එවැනි කණ්ඩායම් මෙහෙයවන්න ඔහුට අවස්ථා කීපයකදීම ආරාධනා ලැබුණා. ඔහු සංගීත ක්ෂේත්‍රයේ ඉහළටම යන බවට ලකුණුත් පහළ වෙමින් තිබුණා. “ඒත් මට මොකක්දෝ හිස්කමක් දැනුණා. යෙහෝවා දෙවිට කැප වෙලා හිටියත් මගේ උපරිමය ඔහු වෙනුවෙන් කරන්නෑ කියලා මට තේරුණා. මට හැඟුණ විදිහ මම යෙහෝවා දෙවිට කිව්වා. අද්දැකීම් තියෙන සහෝදරයන් එක්කත් ඒ ගැන කතා කළා. මං ඒ ගැන හුඟක් කල්පනා කරලා දේවසේවයට මුල් තැන දීලා සංගීතය දෙවෙනි තැනට දාන්න තීරණය කළා. ඊටපස්සේ ලේසි නැති වුණත් අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට ගිහින් සේවය කරන්න මං ඉදිරිපත් වුණා.”

හැම පහසුකමක්ම තිබුණු සඕ පවුලෝ නගරයේ ඉඳලා කිලෝමීටර් 260ක් විතර දුරින් පිහිටි ගුවාපියාරා කියන ගමට ගියා. ඒක ඔහුට ලොකු වෙනසක්. “පදිංචියට ගියේ පුංචි ගෙදරකටයි. එහේ ශීතකරණයක්වත් ටීවී එකක්වත් අන්තර්ජාල පහසුකම්වත් තිබුන්නෑ. ඒත් කවදාවත් නොතිබුණු දෙයක් එහෙ තිබුණා. ඒ එළවලු සහ පලතුරුවලින් පිරුණු වත්තක්” කියා ඔහු පැවසුවා. එහි තිබුණු කුඩා සභාව එක්ක සේවය කරමින් සතියකට වතාවක් ඔහු කෑම බීම, සඟරා පොත් පත් අරගෙන මෝටර් සයිකලයෙන් පිටිසරබද පළාත්වලට දේශනා කරන්න ගියා. ඒ පැතිවල මිනිස්සු කවදාවත් ශුභාරංචිය අහලා තිබුන්නෑ. “මට බයිබල් පාඩම් 18ක් කරන්න පුළුවන් වුණා. සත්‍යය ඉගෙනගන්නකොට එයාලා ජීවිතය වෙනස් කරගන්නවා දකිද්දී මට දැනුණේ පුදුම සතුටක්! එතකොට තමයි මං තේරුම්ගත්තේ ඇයි මට කලින් හිස්කමක් දැනුණේ කියලා. ධන සම්පත් හොයන්න ඉලක්ක කරන එකෙන් කවදාවත් මේ තරම් තෘප්තියක් ලැබෙන්නෑ කියලත් ඒක ලැබෙන්නේ දේවරාජ්‍යයට මුල් තැන දුන්නොත් විතරයි කියලත් මං තේරුම්ගත්තා.” කොහොමනමුත් බෲනෝ සම්පූර්ණයෙන්ම සංගීතය අමතක කරලා නැහැ. ඔහු ජීවත් වෙන්න සල්ලි හොයාගන්නේ කොහොමද? “ගිටාර් ගහන්න උගන්නලා” කියලා බෲනෝ හිනා වෙලා කිව්වා.

“මට දාලා යන්න හිත දුන්නෑ”

වයස අවුරුදු 28ක් පමණ වූ මරියානා (5) නීතීඥවරියක්. ඇය සිටියෙත් බෲනෝ සිටි තත්වයේමයි. නීති ක්ෂේත්‍රයේ ඉහළ තැනකට ගොස් සිටියත් ඇගේ හිතේ කිසි සතුටක් තිබුණේ නැහැ. ‘මට දැනුණේ මම හුළඟ පස්සේ යනවා වගෙයි’ කියා ඇය පැවසුවා. (දේශ. 1:17) සභාවේ කීපදෙනෙක්ම ඇයට පුරෝගාමි සේවය කරන්න කියා දිරිගැන්නුවාම ඇය ඒ ගැන සිතා බැලුවා. පසුව ඇය ඇගේ යෙහෙළියන් වන බියන්කා (6), කැරොලින් (7) හා  ජුලියානා (8) සමඟ ටික කාලෙකට සේවය කර බලන්න තීරණය කළා. ඒ සඳහා බොලීවියාවේ කිලෝමීටර් දහස් ගණනක් ඈතින් ඇති පිටිසර ගමක පිහිටි සභාවකට ඔවුන් ගියා.

මරියානා මෙසේ පවසනවා. “මං හිතාගෙන ආවේ මාස තුනකින් ආපහු යනවා කියලා. ඒත් මාස තුන ඉවර වෙද්දී මට බයිබල් පාඩම් 15ක් තිබුණා. ඒ අයට ගොඩක් උදව් උපකාර ඕන වුණා. මට එයාලව දාලා යන්න හිත දුන්නෑ. ඉතිං මං නැවතුණා.” අනික් සහෝදරියන් තිදෙනාත් ඇය සමඟ නැවතුණා. මරියානා ගත් තීරණයේ ප්‍රතිඵලය මොකක්ද? ඇය කිව්වේ මෙහෙමයි. “දේවකැමැත්ත කරන්න මිනිස්සුන්ට උදව් කරන්න දෙවි මාව පාවිච්චි කරන එක ගැන මට හරිම සන්තෝසයි. මගේ කාලයයි ශක්තියයි පාවිච්චි කරන්නේ පලක් ඇති දේකට කියලා මං දැන් දන්නවා.” හතරදෙනාටම හැඟෙන විදිහ ගැන කැරොලින් මෙහෙම කියනවා. “රෑට නිදාගන්න යද්දී මට දැනෙන්නේ පුදුම තෘප්තියක්. මොකද මම දවස ගෙවන්නේ යෙහෝවා දෙවිට සේවය කරන්නයි. මං කොයි වෙලෙත් හිතන්නේ බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්නේ කොහොමද කියලා. එයාලා දියුණුවක් ලබද්දී දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ. ‘යෙහෝවා දෙවි යහපත් බව මම හොඳින්ම රස බලා දැනගෙන තියෙනවා.’”—ගීතා. 34:8.

දුෂ්කර පිටිසර ප්‍රදේශවල ශුභාරංචිය දේශනා කරන්න ‘කැමැත්තෙන්ම ඉදිරිපත් වන’ තරුණ සහෝදර සහෝදරියන් බොහෝදෙනෙක් ලොව පුරාම සිටිනවා. (ගීතා. 110:3) ඔවුන්ගේ ගණන එන්න එන්නම වැඩි වෙනවා. එය දකින යෙහෝවා දෙවිගේ සිතට කොයි තරම් සතුටක් දැනෙනවා ඇද්ද! (හිතෝ. 27:11) ඒ තරුණ තරුණියන් දෙවිගේ ආශීර්වාද අද්දකින බවට කිසිම සැකයක් නැහැ.—හිතෝ. 10:22.