Skip to content

පටුනට යන්න

 බයිබලයෙන් පිළිතුරක්

දිලිඳුකම

දිලිඳුකම

මිනිසුන් මොන තරම් වෑයම් කළත් මුළු ලොකේ පුරාම මිලියන ගණන්දෙනා තවමත් දුගී දුප්පත්කමෙන් පෙළෙනවා.

දුප්පත් අයට සතුටින් ඉන්න පුළුවන්ද?

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

සතුටින් ඉන්න නම් සාර්ථක ජීවිතයක් ගත කරන්න නම් හොඳට සල්ලි බාගේ තියෙන්න ඕනේ. දුගී දුප්පත් අයට අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් වගේ දේවල් ලබාගන්න ලේසි නැහැ. ඒ නිසා ඒ වගේ අයට සතුට පිරුණු තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න බැහැ.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

කෙනෙක්ගේ සතුට රඳා පවතින්නේ එයාට තියෙන මිල මුදල් මත නෙමෙයි. එයාට දෙවි එක්ක තියෙන බැඳීම මතයි. බයිබලයේ කියනවා “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්” කියලා. (මතෙව් 5:3) දුප්පත් වුණත් පොහොසත් වුණත් දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න ආස කෙනෙක් හැම තිස්සෙම දෙවියන් කාරණා දිහා බලන විදිහ තේරුම්ගන්න උත්සාහ කරනවා. එයා ඒක කරන්න බයිබලයේ තියෙන සත්‍යයන් ගැන හොයලා බලනවා. ඒ දැනුම එයාට උදව් වෙනවා මනසේ සාමය ඇතුව ජීවත් වෙන්න. එයාට සැබෑ සතුට අද්දකින්න පුළුවන් වෙන්නේ ඒ නිසයි.

බයිබලයේ තියෙන සත්‍යයන් තේරුම් අරගෙන ඒවා ජීවිතයට අදාළ කරගන්න අයට ආර්ථික ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්. උදාහරණයකට දුම්බොන එක හා මත්පැන්වලට ඇබ්බැහි වෙන එක වගේ නරක පුරුදුවලින් ඉවත් වෙන්න බයිබලයේ තියෙන උපදෙස් ප්‍රයෝජනවත්. ඒ වගේ පුරුදු නිසා ගොඩක් සල්ලි නාස්ති වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒවා නිසා ඇති වෙන ලෙඩ රෝග සනීප කරගන්නත් ලොකු මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා.—හිතෝපදේශ 20:1; 2 කොරින්ති 7:1.

කෑදරකම හා ධන සම්පත්වලට ආස කරන එකේ තියෙන අනතුර ගැනත් බයිබලයේ කියලා තියෙනවා. (මාක් 4:19; එෆීස 5:3) බයිබලයේ තියෙන ඒ උපදෙස් අදාළ කරගන්න කෙනෙක් සූදුවට ඇබ්බැහි වෙලා සල්ලි නාස්ති කරගන්නේ නැහැ. මොකද “සෑම හානිකර දෙයකටම මුල් වන්නේ” මුදල්වලට තියෙන දැඩි ආශාවයි කියලා එයා තේරුම්ගන්නවා. (1 තිමෝති 6:10) ඒ වගේම බයිබලයේ මෙහෙමත් කියලා තියෙනවා. “කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් ඔහුට තිබෙන දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට බැහැ.” (ලූක් 12:15) බයිබලයේ තියෙන උපදෙස් අනුගමනය කරනවා නම් ඇත්තටම ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න පුළුවන්.

දුප්පත් අයට ඉඳුම්හිටුම්, කෑම බීම, ඇඳුම් පැළඳුම් හොයාගන්න ලොකු සටනක් කරන්න වෙනවා. ඒත් තමන්ට ලැබෙන දෙයින් සෑහීමට පත් වෙනවා නම්, දෙවියන්ගේ කැමැත්ත කරන්න ජීවිතයේ මුල් තැන දෙනවා නම් කලකිරෙන්නේ නැතුව සතුටින් ඉන්න පුළුවන් වෙනවා. ඒ වගේම “යෙහෝවා දෙවිගේ ආශීර්වාදය සැබෑ වස්තුවකි. ඔහු ඊට කිසි වේදනාවක් එක් නොකරයි” කියලා බයිබලයේ තියෙන පොරොන්දුව ඉටු වෙනවාත් ඔවුන්ට අද්දකින්න පුළුවන්.—හිතෝපදේශ 10:22.

බයිබල් පදනම: “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්.”මතෙව් 5:3.

 දුගී දුප්පත්කම නැති කාලයක් එයිද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

දුප්පත්කම තුරන් කරන්න මිනිසුන් හා ආණ්ඩු මොන තරම් වෑයම් කරලා තිබුණත් ඔවුන්ට ඒක කරන්න පුළුවන් වෙලා නැහැ. ඒකට හේතුව ඔවුන් අනිත් අයට උදව් කරනවාට වඩා තමන්ගේ වාසි ප්‍රයෝජන ගැන හිතන නිසයි. (දේශනාකාරයා 8:9) ඒත් දෙවියන් ඉතා ඉක්මනින් දුප්පත්කමට විසඳුමක් ලබා දෙනවා. වාසි ප්‍රයෝජන ගැන හිතන මිනිස් ආණ්ඩු දෙවියන් නැති කරනවා. ඒ වෙනුවට හැමදෙනාටම එක හා සමානව සලකන, අවශ්‍යතා අඩුවක් නැතුව සපයන දේවආණ්ඩුවක් පිහිටුවනවා. ඒ දේවආණ්ඩුවේ රජ දුගී අයට සලකන විදිහ ගැන බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. “උපකාරය පතා හඬ නඟන දුප්පතාව ඔහු ගලවාගන්නේය. . . . අසරණයාටද දිලින්දාටද ඔහු අනුකම්පා කරන්නේය. දුප්පතුන්ගේ දිවි රැක දෙන්නේය.”—ගීතාවලිය 72:12-14.

දේවආණ්ඩුව යටතේ මේ පොළොව සැබෑ පාරාදීසයක් වෙනවා. හැම කෙනෙකුටම ඇති තරම් කෑම බීම තියෙයි. හැමෝටම තමන්ගෙම කියලා ගෙයක් තියෙයි. දුප්පත් කියන කිසිම කෙනෙක් එදාට නැහැ. ඒ අය අද්දකින ආශීර්වාද ගැන දෙවියන් මෙහෙම පොරොන්දු කරලා තියෙනවා. “ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය. මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය. . . . තමන් කරන වැඩවලින් නියම සතුටක් ලබන්නෝය.” (යෙසායා 65:21, 22) ඔවුන්ට අද වගේ යාන්තමින් යමක් කාලා බඩගින්න නිවා ගන්නවා වෙනුවට “දිව පිනවන රසවත් කෑම සහිත විශාල භෝජන” භුක්ති විඳින්නත් ලැබෙනවා.—යෙසායා 25:6.

පිළිතුරු දැනගැනීම වැදගත්ද?

අද දුගීකමින් මිරිකිලා ජීවත් වෙන අයට දෙවියන්ගේ පොරොන්දු ලොකු සහනයක්. මොකද මේ දුක දරාගන්න වෙන්නේ තව ටික කාලයකටයි කියලා ඔවුන් දන්නවා. ඒ වගේම ඔවුන් ගැන දෙවියන් සැලකිලිමත් කියලත් ඔවුන් දන්නවා. ඇත්තෙන්ම අද අද්දකින දුෂ්කරතා දරාගන්න ඒ බලාපොරොත්තුව ලොකු ශක්තියක්.

බයිබල් පදනම: “උපකාරය පතා හඬ නඟන දුප්පතාව ඔහු ගලවාගන්නේය. . . . අසරණයාටද දිලින්දාටද ඔහු අනුකම්පා කරන්නේය. දුප්පතුන්ගේ දිවි රැක දෙන්නේය.”ගීතාවලිය 72:12, 13.