Skip to content

පටුනට යන්න

 මුල් පිටුවෙන්

සෛලය අරුම පුදුම පුස්තකාලයක්!

සෛලය අරුම පුදුම පුස්තකාලයක්!

අණුක විද්‍යාඥයන් වන ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රික් ජීවය සම්බන්ධයෙන් මෙතෙක් හොයාගෙන තිබුණු විද්‍යාත්මක තොරතුරුවලට 1953දී තවත් වැදගත් දෙයක් එකතු කළා. ඒ DNA අණුවේ හැඩයයි. එය සර්පිලාකාර ඉණිමඟක් වගේ කියලා හොයාගත්තේ ඔවුන්. * DNA තියෙන්නේ සෛලවල න්‍යෂ්ටියේ. ඒවායේ තොරතුරු සම්භාරයක් ඇතුළත් වෙන නිසා පුස්තකාලයක් වගේ කියලා කිව්වොත් වැරදි නැහැ. DNAවල අඩංගු තොරතුරුවලින් තියෙන ප්‍රයෝජන මොනවාද? ඒවාට තොරුතුරු ලැබුණේ කොහොමද?

 සෛලවලට තොරතුරු අවශ්‍ය වෙන්නේ ඇයි?

කුඩා බීජයකින් ගහක් හැදෙන්නේ කොහොමද? යුක්තානුවකින් මිනිස් කලලයක් හැදෙන්නේ කොහොමද? දෙමව්පියන්ගේ ගතිලක්ෂණ මට ආවේ කොහොමද? මේ වගේ ප්‍රශ්න ගැන ඔයා කල්පනා කරලා ඇති. ඒ ප්‍රශ්නවලට උත්තර තියෙන්නේ DNAවලයි.

හැම සෛලයකම වගේ DNA අණු තියෙනවා. DNA අණුවක් ඇඹරුණු ලණු ඉණිමඟක් වගෙයි. ජෙනෝමයක ඒ කියන්නේ සෛලයක තියෙන සියලුම DNAවල, හිණි පෙති (ඉණිමඟේ හරස් පොලු) බිලියන 3ක් විතර තියෙනවා. හැම හිණි පෙත්තක්ම හැදිලා තියෙන්නේ රසායනික ද්‍රව්‍යයන් දෙකක් එකතු වෙලයි. මේ විදිහට එකතු වෙන රසායනික ද්‍රව්‍යයන් 4ක් DNAවල තියෙනවා. ඒවා හඳුන්වන්නේ A, C, G, T කියලයි. * DNAවල තොරතුරු සටහන් වෙන්නේ ඒ රසායනික ද්‍රව්‍යයන් එකතු වෙන විදිහ අනුවයි කියලා 1957දී ක්‍රික් කියන විද්‍යාඥයා කිව්වා. 1960දී ඒ ගැන තිබුණු අවබෝධය තවත් වැඩි වුණා.

තොරතුරු ගබඩා කරන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. උදාහරණයකට පින්තූර, වචන හෝ ශබ්ද විදිහට තොරතුරු ගබඩා කරන්න පුළුවන්. පරිගණකයක තොරතුරු ගබඩා වෙන්නේ ඩිජිටල් ක්‍රමයටයි. ඒත් සෛලවල තොරතුරු ගබඩා වෙන්නෙත් හුවමාරු වෙන්නෙත් රසායනික ක්‍රියාවලියක් තුළිනුයි. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ සෛලවල තියෙන DNAවලයි. සෛල බෙදෙනකොට DNAවල තියෙන තොරතුරු ඒ අලුත් සෛලවලටත් පිටපත් වෙනවා.

සෛල DNAවල තියෙන තොරතුරු යොදාගන්නේ කොහොමද? ඒක තේරුම්ගන්න මේ උදාහරණය බලන්න. කෑම වට්ටෝරුවක් බලාගෙන අපි කෑමක් හදද්දී ඒක සාදන ක්‍රමය  පියවරෙන් පියවර අනුගමනය කරනවා. එහෙම කළාම අවසානයේදී බලාපොරොත්තු වෙන කෑම හදාගන්න පුළුවන්. DNAවල තියෙන තොරතුරුත් කෑම වට්ටෝරුවක් වගෙයි. සෛල DNAවල තියෙන තොරතුරු පියවරෙන් පියවර අනුගමනය කරද්දී ඇති වන අවසාන ප්‍රතිඵලය වෙන්නේ ශාකයක් හෝ සත්වයෙක් බිහි වීමයි. ඒත් පුදුමේ කියන්නේ සෛල තුළ මේ හැම දෙයක්ම සිදු වෙන්නේ ස්වයංක්‍රීයවයි.

බැක්ටීරියා සෛලයක් තුළ පිටු 1,000ක පොතක් ලියන්න තරම් තොරතුරු තියෙනවා

DNAවල තොරතුරු ගබඩා කරලා තියෙන්නේ ඇයි? ඒ හානි වූ සෛල අලුත්වැඩියා කිරීමට හා ඊළඟ පරම්පරාවලට අවශ්‍ය ජානමය තොරතුරු සපයන්නයි. DNAවල මොන තරම් තොරතුරු ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙනවාද කියලා බලන්න. උදාහරණයකට පුංචි බැක්ටීරියාවක් ගැන විද්‍යාඥයෙක් වන බර්න්ට්-ඔලාෆ් කූපර්ස් කිව්වේ මෙහෙමයි. “එක බැක්ටීරියා සෛලයක් හැදෙන්න අවශ්‍ය ජානමය තොරතුරු මිනිස් බසට පරිවර්තනය කළොත් පිටු 1,000ක පොතක් ලියන්න තරම් තොරතුරු ඒකෙ තියෙනවා.” එහෙමනම් මිනිස් ජෙනෝමයක තියෙන තොරතුරු ගැන කියන්න පුළුවන් මොනවාද? ඒ ගැන විද්‍යාඥ කූපර්ස් කිව්වේ “ජෙනෝමයක තියෙන තොරතුරු ලියන්න නම් පොත් දහස් ගණන් අවශ්‍ය වෙයි” කියලයි.

“ලියවිලා තියෙන්නේ අපිට තේරුම්ගන්න පුළුවන් විදිහටයි”

DNAවල තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ සංකේත භාෂාවකින්. ඕනෑම භාෂාවක නීතිරීති තියෙනවා වගේ ඒ සංකේත භාෂාවෙත් නීතිරීති තියෙනවා. DNAවල හැම උපදෙසක්ම ලියවිලා තියෙන්නේ ඒ සංකේත භාෂාවේ රීතිවලට අනුවයි.

ඒ උපදෙස්වලට අනුව තමයි අස්ථි සෛල, ස්නායු සෛල වැනි අපේ ශරීරයේ සෛල හැදෙන්න අවශ්‍ය ප්‍රෝටීන හා වෙනත් රසායනික ද්‍රව්‍යයන් නිපදවෙන්නේ. ජීව විද්‍යාඥයෙක් වන රිචඩ් ඩෝකන්ස් මෙහෙම කිව්වා. “DNAවල තොරතුරු ලියවිලා තියෙන්නේ රසායනික ද්‍රව්‍යයන් 4කින් යුත් සංකේත භාෂාවකින්. ඒත් පුදුමේ කියන්නේ ඒවා ලියවිලා තියෙන්නේ අපිට තේරුම්ගන්න පුළුවන් විදිහටයි.”

බයිබල් ලේඛකයෙක් වන දාවිත් දෙවියන්ට කරපු යාච්ඤාවකදී මෙහෙම කිව්වා. ‘මා කලලයක්ව සිටියදී ඔබට මාව පෙනුණේය. මාගේ අවයව සෑදෙන්නත් කලින් ඒ සියල්ල ගැන තොරතුරු ලියවිල්ලෙහි සටහන් කර තිබිණ.’ (ගීතාවලිය 139:16) දාවිත් කාව්‍යමය ආකාරයකින් ඒ දේ කිව්වත් ඒක විද්‍යාත්මකව පිළිගත් සත්‍යයක්.  දාවිත් ඇතුළු හැම බයිබල් ලේඛකයෙක්ම ලිව්වේ නිකම්ම තමන්ට හිතෙන දේවල්වත් අනිත් අයගේ බොරු අදහස්වල බලපෑමට අහු වෙලාවත් නෙමෙයි.—2 සාමුවෙල් 23:1, 2; 2 තිමෝති 3:16.

දෙමව්පියන්ගේ ගතිලක්ෂණ දරුවෙක්ට ලැබෙන්නේ කොහොමද?

DNAවලට තොරතුරු ලැබුණේ කොහොමද?

DNAවල තොරතුරු ගබඩා වෙලා තියෙනවා කියලා විද්‍යාඥයන් දැනගත්තාම ඒකට තොරතුරු ඇතුළත් වුණේ කොහොමද කියන ප්‍රශ්නය ඔවුන්ට මතු වුණා. මුල් DNA අණුව හැදුණු විදිහ කිසිම මනුෂ්‍යයෙක් දැක්කේ නැති වුණත් ඒකට තොරතුරු ඇතුල් වුණු ක්‍රමයක් තියෙන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ කියලා තේරුම්ගන්න පහත දැක්වෙන උදාහරණ බලන්න.

  • 1999දී පකිස්තානයෙන් පැරණි මැටි බඳුන්වල කොටස් කිහිපයක් හම්බ වුණා. ඒවායේ යම් අකුරු වගයක් කොටලා තිබුණත් මේ වන තුරු කිසිම කෙනෙක්ට ඒක කියවලා තේරුම්ගන්න පුළුවන් වෙලා නැහැ. ඒත් ඒ අකුරු ලියලා තියෙන්නේ මිනිස්සු කියලා ඒවා සොයාගත්ත අය පිළිගන්නවා.

  • වසර කිහිපයකට කලින් භෞතික විද්‍යාඥයන් දෙන්නෙක් ගුවන්විදුලි තරංග හරහා අභ්‍යවකාශයෙන් ලැබුණු පණිවිඩ ගැන පර්යේෂණ කළා. ඔවුන් එහෙම දෙයක් කරන්න පෙලඹුණේ කවුරු හරි අභ්‍යවකාශයෙන් ඒ වගේ පණිවිඩ එවනවා කියලා හිතපු නිසයි.

මේ දේවල්වලින් පැහැදිලි වෙන්නේ මොකක්ද? මැටි බඳුනක තියෙන අකුරු දැක්කාම, අභ්‍යවකාශයෙන් පණිවිඩ ලැබුණාම ඒ වගේ දේවල් කරන්නේ කවුද කියලා දැක්කේ නැති වුණත් ඒවා කරන්න කවුරු හරි ඉන්නවා කියලා මිනිස්සු නිගමනය කළා. එහෙම නම් DNAවල තියෙන තොරතුරු ගැන මේ තරම් දැනගෙනත් ඒක පිටිපස්සේ බුද්ධිමත් කෙනෙක් නැහැ කියලා හිතන එක සාධාරණද? එහෙම හිතන එක සාධාරණ නැහැ කියලා මහාචාර්යවරුන් දෙන්නෙක් වන ජීන් හුවෑං සහ යන්-ඩේ ක්සූව් ඇතුළු තවත් විද්‍යාඥයන් බොහෝදෙනෙක් පිළිගන්නවා.

ජාන පිළිබඳ පර්යේෂණ කරන මහාචාර්ය ජීන් හුවෑං එක කාලයකදී පරිණාමය ගැන විශ්වාස කරපු කෙනෙක්. ඒත් ජාන ගැන වැඩිදුර අධ්‍යයනය කළාට පස්සේ පරිණාමය ගැන ඔහු දරපු අදහස වෙනස් වුණා. ඔහු ‘පිබිදෙව්!’ සඟරාවට කිව්වේ මෙහෙමයි. “ජාන ගැන අධ්‍යයනය කළාම ජීවීන් තුළ සිදු වෙන රසායනික ක්‍රියාවලිය ගැන මට හොඳ අවබෝධයක් ලැබුණා. ඒ වගේ සංකීර්ණ ක්‍රියාවලියක් සැලසුම් කරපු කෙනාට මොන තරම් ප්‍රඥාවක් තියෙන්න ඕනද කියලා මට හිතුණා.”

තායිවානයේ විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයක කලල පිළිබඳ අධ්‍යයනයක යෙදුණු, මහාචාර්ය යන්-ඩේ ක්සූව් කාලයක් පරිණාමය විශ්වාස කරපු කෙනෙක්. ඔහු කලල ගැන වැඩිදුර පර්යේෂණ කළාට පස්සේ ඔහුගේ අදහස වෙනස් වුණා. සෛල බෙදෙන විදිහ ගැන ඔහු කිව්වේ මෙහෙමයි. “සෛල හරි තැන හරි පිළිවෙළට හැදෙන්න ඕනේ. මුලින්ම ඒවායින් හැදෙන්නේ පටක. ඊටපස්සේ ඒවා ඉන්ද්‍රියන් බවට පත් වෙනවා. කලලයක් වර්ධනය වෙන්න ඕන ආකාරය ගැන නිශ්චිත තොරතුරු DNAවල අඩංගු වෙනවා. ඒ වගේ ලොකු  ක්‍රියාවලියක් සැලසුම් කරන්න කාටද පුළුවන්. මේ හැම දෙයක්ම මොන තරම් හොඳට සැලසුම් කරලා තියෙනවාද කියලා හිතුවාම ජීවය දෙවියන්ගේ නිර්මාණයක් කියන එක ගැන නම් මට කිසිම සැකයක් නැහැ.”

ජීන් හුවෑං (වමේ) සහ යන්-ඩේ ක්සූව්

නිර්මාතෘ ගැන දැනගන්න එකේ තියෙන වැදගත්කම

ජීවය නිර්මාණය කළේ දෙවියන් නම් ඒකෙ සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕන දෙවියන්ට මිසක් පරිණාමයට නෙමෙයි. (එළිදරව් 4:11) ඒ වගේම දෙවියන් අපිව නිර්මාණය කළා නම් ඔහු යම් අරමුණක් ඇතුවයි එහෙම කරන්න ඇත්තේ. *

අපේ මොළය හා අපි කල්පනා කරන විදිහ ගැන අධ්‍යයනයක් කරපු මහාචාර්ය වික්ටර් ෆ්‍රෑන්ක් කිව්වේ “මිනිසුන්, ඔවුන් ආවේ කොහෙන්ද? ජීවිතයේ අරමුණ මොකක්ද වගේ වැදගත් ප්‍රශ්නවලට උත්තර හොයනවා” කියලයි. ඒක ඇත්තක්. හැමෝම ඒ ප්‍රශ්නවලට උත්තර හොයනවා. අපිව නිර්මාණය කළේ දෙවියන් නම් ඒ කුතුහලය අපි තුළ ඇති කරලා ඇත්තෙත් ඔහුයි. එහෙමනම් ඒ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ක්‍රමයකුත් දෙවියන් දීලා තියෙනවාද?

ඔව්. යේසුස් කියපු මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. ‘මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත පමණක් නොව යෙහෝවා දෙවි පවසන සෑම දෙයක්ම මතයි.’ (මතෙව් 4:4) දේවවචනය අධ්‍යයනය කරලා මිලියන ගණන්දෙනෙක් ඒ ප්‍රශ්නවලට උත්තර හොයාගෙන තියෙනවා. ඒ ගැන දැනගැනීමෙන් ඔවුන්ගේ ජීවිතවලට අරමුණක් වගේම අනාගතයට හොඳ බලාපොරොත්තුවකුත් ලැබිලා තියෙනවා. (1 තෙසලෝනික 2:13) ඔයාත් බයිබලය අධ්‍යයනය කළොත් ඔයාටත් ඒ ප්‍රයෝජන අද්දකින්න පුළුවන්.

^ 3 ඡේ. වොට්සන් සහ ක්‍රික් කලින් DNA (ඩිඔක්සිරයිබොනියුක්ලික් අම්ලය) සම්බන්ධයෙන් සොයාගෙන තිබුණු තොරතුරුවලට අලුත් තොරතුරු එකතු කළා.—“ DNA අණුවේ ඉතිහාසය” යන කොටුව බලන්න.

^ 6 ඡේ. (A) ඇඩිනීන්, (C) සයිටොසීන්, (G) ගුඇනීන් හා (T) තයමීන්

^ 22 ඡේ. ජීවය නිර්මාණය කළාද නැත්නම් පරිණාමය වුණාද කියන විෂය ගැන තොරතුරු ‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’ සහ ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’ යන සඟරාවලින් දැනගන්න පුළුවන්. ඒවා www.jw.org/si වෙබ් අඩවියෙත් තියෙනවා.