Skip to content

පටුනට යන්න

 බයිබලයෙන් පිළිතුරක්

ඕනම දෙයක් ඉවසීම

ඕනම දෙයක් ඉවසීම

සමාව දීම සහ ඉවසීම වගේ ගුණාංග සාමකාමී බැඳීම්වලට දායක වෙනවා. කොහොමවුණත් ඕනම දෙයක් ඉවසන එක හරිද?

ඉවසීම වර්ධනය කරගන්න වැඩියෙන්ම උදව් වෙන්නේ මොකක්ද?

අද තත්වය

හුඟක් මිනිසුන් ඉවසීමෙන් වැඩ කරන්නේ නැහැ. ජාති භේද, ආගම් භේද, කුලමල භේද, වාර්ගික භේද වගේ දේවල් නිසා ඔවුන් අතර තියෙන කේන්තිය තවත් වැඩි වෙලා.

බයිබලයේ කියන්නේ මෙහෙමයි

යේසුස් ක්‍රිස්තුස් දේශනා කරපු කාලයේදී යුදෙව්වන් හා සමරිතානුවන් අතර තිබුණේ මුල් බැසගත් වෛරයක්. (යොහන් 4:9) ස්ත්‍රීන්ව සැලකුවේ පහත් අය විදිහට. යුදෙව් ආගමික නායකයන් සාමාන්‍ය මිනිසුන්ව ගණනකට ගත්තේ නැහැ. (යොහන් 7:49) හැබැයි යේසුස් ඊට වඩා හාත්පසින්ම වෙනස්. “මේ මිනිසා පව්කාරයන්ව පිළිගෙන ඔවුන් සමඟ කෑමත් කනවා” කියලා ඔහුට සතුරුකම් කරපු අය කිව්වේ ඒ නිසයි. (ලූක් 15:2) යේසුස් කාරුණිකව, ඉවසීමෙන් කටයුතු කළා. මොකද ඔහු පොළොවට ආවේ මිනිසුන්ට දෙවියන් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න උදව් කරන්න මිසක් ඔවුන්ව විනිශ්චය කරන්න නෙවෙයි. ඔහු හැම දෙයක්ම කළේ ප්‍රේමයෙන් පෙලඹිලයි.—යොහන් 3:17; 13:34.

ඉවසීම සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් වන යේසුස් පොළොවට ආවේ මිනිසුන්ට දෙවියන් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න උදව් කරන්න මිසක් ඔවුන්ව විනිශ්චය කරන්න නෙවෙයි

අනිත් අයගේ දුර්වලකම් දකිද්දීත් අපි අකමැති දේවල් ඒ අය කරද්දීත් දිගටම ඉවසන්න පුළුවන් වෙන්නේ අපි තුළ ප්‍රේමය තියෙනවා නම් විතරයි. කොලොස්සි 3:13 මෙහෙම කියනවා. “අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් ඔවුන් ගැන ඉවසන්න. නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න.”

“අන් සෑම දෙයකටම වඩා එකිනෙකා සඳහා බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න. මන්ද ප්‍රේමයෙන් පව් රාශියක් මකා දැමිය හැක.”1 පේතෘස් 4:8.

 ඉවසීමට සීමාවක් තියෙන්න ඕනෙ ඇයි?

සැබෑ තත්වය

ඕනම රටක් යම් නීතිවලට අනුව පිළිවෙළකට දේවල් කරන්න උත්සාහ කරනවා. ඒ නිසා තමයි හැසිරීම සම්බන්ධයෙන් ඔවුන් යම් නීති පනවන්නේ.

බයිබලයේ කියන්නේ මෙහෙමයි

ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් “අවිනීතව හැසිරෙන්නේ නැත.” (1 කොරින්ති 13:5) ඉවසීම සම්බන්ධයෙන් යේසුස් කදිම ආදර්ශයක් තිබ්බත් නරක හැසිරීම, කුහකකම ඇතුළු වැරදි දේවල් ඔහු හෙළාදැක්කා. (මතෙව් 23:13) “පිළිකුල් දේවල් කරන පුද්ගලයා ආලෝකය ප්‍රතික්ෂේප කරනවා” කියලයි ඔහු කිව්වේ.—යොහන් 3:20.

යේසුස්ගේ නියෝජිතයෙක් වුණු පාවුල් මෙහෙම කිව්වා. “දුෂ්ට දේවල් පිළිකුල් කරන්න. අත් නෑර යහපත් දේවලට ඇලුම් වන්න.” (රෝම 12:9) ඒ දේ ඔහු අදාළ කරගත්තා. උදාහරණයකට යුදෙව් ක්‍රිස්තියානීන්ගෙන් සමහරදෙනෙක් යුදෙව් නොවන ක්‍රිස්තියානීන්ව ඇසුරු නොකරන එක වැරදියි කියලා ඔහු සෘජුව නමුත් කාරුණිකව පැහැදිලි කළා. (ගලාති 2:11-14) “සියල්ලන්ටම එක හා සමානව සලකන” දෙවියන් තම සෙනඟ අතරේ ජාතිවාදී හැඟීම් තියෙනවාට කැමති නැහැ කියලා පාවුල් දැනගෙන හිටියා.—ක්‍රියා 10:34.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලයේ ඇති සදාචාර ප්‍රමිති අදාළ කරගන්නවා. (යෙසායා 33:22) ඒ නිසා ඔවුන් අතරේ දුෂ්ටකමක් සිදු වුණොත් ඔවුන් ඒක නොසලකාහරින්නේ නැහැ. දෙවිගේ ප්‍රමිති නොසලකාහරින අය නිසා ක්‍රිස්තියානි සභාව අපවිත්‍ර වීමට ඉඩහැරීම සුදුසු නැහැ. ඒ නිසා “ඔබ අතරින් ඒ දුෂ්ට මිනිසාව ඉවත් කර දමන්න” කියලා බයිබලයේ ඇති ප්‍රතිපත්තියට එකඟව ඔවුන් කටයුතු කරනවා.—1 කොරින්ති 5:11-13.

“යෙහෝවා දෙවිට ප්‍රේම කරන්නෙනි, නපුරට ද්වේෂ කරන්න.”ගීතාවලිය 97:10.

මිනිසුන් කරන නපුරු වැඩ දෙවියන් හැමදාමත් ඉවසයිද?

හුඟක් අය හිතන දේ

මිනිසුන්ගේ නපුරුකම් කවදාවත් නැති වෙන එකක් නැහැ.

බයිබලයේ කියන්නේ මෙහෙමයි

යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරයෙක් වුණු හබක්කුක් දෙවිගෙන් මෙහෙම ඇහුවා. “ඔබ මේ නපුරුකම් දෙස බලා සිටින්නේ කෙසේද? මා බලන බලන සෑම තැනම සොරකම්ද මැරවරකම්ද සිදු වෙයි. මගේ දෑසින් මේ දුෂ්ට දේවල් දකින්න ඔබ මට ඉඩහරින්නේ ඇයි? මෙතරම් කෝලහල අඬදබර සිදු වන්නේ මන්ද?” (හබක්කුක් 1:3) දුෂ්ටයන්ට දඩුවම් කරනවා කියලා දෙවියන් ඔහුට පොරොන්දු වුණා. ඒක ‘අනිවාර්යයෙන්ම ඉටු වෙනවා.’ ‘ප්‍රමාද වෙන්නේ නැහැ.’—හබක්කුක් 2:3.

නරක දේවල් අත්හැරලා දෙවියන් කැමති විදිහට ජීවත් වෙන්න මිනිසුන්ට තවම අවස්ථාව තියෙනවා. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියන් කියන්නේ මෙහෙමයි. “දුෂ්ටයෙකු වැරදි මාර්ගයෙන් හැරී දිගටම ජීවත් වෙනවාට මිස ඔහු මිය යනවා දකින්න මම කිසි ලෙසකින්වත් කැමති නැත.”’ (එසකියෙල් 18:23) දෙවියන් කැමති විදිහට ජීවත් වෙන අයට අනාගතය ගැන ප්‍රීතිමත් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. “මට සවන් දෙන තැනැත්තා කිසි විපතකට භය නොවී සුරක්ෂිතව ජීවත් වන්නේය” කියලා දෙවියන් කියලා තියෙනවා.—හිතෝපදේශ 1:33.

‘තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.’ගීතාවලිය 37:10, 11.