Skip to content

පටුනට යන්න

 මුල් පිටුවෙන්

මානසික පීඩනය - ඔබට දරාගන්න අමාරුද?

මානසික පීඩනය - ඔබට දරාගන්න අමාරුද?

“මම හරියට නතර වෙන්නැතුව වැඩ කරන මැෂින් එකක් වගේ. දවසකට පැය 16ක් විතර වැඩ කරනවා. සති අන්තයේ ගෙදර ඉන්නේ කලාතුරකින්. මම වැඩ ඉවර කරලා ගෙදර එනකොට දුව නිදි. මට මං ගැනම පුදුම තරහක් ඇති වෙනවා.”—ෆින්ලන්තයේ ජීවත් වන කරී.

හුඟදෙනෙක්ට හැඟෙන්නේ කරීට හැඟුණු විදිහටයි. බ්‍රිතාන්‍යයේ මානසික සෞඛ්‍ය පිළිබඳ ආයතනයකට අනුව ඒ රටේ සේවකයන් 5දෙනෙක්ගෙන් එක් කෙනෙක් රැකියාව නිසා ඇති වන පීඩනයෙන් ලෙඩ වෙනවා. ඒ වගේම 4දෙනෙක්ගෙන් එක් කෙනෙක් පීඩනය නිසා රැකියාව කරන අතරතුර අඬනවා. 2009දී සිදු වූ ආර්ථික බිඳ වැටීම නිසා වෙන කවරදාකටත් වඩා විෂාදයට ගන්න ඖෂධ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.

මානසික පීඩනයට හේතු

  • අනාරක්ෂිතබව (ආර්ථික හෝ වෙනත් හේතු නිසා)

  • කාර්යබහුලකම

  • පෑහිලා වැඩ කරන්න බැරිකම

  • වේදනාකාරී අද්දැකීම්

මානසික පීඩනයේ ප්‍රතිවිපාක

  • සෞඛ්‍ය ගැටලු

  • මානසික විඩාව

  • නින්ද නොයෑම

  • මානසික අවපීඩනය

  • සබඳතා පලුදු වීම

 මානසික පීඩනයක් දැනෙද්දී අපේ ශරීරයෙන් නිකුත් වන හෝමන නිසා හුස්ම ගැනීමේ වේගය, හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය වැඩි වෙනවා. ඒ වගේම ශරීරයේ තැන්පත් වෙලා තියෙන රුධිර සෛල සහ ග්ලූකෝස් අපේ රුධිර සංසරණ පද්ධතියට එකතු වෙනවා. පීඩනයට හේතු වන දේට මුහුණ දෙන්න ඔබව සූදානම් කරන්නේ එම ක්‍රියාවලියයි. පීඩනයට හේතු වූ දේ නැති වුණාට පස්සේ ඔබේ ශරීරය නැවත සාමාන්‍ය තත්වයට පත් වෙනවා. ඒත් එය දිගටම තිබුණොත් කනස්සල්ල හෝ පීඩනයත් දිගටම තියෙයි. එය ඔබව මානසිකවත් ශාරීරිකවත් ලෙඩ කරනවා. ඒ නිසා මානසික පීඩනය පාලනය කරගන්නේ කොහොමද කියලා දැනගන්න එක වැදගත්.

මානසික පීඩනය පාලනය කිරීම

පීඩනය හිතන තරම් නරක දෙයක් නෙමෙයි. ඇමරිකාවේ මානසික සෞඛ්‍ය පිළිබඳ ආයතනයක් ඒ ගැන මෙහෙම කියනවා. “වයලීනයක් වාදනය කරද්දී එහි තත්වල ආතතිය අඩු වුණොත් ඇති වන හඬේ රසයක් නැහැ. ඒ වගේම තත්වල ආතතිය වැඩි වුණාමත් හඬේ රසයක් නැහැ. තත් කැඩෙන්නත් ඉඩ තියෙනවා. මානසික පීඩනයත් ඒ වගේයි. අධික පීඩනය ජීවිතයට අනතුරක්. ඒත් යම් තරමක පීඩනයක් දැනීම ජීවිතයට ප්‍රයෝජනවත්. පීඩනය අඩුත් නැතුව වැඩිත් නැතුව තියාගන්න විදිහ අපි දැනගන්න ඕනේ.”

එක් එක් පුද්ගලයා පීඩනයට මුහුණ දෙන විදිහත් වෙනස්. එක් කෙනෙකුට පීඩනයක් වන දෙයක් තව කෙනෙකුට පීඩනයක් නොවෙන්න පුළුවන්. එදිනෙදා වැඩවලදීත් ඔබට පීඩනයක් දැනෙනවා නම් නොහිතපු දෙයකට මුහුණ දෙන්න සිදු වුණොත් දැනෙන පීඩනය ඔබට කොහොමටවත් දරාගන්න බැරි වෙයි.

සමහරු මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්වැටි වැනි දේවල්වලින් පීඩනය අඩු කරගන්න උත්සාහ කරනවා. තවත් අය අසාමාන්‍ය විදිහට කෑම කනවා. එහෙම නැත්නම් පැය ගණන් රූපවාහිනිය හෝ පරිගණකය ඉස්සරහා ඉන්නවා. ඒත් ඒවායින් පීඩනය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. එහෙමනම් පීඩනය පාලනය කරගන්නේ කොහොමද?

හුඟදෙනෙක් බයිබලයේ සඳහන් උපදෙස් අදාළ කරගැනීමෙන් මානසික පීඩනයට සාර්ථකව මුහුණ දීලා තියෙනවා. ඔබටත් ඒ උපදෙස්වලින් ප්‍රයෝජන ලබන්න පුළුවන්. මානසික පීඩනයට හේතු වන කාරණා හතරකට එම උපදෙස් අදාළ වෙන විදිහ බලන්න.

 1 අනාරක්ෂිතබව

අපේ ජීවිත සියයට සියයක්ම සුරක්ෂිතයි කියලා කියන්න බැහැ. බයිබලයේ කියන්නේ ‘නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් සියලුදෙනාටම’ සිදු වෙන්න පුළුවන් කියලයි. (දේශනාකාරයා 9:11) ඒ නිසා මේ යෝජනා අත්හදා බලන්න.

  • හිතේ තියෙන දේ පවුලේ කෙනෙක්ට හෝ විශ්වාසවන්ත මිතුරෙකුට කියන්න. එය මානසික පීඩනයෙන් ගොඩ එන්න මඟක් කියා අධ්‍යයනවලින් සොයාගෙන තියෙනවා. “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි” කියා බයිබලයෙත් සඳහන් වෙනවා.හිතෝපදේශ 17:17.

  • නිතරම කරදරයක් වෙයි කියලා හිත හිතා හිටියොත් ඔබ මානසිකව දුර්වල වෙයි. ඔබ හිතන දේවල් කවදාවත් සිද්ධ නොවෙන්නත් පුළුවන්. ඒ නිසයි බයිබලයේ මෙහෙම කියන්නේ. “හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද හෙට දවසෙත් කරදර තිබෙයි.”මතෙව් 6:34.

  • යාච්ඤාවෙනුත් සහනයක් ලැබෙනවා. ‘දෙවි ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න’ කියා 1 පේතෘස් 5:7 සඳහන් වෙනවා. අපිට වේදනාවක් දැනෙද්දී යාච්ඤාවෙන් දෙවියන්ගේ උපකාර පතනවා නම් අපේ මනසට සහනයක් ලබා දීම තුළින් දෙවියන් අපිව “කිසි ලෙසකින්වත් අත්හරින්නේ” නැහැ කියලා දැනෙන්න සලස්වනවා.හෙබ්‍රෙව් 13:5; ෆිලිප්පි 4:6, 7.

2 කාර්යබහුලකම

රැකියාව, ඉගෙනීමේ කටයුතු, දරුවන්ගේ වැඩ හෝ මහලු දෙමව්පියන්ව බලාගැනීම වැනි එදිනෙදා තියෙන දහසකුත් වැඩ නිසාත් පීඩනයක් දැනෙන්න පුළුවන්. ඒ වගකීම් පැහැර හරින්න බැහැ. (1 තිමෝති 5:8) එහෙම නම් දැනෙන පීඩනයට මොනවද කරන්න පුළුවන්?

  • විවේකයක් ගන්න. බයිබලයෙත් මෙහෙම කියලා තියෙනවා. “වෙහෙස මහන්සි වී බොහෝ වේලාවක් වැඩ කරමින් සුළඟ පසුපස හඹා යනවාට වඩා සුළු විවේකයක් ගැනීම හොඳය.”දේශනාකාරයා 4:6.

  • වැදගත් දේට මුල් තැන දෙන්න. (ෆිලිප්පි 1:10) වියදම් අඩු කරගැනීමෙන් හෝ රැකියාව වෙනුවෙන් වැය කරන කාලය අඩු කරගැනීමෙන් ජීවිතය සරල කරගන්න.ලූක් 21:34, 35.

කලින් සඳහන් කළ කරී බයිබලය ඉගෙනගනිද්දී ජීවිතය වෙනස් කරගත්තා. ඔහු තම ව්‍යාපාරය විකුණලා පවුලේ අයත් එක්ක කාලය ගත කරන්න පුළුවන් විදිහේ රැකියාවක් හොයාගත්තා. ඔහු මෙහෙම කියනවා. “ඉස්සර මං අනිත් අය ගැන හිතුවේ නැහැ. ඒත් දැන් එහෙම නෙමෙයි. අපිට සල්ලි ගොඩක් නැති වුණත් ලොකු සහනයක් දැනෙනවා. පවුලේ අය එක්ක, මිතුරන් එක්ක ගත කරන්න කාලයත් තියෙනවා. දැන් මට දැනෙන සහනය මං ආයිත් රස්සාවක් නිසා නැති කරගන්න කැමති නැහැ.”

 3 පෑහිලා වැඩ කරන්න බැරිකම

අනිත් අයත් එක්ක විශේෂයෙන්ම රැකියා ස්ථානයේ අයත් එක්ක ගැටුම් ඇති කරගැනීම මානසික පීඩනය වැඩි කරනවා. ඔබටත් ඒ ගැටලුව තියෙනවා නම් මේ යෝජනා අත්හදා බලන්න.

  • කවුරු හරි ඔබේ හිත රිදෙව්වා නම් සන්සුන්ව ඉන්න උත්සාහ කරන්න. හිතෝපදේශ 15:1 සඳහන් වෙන්නේ “මෘදු පිළිතුරකින් කෝපය නිවී යයි. නමුත් සිත රිදවන වචනයකින් තරහ උපදවයි” කියලයි.

  • ගැටලුව පෞද්ගලිකව සහ අනිත් කෙනාගේ ගෞරවයට හානියක් නොවන විදිහට විසඳගන්න.මතෙව් 5:23-25.

  • අනිත් පුද්ගලයාගේ හැඟීම් සහ අදහස් තේරුම්ගන්න උත්සාහ කරන්න. ඔබ ඒ විදිහට හිතලා බලලා වැඩ කරනවා නම් ‘ඉක්මනින් කේන්ති’ යන්නේ නැහැ. (හිතෝපදේශ 19:11) එතකොට ඔබට නොතේරෙන ඔබේ අඩුපාඩු තේරුම්ගන්නත් ඔබට පුළුවන් වෙයි.

  • සමාව දෙන්න. සමාව දීම හොඳ දෙයක් විතරක් නෙමෙයි මානසික පීඩනයටත් හොඳ ඖෂධයක්. 2001දී කළ අධ්‍යයනයකින් හෙළි වුණේ “සමාව නොදී වෛරය හිතේ තියාගැනීම” හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය “වැඩි වීමට හේතු වෙනවා” කියායි.කොලොස්සි 3:13.

4 වේදනාකාරී අද්දැකීම්

කාම්බෝජයේ ජීවත් වන නෙයින් ඛේදජනක අද්දැකීම් රැසකට මුහුණ දුන් කාන්තාවක්. 1974දී ඇය බෝම්බ පිපිරීමකින් බරපතළ ලෙස තුවාල ලැබුවා. ඊළඟ අවුරුද්දේ ඇගේ දරුවන් දෙදෙනාත් මවත් ස්වාමිපුරුෂයාත් මිය ගියා. 2000 වසරේදී ඇගේ නිවස සහ ඇය සතුව තිබූ සියලුම දේවල් ගින්නෙන් විනාශ වුණා. ඊට වසර තුනකට පසු ඇගේ දෙවෙනි ස්වාමිපුරුෂයාත් මිය ගියා. ඇයට ජීවිතය එපා වුණා.

‘වෙහෙස මහන්සි වී බොහෝ වේලාවක් වැඩ කරනවාට වඩා සුළු විවේකයක් ගැනීම හොඳය’

නමුත් ඇය ජීවිතයට මුහුණ දෙන්න මඟක් හොයාගත්තා. කරී වගේ ඇයත් බයිබලය ඉගෙනගෙන එයින් ප්‍රයෝජන ලැබූ අතර ඒ ගැන අනිත් අයටත් කියා දෙන්න කාලය යෙදෙව්වා. ඇගේ අද්දැකීමත් 2008දී බ්‍රිතාන්‍ය පර්යේෂකයන් පිරිසක් සොයාගත් දේට සමානයි. එනම් “පීඩනයකින් සිටිද්දී අන් අය වෙනුවෙන් යමක් කිරීමෙන් පීඩනයෙන් මිදෙන්න පුළුවන්” බවයි. එය බයිබලයටත් එකඟයි.ක්‍රියා 20:35.

අද මිනිසුන් මුහුණ දෙන කනගාටුදායක දේවල් නැවත සිදු වෙන්නේ නැති, “බොහෝ සමාදානය” තිබෙන කාලයක ජීවත් වෙන්නත් නෙයින් බලාපොරොත්තුවෙන් ඉන්නවා.ගීතාවලිය 72:7, 8.

බයිබලයේ සඳහන් මේ අනගි බලාපොරොත්තුව සහ පීඩනයන්ට සාර්ථකව මුහුණ දෙන්න ලැබී තියෙන ප්‍රඥාවන්ත උපදෙස් මිල කළ නොහැකියි. බොහෝදෙනෙක් මෙම වටිනා පොතෙන් දැනටමත් ප්‍රයෝජන ලබා තිබෙනවා. එහි ඇති තොරතුරු සොයා බලන්න කියා අපි ඔබටත් ආරාධනා කරනවා.