Skip to content

පටුනට යන්න

හිතට බරක් වන ගතේ බර

හිතට බරක් වන ගතේ බර

යොවුන් වියේ දරුවන් ස්ථූලතාවෙන් පෙළෙන සංඛ්‍යාව 1980 සිට 2002 දක්වා කාලයේදී තුන් ගුණයකින් වැඩි වී තිබෙන අතර කුඩා දරුවන්ගේ සංඛ්‍යාව දෙගුණයකට වඩා වැඩි වී තිබෙන බව එක්සත් ජනපදයේ සෞඛ්‍යය හා මානව සේවා දෙපාර්තමේන්තුව පවසනවා. මෙලෙස දිගු කාලයක් පුරා ස්ථූලතාවෙන් පෙළීම අධිරුධිර පීඩනය, දියවැඩියාව, හෘදය රෝග හා විවිධ පිළිකාවලට මඟ පෑදිය හැකියි. *

දරුවන් ස්ථූලතාවෙන් පෙළීමට හේතු කිහිපයක් බලපානවා. උදාහරණයකට බොහෝ වේලාවක් එක තැන සිටීම, නිසි පෝෂණයෙන් යුත් ආහාර ලබාගැනීමට වත්කමක් නොතිබීම හා පෝෂණ ගුණයෙන් යුත් ආහාර නොලැබීම ඉන් සමහරක් වෙයි. එක්සත් ජනපදයේ රෝග මර්දන මධ්‍යස්ථානය පවසන්නේ “කැලරි අධික ආහාර ගැනීම හා ප්‍රමාණවත් කායික ක්‍රියාකාරකම්වල නොයෙදීම දරුවන් ස්ථූලතාවෙන් පෙළීමට මූලික හේතුව” බවයි.

කුඩා දරුවන්, යෞවනයන් මෙන්ම වැඩිහිටියන්ද තමන්ගේ ආහාර රටාව ගැන සැලකිලිමත් විය යුතුයි. ආහාර රටාවේ සුළු වෙනස්කම් කිහිපයක් කිරීමෙන් ඇත්තෙන්ම ලොකු වෙනසක් ඇති කළ හැකියි. යෞවනයෙක් වන මාර්ක් ඔහුගේ ආහාර ගැනීමේ රටාව වෙනස් කළ නිසා ඔහු බොහෝ ප්‍රයෝජන ලැබුවා. ඔහු පැවසුවේ මෙසේයි. “මම එක කාලයක් කෑවෙම කිසිම ගුණයක් නැති කෑමයි.” මාර්ක් ඒ පුරුද්දෙන් මිදුණු ආකාරය ගැන පිබිදෙව්! සඟරාවට පැවසූ දේ දැන් සලකා බලමු.

ඔයා වැරදි ආහාර රටාවකට පුරුදු වුණේ කොහොමද?

මම පාසැලෙන් අයින් වෙලා රැකියාවක් කරන්න පටන්ගත්ත කාලයේදී තමයි පිටින් කන්න පුරුදු වුණේ. මම රැකියාව කරපු තැනට කිට්ටුවෙන් ආපනශාලා දෙකක් තිබුණා. කෑම හදාගන්නවාට වඩා ඒ වගේ තැනකින් කන එක ලේසියි කියලා මට හිතුණා. මම හැමදාම වගේ කෑම කෑවේ ඒ කඩවලින්.

ගෙදරින් පිට ජීවත් වෙනකොට මොකද්ද කළේ?

කඩෙන් කන පුරුද්ද තවත් වැඩි වුණා. මම උයන්න දන්නේ නැති නිසත් මට එච්චර සල්ලි තිබුණේ නැති නිසත් මට කඩෙන් කන එක ලාභයි වගේම ලේසියි කියලා හිතුණා. අනික මම කෑම කන්න කැමතිම ආපනශාලාව තිබුණෙත් ළඟමයි. මම පෝෂණ ගුණය ගැන හිතුවේ නැහැ. ඒ මදිමට ප්‍රමාණයත් ඉක්මවලා කෑවා. සාමාන්‍යයෙන්  දෙන ප්‍රමාණයට වඩා වැඩියෙන් චිප්ස්, හැම්බර්ගර්ස් වගේම පැණි බීමත් ගත්තා.

ඔයාට වෙනස් වෙන්න ඕනේ වුණේ ඇයි?

මට අවුරුදු 20ක් 21ක් වගේ වෙනකොට මගේ සෞඛ්‍යය ගැන මම හිතන්න පටන්ගත්තා. මගේ බර වැඩියි කියලා මට දැනුණා. හැමතිස්සෙම කම්මැළිකමක් දැනුණා. ඒ නිසා මගේ කෑමවල වෙනසක් කරන්න ඕනේ කියලා මට හිතුණා.

කෑම පාලනය කළේ කොහොමද?

මම ටික ටික තමයි ඒක කළේ. මුලින්ම කන ප්‍රමාණය අඩු කළා. “මම කන අන්තිම කෑම වේල මේක නෙවෙයි. මට ආයෙත් කන්න පුළුවන්” කියලා මම මටම කියාගත්තා. සමහර අවස්ථාවල මම කෑම මේසේ දිහා බැලුවෙවත් නැහැ. ඒක කරන එක අමාරු වුණත් පස්සේ මට ලොකු සතුටක් දැනුණා.

ඔයාට ලොකු වෙනස්කම් කරන්න වුණාද?

සමහර කෑම බීම මම සම්පූර්ණයෙන්ම නතර කළා. මම පැණි බීම බොන එක නතර කරලා වතුර බොන්න පටන්ගත්තා. මම ඉස්සර වතුර බොන්න කැමති නැති නිසා ඒකට පුරුදු වෙන එක ලේසි වුණේ නැහැ. මම මුලදී වතුර වීදුරුවක් බිව්වට පස්සේ පැණි බීම උගුරක් දෙකක් බිව්වා. ඒත් කාලයක් යද්දී වතුර බොන්න පුරුදු වුණා.

ශරීර සෞඛ්‍යයට අහිතකර කෑම කන එක නතර කරනවාට අමතරව වෙන මොනවද කළේ?

මම වැඩිපුර ඇපල්, කෙසෙල්, ස්ට්‍රෝබෙරි, කොමඩු වගේ පලතුරු කන්න පුරුදු වුණා. ඒ වගේම කෑමට ගත්තේ මාළු, කුකුල් මස් වගේ ප්‍රෝටීන් අඩු කෑම. ප්‍රධාන කෑම වේල්වලට වැඩිපුරම කෑවේ එළවළු. ප්‍රධාන ආහාර වේල්වලට ගන්න කෑම ප්‍රමාණය අඩු කරගන්න ඕනේ නිසා අමතර වෙලාවලදී පෝෂ්‍යදායී කෑම ටිකක් කෑවා. කාලයක් යද්දී ගුණයෙන් අඩු කෑම කන්න තිබුණ ආසාවත් නැති වුණා.

ඔයා දැන් කඩෙන් කෑම කන්නෙම නැද්ද?

ඉඳලා හිටලා කනවා. ඒත් ඒ වගේ වෙලාවට මම කන ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙනවා. ගත්ත කෑම ප්‍රමාණය වැඩියි කියලා හිතුණොත් කන්න කලින්ම කොටසක් වෙන් කරනවා. පස්සේ ඒක ගෙදර ගෙනියනවා. ඒ නිසා පිටින් කෑම කෑවත් වැඩියෙන් කන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අනික කෑම නාස්ති වෙන්නෙත් නැහැ.

ඔයා වෙනස්කම් කරපු නිසා ඔයාට ලැබිලා තියෙන ප්‍රයෝජන මොනවද?

මගේ බර දැන් අඩු වෙලා. මං දැන් ඉස්සරට වඩා ක්‍රියාශීලියි. සෞඛ්‍යය ගැන සැලකිලිමත් වුණ එක ගැන මම සතුටු වෙනවා. මොකද ඒකෙන් මම පෙන්වන්නේ මට ජීවිතය දුන්න යෙහෝවා දෙවිට මම ගෞරවය කරනවා කියන එකයි. (ගීතාවලිය 36:9) මම ඉස්සර නම් හිතුවේ පෝෂ්‍යදායී ආහාර තෝරතෝරා කන එක මහ කම්මැළි වැඩක් කියලා. ඒත් දැන් පෝෂ්‍යදායී කෑම කන්න පුරුදු වෙලා තියෙන නිසා ආයේ කවදාවත් පරණ පුරුද්දට නම් වැටෙන්නේ නැහැ. *

^ 2 ඡේ. දරුවන් ස්ථූලතාවෙන් පෙළෙනවා නම් එය වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු තත්වයක්. යෞවන කාලයේ ස්ථූලතාවෙන් පෙළෙන දරුවන් වැඩිහිටියන් වූ පසුවත් ඒ තත්වය අද්දැකීමට තිබෙන ප්‍රවණතාව සියයට 70කින් වැඩි බව පර්යේෂකයන් පවසනවා.

^ 20 ඡේ. කෙනෙක් ගත යුතු ආහාර මොනවාද කියා පිබිදෙව්! සඟරාව නිර්දේශ කරන්නේ නැහැ. තමන් ගත යුතු ආහාර ගැන දැනගැනීමට වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. කෙසේවෙතත් සෞඛ්‍යයට අහිතකර ආහාරවලින් වැළකීම හොඳයි.