Skip to content

පටුනට යන්න

විශ්වාස කළ හැකි පොතක්—1වන කොටස

ඊජිප්තුව ගැන බයිබල් වාර්තාව

විශ්වාස කළ හැකි පොතක්—1වන කොටස

බයිබලය ලිවීමට වසර 1,600ක් පමණ ගත වුණා. එහි ලෝක අධිරාජ්‍යයන් හතක් ගැන සඳහන් වෙනවා. ඒවා පිළිවෙළින් ඊජිප්තුව, ඇසිරියාව, බැබිලෝනිය, මේද-පර්සියාව, ග්‍රීසිය, රෝමය සහ එංගලන්ත-ඇමරිකානු අධිරාජ්‍යයයි. මේ එක් එක් රාජ්‍යයන් ගැන ලිපි හතක් පුරා සාකච්ඡා කරනවා. මෙම ලිපි මාලාවේ අරමුණ වන්නේ, බයිබලය දෙවිගෙන් ලැබුණු විශ්වසනීය පොතක් බව පෙන්වීම හා මිනිසුන්ගේ අනිසි පාලනය නිසා ඇති වී තිබෙන දුක් වේදනා අවසන් වන බවට බලාපොරොත්තුවක් අප තුළ ඇති කිරීමයි.

ඊජිප්තුවේ ඇති පිරමිඩ සහ නයිල් ගඟ ගැන නොදන්නා කෙනෙක් නැහැ. බයිබල් ඉතිහාසයේ මුල්ම ලෝක අධිරාජ්‍යය ලෙස සඳහන් වන්නේ ඊජිප්තුවයි. ඊශ්‍රායෙල් සෙනඟ විශාල ජාතියක් බවට පත් වුණේ ඔවුන් එහි සිටි කාලයේදීයි. බයිබලයේ මුල් පොත් පහ ලියූ මෝසෙස් ඉපදුණේ සහ අධ්‍යාපනය ලැබුවේද එහිදීයි. පුරාණ ඊජිප්තුව ගැන බොහෝ තොරතුරු මෝසෙස් සඳහන් කර තිබෙනවා. ඒවා සත්‍යය බව ලෝක ඉතිහාසයෙන් හා පුරාවිද්‍යාවෙන් ඔප්පු වෙනවාද? උදාහරණ කිහිපයක් සලකා බලන්න.

විශ්වාස කළ හැකි තොරතුරු

නම් සහ නිලතල.

ඉතිහාසය ගැන සඳහන් තොරතුරු නිවැරදිද කියා දැනගත හැකි වන්නේ සිරිත් විරිත්, නම් ගම් සහ නිලතල වැනි දේවල් නිවැරදිව සඳහන් කර තිබීම මතයි. ඒ අනුව බයිබලයේ උත්පත්ති සහ නික්මයාම යන මුල් පොත් දෙකේ ඇති තොරතුරු ගැන කුමක් කිව හැකිද? උත්පත්ති පොතේ, යාකොබ්ගේ පුත් යෝසෙප් ගැන සඳහන් වෙනවා. ඔහු ගැනත් නික්මයාම පොත ගැනත් ජේ. ගැරෝ ඩංකන් මෙසේ සඳහන් කර තිබුණා. “බයිබල් ලේඛකයාට ඊජිප්තුවේ භාෂාව, එහි සිරිත් විරිත්, ආගමික විශ්වාසයන්, රජ මාලිගාව හා එහි සිරිත් විරිත් මෙන්ම නිලතල ගැන පූර්ණ අවබෝධයක් තිබුණ බව පැහැදිලියි. ඒ වගේම එක් එක් කාල වකවානුවල තිබූ නිලතලද නිවැරදිව සඳහන් කර තිබෙනවා. ඊජිප්තුව ගැන පරණ ගිවිසුමේ ඇති තොරතුරු නිවැරදියි කියලා විශ්වාස කරන්න තියෙන එක හේතුවක් වන්නේ එහි ‘පාරාවෝ’ යන පදවි නාමය යොදාගෙන තිබෙන ආකාරයයි. කෙනෙක් පාරාවෝ ඉදිරියේ පෙනී සිටින විට කතා කරන සහ හැසිරෙන ආකාරය ඉතා නිවැරදිව එහි ලේඛකයා සඳහන් කර තිබෙනවා.”—New Light on Hebrew Origins.

ගඩොල් සෑදීම.

ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ වහලුන් ලෙස සිටි කාලයේදී ඔවුන් මැටි සහ පිදුරු මිශ්‍ර කර ගඩොල් සෑදූ බව බයිබලයේ සඳහන් වෙනවා. (නික්මයාම 1:14; 5:6-18) * දැනට වසර ගණනකට පමණ පෙර ලියූ එක් පොතක ඒ ගැන සඳහන් වුණේ මේ ආකාරයටයි. “පුරාණයේදී වෙන කිසිම තැනක ඊජිප්තුවේ තරම් ගඩොල් සෑදුවේ නැහැ. එදා මෙන් අදත් ගොඩනැඟිලි බොහොමයක් ඉදි කර තිබෙන්නේ අව්වේ වේළාගත් ගඩොල්වලිනුයි. ඔවුන් ගඩොල් සාදන විට මැටිවලට පිදුරු මිශ්‍ර කළා.” ඒ අනුව බලන කල බයිබලයේ සඳහන් වන දෙය නිවැරදියි.—එම පොත Ancient Egyptian Materials and Industries.

රැවුල කැපීම.

පුරාණයේ සිටි හෙබ්‍රෙව් ජාතිකයන් චාරිත්‍රයක් වශයෙන් ඔවුන්ගේ රැවුල වැව්වා. නමුත් හෙබ්‍රෙව් ජාතිකයෙකු වූ යෝසෙප්, පාරාවෝව මුණගැසීමට යෑමට පෙර රැවුල කැපූ බව බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 41:14) ඔහු එසේ කළේ රැවුල වැවීම අපවිත්‍ර දෙයක් ලෙස ඊජිප්තුවරුන් සැලකූ නිසයි. “ඊජිප්තුවරුන්, රැවුල කපා සිටීම ගැන ආඩම්බර වුණා” කියා එක් පොතක සඳහන් වුණා. (Everyday Life in Ancient Egypt) රැවුල කැපීමට භාවිත කළ උපකරණ හා කණ්ණාඩි සමහර සොහොන්වලින් සොයාගෙන තිබෙනවා. ඊජිප්තුව ගැන සඳහන් කරන, මෝසෙස් මෙන්ම වෙනත් බයිබල් ලේඛකයන් සුළු කාරණා පවා පැහැදිලිව හා නිවැරදිව වාර්තා කර තිබෙන බව මෙයින් අපට පැහැදිලියි.

ව්‍යාපාර කටයුතු.

සලමොන් රජ ඊජිප්තුවරුන් සහ හිත්තීවරුන් සමඟ කළ ගනු දෙනු ගැන බයිබල් ලේඛකයෙකු වූ යෙරෙමියා වාර්තා කළා. අශ්ව රථයක් රිදී ෂෙකෙල් 600ක් වුණ අතර අශ්වයෙක් රිදී ෂෙකෙල් 150ක් එනම් රථයේ මිලෙන් හතරෙන් එකක් වූ බව ඔහු සඳහන් කරනවා.—1 රාජාවලිය 10:29.

සලමොන් රජුගේ කාලයේ අශ්වයන් හා අශ්ව රථ ගනු දෙනු කළ බව ග්‍රීක ඉතිහාසඥ හෙරෝඩටස් පැවසුවා. කැණීම්වලින්ද එය තහවුරු වී තිබෙනවා. බයිබලයේ සඳහන් මිල ගණන් සත්‍යය බව එක් පොතක සඳහන් දෙයින් ඔප්පු වෙනවා. “සාමාන්‍යයෙන් ඊජිප්තුවේ සෑදූ අශ්ව රථයක වටිනාකම අශ්වයන් හතරදෙනෙකුගේ වටිනාකමට සමාන වුණා” කියා එම පොතේ සඳහන් වෙනවා.—Archaeology and the Religion of Israel.

යුධ කටයුතු.

ඊජිප්තුවේ රජු වූ ෂීෂක්, යූදා දේශය ආක්‍රමණය කළ බව බයිබල් ලේඛකයන් වන යෙරෙමියා සහ එස්රා වාර්තා කළා. එය සිදු වුණේ “රෙහබෝවම් රජකම් කළ පස්වන අවුරුද්දේදී” එනම් ක්‍රිස්තු පූර්ව 993දියි. (1 රාජාවලිය 14:25-28; 2 ලේකම් 12:1-12) බොහෝ කාලයක් යන තුරු මේ ගැන දැනගැනීමට තිබුණේ බයිබලය පමණයි. නමුත් පසුව කානාක්හි තිබූ දේවාලයේ බිත්තියක් මත මේ වාර්තාව කැටයම් කර තිබෙන බව සොයාගත්තා.

එම කැටයමෙන් පෙන්නුම් කරන්නේ ෂීෂක් රජ, ආමොන් දෙවියා ඉදිරියේ වහලුන්ව මාරා දමන ආකාරයයි. ඒ වගේම ඔහු පරාජය කළ ඊශ්‍රායෙලයේ නගරවල නම්ද එහි සඳහන් වෙනවා. ඒවා බයිබල් වාර්තාවටද එකඟයි. ඊට අමතරව එහි ආබ්‍රහම්ගේ කෙත ගැනත් දක්වා තිබෙනවා. ඊජිප්තුවේ ලියවිල්ලක ආබ්‍රහම් ගැන සඳහන් වන මුල් වතාව එයයි.—උත්පත්ති 25:7-10.

මෙයින් පැහැදිලි වන්නේ බයිබල් ලේඛකයන් දෙවිට වග කිව යුතු බව තේරුම්ගෙන සිටි නිසා සත්‍ය තොරතුරු ඒ ආකාරයෙන්ම වාර්තා කළ බවයි. ඊට කදිම උදාහරණයක් වන්නේ ෂීෂක් රජු යූදා දේශය අත් පත් කරගත් බව සඳහන් වාර්තාවයි. නමුත් ඊජිප්තු ලේඛකයන් වාර්තා කළේ තම රජට හා රටවැසියන්ට වාසිදායක වුණ තොරතුරු පමණයි.

විශ්වාස කළ හැකි අනාවැකි

අනාගතයේදී නියත වශයෙන්ම සිදු වන දේ පැවසිය හැක්කේ බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවිට පමණයි. උදාහරණයකට ඊජිප්තුවේ මෙම්ෆිස් සහ තේබිස් යන නගර දෙකට සිදු වීමට නියමිත දේ පැවසීමට දෙවි, යෙරෙමියාට බලය දුන්නා. මෙම්ෆිස් හෙවත් නොෆ් නගරය වාණිජ, දේශපාලනික හා ආගමික මධ්‍යස්ථානයක් වී තිබුණත් එයට සිදු වන දේ බයිබලයේ විස්තර කර තිබුණේ මෙසේයි. “නොෆ් නගරයේ කිසිම වැසියෙකු ඉතුරු නොවන ලෙස එය ගින්නෙන් දැවී විනාශ වී යන්නේය. එයට සිදු වන දේ දකින සියලුදෙනා පුදුමයට පත් වන්නෝය.” (යෙරෙමියා 46:19) ඒ අනාවැකිය පැවසූ ආකාරයටම ඉටු වුණා. එක් පොතක සඳහන් වුණේ අරාබිවරුන් මෙම්ෆිස් නගරයේ නටබුන්වලින් පවා ගල් අරගත් බවයි. දැන් එම නගරය සමතලා භූමියක් වී තිබෙනවා.—එම පොත In the Steps of Moses the Lawgiver.

තේබිස් හෙවත් නෝ නගරය කලක් පුරා ඊජිප්තුවේ අගනුවර ලෙස තිබුණා. මෙම නගරය ආමොන් දෙවිගේ නමස්කාර මධ්‍යස්ථානයක්. නමුත් නගරයටත් එහි දෙවිවරුන්ටත් සිදු වුණේ මෙම්ෆිස් නගරයට සිදු වූ දෙයමයි. යෙහෝවා දෙවි එයට සිදු වන දේ ගැන පැවසුවේ මෙසේයි. ‘ආමොන්ටත් ඊජිප්තුවට හා ඇගේ දෙවිවරුන්ටත් ඇගේ රජවරුන්ටත් පාරාවෝටත් ඔහු කෙරෙහි විශ්වාස තබන සියලුදෙනාටත් මම දඬුවම් කරන්නෙමි. ඔවුන්ගේ ජීවිත විනාශ කර දැමීමට බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර් අතටත් මම ඔවුන්ව හසු කර දෙන්නෙමි.’ (යෙරෙමියා 46:25, 26) අනාවැකියේ සඳහන් වූ ආකාරයටම බැබිලෝනියේ රජ නෝ නගරය යටත් කරගත්තා. පසුව ක්‍රි.පූ. 525දී පර්සියාවේ රජු වූ IIවන කැම්බිසස් එය තම පාලනයට නතු කරගත්තා. අවසානයේදී රෝමවරුන් මෙම නගරය සම්පූර්ණයෙන්ම විනාශ කළා. එයින් බයිබලයේ සඳහන් වූ අනාවැකිය ඒ ආකාරයෙන්ම ඉටු වුණා. ඒ නිසා අනාගතය ගැන බයිබලයේ සඳහන් අනාවැකිද අපට විශ්වාස කළ හැකියි.

විශ්වාස කළ හැකි බලාපොරොත්තුවක්

බයිබලයේ ඇති මුල්ම අනාවැකිය සටහන් කළේ මෝසෙස්. ඒ ඊජිප්තුව ලෝක බලයක්ව පැවති කාලයේදීයි. * එහි විශේෂ තැනැත්තෙකු ගැන පොරොන්දුවක් දී තිබුණා. (උත්පත්ති 3:15) එම තැනැත්තා දෙවිගේ සතුරා වන සාතන්වත් ඔහුගේ දුෂ්ට පාලනයට සහයෝගය දෙන සියලුදෙනාවත් විනාශ කරන බව එහි සඳහන් වුණා. (යොහන් 8:44; 1 යොහන් 3:8) පසුව ඒ විශේෂ තැනැත්තා වන්නේ යේසුස් ක්‍රිස්තුස් බව තහවුරු වුණා.—ලූක් 2:9-14.

යේසුස් මුළු පොළොවම පාලනය කිරීමට නියමිතයි. එදාට ඔහු සියලු දුෂ්ටකම් මෙන්ම ‘අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කරන’ අයවද නැති කර දමනවා. (දේශනාකාරයා 8:9) පුරාණ ඊශ්‍රායෙලයේ නායකයෙකුව සිටි යොෂුවා, ඊශ්‍රායෙල්වරුන්ට දෙවි දීමට පොරොන්දු වූ දේශයට ඔවුන්ව ගෙන ගියා හා සමානව යේසුස් ක්‍රිස්තුස්ද දෙවිට කීකරු “මහත් සමූහය” සුරක්ෂිතව පාරාදීස පොළොවකට ගෙන යනවා.—එළිදරව් 7:9, 10, 14, 17; ලූක් 23:43.

බයිබලයේ යෝබ් පොතේ සඳහන් අනාවැකියත් සටහන් කළේ ඊජිප්තුව ලෝක අධිරාජ්‍යයක්ව තිබූ කාලයේදීයි. එහි සඳහන් වුණේ ‘මිනී වළේ’ සිටින ධර්මිෂ්ඨ අයව දෙවි නැවත නැඟිටුවන බවයි. (යෝබ් 33:24, 25) ඉන් අදහස් කරන්නේ මිය ගිය අයට නැවත නැඟිටීම තුළින් නැවත ජීවත් වීමේ ප්‍රස්තාව ලැබෙන බවයි. ඔවුන්ට සදාකාලයටම පාරාදීස පොළොවේ සිටීමට අවස්ථාව ලැබෙනවා. (ක්‍රියා 24:15) එමෙන්ම බයිබලයේ එළිදරව් පොතේ මෙවැනි පොරොන්දුවක්ද දෙනවා. ‘දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. ඔහු ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.’—එළිදරව් 21:3, 4.

මෙම ලිපි මාලාවේ ඊළඟ ලිපියේ සාකච්ඡා කරන්නේ ඇසිරියාව ගැනයි. එය ඊජිප්තුවට පසුව බලයට පැමිණි අධිරාජ්‍යයයි. බයිබලය විශ්වාස කළ හැකි පොතක් බව ඔබට එම ලිපියෙන්ද දැනගත හැකි වෙයි.

^ 7 ඡේ. ඔබ ළඟ බයිබලයක් නැත්නම් අන්තර්ජාලය ඔස්සේ බයිබලය කියවීමට පහත සඳහන් www.watchtower.org වෙබ් අඩවියට පිවිසෙන්න.

^ 18 ඡේ. දෙවි මෙම අනාවැකිය පැවසුවේ ඒදන් උයනේදීයි. පසු කාලයේදී මෝසෙස් එය සටහන් කළා.