Skip to content

 බයිබලයෙන් පිළිතුරක්

විනිශ්චය දවස කියන්නේ කුමක්ද?

විනිශ්චය දවස කියන්නේ කුමක්ද?

යෙහෝවා දෙවි ‘මුළු මිනිස් වර්ගයාම විනිශ්චය කිරීමට එක්තරා දවසක් නියම කර තිබේ’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 17:31) සාමාන්‍යයෙන් මොනයම් හෝ විනිශ්චයකට මුහුණ දීමට වැඩිදෙනෙක් කැමති නැහැ. ඔබත් එසේමද?

බයිබලයේ සඳහන් විනිශ්චය දවස නම් බිය උපදවන එකක් නොවේ. එය මිය ගොස් සිටින අය ඇතුළු සියලුම මිනිසුන්ට බොහෝ ආශීර්වාද උදා කර දෙන කාලයක්. (මතෙව් 20:28; යොහන් 3:16) දෙවි එවන් විනිශ්චය දවසක් නියම කර තිබෙන්නේ ඇයි? ඒ “දවසේදී” සිදු වන්නේ කුමක්ද?

විනිශ්චය දවසක් නියම කිරීමට හේතුව

දෙවි, මිනිසුන්ව පොළොව මත ජීවත් වීමට සැලැස්සුවේ ඔවුන්ව මෙහි තාවකාලික පදිංචිකරුවන් ලෙස තබා පසුව වෙනත් ස්ථානයකට මාරු කර යැවීමේ අරමුණ ඇතුව නොවේ. ඒ වෙනුවට මේ පොළොව මත සදාකාලයටම ජීවත් වීමටයි. නමුත් ශාරීරිකව මෙන්ම මානසිකවත් පරිපූර්ණ වූ මුල් මිනිස් යුවළ දෙවිට අකීකරු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට සාදාකාල ජීවිතය අහිමි වූ අතර ඔවුන්ගෙන් පැවතෙන්නන්ටද පාපය හා මරණය උරුම වුණා.—උත්පත්ති 2:15-17; රෝම 5:12.

විනිශ්චය දවස කියන්නේ අවුරුදු දහසක කාල පරිච්ඡේදයක්. මුල් මිනිස් යුවළ වන ආදම් සහ ඒව අහිමි කරගත් පරිපූර්ණ ජීවිතය මිනිසුන්ට නැවත අත් වන්නේ එම විනිශ්චය කාලය අතරතුරේදීයි. * එම විනිශ්චය දවසට ‘මුළු මිනිස් වර්ගයාටම’ මුහුණ දීමට සිදු වන බව බයිබලයේ ක්‍රියා 17:31හි සඳහන් වෙනවා. එහිදී එක් පිරිසකට පරිපූර්ණ ජීවිතයක් ගත කරමින් සදාකල් ජීවත් වීමට අවස්ථාව ලැබෙනවා. (එළිදරව් 21:3, 4) ඒ අනුව එම විනිශ්චය දවස තුළින් මිනිස් වර්ගයා සහ මේ පොළොව සම්බන්ධයෙන් යෙහෝවා දෙවි මුලින්ම අරමුණු කළ දේ ඉටු වීමට නියමිතයි.

එම දවසේ විනිශ්චයකරු ලෙස දෙවි පත් කර තිබෙන්නේ ක්‍රිස්තුස් යේසුස්වයි. ඔහු “ජීවත් වන අයවද මිය ගොස් ඇති අයවද විනිශ්චය කිරීමට නියමිත” බව බයිබලයේ සඳහන් වෙනවා. (2 තිමෝති 4:1) එහි සඳහන් “ජීවත් වන අය” කවුද? එමෙන්ම මිය ගොස් ඇති අයට නැවතත් මේ පොළොව මත ජීවත් වීමට අවස්ථාව ලැබෙන්නේ කෙසේද?

යේසුස් “ජීවත් වන අයව” විනිශ්චය කරයි

අප දැන් ජීවත් වන්නේ දෙවි විසින් මේ දුෂ්ට සමාජයත් ඊට අයත් සියලු දේත් විනාශ කිරීමට ආසන්න කාලයකයි. නමුත් දෙවි එම විනාශයෙන් ධර්මිෂ්ඨ මිනිසුන්ව ආරක්ෂා කිරීමටද නියමිතයි. යේසුස් විසින්  විනිශ්චය කරනු ලබන “ජීවත් වන අය” කියා හඳුන්වන්නේ ඔවුන්වයි.—එළිදරව් 7:9-14; 19:11-16.

අවුරුදු දහසක් පවතින විනිශ්චය කාලපරිච්ඡේදයේදී මේ පොළොවෙන් ස්වර්ගයට ගනු ලැබූ ස්ත්‍රීන් හා පුරුෂයන් 1,44,000දෙනෙක් ස්වර්ගයේ සිට පොළොව පාලනය කිරීමට යේසුස්ට සහය වෙයි. ඔවුන් රජවරුන් හා පූජකයන් ලෙස සේවය කරමින් යේසුස්ගේ ජීවිත පූජාව නිසා ලැබෙන ආශීර්වාද මිනිස් වර්ගයාට ලබා දීමට කටයුතු කරයි. එවිට දෙවි කෙරෙහි විශ්වාසය තබන මිනිසුන් ක්‍රමානුකූලව මානසිකවත් ශාරීරිකවත් පරිපූර්ණත්වයට පත් වෙයි.—එළිදරව් 5:10; 14:1-4; 20:4-6.

එම විනිශ්චය දවස අතරතුර කාලයේදී මිනිසුන්ට කිසිම බලපෑමක් කිරීමට නොහැකි තත්වයකට සාතන්වත් ඔහුගේ භූතයන්වත් පත් කිරීමට නියමිතයි. (එළිදරව් 20:1-3) කෙසේනමුත් අවුරුදු දහසක විනිශ්චය කාලය අවසානයේදී සියලුම මිනිසුන්ගේ විශ්වාසවන්තකම පරීක්ෂා කිරීමට නැවතත් සාතන්ව හා භූතයන්ව මුදා හරියි. එවිට දෙවිට විශ්වාසවන්ත මිනිසුන් එම පරීක්ෂණයෙන් ජය ගනියි. එමනිසා පාරාදීස පොළොවේ සාදාකල් ජීවත් වීම නමැති වටිනා වරප්‍රසාදය ඔවුන්ට හිමි වෙයි. නමුත් දෙවිට විරුද්ධව කැරලිගසන සියලුම මිනිසුන්ටත් සාතන් ඇතුළු භූතයන්ටත් අත් වන්නේ සම්පූර්ණ විනාශයක්.—එළිදරව් 20:7-9.

“මිය ගොස් ඇති අයව” විනිශ්චය කරන ආකාරය

මිය ගොස් සිටින අය විනිශ්චය දවසේදී නැවත ‘නැඟිටින’ බව බයිබලයේ සඳහන් වෙනවා. (මතෙව් 12:41) ඒ ගැන යේසුස් මෙසේ තහවුරු කළා. “සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාටම ඔහුගේ හඬ ඇසෙන කාලය පැමිණෙනවා. ඒ කාලයේදී යහපත් දේ කරන අය ජීවනය සඳහා නැවත නැඟිටීමක් ලබන අතර පිළිකුල් දේවල් කරන අය විනිශ්චයක් සඳහා නැවත නැඟිටීමක් ලබනවා.” (යොහන් 5:28, 29) එහි සඳහන් වන්නේ සමහරුන් පවසන ආකාරයේ අමරණීය ආත්මයක් ගැන නොවේ. කෙනෙක් මිය යන විට නොනැසී පවතින යමක් ඔහුගේ ශරීරයෙන් පිට වන බවක් බයිබලයේ පවසන්නේ නැහැ. ඒ වෙනුවට එහි සඳහන් වන්නේ මිය ගිය කෙනෙකු කිසිම සිහිකල්පනාවක් නැති තත්වයට පත් වන බවයි. (දේශනාකාරයා 9:5; යොහන් 11:11-14, 23, 24) යේසුස් පැවසූ ලෙස නැවත නැඟිටීම කියන්නේ මිය ගිය අයව ඔහු විසින් නැවතත් ජීවත් වීමට සැලැස්වීමයි.

යේසුස් මේ පොළොව පාලනය කරන කාලයේදී මිය ගොස් සිටින අය පාරාදීස පොළොවක නැවත නැඟිටීමට නියමිතයි

එසේ නැවත ජීවත් වන අයව විනිශ්චය කරන්නේ ඔවුන් මිය යෑමට පෙර කළ දේවල් අනුවද? නැහැ. ඔවුන් මිය යෑමට පෙර කළ පාප සියල්ලම මරණයත් සමඟම අහෝසි වෙනවා. “මිය ගිය පුද්ගලයා තම පාපයෙන් නිදහස් වී ඇති” බව බයිබලයේ පැහැදිලිවම සඳහන් වන්නේ ඒ නිසයි. (රෝම 6:7) ඒ අනුව දෙවි, දුෂ්ටයන්ව විනාශ කිරීමේදී ඉතුරු කරන යහපත් අය හා සමානව නැවත නැඟිටුවන අයවද විනිශ්චය කරන්නේ ඒ “දවසේදී” ‘ඔවුන් කරන ක්‍රියාවන් අනුවයි’. (එළිදරව් 20:12, 13) නැවත නැඟිටුවන අයගෙන් බොහෝදෙනෙකුට යෙහෝවා දෙවි ගැනත් ඔහු මිනිසුන්ගෙන් බලාපොරොත්තු වන දේ ගැනත් ඉගෙනගන්න මීට පෙර අවස්ථාවක් ලැබී නැහැ. මුල් වරට ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ විනිශ්චය දවසේදීයි. දෙවිගේ කැමැත්තට අනුව ජීවත් වී සදාකාල ජීවනය හිමි කරගැනීමේ අවස්ථාව එමගින් ඔවුන්ට හිමි වෙයි. එසේ නැවත නැඟිටුවනු ලබන අයගේ ක්‍රියාවලට අනුව එම විනිශ්චය දවස අවසානයේදී ඔවුන්ට සදාකාල ජීවනය හෝ සදාකාල විනාශය හිමි වෙයි.

බිය වීමට හේතුවක් නැහැ

විනිශ්චය දවසේදී යෙහෝවා දෙවිගෙන් ඉගෙනගැනීමට පමණක් නොව ඉගෙනගන්නා දේවල් අදාළ කරගනිමින් දෙවිගෙන් ආශීර්වාද ලබන්නත් අවස්ථාව ලැබෙයි. ඒ කාලයේදී ඔබ ප්‍රේම කළ මිය ගිය අය නැවත හමු වන විටත් ඔබ සහ ඔවුන් පරිපූර්ණ තත්වයකට පත් වන විටත් මොන තරම් ප්‍රීතියක් දැනෙයිද කියා සිතා බලන්න.

ඔබ ප්‍රේම කළ මිය ගිය අය නැවත හමු වන විට ඔබට මොන තරම් ප්‍රීතියක් දැනෙයිද!

දෙවි විනිශ්චය දවස අවසානයේදී මිනිසුන් තමන්ට පක්ෂපාතද නැද්ද යන්න පරීක්ෂා කිරීමට සාතන්ට ඉඩහැරීමට නියමිතයි. නමුත් අප එයට බිය විය යුතු නැහැ. විනිශ්චය දවස අවසාන වන විට අප ඒ සඳහා හොඳින් සූදානම් වී සිටියි. මෙතෙක් අප සලකා බැලූ ලෙස විනිශ්චය දවස කියන්නේ එදා ආදම් සහ ඒව කැරලිගැසීම නිසා මිනිස් වර්ගයාට අහිමි වූ පරිපූර්ණ ජීවිතය නැවතත් ලබා දීමට වූ දෙවිගේ අරමුණේ කොටසක්.

^ par. 7 බයිබලයේ “දවස” කියා සඳහන් කරද්දී ඉන් විවිධ කාල පරිච්ඡේදයන් අදහස් විය හැකියි. ඊට උදාහරණයක් සඳහා උත්පත්ති 2:4 බලන්න.