Skip to content

පටුනට යන්න

‘සියලු සැනසිල්ලේ දෙවිගෙන්’ ලැබෙන උපකාරය

‘සියලු සැනසිල්ලේ දෙවිගෙන්’ ලැබෙන උපකාරය

දාවිත් රජ බොහෝ දුක් පීඩා මෙන්ම ‘සිතින් වද’ වේදනා විඳි කෙනෙක්. නමුත් ඔහු එක් දෙයක් ස්ථිරව දැන සිටියා. ඒ අපගේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි අපව හොඳින් තේරුම්ගන්නා බව. ඔහු මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවියනි, ඔබ මාව සෝදිසි කර බලා මාව හොඳින් හඳුනාගත්තෙහිය. මා ඉඳගත්තත් සිටගත්තත් ඔබ එය දන්නෙහිය. ඉතා දුරක සිටියත් මා සිතන දේ ඔබ දන්නෙහිය. යෙහෝවා දෙවියනි, මාගේ මුඛයෙන් වචනයක් පිට වෙන්නත් කලින් මා පැවසීමට යන දේ ඔබ දන්නෙහිය.”—ගීතාවලිය 139:1, 2, 4, 23NW.

මානසික අවපීඩනය නිසා අපි අද්දකින ශාරීරික හා මානසික වේදනාව අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි දන්නා බව අපට ස්ථිරයි. මානසික අවපීඩනය ඇති වීමට හේතුවත් එවැනි පීඩාකාරී තත්වයන් සමඟ අප ක්‍රියා කළ යුතු ආකාරය ගැනත් ඔහු හොඳින් දන්නවා. අනාගතයේදී මානසික අවපීඩනය සදහටම සුව කරන බවත් ඔහු පවසා තිබෙනවා. අපට උපකාර කිරීමට සියලු සැනසිල්ලේ දෙවි වන යෙහෝවා දෙවි තරම් වෙන කිසිවෙක් නැහැ. ඔහු ‘අධෛර්යයට පත් වූවන්ව සනසන දෙවියි.’—2 කොරින්ති 7:6.

මානසික අවපීඩනයෙන් පෙළෙන අය මෙසේ සිතිය හැකියි. මට උපකාර කිරීමට දෙවිට හැකිද?

මානසික අවපීඩනයෙන් පෙළෙන්නන්ට දෙවිට ළං විය හැකිද?

දෙවි එවැනි අයට කොතරම් ළඟින් සිටිනවාදයත් ඔවුන් සමඟ දෙවි වාසය කරනවා හා සමානයි. දෙවි ඔවුන්ට මෙසේ පොරොන්දු කර තිබෙනවා. “පීඩිතයන්ට මම ළංව සිටිමි. මම පීඩාවට පත් වූ අසරණයන්ගේ සිත් සනසා ඔවුන්ව ශක්තිමත් කරන්නෙමි.” (යෙසායා 57:15NW) ඒ වගේම ‘යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටින බවත් තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගන්නා බවත්’ දැන සිටීම කොතරම් සැනසිලිදායකද!—ගීතාවලිය 34:18NW.

මානසික අවපීඩනයෙන් පෙළෙන්නන්ට දෙවිගෙන් සැනසිල්ල ලැබිය හැකිද?

දෙවිට නමස්කාර කරන අයට තමන් සිටින පීඩිත තත්වයෙන් මිදීමට උපකාර ඉල්ලා ඕනෑම අවස්ථාවකදී දෙවිට යාච්ඤා කළ හැකියි. මන්ද දෙවි ‘යාච්ඤා අසන තැනැත්තාණන්’ වන නිසයි. (ගීතාවලිය 65:2NW) බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “කිසි දෙයක් ගැන කනස්සලු නොවී සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න. එවිට, සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ඔබේ සිත්ද, මනස්ද ආරක්ෂා කරනවා ඇත.”—ෆිලිප්පි 4:6, 7.

ඔබ තුළ තිබෙන නොවටිනාකමේ හැඟීම නිසා ඔබගේ යාච්ඤා අසන්නේ නැහැයි කියා ඔබට සිතෙනවාද?

මානසික අවපීඩනය නිසා දෙවිව සතුටු කිරීමට අප කරන දේ ප්‍රමාණවත් නැහැයි කියා සිතිය හැකියි. ඒත් දෙවි ‘අපව දූවිල්ලෙන් සෑදූ බව ඔහු සිහි කරන’ නිසා අපගේ බිඳුණු හදවත් තුළින් නැගෙන සිතුවිලි ඔහු හොඳින් තේරුම්ගන්නවා. (ගීතාවලිය 103:14NW) “අපේ සිත් අපට කුමක් ගැන දෝෂාරෝපණය කළත්” අපට සැනසිල්ලක් ලැබෙන්නේ “දෙවි අපේ සිත්වලට වඩා උතුම් වන අතර, ඔහු සියලු දේ දන්නේය” යන කාරණය නිසයි. (1 යොහන් 3:19, 20) බයිබලයේ ගීතාවලිය 9:9, 10; 10:12, 14, 17; සහ 25:17 යන පදවල ඇති කාරණා ඔබේ යාච්ඤාවලටද ඇතුළත් කළ හැකියි.

අපගේ සිතුවිලි වචනවලට පෙරළිය නොහැකි තරමට පීඩිත තත්වයක සිටිනවා නම් කුමක් කළ හැකිද?

ඔබගේ දුක වචනයට පෙරළිය නොහැකි තරම් පීඩිත තත්වයකින් ඔබ පෙළෙනවා නම් අධෛර්යය වෙන්න එපා. “දයානුකම්පාවේ පියාණන්ද සියලු සැනසිල්ලේ දෙවිද” අපට අවශ්‍ය සෑම දෙයක් මෙන්ම අපේ සිතුවිලි පවා දන්නා නිසා ඔහු වෙතට ළං වන්න. (2 කොරින්ති 1:3) පළමු ලිපියේ සඳහන් කළ මරියා මෙසේ පවසනවා. “සමහර අවස්ථාවලදී මම යාච්ඤා කරන්නේ මොකක් ගැනද කියලා මට හිතාගන්නවත් බැහැ. ඒත් මාව තේරුම්ගන්නත් මට උපකාර කරන්නත් දෙවිට පුළුවන් කියලා මම දන්නවා.”

දෙවි අපේ යාච්ඤාවලට පිළිතුරු දෙන්නේ කෙසේද?

අප අද්දකින දුක් පීඩා දැන්ම දෙවි ඉවත් කරන බව බයිබලයේ සඳහන් වන්නේ නැහැ. කෙසේවෙතත් දෙවි මානසික අවපීඩනය ඇතුළු “සියලු දේ” සමඟ කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. (ෆිලිප්පි 4:13) ටීනාට හැඟුණු දේ සලකා බලන්න. “මට මුලින්ම මානසික අවපීඩනයක් ඇති වූ අවස්ථාවේදී මාව ඉක්මනින්ම සුව කරන්න කියලා මම යෙහෝවා දෙවිට යාච්ඤා කළා. මම හිතුවේ ඒ තත්වය මට දරාගන්න බැහැයි කියලා. ඒත් දැන් මම දෙවිට යාච්ඤා කරලා ඉල්ලන්නේ ඒක දරාගන්න ශක්තිය දෙන්න කියලයි.”

මානසික අවපීඩනයෙන් පෙළෙන අයට බයිබලයේ සඳහන්ව ඇති සහනදායි වදන් විශාල ශක්තියක් වී තිබෙනවා. සාරා නම් තැනැත්තිය වසර 35ක් පුරා මානසික අවපීඩනයෙන් පීඩා විඳි කෙනෙක්. බයිබලය කියවීමෙන් ලැබූ ප්‍රයෝජන ගැන ඇය මෙසේ සඳහන් කරනවා. “මට වෛද්‍යවරු ලබා දුන් ප්‍රතිකාර මම ඇත්තෙන්ම අගය කරනවා. ඒත් ඊට වඩා දේවවචනය වන බයිබලයෙන් ලැබුණු සැනසීම ලොකු ශක්තියක් වුණා. දැන් මම බයිබලය දිගටම කියවනවා.”

මානසික අවපීඩනයට නිමාවක්!

යේසුස් ක්‍රිස්තුස් මේ පොළොවේ සිටින විට විවිධ වේදනාවන් අද්දැක්ක අයට දෙවිගේ බලය උපකාරයෙන් සුවය ලබා දුන්නා. දරුණු අසනීපවලින් පෙළුණු අයට සුවය ලබා දීමට යේසුස් තුළ දැඩි ආශාවක් තිබුණා. ඒ වගේම වේදනාවෙන් සිටින අයගේ හැඟීම් ඔහු හොඳින් තේරුම්ගත්තා. මන්ද ඔහුත් වේදනාකිරී අද්දැකීම්වලට මුහුණ දී තිබුණා. ඔහු වේදනාකාරී මරණයක් අද්දැකීමට පෙර දින රාත්‍රියේදී “තමන්ව මරණයෙන් ගලවාගැනීමට හැකි වූ තැනැත්තාට බලවත් හැඬීමෙන් හා කඳුළින් යුක්තව කන්නලව් සහ ඉල්ලීම් ඔප්පු” කළා. (හෙබ්‍රෙව් 5:7) යේසුස් එවන් වේදනාකාරී අද්දැකීමකට මුහුණ දී තිබෙන නිසා “පරීක්ෂාවට ලක් වන අයගේ උපකාරයට පැමිණෙන්න ඔහුට පුළුවන.”—හෙබ්‍රෙව් 2:18; 1 යොහන් 2:1, 2.

මානසික අවපීඩනයට හේතු වන සියලුම තත්වයන් දෙවි ඉවත් කරන බව බයිබලයේ සඳහන් වෙනවා. ඔහු පොරොන්දු කර තිබෙන්නේ මෙසේයි. “මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද සාදන්නෙමි. පෙර කාලවලදී සිදු වූ දේවල් නැවත කිසි දිනෙක මතකයට නැඟෙන්නේ නැත. දැන් මා කරන්න යන දේ ගැන සිතා හද පත්ලෙන්ම සතුටු වන්න. ඒ සතුට සදහටම ඔබේ සිතෙහි රඳවාගන්න.” (යෙසායා 65:17, 18NW) ‘අලුත් අහසෙන්’ නියෝජනය කරන දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන විට ‘අලුත් පොළොව’ හෙවත් මිනිස් සමාජයට ප්‍රීතිමත් කාලයක් උදාවෙයි. ඒ කාලයේදී ඔවුන් ශාරීරිකව, මානසිකව නිරෝගී සුවයක් භුක්ති විඳින අතර දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක්ද භුක්ති විඳිනවා නියතයි.

“යෙහෝවා දෙවියනි, ගැඹුරු වළේ සිටියදී ඔබේ නාමය කියා මම ඔබට හඬගැසුවෙමි. ඔබේ උපකාරය ඉල්ලා මා ඔබට අයැදින විට ඔබේ දෙසවන් වසා නොගන්න. ඔබ මාගේ කන්නලව්වට ඇහුම්කන් දෙන බව ස්ථිරය. මා ඔබට කන්නලව් කළ විට ඔබ මා ළඟින්ම සිට, “භය නොවන්න” කියා මට කීවෙහිය.”—විලාප ගී 3:55-57, NW