Skip to content

පටුනට යන්න

සෙනෙහසේ නවාතැනක්

සෙනෙහසේ නවාතැනක්

අපි ජීවත් වන මේ “අන්තිම දවස්වල” බොහෝ මිනිසුන් තුළ “ජන්ම ස්නේහය නැති” බව බයිබලයේ පවසා තිබෙනවා. (2 තිමෝති 3:1, 3, 4) එම අනාවැකියේ සත්‍යතාව අප ජීවත් වන සමාජයේ පවුල්වල සිදු වන ළමා අතවරවලින් සනාථ වෙනවා. ජන්ම ස්නේහයක් නැහැයි කියා පැවසීමෙන් අදහස් වෙන්නේ පවුලේ සාමාජිකයන් අතර විශේෂයෙන්ම දෙමාපියන් හා දරුවන් අතර බැඳීමක් නොමැතිකමයි. බොහෝ දරුවන් අතවරවලට ලක් වෙන්නේ තමන්ගේම නිවසේදීයි.

සමහර පර්යේෂකයන් පවසන පරිදි බොහෝවිට දරුවන් අතවරවලට ලක් වෙන්නේ පියාගෙනුයි. වෙනත් පිරිමි ඥාතීන් අතින්ද දරුවන් අතවරයට ලක් වෙනවා. බොහෝවිට ගොදුරු වන්නේ ගැහැනු දරුවන් වුවද පිරිමි දරුවන්ද මෙයට ගොදුරු වෙන අවස්ථා තිබෙනවා. මේ අතර අතවර කරන කාන්තාවන්ද සිටිනවා. කෙසේවෙතත් බොහෝවිට පවුලක වැඩිහිටි දරුවන් විසින් බාල දරුවන්ට කරන අතවර වාර්තා වෙන්නේ නැති නිසා මෙහි නියම සංඛ්‍යාව දැනගැනීමට හැකි වෙන්නේ නැහැ. ඒත් දෙමාපියන් හැටියට ඔබ ඒ සියලුම ක්‍රියාවන් වැරදි බව තේරුම්ගත යුතුයි.

ඔබේ පවුල තුළ මෙවැනි දේවල් ඇති නොවීමට ඔබට කුමක් කළ හැකිද? පවුලේ සෑම සාමාජිකයෙක්ම අතවරවලින් ආරක්ෂා වීමේ අවශ්‍යතාව හා එය කළ හැකි ආකාරය දැන සිටිය යුතුයි. එවැනි ආරක්ෂාවක් සලසාගැනීමට මඟ පෙන්වීම් ලැබිය හැකි හොඳම පොත වන්නේ දෙවිගේ වචනය වන බයිබලයයි.

දේවවචනය හා මිනිස් සම්බන්ධතා

බයිබලයේ අඩංගු සදාචාර ප්‍රමිති පිළිපැදීම සෑම පවුලකටම හොඳ ආරක්ෂාවක්. බයිබලයේ ලිංගික කාරණා ගැන ගෞරවනීය මෙන්ම විවෘතවද කතා කර තිබෙනවා. ස්වාමිපුරුෂයෙක් හා භාර්යාවක් ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් සතුටක් ලැබීම වරදක් නොවන බව දෙවි පවසා තිබෙනවා. (හිතෝපදේශ 5:15-20) නමුත් විවාහයෙන් පිට එවැනි සම්බන්ධකම් පැවැත්වීම දෙවි හෙළාදැක තිබෙනවා. උදාහරණයක් ලෙස පවුලේ සාමාජිකයන් අතර සිදු වන ලිංගික සම්බන්ධකම් (ව්‍යාභිචාරය) බයිබලයේ තරයේ ප්‍රතික්ෂේප කරනවා. “ඔබ අතරේ සිටින කිසි පුරුෂයෙකු තම කිට්ටු නෑයෙකු සමඟ සයනය නොකළ යුතුයි. මා යෙහෝවා දෙවිය.”—ලෙවී කතාව 18:6, නව ලොව පරිවර්තනය, NW.

යෙහෝවා දෙවි පවුලේ සාමාජිකයන් අතර සිදු වන මෙවැනි නින්දිත ක්‍රියා “පිළිකුල්” ක්‍රියා ලෙස නම් කර තිබෙනවා. මේවා මරණ දණ්ඩනය ලැබිය යුතු වැරදි ලෙස සලකනු ලැබුවා. (ලෙවී කතාව 18:26, 29) මින් පැහැදිලි වන්නේ දෙවිගේ ප්‍රමිති ඉතා උසස් බවයි. අද  බොහෝ රටවලද දරුවෙක් පවුලේ කෙනෙක් අතින් අතවරයට ලක් වූ විට එය නීතියෙන් දඬුවම් ලැබිය යුතු වරදක් ලෙස සලකනවා. දරුවෙක් පවුලේ කෙනෙක් අතින් අතවරයකට ලක් වූ විටත් එය නීතියෙන් හඳුන්වනු ලබන්නේ දූෂණය කිරීමක් ලෙසයි. ඒත් බලහත්කාරයෙන් කරන්නේ නැත්නම් එවැනි තද බල වචනයක් පාවිච්චි කරන්නේ ඇයි?

බොහෝ අධිකාරීන් බයිබලයේ දරුවන් ගැන පවසා තිබෙන දේට එකඟ වෙනවා. ඒ කියන්නේ දරුවන්ට වැඩිහිටියන්ට මෙන් කරුණු කාරණා වටහාගැනීමේ හැකියාවක් නැහැ. මේ ගැන බයිබලයේ හිතෝපදේශ පොතේ මෙසේ පවසා තිබෙනවා. “මෝඩකම දරුවෙකුගේ සිතට බැඳී ඇත.” (හිතෝපදේශ 22:15) ඒ වගේම බයිබල් ලේඛකයෙක් වන පාවුල්ද මෙසේ පැවසුවා. ‘මම බිලිඳෙකුව සිටියදී බිලිඳෙකු මෙන් සිතුවෙමි. බිලිඳෙකු මෙන් කල්පනා කළෙමි. නමුත් දැන් මා වැඩිහිටියෙකු වී සිටින හෙයින්, මම බිලිඳෙකුගේ ගතිලක්ෂණ අත්හැර දමා සිටිමි.’—1 කොරින්ති 13:11.

දරුවෙක් ලිංගික ක්‍රියාවක් කියන්නේ මොකක්ද කියා දන්නේ නැහැ. ඒ වගේම ඉන් ඇති වන හානි ගැනද ඔහුට තේරුමක් නැහැ. මේ නිසා දරුවෙකුට ලිංගික ක්‍රියාවක යෙදීමට කැමැත්ත දීමට තරම් දැනුමක් නැහැ. අනික් අතට වැඩිහිටියෙක් (හෝ වැඩුණු දරුවෙක්) දරුවෙක් සමඟ ලිංගික සම්බන්ධකමක් පැවැත්වුවා නම් දරුවා එය වැළැක්වීමට කිසිම  උත්සාහයක් දැරුවේ නැහැයි කියා හෝ දරුවා ඒකට කැමති වුණා කියා නිදහසට හේතු කියන්න බැහැ. එමනිසා වැඩිහිටි තැනැත්තා දූෂණය කිරීමේ වරදට හසුවෙනවා. මෙය සාපරාධී ක්‍රියාවක් නිසා බොහෝ අවස්ථාවලදී සිර දඬුවම් ලැබිය යුතු වරදක් වෙනවා. මෙවැනි දූෂණයකට වග කිව යුත්තේ එය සිදු කළ තැනැත්තා මිස එයට ගොදුරු වූ දරුවා නෙවෙයි.

කනගාටුවට කරුණක් නම් මෙවැනි බොහෝ සාපරාධී ක්‍රියාවන්වලට නීතියෙන් දඬුවම් නොලැබීමයි. උදාහරණයක් ලෙස ඕස්ට්‍රේලියාවේ නීතියෙන් පියවර ගන්නේ සියයට දහයකට පමණ වන අතර වැරදිකරුවන් බවට පත් වෙන්නේ ඉන් කිහිපදෙනෙක් පමණයි. වෙනත් රටවලද තත්වය මේ හා සමානයි. රජයේ නීති මගින් පවුල්වලට ආරක්ෂාව ලැබෙන්නේ සුළු වශයෙන් වුවද බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් පවුල්වලට ඊටත් වඩා ආරක්ෂාවක් ලැබිය හැකියි.

දෙවි බයිබලයේ සඳහන් කර තිබෙන ප්‍රතිපත්ති වෙනස් කර නැති බව සැබෑ ක්‍රිස්තියානීන් දන්නවා. අපි කරන කියන සෑම දෙයක්ම අන් අයට නොපෙනුණත් දෙවිට ඒ සියල්ල පෙනෙනවා. බයිබලයේ ඒ ගැන පවසන්නේ මෙසේයි. “අප විසින් ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.”—හෙබ්‍රෙව් 4:13.

අපි දෙවිගේ නීති කඩ කර අන් අයට හිංසා පීඩා කරනවා නම් අපි ඒවාට ගණන් දිය යුතුයි. අනික් අතට පවුල සම්බන්ධයෙන් දෙවි දී තිබෙන නීති අපි පිළිපදිනවා නම් ඔහු අපට ආශීර්වාද කරනවා. ඔහු අපට දී තිබෙන සමහර ප්‍රතිපත්ති මොනවාද?

ප්‍රේමයෙන් බැඳුණු පවුලක්

“ප්‍රේමය” ගැන බයිබලයේ පවසන්නේ එය “එක්සත් කරවන සම්පූර්ණ වූ බැඳීමක්” කියායි. (කොලොස්සි 3:14) ප්‍රේමය නිකම්ම හැඟීමක් විතරක් නෙවෙයි. එයින් යහපත් දේ සඳහා පෙලඹීමක් ඇති කළ හැකි අතර සමහර ක්‍රියා ද්වේෂ කරන්නත් පුළුවන්. (1 කොරින්ති 13:4-8) පවුලක සාමාජිකයන්ට ප්‍රේමය පෙන්වීමේදී එකිනෙකාට ගෞරවය කිරීමත් කරුණාවෙන් සැලකීමත් ඊට ඇතුළත්. ඒ වගේම පවුලේ සෑම සාමාජිකයෙක්වම දෙවි සලකන ආකාරයට සැලකීමත් ඇතුළත්. දෙවි සෑම කෙනෙකුටම වැදගත් මෙන්ම ගෞරවනීය තැනක් දී තිබෙනවා.

පවුලේ මූලිකයා ප්‍රේමය පෙන්වීමේදී පෙරමුණ ගත යුතුයි. ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයන් පවුලේ මූලිකයා ලෙස කටයුතු කිරීමේදී දරුණු ලෙස තම භාර්යාව හා දරුවන් කෙරෙහි ආධිපත්‍යය පැවැත්වීම වැරදි බව ඔහු දන්නවා. ඔහු ආදර්ශයට ගන්නේ යේසුස්වයි. (එෆීස 5:23, 25) ඒ නිසා ඔහු භාර්යාවට කර්කශ නොවන අතර දරුවන් සමඟද ඉවසීමෙන් වැඩ කරයි. ඔහු තම පවුලට ලොකු ළැදිකමක් දක්වන නිසා පවුලේ සාමයට හා ප්‍රීතියට හානිකර යමක් සිදු වන විට හෝ ආරක්ෂාකාරී හැඟීමක් නැති බව හැඟෙන විට හෝ ඔහු එය වැළැක්වීමට හැකි සෑම පියවරක්ම ගනියි.

ඒ හා සමානව භාර්යාවක් හා මවක් වන ඇයටද ඉතා භාරදූර කාර්යයක් තිබෙනවා. යෙහෝවා දෙවි සහ යේසුස් තම සෙනඟට කොතරම් ආරක්ෂාවක් දෙනවාද කියා දැනගැනීමට සතුන් තම පැටවුන්ට ආරක්ෂාව ලබා දෙන ආකාරය ගැන කතා කරන නිදර්ශනයක් බයිබලයේ සපයා තිබෙනවා. (මතෙව් 23:37) මවක් ඒ හා සමානව තම දරුවන්ව ආරක්ෂා කරගත යුතුයි. තමන්ගේ ආරක්ෂාව හා යහපත ගැන සිතීමට පෙර තම දරුවන් ගැන සිතිය යුතුයි. දෙමාපියන් තමන් අතරේවත් දරුවන් දරුවන් අතරේවත් අනිසි ලෙස බලය පැවැත්වීමට හෝ හිංසාකාරී ලෙස සැලකීමට හෝ ඉඩ දෙන්නේ නැහැ. අන් අයටද ඒ ආකාරයෙන් සැලකීමට තම දරුවන්ට ඔවුන් ඉඩ දෙන්නේත් නැහැ.

පවුලේ සෑම සාමාජිකයෙක්ම එකිනෙකාට ආදරයෙන් හා ගෞරවයෙන් සලකන විට ඒ පවුල තුළ හොඳ අදහස් හුවමාරුවක් තිබෙන්න යන බව නම් නිසැකයි. විලියම් ප්‍රෙන්ඩගාස්ට් නම් කර්තෘවරයා පැවසුවේ මෙසේයි. “සෑම දෙමාපියෙක්ම තම දරුවන් සමඟ නිතිපතාම හොඳ සංවාදයක යෙදිය යුතුයි. මෙය ලිංගිකව සිදු වන අතවරවලින් ආරක්ෂා වීමට හොඳම ක්‍රමයක්.” බයිබලයේත් එවැනි හොඳ සංවාද නිතර පැවැත්විය යුතු බව පෙන්වා දී තිබෙනවා. (ද්විතීය කතාව 6:6, 7) ඒ වගේ පරිසරයක් ඔබේ නිවසේ ගොඩනැඟී තිබෙනවා නම් සෑම සාමාජිකයෙකුටම තමන්ට හැඟෙන දේ නොවළහා පැවසීමට හැකි වෙනවා.

අද අපි ජීවත් වෙන්නේ දුෂ්ට සමාජයක නිසා සියලුම ලිංගික අතවරවලින් ආරක්ෂා වීමට නොහැකි බව ඇත්තයි. ඒත් තමන්ට ආරක්ෂාව හා සෙනෙහස ලැබිය හැකි නිවසක් තිබෙනවා නම් එයින් ලොකු බලපෑමක් ඇති වෙන්න පුළුවන්. පවුලේ කෙනෙකු යම් දුෂ්කරතාවක් අද්දකින විට ඔහු දන්නවා අනුකම්පාව හා සහනය ලැබිය හැක්කේ කොතැනින්ද කියා. එවැනි ප්‍රේමයකින් පිරුණු නිවසක් ඇත්තටම මේ දුෂ්ට සමාජයේ තිබෙන ක්ෂේම භූමියක් කියා කියන්න පුළුවන්. ඔබේ පවුල තුළත් එවැනි වාතාවරණයක් ඇති කිරීමට ඔබ දරන වෑයමට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ලැබේවා!