Skip to content

පටුනට යන්න

මතකය නිසා දිවි රැකෙයි

මතකය නිසා දිවි රැකෙයි

 මතකය නිසා දිවි රැකෙයි

අයිවරි කෝස්ට්හි පිබිදෙව්! ලේඛක විසින්

අප්‍රිකාවේ අයිවරි කෝස්ට්වල තිබෙන අබිජ්ජාන් කියන නගරය හුඟක් කලබලකාරි නගරයක්. අපි ඒ පැත්තෙන් යද්දී එකපාරටම අපේ නෙත ගැටුණේ විශාල තණ බිමක් පුරා හා වැලවල්වල වේළෙන්න දමා තිබුණ පාට පාට රෙදි දහස් ගණන වෙතටයි. මෙතන මොකක්ද වෙන්නේ කියලා අපේ යාළුවන්ගෙන් අහද්දී ඔවුන් කිව්වේ මේවා ෆනිකෝලාගේ වැඩ කියලා.

කාටද මේ ෆනිකෝ කියන්නේ? ෆනිකෝ කියන්නේ රෙදි අපුල්ලන කණ්ඩායමකටයි. හිමිදිරි පාන්දර සිට ඇඳිරි වැටෙන තෙක්ම මේ අය බැන්කෝ ගඟේ කරන්නේ ජීවන සටනක්. ෆනිකෝ කියන නම හැදිලා තියෙන්නේ වචන කිහිපයක් එකතු වෙලයි. ඩයුලා හෝ ජූලා කියන භාෂාවෙන් ෆනි කියන්නේ “රෙදි” නැත්නම් “ඇඳුම්.” කෝ කියන්නේ “සේදීම.” එහෙම බලද්දී ෆනිකෝ කියන්නේ ‘රෙදි සෝදන්නා’ කියන එකයි.

මොනවද මේ කරන්නේ?

මේ අය කොහොමද මේ වැඩේ කරන්නේ කියලා බලන්න දවසක් අපි පාන්දරින්ම ඒගොල්ලෝ රෙදි සෝදන තැනට ගියා. පුදුම  වැඩ ගොඩක්නේ මෙතන තියෙන්නේ! බැන්කෝ ගඟේ හැම තැනම ලොකු ටයර් දාලා. හැබැයි මේවා පාවෙලා යන්නේ නැති විදිහටයි දාලා තියෙන්නේ. ඔවුන් සෝදන්න තියෙන රෙදි ටික ටයර් එක මැදට දාලා වතුරේ හිටගෙනම රෙදිවලට සබන් ගගා තදින් අතුල්ලමින් ඒවා සෝදනවා.

පාන්දරින්ම මොවුන් ගෙයින් ගෙට යන්නේ සෝදන්න තියෙන රෙදි සොයාගෙනයි. මේ අයට කිලිටි රෙදි දෙන සමහර අය ඉන්නේ ගඟ ළඟ ඉඳලා කිලෝමීටර් තුනක් විතර ඈතට වෙන්න. එකතු කරගත් රෙදි ටික පොට්ටනියක් බැඳගෙන ඔළුවේ තියාගෙන හරි, අත්කරත්තයකින් හරි තමයි ගඟ ළඟට අරන් එන්නේ. තම තමන්ගේ රෙදි පොට්ටනිය අරන් ගඟ ළඟට ආපු ගමන්ම එතන ඉන්න මේ කණ්ඩායමේ අනිත් අය ඔවුනොවුන්ගේ භාෂාවලින් කෑ ගහලා ඒ අයව පිළිගන්නවා. මෙතන රෙදි අපුල්ලන අය අප්‍රිකාවේ විවිධ ප්‍රදේශවලින් ආපු අයයි. සමහර අය අවුරුදු ගාණක් මෙතනම වැඩ කරලා තියෙනවා. ඒ වගේ කෙනෙක් තමයි බ්‍රාමා මහත්මයා. දැන් එයාගේ වයස අවුරුදු 65යි. එයා අවුරුදු 46ක්ම මෙතන වැඩ කරලා තියෙනවා. මේගොල්ලන්ට නිවාඩු තියෙන්නේ අවුරුද්දට දවස් තුනයි.

මේ වගේ රෙදි තොගයක් කවදාවත් ගෘහණියක් නම් සෝදලා නැතුව ඇති. අපි දැක්කා එක්කෙනෙක් එයාගේ රෙදි පොට්ටනිය ලිහලා රෙදි එකින් එක අරන් පොඟවනවා. ඊට පස්සේ සබන් ගගා ඒවා ගලේ ගහමින් තදින් අතුල්ලනවා. තද කුණු පැල්ලම් යවන්න බුරුසුවකුත් පාවිච්චි කරනවා. මේ තරම් වෙහෙසකට ලැබෙන්නේ කීයක්ද? කමිසයකට නම් රුපියල් හතයි. ඇඳ ඇතිරිල්ලකට නම් රුපියල් 14ක් විතර ලැබෙනවා. ඒකෙන් පේනවා මේ අය මෙච්චර රෙදි ගොඩක් දවසකට හෝදන්නේ ඇයි කියලා.

ඔවුන් සෝදන රෙදි ගොඩ දැක්කහම ඔබ කල්පනා කරයි ‘මේ රෙදිවලින් එක එක්කෙනාගේ රෙදි වෙන වෙනම හඳුනගන්නේ කොහොමද’ කියලා. අපි හිතුවා ඉන්දියාවේ රෙදි අපුල්ලන්නන්ම හදාගත්ත ක්‍රමයකට සමාන ක්‍රමයක් මේ අයත් පාවිච්චි කරනවා ඇති කියලා. ඒත් මේ ෆනිකෝ කණ්ඩායමේ අය ඊටත් වඩා වෙනස් විදිහකුයි පාවිච්චි කරන්නේ. ඒ ක්‍රමය හරිම සාර්ථකයි.

මේ ක්‍රමය අපේ මඟ පෙන්වන්නා මෙහෙමයි විස්තර කළේ. මුලින්ම ෆනිකෝලා කරන්නේ එක් එක් පවුලේ හැම කෙනාගෙම උස මහත දිහා බලලා සිරුරේ ප්‍රමාණයන් හිතේ සටහන් කරගැනීමයි. මේ නිසා එක් එක් ඇඳුම දිහා බැලුවම ඔවුන්ට පුළුවන් මේ ඇඳුම කාගේද කියලා හරියටම කියන්න. ඒ වගේම ඔවුන් මේ ඇඳුම්වල කිසිම අංකයක් දමාගන්නෙත් නැහැ. ඒ වෙනුවට කරන්නේ එක පවුලක සාමාජිකයන්ගේ ඇඳුම්වල එකම තැනින් ගැටයක් දමාගැනීමයි. උදාහරණයකට එක් පවුලකට අයත් අයගේ හැම ඇඳුමකම දකුණු අතේ ගැටයක් දැම්මා නම් අනිත් පවුලේ අයගේ ඇඳුම්වල ගැටය දමන්නේ ඇඳුමේ වෙනත් තැනකින්. ඇඳුම් සෝදද්දිත් එක එක පවුල්වල ඇඳුම් මාරු නොවෙන්න ඔවුන් වගබලා ගන්නවා. මේ අයට තිබෙන්නේ පුදුම මතකයක්. අපි මේ ෆනිකෝ කෙනෙක්ගෙන් ඇහුවා කවදාවත් කාගෙවත් ඇඳුම් මාරු වෙලා එහෙම නැද්ද කියලා. පුදුමෙන් වගේ අපි දිහා බලපු එයා මෙහෙම කිව්වා. ‘කවදාවත් එහෙම වෙලත් නෑ. කවදාවත් එහෙම වෙන්නෙත් නෑ.’

ඕන කෙනෙක්ට ඇවිල්ලා මෙතන රෙදි සෝදන්න ඉඩ දෙනවද? කොහොමටවත් නැහැ. මෙතන දේවල් කරන්නේ පිළිවෙළකටයි. කෙනෙක්ට ඕනෙ නම් ෆනිකෝ කණ්ඩායමට එකතු වෙන්න එයාට සිදු වෙනවා මාස තුනක් ෆනිකෝ කණ්ඩායමේ අද්දැකීම් තිබෙන කෙනෙක් යටතේ පුහුණු වෙන්න. මේ කාලය අතරතුර ඔහුට මතක තියාගැනීමේ විශේෂ උපක්‍රම උගන්වනවා. ඒක සාර්ථකව ඔහුට ඉගෙනගන්න බැරි වුණා නම් සිදු වෙන්නේ වෙන අතක් බලාගන්නයි. එයාගේ වැඩ  හොඳ නම් දිගටම එතන වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ එයාටම කියලා ටයර් එකකුත් ඒ කියන්නේ රෙදි සෝදන්න තැනකුත් පොඩි පඩියකුත් ලැබෙනවා.

සබන් කොහෙන්ද?

මෙතනදී විශේෂ තැනක් හිමි වෙන්නේ සබන්වලටයි. ඒ නිසා අලුත් කෙනෙකුට වුණත් පාම් තෙල්වලින් හදන සබන් පාවිච්චි කරන විදිහ කියල දෙනවා. මේ සබන්වලත් වර්ග තුනක් තියෙනවා. ඒ සුදු, කහ සහ කලු පාට සබන්. සුදු සහ කහ පාට සබන් පාවිච්චි කරන්නේ වැඩිය කිලිටි වෙලා නැති රෙදිවලට. කලු පාට සබන් පාවිච්චි කරන්නේ හුඟක් කිලිටි වෙලා තියෙන රෙදිවලට. කලු පාට සබන්වලට වැඩිපුර පාම් තෙල් භාවිත කරන නිසායි ඒවා කලු පාට. දවසකට එක්කෙනෙකුට සබන් කැට දහයක්වත් ඕනෙ වෙනවා. ඒ නිසා සබන් විකුණන අයත් ඒ අහළ පහළින්ම ඉන්නවා.

අපි ඊළඟට ගියේ සබන් හදන විදිහ බලන්නයි. මේ අය වැඩ පටන්ගන්නේ උදේ හයට. සබන් හදන්නේ මිදුණු පාම් තෙල්, පොටෑසියම්, ලුණු, සවර්සොප් නම් ගසෙන් ගත් යුෂ වර්ගයක්, පොල් තෙල් සහ කොකෝවා බටර් වැනි ස්වාභාවික අමුද්‍රව්‍යයන් යොදාගෙනයි. මේ සියල්ල එකට එකතු කරලා විශාල බැරල්වල දාලා පැය හයක් විතර උණු කරනවා. පසුව ඒවා ගන වීම සඳහා ටින් හෝ තැටි වගේ භාජනවලට දානවා. පැය කිහිපයකට පස්සේ ගන වෙලා තිබෙන සබන්වලින් ලොකු සබන් කැට කපාගන්නවා.

මේ සබන් බේසම්වල දාලා ඔළුව උඩ තියාගෙන ගැහැනු අය අරන් එනවා. කඩිමුඩියේ රෙදි අපුල්ලන ෆනිකෝ කණ්ඩායමේ අය ළඟට සබන් ගිහින් දෙන්නේ කොහොමද? මේ ගැහැනු අය වතුරට බැහැලා සබන් බේසම වතුර මත තියලා ඇදගෙන ගිහින් සබන් අවශ්‍ය අයට දෙනවා.

දවසක නිමාව

රෙදි සේදීම අවසන් වූ වහාම සමහර ඒවා වේළෙන්න බිම දානවා. තවත් සමහර ඒවා වැලවල්වල වනනවා. මේ අයට පොඩි විවේකයක් හරි ලැබෙන්නේ රෙදි ටික වේළෙන කල් විතරයි. අපේ ගමනේ ආරම්භයේදී අපේ නැත ගැටුණ ඒ ලස්සන දර්ශනය වුණේ ෆනිකෝලාගේ දිය හරඹේ අවසානයයි. හවස් වේගන එනකොට රෙදි ඔක්කොම එකතු කරලා අවශ්‍ය රෙදි විතරක් මැදීමට පටන්ගන්නවා. රෙදි මැදීම සඳහා ඔවුන් භාවිත කරන්නේ පොල්කටු ඉස්තිරික්කයකට සමාන ඉස්තිරික්කයක්. පාන්දරින්ම එකතු කරගත් කිලිටි රෙදි වෙනුවට දැන් ඔවුන් නිවෙස් හිමියන්ට භාර දෙන්නේ දිදුලන ඔපයක් එක් කළ රෙදි පිළියි.

ඈතින් පාට පාට රෙදි දහස් ගාණක් වනලා තියෙද්දී අපි හිතුවේ නැහැ මේ පිටිපස්සේ මෙච්චර වැඩ කොටසක් කරන්න තියෙනවා කියලා. අබිජ්ජාන්වල වැඩ කරන මේ ෆනිකෝ කණ්ඩායම බලන්න ගිය එක අපිට මහත් සතුටක් ගෙන දුන්නා. ඒ වගේම ලෝකේ පුරාම වෙහෙස මහන්සි වී රෙදි අපුල්ලන සෑම කෙනෙක්ගේම වැඩ අගය කරන්නත් මේ ගමන අපිට හේතු වුණා.

[10වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

අයිවරි කෝස්ට්

[12වන පිටුවේ පින්තූරය]

සබන් විකුණන කාන්තාවක්

[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

PhotriMicroStock™/​C. Cecil