Skip to content

පටුනට යන්න

මගේ වෘත්තිය අත්හැරියේ ඇයි?

මගේ වෘත්තිය අත්හැරියේ ඇයි?

 මගේ වෘත්තිය අත්හැරියේ ඇයි?

පැවසුවේ මාර්සෙලෝ නීම්

මම ඉපදුණේ උරුගුවේ මොන්ටෙවීඩියොවලයි. මගේ දෙමාපියන් දෙවි කෙනෙක්ව විශ්වාස කළත් කිසිම ආගමක් ඇදහුවේ නැහැ. මට වයස අවුරුදු හතරක් වෙද්දී මගේ අම්මා අනතුරකින් මිය ගියා. ඊට පස්සේ මම හැදුණේ මගේ නෑ කෙනෙක් ළඟයි. අවුරුදු 20ක් වෙද්දී විවිධ රටවලට යන්නත් ඒ ඒ රටවල සංස්කෘති ගැන තොරතුරු හොයලා බලන්නත් මට ඕනෙ වුණා.

කොලොම්බියාවේදී සර්කස් කණ්ඩායම්වල අත්උදව්කාරයෙක් හැටියට වැඩ කරන්න මට අවස්ථාව උදා වුණා. සංදර්ශනවලදී නරඹන්නන් අත්පුඩි ගසමින් ප්‍රීතියෙන් කෑමොර දෙද්දී මටත් ආසා හිතුණා සර්කස්කරුවෙක් වෙන්න. ඒ නිසා මම මුලින්ම බයිසිකලෙන් කරන දස්කම් පාන්න පුරුදු වුණා. අන්තිමේදී සෙන්ටිමීටර් 12ක් තරම් කුඩා බයිසිකලයකිනුත් මම දස්කම් පෑවා. ඒක ලෝකයේ තියෙන කුඩාම බයිසිකල්වලින් එකක්. මේ දස්කම් නිසා මාව දකුණු අමෙරිකාවේ ජනප්‍රිය වුණා විතරක් නෙවෙයි මම ඒකෙන් ලොකු සතුටකුත් ලැබුවා. වයස අවුරුදු 25දී මම මෙක්සිකෝවට ගිහින් විවිධ සර්කස් සංදර්ශනවලට සහභාගි වුණා.

වෙනත් මඟකට

මම ඒ ජීවිතයට හුඟක් ආස කළා. එක එක තැන්වලට යන්න, සුපිරි හෝටල්වල නවතින්න, එක එක වර්ගයේ කෑම ජාති කන්න ඒ කාලයේදී මට පුළුවන් වුණා. මොනවා තිබුණත් මගේ ජීවිතයේ හිස්කමක් මට දැනුණා. අනාගතය ගැන කිසි බලාපොරොත්තුවක් තිබුණෙත් නැහැ. ඒත් එක් දවාලකින් මගේ මුළු ජීවිතයම වෙනස් වුණා. අපේ සර්කස් කණ්ඩායමේ නායකයා සංදර්ශනය අතරතුරේදී ඔහුට ලැබුණ පොතක් මට දුන්නා. ඒ එළිදරව්වේ අවසන් ඉටුවීම අත ළඟයි! කියන පොතයි. * සංදර්ශනයේ මගේ කොටස ඉවර වුණාට පස්සේ පාන්දර වෙන කල්ම මම ඒක කියෙව්වා. ඒ පොත තේරුම්ගන්න එක අමාරු වුණත් ඒකෙ තියෙන රතු පාට මෘගයා සහ වේශ්‍යාව කියන කොටස් මගේ සිත්ගත්තා. (එළිදරව් 17:3–18:8) ඊට පස්සේ දවසක් මගේ අලුත් ගේ අස් කරද්දී, කලින් සඳහන් කළ පොතේ ප්‍රකාශකයන්ගේම පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක කියන පොතත් මට ලැබුණා. * ඒක තේරුම්ගන්න නම් එච්චර අමාරු වුණේ නැහැ. ඒත් එක්කම මම අනිත් අයට මේ ගැන කියන්න ඕනෙ කියලා හිතපු නිසා මට හම්බ වුණ හැමෝටම මම දැනගත්ත දේවල් කිව්වා.

ටික දවසක් යන කොට මට හැඟුණා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හමු වුණොත් හොඳයි කියලා. මගේ යහළුවාට එළිදරව් පොත දීලා ගිය ගැහැනු ළමයගේ  දුරකථන අංකය ඒ පොතේ තිබිලා මට හම්බ වුණා. මම ඇමතුමක් දුන්නට පස්සේ මේ ළමයගේ තාත්තා මට ආරාධනා කළා මෙක්සිකෝවේ ටිජුවානාවල තියෙන සාක්ෂිකරුවන්ගේ සමුළුවට එන්න කියලා. එතනදී ඒ අය අතර තිබුණ ප්‍රේමය දැක්කහම මේක තමයි සත්‍ය ආගම කියලා මම තේරුම්ගත්තා. මම සංදර්ශනවලට යන හැම තැනකදීම එහෙ තියෙන රැස්වීම්වලටත් ගියා. ඒ විතරක් නෙවෙයි අනිත් අයට බෙදා දෙන්න ප්‍රකාශනත් ගත්තා.

දිනක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්, යේසුස්ගේ මරණය සිහි කිරීමේ රැස්වීමට එන්න කියා මට ආරාධනා කළා. ඒත් එදා අපේ අලුත් සංදර්ශනය පෙන්වන මුල්ම දවසයි. සිහි කිරීමේ දවස වැටිලා තිබුණෙත් එදාටමයි. මම හිතුවේ මට සිහි කිරීමේ රැස්වීමට යන්න බැරි වෙයි කියලා. මම ඒ ගැන යෙහෝවා දෙවිට හුඟක් උවමනාවෙන් යාච්ඤා කළා. ඊට පස්සේ සිදු වුණේ පුදුම දෙයක්. සංදර්ශනයේ මගේ කොටස පෙන්නන්න පැය දෙකකට කලින් හදිසියේම විදුලිය ඇණ හිටියා! ඒ නිසා මම සිහි කිරීමේ රැස්වීමට සහභාගි වෙලා ඊට පස්සේ සර්කස් සංදර්ශනයට සහභාගි වුණා. එදා මට දැනුණා යෙහෝවා දෙවි මගේ යාච්ඤාවට පිළිතුරු දුන්නා කියලා.

දවසක් මම පත්‍රිකා බෙදමින් ඉන්නකොට සාක්ෂිකරුවන්ගේ වැඩිමහල්ලෙක් මාව දැකලා මම කරන දේ ගැන මට ප්‍රශංසා කළා. ඒත් එයා මට බොහොම කරුණාවෙන් කිව්වා සාක්ෂිකරුවන් සමඟ හවුල් වෙලා ඔවුන් දේශනා කරන ක්‍රමයට අනුව කළොත් වඩාත් හොඳයි කියලා. මේ අතරතුර එක්සත් ජනපදයේ සර්කස් කණ්ඩායමක වැඩි පඩියකුත් එක්ක රස්සාවකට මට ආරාධනයක් ලැබුණා. ඒ වෙලාවේ මම ගන්න ඕනේ මොන වගේ තීරණයක්ද කියලා මම කල්පනා කළා. රැකියාව භාරගන්නත් මට හිතුණා. ඒත් එහෙම කළා නම් මම තෝරගත්ත අලුත් මාර්ගයට මොනවා වෙයිද? මේ මගේ මුල්ම අභියෝගයයි. මට අවශ්‍ය වුණේ යෙහෝවා දෙවිව සතුටු කරන්නයි. මම සර්කස් පෙන්වීම අත්හරින්න තීරණය කළා. ඊට පස්සේ මගේ දිග කොණ්ඩෙත් කපලා යෙහෝවා දෙවිගේ සේවකයෙක් කියන්න පුළුවන් වෙන විදිහට ජීවිතේ අවශ්‍ය වෙනස්කම් කළා.

තෘප්තිමත් ජීවිතයක්

වර්ෂ 1997දී මම බව්තීස්ම වෙන්න ටික කාලයකට කලින් මට තවත් අභියෝගයකට මුහුණ දෙන්න සිදු වුණා. මෙවර ආරාධනය ලැබුණේ එක්සත් ජනපදයේ මියාමිවල ප්‍රසිද්ධ රූපවාහිනි වැඩසටහනකට සහභාගි වෙන්නයි. ඒත් මම ඒ ආරාධනය ප්‍රතික්ෂේප කළා. මගේ තීරණය දැනගත් නිලධාරීන් පුදුම වුණා. මම එහෙම කළේ යෙහෝවා දෙවිට කැප වෙලා බව්තීස්ම වෙන්න තිබුණ මගේ ආශාව නිසයි.

සමහර අය අහයි සර්කස් අත්හැරිය එක ගැන දුක් වෙන්නේ නැද්ද කියලා. නමුත් මට කියන්න තියෙන්නේ යෙහෝවා දෙවි සමඟ තියෙන මිත්‍රත්වයට වඩා වටිනා වෙන කිසිවක් මට නැහැ කියලයි. දැන් මට ජනප්‍රියත්වය, කීර්තිය නොලැබුණත් පූර්ණ-කාලීන දේවසේවකයෙක් හැටියට සේවය කරන නිසා මගේ ජීවිතේ කලින් දැනුණ හිස් බව දැන් දැනෙන්නේ නැහැ. ඉදිරියේදී පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමට බලාපොරොත්තුවක් දැන් මට තියෙනවා. ඒ වගේම මිය ගිය මගේ අම්මාව එදාට නැවත දැකගන්නත් මම ආශාවෙන් බලාගෙන ඉන්නවා.—යොහන් 5:28, 29.

[පාදසටහන]

^ 6 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයන්.

^ 6 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයන්.