Skip to content

පටුනට යන්න

පොහොසත් වීමට ඇති ආශාව එහි ප්‍රතිඵලය කුමක්ද?

පොහොසත් වීමට ඇති ආශාව එහි ප්‍රතිඵලය කුමක්ද?

 පොහොසත් වීමට ඇති ආශාව එහි ප්‍රතිඵලය කුමක්ද?

ලොව පුරා මිලියන 850කට වැඩි පිරිසක් දිවි ගෙවන්නේ කුසට ආහාරයක් නොමැතිවයි. මෙවැනි තත්වයක් තිබියදී වැඩියෙන් මුදල් තිබීම ගැටලුවක් කියා සිතිය හැකිද? කලින් ලිපියේ සඳහන් කර තිබූ බයිබල් පදයෙන් දුන් අනතුරු ඇඟවීම ඔබට මතකද? එහි අනතුරු ඇඟවූයේ මුදල් තිබීම හෝ පොහොසත් වී සිටීම ගැන නොව, මුදලට ප්‍රේම කිරීම හෝ පොහොසත් වීමට අදිටන් කරගැනීම ගැනයි.  මිනිසුන් මුදල් පසුපස දුවමින් එයින් ලබාගත හැකි දේවල් මිල දී ගැනීමට ඕනෑවට වඩා වෙහෙස වීමෙන් අත් වන ප්‍රතිඵලය කුමක්ද? මෙය දරුවන්ට බලපාන්නේ කෙසේද? දැන් අපි ඒ ගැන සලකා බලමු.

දරුවන්ට බලපාන අන්දම

එක්සත් ජනපදයේ, ගණන් බලා ඇති ආකාරයට වසරකට එක් දරුවෙක් රූපවාහිනි වෙළඳ දැන්වීම් 40,000ක් නරඹනවා. මීට අමතරව වීඩියෝ ක්‍රීඩා, අලුත්ම වර්ගයේ CD තැටි, පරිගණක වැඩසටහන් වගේම මිල අධික විලාසිතාවන් දකින ඔවුන් එවැනි දේවල් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන්ව සතුටු කිරීමට දෙමාපියන්ට ඕනෙ නිසා දරුවන් ඉල්ලන හැම දෙයක්ම අරන් දෙනවා. ඒත් දෙමාපියන් එහෙම කරන්නේ ඇයි?

තමන්ගේ ළමා කාලයේදී තමන්ට නොලැබුණ දේවල් දරුවන්ට අහිමි වෙනවාට දෙමාපියන් අකමැති වීම එක් හේතුවක්. ඒ වගේම ඉල්ලන දේවල් අරන් නොදුන්නොත් දරුවන් තමන්ට ආදරය කරන්නේ නැති වෙයි කියලා ඔවුන් භය වෙනවා. එක්සත් ජනපදයේ දෙමාපියන් සඳහා උපදෙස් සපයන එක් කණ්ඩායමක උපදේශකවරයෙක් මෙසේ පැවසුවා. “ඔවුන්ට ඕනේ  දරුවන්ව සතුටින් තියන ගමන්ම දරුවන්ගේ හොඳ හිත දිනාගන්නයි.” දරුවන්ට දිය යුතු කාලය රැකියාව මගින් සොරාගන්නා නිසා දරුවන් ඉල්ලන දේ ඔවුන්ට ලබා දීමෙන් ඒ අඩුව පිරවිය හැකි බව සමහරු සිතනවා. සතිය පුරා විඩාවට පත් වී සිටින දෙමාපියන් “නෑ, නෑ ඔයාට ඒක ඕනේ නෑ” කියා පැවසීමෙන් නිවසේ ඇති විය හැකි නොසන්සුන් තත්වය වැළැක්වීමට අවශ්‍ය නිසාද ඔවුන් එසේ කරනවා.

දරුවන් ඉල්ලන සෑම දෙයක්ම ඔවුන්ට ලබා දීමෙන් දෙමාපියන් දරුවන්ට කරන්නේ යහපතක්ද? එසේ කිරීමෙන් දරුවන් තව තවත් නරක් වෙන බවයි බොහෝ දෙමාපියන් අද්දැක තිබෙන්නේ. ඒ වගේම ඔවුන් එතරම්ම වුවමනාවෙන් ඉල්ලා ලබාගත් දේවල් කිසිම අගයක් නැතිව ටික දවසකින් කුණු කූඩෙට දානවා. විශ්වවිද්‍යාලයක අධ්‍යක්ෂකවරයෙක් පැවසුවේ මෙයයි. “මගේ අද්දැකීමේ හැටියට නම්, ළමයි මේක ඕනෙ ඒක ඕනෙ කියලා ඉල්ලගන්න හැම දෙයක්ම තියාගන්නේ සති දෙකක් විතරයි.”

ඉල්ලන හැම දෙයක්ම ලැබුණ දරුවෙක් ටිකෙන් ටික ලොකු වන විට කොයි වගේ හැසිරෙයිද? නිව්ස්වීක් සඟරාවේ පවසන්නේ “එවන් අයට ජීවිතේ කනස්සලු වීම් සමඟ සාර්ථකව කටයුතු කරන්න අමාරුයි” කියායි. මෙවැනි අය වෙහෙස මහන්සි වී වැඩ කරන්න පුරුදු වෙන්නේ නැහැ. සමහරුන් හරියට ඉගෙනගන්නේ නැහැ. රැකියාවේදීත්, විවාහයේදීත් ඔවුන් අසාර්ථක වෙනවා. ඔවුන් නිතර බලා සිටින්නේ දෙමාපියන්ගෙන් යැපෙන්නයි. ඒ වගේම මානසික පීඩනය මෙන්ම කාන්සාව වැනි තත්වයන්ටත් මුහුණ දෙනවා.

මෙහෙම බලද්දී ඔවුන්ට හැම දේම අහිමි වෙලා. වෙහෙස මහන්සි වී වැඩ කිරීම කොතරම් වටිනා දෙයක්ද කියන එක ඔවුන්ට වැටහෙන්නේ නැහැ. තමන් ගැන හොඳ හැඟීමකුත් ඔවුන්ට නැහැ. විශේෂඥ වෛද්‍යවරියක් වන ජෙසී ඕනේල් මෙසේ පවසනවා. “දරුවන්ට ඕනෙ ඕනෙ දේ ලබා දෙන දෙමාපියන් කරන්නේ තම දරුවන්ගේ ජීවිත දුක්ඛිත තත්වයකට ඇද දැමීමයි.”

වැඩිහිටියන්ට බලපාන අන්දම

විවාහක යුවළක් මුදල් ඔවුන්ගේ ජීවිතයේ වැදගත්ම දෙය ලෙස සලකනවා නම් ඔවුන්ගේ විවාහය තිබෙන්නේ අනතුරකයි. තවත් සඟරාවක මෙසේ පවසනවා. යුවළක් “විවාහ වෙලා හුඟ කාලයක් ගත වෙලා තිබුණත් හුඟක් සල්ලි තිබුණත් ඊළඟට ඔවුන් අතර ඇති ප්‍රශ්නයට හේතු වන්නේත් මුදල්මයි. ඒ වගේම යුවළ අතර ඇති වන ගැටලුව විසඳගන්නා ආකාරයෙන් ඔවුන්ගේ පවුල් ජීවිතය සාර්ථක වෙනවාද අසාර්ථක වෙනවාද එසේත් නැත්නම් ඔවුන් අතර ඇති බැඳීම මොන වගේද කියාත් හඳුනාගන්න පුළුවන්.” (Psychology Today නම් සඟරාව) යුවළක් මුදල් රැස් කිරීම ජීවිතේ මූලික දේ කරගන්නවා නම් ඔවුන්ගේ විවාහය තියෙන්නේ අනතුරකයි. වාර්තාවලින් පෙන්නුම් කරන්නේ සිදු වන දික්කසාදවලින් සියයට 90කටම මුදල් හේතු වී ඇති බවයි.

යුවළක් මුදල් හම්බ කිරීමට ජීවිතේ මුල් තැන  දුන්නොත් ඔවුන්ගේ විවාහයේ සතුටද ඔවුන්ට අහිමි වෙන්න පුළුවන්. උදාහරණයකට ණය බරින් සිටින දෙදෙනෙක් අතර නිතර අඬ දබර ඇති විය හැකියි. එමෙන්ම ඉක්මනින් කිපෙන්න හෝ එකිනෙකාව නුරුස්සන ගති ඇති වෙන්න හෝ පුළුවන්. සමහර අවස්ථාවලදී දෙදෙනාගෙන් කෙනෙක් මුදල් සොයන්න වැඩි පුර කාලය යෙදෙව්වොත් ඔවුන්ට එක්ව ගත කිරීමට තිබෙන කාලය නැති වෙන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් මිල අධික භාණ්ඩයක් ගෙන එය අනිත් කෙනාට නොකියා සිටියොත් කුමක් සිදු විය හැකිද? මෙවන් දෙයක් අවිශ්වාසයට, වරදසහිත බවට හේතු විය හැකි අතර ඔවුන්ගේ විවාහය දෙදරා යෑමටත් ඉඩ තිබෙනවා.

විවාහ වුණ හෝ නොවුණ සමහර අය මුදල් නිසා දිවි නසාගෙනත් තියෙනවා. දකුණු අප්‍රිකාවේ සමහර අය බටහිර රටවල ජීවිත ක්‍රමය අනුගමනය කරන්න උත්සාහ කරනවා. එයින් ඔවුන්ට ඇති වන මානසික පීඩනය දරාගත නොහැකි අවස්ථාවලදී ඔවුන් සිය දිවි නසාගැනීමට පවා පෙලඹෙනවා. එක්සත් ජනපදයේ එක් පුද්ගලයෙක් මුදල් නිසා ඇති වූ ප්‍රශ්නයක් හේතුවෙන්, බිරිඳවයි 12-වියැති පුතාවයි මරා දමා ඔහුත් සිය දිවි නසාගත්තා.

මුදල් පසුපස හඹා යන හැමෝම සිය දිවි නසාගන්නෙ නැති බව සත්‍යයක්. නමුත් එසේ කිරීම ඔවුන්ගේ ජීවිතයේ සතුට අහිමි වීමට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම එය ඔවුගේ ශරීර සෞඛ්‍යයටත් අහිතකර බලපෑමක් ඇති කරයි. රැකියාවේ කාර්ය බහුල වීම හෝ මූල්‍යමය ගැටලු, නින්ද නොයෑමට, දරුණු හිසරදයට හා උදරාබාධයන් ඇතිවීමටද හේතු වෙයි. ඒවා ඔවුන්ගේ ආයු කාලය දිනෙන් දින අඩු කරයි. කෙනෙක් තම ජීවිතයේ වඩා වැදගත්ම දේ මොකක්ද කියා තේරුම්ගන්නා විට ප්‍රමාද වැඩි වෙන්න පුළුවන්. ඒ වන විට යුවළ අතර ඇති විශ්වාසයටත් දරුවන්ගේ මානසිකත්වයටත් තමන්ගේ සෞඛ්‍යයටත් හානි සිදු වී හමාරයි. සමහර තත්වයන් යථා තත්වයට පත් කරගැනීමට හැකි වුණත් ඒ සඳහා දැඩි වෑයමක් දරන්න වෙයි. එවන් අය ‘බොහෝ වේදනාවලින් තමන්ටම ඇනගෙන’ තිබෙනවා.—1 තිමෝති 6:10.

ඔබේ තේරීම කුමක්ද?

බොහෝදෙනෙක් ප්‍රීතිමත් පවුල් ජීවිතයක්, හොඳ ශරීර සෞඛ්‍යයක්, වැඩවලින් තෘප්තියක් මෙන්ම හොඳින් ජීවත් වීමට ප්‍රමාණවත් මුදලක් බලාපොරොත්තු වෙනවා. කෙනෙකුගේ මූලික පරමාර්ථය මුදල් හම්බ කිරීම නම් ඉහත සඳහන් කළ කාරණා ගැන සමබරව හිතන්න ඔහුට එය බාධාවක්. මුදල් හම්බ කිරීමේ ආශාව අත්හරිනවා නම්, අඩු වැටුපක් ලබන රැකියාවක් හෝ කුඩා නිවසක් සොයාගැනීමට බොහෝදෙනෙකුට සිදු විය හැකියි. වඩා තෘප්තිමත් දිවියක් වෙනුවෙන් එවැනි පරිත්‍යාගයන් කිරීමට කැමති වන්නේ කීයෙන් කීදෙනාද? එක් කාන්තාවක් මෙසේ පවසනවා. ‘මට ඒ දේවල් කිසි දෙයක් ඕනෙ නැහැ. ඒත් ඒවා නැතුවත් බැහැ වගේ!’ තවත් සමහරුන් ජීවිතය සරල කරගන්න ආස වුණත් වෙන කෙනෙක් එසේ කරන තුරු බලා සිටිනවා.

ඔබ මොන වගේ කෙනෙක්ද? ඔබේ ජීවිතයේ එකම අරමුණ මුදල් හම්බ කිරීම නොවේ නම් එය ඇත්තෙන්ම පැසසිය යුත්තක්. ඒත් මුදල් නිසා තිබෙන  අවිවේකීභාවය මේ ලිපිය කියවන්නත් ඔබට බාධාවක්ද? එසේත් නැත්නම් ඔබ දැන් ගත කරන ජීවිත රටාවේ යම් වෙනසක් කරන්න ඕනෙ කියලා ඔබට හිතෙනවද? එසේනම් දැන්ම පියවර ගන්න. ඒ සඳහා කදිම මඟ පෙන්වීම් කිහිපයක් පහත කොටුවේ දක්වා තිබෙනවා.

කෙනෙක් මුදල් පිළිබඳව සමබරව හිතනවානම් එය ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍යයට, පවුලේ සමාදානයට වගේම පවුලේ සතුටටද හේතුවක් වෙනවා. කෙනෙක් ධන සම්පත් ලබාගැනීමට අදිටන් කරගැනීම දෙවි සමඟ තිබෙන ඔහුගේ මිත්‍රත්වයට බාධාවක්. මේ නිසා ක්‍රිස්තියානීන් මේ කාරණයේදී වඩාත් සැලකිලිමත් වෙනවා. ඒත් දෙවි සමඟ තිබෙන මිත්‍රත්වයට ධන සම්පත් බාධාවක් වෙන්නේ කොහොමද? දෙවි සමඟ ඇති මිත්‍රත්වය රැකගන්නේ කෙසේද? ඊළඟ ලිපියෙන් ඒ ගැන සලකා බලමු.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දරුවන් තමන්ට ඕනෙමයි කියා ලබාගත් දෙය ටික දවසකින් කුණු කූඩෙට දමනවා

[7වන පිටුවේ කොටුව/පින්තූරය]

වියදම් පාලනය කරන්න

ජීවිතය සරල කරගන්න හොඳ සැලසුමක් සහ අධිෂ්ඨානය අවශ්‍යයි. ඒ සඳහා යෝජනා කිහිපයක් මෙන්න:

අනවශ්‍ය වියදම් කපාහරින්න. ඔබ මිල දී ගන්නා දේ ඔබට අත්‍යවශ්‍යද කියා සිතා බලන්න. එය අත්‍යවශ්‍ය නොවේ නම් කපාහරින්න.

අත්හදා බලන්න. සරල ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයිද නැද්ද කියලා සැකයක් තිබෙනවා නම් මාස හයක් හෝ අවුරුද්දක් එය අත්හදා බලන්න. ඔබ සතුටක් ලැබුවේ මුදල් රැස් කළ කාලයේදීද නැත්නම් අත්හදා බැලීම කළ කාලයේදීද කියා ඔබටම තහවුරු කරගන්න.

මෙවන් සාකච්ඡාවලට දරුවන්වත් හවුල් කරගන්න. නිවසේ වියදම් පිළිබඳව දරුවන්ට වටහා දීමෙන්, ඔවුන් ඉල්ලන සෑම දෙයක්ම ලබා දෙන්න දෙමාපියන්ට බැරි ඇයි කියා ඔවුන් තේරුම්ගනියි.

මුදල් පිරිමසාගන්න දරුවන්ට පුහුණු කරන්න. යමක් ගැනීමේ ආශාවෙන් මුදල් ඉතිරි කිරීමටත්, ඉතිරි කළ පසු එය නොගන්න තීරණය කිරීමටත් දරුවාට හැකියි. කෙසේවෙතත් ඒ වන විට ඔහු යම් දුරකට ඉවසීමට හා තමන් සතු දේ අගය කිරීමට ඉගෙනගෙන තිබෙනවායයි පැවසිය හැකියි.

වියදම් පිරිමසන ක්‍රම භාවිත කරන්න. මිල අඩු භාණ්ඩ තිබෙන කඩ සාප්පු සොයාගන්න. ලැබීම් හා වියදම් ලැයිස්තුවක් සකස් කරගන්න. විදුලිය පිරිමසන ක්‍රම භාවිත කරන්න.

අරමුණ මතකයේ තබාගන්න. ඔබ වියහියදම් අඩු කිරීමට සැලසුම් කරන්නේ ඔබේ පවුල වෙනුවෙනුත් ඔබ වෙනුවෙනුත් වැඩි කාලයක් ගත කිරීමට බව මතක තබාගන්න. ඔබ මෙය කිරීමට සූදානම්ද?

[6වන පිටුවේ පින්තූරය]

පොහොසත් වීමට අදිටන් කරගැනීම විවාහය දෙදරා යෑමට හේතුවක් විය හැකියි