Skip to content

පටුනට යන්න

ටොලෙඩෝ දැකුම්කලු නගරයක්

ටොලෙඩෝ දැකුම්කලු නගරයක්

 ටොලෙඩෝ දැකුම්කලු නගරයක්

ස්පාඤ්ඤයේ පිබිදෙව්! ලේඛක විසින්

ටොලෙඩෝ කියන්නේ නිල්වන් නදියකින් වට වූ, විශාල කන්දක් මත පිහිටි දැකුම්කලු නගරයක්. මෙය යුරෝපයට අයත් රටක් වන ස්පාඤ්ඤයේ පිහිටා ඇති අතර එය වට කරගෙන සිටින්නේ ටාගුස් නම් නිල්වන් නදියයි. මේ දැකුම්කලු නගරය ගැන සහ එහි සංස්කෘතිය ගැන දැන් අපි ටිකක් කතා කරමු.

මේ නගරය පුරා එහා මෙහා දිවෙන පටු පාරවල් එහි පෞරාණික බව මැනවින් අපට කියා පායි. විශාල දොරටු, සුවිසල් මන්දිර හා නදිය හරහා නිමවා ඇති විශාල පාලම් එය යුරෝපයේ පිහිටා තිබූ කැපී පෙනෙන නගරයක් වූ බවට සාක්ෂි සපයයි.

අවුරුදු 700කට පමණ පෙර මෙම නගරය සමෘද්ධිමත් නගරයක් බවට පත් වී තිබුණ නිසා ඒ කාලය හැඳින්වූයේ ටොලෙඩෝවේ රන්වන් යුගය කියලයි. එහි ඇති පැරණි ගොඩනැඟිලි ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම සහ වෙනත් නිමැවුම්වලින් ඔප්පු වන්නේ විවිධ සංස්කෘතීන්වලට අයත් ජනයා මෙහි ජීවත් වූ බවයි. මේ නිසා ටොලෙඩෝ නගරය යුරෝපයේ පිහිටා තිබූ විශේෂ නගරයක් බවට පත් වුණා.

විවිධ සංස්කෘතීන්

මෙම නගරය යුරෝපයේ සිටි ආදිවාසීන් විසින් ගොඩනඟන ලද්දක්. රෝමානු ජාතිකයන් ස්පාඤ්ඤය යටත් කරගත් පසු ඔවුන් මේ නගරය එහි ප්‍රධාන නගරය බවට පත් කළා. ඉන්පසු එය කන්දක් මත පිහිටි නගරය යන අර්ථය ඇති ටොලීටම් ලෙසත් නම් කළා. “මේ නගරය  කුඩා වුණත් එය පිහිටා ඇති ස්ථානය නිසා මෙම නගරයට ආරක්ෂාවක් ලැබෙනවා” කියා එක් රෝමානු ඉතිහාසඥයෙක් පැවසුවා. රෝමානු පාලනයේ අවසානයත් සමඟම ජර්මානුවන් විසින් ස්පාඤ්ඤය යටත් කරගත්තා. ඔවුනුත් ටොලෙඩෝ ඔවුන්ගේ ප්‍රධාන නගරය කරගත්තා. ඒ වගේම හයවෙනි ශතවර්ෂයේදී, රෙකාර්ඩ් නම් රජ එවකට එහි පැවති ඒරියන්වාදීන්ගේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කර මුළු ස්පාඤ්ඤයම ඔර්තඩොක්ස් කතෝලික ධර්මයේ මධ්‍යස්ථානය බවට පත් කළ අතර ඔවුන්ගේ අගරදගුරු වාසය කළෙත් මෙම නගරයේයි.

 අටවන සියවසේ සිට 11වන සියවස දක්වා මෙහි පාලනය ගෙන ගියේ මුස්ලිම් ජාතිකයන් විසිනුයි. මේ නිසා කතෝලික ධර්මයට හිමි වී තිබූ තැන නැති වුණා. ඒත් ක්‍රිස්තියානීන්ට, යුදෙව්වන්ට හා මුස්ලිම් ජාතිකයන්ට තම තමන්ගේ ආගම් නිදහසේ ඇදහීමට මෙම පාලකයන් ඉඩ ලබා දුන්නා. වර්ෂ 1085දී VI වන අල්ෆොන්සෝ රජ (ඔහු කතෝලික භක්තිකයෙක්) මෙම නගරය යටත් කරගත්තා. මේ ආකාරයට විවිධ කාලවල පාලකයන් වෙනස් වූ නිසා මේ නගරයේ මිශ්‍ර සංස්කෘතියක් ඇති වී එය කාලයක් පැවතුණා.

මෙහි තිබෙන බොහෝ අලංකාර ගොඩනැඟිලි ඉදි කරනු ලැබුවේ ටොලෙඩෝවේ රන්වන් යුගය ලෙස හැඳින්වූ කාලයේදීයි. ඒ වගේම කතෝලික පාලකයන් මේ නගරය ඔවුන්ගේ අගනුවර බවට පත් කරගත්තෙත් මේ කාලයේදීමයි. එවකට සිටි යුදෙව්වන් වෙළඳාමට වගේම කලාවට අතිදක්ෂයන් වුණා. මුස්ලිම් ජාතිකයන් ගෘහ නිර්මාණ ශිල්පයේ දස්කම් පෑවා. ඒ නිසා මේ අය තම තමන්ගේ කුසලතාවන් භාවිත කරමින් මේ අලංකාර ගොඩනැඟිලි ඉදි කළා. ඊට අමතරව 12වන හා 13වන සියවස්වල සිටි යුදෙව්, මුස්ලිම් හා කතෝලික භාෂා විශාරදයන් මේ කාලයේදී තිබූ පොත් පත් ලතින් හා ස්පාඤ්ඤ භාෂාවන්ට පරිවර්තනය කිරීමෙහි උරෙන් උර ගැටී වැඩ කළා. මෙහි ප්‍රතිඵලයක් හැටියට අරාබිවරුන් විසින් ලියූ විද්‍යාත්මක පොත් පත්වල අඩංගු වූ දැනුම තම භාෂාවලින් තේරුම්ගැනීමට මෙම නරගවාසීන්ට අවස්ථාව සැලසුණා.

දාහතර වන සියවස වෙද්දී මෙහි ආගම් අතර තිබූ සමඟියට කනකොකා හඬන්න පටන්ගත්තා. ආගම හේතුවෙන් යුදෙව්වන් දහස් ගණනක් මරා දැමුවා. කොලම්බස් විසින් ඇමෙරිකාව සොයාගත් කාලයේදී මේ තත්වය තව තවත් උග්‍ර වුණා. ස්පාඤ්ඤයේ සිටි කතෝලිකයන් යුදෙව්වන්ට හා මුස්ලිම්වරුන්ට කතෝලික ආගමට හැරෙන ලෙස බල කර සිටි අතර ඔවුන් එසේ නොකරනවා නම් රට අත්හැර යන්න කියා අණ කළා.

කලාත්මක නිර්මාණ

ටොලෙඩෝ නගරයේ විශාල ගොඩනැඟිලි සියයකටත් වඩා වැඩියෙන් දැකගත හැකියි. මෙහි තිබෙන ඓතිහාසික වටිනාකම නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අද මේ නගරය ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා. නගරයට ඇතුල් වීම සඳහා ටාගුස් නදිය හරහා දමා ඇති විශාල පාලම් දෙක එය දුටුවන්ගේ නෙත් සිත් වසඟ කරයි. ඒවා ඉදි කර තිබෙන්නේ එකක් නගරයට නැඟෙනහිර දෙසින් හා අනෙක නගරයට බටහිර දෙසිනුයි. මෙම නගරයෙහි අසිරිය විඳගැනීමට පැමිණෙන සංචාරකයන් මොහොතක් නැවතී මෙය නැරඹීමට අමතක කරන්නේ නැහැ.

දුර තියා නගරය දෙස බලන විට ඔබේ නෙත ගැටෙන්නේ අහස උසට ඉදි කර තිබෙන සුවිසල් ගොඩනැඟිලි දෙක වෙතටයි. ඉන් එකක් හඳුන්වන්නේ ඇල්කාසා යන නමිනුයි. මෙම විශාල හතරැස් හැඩයෙන් යුත් ගොඩනැඟිල්ල පිහිටා තිබෙන්නේ නගරයේ නැඟෙනහිර දෙසිනුයි. එවකට රෝම ආණ්ඩුකාරයාගේ නිවහන වී තිබුණ මෙය පසුව ජර්මන්, අරාබි හා ස්පාඤ්ඤ රජවරුන්ගේ නිවහන වුණා. ඒත් අද මෙය හමුදාවට අයත් කෞතුකාගාරයක් ලෙසත් විශාල පුස්තකාලයක් ලෙසත් භාවිත කරනවා. පුරාණයේ, කතෝලික ආගමට සුවිශේෂී තැනක් හිමි වී තිබූ මේ නගරයේ, ඔබට දැකගත හැකි අනෙක් සුවිසල් ගොඩනැඟිල්ල දේවස්ථානයක් වීම පුදුමයක්ද!—17වන පිටුවේ කොටුව ලබන්න.

යුරෝපයේ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් වන එල් ග්‍රාකෝ (ග්‍රීක්) විසින් මෙම දේවස්ථානය ඇතුළුව අනෙකුත් සියලුම දේවස්ථාන ඔහුගේ සිත්තම්වලින් අලංකාර කර තිබෙනවා. යුදෙව්වන් වාසය කළ ප්‍රදේශයේ තිබෙන කෞතුකාගාරයක ඔහුගේ සිත්තම් සමහරක් දැකගන්න ලැබෙනවා.

නගරයට පිටින් පිහිටි උස් තැනක සිට මේ දෙස ඔබ බැලුවොත් එය මොන තරම් දැකුම්කලු නගරයක්ද කියා ඔබට පෙනේවි. නගරය පුරා විහිදී ඇති පටු පාරවල් මෙහි අලංකාරය තව තවත් වැඩි කරනවා. පැරණි කලාත්මක ගොඩනැඟිලි හා විසිතුරු අත්කම් භාණ්ඩ පිරි කඩ සාප්පු මෙහි එන සංචාරකයන්ව ආකර්ෂණය කරගන්නවා.

හිරු අවරට යෑමත් සමඟින් නගරයට පතිත වන හිරු රැස් දහරාවෙන් මෙම නගරයේ තිබෙන ගොඩනැඟිලි සියල්ලේම ඇති තේජවත් බව තව තවත් වැඩි කරනවා. ඒ වගේම මේ නගරයේ සිරි නරඹමින් සිටින අයට කාලය ගෙවෙනවා දැනෙන්නේවත් නැහැ. ඒත් සංචාරකයන්ට සිදු වෙනවා කෙසේ හෝ ටොලෙඩෝවලට “ආයුබෝවන්” කියන්න. ඔවුන්ට ඒක කරන්න හොඳම තැන වන්නේ ටාගුස් නදියේ දකුණු ඉවුරයි.

[17වන පිටුවේ කොටුව/පින්තූර]

ටොලෙඩෝවේ පෞරාණික වස්තු

මුස්ලිම්වරු, යුදෙව්වන් හා කතෝලිකයන් ටොලෙඩෝ නගරයේ විවිධ ප්‍රදේශ වෙන් කරගත්තා. ඒ ඒ ප්‍රදේශවල තම තමුන්ට ආවේණික සංස්කෘතියක් හා නීති පද්ධතියක් ක්‍රියාත්මක වුණා. ඔවුන් ගොඩනැඟූ දේවස්ථානවලින් සමහරක් අද සංචාරකයන්ගේ නෙත් වසඟ කර තිබෙනවා.

➤ අතිදක්ෂ මුස්ලිම් ගෘහ නිර්මාණ ශිල්පීන් අතින් නිම වුණ ක්‍රිස්ටෝ ඩිලාලස් නම් මුස්ලිම් පල්ලිය දහවන සියවසට උරුමකම් කියයි. මෙය පිහිටා තිබෙන්නේ ධනවත් මුස්ලිම්වරුන් ජීවත් වූ ප්‍රදේශයේයි.

➤ මෙම නගරයේ වැඩි පිරිසක් ජීවත් වුණේ යුදෙව්වන්. පසු කලෙක කතෝලික දේවස්ථාන බවට පත් වූ සිනගෝගය නමින් හඳුන්වන ඔවුන්ගේ නමස්කාර ස්ථාන දෙකක් තවමත් මෙම නගරයේ ඉතිරි වී තිබෙනවා. පැරණිම සිනගෝගයේ (සැන්ටා මාරියා ලා බ්ලන්කා) ඇතුල් පැත්තේ කර තිබෙන අලංකාර කැටයම් හා නිර්මාණ ඉහත දැක්වෙන මුස්ලිම් පල්ලියේ තිබෙන ඒවා හා සමානයි. අනෙක් සිනගෝගය (එල් ට්‍රාන්සිටො, දකුණු පස) දැන් කෞතුකාගාරයක්.

➤ ටොලෙඩෝවේ ඇති විශාලම කතෝලික දේවස්ථානය ගොඩනැඟීම ආරම්භ කර තිබෙන්නේ 13වන සියවසේදීයි. එය සාදා නිම කිරීමට අවුරුදු 200කට වඩා වැඩි කාලයක් ගත වී තිබෙනවා.

 [18වන පිටුවේ කොටුව/පින්තූර]

අසිපත් සහ රසවත් මාසිපෑන්

ටොලෙඩේ උසස් ගණයේ වානේවලට ප්‍රසිද්ධ නගරයක්. අවුරුදු 2,000කටත් වැඩි කාලයක් පුරා කම්මල්කරුවන් විසින් මෙම වානේවලින් අසිපත් සාදනු ලැබුවා. ඉතිහාසයේ සිටි වීර සොල්දාදුවන් පවා මේවා භාවිත කර තිබෙනවා. පසු කාලවලදී මේ අසිපත් කැටයම් දමා ඔප කෙරුණේ මුස්ලිම් කැටයම්කරුවන්ගේ දෑතින්වලිනුයි. එවැනි අසිපතක් මෙහි වම් පස ඇති රූපයෙන් ඔබට දැකගත හැකියි. අද අපිට මේවා බොහෝවිට දැකගැනීමට ලැබෙන්නේ විත්‍රපටවලිනුයි. වානේවලින් නිම වූ මෙම අසිපත් හා හේවායන්ගේ සම්පූර්ණ යුධ ඇඳුම් කට්ටල අද එම නගරයේ, පැරණි භාණ්ඩ විකිණීමට ඇති සාප්පුවලින් ලබාගත හැකියි.

එමෙන්ම ටොලෙඩෝ නගරයට රසවත් මාසිපෑන් හඳුන්වා දුන්නේ මුස්ලිම් ජාතිකයන්. ඒත් සමඟම මෙහි වැසියන්ගේ සම්ප්‍රදායක ආහාර අතරට මෙයත් ඇතුළත් කරගත්තා. මෙම රසවත් ආහාරය සාදාගන්නේ සීනි සහ ආමන්ඩ් ඇට භාවිත කරලයි. මුස්ලිම්වරුන් ස්පාඤ්ඤයට පැමිණි කාලයේදී මෙහි ආමන්ඩ් ගස් බහුලව තිබුණා. ඒත් සීනි තිබුණේ නැහැ. කෙසේවෙතත් වසර 50ක් යෑමට පෙර ඔවුන් විශාල බිම් ප්‍රමාණයක උක්ගස් වගා කර තිබුණා. එකොළොස්වන සියවස වන විට මාසිපෑන් මෙහි විශේෂ ආහාරයක් බවට පත් වුණා. මෙම ආහාරය තවමත් ප්‍රවීණයන් විසින් විශිෂ්ට යමක් ලෙස සලකනවා. ටොලෙඩෝහි තිබෙන සමහර වෙළෙඳසැල්වල විකිණීමට තිබෙන්නේ මාසිපෑන්වලින් සාදපු රස කැවිලි පමණයි. ඔබ ටොලෙඩෝවට ගියොත් කවදාවත් මේ කෑමේ රස නොබලා නම් එන්නේ නැති වෙයි.

[හිමිකම් විස්තර]

Agustín Sancho

[16වන පිටුවේ සිතියම]

r

පෘතුගාලය

ස්පාඤ්ඤය

මැඩ්‍රිඩ්

ටොලෙඩෝ

[18වන පිටුවේ පින්තූරය]

සාන් මාර්ටින් පාලම