Skip to content

ක්‍රිස්තියානීන් අන්යයන්ට දේශනා කළ යුතුද?

ක්‍රිස්තියානීන් අන්යයන්ට දේශනා කළ යුතුද?

 බයිබලයේ දෘෂ්ටිකෝණය

ක්‍රිස්තියානීන් අන්‍යයන්ට දේශනා කළ යුතුද?

පවුලෙන් හෝ පල්ලියෙන් පිටතදී ආගම ගැන කතා නොකරන්න කියා ඔබ ලබා ඇති ඉගැන්වීම් මගින් හෝ ඔබේ සංස්කෘතියෙන් ඔබට නියම කර තිබෙනවා විය හැකියි. මෙවැනි තත්වයකදී, යමෙක් කිසිදු දැනුම් දීමකින් තොරව බයිබලය අතැතිව ඔබේ නිවසට පැමිණියහොත් ඔබ කලබලයට පත්වීමට ඉඩ තිබේ. සමහරුන්ට මෙසේ වීමට තුඩු දී තිබෙන්නේ, ඉතිහාසයේදී ආත්ම-ගළවාගැනීමේ ව්‍යාපාරවල මුවාවෙන් ආගම් තුළ ප්‍රචණ්ඩකාරි ක්‍රියා සිදු වී තිබෙන නිසාය.

බොහෝ රටවල ඉතිහාසයේදී විශාල වශයෙන් ජනයාව හරවා ඇති බව පැවසේ. ඔවුන් ආගම වෙනස් කර තිබෙන්නේ ක්‍රිස්තුස්ට ඇති ප්‍රේමය නිසා නොව නොහැරුණොත් මරයි යන බිය නිසාය. බොහෝදෙනෙකු රට ගම අතැර ගොස් සැඟවුණු අතර තවත් අයගේ ජීවිත පවා නැති විය. සමහරුන්ව කණුවල පුලුස්සා දමන ලදි. ඔවුන්ට එසේ වූයේ තමන්ට පීඩාකරන්නන්ගේ ආගමට නොහැරීම හේතුවෙනි.

බයිබලයෙහි ඇති ආනුභාව ලත් ලියවිලි බලෙන් හැරවීමේ එවැනි ක්‍රියාවලට අනුබල දෙන්නේ නැත. මේ හේතු නිසා, කෙනෙකුගේ ආගමික විශ්වාසයන් අන්‍යයන් සමඟ බෙදාගැනීම වරදක් වේද? බයිබලයම ඊට පිළිතුරු දෙයි.

අධිකාරියක් ඇතුව ඉගැන්වීම

මුලින්ම යේසුස් ක්‍රිස්තුස් තැබූ ආදර්ශය සලකා බලන්න. ඔහු තමාට සවන් දුන් අය තුළ මහත් බලපෑමක් ඇති කළ දක්ෂ ගුරුවරයෙකු විය. (යොහන් 13:13, 15) ඔහු කන්ද උඩ දේශනාවේදී ඉගැන්වූ දේවල් සරල නමුත් බලවත් ඒවා විය. එහි බලපෑම කෙතරම්ද කිවහොත්, ඔහුට සවන් දුන් අය “ඔහුගේ ඉගැන්වීම ගැන විස්මයට පත් වූවෝය. මක්නිසාද ඔහු . . . බලය ඇති කෙනෙකු මෙන් ඔවුන්ට ඉගැන්වූවේය.” (මතෙව් 7:28, 29) වසර 2000ක් ගෙවී ගොස් ඇතත් ඔහුගේ ඉගැන්වීම් සෝදිසි කර බලන්නන් තුළ ඒවා දැනුදු බලපෑමක් ඇති කරයි. මෙම අදහසට එකඟ වෙමින් මහාචාර්ය හාන්ස් ඩීට බෙට්ස් මෙසේ පැවසීය. “කන්ද උඩ දේශනාව මගින් ඇති කළ බලපෑම යුදෙව් හා කිතු දහමේ පමණක් නොව බටහිර සංස්කෘතියේ සීමා වැටකඩොලු පවා බිඳගෙන ඉදිරියට යයි.”

තමා ඇරඹූ ඉගැන්වීමේ වැඩය තම මරණයෙන් පසුව පවා දිගටම පවතින බවත්, එය මල් ඵල ගැන්වෙන බවත් සහතික කරමින් ස්වර්ගාරෝහණය වීමට ස්වල්ප කලකට පෙර යේසුස් ආඥාවක් දුන්නේය. (යොහන් 14:12) සියලු ජාතීන් වෙතට ගොස් තමා අණ කළ “සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න” කියා ඔහු සිය ගෝලයන්ට උපදෙස් දුන්නේය. එම ප්‍රකාශය කරන විටම “ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න” යයි පැවසූ විට මෙම පැවරුමේ මූලික අරමුණ පැහැදිලි විය.—මතෙව් 28:19, 20; ක්‍රියා 1:8.

ප්‍රේරිත පාවුල්ගේ ආදර්ශයද සලකා බලන්න. ක්‍රිස්තියානි ධර්මයට හැරුණු පසු පාවුල් තම අලුත් ඇදහිල්ල ගැන අන් අයට පැවසීමට ලජ්ජා වූයේ නැත. (ක්‍රියා 9:17-19, 22) සිනගෝගවලදී කතා කරමින් ‘ක්‍රිස්තුස්ට වධ විඳීමටත් මළවුන්ගෙන් නැඟිටීමටත් අවශ්‍ය වූ බව පහදා දෙමින්, ශුද්ධ ලියවිලිවලට යොමු දක්වා’ ඔප්පු කිරීම පාවුල්ගේ පුරුද්ද වී තිබුණි. “යුදෙව්වන්ටද ග්‍රීක ජාතිකයන්ටද ඒත්තුගැන්වීම” සඳහා දක්ෂ ලෙස “ඔහු ශුද්ධ ලියවිලි පදනම් කරගෙන තර්කානුකූලව කතා කළේය.” එක් මූලාශ්‍රයකට  අනුව “ඒත්තුගැන්වීම” සඳහා යොදා තිබෙන ග්‍රීක් වචනයේ අර්ථය වන්නේ “තර්කානුකූලව පහදා දීමෙන් ඇති කරන බලපෑමෙන් හෝ හරි වැරැද්ද පිළිබඳව සලකා බැලීමට ඇති කරන බලපෑමෙන් සිතන ආකාරයේ වෙනසක් ඇති කිරීමය.” තර්කානුකූලව ඒත්තුගැන්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් පාවුල් “සෑහෙන සමූහයකට ඒත්තුගන්වා ඔවුන්ව වෙනත් මතයකට යොමු කළේය.”—ක්‍රියා 15:3; 17:1-4, 17; 18:4; 19:26, NW.

බලෙන් නම්මාගන්නවාද? ඒත්තුගන්වනවාද?

නවීන කාලවලදී, යම් ක්‍රමයක් යොදා බලෙන් හරවන බව පෙන්වීමට “හරවාගැනීම” යන යෙදුම භාවිත කර තිබේ. බයිබලය එවැනි ක්‍රියාවකට රුකුල් දෙන්නේ නැත. ඇත්තෙන්ම එහි උගන්වන්නේ තමන්ගේ දිවි ගෙවන ආකාරය තෝරාගැනීමේ අවස්ථාව හා වගකීම ඇතුව රිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකියාව දී මිනිසාව මැවූ බවය. දෙවිට නමස්කාර කරන ආකාරය තීරණය කිරීමද ඊට ඇතුළත් වේ.—ද්විතීය කථාව 30:19, 20; යෝෂුවා 24:15.

තමාට ලැබී ඇති පුදුමාකාර බලය හා අධිකාරිත්වය තමන් පවසන දේ පිළිගැනීමට බල කිරීම හෝ බලෙන් නම්මාගැනීම සඳහා කිසිවිටකත් යොදා නොගැනීමෙන් යේසුස් දෙවි දුන් අයිතියට ගරු කළේය. (යොහන් 6:66-69) ඔහු ඔවුන්ගේ හෘදවලට ළඟාවීමේ අරමුණ ඇතුව නිවැරදි තර්කයන් හා නිදසුන් භාවිත කළ අතර අදහස් විමසන ප්‍රශ්නද ඇසුවේය. එසේ ඔහු ඔවුන් තුළ පෙලඹීමක් ඇති කළේය. (මතෙව් 13:34; 22:41-46; ලූක් 10:36) මේ ආකාරයෙන්ම අන්‍යයන්ට ගෞරව කිරීමට යේසුස් තම ගෝලයන්ට ඉගැන්නුවේය.—මතෙව් 10:14.

පාවුල් තම දේවසේවය සඳහා යේසුස්ගේ ආදර්ශය අනුගමනය කළ බව පැහැදිලිය. නිසි තර්කයන් ඉදිරිපත් කරමින් ශුද්ධ ලියවිලි ඒත්තුගැන්වූ නමුත් පාවුල් අන්‍යයන්ගේ හැඟීම් හා අදහස්වලට ගරු කළේය. (ක්‍රියා 17:22, 23, 32) අපේ මැවුම්කරුට ක්‍රියාශීලීව සේවය කිරීමට අප පෙලඹිය යුත්තේ දෙවිට හා ක්‍රිස්තුස්ට ඇති ප්‍රේමය මගින් බව ඔහු තේරුම්ගත්තේය. (යොහන් 3:16; 21:15-17) එබැවින්, අප ගන්නා තීරණය පෞද්ගලික එකකි.

පෞද්ගලික තීරණය

මිල දී ගන්නා නිවහන, සේවය කරන ස්ථානය හා දරුවන් ඇති දැඩි කරන ආකාරය වැනි ජීවිතයේ ප්‍රධාන තීරණ ගන්නා විට බුද්ධිමත් ජනයා හදිසි වන්නේ නැත. තමන් තෝරාගන්නා දේ පිළිබඳව පර්යේෂණය කළ පසු සොයාගත් කරුණු ගැන මෙනෙහි කර, සමහරවිට ඒ සම්බන්ධයෙන් යම් උපදෙස්ද ලබාගනු ඇත. ඔවුන් තීරණයක් ගන්නේ මේ සියල්ල සලකා බැලීමෙන් පසුවය.

අප දෙවිට නමස්කාර කළ යුතු අන්දම සම්බන්ධයෙන් තීරණය කිරීමේදී, වෙනත් ඕනෑම තීරණයක් ගැනීම සඳහා අප වැය කරන කාලය හා වෑයමට වඩා වැඩි කාලයක් හා වෑයමක් ඒ සඳහා දැරිය යුතු වේ. එය දැන් අප ජීවිතය ගත කරන අන්දමටත්, ඊටත් වඩා වැඩියෙන් අනාගතයේදී සදා ජීවනය ලැබීමේ අපේක්ෂාවටත් බලපානු ඇත. පළමුවන සියවසේ සිටි බෙරීයයේ ක්‍රිස්තියානීන් මෙය තේරුම්ගත් බව පැහැදිලිය. ප්‍රේරිත පාවුල් ඔවුන්ට ශුභාරංචිය පැවසුවේ පෞද්ගලිකව වුවත්, තමන්ට ඉගැන්වූ දේ සත්‍යය බව සහතික කරගැනීමට ඔවුහු දිනපතා පරෙස්සමින් ශුද්ධ ලියවිලි සෝදිසි කර බැලූහ. ප්‍රතිඵලයක් වශයෙන් “ඔවුන්ගෙන් බොහෝදෙනෙක් අදහන්නන් බවට පත් වූහ.”—ක්‍රියා 17:11, 12, NW.

අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ යේසුස් විසින් සූදානම් කරන ලද ඉගැන්වීමේ හා ගෝලයන්-සෑදීමේ වැඩය දිගටම කරමින් සිටිති. (මතෙව් 24:14) තමන්ට කැමති ආගමක් ඇදහීම සඳහා අන්‍යයන්ට ඇති අයිතියට ඔවුහු ගරු කරති. එහෙත් ඔවුහු තම ආගමික විශ්වාසයන් අන්‍යයන් සමඟ බෙදාගැනීම සම්බන්ධයෙන් බයිබලයෙහි දී ඇති ක්‍රමය අනුගමනය කරති. ඔව්, තමන් ජීවිත ගැළවීමේ වැඩක යෙදෙමින් සිටින බව සලකන ඔවුහු ශුද්ධ ලියවිලිවලින් අවංක පැහැදිලි කිරීමක් කරති.—යොහන් 17:3; 1 තිමෝති 4:16.