Skip to content

පටුනට යන්න

 අතීතයෙන් සටහනක්

අල්හසේන්

අල්හසේන්

අබු අලි අල්හසේන් ඉබන් අල් හයිතාම් කියන නම ඔබ කලින් අහලා නැතුව ඇති. ඒත් ඇතැම් අය ඔහුව හඳුන්වලා තියෙන්නේ “විද්‍යාවේ දියුණුවට මහඟු මෙහෙවරක් කළ විද්වතෙක්” විදිහට. බටහිර ලෝකයේ අය අල්හසේන් යන නමින් හඳුන්වන ඔහු විද්‍යාවේ දියුණුවට දායක වුණේ කොහොමද කියලා දැන් අපි සොයා බලමු.

අල්හසේන් මෙලොව එළිය දුටුවේ දැන් ඉරාකයට අයිති නගරයක් වන බස්රාවල. ඒ ක්‍රි.ව. 965දී විතර. ඔහු තාරකා විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, වෛද්‍ය විද්‍යාව, සංගීතය, දෘෂ්ටි විද්‍යාව සහ කාව්‍යකරණය වගේ විවිධ විෂයන් පිළිබඳ උනන්දුවක් දැක්වූ කෙනෙක්. ඔහු කළ අධ්‍යයනයන් කිහිපයක් ගැනත් ඒවා අපිට ප්‍රයෝජනවත් වෙලා තියෙන විදිහ ගැනත් බලමු.

නයිල් ගඟ හරහා වේල්ලක්

නයිල් ගඟ හරහා වේල්ලක් බැන්දේ 1902දී. ඒත් ඊට අවුරුදු 1,000කට විතර කලින් එවැනි අදහසක් මුලින්ම ඉදිරිපත් කළේ අල්හසේන්.

නයිල් ගඟ හරහා වේල්ලක් ඉදි කිරීමෙන් ජලගැලීම් සහ නියන් තත්වයන් පාලනය කිරීමට හැකියාවක් තියෙනවා කියලා අල්හසේන්ට ලොකු විශ්වාසයක් තිබුණා. ඒ ගැන ඊජිප්තුවේ පාලකයා වූ කලිෆ් අල් හකිම්ට ආරංචි වුණාම ඔහු අල්හසේන්ව ඊජිප්තුවට කැඳෙව්වා. ඒත් ඊජිප්තුවට ඇවිත් නයිල් ගඟ දැක්කාට පස්සේ වේල්ල බඳින එක තමන්ට කරන්න බැරි දෙයක් කියලා අල්හසේන් තේරුම්ගත්තා. ඒත් ව්‍යාපෘතියට අතගහන්න අකමැතියි කියලා කෲර පාලකයෙක් වුණ කලිෆ් දැනගත්තොත් තමන්ට දඬුවම් කරයි කියන බයට අල්හසේන් උන්මත්තකයෙක් විදිහට හැසිරුණා. 1021දී කලිෆ් මිය යන තුරුම අල්හසේන් අවුරුදු 11ක් පුරා උන්මත්තකයෙක් ලෙස රඟපෑවා. ඔහුව රඳවා තැබූ ඒ කාලය පාවිච්චි කළේ ඔහු උනන්දුවක් දැක්වූ වෙනත් විෂයන් ගැන අධ්‍යයනය කරන්නයි.

දෘෂ්ටි විද්‍යාව ගැන ලියූ පොත

අල්හසේන් දෘෂ්ටි විද්‍යාව ගැන ලිව්ව වෙළුම් 7කින් යුත් පොතේ වැඩිහරියක්ම ලියා අවසන් කරන්න ඔහු උන්මත්තකයෙක් ලෙස රඟපෑ කාලය පාවිච්චි කළා. ඒ පොත “භෞතික විද්‍යාව ගැන ලියවුණ විශිෂ්ටතම පොත් අතරින් එකක්” විදිහට සලකනවා. ආලෝකය මූලික වර්ණවලට බෙදෙන විදිහ, කණ්ණාඩියකින් ආලෝකය පරාවර්තනය වෙන විදිහ, එක මාධ්‍යයකින් තවත් මාධ්‍යයකට ආලෝකය ගමන් කරද්දී ආලෝකය වර්තනය වන විදිහ වැනි දේවල් ගැන ඔහු කළ පර්යේෂණවල  තොරතුරු ඒ පොතේ සඳහන් වෙනවා. ඒ වගේම ඇසේ ව්‍යුහය, එහි ක්‍රියාකාරීත්වය, පෙනීම ලැබෙන විදිහ වගේ දේවල් ගැනත් ඔහු අධ්‍යයනය කළා.

අල්හසේන් අරාබි භාෂාවෙන් ලියූ මේ පොත 13වෙනි සියවස වෙද්දී ලතින් භාෂාවට පරිවර්තනය කළා. යුරෝපයේ හිටිය විද්වතුන් සියවස් ගණනාවක් යන තුරු ඒ පොතේ තොරතුරු ප්‍රයෝජනයට ගත්තා. කාච ගැන ඔහු කළ අධ්‍යයනයන් යුරෝපයේ ඇස් කණ්ණාඩි නිපදවන්නන්ට උදව් වුණා. කාච කිහිපයක් පෙළට තියලා දුරේක්ෂ සහ අන්වීක්ෂ වගේ දේවල් හදන්න පුළුවන් වුණෙත් ඔහුගේ අධ්‍යයනයන් නිසයි.

ඔබ්ස්කියුරා කැමරාව

ඡායාරූපකරණයේ මූලික සිද්ධාන්ත සොයාගත්තේ අල්හසේන් කියලා කියන්න පුළුවන්. කුඩා සිදුරකින් අඳුරු කාමරයකට ආලෝකය යැවූ විට පිටත තියෙන දෙයක ඡායාව ඒ අඳුරු කාමරයේ බිත්තිය මත උඩු යටිකුරුව පතිත වෙනවා කියලා ඔහු සොයාගත්තා. ඒ දේ පළමු කැමරාව වුණ ඔබ්ස්කියුරා කැමරාව නිපදවීමට මඟ පෑදුවා.

අල්හසේන් හැදුව ආකෘතිය මුල්ම ඔබ්ස්කියුරා කැමරාවට සමානයි

1800 ගණන් වෙද්දී ඔබ්ස්කියුරා කැමරාව සඳහා ඡායාරූප තහඩු පාවිච්චි කරන්න පටන්ගත්තා. ඒ නිසා කල්පවතින ඡායාරූප ගන්න හැකියාව ලැබුණා. නවීන කැමරාවේ උපත සිදු වුණේ ඒ විදිහටයි. ඔබ්ස්කියුරා කැමරාවට යොදාගත්ත මූලික සිද්ධාන්තයම තමයි හැම කැමරාවකමත් අපේ ඇසෙත් තියෙන්නේ. *

විද්‍යාත්මක ක්‍රමය

ස්වාභාවික ක්‍රියාවලියන් ගැන අල්හසේන් කරපු අධ්‍යයනයන් සුවිශේෂයි. ඊට හේතුව ඔහු පරීක්ෂණයක් කරද්දී ඒකට අදාළ හැම දෙයක් ගැනම ඉතා පරිස්සමෙන් සහ ක්‍රමවත්ව ගවේෂණය කිරීමයි. ඒ කාලයේ ඒ විදිහට පරීක්ෂණ කටයුතු සිදු කළේ නැහැ. යම් මතයක් ඉදිරිපත් කරන්න කලින් ඒ ගැන අත්හදා බැලීම් කළ මුල්ම අය අතර අල්හසේනුත් හිටියා. යමක් පිළිගන්න ප්‍රමාණවත් සාක්ෂි නැත්නම් එය පිළිගත් මතයක් වුණත් ඒ ගැන ප්‍රශ්න කරන්න ඔහු භය වුණේ නැහැ.

විද්‍යාව යනු “විශ්වාස කරන දේ ඔප්පු කර පෙන්වීම” කියලා සරලව නිර්වචනය කරන්න පුළුවන්. එහෙම බලද්දී යමක් ඔප්පු කර පෙන්වීමේ විද්‍යාත්මක ක්‍රමය ලොවට හඳුන්වා දීමේ ගෞරවය හිමි විය යුත්තේ අල්හසේන්ට කියලා සමහරු කියනවා.

^ 13 ඡේ. 17වෙනි සියවසේදී යොහානස් කෙප්ලර් ඔබ්ස්කියුරා කැමරාවෙත් අපේ ඇස තුළත් තියෙන ක්‍රියාවලිය සමානයි කියලා පැහැදිලි කරන තුරු බටහිර ලෝකයේ අය ඒ ගැන තේරුම් අරන් හිටියේ නැහැ.