Skip to content

පටුනට යන්න

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා

ප්‍රචාරකයන් අඩු පැතිවලට ගිහින් උද්‍යෝගයෙන් දෙවිට සේවය කරන අය අතරේ තනිකඩ සහෝදරියන් හුඟදෙනෙක් ඉන්නවා. ඒ අයගෙන් සමහරු සේවය කරන්න වෙනත් රටවලට ගිහින් දැන් දශක ගාණක් ගත වෙලා. අවුරුදු ගාණකට කලින් ඒ තීරණය ගන්න එයාලට උදව් වුණේ මොනවද? ඒ සේවයෙන් එයාලා ඉගෙනගත්තේ මොනවද? එදා එයාලා ගත්තේ හරි තීරණයද? කාලයක් පුරා ඒ වගේ සේවය කරන සහෝදරියන් කීපදෙනෙක් එක්ක අපි කතා කළා. ඔයාත් ප්‍රචාරකයන් අඩු පැත්තකට ගිහින් සේවය කරන්න ආසාවෙන් ඉන්න තනිකඩ සහෝදරියක් නම් එයාලගේ අද්දැකීම් ඔයාට ප්‍රයෝජනවත් වෙයි. තනිකඩ සහෝදරියන්ට විතරක් නෙමෙයි දෙවිගේ හැම සේවකයෙක්ටම එයාලගෙන් ඉගෙනගන්න හුඟක් දේවල් තියෙනවා.

බිය සැක දුරු කරගත්තා

ඇනිටා

ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයකට ගිහින් සේවය කරන්න ආසාවෙන් හිටියත් ඒක ඔයාට කරන්න පුළුවන් වෙයිද කියලා කල්පනා කරකරද ඉන්නේ? දැන් වයස 75ක් වෙන ඇනිටාට හැඟුණෙත් එහෙමයි. එයා හැදුණේ වැඩුණේ එංගලන්තයේ. පුරෝගාමි සේවය පටන්ගද්දී එයාට 18යි. එයා මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි ගැන අනිත් අයට කියලා දෙන්න මං ආසයි. ඒත් වෙන රටකට ගිහින් සේවය කරන්න මට පුළුවන් වෙයි කියලා නම් මං හිතුවේ නෑ. වෙන භාෂාවක් ඉගෙනගන්න මට හැකියාවක් නැහැ කියලා හිතපු නිසා භාෂාවක් ඉගෙනගන්න මං උත්සාහ කළෙත් නෑ. ගිලියද් පාසැලට ආරාධනයක් ලැබුණම මට අදහගන්න බැරි වුණා. මං වගේ කෙනෙක්ට ඒ ආරාධනය ලැබුණ එක ගැන මටම පුදුමයි. ඒත් මං හිතුවා ‘මට මේක කරන්න පුළුවන් කියලා යෙහෝවා දෙවි හිතනවා නම් මං කරලා බලනවා’ කියලා. මං ඒ තීරණය ගත්තේ අවුරුදු 50කට කලින්. අද වෙන කල් මං ජපානයේ මිෂනාරි සේවය කරනවා. මං අද්දකින සතුට අද්දකින්න කියලා මං යෞවන සහෝදරියන්ව දිරිගන්වනවා. කියන්නත් සතුටුයි හුඟක් අය දැන් ඒ සතුට අද්දකිනවා.”

ධෛර්යය ඇති කරගත්තා

වෙනත් රටවලට ගිහින් සේවය කරන සහෝදරියන් හුඟදෙනෙක් ඒ තීරණය ගන්න කලින් ඒ ගැන හිටියේ දෙගිඩියාවෙන්. ඒත් එයාලා ධෛර්යය ඇති කරගත්තේ කොහොමද?

මොරින්

“මට ඕන වුණේ අර්ථවත් ජීවිතයක් ගත කරන්න.” එහෙම කියන්නේ දැන් වයස 60 ගණන්වල ඉන්න මොරින්. එයා අවුරුදු 20ක් වෙද්දී ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයක් වුණ කැනඩාවේ ක්විබෙක්වලට ගියා. “කාලයක් යද්දී මට ගිලියද් පාසැලට ආරාධනයක් ලැබුණා. ඒත් පාසැලෙන් පස්සේ මගේ යාළුවන්ව දාලා අලුත් රටකට යන්න වෙන නිසා මට බය හිතුණා. තාත්තා හිටියෙත් අසනීපෙන් නිසා ඒ හැම බරක්ම අම්මාට පටවලා යන එක හරිද කියලත් මට හිතුණා. මගේ හිතට දැනුණ බර ගැන මං යෙහෝවා දෙවිට අඬඅඬ කිව්ව දවස් අනන්තයි. අම්මලා එක්කත් ඒ ගැන කතා කළාම එයාලා කිව්වේ පාසැලට යන්න  කියලමයි. සභාවේ අය අම්මායි තාත්තායි ගැන කොච්චර සැලකිලිමත්ද කියලා මං දැක්කා. ඒ දේවල් දකිද්දී දෙවි මාවත් ඒ විදිහටම බලාගනියි කියලා මට ලොකු විශ්වාසයක් ඇති වුණා. පාසැලට යන්න මං තීරණය කළා.” 1979 මිෂනාරි සේවය පටන්ගත්ත මොරින් අවුරුදු 30කටත් වැඩි කාලයක් බටහිර අප්‍රිකාවේ සේවය කළා. මහලු වයසේ ඉන්න අම්මාව බලාගන්න ගමන් දැන් එයා කැනඩාවේ විශේෂ පුරෝගාමි සේවය කරනවා. ගෙවුණ අතීතය ගැන එයා කියන්නේ මෙහෙමයි. “මට අවශ්‍ය දේවල් යෙහෝවා දෙවි මට අවශ්‍යම වෙලාවේදී දුන්නා.”

වෙන්ඩි

ඕස්ට්‍රේලියාවේ හිටපු වෙන්ඩි, පුරෝගාමි සේවය පටන්ගත්තේ යෞවන කාලෙදී. දැන් එයාට වයස 65යි. එයා මෙහෙම කියනවා. “ඒ කාලේ මං හරිම ලැජ්ජයි. අඳුරන්නේ නැති අය එක්ක කතා කරන එක මට ලොකු අභියෝගයක්. ඒත් පුරෝගාමි සේවය නිසා හැම තරාතිරමකම අය එක්ක කතා කරන්න මං ඉගෙනගත්තා. කාලයත් එක්කම මට තේරුණා මගේ අභියෝගය මං ජය අරන් කියලා. යෙහෝවා දෙවිව විශ්වාස කරලා වැඩ කරන්න ඒ කාලෙදී මං පුරුදු වුණා. වෙන රටකට ගිහින් සේවය කරන එක ගැනත් මං හිතන්න පටන්ගත්තා. ඔය කාලෙදීම වගේ තමයි ජපානයේ මිෂනාරි සේවය කරපු සහෝදරියක් එයාත් එක්ක මාස 3ක් සේවය කරන්න මට එන්න කිව්වේ. එහේ සේවය කරපු කාලෙදී වෙන රටකට ගිහින් සේවය කරන්න මට තිබුණ ආසාව වැඩි වුණා.” 1986දී වෙන්ඩි සේවය කරන්න වානුවාටු දූපතට ගියා.

දැන් වෙන්ඩි වානුවාටුවල ප්‍රාදේශීය පරිවර්තන කාර්යාලයේ සේවය කරනවා. “පිටිසර පැතිවල අලුතෙන් සභා, කණ්ඩායම් පිහිටුවද්දී මට දැනෙන්නේ ලොකු සතුටක්. මේ දුපත්වල ශුභාරංචිය දේශනා කරන වැඩවලට පුංචි විදිහකින් හරි හවුල් වෙන්න ලැබුණ එක මොන තරම් දෙයක්ද! ඒ සතුට විස්තර කරන්න මට වචන නෑ” කියලා වෙන්ඩි කියනවා.

කූමිකෝ (මැද)

කූමිකෝට දැන් වයස 65යි. එයා ජපානයේ ස්ථාවර පුරෝගාමි සේවය කරකර ඉද්දී එයා එක්ක සේවය කරපු සහෝදරිය එයාගෙන් ඇහුවා නේපාලයට ගිහින් සේවය කරමුද කියලා. කූමිකෝ මෙහෙම කියනවා. “එයා නිතරම වගේ ඒ ගැන මගෙන් ඇහුවා. ඒත් මං බෑ කිව්වා. අලුත් භාෂාවක් ඉගෙනගන්න, අලුත් පරිසරයකට හුරු වෙන්න බැරි වෙයි කියලයි මට හිතුණේ. වෙන රටකට ගිහින් සේවය කරන්න තරම් සල්ලි මට තිබුණෙත් නෑ. ඔය අතරේ දවසක් මං බයික් එකේ යද්දී හැප්පුණා. ‘ඉස්සරහට තව මොනවා වෙයිද කියලා කවුද දන්නේ. හදිසියේවත් මට බරපතළ ලෙඩක් හැදුණොත් මට කවදාවත් වෙන රටකට ගිහින් සේවය කරන්න වෙන්නේ නෑ. අවුරුද්දකටවත් මට වෙන රටකට ගිහින් සේවය කරන්න බැරිද’ කියලා ඉස්පිරිතාලේ ඉද්දී මට හිතුණා. තීරණයක් ගන්න උදව් කරන්න කියලා මං යෙහෝවා දෙවිට හුඟක් යාච්ඤා කළා.” හොඳ වුණාට පස්සේ කූමිකෝ නේපාලය බලන්න ගියා. ඊට ටික කාලෙකට පස්සේ කූමිකෝයි එයාගේ යාළුවායි එහෙට ගිහින් සේවය පටන්ගත්තා.

අවුරුදු 10ක් විතර නේපාලයේ සේවය කරන කූමිකෝ  මෙහෙම කියනවා. “මම හිතින් වද වුණ දේවල් හරියට රතු මුහුද දෙබෑ කළා වගේ දෙවි විසඳලා දුන්නේ හිතාගන්නවත් බැරි විදිහට. ප්‍රචාරකයන් අඩු රටකට ඇවිත් සේවය කරන්න ගත්ත තීරණය ගැන මං සතුටු වෙනවා. අපි ගේකට ගිහින් පණිවිඩේ කියද්දී අහළ පහළ අයත් ඇවිත් අහගෙන ඉන්නවා. පුංචි ළමයි ඇවිත් ‘බයිබලේ ගැන තියෙන පත්‍රිකා අපිටත් දෙන්න කියලා’ මගෙන් ඉල්ලනවා. මිනිස්සු ආසාවෙන් සවන් දෙන තැනක සේවය කරන්න ලැබුණ එක කොච්චර ආශීර්වාදයක්ද!”

අභියෝග ජය ගත්තා

උද්‍යෝගයෙන් සේවය කරන මේ සහෝදරියනුත් අභියෝගවලට මුහුණ දුන්නා. එයාලා ඒවා ජය ගත්තේ කොහොමද?

ඩියැන්

කැනඩාවෙන් අයිවරි කෝස්ට්වලට ගිය ඩියැන් අවුරුදු 20ක් එහේ මිෂනාරි සේවය කරනවා. දැන් එයා ඉන්නේ වයස 60 ගණන්වල. ඩියැන් කියපු දේ බලන්න. “මෙහේ ඉන්න අයට ආදරේ කරන්න මට උදව් කරන්න කියලා මං යෙහෝවා දෙවිගෙන් ඉල්ලුවා. ගිලියද් පාසැලේ අපිට උගන්වපු සහෝදර රෙඩ්ෆර්ඩ් මෙහෙම කිව්වා. ‘ඔයාලගේ පැවරුමට ගියාම මේ වගේ තත්වයන් යටතේද මට සේවය කරන්න වෙන්නේ කියලා ඔයාලට හිතෙයි. මිනිස්සු ජීවත් වෙන විදිහ දැක්කම ඔයාලට දරාගන්න බැරි වෙයි. ඒත් ඔයාලා මිනිසුන්ගේ දුප්පත්කම දිහා බලන්න එපා. මිනිස්සු දිහා බලන්න. එයාලගේ මූණවල් දිහා බලන්න. බයිබලේ තියෙන දේවල් දැනගද්දී එයාලගේ මූණේ ඇඳෙන සතුට දිහා බලන්න.’ මං කළෙත් ඒ දේමයි. මගේ පැවරුම සතුටින් කරන්න ඒක මට උදව් වුණා. ශුභාරංචිය අහද්දී එයාලට දැනුණ සතුට මං එයාලගේ මූණෙන් දැක්කා.” අලුත් රටක හොඳින් සේවය කරන්න ඩියැන්ට තව මොනවද උදව් වුණේ? එයා මෙහෙම කියනවා. “මාත් එක්ක පාඩම් කරපු අයට මං ළං වුණා. එයාලා යෙහෝවා දෙවිට කැප වෙනවා දකිද්දී මට දැනුණේ පුදුම සතුටක්. මෙහේ දැන් මට මගේ ගෙදර වගේ. යේසුස් පොරොන්දු වුණා වගේ අම්මලා, තාත්තලා, සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් දැන් මට ඉන්නවා.”—මාක් 10:29, 30.

ආසියාවේ අපේ සේවය තහනම් කරලා තියෙන රටක සේවය කරන ඈන්ට දැන් වයස 46යි. “පහුගිය අවුරුදු ගාණ පුරාම වෙනත් රටවල එක එක ප්‍රදේශවල මං සේවය කළා. එහෙම සේවය කරද්දී මට ජීවත් වෙන්න වුණේ මට වඩා වෙනස් පසුබිම්වලින් ආපු, වෙනස් ගතිපැතුම් තිබුණ සහෝදරියන් එක්ක. සමහර වෙලාවට අපි අතරේ වරදවා වටහාගැනීම්, සිත් රිදවීම් ඇති වුණා. ඒ වගේ වෙලාවල ඒ සහෝදරියන්ට තව ළං වෙන්න, එයාලගේ සංස්කෘතිය ගැන තව හොඳින් තේරුම්ගන්න මං උත්සාහ කළා. එයාලා එක්ක ආදරෙන්, සාධාරණ විදිහට වැඩ කරන්න මං ලොකු වෑයමක් දැරුවා. එහෙම කරපු නිසා එයාලා මගේ හොඳ යාළුවෝ වුණා. සතුටින් මගේ පැවරුම කරන්න ඒ හැම දෙයක්ම මට උදව් වුණා.”

යූට්

 ජර්මනියේ හිටපු යූට් මිෂනාරි සේවය කරන්න මැඩගස්කරයට ගියේ 1993දී. දැන් වයස 53ක් වෙන යූට් මෙහෙම කියනවා. “මෙහෙට ආපු මුල් කාලේ භාෂාව ඉගෙනගන්න, රස්නේ දරාගන්න හුඟක් අමාරු වුණා. මැලේරියාව වසංගතයක් වගේ පැතිරුණා. ක්ෂුද්‍ර ජීවීන්, පරපෝෂිත පණුවන් නිසා හැදෙන ලෙඩවලින් ආරක්ෂා වෙන එකත් ලේසි වුණේ නෑ. ඒත් මං තනි වුණේ නෑ. මෙහේ සහෝදරියන්, එයාලගේ දරුවෝ, මාත් එක්ක පාඩම් කරපු අය භාෂාව ඉගෙනගන්න මට උදව් කළා. මං අසනීප වෙද්දී මාත් එක්ක සේවය කරපු සහෝදරිය මාව ආදරෙන් බලාගත්තා. ගත වුණ කාලේ පුරාම යෙහෝවා දෙවි මට හයියක් වුණා. හිතේ තිබුණ හැම බරක්ම මං දෙවිට භාර දුන්නා. දෙවි මගේ යාච්ඤාවලට උත්තර දෙන කල් දවස් ගණන්, මාස ගණන් මං ඉවසීමෙන් බලං හිටියා. මගේ හැම ප්‍රශ්නයක්ම දෙවි විසඳුවා.” යූට් තාමත් එහේ සේවය කරනවා.

ආශීර්වාද පිරුණ ජීවිතයක්

ප්‍රචාරකයන් අඩු රටවල සේවය කරන්න යන අනිත් හැමෝම වගේ මේ තනිකඩ සහෝදරියනුත් හුඟක් ආශීර්වාද අද්දකිනවා. ඒ මොන වගේ ආශීර්වාදද?

හයිඩි

දැන් 70 ගණන්වල ඉන්න හයිඩි ජීවත් වුණේ ජර්මනියේ. එයා 1968 ඉඳලා අයිවරි කෝස්ට්වල මිෂනාරි සේවය කරනවා. “මාත් එක්ක බයිබලේ පාඩම් කරපු අය ‘සත්‍ය ඉගැන්වීම්වලට එකඟව දිගටම ජීවත් වෙනවා’ දකින එක තරම් සතුටක් මට තවත් නෑ. සමහරු දැන් පුරෝගාමීන්. තවත් අය වැඩිමහල්ලන්. ඒ හුඟක් අය මට කියන්නේ ‘අම්මා’ කියලා. මාත් එක්ක පාඩම් කරපු කෙනෙක් දැන් විවාහ වෙලා දරුවෝ 3දෙනෙක් ඉන්නවා. එයා වැඩිමහල්ලෙක්. එයාලා මාව සලකන්නේ එයාලගේම පවුලේ කෙනෙක් විදිහට. යෙහෝවා දෙවි මට පුතෙක්, ලේලියක්, මුනුබුරු මිනිබිරියෝ දීලා තියෙනවා.”—3 යොහ. 4.

කැරන් (මැද)

අවුරුදු 20කට වැඩි කාලයක් බටහිර අප්‍රිකාවේ සේවය කරපු කැරන් කැනඩාවේ කෙනෙක්. දැන් එයාට වයස 72යි. “අනිත් අය වෙනුවෙන් කැප කිරීම් කරන්න, තවත් ආදරෙන්, ඉවසීමෙන් වැඩ කරන්න මිෂනාරි සේවය මට හොඳ පුහුණුවක් වුණා. විවිධ රටවලින් ආපු අය එක්ක සේවය කරද්දී දේවල් දිහා වෙනස් විදිවලින් බලන්න මං ඉගෙනගත්තා. එකම දේ කරන්න ක්‍රම කීපයක් තියෙනවා කියලා මං තේරුම්ගත්තා. දැන් මට ලෝකෙ පුරාම යාළුවෝ ඉන්නවා. ඒක මොන තරම් ආශීර්වාදයක්ද! අපේ ජීවිත, පැවරුම් වෙනස් වුණත් යාළුකම් තාම එහෙම්මමයි” කියලා කැරන් කියනවා.

එංගලන්තයේ හැදුණ වැඩුණ මාග්‍රට් මිෂනාරි සේවය කළේ ලාඕසයේ. දැන් එයාට 80කට කිට්ටුයි. එයා මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි හැම ජාතියකටම, හැම පසුබිමකටම අයිති අයව තමන්ගේ සංවිධානයට එකතු කරන විදිහ මං දැක්කා. ඒ අද්දැකීම මගේ විශ්වාසය තව ශක්තිමත් කළා. අපි ඉන්න සංවිධානයට මඟ පෙන්නන්නේ යෙහෝවා දෙවිමයි කියලත් දෙවිගේ අරමුණ අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලත් මට කිසිම සැකයක් නෑ.”

වෙනත් රටවලට ගිහින් සේවය කරන තනිකඩ සහෝදරියන් එදා මෙදා තුර කරලා තියෙන්නේ කැපීපේන සේවයක්. අපි එයාලව කොච්චර අගය කරන්න ඕනෙද! (විනි. 11:40) තව සහෝදරියන් හුඟදෙනෙක් ඒ සහෝදරියන්ගේ අඩිපාරේ යනවා. (ගීතා. 68:11) ජීවිතේ යම් දේවල් සකස් කරගෙන අපි බලපු ඒ සහෝදරියන්ව ආදර්ශයට ගන්න ඔයාටත් පුළුවන්ද? එතකොට “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න” ඔයාටත් පුළුවන්.—ගීතා. 34:8.