Skip to content

පටුනට යන්න

බනෙට්, සිමෝන්, එස්ටන් සහ කේලබ්

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - ඕෂනියාව

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - ඕෂනියාව

ඕස්ට්‍රේලියාවේ සාක්ෂිකාර පවුලක හැදුණු වැඩුණු රෙනෙයිට දැන් වයස 35ක් විතර වෙනවා. එයා මෙහෙම කියනවා. “පුංචි කාලේ අපි පවුලක් විදිහට ප්‍රචාරකයන් අඩු පළාත්වලට කීප සැරයක්ම ගිහින් සේවය කළා. අම්මායි තාත්තායි ඒවා හොඳට සැලසුම් කරපු නිසා සතුට පිරුණු අද්දැකීම් හුඟක් අපිට ලැබුණා. මට ඕන වුණේ මගේ පුතාගෙයි දුවගෙයි ජීවිතත් ඒ වගේ අද්දැකීම්වලින් පිරෙනවා දකින්නයි.”

 රෙනෙයිගේ සැමියා ෂේන්ට දැන් වයස 40කට කිට්ටුයි. එයාට තිබුණෙත් රෙනෙයිට තිබුණා වගේම ඉලක්කයක්. “දුව ඉපදුණාට පස්සේ අපි කියවපු ‘මුරටැඹ’ ලිපියක තිබුණා පැසිෆික් සාගරයේ නිරිතදිගට වෙන්න තිබුණු ටොංගා දූපතට ගිහින් සේවය කරපු පවුලක් ගැන. * ඒ අද්දැකීම කියෙව්වම අපිටත් ආස හිතුණා ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයකට ගිහින් සේවය කරන්න. ඒ ගැන කියලා අපි ඕස්ට්‍රේලියාවෙත් නවසීලන්තයෙත් ශාඛා කාර්යාලවලට යවපු ලිපිවලට උත්තර විදිහට අපිට වෙන පළාතකට ගිහින් සේවය කරන්න අවස්ථාව ලැබුණා. * පුදුමේ කියන්නේ අපිට යන්න කිව්වේ අපි ආසාවෙන් කියවපු ලිපියේ තිබුණු ටොංගා දූපතටමයි!”

ජේකබ්, රෙනෙයි, ස්කයි සහ ෂේන්

ෂේන් සහ රෙනෙයි එයාලගේ පුතා ජේකබ් සහ දුව ස්කයි එක්ක ටොංගාවල අවුරුද්දක් විතර සේවය කළා. ඊටපස්සේ රටේ ඇති වුණු නොසන්සුන් තත්වය නිසා එහෙන් යන්න සිද්ධ වුණත් 2011දී එයාලා ආයෙත් වෙන රටක සේවය කරන්න ගියා. ඒ ඕස්ට්‍රේලියාවේ ඉඳන් කි.මී. 1,500ක් විතර ඈතින් තිබුණු නෝෆෝක් දූපතටයි. දැන් ජේකබ්ට වයස 14යි. එහේ ජීවිතය ගැන එයා මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි අපිව ආදරෙන් බලාගන්නවා. සේවයෙන් ලොකු සතුටක් ලබන්නත් අපිට උදව් කරනවා.”

වැඩි සේවයක් කරන්න ඉලක්කයක් තිබ්බා

ෂේන්ගේ පවුල වගේම තවත් හුඟක් පවුල් ප්‍රචාරකයන් අඩු ප්‍රදේශවලට ගිහින් සේවය කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. එහෙම කරන්න එයාලා පෙලඹුණේ ඇයි?

“මෙහේ ඉන්න හුඟක් අය ශුභාරංචිය අහන්න ලොකු උනන්දුවක් දක්වනවා. අපිට ඕන වුණේ එයාලට දිගටම බයිබලේ පාඩම් කරන්න අවස්ථාව දෙන්නයි.”—බනෙට්

බනෙට් සහ සිමෝන් අවුරුදු තිස් ගණන්වල ඉන්න යුවළක්. එයාලගේ ලොකු පුතා එස්ටන්ට දැන් වයස 12යි. බාල පුතා කේලබ්ගේ වයස 9යි. එයාලා ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ ඈතට වෙන්න තියෙන බර්ක්ටවුන්වල සේවය කරන්න ගියා. “සාක්ෂිකරුවන් මෙහේ සේවය කරන්න එන්නේ අවුරුදු තුන හතරකට වතාවක්. ඒත් මෙහේ ඉන්න හුඟක් අය ශුභාරංචිය අහන්න ලොකු උනන්දුවක් දක්වනවා. අපිට ඕන වුණේ එයාලට දිගටම බයිබලේ පාඩම් කරන්න අවස්ථාව දෙන්නයි” කියලා බනෙට් කියනවා.

ජිම්, ජැක්, මාක් සහ කෙරන්

මාක් සහ කෙරන් 50 ගණන්වල ඉන්න යුවළක්. ජෙසිකා, ජිම් සහ ජැක් කියන එයාලගේ ළමයි තුන්දෙනත් එක්ක ඕස්ට්‍රේලියාවේ සිඩ්නිවලට කිට්ටුව තිබුණු සභා කීපයකම එයාලා සේවය කළා. ඒත් දැන් එයාලා පවුලක් විදිහට සේවය කරන්නේ උතුරු ඕස්ට්‍රේලියාවේ නලන්බොයි කියන ප්‍රදේශයේ. මාක් මෙහෙම කියනවා. “මං ආසයි අනිත් අයට උදව් කරන්න. ඒ නිසා මට ඕන වුණේ වැඩි සේවයක් කරන්න පුළුවන් ප්‍රදේශයක තියෙන සභාවක සේවය කරන්න.” ඒත් කෙරන් ඈත පැත්තකට යන්න මුලින් ටිකක් අදිමදි කළා. “මාක්ගේ වගේම තවත් කීපදෙනෙක්ගේ දිරිගැන්වීම නිසා මං හිතුවා ගිහින් බලනවා කියලා. එහෙම කරපු එක ගැන අද මං හුඟක් සතුටු වෙනවා” කියලා කෙරන් කියනවා.

බෙන්ජමින්, ජේඩ්, බ්‍රියා සහ කැරොලයින්

බෙන්ජමින් සහ කැරොලයින් එයාලගේ මොන්ටිසෝරි යන වයසේ හිටපු ජේඩ් සහ බ්‍රියා කියන දුවලා එක්ක 2011දී ක්වීන්ස්ලන්තයේ ඉඳන් නැඟෙනහිර ටිමෝරයට සේවය කරන්න ගියා. ඒ ගැන බෙන්ජමින් කියන්නේ මෙහෙමයි. “මීට කලින් මං කැරොලයින් එක්ක මෙහේ විශේෂ පුරෝගාමි සේවය කරලා ලැබුවේ ලොකු සතුටක්. සහෝදරයනුත් අපිට හුඟක් උදව් කළා. අපි මෙහෙන් ගියේ හරිම දුකෙන්. අපිට ඕන වුණේ කොහොමහරි ආයෙත් මෙහෙට එන්න. දරුවන් ලැබුණු නිසා අපේ ඉලක්කේ ටිකක් කල් දැම්මත් ඒක අත්හැරියේ නැහැ.” කැරොලයින් මෙහෙම කියනවා. “අපිට ඕන වුණේ අපේ දරුවන්ට මිෂනාරි සේවකයන්ව, බෙතෙල් සේවකයන්ව සහ පුරෝගාමීන්ව වැඩියෙන් ආශ්‍රය කරන්න අවස්ථාව දෙන්නයි. ඒ වගේම දෙවිට සේවය කරද්දී ලැබෙන සතුට මොන වගේද කියලා එයාලටම අද්දකින්න සලස්සන්නයි.”

කලින්ම සූදානම් වුණා

යේසුස් කිව්වේ ‘ඔබ අතර සිටින කෙනෙක් යම් ගොඩනැඟිල්ලක් සාදන්න අදහස් කරනවා නම් ඒ සඳහා යන වියදම ගණන් බලන්නේ නැද්ද’ කියලයි. (ලූක් 14:28) පවුලක් හැටියට සේවය කරන්න වෙන පළාතකට යන්න කලින් හොඳට සැලසුම් කරන එක වැදගත් කියලා ඒකෙන් පැහැදිලියි. හිතන්න ඕනෙ මොන වගේ පැති ගැනද?

විශ්වාසය ශක්තිමත් කරගන්න: බෙන්ජමින් මෙහෙම කියනවා. “අපිට ඕනෙ අනිත් අයට සේවය කරන්න මිසක් ඒ අයට බරක් වෙන්න නෙමෙයි. ඒ නිසා යන්න කලින් අපි අපේ විශ්වාසය තවත් ශක්තිමත් කරගත්තා. සේවයෙත් සභාවේ වැඩවලත් වැඩියෙන් හවුල් වුණා.”

ජේකබ් කියන්නේ මෙහෙමයි. “නෝෆෝක් දූපතට යන්න කලින් ප්‍රචාරකයන් අඩු පළාත්වලට ගිහින් සේවය කරපු අයගේ අද්දැකීම් අපි ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරාවලින් කියෙව්වා. ඒ අයට තිබුණු අභියෝග, යෙහෝවා දෙවි ඒ අයව රැකබලා ගත්ත විදිහ ගැන කතා කළා.” එයාගේ නංගි ස්කයි කියන්නේ “මං ඒ ගැන තනියමත් අම්මායි තාත්තායි එක්කත් හුඟක් යාච්ඤා කළා” කියලයි.

 හිතේ ආශාවක් ඇති කරගන්න: “පවුලේ අය, කිට්ටු යාළුවෝ, අපි ආසම පැත්ත දාලා යන එක ලේසි නැහැ. ඒත් අත්හරින දේවල් ගැන හිතනවා වෙනුවට මේ විදිහට සේවය කරන එකෙන් පවුලක් විදිහට ලබන්න පුළුවන් ආශීර්වාද ගැන මං හිතුවා” කියලා රෙනෙයි කියනවා.

යන ප්‍රදේශය ගැන දැනුවත් වෙන්න: හුඟක් අය යම් ප්‍රදේශයකට යන්න කලින් ඒ පළාත ගැන හොයලා බලනවා. “නලන්බොයි ප්‍රදේශය ගැන තිබුණු තොරතුරු අපි කියෙව්වා. සහෝදරයෝ එහේ පත්තර අපිට නිතර නිතර එව්ව නිසා එහේ ඉන්න අය ගැනත් සංස්කෘතිය ගැනත් යම් අදහසක් ගන්න අපිට පුළුවන් වුණා” කියලා මාක් කියනවා.

ෂේන් කියන්නේ මෙහෙමයි. “මං වැඩි අවධානයක් දුන්නේ යේසුස්ගේ ගුණාංග මගේ ජීවිතෙනුත් පෙන්නන්නයි. අවංක, මෘදු, මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්ට ලෝකෙ ඕනම තැනක ඕනෙම කෙනෙක් එක්ක පෑහිලා වැඩ කරන්න පුළුවන් කියලා මං දැනගෙන හිටියා.”

අභියෝගවලට මුහුණ දුන්න විදිහ

බලාපොරොත්තු නොවුණු අභියෝග එද්දී ඒ තත්වයට අනුව සකස් වෙන එකත් හැම වෙලේම ධනාත්මකව හිතන එකත් කොච්චර වටිනවද කියලා වෙන ප්‍රදේශවලට සේවය කරන්න ගිය අය අද්දැකලා තියෙනවා.

රෙනෙයි මෙහෙම කියනවා. “තත්වයට අනුව හැඩගැහෙන්න මං ඉගෙනගත්තා. වාරකන් කාලෙට නෝෆෝක් දූපතට නැව් එන්නේ අඩුවෙන්. ඒ කාලෙට නගරේ බඩුමුට්ටු හිඟයි. ඒ වගේම ගණන්. ඒ නිසා මං පුරුදු වුණා කෑම උයනකොට අරපරෙස්සමින් දේවල් පාවිච්චි කරන්න.” ඒ ගැන ෂේන් කියන්නේ මෙහෙමයි. “සතියට වියදම් කරන්න අපි සැලසුම් කරගෙන හිටපු ගාණට වඩා වැඩියෙන් වියදම් නොකර ඉන්න අපි පරෙස්සම් වුණා.”

එයාලගේ පුතාට තිබුණේ වෙනස්ම අභියෝගයක්. “අපේ අලුත් සභාවේ අපි ඇරෙන්න හිටියේ තව හත්දෙනෙක් විතරයි. මගේ වයසේ කවුරුත් හිටියේ නැහැ. ඒත් අපි එකට සේවයේ හවුල් වුණු නිසා වැඩි කල් යන්න කලින් එයාලා මගේ යාළුවෝ වුණා.”

වයස 21ක් වුණු ජිම්ට තිබුණෙත් ඒ වගේම අභියෝගයක්. “නලන්බොයි සභාවට කිට්ටුම සභාව තිබ්බේ කි.මී. 725ක් දුරින්. ඒ නිසා අපි සමුළු දවස් එන කල් ඉන්නේ හරිම ආසාවෙන්. අපි කලින්ම සමුළුවට ගිහින් පුළුවන් තරම් අයව ආශ්‍රය කරනවා. සමුළු දවස් අපිට හරිම විශේෂයි.”

 “මෙහේ ආපු එක නියමයි!”

ප්‍රචාරකයන් අඩු පළාත්වලට ගිහින් සේවය කරන ලෝකෙ පුරාම ඉන්න දහස් ගණන් අය මේ වචන කොච්චර ඇත්තද කියලා අද්දැකලා තියෙනවා. “යෙහෝවා දෙවිගේ ආශීර්වාදය සැබෑ වස්තුවකි.”—හිතෝ. 10:22.

“අපි ගත්ත තීරණය නිසා වැඩියෙන්ම ප්‍රයෝජන ලැබුවේ අපේ දරුවෝ. දේවරාජ්‍යයට මුල් තැන දෙන අයව දෙවි බලාගන්නවා කියන දේ ගැන මෙහෙම ඇවිත් සේවය කරන අයට කිසිම සැකයක් නැහැ. ඒ වගේ විශ්වාසයක් ඉබේ ඇති වෙන්නේ නැහැ” කියලා මාක් කියනවා.

“මෙහේ ආවට පස්සේ මං බිරිඳටයි දරුවන්ටයි තවත් කිට්ටු වුණා. යෙහෝවා දෙවි එයාලා වෙනුවෙන් කරපු දේවල් ගැන එයාලා කතා කරනවා ඇහෙද්දී පුදුම තෘප්තියක් දැනෙනවා” කියලා ෂේන් කියනවා. පුතා මෙහෙම කියනවා. “මං ඉන්නේ හරිම සතුටින්. මෙහේ ආපු එක නියමයි!”

^ 3 ඡේ. 2004 දෙසැම්බර් 15 ‘මුරටැඹ’ සඟරාවේ 8-11 පිටුවල තියෙන “‘මිත්‍ර දූපත්වල’ වෙසෙන දෙවිගේ මිතුරෝ” කියන ලිපිය බලන්න.

^ 3 ඡේ. 2012දී ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ශාඛා කාර්යාල එකතු කරලා ඒක ඔස්ට්‍රලේෂියා ශාඛා කාර්යාලය හැටියට හඳුන්වන්න පටන්ගත්තා.