Skip to content

පටුනට යන්න

 ජීවිත කතාව

දෑත් අහිමි වුණත් මට දෙවිගේ ආදරේ අහිමි වුණේ නැහැ

දෑත් අහිමි වුණත් මට දෙවිගේ ආදරේ අහිමි වුණේ නැහැ

සාමාන්‍යයෙන් කෙනෙක් වැටෙන්න යනකොට මොකක් හරි අල්ලගන්නවා. ඒත් මට ඒ දේ කරන්න බැහැ. මොකද මගේ අත් දෙක නැහැ. මගේ ජීවිතය බේරගන්න අත් දෙක කපලා දාද්දී මට අවුරුදු හතයි.

මම ඉපදුණේ 1960. එතකොට මගේ අම්මාට වයස අවුරුදු 17යි. මම ඉපදෙන්නත් කලිනුයි තාත්තා අපිව දාලා ගියේ. අම්මායි මායි ජර්මනියේ පුංචි ගමක ආච්චියි සීයායි එක්ක ජීවත් වුණා. ඒ පළාතේ හිටපු ගොඩක් අය වගේ අපේ පවුලේ අයත් දෙවි කෙනෙක්ව විශ්වාස කරේ නැහැ.

පුංචි කාලේ සීයා මාව ආදරෙන් බලාගත්තා. ඒ දවස්වල සීයා මට අඬගහනවා එයාගේ වැඩවලට උදව් කරන්න කියලා. මම තමයි උස ගස්වලට නැඟලා අතු කැපුවේ. පුංචි කාලේ මම හරි ආසයි ඒ වගේ වැඩ කරන්න. ඒ කාලේ හරිම සුන්දරයි.

හිතුවේ නැති විදිහට ජීවිතය වෙනස් වුණා

මේ දේ වෙද්දී මට අවුරුදු හතයි. මම හිටියේ දෙකේ පන්තියේ. පොඩි කාලේ මං කොච්චර දඟද කියනවා නම් දවසක් ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දී මම පාරේ අයිනේ තිබ්බ උස ලයිට් කණුවකට නැග්ගා. මීටර් අටක් විතර නඟිද්දී කරන්ට් වැදිලා මට සිහිය නැති වුණා. ඉස්පිරිතාලෙදී මට සිහිය ආවාට පස්සෙයි මං දැක්කේ මගේ අත් දෙක ගන්න දෙයක් නැති විදිහට පිච්චිලා කියලා. මගේ ජීවිතය බේරගන්න අත් දෙකම කපලා දාන්න වුණා. මට මෙහෙම දෙයක් වෙයි කියලා මගේ පවුලේ අය කවදාවත් හිතන්න නැතුව ඇති. පුංචි කාලේ මට තේරුණේ නැහැ අත් දෙකක් නැතුව ජීවත් වෙන එක කොයි තරම් අමාරු අත්දැකීමක් වෙයිද කියලා.

සනීප වෙලා ඉස්කෝලේ ගියාට පස්සේ ළමයි මට විහිළු කරන්න පටන්ගත්තා. මට මුකුත් කරන්න බැහැ කියලා දන්න නිසා එයාලා මාව තල්ලු කෙරුවා. එක එක දේවල්වලින් මට දමලා ගැහුවා. එයාලා කරපු නපුරු දේවල් නිසා මම හිටියේ දුකෙන්. පස්සේ කාලෙක මාව ආබාධිත ළමයින්ගේ ඉස්කෝලෙකට දැම්මා. ඒ ඉස්කෝලේ තිබ්බේ අපේ ගෙදර ඉඳන් හුඟක් ඈත නිසා මට එහේ නතර වෙන්න වුණා. ගෙදර අයට වැඩිය සල්ලි තිබ්බේ නැති නිසා නිතරම මාව බලන්න ආවේ නැහැ. එයාලාව හම්බ වුණේ නිවාඩුවට ගෙදර ගියාම විතරයි. මම අවුරුදු දහයක්ම හැදුණේ අම්මායි සීයලායි නැතුව.

අත් නැති අඩුව පිරෙව්වේ කකුල් දෙක

සාමාන්‍යයෙන් අතෙන් කරන වැඩ ඒ කියන්නේ දත් මදින එක, කොණ්ඩේ පීරන එක වගේ දේවල් කකුල් දෙකෙන් කරන්න මං පුරුදු වුණා. කෑම කන්න හැන්දයි ගෑරුප්පුවයි ඇල්ලුවෙත් කකුල් දෙකෙන්. කකුල් දෙකෙන් එක එක සංඥා කරන්නත් ඉගෙනගත්තා.

යෞවන කාලේ මම විද්‍යා ප්‍රබන්ධ කතා කියවන්න  ගොඩක් ආසයි. ඒවා කියවලා රොබෝ අත් දෙකක් හදාගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම හිතුවා. අවුරුදු 14ක් වෙද්දී මං සිගරට් බොන්න පුරුදු වුණා. සිගරට් බොද්දී මට හිතුණේ මම අනිත් අය වගේ කියලයි. අත් දෙක නැති වුණත් මටත් යමක්කමක් කරගන්න පුළුවන්නේ කියලා මට හිතුණා.

ඒත් අත් දෙක නැහැ කියලා මම නිකං හිටියේ නැහැ. මම සමාජ සේවය කරන්න පටන්ගත්තා. ජර්මානු යොවුන් සංගමයක ලේකම් හැටියටත් වැඩ කරා. ඒක ගොඩක් වගකීම් තියෙන තනතුරක්. මං ගායනා කණ්ඩායම්වලටත් කලාවට සම්බන්ධ තවත් වැඩවලටත් හවුල් වුණා. ඒ විතරක් නෙමෙයි ආබාධිත අයට තියෙන ක්‍රීඩාවලටත් හවුල් වුණා. පස්සේ මම අපේ ගමේ සමාගමක වැඩ කරන්න පටන්ගත්තා. රස්සාවට යන්න ගත්තාට පස්සේ මම මගේ කෘත්‍රිම අත් දෙක හැම වෙලාවෙම වගේ දාගෙනයි හිටියේ. මොකද මටත් ඕන වුණේ අනිත් අය වගේ කිසි අඩුවක් නැති කෙනෙක් විදිහට ඉන්න.

ජීවිතය අර්ථවත් කළ බයිබලයේ දැනුම

දවසක් මම වැඩට යන්න කෝච්චිය එන කල් ඉන්නකොට මනුස්සයෙක් මගේ ළඟට ආවා. එයා කිව්වා “දෙවියන්ට පුළුවන් ඔයාට ඔයාගේ අත් දෙක ආයෙත් දෙන්න” කියලා. එහෙම කිව්වාම මට පුදුම හිතුණා. මට ඇත්තටම ආසයි මගේ අත් දෙක ආයෙත් ලැබෙනවා නම්. ඒත් මම දෙවි කෙනෙක්ව විශ්වාස කෙරුවෙ නැති නිසා ඒක කොහෙත්ම වෙන්න බැරි දෙයක් කියලයි මම හිතුවේ. එදා ඉඳලා මම ඒ මනුස්සයාව මඟහැරියා.

ටික කාලෙකට පස්සේ මාත් එක්ක වැඩ කරන කෙනෙක් තේ එකක් බොන්න එයාගේ ගෙදරට එන්න කියලා කිව්වා. එයාගේ අම්මලා දෙවියන් ගැන මාත් එක්ක කතා කළා. දෙවියන්ගේ නම යෙහෝවා කියලා එයාලා කිව්වා. එදා තමයි මං මුල්ම වතාවට දෙවියන්ට නමක් තියෙනවා කියලා දැනගත්තේ. (ගීතාවලිය 83:18) එයාලා කියපු දේවල් අහගෙන හිටියාට මම ඒවා පිළිගත්තේ නැහැ. මට ඕන වුණේ එයාලා විශ්වාස කරපු දේ වැරදියි කියලා ඔප්පු කරන්න. ඒ නිසා එයාලත් එක්ක බයිබලය සාකච්ඡා කරන්න මම කැමතියි කිව්වා. ඒත් දෙවි කෙනෙක් නැහැ කියලා ඔප්පු කරන්න මට බැරි වුණා.

බයිබල් අනාවැකි ගැන ඉගෙනගද්දී දෙවි කෙනෙක් නැහැ කියලා මම හිතපු දේ වැරදියි කියලා මට තේරුණා. බයිබලයේ තියෙන අනාවැකි අවුරුදු සියදහස් ගාණකට කලින් ලියලා තිබුණත් ඒවා අකුරටම ඉටු වෙලා තියෙනවා. පාඩම වෙලාවේ අපි මතෙව් 24, ලූක් 21 සහ 2 තිමෝති 3 වගේ බයිබල් පරිච්ඡේදවල අනාවැකි අද කාලයේ වෙන සිද්ධීන් එක්ක සන්සන්දනය කරලා බැලුවා. අද ලෝකයේ වෙන දේවල් දිහා බලනකොට අපි ජීවත් වෙන්නේ බයිබලයේ කතා කරන “අවසාන කාලයේ” කියලා මට හොඳටම පැහැදිලි වුණා. * ඒක හරියට රෝග ලක්ෂණවලින් ලෙඩක් අඳුරගන්නවා වගේ.

මං මේ ඉගෙනගන්නේ සත්‍යය කියලා මට හොඳටම පැහැදිලි වුණා. මං යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න පටන්ගත්තා. කොච්චර අමාරු වුණත් මං සිගරට් බොන එකත් අත්හැරියා. දිගටම අවුරුද්දක් විතර බයිබලය පාඩම් කෙරුවාට පස්සේ 1986 අප්‍රියෙල් මාසයේ මං බව්තීස්ම වුණා. ඒ දවස්වල නැඟෙනහිර ජර්මනියේ  සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරලා තිබුණ නිසා ගෙදරක නාන කාමරේක තමයි මාව බව්තීස්ම කරේ.

අනිත් අය වෙනුවෙන් කැප වෙලා වැඩ කළා

සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරලා තිබුණ නිසා අපි ගෙවල්වල පුංචි කණ්ඩායම් හැටියට තමයි රැස්වීම් පැවැත්තුවේ. සාක්ෂිකරුවන් වැඩිදෙනෙක්ව මුණගැහුණෙත් නැහැ. ඒත් හිතුවෙවත් නැති විදිහට මට බටහිර ජර්මනියට යන්න අවසර ලැබුණා. එහේ අපේ වැඩ තහනම් කරලා තිබුණේ නැහැ. ජීවිතේ මුල්ම වතාවට මට සමුළුවකට යන්න පුළුවන් වුණා. එහෙදී මට සහෝදර සහෝදරියන් හුඟදෙනෙක්ව මුණගැහුණා. ඒක පුදුමාකාර අද්දැකීමක්.

බර්ලින් තාප්පය කඩලා දැම්මාට පස්සේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට තිබ්බ තහනම අයින් කෙරුවා. අපිට නිදහසේ රැස්වීම් යන්නත් සේවයේ යන්නත් පුළුවන් වුණා. පුළුවන් තරම් දෙනෙක්ට දේශනා කරන්න ඕනෙ වුණත් මට බයක් දැනුණා. පිට අය එක්ක කතා කරන එක මට එච්චර හුරු නැහැ. මොකද ආබාධය නිසා පුංචි කාලේ, මම වැඩියෙන්ම හිටියේ ඉස්කෝලේ ඇතුලේ. ඒත් 1992 මුල්ම වතාවට මම එක මාසයක පැය 60ක් සේවය කෙරුවා. මට එච්චර පැය ගාණක් කරන්න පුළුවන් වුණු එක ගැන ලොකු සතුටක් දැනුණා. එදා පටන්ගත්ත සේවය අවුරුදු තුනක් මම දිගටම කරා.

මේ බයිබල් පදේ මට ලොකු ශක්තියක් වුණා. “යම් කෙනෙකු දුර්වල වී සිටින විට එය මගේ සිතටත් දැනේ.” (2 කොරින්ති 11:29) මොනවා නැති වුණත් මට කතා කරන්න පුළුවන්. ඒ නිසා මගේ ආබාධය ගැන දුක් වෙවී ඉන්නවාට වඩා සේවයේ ගිහිල්ලා අනිත් අයට උදව් කරන්න ඕනෙ කියලා මම හිතාගත්තා. මට ආබාධයක් තියෙන නිසා ඒ වගේම දේකට මුහුණ දෙන කෙනෙක්ගේ දුක මට තේරුම්ගන්න පුළුවන්. බයිබලයේ තියෙන ශුභාරංචිය ගැන කියලා දීලා එයාලාගේ ජීවිතයටත් සහනයක් ලබා දෙන්නයි මට ඕනේ.

ශුභාරංචිය හැමෝටම කියන එකෙන් මට ලොකු සතුටක් ලැබෙනවා

යෙහෝවා දෙවි මගේ ළඟින්ම ඉන්නවා

සමහර දවස්වලට මට මං ගැනම ලොකු දුකක් දැනෙනවා. මට මගේ වැඩ ටික කරගන්න පුළුවන් වුණත් ඒකට සෑහෙන මහන්සියක් දරන්න ඕනේ. ඒ වගේ වෙලාවට මේ වචන මට ලොකු දිරිගැන්වීමක්. “මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ.” (ෆිලිප්පි 4:13) හැම දවසකම මගේ වැඩ කරගන්න යෙහෝවා දෙවි මට ශක්තිය දෙනවා. යෙහෝවා දෙවි මාව කවදාවත් අත්හරින්නේ නැහැ. මටත් ඕනෙ යෙහෝවා දෙවිට හැමදාටම විශ්වාසවන්තව ඉන්න.

පොඩි කාලේ ඉඳන්ම පවුලේ අයත් එක්ක ඉන්න ඕනෙ වුණත් මට ඒ කාලේ ජීවත් වෙන්න වුණේ තනියෙන්. ඒත් දැන් මට කරුණාවන්ත බිරිඳක් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මිලියන ගාණක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් හැදුණු ලොකු පවුලක් දැන් මට ඉන්නවා.

මගේ බිරිඳ එල්කා එක්ක

“මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි” කියලා දෙවි දීලා තියෙන පොරොන්දුව මට සැනසීමක්. මං දන්නවා මට මගේ අත් දෙක ආයෙත් ලැබෙනවා. (එළිදරව් 21:5) යේසුස් මේ පොළොවේ ඉද්දී කරපු දේවල් ගැන හිතද්දී ඒ පොරොන්දුව ගැන තියෙන විශ්වාසය තවත් වැඩි වෙනවා. යේසුස්ට කොච්චර බලයක් තියෙනවාද! ඔහු කොර අයව සනීප කරා, කන කැපුණ කෙනෙක්ව සුව කරා. (මතෙව් 12:13; ලූක් 22:50, 51) ඉතිං මට මගේ අත් දෙක ආයෙත් ලැබෙනවා කියලා ඉර හඳ වගේ විශ්වාසයි.

මට ලැබිච්ච ලොකුම ආශීර්වාදය තමයි යෙහෝවා දෙවි ගැන දැනගන්න ලැබුණ එක. මම යෙහෝවා දෙවියන්ට ගොඩක් ආදරෙයි. මගේ එකම සැනසීමත් ශක්තියත් යෙහෝවා දෙවි. මටත් හැඟෙන්නේ දාවිත්ට හැඟුණ දේමයි. ‘යෙහෝවා දෙවි මාගේ ශක්තියය. ඔහු මට උපකාර කළේය. එබැවින් මාගේ සිත ප්‍රීතියෙන් පිනා යයි.’ (ගීතාවලිය 28:7) බයිබලයෙන් ඉගෙනගත්ත සත්‍යය මම වස්තුවක් වගේ රැකගන්නවා. ඒකෙන් මගේ ජීවිතයට සතුටකුත් බලාපොරොත්තුවකුත් ලැබුණා.

^ 17 ඡේ. අවසාන කාලයේ ලකුණු ගැන තොරතුරු දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ යන පොතේ “අප ජීවත් වන්නේ ‘අවසාන කාලයේද?’” කියන 9වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. මේ පොත www.jw.org/si වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.