Skip to content

පටුනට යන්න

 ජීවිත වෙනස් කළ පොතක්

මං ගත කළේ හුඟක් දරුණු ජීවිතයක්

මං ගත කළේ හුඟක් දරුණු ජීවිතයක්
  • ඉපදුණ අවුරුද්ද: 1974

  • රට: මෙක්සිකෝව

  • අතීතයේදී: තරුණ කාලේම රණ්ඩුවලට පැටලුණ කෙනෙක්

මගේ අතීතය:

මං ඉපදුණේ තමාලිපාස් ප්‍රාන්තයේ, සියුඩෑඩ් මැන්ටේ කියන ලස්සන නගරයේ. එහේ හිටියේ පරිත්‍යාගශීලී කාරුණික අය. ඒත් අපරාධ කල්ලි නිසා ඒ නගරය හුඟක් භයානක වුණා.

අපේ පවුලේ පිරිමි ළමයි හතරදෙනාගෙන් මං දෙවෙනියා. අම්මයි තාත්තයි මාව කතෝලිකයෙක් විදිහට බව්තීස්ම කළා. මං ගීතිකා කණ්ඩායමෙත් හිටියා. අපායක පිච්චෙන්න වෙයි කියලා තිබුණු බය නිසා මං උත්සාහ කළා කොහොමහරි දෙවියන්ව සතුටු කරන්න.

මට අවුරුදු පහේදී තාත්තා අපිව දාලා ගියා. අපි තාත්තාට හුඟක් ආදරේ කරද්දී එයා අපිව දාලා ගියේ ඇයි කියලා මට හිතාගන්නත් බැරි වුණා. එදා ඉඳන් පවුලේ මුළු බරම වැටුණේ අම්මාගේ කරපිට. අපිව බලාගන්න එයා දවසට පැය ගාණක් මහන්සි වෙලා වැඩ කළා.

මං ඒකෙන් අයුතු ප්‍රයෝජන ගත්තා. ඉස්කෝලෙන් කට්ටි පැනලා මට වඩා වැඩිමල් අය එක්ක ආශ්‍රය කරන්න පටන්ගත්තා. කුණුහරුප කියන්න, සිගරට් බොන්න, හොරකම් කරන්න, ගහගන්න මං ඉගෙනගත්තේ එයාලාගෙන්. ඔය අතරේ බොක්සිං, රෙස්ලින්, කරාටේ වගේ ඒවාත් තුවක්කු පාවිච්චි කරන්නත් ඉගෙනගත්තා. මං හුඟක් දරුණු වුණා. හැම වෙලාවෙම වගේ වෙඩි තියාගන්න සිද්ධීන්වලටත් පැටලුණා. කිහිප වතාවක්ම වෙඩි වැදිලා ලේ පෙරාගෙන පාරේ වැටිලත් හිටියා. ඒ හැම වතාවකම වගේ අම්මා මාව උස්සගෙන ඉස්පිරිතාලෙට අරන් ගියා. මං අම්මාට කොච්චර දුකක් දුන්නාද කියලා මට දැන් තේරෙනවා.

මට වයස 16දී දවසක් පොඩි කාලේ මට හිටිය යාළුවෙක් අපේ ගෙදර ආවා. එයාගේ නම හෝහේ. එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියලත් අපිට කියන්න වටිනා පණිවිඩයක් තියෙනවා කියලත් එයා කිව්වා. එයා විශ්වාස කරපු දේවල් අපිට බයිබලයෙන්ම පෙන්නුවා. මං ඊට කලින් බයිබලය කියවලා තිබුණේ නෑ. දෙවියන්ගේ නමත් ඔහුගේ අරමුණත් දැනගත්තාම මට පුදුම හිතුණා. හෝහේ ඇහුවා අපි බයිබල් පාඩමක් කරමුද කියලා. අපි ඒකට කැමති වුණා.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි:

අපාය කියන ඉගැන්වීම ගැන බයිබලයේ නැහැ කියලා දැනගත්තාම මට ලොකු සහනයක් දැනුණා. (ගීතාවලිය 146:4; දේශනාකාරයා 9:5) එදා ඉඳන් දෙවිව මං දැක්කේ දරුවන්ගේ යහපත ගැන හිතන ආදරණීය තාත්තා කෙනෙක් වගෙයි.

ඔහොම කාලයක් බයිබලය ඉගෙනගන්නකොට මට තේරුණා මං වෙනස් වෙන්න ඕනෙ කියලා. යටහත්පහත් වෙන්නත් දරුණු දේවලට  හවුල් නොවී ඉන්නත් ඕනෙ කියලා මං තේරුම්ගත්තා. මට උදව් වුණු එක බයිබල් පදයක් තමයි 1 කොරින්ති 15:33. එතන කියනවා “නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි” කියලා. වෙනස් වෙන්න නම් මං ආශ්‍රය කරන නරක යාළුවන්ගෙන් ඈත් වෙන්න ඕනෙ කියලා මට තේරුණා. ඒ නිසා පරණ යාළුවෝ අතහැරලා සාක්ෂිකරුවන් අතරින් මං යාළුවන්ව හොයාගත්තා. එයාලා අතරේ ප්‍රශ්න ඇති වෙද්දී එයාලා ඒවා විසඳගන්නේ ගහලා බැනලා රණ්ඩු කරලා නෙවෙයි, බයිබල් ප්‍රතිපත්ති ජීවිතවලට අදාළ කරගෙනයි.

බයිබලයේ රෝම 12:17-19 පදවල තියෙන මේ දේත් මට උදව් වුණා. ‘කාටවත් නපුරට නපුර නොකරන්න. මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට ඔබට පෞද්ගලිකව කළ හැකි උපරිමය කරන්න. පළිගැනීමෙන් වළකින්න. මන්ද ලියවිලිවල සඳහන් ආකාරයට, “යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. දඬුවම් කරන්නේ මමය” කියා යෙහෝවා දෙවි පවසන්නේය.’ යෙහෝවා දෙවියන් ළඟදීම හැම අපරාධයක්ම ඉවත් කරනවා. ඒ ඔහු නියම කරන කාලෙදී ඔහු කැමති විදිහට. ඒක තේරුම්ගත්තට පස්සෙයි මං ටිකෙන් ටික මගේ දරුණුකම් අතඇරලා මගේ ජීවිතේ වෙනස් කරගන්න පටන්ගත්තේ.

දවසක් මං ගෙදර එන ගමන් වෙච්ච දෙයක් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මං එක්ක තරහින් හිටිය මැර කල්ලියක් එකපාරටම මට ගහන්න පටන්ගත්තා. එයාලාගේ නායකයා මගේ පිටට ගහලා කිව්වා “පුළුවන් නම් පැනගන්නවා” කියලා. ඒ වෙලාවේ මං යෙහෝවා දෙවිට කිව්වා මට උදව් කරන්න කියලා. එයාලාට ගහන්න ඕනෙ කියලා මට ලොකු ආවේගයක් ආවත් එතනින් බේරිලා යන්න මට පුළුවන් වුණා. ඊළඟ දවසේ ඒ මැර කල්ලියේ නායකයාව මට තනිවම හම්බ වුණා. ඒ වෙලාවේ මට ලොකු කේන්තියක් ආවත් මට මාවම පාලනය කරගන්න උදව් කරන්න කියලා මං දෙවිට යාච්ඤා කළා. පුදුමේ කියන්නේ එයා මං ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “ඊයේ වෙච්ච දේට මට සමාවෙන්න. ඇත්තටම මටත් ඕනෙ ඔයා වගේ වෙන්න. මට ඕනෙත් බයිබලය ඉගෙනගන්න.” මගේ කේන්තිය පාලනය කරගත්ත එක කොච්චර වටිනවාද කියලා මට ඒ වෙලාවේ තේරුණා. පස්සේ අපි දෙන්නාම එකට බයිබලයේ තියෙන තොරතුරු ඉගෙනගන්න පටන්ගත්තා.

කාලයක් යද්දී මගේ පවුලේ අනිත් අය බයිබලේ පාඩම් කරන එක නතර කළා. ඒත් මං නම් හිතාගත්තා මං දිගටම බයිබලේ ඉගෙනගන්නවා, ඒකට බාධා කරන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ කියලා. දිගටම දෙවිගේ සෙනඟව ආශ්‍රය කළොත් මගේ හිතේ තියෙන දුක නැති කරගන්න පුළුවන් කියලත් පවුලේ අයගෙන් ලැබෙන්නැති ආදරය, දිරිගැන්වීම එයාලගෙන් ලැබෙයි කියලත් මං දැනන් හිටියා. මං 1991දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වුණා.

මං දැන් අද්දකින ආශීර්වාද:

මං කේන්තියෙන්, දරුණු විදිහට වැඩ කරපු කෙනෙක්. ඒත් මාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න බයිබලයට පුළුවන් වුණා. දැන් මං ශුභාරංචිය ගැන අහන්න කැමති ඕනම කෙනෙක් එක්ක ඒ ගැන කතා කරනවා. අවුරුදු 23ක් තිස්සේ පූර්ණකාලීනව මං දෙවිට සේවය කරන්නේ හරිම සතුටින්.

ටික කාලයක් මං මෙක්සිකෝවේ ශාඛා කාර්යාලයෙත් සේවය කළා. එහෙදී තමයි මට ක්ලෝඩියාව හම්බ වුණේ. 1999දී අපි දෙන්නා විවාහ වුණා. ඒ වගේ විශ්වාසවන්ත කෙනෙක්ව දුන්න එක ගැන මං යෙහෝවා දෙවිට හුඟක් ස්තුතිවන්ත වෙනවා.

අපි දෙන්නා මෙක්සිකෝවේ සංඥා භාෂාවෙන් රැස්වීම් පවත්වන සභාවක සේවය කළා. බිහිරි අයට දෙවියන් ගැන කියලා දෙන්න ලැබුණු එක අපිට ලොකු සතුටක්. ඊටපස්සේ බෙලිස් රටේ ඉන්න අයටත් බයිබලයේ තියෙන තොරතුරු කියලා දෙන්න අපිට ආරාධනාවක් ලැබුණා. අපි ඒකටත් කැමති වුණා. අපි මෙහේ ගත කරන්නේ හුඟක් සරල ජීවිතයක් වුණත් සතුටින් ඉන්න ඕන කරන හැම දේම අපිට මෙහේ තියෙනවා. මොනම දෙයක් නිසාවත් ඒ දේ නැති කරගන්න අපි කැමති නැහැ.

කාලයක් යද්දී මගේ අම්මා ආයෙත් බයිබලය පාඩම් කරන්න පටන් අරන් පස්සේ බව්තීස්ම වුණා. මගේ ලොකු අයියත් එයාගේ බිරිඳත් දරුවනුත් සාක්ෂිකරුවන් වුණා. මං බයිබලේ තොරතුරු ගැන කතා කරපු පරණ යාළුවෝ කිහිපදෙනෙකුත් දැන් යෙහෝවා දෙවිට සේවය කරනවා.

මගේ පවුලේ කීපදෙනෙක්ම එයාලාගේ දරුණු ජීවිත වෙනස් කරගත්තේ නැති නිසා ජීවිතෙන් වන්දි ගෙව්වා. මගේ ජීවිතෙත් මං වෙනස් කරගත්තේ නැත්නම් මේ වෙනකොට මාත් මැරිලා. දෙවිගේ සෙනඟ මට හුඟක් ඉවසීමෙන්, කරුණාවෙන් බයිබලයේ තියෙන ප්‍රතිපත්ති කියලා දුන්නා. යෙහෝවා දෙවියන් මාව ඔහුගේ සෙනඟ අතරට ගත්ත එක ගැන මං හැමදාමත් ඔහුට ණයගැතියි.