Skip to content

පටුනට යන්න

 ජීවිත කතාව

බිහිරි වුණත් ඒක මං බාධාවක් කරගත්තේ නැහැ

බිහිරි වුණත් ඒක මං බාධාවක් කරගත්තේ නැහැ

මං බව්තීස්ම වුණේ 1941දී. එතකොට මට වයස 12යි. ඒත් 1946දී තමයි බයිබලේ තියෙන සත්‍යයන් ගැන මං හරියටම තේරුම්ගත්තේ. ඒ ඇයි කියලා දැන් මං ඔයාලට කියන්නම්.

1910දී මගේ අම්මායි, තාත්තායි ජෝර්ජියාවේ ඉඳලා කැනඩාවේ පදිංචියට ආවා. බටහිර කැනඩාවේ සස්කැචුවාන් පළාතේ තියෙන පුංචි ගමක එයාලා පදිංචි වුණා. මං ඉපදුණේ 1928දී. අපේ පවුලේ ළමයි 6දෙනායි. මං තමයි බාලයා. මං ඉපදෙන්න මාස 6කට කලින් තාත්තා නැති වෙලා. මං පුංචි කාලෙදීම අම්මාත් නැති වුණා. අම්මා නැති වෙලා වැඩි දවසක් යන්න කලින් මගේ ලොකු අක්කාත් නැති වුණා. ඊටපස්සේ අපි පස්දෙනාව බලාගත්තේ අපේ මාමා. එයාගේ නම නික්.

මං ඇවිදින්න පටන්ගත්ත කාලෙදී දවසක් මං ෆාම් එකේ හිටපු අශ්වයෙක්ගේ වලිගෙන් අදිනවා අපේ ගෙදර කට්ටිය දැකලා තියෙනවා. අශ්වයා පයින් ගහයි කියලා බය වෙලා ‘වලිගෙන් අදින්න එපා’ කියලා එයාලා හයියෙන් කෑගහලා මට කියලා තියෙනවා. එයාලා කොච්චර හයියෙන් කෑගැහුවත් මං හැරිලවත් බලලා නැහැ. අශ්වයා නම් මට පයින් ගැහුවේ නැහැ. ඒත් එදා වෙච්ච දේ නිසා තමයි මගේ පවුලේ අය දැනගත්තේ මට කන් ඇහෙන්නේ නැහැ කියලා.

පවුලේ හිතවතෙක් මාමාට කියලා තියෙනවා මාව බිහිරි පාසැලකට යවන එක තමයි හොඳම දේ කියලා. ඒ නිසා සස්කැටූන්වල තියෙන බිහිරි පාසැලකට මාමා මාව ඇතුල් කළා. ඉස්කෝලේ තිබුණේ ටිකක් ඈත නිසා එයාලා තීරණය කළා මාව එහේ නතර කරන්න. එතකොට මට වයස 5යි. පවුලේ අය ළඟ නැති නිසා එදා මට ලොකු බයක් දැනුණා. මට ගෙදර එන්න පුළුවන් වුණේ නිවාඩු කාලෙට විතරයි. ඔහොම කාලයක් යද්දී මං සංඥා භාෂාව ඉගෙනගත්තා. එහේ හිටපු ළමයි එක්ක සෙල්ලම් කරලා මං සතුටින් කාලේ ගත කළා.

බයිබල් සත්‍යයන් ඉගෙනගත්තා

1939දී මගේ අක්කා මෙරියන් විවාහ වුණා. ඊටපස්සේ මාවයි, මගේ අනිත් අක්කාවයි බලාගන්න වගකීම එයාලා භාරගත්තා. ඒ දෙන්නා තමයි මුලින්ම සාක්ෂිකරුවන් එක්ක පාඩම් කරන්න පටන්ගත්තේ. නිවාඩුවට මං ගෙදර ආවම එයාලා බයිබලෙන් ඉගෙනගත්ත දේවල් එයාලට පුළුවන් විදිහට මාත් එක්ක බෙදාගත්තා. එයාලා සංඥා භාෂාව දන්නේ නැති නිසා අපිට  අදහස් හුවමාරු කරගන්න ලේසි වුණේ නැහැ. ඒත් බයිබලේ තියෙන දේවල් ගැන දැනගන්න මට ලොකු ආසාවක් තියෙනවා කියලා එයාලට තේරුණා. එයාලා මොනවා හරි දෙයක් කළා නම් එහෙම කළේ ඒක බයිබලේ සඳහන් වෙන නිසයි කියලා මං තේරුම්ගත්තා. ඒ නිසා එයාලා දේශනා සේවයේ යද්දී මාත් එයාලත් එක්ක ගියා. මටත් ඕනෙ වුණා බව්තීස්ම වෙන්න. 1941 සැප්තැම්බර් 5වෙනිදා මගේ අක්කාගේ මහත්තයා වතුර පුරවපු ලොකු බැරල් එකක මාව බව්තීස්ම කළා.

1946දී ඔහයෝ ප්‍රාන්තයේ ක්ලීව්ලන්ඩ්වල තිබුණ සමුළුවකට ආපු බිහිරි අය එක්ක

ඉස්කෝලේ නිවාඩුවට මං ගෙදර ආවම අපි එක්සත් ජනපදයේ ක්ලීව්ලන්ඩ්වල තිබුණ සමුළුවකට ගියා. ඒ 1946දී. සමුළුවේ 1වෙනි දවසේදී අක්කලා දෙන්නා මාරුවෙන් මාරුවට දේශනවල තොරතුරු ලියලා මට පෙන්නුවා. 2වෙනි දවසේ මං දැනගත්තා ඒ සමුළුවේ සංඥා භාෂා කණ්ඩායමක් ඉන්නවා කියලා. එතන පරිවර්තකයෙකුත් හිටියා. එදා තමයි මට වැඩසටහනේ තිබුණ හැම දෙයක්ම තේරුම්ගන්න පුළුවන් වුණේ. බයිබල් සත්‍යයන් පැහැදිලිව තේරුම්ගන්න පුළුවන් වුණ එක කොයි තරම් සතුටක්ද!

බයිබල් සත්‍යයන් අනිත් අයටත් කියලා දුන්නා

2වෙනි ලෝක යුද්දේ ඉවර වෙනවත් එක්කම හැම තැනකම වගේ ජාතිවාදය ඇවිස්සෙන්න පටන්ගත්තා. සමුළුව ඉවර වෙලා මං ආවේ ඉස්කෝලෙදී මගේ විශ්වාසයන්ට එකඟව වැඩ කරනවා කියන අධිෂ්ඨානයෙන්. ඒ නිසා ජාතික කොඩියට ආචාර කරන එක, ජාතික ගීය කියන එක මං නැවැත්තුවා. ඉස්කෝලේ සමරන විවිධ උත්සවවලට ගියෙත් නැහැ. පූජාවට සහභාගි වෙන එක අනිවාර්යය දෙයක් වුණත් ඒකට යන එකත් මං නැවැත්තුවා. ඒ ගැන ටීචර්ස්ලා නම් හිටියේ එච්චර කැමැත්තෙන් නෙමෙයි. එයාලා මාව බය කරලා, මට බොරු කියලා මගේ හිත වෙනස් කරන්න හැදුවා. සිද්ධ වෙච්ච ඒ දේවල් නිසා මට අවස්ථාව ලැබුණා එයාලට දෙවි ගැන කියලා දෙන්න. මගේ පන්තියේ හිටපු ළමයි කීපදෙනෙක්ම සත්‍යය පිළිගත්තා. එයාලා අදටත් දෙවිට විශ්වාසවන්තව සේවය කරනවා.

වෙන නගරවලට ගියාම කොහොමහරි බිහිරි අයට දේශනා කරන්න මං උත්සාහ කරනවා. එඩී ටෙයිගර් කියන තරුණයාව මට හම්බ වුණේ මොන්ට්‍රියල්වල තිබුණ බිහිරි අයගේ සමිතියකදී. ඒ කාලේ එයා මැර කල්ලියක සාමාජිකයෙක්. ඒත් එයා සත්‍යය පිළිගත්තා. එයා ගිය අවුරුද්දේ මිය ගියා. ඒ වෙන කල්ම ක්විබෙක්වල ලවැල් නගරේ තියෙන සංඥා භාෂා සභාවේ එයා සේවය කළා. මට කවාන් ඇර්ඩනාස්ව හම්බ වුණෙත් එහෙදී. එයාත් හරියට බෙරීය නුවරේ අය වගේ. බයිබලේ තියෙන පණිවිඩය සත්‍යයද කියලා එයාටම තහවුරු කරගන්න එයා හුඟක් තොරතුරු හෙව්වා. (ක්‍රියා 17:10, 11) එයා මිය යන කල්ම ඔටාවාවල තියෙන සභාවේ වැඩිමහල්ලෙක් විදිහට සේවය කළා.

1950 මුල් කාලෙදී වීදි සේවය කරමින්

1950දී මං වැන්කුවර් නගරෙට ගියා. මං වැඩියෙන්ම ආස බිහිරි අයට දේශනා කරන්න වුණත් දවසක් මං කන් ඇහෙන කෙනෙක්ට සාක්ෂි දරලා ලබපු අද්දැකීම මට අමතක වෙන්නේ නැහැ. එයාගේ නම ක්‍රිස් ස්පයිසර්. මං එයාට ශුභාරංචිය ගැන කතා කළේ පාරෙදී. එයා මගෙන් සඟරා දායකයක් ලබාගත්තා. ගෙදරට ඇවිත් එයාගේ මහත්තයාව හම්බ වෙන්න කියලත් එයා මට කිව්වා. මහත්තයාගේ නම ගැරී. එයාව හම්බ වෙන්න ගියාම බයිබලේ තියෙන දේවල් ගැන අපි හුඟක් වෙලා  සාකච්ඡා කළා. එයායි, මායි සාකච්ඡාව කළේ තොරතුරු ලියලිය පෙන්නලා. ඊටපස්සේ අවුරුදු කීපයක් යන කල්ම අපිට ආයේ හම්බ වෙන්න බැරි වුණා. ඒත් දවසක් ටොරොන්ටෝවල තිබුණ සමුළුවකදී එයාලා මාව දැකලා මං ළඟට ඇවිත් කතා කළා. ඒක නම් පුදුම හමුවීමක්! එදා ගැරී බව්තීස්ම වෙන්නයි හිටියේ. සත්‍ය බීජ කොහොම, කොතන පැළ වෙයිද කියලා අපි දන්නේ නැති නිසා අත් නෑර ශුභාරංචිය දේශනා කරන එක කොච්චර වැදගත්ද කියලා මං තේරුම්ගත්තා.

පස්සේ කාලෙක මං ආයෙත් සස්කැටූන්වලට ආවා. එහෙදී මට හම්බ වුණ කාන්තාවක් කිව්වා එයාගේ බිහිරි දුවලා දෙන්නත් එක්ක බයිබල් පාඩමක් කරන්න කියලා. ඒ දෙන්නා ගියෙත් මං ගිය ඉස්කෝලෙටමයි. වැඩි කල් යන්න කලින් එයාලා බයිබලෙන් ඉගෙනගන්න දේවල් පන්තියේ ළමයින්ටත් කියන්න පටන්ගත්තා. පස්සේ කාලෙක එයාලගේ පන්තියේ ළමයි 5දෙනෙක්ම සත්‍යයට ආවා. ඒ එක් කෙනෙක්ගේ නම යූනස් කොලින්. මං ඉස්කෝලේ හිටපු අන්තිම අවුරුද්දෙදී මට එයාව හම්බ වෙලා තියෙනවා. දවසක් එයා මට පැණි රස කෑමක් දීලා එයාගේ යාළුවෙක් වෙන්න කැමතිද කියලා මගෙන් ඇහුවා. පස්සේ කාලෙක එයා මගේ ජීවිතේ කොටසක් වුණා. එයා තමයි මගේ බිරිඳ වුණේ.

1960දී සහ 1989දී යූනස් එක්ක

යූනස් බයිබලේ පාඩම් කරනවා කියලා එයාගේ අම්මා දැනගත්තම එයා ප්‍රින්සිපල් මාර්ගයෙන් අවවාද කරලා පාඩම නතර කරන්නයි හැදුවේ. එයා බයිබලේ පාඩම් කරන්න පාවිච්චි කරපු පොත් පත් ප්‍රින්සිපල් බලෙන් ගත්තා. ඒත් යූනස් යෙහෝවා දෙවිව අත්හැරියේ නැහැ. එයා බව්තීස්ම වෙන්න තීරණය කළාම එයාගේ අම්මායි, තාත්තායි එයාට කිව්වා “සාක්ෂිකරුවෙක් වෙනවා නම් ඔයා මේ ගෙදරින් යන්න ඕනෙ” කියලා. අවුරුදු 17දී එයා ගෙදරින් ගියා. එදා ඉඳන් එයාව බලාගත්තේ එයාගේ සභාවේ හිටපු පවුලක්. එයා දිගටම බයිබලේ පාඩම් කරලා බව්තීස්ම වුණා. 1960 අපි විවාහ වෙද්දී එයාගේ අම්මලා ඒකට ආවේ නැහැ. ඒත් කාලයක් යද්දී අපි දරුවෝ ඇතිදැඩි කරපු විදිහ දැකලා එයාලා අපේ විශ්වාසයන්ට ගරු කරන්න පටන්ගත්තා.

 යෙහෝවා දෙවි මාව බලාගත්තා

අපේ පුතා නිකලස් සහ එයාගේ බිරිඳ ඩෙබ්‍රා සේවය කරන්නේ ලන්ඩන් බෙතෙල් එකේ

අපි බිහිරි වුණාට අපේ පුතාලා 7දෙනාටම කන් ඇහෙනවා. එයාලව ඇතිදැඩි කරන එක ලේසි වුණේ නැහැ. එයාලත් එක්ක හොඳින් අදහස් හුවමාරු කරගන්න, බයිබලේ තියෙන සත්‍යයන් කියලා දෙන්න ඕනෙ නිසා අපි එයාලට සංඥා භාෂාව ඉගැන්නුවා. එයාලව හරි මාර්ගයේ ගෙනියන්න සභාවේ අයත් අපිට උදව් කළා. දවසක් සභාවේ කෙනෙක් අපේ පුතෙක් නමස්කාර මධ්‍යස්ථානයෙදී නරක වචන කියනවා කියලා පොඩි කොළයක ලියලා අපිට දුන්නා. ඒක අපිට උදව් වුණා පුතාව නිවැරදි කරන්න. පුතාලාගෙන් 4දෙනෙක් ඒ කියන්නේ ජේම්ස්, ජෙරී, නිකලස්, ස්ටීවන් එයාලගේ භාර්යාවන් සහ දරුවෝ එක්ක දෙවිට විශ්වාසවන්තව සේවය කරනවා. එයාලා 4දෙනාම වැඩිමහල්ලෝ. නිකලස් එයාගේ බිරිඳ එක්ක බ්‍රිතාන්‍ය ශාඛා කාර්යාලයේ සංඥා භාෂා පරිවර්තන වැඩවලට සහය දෙනවා. ස්ටීවනුයි, එයාගේ බිරිඳයි එක්සත් ජනපදයේ සංඥා භාෂා පරිවර්තන කණ්ඩායමක සේවය කරනවා.

ජේම්ස්, ජෙරී, ස්ටීවන් සහ එයාලගේ භාර්යාවන් සංඥා භාෂාවෙන් කරන දේශනා කිරීමේ කාර්යයට විවිධ විදිවලින් සහය දෙනවා

අපේ 40වෙනි වෙඩින් ඇනිවසරි එකට මාසෙකට කලින් යූනස් මිය ගියා. එයා අවුරුදු ගාණක් තිස්සේ පිළිකාවක් එක්ක සටන් කළා. ඒ කාලේ පුරා එයා අධෛර්යය වෙන්නේ නැතුව ඒක විඳදරාගත්තා. එයාට ශක්තියක් වුණේ නැවත නැඟිටීම ගැන එයාට තිබුණ විශ්වාසයයි. එයාව ආයෙත් දකින්න ලැබෙන දවස එන කල් මං හරිම ආසාවෙන් බලන් ඉන්නවා.

ෆේයි සහ ජේම්ස් මාකින්, ජෙරී සහ එව්ලින් මාකින්, ෂැනන් සහ ස්ටීවන් මාකින්

2012 පෙබරවාරි මාසේ මං වැටිලා මගේ උකුල් ඇටේ කැඩුණ නිසා තනියෙන් දේවල් කරගන්න අමාරු වුණා. ඒ නිසා මං පුතෙක් ළඟට ගියා. දැන් අපි සේවය කරන්නේ කැල්ගරි නගරේ තියෙන සංඥා භාෂා සභාවේ. මං තාමත් වැඩිමහල්ලෙක්. මං සංඥා භාෂා සභාවක ඉන්න මුල්ම වතාව මේකයි. ඒක හරි පුදුමයි නේ! මෙච්චර අවුරුදු ගාණක් සංඥා භාෂා සභාවක හිටියේ නැති මට දෙවිත් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න පුළුවන් වුණේ කොහොමද? ඒක කරන්න පුළුවන් වුණේ පියා නැති දරුවන්ව බලාගන්නවා කියලා දෙවි වෙලා තියෙන පොරොන්දුව ඔහු ඉටු කරපු නිසයි. (ගීතා. 10:14) දේශනවල තොරතුරු මට ලියලා පෙන්නපු, මං වෙනුවෙන් සංඥා භාෂාව ඉගෙනගත්ත හැම කෙනෙක්වම මං මුළු හදවතින්ම අගය කරනවා.

වයස 79දී ඇමරිකානු සංඥා භාෂාවෙන් තිබුණ පුරෝගාමි පාසැලට සහභාගි වෙමින්

කියන දේවල් හරියට තේරුම්ගන්න බැරි වෙද්දී, බිහිරි අයගේ අවශ්‍යතා හරියටම තේරුම් අරන් නැහැ කියලා දැනෙද්දී කලකිරුණ අවස්ථා තිබුණා. ඒත් පේතෘස් යේසුස්ට කියපු මේ දේ ඒ වගේ වෙලාවලදී මං මතක් කරගත්තා. “ස්වාමීනි, අප කා ළඟට යන්නද? සදාකාල ජීවනයට මඟ පාදන වදන් පවසන්නේ ඔබ පමණයි.” (යොහ. 6:66-68) මං සත්‍යයට ආපු කාලේ හිටපු තවත් හුඟක් බිහිරි සහෝදර සහෝදරියන් වගේ මමත් ඉවසන්න පුරුදු වුණා. යෙහෝවා දෙවි ගැන, සංවිධානය ගැන විශ්වාසය තියලා බලාගෙන ඉන්න පුරුදු වුණා. ඉවසීමෙන් බලන් ඉන්න පුරුදු වුණ නිසා අද මං කොයි තරම් ප්‍රයෝජන අද්දකිනවද! අද මට මගේම භාෂාවෙන් හුඟක් ප්‍රකාශන තියෙනවා. ඇමරිකානු සංඥා භාෂාවෙන් පවත්වන රැස්වීම්වලදී, සමුළුවලදී අනිත් අයව ආශ්‍රය කරන්නත් මට පුළුවන්. අපේ ශ්‍රේෂ්ඨ දෙවි යෙහෝවාට සේවය කරන්න ලැබුණ නිසා මං හරිම තෘප්තිමත් ජීවිතයක් ගත කළා.