Skip to content

පටුනට යන්න

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - මියන්මාරය

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - මියන්මාරය

“අස්වැන්න නම් විශාලයි. නමුත් වැඩකරුවන් සිටින්නේ ස්වල්පදෙනෙකු පමණයි. එමනිසා අස්වැන්න නෙළීමට වැඩකරුවන්ව එවන්න කියා අස්වැන්නේ ස්වාමියාට කන්නලව් කරන්න.” (ලූක් 10:2) ඒ වචන අද මියන්මාරයටත් ගැළපෙනවා. මොකද මියන්මාරයේ මිලියන 55ක ජනගහනයක් හිටියත් ප්‍රචාරකයන් ඉන්නේ 4,200ක් විතරයි.

“අස්වැන්නේ ස්වාමියා” වන යෙහෝවා දෙවි විවිධ රටවල ඉන්න සිය ගාණක් සහෝදර සහෝදරියන්ගේ හිත් පොලඹවලා තියෙනවා මියන්මාරයට ගිහින් අස්වැන්න නෙළන කාර්යයට හවුල් වෙන්න. තමන් ජීවත් වෙන රට අත්හැරලා මේ රටට එන්න එයාලා පෙලඹුණේ ඇයි? එහෙම එන්න එයාලට උදව් ලැබුණේ කොහොමද? එයාලා ලබන්නේ මොන වගේ ආශීර්වාදද? අපි දැන් ඒ ගැන බලමු.

“එන්න, අපිට පුරෝගාමීන් ඕනේ”

ජපානයේ පුරෝගාමි සේවය කරකර හිටපු කසුහිරෝට මීමැස්මොරය තියෙනවා. අවුරුදු කීපයකට කලින් වලිප්පුව හැදිලා එයා සිහිය නැතුව වැටුණා. වෛද්‍යවරයා එයාට කිව්වා අවුරුදු 2ක් යන කල් වාහන එළවන්න එපා කියලා. ඒක අහලා කසුහිරෝ කලබල වුණා. ‘දැන් මං කොහොමද පුරෝගාමි සේවය කරන්නේ’ කියලා එයා හිතුවා. දිගටම පුරෝගාමි සේවය කරන්න පුළුවන් විදිහක් පෙන්නන්න කියලා එයා යෙහෝවා දෙවිට කන්නලව් කළා.

කසුහිරෝ සහ මාරි

කසුහිරෝ මෙහෙම කියනවා. “මාසෙකට විතර පස්සේ මියන්මාරයේ සේවේ කරන මගේ යාළුවෙක් මට කෝල් කළා. එයා මෙහෙම කිව්වා. ‘මියන්මාරයේ අය වැඩිපුර ගමන් බිමන් යන්නේ බස් එකේ. ඔයා මෙහෙට ආවොත් කාර් එකක් නැතුව වුණත් පුරෝගාමි සේවේ කරන්න පුළුවන්.’ පස්සේ මං මගේ දොස්තරගෙන් ඇහුවා මගේ අසනීප තත්වයත් එක්ක මියන්මාරයට ගියාට කමක් නැද්ද කියලා. එයා කිව්ව දේ අහලා මට පුදුම හිතුණා. එයා කිව්වා ‘මියන්මාරයේ ඉන්න මොළේ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් දැන් ජපානයට ඇවිත් ඉන්නවා. මං ඔයාට එයාව මුණගස්සන්නම්. මියන්මාරයේදී ඔයාගේ අසනීප තත්වය ආයෙත් ආවොත් ඔයා ඒ දොස්තරට කතා කරන්න’ කියලා. ඒක යෙහෝවා දෙවි මගේ යාච්ඤාවලට දුන්න උත්තරයක්.”

කසුහිරෝ ඉක්මනින්ම මියන්මාරයේ ශාඛා කාර්යාලයට ඊ-මේල් එකක් යවලා කිව්වා එයායි, එයාගේ බිරිඳයි මියන්මාරයට ඇවිත් පුරෝගාමි සේවය කරන්න කැමතියි කියලා. දවස් 5කින් ඒකට උත්තර ආවා. එයාලා කියලා තිබුණා “එන්න, අපිට පුරෝගාමීන් ඕනෙ” කියලා. කසුහිරෝයි, එයාගේ බිරිඳ මාරියි මේ වෙද්දී මන්ඩලේ නගරේ සංඥා භාෂා කණ්ඩායමත් එක්ක සේවය කරනවා. කසුහිරෝ මෙහෙම කියනවා. “ගීතාවලිය 37:5 කියන්නේ ‘ඔබේ ජීවිතය යෙහෝවා දෙවිට භාර දෙන්න. ඔහු මත රඳා  සිටින්න. එවිට ඔහු ඔබ වෙනුවෙන් නිසි පියවර ගනියි’ කියලා. ඒ පොරොන්දුව ගැන අපිට තියෙන විශ්වාසය වැඩි වුණා.”

යෙහෝවා දෙවි පාර හදලා දුන්නා

2014දී මියන්මාරයේ විශේෂ සමුළුවක් තිබුණා. ඒකට රටවල් කීපයකින්ම සාක්ෂිකරුවන් ආවා. මොනික් ඒ අයගෙන් කෙනෙක්. එයා එක්සත් ජනපදයේ හිටපු වයස 34ක සහෝදරියක්. එයා මෙහෙම කියනවා. “සමුළුව ඉවර වෙලා ගෙදර ගියාට පස්සේ මං යෙහෝවා දෙවිට යාච්ඤා කරලා ඇහුවා මං ඊළඟට කරන්න ඕනෙ මොනවාද කියලා. සේවේ තව වැඩියෙන් කරන්න මට තියෙන ඉලක්ක ගැන මං අම්මායි, තාත්තායි එක්කත් කතා කළා. එයාලත් හිතුවේ මං මියන්මාරයට ගිහින් සේවේ කළොත් හොඳයි කියලා. ඒත් හරියටම ඒ තීරණය ගන්න ටික දවසක් ගියා. හුඟක් යාච්ඤාත් කළා.” ඒකට හේතුව මොනික්ම විස්තර කරනවා.

මොනික් සහ ලි

“යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා දෙයක් කරන්න කලින් ඒකට ‘යන වියදම ගණන් බලන්න’ කියලා. ඉතින් මං කල්පනා කළා ‘මේ ගමන යන්න ඕනෙ කරන සල්ලි මට තියෙනවාද? එහෙදී දවස් කීපයක් විතරක් වැඩ කරලා මගේ වියදම් පියවන්න පුළුවන් වෙයිද’ කියලා. එතකොටයි මට තේරුණේ එහෙම ගිහින් ජීවත් වෙන්න මං ළඟ තියෙන සල්ලි මදි වෙයි කියලා.” එහෙමනම් එයාට ඒ ගමන යන්න පුළුවන් වුණේ කොහොමද?—ලූක් 14:28.

මොනික් මෙහෙම කියනවා. “දවසක් මගේ බොස් මට කතා කරලා කිව්වා එයාව හම්බ වෙන්න කියලා. මං හිතුවේ එයා මාව අස් කරයි කියලා. ඒත් වුණේ වෙන දෙයක්. මගේ වැඩ හොඳයි කියලා එයා මට ස්තුති කළා. ඊටපස්සේ එයා කිව්වා මට බෝනස් එකකුත් ලෑස්ති කරලා තියෙනවා කියලා. බෝනස් එක විදිහට ලැබුණ මුදල දැක්කාම මට පුදුම හිතුණා. මට ගෙවන්න තිබුණ මුදල් ටික ගෙවලා ඉවර කරන්න ඕනෙ කරන මුදල හරියටම එතන තිබුණා.”

මොනික් 2014 දෙසැම්බර් මාසේ ඉඳන් මියන්මාරයේ සේවය කරනවා. ඒ ගැන එයාට කොහොමද හැඟෙන්නේ? “මං ඉන්නේ හරිම සතුටින්. මට බයිබල් පාඩම් 3ක්ම තියෙනවා. එයාලගෙන් එක් කෙනෙක් අවුරුදු 67ක කාන්තාවක්. මං පාඩමට ගියාම එයා මාව පිළිගන්නේ බදාගෙන. දෙවිගේ නම යෙහෝවා කියලා දැනගත්ත වෙලාවේ එයාගේ ඇස්වලට කඳුළු ආවා. ඊටපස්සේ එයා මෙහෙම කිව්වා. ‘දෙවිගේ නම යෙහෝවා කියලා මගේ ජීවිතේ පළවෙනි වතාවටයි මං ඇහුවේ. ඔයා මට වඩා ගොඩක් බාලයි. ඒත් වටිනාම දේ මට කියලා දුන්නේ ඔයායි.’ ඒක අහද්දී මගේ ඇස්වලටත් කඳුළු ආවා. ඒ වගේ අද්දැකීම් නිසා මෙහේ සේවේ තවත් රසවත් වෙනවා.” ළඟදී ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට සහභාගි වෙන්නත් මොනික්ට අවස්ථාව ලැබුණා.

මියන්මාරයට ඇවිත් සේවය කරන්න හුඟක් අය පෙලඹුණ තවත් හේතුවක් තමයි ‘2013 වාර්ෂික පොතේ’ මියන්මාරය ගැන සඳහන් වුණ වාර්තාව. වයස 30 ගණන්වල ඉන්න සහෝදරි ලි ජීවත් වෙන්නේ ගිනිකොන දිග ආසියාවේ රටක. එයා පූර්ණකාලීන රැකියාවක් කරපු කෙනෙක්. ඒත් ‘වාර්ෂික පොතේ’ වාර්තාව කියෙව්වාට පස්සේ මියන්මාරයට ගිහින් සේවය කරන එක ගැන එයා හිතුවා. “2014දී මං යාගොන්වල තිබුණ විශේෂ සමුළුවට ගියා. මට එහේදී හම්බ වුණා චීන භාෂාව කතා කරන අයට දේශනා කරන්න වෙන රටකින් එහෙට ඇවිත් හිටපු යුවළක්ව. මාත් චීන භාෂාව කතා කරන නිසා තීරණය කළා එහේ තියෙන චීන භාෂා කණ්ඩායමකට උදව් කරන්න. මං මොනික් එක්ක සේවේ කරන්න මන්ඩලේට ගියා. අපි දෙන්නාටම එකම ඉස්කෝලේ රස්සා හම්බ වුණා. වැඩ කරන්න වුණෙත් දවස් කීපයයි. ළඟපාතින්ම නවතින්න තැනකුත් හම්බ වුණා. අපි හිතන්නේ ඒ හැම දෙයක්ම යෙහෝවා දෙවිගෙන් ලැබුණ ආශීර්වාද කියලා. මෙහේ ටිකක් රස්නෙයි. පොඩි පොඩි අපහසුතා නැතුවමත් නෙමෙයි. ඒත් මෙහේ සේවෙන් මං ලබන්නේ ලොකු සතුටක්. මෙහේ මිනිසුන්ගේ ජීවිත සරලයි. එයාලා කෑගහන, බණින අය නෙමෙයි. ශුභාරංචියට ඇහුම්කන් දෙන්න කැමතියි. මෙහේ සේවේ දෙවි වේගවත් කරලා තියෙන විදිහ නම් හරිම පුදුමයි. මට හොඳටම විශ්වාසයි මාව මෙහෙට එව්වේ යෙහෝවා දෙවි කියලා.”

යෙහෝවා දෙවි යාච්ඤාවලට සවන් දෙනවා

මියන්මාරයට ඇවිත් සේවය කරන හුඟදෙනෙක්ට ස්ථිරයි යෙහෝවා දෙවි එයාලගේ යාච්ඤාවලට උත්තර දුන්නා  කියලා. වයස 37ක් වන ජුම්පේ සහ වයස 35ක් වන එයාගේ බිරිඳ නාඕ ඒ වගේ දෙන්නෙක්. ඒ දෙන්නා ජපානයේ සංඥා භාෂා සභාවක සේවය කරමින් හිටියේ. එයාලා මියන්මාරයට ආවේ ඇයි? ජුම්පේ මෙහෙම කියනවා. “මමයි, මගේ බිරිඳයි ආසාවෙන් හිටියේ ප්‍රචාරකයන් අඩු රටකට ගිහින් සේවේ කරන්න. අපි ළඟ ඒ තරම් මුදලක් තිබුණේ නෑ. ඒත් අපි 2010 මැයි මාසේ මියන්මාරයේ සේවේ කරන්න ගියා. එහේ හිටපු සහෝදර සහෝදරියෝ අපිව පිළිගත්තේ හරිම ආදරෙන්.” එයාලා සේවය කරන්නේ මියන්මාරයේ සංඥා භාෂා සභාවක. “හුඟක් අය හරිම උනන්දුයි. සංඥා භාෂාවෙන් තියෙන අපේ වීඩියෝ පෙන්නුවාම එයාලා ආසාවෙන් ඒවා බලනවා. සේවේ කරන්න මෙහෙට එන්න අපි ගත්ත තීරණේ ගැන අපිට දැනෙන්නේ කියාගන්න බැරි සතුටක්” කියලා ජුම්පේ කියනවා.

නාඕ සහ ජුම්පේ

ජුම්පේ සහ නාඕ එයාලගේ වියහියදම් හොයාගත්තේ කොහොමද? “අවුරුදු 3ක් යන කල් අපි වියදම් කළේ කලින් අපි ඉතුරු කරගත්ත සල්ලි. ඊළඟ අවුරුද්දේ ගෙවල් කුලි ගෙවන්න අපි ළඟ තිබුණ සල්ලි මදි කියලා අපිට තේරුණා. මමයි, මගේ බිරිඳයි ඒ ගැන යෙහෝවා දෙවිට කියලා හුඟක් වතාවක් යාච්ඤා කළා. දවසක් ශාඛා කාර්යාලය අපෙන් ඇහුවා තාවකාලික විශේෂ පුරෝගාමීන් විදිහට සේවේ කරන්න කැමතිද කියලා. ඒක අපි හිතුවේවත් නැති දෙයක්. දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කළොත් දෙවි අපිව අත්හරින්නේ නැහැ කියලා අපි අද්දැක්කා.” ළඟදී ජුම්පේ සහ නාඕ ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට සහභාගි වුණා.

යෙහෝවා දෙවි හුඟදෙනෙකුව පෙලඹුවා

වයස 43ක් වන සිමෝනේ ඉතාලියේ සහෝදරයෙක්. එයාගේ බිරිඳ ඇනාට වයස 37යි. එයා නවසීලන්ත ජාතිකයෙක්. එයාලා මියන්මාරයට ආවේ ඇයි? “ඒකට අපිව පෙලඹුවේ ‘2013 වාර්ෂික පොතේ’ මියන්මාරය ගැන තිබුණ වාර්තාව” කියලා ඇනා කියනවා. සිමෝනේ මෙහෙම කියනවා. “මෙහේ ජීවිතේ සරලයි. ඒ නිසා වැඩිපුර කාලයක් යෙහෝවා දෙවි වෙනුවෙන් දෙන්න පුළුවන්. ප්‍රචාරකයන් අඩු රටක සේවේ කරද්දී යෙහෝවා දෙවි අපිව රැකබලා ගන්න විදිහ නම් හරිම පුදුමයි.” (ගීතා. 121:5) ඇනා කියන්නේ මෙහෙමයි. “වෙන කවදාකටත් වඩා මං දැන් ඉන්නේ සතුටින්. අපි දෙන්නා වැඩිපුර කාලයක් එකට ගත කරන නිසා අපි අතරේ තියෙන බැඳීමත් දැන් වැඩි වෙලා. අපිට දැන් හුඟක් අලුත් යාළුවෝ ඉන්නවා. මෙහේ මිනිස්සු සාක්ෂිකරුවන්ව පහත් කරලා සලකන්නේ නෑ. එයාලා පණිවිඩේ අහන්නත් හරිම උනන්දුයි.”

සිමෝනේ සහ ඇනා

“දවසක් මං මාකට් එකේදී විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න තරුණියකට සාක්ෂි දැරුවා. එයාව ආයෙත් හම්බ වෙන්න ගිය වෙලාවේ එයාගේ යාළුවෙක්ටත් එයා එන්න කියලා තිබුණා. ඊළඟ වතාවේ යද්දී එයා තව කීපදෙනෙක්ට එන්න කියලා තිබුණා. ඊටපස්සේ එයා තව අයවත් එක්කගෙන ඇවිත් හිටියා. දැන් මං ඒ අයගෙන් 5දෙනෙක් එක්ක බයිබලේ පාඩම් කරනවා.” සිමෝනේ කියන්නේ මෙහෙමයි. “මිනිසුන් හරිම මිත්‍රශීලියි. අපි කරන සේවේ ගැන දැනගන්නත් එයාලා ආසයි. උනන්දුවක් දක්වන හැමෝවම බලන්න යන්න අපිට කාලේ මදි.”

සාචිඕ සහ මිසූහෝ

ජපානයේ ඉඳන් ආපු මිසූහෝ මෙහෙම කියනවා. “මමයි, මගේ සැමියා සාචිඕයි ආසාවෙන් හිටියේ ප්‍රචාරකයන් අඩු රටකට ගිහින් සේවේ කරන්න. ඒත් කොහෙටද යන්නේ කියලා අපි හිතහිත හිටියේ. ‘2013 වාර්ෂික පොතේ’ මියන්මාරය ගැන සඳහන් වාර්තාවේ තිබුණ අද්දැකීම්  කියෙව්වාම අපිටත් එහෙට යන්න ආස හිතුණා.” සාචිඕ මෙහෙම කියනවා. “අපි මුලින්ම සතියක නිවාඩුවකට මියන්මාරයට ගියා. ඒ ගිය ගමනේදී අපිට තේරුණා අපි මෙහෙට එන්න ඕනෙ කියලා.”

ඔයාටත් එන්න පුළුවන්ද?

ජේන්, ඩැනිකා, රොඩ්නි සහ ජෝඩන්

ඕස්ට්‍රේලියාවේ ඉඳන් ආපු වයස 50 ගණන්වල ඉන්න රොඩ්නි සහ ජේන් යුවළත් එයාලගේ පුතා ජෝඩනුත් දුව ඩැනිකාත් 2010 ඉඳන් මියන්මාරයේ සේවය කරනවා. රොඩ්නි මෙහෙම කියනවා. “මෙහේ මිනිසුන්ට දෙවි ගැන ඉගෙනගන්න තියෙන ආසාව දැක්කාම සේවේ කරන්න අපිට තිබුණ උද්‍යෝගය වැඩි වුණා. මං අනිත් අයටත් කියන්නේ පවුලක් විදිහට ඇවිත් මේ වගේ රටක සේවේ කරන්න කියලා.” එහෙම කියන්නේ ඇයි? “මෙහේ ආපු එකෙන් පවුලේ හැමෝම දෙවිට තව ළං වුණා. හුඟක් යෞවනයෝ උනන්දු වෙන්නේ අලුත්ම ෆෝන්, කාර්, රැකියාව වගේ දේවල් ගැන. ඒත් අපේ දරුවෝ මෙහේ අය කතා කරන භාෂාව ඉගෙනගන්න, බයිබලේ ගැන ඒ තරම් දන්නේ නැති අයට දේවල් පැහැදිලි කරලා දෙන්න, රැස්වීම්වලදී මෙහේ භාෂාවෙන් උත්තර දෙන්න වගේ නමස්කාරයට සම්බන්ධ දේවල් ගැන තමයි උනන්දු වෙන්නේ.”

ඔලිව සහ ඇනා

වයස 37ක් වන ඔලිව එක්සත් ජනපදයේ ඉඳන් ආපු සහෝදරයෙක්. මියන්මාරයට ඇවිත් සේවය කරන්න කියලා එයා අනිත් අයටත් උනන්දු කරනවා. ඒකට හේතුව එයා මෙහෙම කියනවා. “හුරුපුරුදු හැම දෙයක්ම වගේ අත්හැරලා සේවේ කරන එකෙන් හුඟක් ප්‍රයෝජන තියෙනවා. මොන දේට මූණ දෙන්න වුණත් යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරන්න ඒකෙන් මං ඉගෙනගත්තා. කලින් අඳුරගෙන හිටියේ නැති අය එක්ක සේවේ කරද්දී මට තේරුණා අපේ එක්සත්කමට හේතුව අපේ විශ්වාසයන් කියලා. ඒ වගේ එක්සත්කමක් ඇති කරන්න පුළුවන් දේවරාජ්‍යයට විතරයි.” මේ වෙද්දීත් ඔලිව එයාගේ බිරිඳ ඇනා එක්ක චීන භාෂාව කතා කරන සභාවක උද්‍යෝගයෙන් සේවය කරමින් ඉන්නවා.

ට්‍රෙසෙල්

ට්‍රෙසෙල් ඕස්ට්‍රේලියාවේ ඉඳන් ආපු වයස 52ක සහෝදරියක්. 2004 ඉඳන් මියන්මාරයේ සේවය කරන එයා මෙහෙම කියනවා. “තත්වයන් ඉඩ දෙනවා නම් ප්‍රචාරකයන් අඩු පැත්තකට ගිහින් සේවේ කරන්න කියලා මං අනිත් අයටත් කියනවා. ඒකට ඔයාගේ හිතේ ආසාවක් තියෙනවා නම් ඒ වෙනුවෙන් ඔයා දරන උත්සාහයට දෙවි ආශීර්වාද කරයි. මං ඒක අද්දැක්කා. වෙනත් රටකට ඇවිත් සේවේ කරන්න මට පුළුවන් කියලා මං හීනෙකින්වත් හිතුවේ නෑ. මං දැන් ගත කරන්නේ ආශීර්වාද පිරුණු, තෘප්තිමත් ජීවිතයක්.”

මියන්මාරයට ඇවිත් සේවය කරන සහෝදර සහෝදරියන්ගේ ඒ දිරිගන්වන වචන ප්‍රචාරකයන් අඩු පැත්තකට ගිහින් සේවය කරන්න ඔයාගේ හිතෙත් පෙලඹීමක් ඇති කරයි කියලා අපි පතනවා. වෙනත් රටවලින් ඇවිත් සේවය කරන අය ඔයාටත් කියන්නේ ‘මියන්මාරයට ඇවිත් අපට උපකාර කරන්න’ කියලයි.