Skip to content

පටුනට යන්න

“මුළු පොළොවෙම විනිශ්චයකරු” සැමවිටම යුක්තිය ඉටු කරනවා

“මුළු පොළොවෙම විනිශ්චයකරු” සැමවිටම යුක්තිය ඉටු කරනවා

“දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත. දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි.”—ද්වි. 32:4.

ගීතිකා: 12, 135

1. යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරනවා කියලා තමන්ට නිසැකයි කියලා ආබ්‍රහම් පෙන්නුවේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

“මුළු පොළොවෙම විනිශ්චයකරු වන ඔබ සාධාරණය ඉෂ්ට කරන්නේ නැද්ද” කියලා ආබ්‍රහම් දෙවිගෙන් අහනවා. (උත්. 18:25) එයා ඒ ප්‍රශ්නේ ඇහුවේ සොදොම් සහ ගොමෝරා කියන නගරවලට දෙවි විනිශ්චයක් දුන්න වෙලාවෙයි. ආබ්‍රහම්ට දෙවිගේ විනිශ්චයන් ගැන සැකයක් තිබුණ නිසාද එහෙම ඇහුවේ? නැහැ. දෙවි කීයටවත් අසාධාරණ විනිශ්චයක් කරන්නේ නැහැ කියලා එයාට ලොකු විශ්වාසයක් තිබුණ නිසයි එහෙම ඇහුවේ. යෙහෝවා දෙවි ධර්මිෂ්ඨ, දුෂ්ට දෙපිරිසම එකට විනාශ කරයි කියන එක ගැන තමන්ට “හිතාගන්නවත් බැහැ” කියලා එයා කිව්වා. දෙවිම තමන් ගැන කිව්වේ මෙහෙමයි. “දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත. දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි. ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි. ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි. දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.”—ද්වි. 31:19; 32:4.

2. දෙවි අතින් කවදාවත් අයුක්තියක් වෙන්නේ නැහැ කියන්නේ ඇයි?

2 යෙහෝවා දෙවි කරන කිසිම දේක දෝෂයක් නැහැ කියලා විශ්වාස කරන්න ආබ්‍රහම්ට පුළුවන් වුණේ ඇයි? ධර්මිෂ්ඨකම කියන්නේ මොකක්ද යුක්තිය කියන්නේ මොකක්ද කියන දේ ගැන ප්‍රමිති පිහිටෙව්වේ  යෙහෝවා දෙවි. හෙබ්‍රෙව් ලියවිල්ලේ “යුක්තිය” සහ “ධර්මිෂ්ඨකම” කියන වචන 2 හුඟක් අවස්ථාවලදී පාවිච්චි කරලා තියෙන්නේ එකට. මොකද ධර්මිෂ්ඨ කෙනෙක් සහ යුක්තිගරුක කෙනෙක් අතරේ වෙනසක් නැති තරම්. දෙවි පිහිටුවලා තියෙන හැම ප්‍රමිතියක්ම ධර්මිෂ්ඨ නිසා ඔහු දෙන විනිශ්චයනුත් හැම වෙලේම නිවැරදියි. බයිබලේ කියන්නේ “ඔහු ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රිය කෙනෙකි” කියලා.—ගීතා. 33:5.

3. අද ලෝකෙ කොයි තරම් අසාධාරණකම් වෙනවද කියලා පැහැදිලි වෙන උදාහරණයක් කියන්න.

3 යෙහෝවා දෙවි කවදාවත් අසාධාරණ විදිහට වැඩ කරන්නේ නැහැ කියලා දැනගෙන ඉන්න එක අපිට ලොකු සහනයක්. ඒත් අද ලෝකෙ පුරාම දකින්න තියෙන්නේ අසාධාරණකම්. උදාහරණෙකට අසාධාරණ නඩු තීන්දු නිසා සමහරුන්ව අවුරුදු ගාණකට හිරේ දානවා. ඒත් පස්සේ කාලෙක කරන DNA පරීක්ෂණවලින් ඔප්පු වෙනවා එයාලා ඒ වරද කරලා නැහැ කියලා. නිදොස් කියලා ඔප්පු වෙද්දී එයාලගේ ජීවිතෙන් වැඩි හරියක් හිරගෙදර ගෙවිලා ඉවරයි. ඒ වගේ අසාධාරණකම් නිසා මිනිසුන් කලකිරෙනවා. මිනිසුන්ට තරහක් ඇති වෙනවා. මොකද අසාධාරණකම් දරාගන්න ලේසි නැහැ. දෙවිගේ සේවකයන් වන අපිට දරාගන්න අමාරුම මොන අසාධාරණකම්ද?

සභාවේ වෙන අසාධාරණකම්

4. දෙවිගේ සේවකයෙකුගේ විශ්වාසය සෝදිසියට ලක් වෙන්න පුළුවන් මොන වගේ අවස්ථාවකදීද?

4 මේ දුෂ්ට සමාජයේ මිනිසුන් අතින් තමන්ට අසාධාරණකම් වෙද්දී දෙවිගේ සේවකයන් ඒ ගැන පුදුම වෙන්නේ නැහැ. ඒත් සභාවේ යම් අසාධාරණයක් වෙනවා දැක්කොත් නැත්නම් සභාවේ කෙනෙක්ගෙන් තමන්ට අසාධාරණයක් වුණොත් ඒක දරාගන්න ලේසි නැහැ. ඒ වගේ වෙලාවට අපේ විශ්වාසයත් සෝදිසියට ලක් වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවකදී ඔයා මොනවද කරන්නේ? ඔයා අධෛර්යය වෙලා දෙවිගෙන් ඈත් වෙනවද?

5. සභාවේ අසාධාරණයක් වෙනවා දැක්කොත් නැත්නම් ඔයාට අසාධාරණයක් වුණොත් ඔයා පුදුම වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

5 අපි හැමෝටම පාපය උරුම වෙලා තියෙන නිසා සභාවේ කෙනෙක් අතින් අපිට අසාධාරණයක් වෙන්න පුළුවන්. අපි අතින් තව කෙනෙක්ට අසාධාරණයක් වෙන්නත් පුළුවන්. (1 යොහ. 1:8) සභාවේ අසාධාරණකම් වෙන එක නිතර දකින්න තියෙන දෙයක් නෙමෙයි. ඒත් එහෙම දෙයක් වුණොත් දෙවිට ළැදි අය ඒ ගැන පුදුම වෙන්නෙවත් කලකිරෙන්නෙවත් නැහැ. මොකද ඒ වගේ අවස්ථාවකදී වුණත් දෙවිට ළැදිව ඉන්න උදව් වෙන වටිනා උපදෙස් දෙවි බයිබලේට ඇතුළත් කරලා තියෙනවා.—ගීතා. 55:12-14.

6, 7. සහෝදරයෙක් සභාවේ අයගෙන් අද්දැක්කේ මොන වගේ අසාධාරණකම්ද? ඒක දරාගන්න එයාට උදව් වුණ ගුණාංග මොනවද?

6 සහෝදර විලී ඩිල් මුහුණ දීපු දෙයක් ගැන බලමු. එයා 1931දී ස්විට්සර්ලන්තයේ බෙතෙල් එකේ සේවය කරන්න පටන්ගත්තා. 1946දී ගිලියද් පාසැලේ 8වෙනි පන්තියට සහභාගි වුණාට පස්සේ ස්විට්සර්ලන්තයේ චාරිකා සේවය කරන්න එයාට පැවරුමක් ලැබුණා. ඒ සේවය කරකර ඉද්දී 1949 මැයි මාසේදී සහෝදර ඩිල් ශාඛා කාර්යාලයට දැනුම් දුන්නා එයා විවාහ වෙන්න යනවා කියලා. ශාඛා කාර්යාලයෙන් මොනවද කිව්වේ? එයාලා කියපු දේ ගැන සහෝදර ඩිල් මෙහෙම කිව්වා. “ස්ථාවර පුරෝගාමි සේවය කරන්න පුළුවන්. හැබැයි අනිත් හැම වගකීමක්ම අයින් කරනවා කියලා එයාලා මට කිව්වා. මට දේශන දෙන්න අවසර දුන්නෙත් නැහැ. හුඟදෙනෙක් අපිත් එක්ක කතා කළෙත් නැහැ. එයාලා අපිට සැලකුවේ සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු අය විදිහටයි.”

7 සහෝදර ඩිල් ඒ අසාධාරණයට මුහුණ දුන්නේ කොහොමද? එයා මෙහෙම කියනවා. “බඳින එක බයිබලේ හෙළාදැකලා නැහැ කියලා අපි දැනං හිටියා. ඒ නිසා අපි මුහුණ දීපු අසාධාරණය ගැන දෙවිට කිව්වා. දෙවි ගැන විශ්වාසය තියලා බලාගෙන හිටියා.” ඒ කාලේ හිටපු සමහර සහෝදරයන්ට විවාහ වෙන එක ගැන වැරදි මතයක් තිබුණත් කාලයක් යද්දී එයාලා හිතපු විදිහ නිවැරදි කළා. සහෝදර ඩිල්ට එයාගේ වගකීම් ආයෙත් ලැබුණා. එයා පෙන්නපු ළැදිකමට දෙවි එයාට ආශීර්වාද කළා. * මේ ප්‍රශ්න ගැන අපිත් හිතමු. ‘ඒ වගේ අසාධාරණයකට මට මුහුණ දෙන්න වුණොත් යෙහෝවා දෙවි  කාරණා නිවැරදි කරන කල් මාත් ඉවසීමෙන් බලන් ඉඳීද? නැත්නම් දේවල් මගේ අතට අරන් වෙච්ච අසාධාරණය වෙනුවෙන් සටන් කරයිද?’—හිතෝ. 11:2; මීකා 7:7 කියවන්න.

8. අපිට නැත්නම් තව කෙනෙක්ට අසාධාරණයක් වෙනවා කියලා වැරදි විදිහට හිතන්න ඉඩ තියෙන්නේ ඇයි?

8 සභාවේ යම් අසාධාරණයක් වෙනවා කියලා ඔයාට හිතෙනවා නම් ඒක වරදවා වටහාගැනීමක් වෙන්න පුළුවන්. එහෙම කියන්නේ ඇයි? අපිට පාපය උරුම වෙලා තියෙන නිසා සිද්ධ වුණ යම් දෙයක් ගැන අපි තේරුම්ගත්තේ වැරදියට වෙන්න පුළුවන්. අනිත් අතට ඒ කාරණයට සම්බන්ධ හැම තොරතුරක්ම අපි දන්නේ නැති වෙන්නත් පුළුවන්. ඔයා හිතාගෙන ඉන්න විදිහ හරි වුණත් වැරදි වුණත් ඒ කාරණය ගැන දෙවිට යාච්ඤා කරන්න. ඔහු ගැන විශ්වාසයෙන් ඉන්න. දිගටම දෙවිට ළැදිව ඉන්න. එහෙම කරද්දී ‘යෙහෝවා දෙවිට සිතින් දොස් කියන්න’ ඔයා පෙලඹෙන්නේ නැහැ.—හිතෝපදේශ 19:3 කියවන්න.

9. මේ ලිපියෙනුත් ඊළඟ ලිපියෙනුත් අපි බලන්නේ මොන උදාහරණ ගැනද?

9 අතීතයේදී දෙවිගේ සෙනඟ අතරේ අසාධාරණකම් සිද්ධ වුණ අවස්ථා 3ක් ගැන අපි බලන්න යනවා. අපි මේ ලිපියෙන් බලන්නේ ආබ්‍රහම්ගේ මුනුපුරෙක් වුණ යෝසෙප් එයාගේ අයියලාගෙන් වුණ අසාධාරණයකට මුහුණ දීපු විදිහ ගැනයි. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් රාජ්‍යයේ රජ වුණ ආහබ් එක්ක වැඩ කරපු විදිහ ගැනත් සිරියාවේ අන්තියෝකියේදී පේතෘස් මුහුණ දීපු සිද්ධියක් ගැනත් ඊළඟ ලිපියෙන් බලනවා. ඔයාටත් හිතෙනවද ඔයා අසාධාරණයකට මුහුණ දෙනවා කියලා? එහෙමනම් මේ උදාහරණ ගැන බලද්දී දෙවිව අමතක කරන්නේ නැතුව ඉන්නත් ඔහු එක්ක තියෙන මිත්‍රත්වය දිගටම රැකගන්නත් ඒවා ඔයාට උදව් වෙන්නේ මොන පැතිවලින්ද කියලා හිතලා බලන්න.

යෝසෙප් අසාධාරණකම්වලට මුහුණ දුන්නා

10, 11. (අ) යෝසෙප් මුහුණ දුන්නේ මොන වගේ අසාධාරණකම්වලටද? (ආ) හිරේ ඉද්දී එයාට අවස්ථාව ලැබුණේ මොනවා කරන්නද?

10 යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් වුණ යෝසෙප්ට තමන් අඳුරන්නේ නැති අයගෙන් අසාධාරණකම් වුණා. ඒත් එයාට දරාගන්න අමාරුම වුණේ එයාගේම අයියලා කරපු අසාධාරණකම්. වයස 17ක් විතර වෙද්දී අයියලා එයාව පැහැරගෙන ගිහින් වහලෙක් විදිහට විකුණුවා. ඒ අය යෝසෙප්ව ඊජිප්තුවට අරගෙන ගියා. (උත්. 37:23-28; 42:21) ඊජිප්තුවේදී කාන්තාවක්ව දූෂණය කරන්න හැදුවා කියලා යෝසෙප්ට විරුද්ධව බොරු චෝදනා එල්ල කරලා නඩු විභාගයක්වත් කරන්නේ නැතුව එයාව හිරේ දැම්මා. (උත්. 39:17-20) යෝසෙප් වහලෙක්, හිරකරුවෙක් විදිහට අවුරුදු 13ක් විතර දුක් වින්දා. සභාවේ අය අතින් අපිට යම් අසාධාරණයක් වෙනවා කියලා හැඟෙනවා නම් යෝසෙප්ගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

11 යෝසෙප් හිරේ හිටපු කාලෙදී ඊජිප්තුවේ රජුගේ කුසලාන දරන්නන්ගේ ප්‍රධානියාව හිරගෙදරට දැම්මා. දවසක් එයා හීනයක් දැක්කා. ඒකේ අර්ථය එයාට පැහැදිලි කරලා දෙන්න යෙහෝවා දෙවි යෝසෙප්ට උදව් කළා. කුසලාන දරන්නාව හිරෙන් නිදහස් කරනවා කියලත් එයා ආයෙත් පාරාවෝ ළඟ සේවය කරනවා කියලත් යෝසෙප් එයාට කිව්වා. තමන් මුහුණ දීපු දේවල් ගැන කුසලාන දරන්නාට කියන්න යෝසෙප් ඒක අවස්ථාවක් කරගත්තා. යෝසෙප් එයාට කියපු දේවලින් වගේම නොකියපු දේවලිනුත් අපිට වැදගත් පාඩම් ඉගෙනගන්න පුළුවන්.—උත්. 40:5-13.

12, 13. (අ) යෝසෙප් තමන්ට වුණ අසාධාරණය ගැන කිසිම පියවරක් ගන්නේ නැතුව නිකම්ම අත්හැරලා දැම්මේ නැහැ කියලා අපි දන්නේ කොහොමද? (ආ) යෝසෙප් කුසලාන දරන්නාට කිව්වේ නැත්තේ මොන දේවල්ද?

12 උත්පත්ති 40:14, 15 කියවන්න. තමන්ව ‘පැහැරගෙනයි’ මේ දේශයට ගෙනාවේ කියලා යෝසෙප් කුසලාන දරන්නාට කිව්වා. එතන “පැහැරගත්තා” කියලා සඳහන් වෙන වචනෙට “හොරකම් කළා” කියන අදහසත් ඇතුළත්. යෝසෙප් කියපු දෙයින් පැහැදිලි වුණා එයා අසාධාරණයකට මුහුණ දුන්නා කියලා. එයාව හිරගෙදරට දාන්න හේතු වුණ වරද එයා ඇත්තටම කළේ නැහැ කියලත් යෝසෙප් පැහැදිලිව කිව්වා. තමන් අතින් වරදක් වෙලා නැති නිසා තමන් ගැන පාරාවෝට කියන්න කියලා එයා  කුසලාන දරන්නාට කිව්වා. යෝසෙප්ට ඕන වුණේ හිරගෙදරින් නිදහස් වෙන්න.

13 යෝසෙප් තමන්ට වුණ අසාධාරණය ගැන කිසිම පියවරක් ගන්නේ නැතුව නිකම්ම අත්හැරලා දාලා හිටියද? නැහැ. යෝසෙප් තේරුම් අරන් හිටියා තමන් හුඟක් අසාධාරණකම්වලට මුහුණ දුන්නා කියලා. ඒ ගැන එයා කුසලාන දරන්නාට කිව්වේ ඒ නිසයි. යෝසෙප් හිතුවා තමන්ට උදව් කරන්න එයාට පුළුවන් වෙයි කියලා. තමන් ඉන්න තත්වය ගැන කිව්වත් තමන්ව පැහැරගත්තේ අයියලා කියලා යෝසෙප් කාටවත් කිව්වා කියලා බයිබලේ කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. අඩුම තරමේ එයා ඒ ගැන පාරාවෝටවත් කිව්වේ නැහැ. පස්සේ කාලෙක යෝසෙප්ගේ අයියලා ඊජිප්තුවට ඇවිත් යෝසෙප් එක්ක සමාදාන වුණාම පාරාවෝ එයාලව පිළි අරගෙන “දේශයේ සැප සම්පත් භුක්ති විඳින්න” එයාලට අවස්ථාව දුන්න එකෙන් ඒක පැහැදිලියි.—උත්. 45:16-20.

වුණ අසාධාරණය ගැන හැම තැනම කියකිය ගියොත් ප්‍රශ්නේ දුර දිග යන්න පුළුවන් (14 ඡේදය බලන්න)

14. සභාවේ අය අතින් අසාධාරණයක් වුණොත් ඒ ගැන දොස් කියන්නේ නැතුව ඉන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

14 සභාවේ කෙනෙක් අතින් අසාධාරණයක් වුණා කියලා අපිට හැඟෙනවා නම් ඒ ගැන හැම තැනම කියකිය යන එකෙන් අපි වළකින්න ඕනේ. ඒත් අසාධාරණයට හේතුව සහෝදරයෙක් කරපු බරපතළ වරදක් නම් ඒ ගැන වැඩිමහල්ලන්ට කියලා එයාලගෙන් උදව් ඉල්ලන්න ඕනේ. (ලෙවී. 5:1) හුඟක් අවස්ථාවලදී අසාධාරණයක් වෙන්නේ බරපතළ වරදක් සිද්ධ වුණ නිසාම නෙමෙයි. ඒ නිසා ප්‍රශ්නෙට සම්බන්ධ සහෝදරයා එක්ක ඒ ගැන කතා කරලා සමාදාන වෙන්න පුළුවන්. ප්‍රශ්නේ ගැන වෙන අය එක්ක අඩුම ගානේ වැඩිමහල්ලන් එක්කවත් කතා කරන්න අවශ්‍ය නැහැ. (මතෙව් 5:23, 24; 18:15 කියවන්න.) අසාධාරණයක් වෙන අවස්ථාවලදී වුණත් අපි දිගටම දෙවිට ළැදිව ඉමු. බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගමු. සමහර වෙලාවලදී අපිට යම් අසාධාරණයක් වෙනවා කියලා හිතුවත් ඇත්තටම එහෙම දෙයක් වෙලා නැහැ කියලා පස්සේ අපි තේරුම්ගන්නවා. අසාධාරණයක් වෙනවා කියලා හිතුණ වෙලාවේ අපි සහෝදරයන් ගැන දොස් කියලා තිබුණා නම් මොකක් වෙයිද? අපි කියපු දේවල් ගැන අපිට දුක් වෙන්න වෙයි. අපිට හැඟෙන දේ හරි වුණත් වැරදි වුණත් දොස් කියන එකෙන් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. යෙහෝවා දෙවිට, සහෝදරයන්ට අපි ළැදි නම් සභාවේ සාමයට තර්ජනයක් වෙන විදිහට අපි  හැසිරෙන්නේ නැහැ. “නිර්දෝෂ ජීවිතයක් ගත කරන” කෙනෙක් “කේලම් කියන්නේ නැහැ. තමාගේ අසල්වැසියාට කිසි අයහපතක් කරන්නේ නැහැ” කියලා බයිබලේ කියනවා.—ගීතා. 15:2, 3; යාකො. 3:5.

ඔයාට තියෙන වටිනාම දේ රැකගන්න

15. යෙහෝවා දෙවි එක්ක තිබුණ බැඳීම යෝසෙප්ට ආශීර්වාදයක් වුණේ කොහොමද?

15 අපිට යෝසෙප්ගෙන් තවත් වටිනා පාඩමක් ඉගෙනගන්න පුළුවන්. අසාධාරණකම්වලට මුහුණ දුන්න අවුරුදු 13 පුරා යෝසෙප් දේවල් කරපු විදිහෙන් පැහැදිලි වෙන දෙයක් තියෙනවා. ඒ එයා කාරණා දිහා බැලුවේ දෙවි බලන විදිහට කියන එකයි. (උත්. 45:5-8) තමන්ට මුහුණ දෙන්න වුණ දේවල් ගැන එයා කවදාවත් දෙවිට දොස් කිව්වේ නැහැ. තමන්ට වුණ අසාධාරණකම් ගැන කිසිම පියවරක් ගන්නේ නැතුව ඒක නිකම්ම අත්හැරලා දැම්මේ නැති වුණත් එයා ඒ ගැන හිතේ තරහක් තියාගත්තේ නැහැ. හැම දේටම වඩා එයාට වැදගත් වුණේ දෙවිත් එක්ක තිබුණ බැඳීමයි. අනිත් අයගේ අඩුපාඩුකම්, එයාලා කරපු වැරදි දෙවිගෙන් ඈත් වෙන්න එයා හේතුවක් කරගත්තේ නැත්තේ ඒ නිසයි. යෝසෙප් පෙන්නපු ළැදිකම නිසා දෙවි කාරණා නිවැරදි කරනවා දකින්න එයාට පුළුවන් වුණා. දෙවි එයාටත් එයාගේ පවුලේ අයටත් ආශීර්වාද කරපු විදිහ එයා දැක්කා.

16. සභාවේ යම් අසාධාරණයක් වෙනවා නම් දෙවිට තවත් ළං වෙන්න අපි ඒක අවස්ථාවක් කරගන්න ඕනෙ ඇයි?

16 දෙවිත් එක්ක අපිට තියෙන බැඳීම වටිනාම දේ විදිහට සලකලා ඒක රැකගන්න අපිත් ලොකු වෑයමක් දරන්න ඕනේ. අපි ආදරේ කරන, නමස්කාර කරන දෙවිගෙන් ඈත් වෙන්න සහෝදරයන් අතින් වෙන අඩුපාඩුකම් හේතුවක් කරගන්න එපා. (රෝම 8:38, 39) ඒ වෙනුවට සභාවේ යම් අසාධාරණකම් වෙද්දී යෝසෙප් වගේ අපිත් දෙවිට තවත් ළං වෙන්න උත්සාහ කරමු. කාරණා දිහා දෙවි බලන විදිහට බලන්න වෑයම් කරමු. බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙන ප්‍රශ්නේ විසඳගන්න අපිට පුළුවන් හැම දේම කළාට පස්සේ කාරණය දෙවිට භාර දෙමු. සුදුසු කාලෙදී, දෙවිට හරියි කියලා හිතෙන විදිහට ඔහු කාරණා නිවැරදි කරයි කියලා අපිට නිසැක වෙන්න පුළුවන්.

“මුළු පොළොවෙම විනිශ්චයකරු” ගැන විශ්වාසය තියන්න

17. “මුළු පොළොවෙම විනිශ්චයකරු” ගැන අපිට විශ්වාසයි කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

17 මේ දුෂ්ට සමාජයේ ජීවත් වෙන තාක් කල් අපිට අසාධාරණකම්වලට මුහුණ දෙන්න වෙනවා. නිතරම වුණේ නැතත් සමහර අවස්ථාවලදී ඔයාට නැත්නම් තව කෙනෙක්ට සභාවේ අයගෙන් අසාධාරණයක් වෙන්න පුළුවන්. නැත්නම් අසාධාරණයක් වෙනවා කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට සැලෙන්න එපා. (ගීතා. 119:165) ඒ වෙනුවට දිගටම දෙවිට ළැදිව ඉන්න. ඔහුගෙන් උදව් ඉල්ලලා යාච්ඤා කරන්න. දෙවිව විශ්වාස කරලා වැඩ කරන්න. අපි හැමෝම පාපය උරුම කරගත්ත අය. ඒ නිසා යම් සිද්ධීන් අපි වැරදියට තේරුම්ගන්න පුළුවන්. ඒ වගේම යම් සිද්ධියකට සම්බන්ධ හැම තොරතුරක්ම අපි දන්නේ නැති වෙන්නත් පුළුවන්. අසාධාරණයකට මුහුණ දීලා ඉද්දී අපි යෝසෙප්ව ආදර්ශයට අරන් අනිත් අය ගැන වැරදි විදිහට කතා නොකර ඉමු. අනිත් අය ගැන වැරදි කතා කරන්න ගියොත් ප්‍රශ්නේ තව දුර දිග යයි. වුණ අසාධාරණය වෙනුවෙන් සටන් කරනවා වෙනුවට දිගටම දෙවිටත් සහෝදරයන්ටත් ළැදිව ඉන්න අදිටන් කරගමු. දෙවි කාරණා විසඳන කල් ඉවසීමෙන් බලන් ඉමු. ඔයා ඒ විදිහට කරනවා නම් යෙහෝවා දෙවි ඔයා ගැන සතුටු වෙයි. යෝසෙප්ට වගේ ඔයාටත් දෙවි ආශීර්වාද කරයි. “මුළු පොළොවෙම විනිශ්චයකරු” වන ‘යෙහෝවා දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි’ කියලා ඔයාට නිසැක වෙන්න පුළුවන්.—උත්. 18:25; ද්වි. 32:4.

18. ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

18 අතීතයේදී දෙවිගේ සෙනඟ අතරේ අසාධාරණකම් සිද්ධ වුණ තවත් අවස්ථා 2ක් ගැන අපි ඊළඟ ලිපියෙන් බලනවා. යෙහෝවා දෙවි වගේ යුක්තිගරුක කෙනෙක් වෙන්න නිහතමානිකම සහ සමාව දෙන්න කැමැත්තෙන් ඉන්න එක අපිට උදව් වෙන්නේ කොහොමද කියලා ඒ උදාහරණ බලද්දී අපිට පැහැදිලි වෙයි.

^ 7 ඡේ. 1991 නොවැම්බර් 1 ‘මුරටැඹ’ කලාපයේ පළ වුණ සහෝදර විලී ඩිල්ගේ ජීවිත කතාව කියවලා බලන්න. (සිංහලෙන් නැහැ.)