Skip to content

පටුනට යන්න

 ජීවිත කතාව

මම ක්‍රිස්තුස්ගේ හේවායෙක්

මම ක්‍රිස්තුස්ගේ හේවායෙක්

මගේ ඇඟේ ගෑවී නොගෑවී වෙඩි උණ්ඩ යද්දී මං හෙමීට ළඟ තිබුණ සුදු පාට ලේන්සුව උඩට ඉස්සුවා. එතකොට සොල්දාදුවෝ කෑගහලා ‘ඉන්න තැනින් එළියට එනවා’ කියලා මට කිව්වා. එයාලා වෙඩි තියයිද නැද්ද කියලා හිතහිත මං එයාලා ළඟට ගියා. මට ඒ වගේ භයානක දේකට මුහුණ දෙන්න වුණේ ඇයි කියලා ඔයාලා දන්නවද?

මං ඉපදුණේ 1926 ග්‍රීසියේ කරිට්සා කියන පුංචි ගමේ. අපේ පවුලේ ළමයි අටදෙනාගෙන් මං හත්වෙනියා.

අම්මාටයි තාත්තාටයි සත්‍යය ලැබිලා තියෙන්නේ මං ඉපදෙන්න අවුරුද්දකට කලින්. එයාලට සත්‍යය ගැන මුලින්ම කියලා තියෙන්නේ ජෝන් කියන සහෝදරයා. එයා හරිම උනන්දුවෙන් සේවය කරපු කෙනෙක්. එයා කාරණා බයිබලෙන් ඔප්පු කරලා පෙන්නපු විදිහට ආස හිතිලා අම්මායි, තාත්තායි රැස්වීම් යන්න පටන්ගත්තා. අම්මාට අකුරු බැහැ. ඒත් එයාට යෙහෝවා දෙවි ගැන ලොකු විශ්වාසයක් තිබුණා. හම්බ වෙන හැම වෙලාවකම වගේ එයා කාට හරි ශුභාරංචිය ගැන කිව්වා. ඒත් අනිත් අයගේ අඩුපාඩුකම් ගැන ඕනෑවට වඩා හිතපු නිසා තාත්තා රැස්වීම් යන එක නැවැත්තුවා.

මටයි, මගේ සහෝදර සහෝදරියන්ටයි බයිබලේ ගැන ගෞරවයක් තිබුණා. ඒත් යෞවන වයසේ ආපු ආසාවන් නිසා පාඩමක් කරන්න අපි උනන්දු වුණේ නැහැ. ඔය විදිහට කාලේ ගෙවෙද්දී අපේ ගමේ වෙච්ච සිද්ධියක් නිසා අපි හැමෝම අන්දුන්කුන්දුන් වුණා. 2වෙනි ලෝක යුද්දේ යුරෝපය පුරාම පැතිරෙද්දී අපේ ඥාති සහෝදරයෙක් වුණ නිකලස්වත් ග්‍රීසියේ හමුදාවට බලෙන් බඳවගන්න හැදුවා. එතකොට එයාට වයස 20යි. එයා බව්තීස්ම වෙලා වැඩි කල් ගිහින් තිබුණෙත් නැහැ. ඒත් එයා බය නැතුව හමුදා නිලධාරීන්ට කිව්වා “මං යුද්ධ කරන්නේ නෑ. මං ක්‍රිස්තුස්ගේ හේවායෙක්” කියලා. හමුදා අධිකරණය එයාට විරුද්ධව නඩුවක් දාලා අවුරුදු 10ක හිරදඬුවමක් නියම කළා.

ඒත් 1941දී මිත්‍ර හමුදාව ග්‍රීසියට ආවම නිකලස්ව හිරෙන් නිදහස් කළා. එයා ආපහු ගමට ආවම මගේ ලොකු අයියා එයාගෙන් බයිබලේ ගැන එක පිට එක ප්‍රශ්න ඇහුවා. මමත් ඒ සාකච්ඡාව අහගෙන හිටියේ හරිම ආසාවෙන්. පස්සේ අයියායි, මමයි, නංගියි බයිබල් පාඩමක් පටන්ගත්තා. අපි හැම රැස්වීමකටම ගියා. ඊළඟ අවුරුද්දේ අපි තුන්දෙනාම යෙහෝවා දෙවිට කැප වෙලා බව්තීස්ම වුණා. පස්සේ කාලෙක මගේ අනිත්  අයියලා දෙන්නයි, අක්කලා දෙන්නෙකුයි සත්‍යයට ආවා.

1942 වෙද්දී කරිට්සාවල තිබුණ සභාවේ යෞවන සහෝදර සහෝදරියන් 9දෙනෙක් හිටියා. ඉස්සරහට අපිට දරුණු පීඩාවලට මුහුණ දෙන්න වෙනවා කියලා අපි දැනං හිටියා. ඒ නිසා ලැබෙන හැම අවස්ථාවකම අපි එකතු වෙලා බයිබලේ අධ්‍යයනය කළා. ගීතිකා කිව්වා. යාච්ඤා කළා. අපේ විශ්වාසය තව ශක්තිමත් කරගන්න ඒ හැම දෙයක්ම අපිට උදව් වුණා.

ඩමිට්‍රියස් සහ කරිට්සාවල එයාගේ යාළුවෝ

සිවිල් යුද්ධය

2වෙනි ලෝක යුද්දේ ඉවර වෙනවත් එක්කම ග්‍රීසියේ කොමියුනිස්ට්වාදීන් ආණ්ඩුවට විරුද්ධව කැරැල්ලක් ඇති කළා. ඒ නිසා දරුණු සිවිල් යුද්ධයක් ඇති වුණා. ගරිල්ලා සටන්කරුවෝ ගමින් ගමට ගිහින් මිනිසුන්ව බලෙන් එයාලගේ කණ්ඩායමට බඳවගත්තා. එයාලා අපේ ගමටත් ඇවිත් සාක්ෂිකරුවන් 3දෙනෙක්ව පැහැරගත්තා. ඒ මාවයි, මගේ ලොකු අයියාවයි, අන්ටොනියෝ කියන සහෝදරයාවයි. යුද්ධවලදී අපි පැති ගන්නේ නැහැ කියලා එයාලට කොච්චර කිව්වත් එයාලා අපිව බලෙන් ඔලිම්පස් කඳුකරයට අරන් ගියා. ඒක පැය 12ක විතර ගමනක්.

එහෙට ගියාම කොමියුනිස්ට් නිලධාරියෙක් එයාලගේ ගරිල්ලා කණ්ඩායමට බැඳෙන්න කියලා අපිට නියෝග කළා. ඒත් යේසුස්ගේ අනුගාමිකයන් තවත් කෙනෙක්ට විරුද්ධව ආයුධ අතට ගන්නේ නැහැ කියලා අපි එයාට පැහැදිලි කළා. එතකොට එයා අපිව ජෙනරාල්වරයා ළඟට ඇදගෙන ගියා. අපි එයාට කිව්වෙත් කලින් නිලධාරියාට කියපු දේමයි. “එහෙනම් කොටළුවෙක් අරං ගිහින් යුධ පිටියේ තුවාල වෙලා ඉන්න අපේ අයව ඉස්පිරිතාලෙට ගෙනියනවා” කියලා එයා නියෝග කළා.

එතකොට අපි එයාට මෙහෙම කිව්වා. “ඒත් අපිව රජයේ හමුදාවට අහු වුණොත් එයාලා හිතයි අපිත් ගරිල්ලා භටයන් කියලා.” “එහෙනං යුධ පෙරමුණේ ඉන්න අයට කෑම අරං යනවා” කියලා එයා කිව්වා. එතකොට අපි කිව්වා “අපි කොටළුවෙක්ගේ පිටේ කෑම අරං යනවා දැකලා නිලධාරියෙක් අපිට කිව්වොත් ආයුධත් අරං යන්න” කියලා. ටික වෙලාවක් කල්පනා කරපු ජෙනරාල්වරයා මෙහෙම කිව්වා. “හරි, උඹලට බැටළුවෝ බලාගන්න බැරි නෑනේ. එහෙනම් මෙහෙට වෙලා බැටළුවෝ බලාගන්නවා.”

අපි හිටියේ යුද්දෙන් වට වෙලා. ඒ වගේ වාතාවරණයක බැටළුවන් බලාගෙන ඉන්න එකේ වරදක් නැහැ කියලයි අපි 3දෙනාටම හැඟුණේ. ඔය විදිහට අවුරුද්දක් විතර ගෙවුණා. තාත්තාත් හිටියේ නැති නිසා ලොකු අයියාට අම්මාව බලාගන්න යන්න එයාලා අවසර දුන්නා. අසනීප වුණ නිසා අන්ටොනියෝවත් ගෙදර යැව්වා. ඒත් එයාලා මාව තියාගත්තා.

ඔය කාලේ වෙද්දී රජයේ හමුදාව කොමියුනිස්ට්වාදීන්ව යටත් කරගන්න ළං වෙලයි තිබුණේ. ඒ නිසා මාව අල්ලගෙන හිටපු අය හැදුවේ කඳුකරය හරහා ඇල්බේනියාවට පනින්නයි. ඒත් දේශ සීමාවට ළං වෙලා ඉද්දී රජයේ සොල්දාදුවෝ අපිව වට කළා. කලබල වුණ ගරිල්ලා භටයෝ පලා ගියා. ඒත් මං ඒ කිට්ටුව තිබුණ කඩං වැටුණ ගහක් පිටිපස්සේ හැංගුණා. ඔය වෙලාවෙදී තමයි මං මුලින් කියපු භයානක සිද්ධිය වුණේ.

සොල්දාදුවෝ මාව අල්ලගත්තම මං එයාලට කිව්වා මං ගරිල්ලා සටන්කරුවෙක් නෙමෙයි, එයාලා මාව බලෙන් තියාගෙනයි හිටියේ කියලා. මගෙන් ප්‍රශ්න කරන්න හමුදාවේ අය මාව වේරියාවල තිබුණ කඳවුරකට අරන් ගියා. බයිබලේ බෙරීය නුවර කියන්නේ එහෙට. එහෙදී මට නියෝග කළා සොල්දාදුවන්ට හැංගෙන්න ලොකු කාණු කපන්න කියලා. ඒත් මං බැහැ කිව්වම මාව මැක්‍රෝනිසොස් දූපතේ තියෙන  හිරකඳවුරට යවන්න කියලා අණ දෙන නිලධාරියා නියෝග කළා.

භයානක දූපතේදී

පාළුවට ගිය, වතුර නැති ඒ දූපත තිබුණේ ඇටිකා දිස්ත්‍රික්කයේ. ඇතන්ස් ඉඳලා කි.මී. 50ක් විතර ඈතිනුයි ඒක තිබුණේ. ඒ දූපත තනිකර ගලක් නිසා අව්ව තදින්ම දැනුණා. දූපතේ දිග කි.මී. 13යි. උපරිම පළල කි.මී. 2.5යි. 1947 ඉඳන් 1958 වෙන කල් ඒ දූපතේ හිරකරුවන් ලක්ෂයකට වඩා ඉඳලා තියෙනවා. කොමියුනිස්ට්වාදීන්, කොමියුනිස්ට්වාදීන් කියලා සැක කරපු අය, කැරැල්ලට හවුල් වුණ අය වගේම සාක්ෂිකරුවන් හුඟදෙනෙකුත් ඒ ගාණට ඇතුළත්.

මං ඒ දූපතට ගියේ 1949. එහේ හිටපු හිරකරුවන්ව කණ්ඩායම්වලට බෙදලයි තිබුණේ. මාව දැම්මේ දැඩි ආරක්ෂිත කඳවුරකට නෙමෙයි. ඒකේ හිරකරුවෝ සිය ගාණක් හිටියා. අපි 40දෙනෙක් විතර නිදාගත්තේ කැන්වස් ටෙන්ට් එකක. හරි නම් ඒකේ ඉන්න පුළුවන් 10දෙනෙක්ට විතරයි. පල් වෙච්ච වතුර තමයි අපිට බොන්න තිබුණේ. හැමදාම වගේ කෑවේ ඇට ජාතියි, වම්බටුයි. එහේ තිබුණ හුළඟයි, දූවිල්ලයි නිසා ජීවිතේ තිත්ත වුණා. ඒත් අපේ කඳවුරේ අයට දරාගන්න බැරි තරම් බරපතළ වැඩ දුන්නේ නැහැ. සමහර කඳවුරුවල අයට ලොකු ගල් අදින්න වුණා. ඒ නිසා හුඟදෙනෙක් ලෙඩ වුණා. මානසිකව වැටුණා.

මැක්‍රෝනිසොස් දූපතේ හිටපු අනිත් සාක්ෂිකරුවන් එක්ක

දවසක් මං වෙරළේ ඇවිදගෙන යද්දී වෙන කඳවුරක හිටපු සාක්ෂිකරුවන් කීපදෙනෙක්ව හම්බ වුණා. ඒ වෙලාවේ අපිට දැනුණේ පුදුම සතුටක්. ඊටපස්සේ අපි පුළුවන් හැම වෙලාවකම හොර රහසේ හම්බ වුණා. හරිම කල්පනාකාරීව ශුභාරංචියත් දේශනා කළා. සමහරු පස්සේ කාලෙක සාක්ෂිකරුවන් වුණා. දෙවිත් එක්ක තිබුණ බැඳීම දිගටම තියාගන්න අපි එකතු වෙලා කරපු ඒ දේවල්, යාච්ඤාව අපිට උදව් වුණා.

ගිනි උදුනක් වගේ පීඩා

හිරකඳවුරට ඇවිත් මාස 10ක් යද්දී නිලධාරීන් මට හමුදා නිලඇඳුම අඳින්න කියලා බල කළා. මං බැහැ කිව්වම එයාලා මාව කඳවුරේ අණ දෙන නිලධාරියා ගාවට අරන් ගියා. “මට ඕනෙ ක්‍රිස්තුස්ගේ හේවායෙක් වෙන්න විතරයි” කියලා ලියපු ලියවිල්ලක් මම එයාට දුන්නා. එයා මට තර්ජනය කරලා මාව එයාගේ දෙවෙනියා ළඟට යැව්වා. එයා ග්‍රීක ඕතඩොක්ස් පල්ලියේ ප්‍රධාන බිෂොප්වරයෙක්. එයා අහපු ප්‍රශ්නවලට මං බය නැතුව බයිබලෙන් උත්තර දුන්නම එයාට කේන්ති ගිහින් මෙහෙම කිව්වා. “මූව අරන් යනවා! මූ අන්තවාදියෙක්!”

පහුවෙනිදා උදේ සොල්දාදුවෝ මට ආයෙත් කිව්වා නිලඇඳුම අඳින්න කියලා. මං බැහැ කිව්වම එයාලා අත මිටමොළවලා මට ගැහුවා. පස්සේ බැට්න් පොල්ලකිනුත් හොඳටම ගැහුවා. ඊටපස්සේ මාව කඳවුරේ බෙහෙත් දෙන තැනට අරන් ගිහින් මගේ ඇටකටු කැඩිලද කියලා බලලා මාව ඇදගෙන ගිහින් ටෙන්ට් එකට දැම්මා. මාස 2ක් තිස්සේ හැමදාම මට ඒ විදිහට වධ දුන්නා.

මං විශ්වාසය පාවා දුන්නේ නැති නිසා එයාලා මට වධ දෙන්න අලුත් ක්‍රමයක් හොයාගත්තා. මගේ අත් දෙක පිටිපස්සට තියලා බැඳලා එයාලා මගේ යටිපතුල්වලට කඹවලින් ගැහුවා. දරාගන්න බැරි තරම් වේදනාවක් දැනුණත් යේසුස් කියපු මේ දේ මං මතක් කරගත්තා. ‘මා නිසා මිනිසුන් ඔබට නින්දා පීඩා කළත් ඔබ සන්තෝෂවත් බව මතක තබාගන්න. ස්වර්ගයෙහි ඔබට මහත් ත්‍යාගයක් තිබෙයි. ඒ නිසා ප්‍රීති වන්න, ප්‍රීතියෙන් ඉපිල යන්න. ඔබට කලින් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔවුන් එලෙසම පීඩා කළ බව මතක තබාගන්න.’ (මතෙ. 5:11, 12) සෑහෙන වෙලාවක් මට පහර දුන්නට පස්සේ මට සිහිය නැති වුණා.

සිහිය එද්දී මං හිටියේ සීතල හිරකුටියක. කන්න දෙයක්වත් බොන්න වතුරවත් පොරවගන්න බ්ලැන්කට් එකක්වත් තිබුණේ නැහැ. ඒත් මගේ හිතට ලොකු සන්සුන්කමක් දැනුණා. ‘දෙවි ලබා දෙන සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක්’ වෙනවා කියලා බයිබලේ තියෙන පොරොන්දුව මං අද්දැක්කා. (ෆිලි. 4:7) පහුවෙනිදා එක සොල්දාදුවෙක් මට කෑමයි, වතුරයි, සීතලට අඳින ඇඳුමකුයි දුන්නා. තව සොල්දාදුවෙක් එයාගේ කෑම පංගුව මට දුන්නා. ඒ දේවල් සහ සිද්ධ වුණ තවත් හුඟක් දේවල් නිසා යෙහෝවා දෙවිගේ රැකවරණය මට දැනුණා.

නිලධාරීන් මාව සැලකුවේ හදන්න බැරි කැරැලිකාරයෙක් විදිහට. ඒ නිසා එයාලා ඇතන්ස් උසාවියේ මට විරුද්ධව නඩුවක් දැම්මා. ඒ නඩුවේදී මට අවුරුදු 3ක හිරදඬුවමක් නියම කරලා යාරොස් දූපතේ තිබුණ හිරගෙදරට මාව යැව්වා. ඒක තියෙන්නේ මැක්‍රෝනිසොස් දූපතට කි.මී. 50ක් විතර ඈතින්.

“අපිට ඔයාලව විශ්වාසයි”

යාරොස්වල තිබුණේ ගඩොල්වලින් හදපු ලොකු හිරගෙයක්. ඒකේ හිරකාරයෝ 5,000කට වැඩිය හිටියා. ඒ අතරේ සාක්ෂිකරුවන් 7දෙනෙකුත් හිටියා. එයාලව හිරේ දාලා තිබුණේ යුද්දෙදී පැති ගත්තේ නැති නිසයි. මුණගැහෙන එක තදින්ම තහනම් කරලා තිබුණත් අපි එකතු වෙලා බයිබලේ අධ්‍යයනය කළා. හොර රහසේ ගෙනාපු ‘මුරටැඹ’ සඟරා නිතිපතා අපිට හම්බ වුණා.  අපි ඒවා අතින් ලියලා එක් එක් කෙනාට පාවිච්චි කරන්න පිටපත් හදාගත්තා.

දවසක් අපි අධ්‍යයනය කරකර ඉද්දී නිලධාරියෙක්ට අහු වුණා. අපි ළඟ තිබුණ ප්‍රකාශනත් එයා ගත්තා. ඊටපස්සේ හිරගෙදර භාරව හිටපු ප්‍රධාන නිලධාරියෙක් අපිව කැඳෙව්වා. අපි හිතුවේ අපේ හිරදඬුවම තව දික් කරයි කියලා. ඒත් ඒ නිලධාරියා මෙහෙම කිව්වා. “අපි දන්නවා ඔයාලා කවුද කියලා. ඔයාලා අරං තියෙන තීරණයට අපි ගරු කරනවා. අපිට ඔයාලව විශ්වාසයි. දැන් ගිහින් වැඩ කරන්න.” අපෙන් කීපදෙනෙක්ට එයා කරන්න ලේසි වැඩ භාර දුන්නා. දෙවි පෙන්නන කරුණාව ගැන අපේ හිතේ ලොකු අගයක් ඇති වුණා. හිරේ හිටියත් අපි විශ්වාසවන්තව ඉන්නවා නම් යෙහෝවා දෙවිට ප්‍රශංසාවක් ගේන්න අපිට පුළුවන්.

විශ්වාසවන්තකම නිසා තව හුඟක් ප්‍රයෝජන අපිට ලැබුණා. අපේ හොඳ හැසිරීම දැකපු තවත් හිරකාරයෙක් අපේ විශ්වාසයන් ගැන අහන්න පටන්ගත්තා. එයා කලින් ගණිත මහාචාර්යවරයෙක්. 1951 මුල් කාලේ සාක්ෂිකරුවන්ව හිරෙන් නිදහස් කරද්දී එයාවත් නිදහස් කළා. කාලයක් යද්දී එයා බව්තීස්ම වෙලා පූර්ණකාලීන සේවය පටන්ගත්තා.

මං තාමත් හේවායෙක්

ජැනට් එක්ක

හිරෙන් නිදහස් වුණාට පස්සේ මං ගමට ආවා. පස්සේ කාලෙක මං පදිංචියට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්වලට ආවා. මෙහෙදී මට ජැනට්ව හම්බ වුණා. එයා හොඳ සහෝදරියක්. මං එයා එක්ක විවාහ වුණා. අපි දෙන්නට පුතෙකුයි, දුවලා 3දෙනෙකුයි ඉන්නවා. ඒ 4දෙනාම දෙවිට විශ්වාසවන්තව සේවය කරනවා.

මං දැන් ඉන්නේ 90 ගණන්වල. ඒත් මං තාමත් වැඩිමහල්ලෙක් හැටියට සේවය කරනවා. හිරේ ඉන්න කාලේ විඳපු වධහිංසා නිසා මගේ ඇඟපත හරිම දුර්වලයි. සේවය ගිහින් එද්දී මගේ කකුල් ටිකක් කැක්කුමයි. ඇඟටත් අමාරුයි. ඒත් ‘ක්‍රිස්තුස්ගේ හේවායෙක්’ වෙන්න මං ගත්ත අදිටන අදටත් වෙනස් වෙලා නැහැ.—2 තිමෝ. 2:3.