Skip to content

පටුනට යන්න

ඔයා යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන විදිහ තේරුම්ගත්ත කෙනෙක්ද?

ඔයා යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන විදිහ තේරුම්ගත්ත කෙනෙක්ද?

‘මම දැන් ඔබට යෙහෝවා දෙවිගේ නාමය ප්‍රකාශ කරන්නෙමි. ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි. ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.’—ද්වි. 32:3, 4.

ගීතිකා: 5, 46

1, 2. (අ) නාබොත් සහ එයාගේ පුතාලා මුහුණ දුන්න අසාධාරණය මොකක්ද? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොන ගුණාංග 2 ගැනද?

මේ සිද්ධිය හිතින් මවාගන්න. කිසි වැඩකට නැති මිනිසුන් දෙන්නෙක් තවත් මිනිසෙක්ට බරපතළ චෝදනාවක් එල්ල කරනවා. ඒත් ඒක බොරු චෝදනාවක්. ඒ දෙන්නා කියන්නේ ඒ මිනිසා දෙවිටත් රජුටත් ශාප කළා කියලා. ඒ චෝදනාව නිසා එයාටයි, එයාගේ පුතාලටයි මරණ දඬුවම නියම වෙනවා. කිසිම වරදක් නොකරපු ඒ අයට ගල් ගහලා මරලා දාද්දී යුක්තියට ප්‍රිය කරන අයට කොහොම හැඟෙන්න ඇද්ද! ඒක නිකම්ම කතන්දරයක් නෙමෙයි. ආහබ් රජුගේ කාලේ හිටපු දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් වුණ නාබොත්ට ඒක තමයි ඇත්තටම වුණේ.—1 රාජා. 21:11-13; 2 රාජා. 9:26.

2 නාබොත්ට සිද්ධ වුණ දේ ගැනත් මුල් සියවසේ හිටපු වැඩිමහල්ලෙක් අතින් වුණ වරදක් ගැනත් අපි මේ ලිපියෙන් බලනවා. යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන විදිහ තේරුම් අරන් ඒ අනුව වැඩ කරන්න නම් නිහතමානී වෙන එකත් සමාව දෙන්න සූදානමින් ඉන්න එකත් කොච්චර වැදගත්ද කියලා ඒ උදාහරණවලින් අපිට පැහැදිලි වෙයි.

 යුක්තිය කණපිට පෙරළෙයි

3, 4. නාබොත් මොන වගේ කෙනෙක්ද? තමන්ගේ මිදිවත්ත රජුට විකුණන්න එයා අකමැති වුණේ ඇයි?

3 ඒ කාලේ ඊශ්‍රායෙල්වරුන් හුඟදෙනෙක් කළේ ආහබ් රජුයි, දුෂ්ට යෙසබෙල් රැජිනයි කරපු දේවල්මයි. එයාලා බාල් දෙවියාට නමස්කාර කළා. යෙහෝවා දෙවිව, ඔහුගේ නීති එයාලා තුට්ටුවකටවත් මායිම් කළේ නැහැ. ඒත් නාබොත් යෙහෝවා දෙවිට විශ්වාසවන්තව හිටියා. දෙවි එක්ක තමන්ට තියෙන බැඳීම එයා සැලකුවේ ජීවිතේටත් වඩා වටින දෙයක් හැටියටයි.

4 1 රාජාවලිය 21:1-3 කියවන්න. නාබොත්ගේ මිදිවත්ත මිල දී ගන්න පුළුවන්ද කියලා ආහබ් රජු එයාගෙන් ඇහුවා. නැත්නම් ඒ වෙනුවට ඊට වඩා හොඳ මිදිවත්තක් දෙන්නම් කියලා රජ කිව්වා. ඒකට අකමැති වුණ නාබොත් ආහබ් රජුට මෙහෙම කිව්වා. “රජතුමනි, මම ඒ වගේ දෙයක් කළොත් යෙහෝවා දෙවි එය කොහොමටවත් අනුමත කරන්නේ නැහැ. ඒ නිසා මගේ මුතුන්මිත්තන්ගෙන් මට ලැබුණු උරුමය ඔබට දෙනවා තියා එවැනි දෙයක් කරන එක ගැන හිතන්නවත් බැහැ.” පවුලෙන් උරුම වුණ ඉඩමක් හැමදාටම වෙනත් කෙනෙක්ට අයිති වෙන විදිහට විකුණන්න එපා කියලා නීතියේ සඳහන් වුණා. (ලෙවී. 25:23; ගණන්. 36:7) නාබොත් ආහබ්ට මිදිවත්ත විකුණන්න අකමැති වුණේ එයා දෙවිට කීකරු වුණ නිසයි.

5. මිදිවත්ත ගන්න යෙසබෙල් කළේ මොකක්ද?

5 ඊටපස්සේ ආහබ්ට මිදිවත්ත අයිති කරලා දෙන්න යෙසබෙල් රැජින දුෂ්ට කුමන්ත්‍රණයක් යෙදුවා. එයා මිනිසුන් දෙන්නෙක්ට කිව්වා නාබොත්ට විරුද්ධව බොරු චෝදනාවක් එල්ල කරන්න කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට එයාවයි, එයාගේ පුතාලවයි මරලා දැම්මා. ඒ අයුක්තිය දැක්ක යෙහෝවා දෙවි කළේ මොකක්ද?

දෙවි සාධාරණ විනිශ්චයක් දුන්නා

6, 7. යෙහෝවා දෙවි යුක්තියට ප්‍රිය කෙනෙක් කියලා පැහැදිලි වුණේ කොහොමද? ඒ කාරණය නාබොත්ගේ පවුලේ අයටයි, යාළුවන්ටයි සහනයක් වෙන්න ඇත්තේ ඇයි?

6 යෙහෝවා දෙවි ඉක්මනින්ම ආහබ්ව හම්බ වෙන්න එලියාව යැව්වා. එලියා ආහබ්ට කිව්වා එයා මිනීමරුවෙක්, හොරෙක් කියලා. දෙවි ආහබ් රජුට දුන්න තීන්දුව මොකක්ද? නාබොත් අද්දැක්කා වගේ මරණයක් ආහබ්ටයි, එයාගේ බිරිඳටයි, පුතාලටයි අද්දකින්න වෙනවා කියලා එලියා කිව්වා.—1 රාජා. 21:17-25.

7 ආහබ් රජු කරපු දුෂ්ට දේ ගැන නාබොත්ගේ පවුලේ අයයි, යාළුවෝයි හිටියේ හුඟක් දුකෙන්. ඒත් යෙහෝවා දෙවි අයුක්තිය දැකලා ඉක්මනින්ම පියවර ගත්තා. ඒක එයාලට ලොකු සහනයක් වෙන්න ඇති. ඒත් ඊළඟට සිද්ධ වුණ දේ නිසා එයාලා කොයි තරම් නිහතමානීද, එයාලට දෙවි ගැන කොච්චර විශ්වාසයක් තියෙනවද කියලා සෝදිසියට ලක් වෙන්න ඇති.

8. යෙහෝවා දෙවිගේ තීන්දුව ඇහුවම ආහබ් කළේ මොකක්ද? ඒ නිසා සිද්ධ වුණේ මොකක්ද?

8 යෙහෝවා දෙවි දුන්න තීන්දුව ගැන දැනගත්තම ආහබ් රජ ‘තම වස්ත්‍ර ඉරාගෙන ගෝණි රෙදි ඇඳගෙන, නිරාහාරව හිටියා. ඔහු විටෙක ගෝණි රෙදි මත වැතිර හිටියා. තවත් විටෙක බොහෝ සේ කලකිරී ඒ මේ අත ඇවිද්දා.’ තමන් කරපු වරද ආහබ් රජ යටහත්පහත්ව පිළිගත්තා. මොකක්ද ප්‍රතිඵලය? යෙහෝවා දෙවි එලියාට මෙහෙම කිව්වා. “ඔහු මා කී දේ අසා යටහත්පහත් වූ නිසා මම ඔහුගේ පවුල පිට ගෙනෙන විපත ඔහුගේ ජීවිත කාලයේදී සිදු නොකරන්නෙමි. ඔහුගේ පුත්‍රයාගේ කාලයේදී එය සිදු වීමට සලස්වන්නෙමි.” (1 රාජා. 21:27-29; 2 රාජා. 10:10, 11, 17) ‘සිත් සෝදිසි කරන යෙහෝවා දෙවි’ ආහබ්ට දයාව පෙන්නන්න තීරණය කළා.—හිතෝ. 17:3.

නිහතමානිකම අපිට ආරක්ෂාවක්

9. නාබොත්ගේ පවුලේ අයටයි, යාළුවන්ටයි නිහතමානිකම ආරක්ෂාවක් වෙන්න ඇත්තේ ඇයි?

9 දෙවි නියම කරපු දඬුවම ආහබ් ජීවත් වෙලා ඉන්න කාලෙදී එයාගේ පවුලේ අයට ලැබෙන්නේ නැහැ කියලා නාබොත්ගේ පවුලේ අය, යාළුවෝ දැනගත්තම ඒක එයාලට කොහොම බලපාන්න ඇද්ද? දෙවි ගැන එයාලට තිබුණ විශ්වාසය ඒ අවස්ථාවේදී සෝදිසියට ලක් වෙන්න ඇති. ඒත් යෙහෝවා දෙවි කවදාවත් අසාධාරණයක් කරන්නේ නැහැ කියන කාරණය එයාලා හදවතින්ම පිළි අරන් හිටියා නම් මොන දේ වුණත් එයාලා දෙවිව අත්හරින්නේ නැහැ. තමන්ට හැඟෙන දේ පැත්තකට දාලා දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරන්න පුළුවන් වෙන්නේ නිහතමානී අයටයි. ඒ ගුණාංගය එදා එයාලට ආරක්ෂාවක් වෙන්න ඇති. (ද්විතීය  කතාව 32:3, 4 කියවන්න.) අනාගතයේදී යෙහෝවා දෙවි ධර්මිෂ්ඨ අයව නැවත නැඟිටුවද්දී නාබොත්, එයාගේ පුතාලා, පවුලේ අය එයාලගේ විශ්වාසවන්තකමට දෙවි ආශීර්වාද කරන විදිහ අද්දකියි. එයාලට අහිමි වුණ දේ වෙනුවෙන් එදාට යුක්තිය 100%ක්ම ඉටු වෙනවා. (යෝබ් 14:14, 15; යොහ. 5:28, 29) “සැබෑ දෙවි මිනිසාගේ සියලු ක්‍රියා ගැනත් සියලු රහස් කාරණා ගැනත් සොයා බලා ඒවා යහපත්ද නැද්ද කියා විනිශ්චය කරනවා” කියන කාරණය නිහතමානී කෙනෙක් අමතක කරන්නේ නැහැ. (දේශ. 12:14) දෙවි විනිශ්චයක් කරන්න කලින් හැම කාරණයක් ගැනම සලකලා බලනවා. අපිට අවබෝධ කරගන්න බැරි කාරණාත් ඒකට ඇතුළත්. අසාධාරණයක් වෙන අවස්ථාවකදී වුණත් දෙවි ගැන තියෙන විශ්වාසය රැකගන්න අපිට උදව් වෙන්නේ නිහතමානිකමයි.

10, 11. (අ) අපේ විශ්වාසය සෝදිසියට ලක් වෙන්න පුළුවන් මොන වගේ අවස්ථාවලදීද? (ආ) අපි නිහතමානී නම් ඒක අපිට ආරක්ෂාවක් වෙන්නේ කොහොමද?

10 වැඩිමහල්ලන් යම් තීරණයක් ගත්තේ ඇයි කියලා සමහරවිට ඔයාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නැත්නම් එයාලා ගත්ත තීරණයකට ඔයා එකඟ නැති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී ඔයා මොකද කරන්නේ? උදාහරණෙකට ඔයාට, ඔයා ආදරේ කරන කෙනෙක්ට යම් වගකීමක් නැති වුණොත් ඔයා මොනවා කරයිද? ඔයාගේ සැමියාව, බිරිඳව, දරුවෙක්ව, කිට්ටු යාළුවෙක්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන්න වැඩිමහල්ලන් ගත්ත තීරණයට ඔයා එකඟ නැත්නම් ඔයා මොනවා කරයිද? වරදක් කරපු කෙනෙක්ට දයාව පෙන්නන්න වැඩිමහල්ලන් ගත්ත තීරණය වැරදියි කියලා ඔයාට හිතෙනවා නම් ඔයා  මොකද කරන්නේ? ඒ වගේ අවස්ථාවලදී යෙහෝවා දෙවි ගැන, සභාවේ සැලැස්ම ගැන ඔයාට තියෙන විශ්වාසය සෝදිසියට ලක් වෙයි. ඒ වගේ වෙලාවක නිහතමානිකම ආරක්ෂාවක් වෙන්නේ කොහොමද? දැන් අපි පැති 2ක් බලමු.

වැඩිමහල්ලන් ගත්ත තීරණයක් ගැන ඔයා එකඟ වෙන්නේ නැත්නම් ඔයා මොකද කරන්නේ? (10 සහ 11 ඡේද බලන්න)

11 (1) නිහතමානී කෙනෙක් යම් කාරණයකට සම්බන්ධ හැම තොරතුරුක්ම තමන් දන්නේ නැහැ කියලා පිළිගන්නවා. යම් සිද්ධියක් ගැන දැනගන්න ඕනෙ හැම දෙයක්ම කෙනෙක් දන්නවා වෙන්න පුළුවන්. ඒත් මිනිසුන්ගේ හිතේ තියෙන දේ දකින්න පුළුවන් යෙහෝවා දෙවිට විතරයි. (1 සාමු. 16:7) ඒක තේරුම් අරන් ඉන්න එක අපේ සීමාවන් අවබෝධ කරගන්නත් යම් දෙයක් ගැන අපිට හැඟෙන විදිහ වෙනස් කරගන්න ඕනෙ කියලා පිළිගන්නත් අපිට උදව් වෙනවා. (2) නිහතමානී කෙනෙක් සභාවේ අසාධාරණයක් වෙන අවස්ථාවකදී දේවල් තමන්ගේ අතට අරන් වැඩ කරන්නේ නැහැ. දිගටම දෙවිට කීකරුව ඉන්නවා. දෙවි කාරණා නිවැරදි කරන කල් ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. බයිබලේ කියන්නේ ‘සැබෑ දෙවි කෙරෙහි ගරුබියක් ඇති අයට යහපතක් සිදු වන බව මට විශ්වාසය. එහෙත් දුෂ්ටයාට දෙවි කෙරෙහි ගරුබියක් නැති නිසා ඔහුට කිසි යහපතක් සිදු වන්නේ නැත’ කියලයි. (දේශ. 8:12, 13) දිගටම නිහතමානීව වැඩ කරද්දී ඒක අපිටත් ප්‍රශ්නෙට සම්බන්ධ අනිත් අයටත් ප්‍රයෝජනවත්.—1 පේතෘස් 5:5 කියවන්න.

සභාවේ සිද්ධ වුණ කුහකකමක්

12. දැන් අපි බලන්නේ මොන සිද්ධියද? ඒ ඇයි?

12 සිරියාවේ අන්තියෝකියේ තිබුණ සභාවේ අය කොයි තරම් නිහතමානීද, කොයි තරම් දුරට සමාව දෙන්න සූදානමින් හිටියද කියන දේ සෝදිසියට ලක් වුණ දෙයක් මුල් සියවසේදී සිද්ධ වුණා. සමාව දෙන එක ගැන අපිට හැඟෙන්නේ කොහොමද කියලා අපිවම සෝදිසි කරලා බලන්න ඒ සිද්ධිය අපිටත් උදව් වෙනවා. දෙවි යුක්තිය ඉටු කරන විදිහ තේරුම් අරන් ඒ අනුව වැඩ කරන්න නම් සමාව දෙන්න සූදානමින් ඉන්න එක වැදගත් කියලත් මේ සිද්ධියෙන් අපිට පැහැදිලි වෙනවා.

13, 14. පේතෘස්ට භාර දීලා තිබුණේ මොන වගේ පැවරුම්ද? එයා නිර්භීත කෙනෙක් කියලා පැහැදිලි වුණේ කොහොමද?

13 පේතෘස් එදා හිටපු ක්‍රිස්තියානීන් හොඳින් දන්න කියන වැඩිමහල්ලෙක්. එයා යේසුස්ගේ කිට්ටු යාළුවන්ගෙන් කෙනෙක්. ඒ වගේම යේසුස් එයාට වැදගත් පැවරුම් භාර දීලා තිබුණා. (මතෙ. 16:19) උදාහරණෙකට ක්‍රි.ව. 36දී කොර්නේලියස්ටයි, එයාගේ ගෙදර අයටයි දේශනා කරන්න පැවරුමක් පේතෘස්ට ලැබුණා. ඒක විශේෂ පැවරුමක් වුණේ ඇයි? කොර්නේලියස් වෙනත් ජාතියකට අයිති, චර්මච්ඡේදනය නොවුණ කෙනෙක්. එයාටයි, එයාගේ පවුලේ අයටයි දෙවිගේ බලය ලැබුණම පේතෘස් තේරුම්ගත්තා එයාලටත් ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් වෙන්න පුළුවන් කියලා. පේතෘස් මෙහෙම කිව්වා. “අපිට ලැබුණා වගේ මේ අයටත් දැන් දෙවිගේ බලය ලැබී තිබෙනවා. ඔවුන්ව වතුරෙන් බව්තීස්ම කරන්න බැහැ කියා කාටද කියන්න පුළුවන්?”—ක්‍රියා 10:47.

14 ක්‍රිස්තියානීන් වුණ වෙනත් ජාතීන්ට අයිති අය චර්මච්ඡේදනය වෙන්න ඕනෙද කියන කාරණය ගැන සාකච්ඡා කරන්න ක්‍රි.ව. 49දී නියෝජිතයන් සහ වැඩිමහල්ලන් යෙරුසලමේ රැස් වුණා. වෙනත් ජාතීන්ට අයිති, චර්මච්ඡේදනය නොවුණ අයටත් දෙවිගේ බලය ලැබුණ විදිහ තමන් පෞද්ගලිකව දැක්කා කියලා ඒ රැස්වීමේදී පේතෘස් නිර්භීතව කිව්වා. ඒ කාරණය සම්බන්ධයෙන් තීරණයක් ගන්න පේතෘස්ගේ අද්දැකීම පාලක මණ්ඩලයේ සහෝදරයන්ට උදව් වුණා. (ක්‍රියා 15:6-11, 13, 14, 28, 29) ඒ සාක්ෂි ඉදිරිපත් කරන්න තරම් පේතෘස් නිර්භීත වුණ එක ගැන යුදෙව්වන් වගේම යුදෙව් නොවන ක්‍රිස්තියානීන් සතුටු වෙන්න ඇති. පේතෘස් අවබෝධයෙන් වැඩ කරපු, විශ්වාසවන්ත කෙනෙක් නිසා සභාවල අයට එයා ගැන ලොකු විශ්වාසයක් තියෙන්න ඇති.—හෙබ්‍රෙ. 13:7.

15. පේතෘස් අතින් වුණ වරද මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

15 යෙරුසලමේ තිබුණ රැස්වීමෙන් ටික කාලෙකට පස්සේ පේතෘස් සිරියාවේ අන්තියෝකියට ගියා. එයා එහෙදී කිසිම වෙනසක් නැතුව යුදෙව් නොවන සහෝදරයන් එක්කත් කාලේ ගත කළා. පේතෘස්ට තිබුණ දැනුමෙන්, අද්දැකීම්වලින් ඒ සහෝදරයන් හුඟක් ප්‍රයෝජන ලබන්න ඇති. ඒත් එකපාරටම පේතෘස් එයාලා එක්ක එකට කෑම ගන්න එක නතර කළා. ඒක දැකලා එයාලා පුදුම වෙන්න ඇති. එයාලට දුක හිතෙන්න ඇති. පේතෘස්ගේ බලපෑම නිසා බානබස් ඇතුළු සභාවේ හිටපු අනිත් යුදෙව් ක්‍රිස්තියානීන් යුදෙව් නොවන  ක්‍රිස්තියානීන් එක්ක එකට කෑම ගන්න එක නතර කළා. පේතෘස් වගේ වැඩිමහල්ලෙක් එහෙම වරදක් කළේ ඇයි? එයා කරපු දේ නිසා සභාවේ බෙදීම් ඇති වෙන්න ඉඩ තිබුණා. වැඩිමහල්ලෙක් කරපු, කියපු දෙයක් නිසා අපේ හිත පෑරිලා නම් තියෙන්නේ ඒ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

16. පේතෘස්ව නිවැරදි කළේ කොහොමද? ඒ සිද්ධිය සම්බන්ධයෙන් කෙනෙක්ට මොන වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්ද?

16 ගලාති 2:11-14 කියවන්න. පේතෘස් ඒ වරද කළේ මිනිසුන්ට තිබුණ බය නිසයි. (හිතෝ. 29:25) යුදෙව් නොවන ක්‍රිස්තියානීන්ව එයා ආශ්‍රය කරනවා යෙරුසලමෙන් ආපු චර්මච්ඡේදනය වුණ යුදෙව්වන් දැක්කොත් එයාලා තමන් ගැන මොනවා හරි හිතයි කියලා පේතෘස් බය වුණා. ඒ ගැන දැනගත්තම පාවුල් පේතෘස්ට කිව්වා එයා වැඩ කළේ කුහක විදිහටයි කියලා. මොකද යෙරුසලමේ තිබුණ රැස්වීමේදී පේතෘස් යුදෙව් නොවන ක්‍රිස්තියානීන් වෙනුවෙන් කතා කරපු විදිහ පාවුල් දැක්කා. (ක්‍රියා 15:12; ගලා. 2:13) පේතෘස් අසාධාරණ විදිහට සලකපු යුදෙව් නොවන ක්‍රිස්තියානීන් දැන් මොනවා කරයිද? එයාලා අධෛර්යය වෙයිද? පේතෘස්ට සභාවේ තිබුණ වගකීම් නැති වෙයිද?

සමාව දෙන්න

17. යෙහෝවා දෙවිගෙන් සමාව ලැබුණ නිසා පේතෘස් ප්‍රයෝජන ලැබුවේ කොහොමද?

17 පාවුල් දුන්න උපදෙස පේතෘස් හිතට ගත්තා. බයිබලේ කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ ඒ වරද නිසා පේතෘස්ට සභාවේ තිබුණ වගකීම් අහිමි වුණා කියලා. පස්සේ කාලෙක දෙවිගේ මඟ පෙන්වීමෙන් එයා ලිපි 2ක් ලිව්වා. ඒ ලිපි බයිබලේටත් ඇතුළත් කළා. පේතෘස් ලියපු 2වෙනි ලිපියේ එයා පාවුල්ව හඳුන්වන්නේ “අපගේ ප්‍රේමණීය සහෝදරයා” කියලා. (2 පේතෘ. 3:15) පේතෘස් කරපු අසාධාරණය නිසා යුදෙව් නොවන ක්‍රිස්තියානීන්ට දුකක් දැනෙන්න ඇති. ඒත් සභාවේ හිස වන යේසුස් පේතෘස්ව දිගටම සභාවේ වැඩකටයුතුවලට පාවිච්චි කළා. (එෆී. 1:22) යේසුස් සහ යෙහෝවා දෙවිව ආදර්ශයට අරගෙන පේතෘස්ට සමාව දෙන්න සභාවේ අයටත් ඒකෙන් අවස්ථාව ලැබුණා. පාපය උරුම කරගත්ත කෙනෙක් අතින් වුණ වරදක් නිසා අධෛර්යය වෙලා දෙවිව අත්හරින්න එදා හිටපු කිසිම කෙනෙක් පෙලඹෙන්න නැතුව ඇති.

18. දෙවි යුක්තිය ඉටු කරන විදිහ අපි හොඳින් තේරුම්ගන්න ඕනෙ මොන වගේ අවස්ථාවලදීද?

18 අඩුපාඩුකම් වුණේ නැති, පරිපූර්ණ වැඩිමහල්ලන් මුල් සියවසේ හිටියේ නැහැ. අදත් නැහැ. බයිබලේ කියන්නේ “අප සියලුදෙනා අතින් නොයෙක් අවස්ථාවලදී වැරදි සිදු වෙයි” කියලා. (යාකො. 3:2) ඒක කියන්න ලේසියි. ඒත් අපි පෞද්ගලිකව අසාධාරණයකට මුහුණ දෙද්දී ඒක පිළිගන්න ටිකක් අමාරුයි. ඒ වගේ අවස්ථාවකදී දෙවි යුක්තිය ඉටු කරන විදිහ තේරුම් අරගෙන ඔයා වැඩ කරයිද? උදාහරණෙකට වැඩිමහල්ලෙක් කියපු දේකින් තේරෙනවා නම් එයා යම් පැත්තක් අරගෙනයි වැඩ කරන්නේ කියලා ඔයා මොනවා කරයිද? වැඩිමහල්ලෙක් හිතන්නේ බලන්නේ නැතුව ඔයාගේ හිත රිදෙන දෙයක් කිව්වොත් ඔයා අධෛර්යය වෙයිද? එයා වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන්න සුදුසු නැහැ කියලා හිතන්න ඉක්මන් වෙනවා වෙනුවට සභාවේ නායකයා වන යේසුස් කාරණා හසුරුවන කල් ඔයා ඉවසීමෙන් බලාගෙන ඉඳියිද? එයාගේ වැරදි ගැන හිතහිත ඉන්නවා වෙනුවට එයා අවුරුදු ගාණක් විශ්වාසවන්තව කරපු සේවය ගැන ඔයා හිතයිද? ඔයාට අසාධාරණයක් කරපු සහෝදරයෙක් දිගටම වැඩිමහල්ලෙක් විදිහට සේවය කරනවා නම් නැත්නම් එයාට තව වැඩියෙන් පැවරුම් ලැබෙනවා නම් ඔයා ඒ ගැන සතුටු වෙයිද? ඔයා සමාව දෙනවා නම් ඒකෙන් පේන්නේ යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන විදිහ ඔයා තේරුම් අරන් ඉන්නවා කියලයි.—මතෙව් 6:14, 15 කියවන්න.

19. අපේ අදිටන වෙන්න ඕනෙ මොකක්ද?

19 යුක්තියට ප්‍රිය කරන අය ආසාවෙන් බලාගෙන ඉන්නේ සාතන් සහ එයාගේ දුෂ්ට සමාජය නිසා ඇති වෙලා තියෙන හැම අයුක්තියක්ම යෙහෝවා දෙවි සම්පූර්ණයෙන්ම නැති කරලා දාන දවස එන කල්. (යෙසා. 65:17) ඒ වෙන කල් අපි අසාධාරණකම්වලට මුහුණ දෙයි. ඒ වගේ අවස්ථාවලදී අපි නිහතමානීව පිළිගන්න ඕනෙ සිද්ධියකට සම්බන්ධ හැම තොරතුරක්ම අපි දන්නේ නැති වෙන්න පුළුවන් කියලා. අපිට අසාධාරණයක් කරන අයට සමාව දෙන්න අපි සූදානමින් ඉන්නත් ඕනේ. එහෙම කරනවා නම් අපි යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන විදිහ තේරුම්ගත්ත අය කියලා කියන්න පුළුවන්.