Skip to content

පටුනට යන්න

ඔයා කැමැත්තෙන්ම කරන සේවයෙන් දෙවිව ප්‍රශංසාවට පත් වේවා!

ඔයා කැමැත්තෙන්ම කරන සේවයෙන් දෙවිව ප්‍රශංසාවට පත් වේවා!

‘සෙනඟ සිය කැමැත්තෙන්ම යුද්ධයට ගිය නිසා යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.’—විනි. 5:2.

ගීතිකා: 84, 75

1, 2. (අ) අපි දෙවිට කරන සේවය ගැන එලිෆස් සහ බිල්දද් කිව්වේ මොකක්ද? (ආ) ඒ ගැන යෙහෝවා දෙවි කිව්වේ මොනවද?

“මිනිසෙකුගෙන් දෙවිට කිසිදු ප්‍රයෝජනයක් තිබේද? වටහාගැනීමේ ශක්තිය තිබෙන කෙනෙකුගෙන් වුවද ඔහුට කිසි ප්‍රයෝජනයක් තිබේද? ඔබ නිර්දෝෂ ජීවිතයක් ගත කිරීමට වෑයම් කරන, ධර්මිෂ්ඨ කෙනෙකු වුණත් සියලු බලැති දෙවිව ඔබට සතුටු කළ හැකියි කියා ඔබ සිතුවාද?” (යෝබ් 22:1-3) යෝබ්ගෙන් ඒ ප්‍රශ්න අහපු එලිෆස් හිතුවේ ඒ හැම ප්‍රශ්නෙකටම උත්තරේ වෙන්න ඕනෙ “නැහැ” කියලයි. බිල්දද් කිව්වෙත් දෙවි කිසිම මිනිසෙක්ව ධර්මිෂ්ඨ කෙනෙක් හැටියට සලකයි කියලා හිතන්න බැහැ කියලයි.—යෝබ් 25:4 කියවන්න.

2 දෙවිට සේවය කරන්න යෝබ් දරපු වෑයමෙන් කිසිම පලක් නැහැ කියලා පෙන්නන්නයි ඒ දෙන්නා හැදුවේ. එයාලා කිව්වේ දෙවිට අපේ කිසි වටිනාකමක් නැහැ, දෙවි අපිව සලකන්නේ කාවෙක්, පණුවෙක් ගාණට කියලා. (යෝබ් 4:19; 25:6) එයාලා එහෙම කිව්වේ නිහතමානී නිසාද? (යෝබ් 22:29) ඇත්ත, යෙහෝවා දෙවිට වඩා උසස් කෙනෙක් නැහැ. ඔහු එක්ක බලද්දී අපි හරියට දූවිලි අංශු වගේ. උස කන්දක ඉඳන් බලද්දී අපිට මිනිසුන්ව පේන්නේ හරිම පොඩියට. එයාලා කරන දේවල් පේන්නේ නැති තරම්. දෙවි අපිව දකින්නෙත් ඒ විදිහටද? දෙවිට සේවය කරන්න අපි දරන වෑයම ගැන දෙවිට  කිසිම ගාණක් නැද්ද? එලිෆස්, බිල්දද් සහ ෂෝපර්ට යෙහෝවා දෙවි කිව්වේ දෙවි ගැන එයාලා හිතපු විදිහ වැරදියි කියලා. ඇත්තටම තමන් යෝබ් ගැන සතුටු වෙනවා කියලා දෙවි කිව්වා. දෙවි එයාව හැඳින්නුවේ “මාගේ සේවකයා” කියලයි. (යෝබ් 42:7, 8) දෙවිට “ප්‍රයෝජනවත්” කෙනෙක් වෙන්න අපිට පුළුවන් කියලා ඒකෙන් පැහැදිලියි.

‘අපි දෙවිට කරන්නේ උදව්වක්ද?’

3. දෙවිට සේවය කරන්න අපි දරන වෑයම ගැන එලිහු කිව්වේ මොකක්ද? එයා ඒකෙන් අදහස් කළේ මොකක්ද?

3 එලිෆස්, බිල්දද්, ෂෝපර් සහ යෝබ් අතර ඇති වුණ සංවාදය අහගෙන හිටපු එලිහු, යෝබ්ගෙන් මෙහෙම ඇහුවා. “යහපත් ජීවිතයක් ගත කිරීම දෙවිට කරන උදව්වක් කියා ඔබ සිතුවාද? දෙවි කවදාවත් ඔබෙන් උදව්වක් ඉල්ලා තිබෙනවාද?” (යෝබ් 35:7) එලිහු කියන්න හැදුවෙත් දෙවිට සේවය කරන්න අපි දරන වෑයමෙන් වැඩක් නැහැ කියලද? නැහැ. මොකද අනිත් 3දෙනා කියපු දේවල් දෙවි නිවැරදි කළත් ඔහු එලිහුව නිවැරදි කළේ නැහැ. එලිහු යෝබ්ට පැහැදිලි කරලා දෙන්න හැදුවේ යෙහෝවා දෙවි හැම අතින්ම සම්පූර්ණ නිසා දෙවිගේ පැවැත්ම රැඳිලා තියෙන්නේ අපි ඔහුට කරන නමස්කාරය මත නෙමෙයි කියලයි. අපි කරන කිසිම දෙයක් නිසා දෙවිව තව පොහොසත් කරන්නවත් බලවත් කරන්නවත් අපිට බැහැ. ඇත්තටම අපිට හැම දේම ලැබිලා තියෙන්නේ දෙවිගෙන්. ඔහුගෙන් ලැබිලා තියෙන ගතිලක්ෂණ, හැකියාවන් අපි පාවිච්චි කරන විදිහ ගැන දෙවි සැලකිලිමත්.

4. අපි අනිත් අයට ආදරෙන් සලකද්දී දෙවිට ඒ ගැන හැඟෙන්නේ කොහොමද?

4 මොන ප්‍රශ්න ආවත් අපි අපේ සහෝදරයන්ව අත්හරින්නේ නැතුව එයාලට ආදරෙන් සලකද්දී දෙවි ඒක සලකන්නේ හරියට අපි ඒ දේ ඔහුට කරනවා වගේ. හිතෝපදේශ 19:17 කියන්නේ “දුප්පතාට කාරුණිකව සලකන තැනැත්තා යෙහෝවා දෙවිට ණයට දෙයි. ඔහු දක්වන සැලකිල්ලට දෙවි හොඳ ප්‍රතිඵල දෙයි” කියලා. අපි අනිත් අයට දයාව පෙන්නන හැම වතාවකදීම දෙවි ඒක දකිනවා. දෙවි මුළු විශ්වයේම නිර්මාතෘ වුණත් අපි අනිත් අය වෙනුවෙන් කරන හැම පුංචි දෙයක්ම ඔහු සලකන්නේ අපි ඔහුට දෙන ණයක් විදිහට. දෙවි ඒ ණය ගෙවන්නේ අපිට හිතාගන්නවත් බැරි තරම් ආශීර්වාද ලබා දීලා. ඒ කාරණය යේසුත් තහවුරු කළා.—ලූක් 14:13, 14 කියවන්න.

5. අපි සාකච්ඡා කරන්නේ මොන ප්‍රශ්නද?

5 අතීතයේදී යෙහෝවා දෙවි තමන් වෙනුවෙන් විශේෂ සේවයක් ඉටු කරන්න යෙසායාට ආරාධනා කළා. ඒ ආරාධනය කැමැත්තෙන්ම පිළිගත්ත යෙසායා “මම යන්න කැමතියි. මාව යවන්න” කියලා දෙවිට කිව්වා. (යෙසා. 6:8-10) අදත් දෙවි වෙනුවෙන් සේවය කරන්න දෙවි මිනිසුන්ට අවස්ථාව දීලා තියෙනවා. මොන අභියෝග ආවත් විවිධ විදිවලින්, විවිධ ප්‍රදේශවලට ගිහින් දෙවි වෙනුවෙන් සේවය කරන්න දෙවිගේ සේවකයන් දහස් ගාණක් කැමැත්තෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. එයාලත් යෙසායා වගේ. ඒත් කෙනෙක්ට මෙහෙම හිතෙන්න පුළුවන්. ‘දෙවි වෙනුවෙන් සේවය කරන්න ඔහු අපිට අවස්ථාව දීලා තියෙන එක ලොකු දෙයක්. ඒත් තනි පුද්ගලයෙක් හැටියට මං කරන සේවයෙන් ඇත්තටම ප්‍රයෝජනයක් තියෙනවද? දෙවි වෙනුවෙන් මං කැප කිරීම් කළත් නැතත් තමන්ගේ අරමුණ ඉටු කරන්න දෙවි කොහොමත් පියවර ගන්නවා නේද?’ ඒ ප්‍රශ්නවලට උත්තර දැනගන්න දෙබොරා සහ බාරාක් හිටපු කාලේ වුණ සිද්ධියක් දැන් බලමු.

දෙවිගෙන් ධෛර්යය ලැබුණා

6. ලේසියෙන්ම ඊශ්‍රායෙල්වරුන්ව යටත් කරගන්න යාබින්ගේ හමුදාවට පුළුවන් කියලා පේන්න තිබුණේ ඇයි?

6 ඊශ්‍රායෙල්වරුන් අවුරුදු 20ක් පුරා කානානිවරුන්ගේ රජ වුණ යාබින් අතින් ‘දරුණු පීඩා’ වින්දා. සමහරු ජීවත් වුණේ හැංගිලා වගේ. යාබින්ගේ හමුදාව දරුණුයි, බලවත්. එයාට යකඩ උල් සවි කරපු රෝද තියෙන යුධ රථ 900ක් තිබුණා. ඒ හමුදාව එක්ක සටන් කරනවා තියා තමන්ගේ ජීවිත ආරක්ෂා කරගන්නවත් අවශ්‍ය යුධායුධ ඊශ්‍රායෙල්වරුන්ට තිබුණේ නැහැ.—විනි. 4:1-3, 13; 5:6-8.

7, 8. (අ) දෙවි බාරාක්ට මුලින්ම කරන්න කිව්වේ මොකක්ද? (ආ) ඊශ්‍රායෙල්වරු යාබින්ගේ හමුදාව පරාජය කළේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

7 යාබින්ගේ හමුදාව එක්ක බලද්දී ඊශ්‍රායෙල්වරුන්ව පෙනුණේ දුර්වල, ලේසියෙන්ම යටත් කරගන්න පුළුවන් පිරිසක් වගේ. ඒත් යෙහෝවා දෙවි දෙබොරා මාර්ගයෙන් බාරාක්ට කිව්වේ මෙහෙමයි. “නෆ්තලී ගෝත්‍රයෙනුත් සෙබ්‍යූලන් ගෝත්‍රයෙනුත් පුරුෂයන් දසදහස්දෙනෙකුව එකතු කරගෙන තාබෝර් කන්දට නැඟ එහි රැඳී සිටින්න. එවිට මම යාබින්ගේ හමුදාවේ අධිපතියා වන සිසෙරාවද ඔහුගේ යුධ රථද ඔහුගේ මුළු සේනාවද කීෂොන් නිම්නය  වෙත යෑමට සලස්වන්නෙමි. එහිදී මම ඔවුන්ව ඔබේ අතට හසු කර දෙන්නෙමි.”—විනි. 4:4-7.

8 යුද්දෙට යන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්න කියන ආරාධනය හැම තැනම පැතිරුණා. ඒක පිළිගත්ත 10,000දෙනෙක් තාබෝර් කන්දට රැස් වුණා. ඊටපස්සේ බාරාක් සහ එයාගේ හමුදාව සතුරු හමුදාවට විරුද්ධව සටන් කරන්න තයනක් කියන තැනට ගියා. (විනිශ්චයකරුවෝ 4:14-16 කියවන්න.) ඒ වෙලාවේ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට උදව් කළාද? ඔව්. එකපාරටම ඇද හැළුණු මහ වැස්ස නිසා යුධ පිටිය මඩ වගුරක් වුණා. ඒක ඊශ්‍රායෙල්වරුන්ට වාසියක්. බාරාක් හාරොෂෙත් නුවර වෙන කල්ම ඒ කියන්නේ කි.මී. 24ක් සිසෙරාගේ හමුදාව ලුහුබැන්දා. යුධ රථය මඩේ එරුණ නිසා සිසෙරා ඒකෙන් බැහැලා ෂයනන්නිම්වලට පලා ගියා. බොහෝදුරට ඒ තැන තියෙන්න ඇත්තේ කෙදෙෂ්වලට කිට්ටුවෙන්. සිසෙරා එහෙට ගිහින් යායෙල්ගේ කූඩාරමේ හැංගුණා. හුඟක් මහන්සියෙන් හිටපු නිසා ඉක්මනින්ම එයාට නින්ද ගියා. ඒ වෙලාවේ යායෙල් නිර්භීතව සිසෙරාව මරලා දැම්මා. (විනි. 4:17-21) යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට ලබා දුන්නේ මොන තරම් විශිෂ්ට ජයක්ද! *

හාත්පසින්ම වෙනස් පිරිසක්

9. සිසෙරාට විරුද්ධව කරපු යුද්ධය ගැන විනිශ්චයකරුවෝ 5:20, 21 අපි ඉගෙනගන්නේ මොනවද?

9 විනිශ්චයකරුවෝ 4වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙන සිද්ධිය ගැන තව විස්තර 5වෙනි පරිච්ඡේදයෙන් දැනගන්න පුළුවන්. විනිශ්චයකරුවෝ 5:20, 21 මෙහෙම සඳහන් වෙනවා. “අහස්තලයේ තාරකාවෝ තම වාසස්ථානයේ සිට සිසෙරාට විරුද්ධව සටන් කළෝය. ඉපැරණි කීෂොන් නදියේ දිය පහරට ඔවුහු ගසාගෙන ගියෝය.” ඒකෙන් අදහස් වෙන්නේ ඒ යුද්දෙදී දේවදූතයන් ඊශ්‍රායෙල්වරුන්ට උදව් කළා කියලද? නැත්නම් උල්කා වර්ෂාවක් ඇද හැළුණද? බයිබලේ ඒක හරියටම කියන්නේ නැහැ. ඒ කොහොමවුණත් යුධ රථ 900ට ලේසියෙන් ගමන් කරන්න බැරි වෙන විදිහට යුධ බිමට, හරිම වෙලාවේදී මහ වැස්සක් ඇද හැළෙන්න සලස්වලා දෙවි තමන්ගේ සෙනඟව බේරගත්තා කියලා හිතන්න පුළුවන්. ඒ යුද්දෙට යෙහෝවා දෙවි මැදිහත් වෙන විදිහ විනිශ්චයකරුවෝ 4:14, 15 තුන්පාරක්ම සඳහන් වෙනවා. ඒ නිසා ලබපු ජයග්‍රහණයට ගෞරවය හිමි වුණේ යුද්දෙට යන්න කැමැත්තෙන්ම ආපු 10,000දෙනාට නෙමෙයි, යෙහෝවා දෙවිටයි.

10, 11. “මේරොෂ්” කියන්නේ මොකක්ද? ඒකට ශාප කළේ ඇයි?

10 ඒ සිද්ධියට සම්බන්ධ තවත් වැදගත් කාරණයක් දැන් බලමු. යුද්දේ ජය ගත්තට පස්සේ දෙබොරා සහ බාරාක් යෙහෝවා දෙවිට ප්‍රශංසා ගීතයක් ගයනා කළා. ඒකේ එයාලා මේ වගේ දෙයක් කිව්වා. “‘මේරොෂ්ට ශාප වේවා! එහි වැසියන්ට සදා ශාප වේවා’ කියා යෙහෝවා දෙවිගේ දේවදූතයා කීවේය. මන්ද ඔවුහු යෙහෝවා දෙවිගේ සහයට නොපැමිණියෝය. ඔවුහු යෙහෝවා දෙවිට සහය වූ බලවන්තයන්ට අතහිත නොදුන්නෝය.”—විනි. 5:23.

11 මේරොෂ්වලට කරපු ශාපය කොච්චර ප්‍රබලද කියනවා නම් ඒක තිබුණේ කොහෙද කියලා හරියටම කියන්න සාක්ෂි ඉතුරු වෙලා නැහැ. ඒක නගරයක් වෙන්න පුළුවන්. ඒ නගරේ වැසියන් බාරාක් එක්ක යුද්දෙට යන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්න නැතුව ඇති. යුද්දෙට යන්න 10,000ක්ම ආපු නිසා මේරොෂ්වල වැසියන්ටත් ඒ ආරාධනය ලැබෙන්න ඇති කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්නම් සිසෙරා පලා යද්දී මේරොෂ් හරහා යන්න ඇති. එහෙමනම් තමන්ගේ ජීවිතේ බේරගන්න යාබින්ගේ හමුදාපති නගරේ වීථි මැදින් දුවද්දී එහේ හිටපු වැසියන්ට එයාව අල්ලගන්න අවස්ථාව තිබුණා. ඒත් එයාලා ඒක කළේ නැහැ. මේරොෂ්වල වැසියන්ට පුළුවන්කම තිබුණා දෙවිගේ අරමුණ ඉටු කරන්න යම් විදිහකින් සහය දෙන්න. ඒත් එයාලා ඒ අවස්ථාව මඟහැරියා. එයාලා සහය දුන්නා නම් දෙවි අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි. දෙවිගේ අරමුණට නිර්භීතව සහය දුන්න යායෙල් එක්ක බලද්දී එයාලා හාත්පසින්ම වෙනස්.—විනි. 5:24-27.

12. විනිශ්චයකරුවෝ 5:9, 10 කතා කරලා තියෙන්නේ මොන වගේ වෙනස් ආකල්ප ගැනද? ඒක අපිට බලපාන්න ඕනෙ කොහොමද?

12 විනිශ්චයකරුවෝ 5:9, 10 බලද්දී පැහැදිලි වෙන තව දෙයක් තියෙනවා. එතන දෙබොරා සහ බාරාක් “කැමැත්තෙන්ම ඉදිරියට ආ හමුදාපතීන්ව” මුළු හදින්ම අගය කරනවා. මොකද එයාලා තමන් ගැන මහ ඉහළින් හිතුව “ගිනි පැහැයෙන් යුත් බූරුදෙනුන් පිට නැඟී යන්නන්ට” වඩා හාත්පසින්ම වෙනස්. ‘අපි වගේ අය යනවද යුද්ධ කරන්න’ කියන ආකල්පය එයාලට තිබුණේ නැහැ. ඒ පදවල “අගනා බුමුතුරුණු  මත සැතපී සිටින” පිරිසක් ගැනත් කතා කරනවා. එයාලා “මඟ තොටේ ගමන්ගන්නන්ට” වඩා හුඟක් වෙනස්. එයාලා කැමති වුණේ නැහැ කඳු නැඟනැඟ, මඩ වගුරුවල බැහැගෙන යුද්ධ කරන්න. එයාලට ඕන වුණේ සැප පහසු ජීවිත ගත කරන්න. කැප කිරීම් කරන්න අකමැති වුණ ඒ වගේ අයට කියන්නේ දෙවි වෙනුවෙන් සේවය කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණේ නැති නිසා තමන්ට අහිමි වුණේ මොන තරම් වටිනා දෙයක්ද කියන දේ ගැන ‘හිතලා බලන්න’ කියලයි. අවස්ථාව තිබිලත් අපි දෙවිට උපරිමයෙන් සේවය කරන්නේ නැත්නම් ඒ ගැන හිතලා බලන එක වටිනවා.

13. රූබෙන්, දාන්, ආෂෙර් ගෝත්‍රවල අයට වඩා නෆ්තලී සහ සෙබ්‍යූලන් ගෝත්‍රවල අය වෙනස් වුණේ කොයි විදිවලින්ද?

13 හැම දෙයක්ම පාලනය කරන්න අයිතිය තියෙන්නේ තමන්ට කියන කාරණය පැහැදිලිව පෙන්නන්න යෙහෝවා දෙවි පියවර ගත්ත විදිහ දැකගන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණ 10,000දෙනාට අවස්ථාව ලැබුණා. “යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ ක්‍රියා ගැන කතා කරද්දී” තමන් ඇස් දෙකෙන්ම දැක්ක දේවල් අනිත් අයට කියන්න එයාලට පුළුවන් වුණා. (විනි. 5:11) යුද්දෙට යන්න ඉදිරිපත් වෙනවා වෙනුවට රූබෙන්, දාන් සහ ආෂෙර් ගෝත්‍රවල අය හිතුවේ සත්ව රැළවල්, නැව්, තොටුපොළවල් වගේ තමන්ට තිබුණ ධනසම්පත් රැකගන්න එක ගැනයි. (විනි. 5:15-17) ඒත් නෆ්තලී සහ සෙබ්‍යූලන් ගෝත්‍රවල අය දෙබොරාටයි, බාරාක්ටයි සහය දෙන්න “තම දිවි පරදුවට තැබුවා.” (විනි. 5:18) කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන එක ගැන ඒ අයට තිබුණේ මොන තරම් වෙනස් ආකල්පද! අපිටත් ඒකෙන් පාඩමක් ඉගෙනගන්න පුළුවන්.

“යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න”

14. අපි සහය දෙන්නේ දෙවිගේ පාලනයට කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

14 අපි සහය දෙන්නේ දෙවිගේ පාලනයටයි කියලා පෙන්නන්නේ ඒ කාලේ වගේ යුද්ධ කරලා නෙමෙයි. ඒ වෙනුවට නොසැලී, උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කරලයි. දෙවි වෙනුවෙන් සේවය කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වන අය වෙන කවරදාකටත් වඩා දැන් අවශ්‍යයි. මිලියන ගාණක් සහෝදර සහෝදරියන්, යෞවනයන් පූර්ණකාලීන සේවයේ විවිධ අංගවල හවුල් වෙන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා තියෙනවා. හුඟක් අය පුරෝගාමි සේවය කරන්න, බෙතෙල් සේවය කරන්න, නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන්න, සමුළුවල විවිධ අංශවල වැඩ කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. සමහර වැඩිමහල්ලන් රෝහල් සබඳතා කමිටුවල සේවය කරනවා. සමුළු සංවිධානය කරන වැඩවලට හවුල් වෙනවා. දෙවි අපෙන් බලාපොරොත්තු වෙන ඕනම සේවයක් කරන්න අපි කැමැත්තෙන්ම ඉදිරිපත් වෙද්දී දෙවි ඒක හුඟක් අගය  කරනවා කියලත් ඔහු ඒක කවදාවත් අමතක කරන්නේ නැහැ කියලත් අපිට ස්ථිරයි.—හෙබ්‍රෙ. 6:10.

තීරණයක් ගන්න කලින් ඒක ඔයාගේ පවුලේ අයට, සභාවේ අයට කොහොම බලපායිද කියලා හිතන්න (15 ඡේදය බලන්න)

15. දෙවිට සේවය කරන්න අපිට තියෙන උනන්දුව අඩු වෙලා නැහැ කියලා දැනගන්නේ කොහොමද?

15 දෙවිට සේවය කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන එක ගැන අපිට තියෙන්නේ කොයි වගේ ආකල්පයක්ද කියලා අපි විටින් විට සෝදිසි කරලා බලමු. ඒක කරන්න මේ ප්‍රශ්න ගැන හිතන එක උදව්වක්. ‘වැඩවලින් වැඩි හරියක් අනිත් අය කරන එක ගැන මං සතුටු වෙනවද? දෙවිට සේවය කරනවා වෙනුවට මං වැඩි අවධානයක් දෙන්නේ මටම දේවල් රැස් කරගන්නද? නැත්නම් බාරාක්ට, දෙබොරාට, යායෙල්ට, 10,000දෙනාට තිබුණා වගේ විශ්වාසයක්, නිර්භීතකමක් මටත් තියෙනවද? ඒ අය වගේ මට තියෙන ඕනම දෙයක් දෙවිගේ සේවය වෙනුවෙන් දෙන්න මං කැමතිද? තව වැඩියෙන් සල්ලි හම්බ කරන්න, මීට වඩා සැප පහසු ජීවිතයක් ගත කරන්න තියෙන ආසාව නිසා වෙන රටකට, නගරයකට යන එක ගැන මං හිතනවද? මං ඒ වගේ තීරණයක් ගත්තොත් ඒක පවුලේ අයට, සභාවේ අයට කොහොම බලපායිද කියලා හිතලා තියෙනවද? ඒ ගැන දෙවිට යාච්ඤා කරනවද?’ *

16. යෙහෝවා දෙවිට හැම දේම තිබුණත් අපිට දෙවි වෙනුවෙන් දෙන්න පුළුවන් මොනවද?

16 මේ විශ්වය පාලනය කරන්න අයිතිය තියෙන්නේ යෙහෝවා දෙවිට කියන කාරණය තහවුරු කරන්න දෙවි අපිටත් අවස්ථාව දීලා තියෙනවා. ඒක මොන තරම් ගෞරවනීය පැවරුමක්ද! ඒ වගේ පැවරුමක් දුන්න එකෙන් පේන්නේ දෙවි අපිව වටිනා අය විදිහට සලකනවා කියලයි. ආදම් සහ ඒවගේ කාලේ ඉඳන් සාතන් වෑයම් කරන්නේ මිනිසුන්ව එයාගේ පැත්තට නම්මගන්න. ඒත් අපි දෙවිගේ පාලනයට සහය දෙද්දී අපිට පැහැදිලිව පෙන්නන්න පුළුවන් අපි ඉන්නේ කාගේ පැත්තෙද කියලා. දෙවි ගැන තියෙන විශ්වාසය, ආදරය නිසා දෙවිට සේවය කරන්න අපි කැමැත්තෙන්ම ඉදිරිපත් වෙද්දී ඒ ගැන දෙවි හුඟක් සතුටු වෙනවා. (හිතෝ. 23:15, 16) අපි ඒ විදිහට කැමැත්තෙන්ම දෙවිට සහය දෙද්දී තමන්ට නින්දා කරන සාතන්ට උත්තර දෙන්න ඒක යොදාගන්න දෙවිට පුළුවන්. (හිතෝ. 27:11) අපි දෙවිට ළැදිව, කීකරුව ඉද්දී දෙවි ඒ ගැන හුඟක් සතුටු වෙනවා. දෙවි ඒක සලකන්නේ අපෙන් ලැබෙන වටිනා දෙයක් විදිහට. ඇත්තටම දෙවි වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් වටිනාම දේ අපේ කීකරුකමයි.

17. අනාගතයේදී සිද්ධ වෙන දේ ගැන විනිශ්චයකරුවෝ 5:31 අපිට දැනගන්න පුළුවන් මොනවද?

17 තමන්ගේ පාලකයා හැටියට යෙහෝවා දෙවිව පිළිගන්න අයගෙන් මේ පොළොව පිරෙන දවස වැඩි ඈතක නෙමෙයි. ඒ දවස එන කල් අපි බලාගෙන ඉන්නේ ඇඟිලි ගැණගැණ. දෙබොරා සහ බාරාක් වගේ අපේ පැතුමත් මේකයි. “යෙහෝවා දෙවියනි! ඔබේ සියලු සතුරෝ විනාශ වෙත්වා! දෙවිට ප්‍රේම කරන්නෝ දීප්තියෙන් බැබළෙන හිරු මෙන් වෙත්වා!” (විනි. 5:31) දෙවි සාතන්ගේ දුෂ්ට සමාජය විනාශ කළාම ඒ පැතුම ඉටු වෙනවා. හර්–මගෙදොන් යුද්දේ පටන්ගද්දී දෙවිගේ සතුරන්ව විනාශ කරන්න අපේ සහය දෙවිට ඕනෙ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කාලෙදී දෙවි වෙනුවෙන් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා අපිට කරන්න දෙයක් නැහැ. එදාට අපි ‘නිශ්චලව බලාගෙන ඉමු.’ එතකොට අපිට පුළුවන් ‘යෙහෝවා දෙවි අපිව ගලවන ආකාරය අපේ ඇස් දෙකෙන්ම දැකගන්න.’ (2 ලේක. 20:17) නිර්භීතව, උද්‍යෝගයෙන් දේවරාජ්‍යයේ වැඩකටයුතුවලට හවුල් වෙලා අපි සහය දෙන්නේ යෙහෝවා දෙවිගේ පාලනයටයි කියලා දැන් අපි පෙන්නමු.

18. ඔයා කැමැත්තෙන්ම ඉදිරිපත් වෙද්දී ඒක අනිත් අයට උදව් වෙන්නේ කොහොමද?

18 දෙබොරා සහ බාරාක් කියපු ගීතය පටන්ගන්නේ මිනිසුන්ට ප්‍රශංසා කරලා නෙමෙයි යෙහෝවා දෙවිට ප්‍රශංසා කරලයි. එයාලා කිව්වේ මෙහෙමයි. ‘ඊශ්‍රායෙල් සෙනඟ සිය කැමැත්තෙන්ම යුද්ධයට ගිය නිසා යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.’ (විනි. 5:1, 2) අදත් දෙවි අපෙන් බලාපොරොත්තු වෙන ඕනෑම පැවරුමක් කරන්න අපි කැමැත්තෙන්ම ඉදිරිපත් වෙද්දී “යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න” අනිත් අයත් පෙලඹෙයි.

^ 8 ඡේ. ඒ සිද්ධිය ගැන වැඩි විස්තර දැනගන්න 2015 අගෝස්තු 1 ‘මුරටැඹ’ කලාපයේ 12-15 පි. බලන්න.

^ 15 ඡේ. 2015 ජූලි 1 ‘මුරටැඹ’ කලාපයේ පළ වුණ “කනස්සල්ලට හේතුව මුදල්ද?” කියන ලිපිය බලන්න.