Skip to content

පටුනට යන්න

 ජීවිත වෙනස් කළ පොතක්

අවුරුද්දක්වත් සැනසීමෙන් ඉන්න දෙන්න

අවුරුද්දක්වත් සැනසීමෙන් ඉන්න දෙන්න
  • ඉපදුණ අවුරුද්ද: 1971

  • රට: ප්‍රංශය

  • අතීතයේදී: අනාචාරයෙයි මත්ද්‍රව්‍ය ජාවාරම්වලයි යෙදුණු දරුණු අපරාධකාරයෙක්

මගේ අතීතය:

අපි ජීවත් වුණේ ප්‍රංශයේ ඊසානදිග පැත්තේ තියෙන ටෙලන්කුව කියන ගමේ. තාත්තා ප්‍රංශ ජාතිකයෙක්. අම්මා ඉතාලි ජාතිකයෙක්. මට අවුරුදු 8දී අපි ඉතාලියේ රෝමයට කිට්ටුවෙන් තිබුණ නගරයක පදිංචියට ගියා. එහේ තිබුණේ දිලිඳු, පහත් සමාජ මට්ටමක්. එහේ ජීවත් වෙන එක ලේසි වුණේ නැහැ. මුදල් ප්‍රශ්න හින්දා අම්මායි, තාත්තායි නිතරම කෑකෝගහගත්තා.

අවුරුදු 15ක් වෙද්දී අම්මා මට කිව්වා ගෙදරටම වෙලා ඉන්නේ නැතුව ගිහින් යාළුවෝ හොයාගන්න කියලා. ඉතින් මම යාළුවෝ ආශ්‍රය කරන්න පටන්ගත්තාට පස්සේ ගෙදරින් පිට ඉන්න කාලය වැඩි වුණා. ඒ නිසා නරක ආශ්‍රයට වැටුණා. දවසක් මට හුඟක් හිතවත් කියලා පෙන්නපු කෙනෙක් මං ළඟට ඇවිත් මත්ද්‍රව්‍යය දුන්නාම මමත් ලොකු මිනිහෙක් කියලා පෙන්නන්න ඒවා ගත්තා. ඊටපස්සේ මත්ද්‍රව්‍ය ජාවාරමෙයි, අනාචාරයෙයි යෙදුණ පාතාලේ අයගේ ආශ්‍රයට වැටුණා. හුඟක් අවස්ථාවලදී මාව ලිංගික අතවරයටත් ලක් වුණා. මගේ ජීවිතෙන් වැඩක් නැහැ දැන් මං හිටියත් එකයි නැතත් එකයි කියලයි මට දැනුණේ. වයස අවුරුදු 16දී දිවි නහගන්න හිතාගෙන විස්කි බෝතලයක්ම බීලා වැවකට පැන්නා. මැරෙනවා වෙනුවට දවස් 3ක් සිහි නැතුව ඉන්නයි සිද්ධ වුණේ.

ජීවිතේ වටිනාකම තේරෙන්න පටන්ගත්තා. ඒත් මං හොඳ කෙනෙක් වෙනවා වෙනුවට මිනිසුන්ව රවට්ටන, දරුණු කෙනෙක් වුණා. අනිත් අය එක්ක ලිංගිකව හැසිරෙන්න ඒ අයගේ ගෙවල්වලට ගියා. එහෙම ගිහින් ඒ අයව මත් කරලා ගෙදර තිබුණ වටිනා දේවල් හොරකම් කෙරුවා. ජාවාරම්කරුවෝ ඉතාලිය පුරාම මත්ද්‍රව්‍යය විකුණන්න මාව පාවිච්චි කෙරුවා. නිතරම පොලිස්සියටත් කොටු වුණා. මොකක් හරි හොඳ හේතුවක් ඇතුව මං මේ ලෝකෙට බිහි වෙන්න ඇති කියලා හිතුවත් මං ගත කෙරුවේ කිසිම තේරුමක් නැති මට මාවම පාලනය කරගන්න බැරි ජීවිතයක්. අඩුම තරමින් එක අවුරුද්දක්වත් සැනසීමෙන් ඉන්න පුළුවන්කම දෙන්න කියලා මං දෙවියන්ගෙන් ඉල්ලුවා.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි:

මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවෝ එක්ක ගැවසුණ හින්දා මං හිටියේ අනතුරේ. ඒ නිසා වයස 24දී මං තීරණය කෙරුවා එංගලන්තයට යන්න. ඊට කලින් මං ගියා අම්මාව බලන්න. අම්මාට බයිබලය ගැන කියලා දෙන්න ආනුන්සියාතො ලූගාරා ඇවිත් ඉන්නවා දැකලා මං උඩ ගියා. * මොකද එයා අපරාධකාරයෙක්.  මං බය වෙලා ඔයා මොකද මෙහෙ කරන්නේ කියලා ඇහුවා. එයා මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න කරපු ලොකු වෙනස්කම් ගැන කිව්වා. එංගලන්තයට ගියාම සාක්ෂිකරුවන්ව මුණගැහෙනවා කියලා එයාට පොරොන්දු වෙන්න කියලා එයා මට කිව්වා. ඒකට මං එකඟ වුණත් එහේ ගියාට පස්සේ ආපහු ගත කෙරුවේ පරණ ජීවිතේමයි.

දවසක් සාක්ෂිකරුවෙක් ලන්ඩන්වල ජනාකීර්ණ වීදියක ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරා දෙනවා දැකලා මම එයාට කතා කෙරුවා. මට ඒ වෙලාවේ ආනුන්සියාතොට වෙච්ච පොරොන්දුව මතක් වුණා. මං එයාගෙන් ඇහුවා බයිබලයේ තියෙන දේවල් කියලා දෙන්න පුළුවන්ද කියලා.

බයිබලයේ තියෙන දේවල් දැකලා මට පුදුම හිතුණා. 1 යොහන් 1:9 දෙවියන් ගැන මෙහෙම කියනවා. ‘අප අපගේ පාප පිළිගත්තොත් දෙවි අපගේ පව්වලට සමාව දී අපව පවිත්‍ර කරයි. ඔහු විශ්වාසවන්ත මෙන්ම ධර්මිෂ්ඨ කෙනෙකි.’ ඒ බයිබල් පදය කියෙව්වාම මං ගත කරපු ජීවිතය ගැන මට මහා පිළිකුලක් දැනුණා. මම ඉක්මනින්ම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානයේ තිබුණ රැස්වීම්වලට යන්න පටන්ගත්තා. ඒ අය මාව ආදරයෙන් පිළිගත්තා. එක පවුලක් වගේ ඉන්න ඒ අය අතරේ තිබුණ බැඳීම දැක්කාම මටත් ඒ පවුලේ සාමාජිකයෙක් වෙන්න ආස හිතුණා.

මත්ද්‍රව්‍යයයි, අනාචාර ජීවිතයයි අත්හරින්න මට එච්චර අමාරු වුණේ නැතත් සමහර ගති වෙනස් කරගන්න එක ලේසි වුණේ නැහැ. මං තේරුම්ගත්තා අනිත් අයට ගරු කරන්නයි සැලකිල්ල දක්වන්නයි ඕන කියලා. තාමත් සමහර නරක ගති ඉස්මතු වෙන වෙලාවල් තියෙනවා. ඒත් යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් දැන් මං හිටියාට වඩා සෑහෙන්න හොඳ තත්වයකයි ඉන්නේ. බයිබලය පාඩම් කරන්න පටන් අරන් මාස 6ක් ඇතුළත මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වුණා. ඒ 1997දී.

මං දැන් අද්දකින ආශීර්වාද:

බව්තීස්ම වුණාට පස්සේ මම බාබ්රා එක්ක විවාහ වුණා. එයාත් බව්තීස්ම වෙලා වැඩි කාලයක් නැහැ. මගේ ජීවිතේ පුදුම විදිහට වෙනස් වෙලා තියෙනවා දැකපු පරණ යාළුවෙක් බයිබලය පාඩම් කරන්න කැමති වුණා. ඊටපස්සේ එයාත් එයාගේ අක්කාත් සාක්ෂිකරුවන් වුණා. මගේ ආච්චිගේ අක්කාත් අවුරුදු 80කට වැඩි වයසක හිටියත් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. මැරෙන්න කලින් එයා බව්තීස්ම වුණා.

දැන් මං ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලෙක් හැටියට සේවය කරනවා. ලන්ඩන්වල ඉන්න ඉතාලි භාෂාව කතා කරන අයට බයිබලය ගැන උගන්වන්න මායි මගේ බිරිඳයි පූර්ණකාලීන සේවකයන් හැටියට මුළු කාලයම යොදවනවා. තාමත් පරණ ජීවිතේ ගැන මතක් වෙලා කලකිරෙන අවස්ථා තිබුණත් ඒ වෙලාවලදී බාබ්රා උදව් කරනවා. දැන් මට මං ආස කෙරුවා වගේ හොඳ පවුල් ජීවිතයක් තියෙනවා. ප්‍රේමණීය පියෙකුත් ඉන්නවා. මං දෙවියන්ගෙන් ඉල්ලුවේ එක අවුරුද්දක්වත් සැනසීමෙන් ඉන්න පුළුවන්කම දෙන්න කියලා වුණත් ඊට වඩා දේවල් ඔහු මට දීලා තියෙනවා.

දැන් මට මං ආස කෙරුවා වගේ හොඳ පවුල් ජීවිතයක් තියෙනවා. ප්‍රේමණීය පියෙකුත් ඉන්නවා

^ 10 ඡේ. 2014 ජූලි 1 ‘මුරටැඹ’ සඟරාවේ 8-9 පිටුවල තියෙන “ජීවිත වෙනස් කළ පොතක් - මම තුවක්කුව නැතුව මොහොතක්වත් හිටියේ නැහැ” කියන ආනුන්සියාතො ලූගාරාගේ ජීවිත කතාව බලන්න.