Skip to content

පටුනට යන්න

 මුල් පිටුවෙන්

විවේකයක් නැති තරමට වැඩද?

විවේකයක් නැති තරමට වැඩද?

‘කිසි දෙයක් කරගන්න කොහෙද වෙලාවක්’ කියලා ඔයාටත් හිතෙනවාද? ඔයාට විතරක් නෙවෙයි “අද ඉන්න හුඟක් අයට හුස්ම ගන්න තරම්වත් වෙලාවක් නැහැ. ඒ තරමට වැඩ” කියලා එක සඟරාවක කියනවා.—The Economist.

2015දී රටවල් 8ක පූර්ණකාලීන රැකියාවල් කරන අය සම්බන්ධ කරගෙන කරපු සමීක්ෂණයකින් හෙළි වුණේ හුඟක් අයට රැකියාවේ වැඩයි පවුලේ වැඩයි සමබරව කරගන්න බැහැ කියලා. එන්න එන්නම රස්සාවෙත් ගෙදරත් වගකීම් වැඩි වෙන නිසාත් වියදම් සැර වෙන නිසාත් අතිකාල වැඩ කරන්න වෙන නිසාත් දේවල් සමබරව කරගන්න බැහැ කියලා එයාලා කියනවා. කොච්චර වැඩ වැඩිද කියනවා නම් ඇමරිකාවේ රැකියාවල් කරන අය සාමාන්‍යයක් විදිහට සතියකට පැය 47ක් විතර වැඩ කරනවා. හැම 5දෙනෙකුගෙන්ම එක් කෙනෙක් පැය 60ක් හරි ඊටත් වැඩියෙන් හරි වැඩ කරනවා.

රටවල් 36ක අයව යොදාගෙන කරපු තවත් සමීක්ෂණයකදී ඒකට මුහුණ දුන්නු හතරෙන් එකක්ම කිව්වේ විවේකයෙන් ඉන්න කාලේදීත් එයාලට කරන්න තියෙන වැඩ කන්දරාව මතක් වෙනවා කියලයි. දරුවන්ටත් එයාලගේ පුංචි ඔළුවලට උහුලන්න බැරි තරම් වැඩ ගොඩක් පැටෙව්වොත් ඒක එයාලටත් ලොකු පීඩනයක්.

හුඟක් අය හදන්නේ පැයකින් පැය දෙකක වැඩ කරන්න. ඒක දිගටම කරන්න ගියොත් ලොකු පීඩනයක් දැනෙයි. එහෙමනම් අපේ ජීවිතය සමබර කරගන්න පුළුවන් කොහොමද? ඒකට අපේ විශ්වාසයන්, අපේ තේරීම්, අපේ ඉලක්ක බලපාන්නේ කොහොමද? සමහරු උහුලන්න බැරි තරම් වැඩ පටවගන්න බලපාන හේතු හතරක් අපි මුලින්ම බලමු.

 1 පවුලේ අයට සැපපහසු ජීවිතයක් දෙන්න තියෙන කැමැත්ත

“මං විඳපු දුක මගේ දරුවන්ට දෙන්න මට ඕනෙ නැහැ. එයාලට පුංචිම දේකින්වත් අඩුවක් කරන්න අකමැති නිසා මං සතියේ දවස් හතම වැඩ කළා” කියලා ගැරී කියනවා. දෙමාපියන් එහෙම කරන්නේ හොඳ චේතනාවෙන් තමයි. ඒත් ජීවිතයේ මුල් තැන දෙන්න ඕනෙ මොන දේවලටද කියලා තේරුම්ගන්න එක අත්‍යවශ්‍යම දෙයක්. හුඟක් සමීක්ෂණවලින් හෙළි වෙලා තියෙන දෙයක් තමයි ධන සම්පත්වලට ඒ හැටි ඇල්මක් නැති අයට වඩා ධන සම්පත්වලට ඇලුම් කරන වැඩිහිටියෝ සහ දරුවෝ එයාලගේ සතුට, ශරීර සෞඛ්‍යය නැති කරගෙන තියෙනවා කියන එක.

සල්ලි පස්සේ දුවන පවුල්වල දරුවෝ ඉන්නේ සතුටෙන් නෙමෙයි

දරුවන්ගේ හෙට දවස සැපවත් එකක් කරන්න හිතාගෙන දෙමාපියන් කරන දේවල් නිසා එයාලගේ විතරක් නෙවෙයි දරුවන්ගේ ජීවිතත් හුඟක් කාර්යබහුල වෙලා.

2 කොච්චර තිබුණත් වැඩි වෙන්නේ නැහැ කියන ආකල්පය

වෙළඳ දැන්වීම්වලින් පෙන්වන්නේ අලුත්ම භාණ්ඩ ගත්තේ නැත්නම් ඒක ජීවිතයට ලොකු අඩුවක් කියලයි. “දවස ගාණේ වෙළඳපොළට එන බඩු කන්දරාව නිසා මොකක් තෝරාගන්නද කියලා මිනිසුන්ට හිතාගන්න බැහැ. මොනවාද කන්නේ, මොන වැඩසටහනද බලන්නේ, මොනවාද මිල දී ගන්නේ කියලා හිතහිතා ඉන්න ගියාම තියෙන කාලෙත් නාස්ති වෙනවා” කියලා සඟරාවක කියනවා.—The Economist.

1930දී ආර්ථික විද්‍යාඥයෙක් කිව්වේ තාක්ෂණයේ දියුණුවත් එක්කම මිනිසුන්ට වැඩිපුර විවේකයෙන් ඉන්න ලැබෙයි කියලයි. ඒත් වෙලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. ලේඛිකාවක් වන එලිසබෙත් කොල්බර්ට් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “දවසේ වැඩ ටික ඉවර වෙලා වේලාසන ගෙදර යනවා වෙනුවට එන එන අලුත්ම බඩු ගන්න තියෙන ආසාව නිසා හුඟක් අය වැඩිපුර වැඩ කරනවා.”

3 අනිත් අයව සතුටු කරන්න තියෙන ආසාව

ප්‍රධානියාගේ හිත සතුටු කරන්න හුඟක් අය මැරීගෙන වැඩ කරනවා. රෑ වෙන කල් ඉඳලා වැඩ කළේ නැත්නම් ඒක වරදක් කියන හැඟීම තමන් එක්ක වැඩ කරන අය ඔළුවට දාන නිසාත් හුඟක් අය වැඩිපුර කාලයක් වැඩ කරනවා. කොයි වෙලේ රස්සාව නැති වෙයිද කියන බය නිසා රෑ වෙන කල් වැඩ කරන, එන්න කියන ඕනම වෙලාවක වැඩට යන්න බලාගෙන ඉන්න අයත් ඉන්නවා.

අනිත් දෙමාපියන් එයාලගේ දරුවන්ට දෙන හැම දේම තමන්ගේ දරුවන්ටත් දෙන්න ඕනෙ කියලත් එහෙම නොකළොත් ඒක දරුවන්ට කරන ලොකු අඩුවක් කියලත් සමහර දෙමාපියන් හිතනවා. ඒ නිසා එයාලගේ ජීවිත කාර්යබහුල වෙලා.

 4 තමන්ගේම සතුට සහ කැපීපේන්න තියෙන වුවමනාව

“මං රස්සාව කළේ හුඟක් ආසාවෙන්. රැයක් දවාලක් බලන්නේ නැතුව මහන්සි වෙලා වැඩ කළා. මොකද මටත් යමක් කමක් කරන්න පුළුවන් කියලා මටම ඔප්පු කරගන්නත් ඒක අනිත් අයට පෙන්වන්නත් මට ඕන වුණා” කියලා ටිම් කිව්වා.

ටිම් වගේ අද ඉන්න හුඟදෙනෙක්ටත් ඕනෙ පුළුවන් තරම් වැඩ කරලා අනිත් අය ඉස්සරහා කැපිලාපේන්නයි. කලින් සඳහන් කරපු එලිසබෙත් ඒ ගැන මෙහෙම කියනවා. “ඔයා කාර්යබහුල වෙන තරමට තමයි ඔයා වැදගත් පුද්ගලයෙක් කියලා අනිත් අය හිතන්නේ.”

සමබර වෙන්න ඉගෙනගන්න

මහන්සි වෙලා වැඩ කරන්න කියලා බයිබලයේ කියනවා. (හිතෝපදේශ 13:4) ඒත් ඒක සමබරව කරන්න ඕනෙ කියලත් බයිබලයේම කියනවා. ඒකේ කියන්නේ “වෙහෙස මහන්සි වී බොහෝ වේලාවක් වැඩ කරමින් සුළඟ පසුපස හඹා යනවාට වඩා සුළු විවේකයක් ගැනීම හොඳය” කියලයි.—දේශනාකාරයා 4:6.

සමබර ජීවිතයක් ගත කරන එක මනසට විතරක් නෙමෙයි ශරීර සෞඛ්‍යයටත් හොඳයි. කාර්යබහුල ජීවිතයෙන් මිදිලා සමබර ජීවිතයක් ගත කරන්න උදව් වෙන යෝජනා කීපයක් දැන් බලමු.

 1 වැඩියෙන්ම වටින දේවල්, ඉලක්ක ගැන හිතන්න

ආර්ථික අතින් ස්ථාවරත්වයක් හදාගන්න එකේ වරදක් නැහැ. ඒත් ඒකට කොච්චර සල්ලි හම්බ කරන්න ඕනෙද? සාර්ථකත්වය කියන්නේ මොකක්ද? ඒක මනින්නේ ධන සම්පත්වලින් විතරද? සාර්ථක වෙන්න කියලා හිතාගෙන වැඩියෙන් වැඩ කරද්දී ඒකෙන් ලොකු පීඩනයක් ඇති වෙනවා වගේම ඕනෑවට වඩා විවේකයෙන් ඉන්න එකෙනුත් පීඩනයක් ඇති වෙන්න පුළුවන්. මොකද ඒකෙනුත් වෙන්නේ මුල් තැන දෙන්න ඕන දේවලට කාලේ හොයාගන්න බැරි වෙන එකයි.

ටිම් මෙහෙම කියනවා. “මමයි බිරිඳයි හිතුවා අපේ ජීවිත සරල කරගන්න. දැනට අපි ජීවිතේ ගත කරන විදිහයි ජීවිතේ සරල කරගන්න කරන්න ඕන දේවලුයි අපි වෙන වෙනම ලියාගත්තා. අපි කලින් ගත්ත තීරණ සාර්ථකද, ඒවා වෙනස් කරන්න ඕනෙද, ඉලක්ක ජය ගන්න කරන්න ඕනෙ මොනවාද කියලා අපි කතා කළා.”

2 අලුත්ම දේවල් නැත්නම් අඩුවක් කියන ආකල්පය නැති කරගන්න

බයිබලයේ කියන්නේ “දකින දකින දේ ලබාගැනීමේ ආශාව” පාලනය කරගන්න කියලා. (1 යොහන් 2:15-17) ඒත් වෙළඳ දැන්වීම් නිසා අලුත්ම බඩු ගන්නත් මිල අධික විනෝද චාරිකා යන්නත් අපිට තියෙන ආසාව වැඩි වෙනවා. ඒවා ඉටු කරගන්න ගියොත් වෙන්නේ වැඩියෙන් වැඩ කරන්න. වෙළඳ දැන්වීම් මඟ හරින්න බැහැ. ඒත් ඒවා බලන එක අඩු කරන්න පුළුවන්. ඔයාට ඇත්තටම ඕනෙ මොනවාද කියලා හිතලා බලන එකත් වැදගත්.

ඔයා ආශ්‍රය කරන අයටත් පුළුවන් ඔයාට ලොකු බලපෑමක් කරන්න. ඒ නිසා සල්ලි පස්සේ යන අයව, ධන සම්පත්වලින් විතරක් සාර්ථකත්වය මනින අයව ආශ්‍රය කරන එක අඩු කරන්න. ඒ වෙනුවට ජීවිතේ වැදගත් දේවලට මුල් තැන දෙන අයව ආශ්‍රය කරන්න. බයිබලයෙත් කියන්නේ “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය” කියලයි.—හිතෝපදේශ 13:20.

3 සීමාවන් දාගන්න

ඔයාගේ මුළු ජීවිතේම රස්සාව නෙමෙයි. ඒ නිසා ඔයාගේ වැඩ ගැනත් ඔයාට වැඩියෙන්ම වටින්නේ මොනවාද කියලත් ඔයාගේ ප්‍රධානියා එක්ක කතා  කරගෙන වැඩවලට සීමාවක් දාගන්න. ඒක වැරදි නැහැ. එක පොතක මෙහෙම කියනවා. “සමහරු ගෙදර ගියාට පස්සේ රස්සාව ගැන හිතන්නේ නැහැ. ඕනෙ වුණාම හොඳ නිවාඩුවකුත් ගන්නවා. එයාලා අද්දැකලා තියෙන දෙයක් තමයි එයාලා නැති වුණා කියලා රැකියාවේ වැඩ නතර වෙන්නේ නැහැ කියන දේ.”—Work to Live.

ගැරීට ආර්ථික අතින් ස්ථාවරයක් තිබුණ නිසා එයා හිතුවා වැඩ කරන කාලේ අඩු කරන්න. එයා මෙහෙම කියනවා. “මං පවුලේ අයත් එක්ක කතා කරලා අපේ ජීවිතේ සරල කරගන්න තීරණයක් ගත්තා. ඊටපස්සේ ටිකෙන් ටික ඒකට ඕන කරන දේවල් කළා. බොස් එක්ක කතා කරලා මං සතියට වැඩ කරන දවස් ගාණත් අඩු කරගත්තා.”

4 පවුලේ අයට කාලේ දෙන එකට මුල් තැනක් දෙන්න

සැමියා බිරිඳ එක්කත් දෙමාපියෝ දරුවන් එක්කත් එකට කාලේ ගත කරන එක අත්‍යවශ්‍ය දෙයක්. අනිත් පවුල්වල අය ජීවිතේ හති දාගෙන දුවනවා දකිද්දී ඔයාලත් එයාලා එක්ක තරඟෙට දුවන්න එපා. “විවේකෙන් ඉන්න කාලේ හොයාගන්න. ලොකු වැදගත්කමක් නැති දේවල් අතහැරලා දාන්න” කියලා ගැරී කියනවා.

පවුලේ අය එකට එකතු වුණාම එයාලට දෙන කාලේ හොරාගන්න ෆෝන් එකටවත් ටීවී එකටවත් ඉඩ දෙන්න එපා. හැමදාම අඩුම තරමේ එක කෑම වේලක් හරි පවුලක් විදිහට ගන්න. ඒක පොඩි දෙයක් කියලා දෙමාපියන්ට හිතුණත් දරුවන්ට ඒක ලොකු සතුටක්. ඉස්කෝලේ වැඩ හොඳට කරන්නත් ඒක එයාලට උදව්වක්.

පවුලක් විදිහට කතාබහ කරන්න කෑම කන වෙලාව හොඳ අවස්ථාවක්

දැන් මෙහෙම හිතන්න. ‘මගේ ජීවිතේ කොහොම ගත කරන්නද මං කැමති? මගේ පවුලේ අය මොන වගේ ජීවිතයක් ගත කරනවාටද මං කැමති?’ පවුලක් විදිහට සතුටෙන් ජීවත් වෙන්නත් අර්ථවත් ජීවිතයක් ගත කරන්නත් ඔයා කැමති නම් බයිබලයේ පෙන්වලා තියෙන විදිහට වැඩියෙන්ම වටින දේවලට ජීවිතේ මුල් තැන දෙන්න.