දෙවෙනි සාමුවෙල් 22:1-51

  • තමාව බේරගත්ත එක ගැන දාවිත් දෙවියන්ට ප්‍රශංසා කරයි (1-51)

    • ‘මගේ පර්වතය යෙහෝවායි’ (2)

    • යෙහෝවා ඔහුව අත්හරින්නේ නැති අයව අත්හරින්නේ නැහැ (26)

22  යෙහෝවා දෙවියන් දාවිත්ව සතුරන්ගෙනුත්+ සාවුල්ගෙනුත්+ බේරගත්තාට පස්සේ දාවිත් යෙහෝවාට මේ ගීය ගායනා කළා.+  “මගේ පර්වතයත් මගේ බලකොටුවත් යෙහෝවායි.+ මට ගැලවීම දෙන්නෙත් ඔහුයි.+   මගේ දෙවියන් මගේ පර්වතයයි.+මම ආරක්ෂාව පතන්නේ ඔහුගෙන්.මගේ පලිහ,+ මගේ ශක්තිමත් ගැලවුම්කරු* ඔහුයි.මට ආරක්ෂාව ලබා දෙන බලකොටුවත්*+ ඔහුයි.ඔහු මට පලා ගිහින් සැඟවී ඉන්න පුළුවන් තැනක්.+මගේ ගැලවුම්කරු ඔහුයි.+දෙවියනි, දාමරිකයන්ගෙන් මාව ගලවගන්නේ ඔබයි.   ප්‍රශංසාව ලබන්න වටින තැනැත්තා යෙහෝවායි.මම ඔහුට හඬගසනවා.මගේ සතුරන්ගේ අතින් ඔහු මාව බේරගන්නවා.   මාරාන්තික රළ පහර මාව වට කළා.+කිසි කමකට නැති මිනිස්සු නොසිතූ මොහොතක සැඩ පහරක් වගේ ඇවිත් මාව බිය ගැන්නුවා.+   මිනී වළේ බැමි මාව වට කළා.+මරණයේ උගුල් මට තර්ජනය කළා.+   මගේ විපතේදී මම යෙහෝවාට හඬගැසුවා.+මගේ දෙවියන්ට මම දිගටම හඬගැසුවා. ඔහුගේ මාලිගාවේ ඉද්දී ඔහුට මගේ හඬ ඇසුණා.මම උදව් ඉල්ලන හඬ ඔහුගේ දෙසවනට වැටුණා.+   එතකොට ඔහුට දැනුණ කෝපය නිසා පොළොව සෙලවී කම්පනය වුණා.+අහසේ අත්තිවාරම් පවා සෙලවුණා.+ඒවා දෙදරුම් කන්න පටන්ගත්තා.+   ඔහුගේ නාසයෙන් දුම් පිට වුණා.හැම දේම දවලා දාන ගින්නක් ඔහුගේ මුවින් නික්මුණා.+ඇවිළෙන ගිනි අඟුරු ඔහුගෙන් විහිදුණා. 10  ඔහු අහස නමා පහළට බැස ආවා.+ඔහු බැස ආවේ අඳුරු වලාකුළුවල පය තබමින්.+ 11  ඔහු කෙරුබ්වරයෙක් පිට+ පියාසර කරමින් ආවා. ඔහු හැමෝටම පේන්න දේවදූතයෙක්ගේ පියාපත් පිට* නැඟ ආවා.+ 12  ඔහු අන්ධකාරය ඔහුගේ කූඩාරම කරගත්තා.+අඳුරු වැහි වලාවලින් තමන්වම වට කරගත්තා. 13  ඔහුගෙන් නික්මුණු දීප්තිය නිසා ගිනි අඟුරු ඇවිළුණා. 14  යෙහෝවාගේ හඬ අහස පුරා ගිගුරුම් දුන්නා.+උසස්ම දෙවියන් ඔහුගේ හඬ හැමෝටම ඇහෙන්න සැලැස්සුවා.+ 15  ඔහු ඊතල විදලා+ සතුරන්ව විසුරුවාහැරියා.අකුණුවලින් පහර දීලා ඔවුන්ව වියවුල් කළා.+ 16  යෙහෝවා කේන්තියෙන් කතා කරපු නිසාත්ඔහු කේන්තියෙන් හෙළූ හුස්ම නිසාත්+මුහුදු පතුල මතු වුණා.+ පොළොවේ අත්තිවාරම් පවා පෙනුණා. 17  ඉහළ ඉඳන් ඔහු අත දික් කරලා මගේ අතින් අල්ලගත්තා.ගැඹුරු ජලයෙන් මාව ඉහළට ඇදගත්තා.+ 18  මගේ බලවත් සතුරන්ගේ අතින් ඔහු මාව ගලවගත්තා.+මට වෛර කරන, මට වඩා ශක්තිමත් අයගෙන් මාව බේරගත්තා. 19  විපත්ති දවසේදී ඔවුන් මට සතුරුකම් කළා.+ඒත් යෙහෝවා මගේ උදව්වට ආවා. 20  ඔහු මාව ආරක්ෂිත තැනකට* ගෙනාවා.+මං ගැන සතුටු වුණ නිසා ඔහු මාව බේරගත්තා.+ 21  මම ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන නිසා යෙහෝවා මට ආශීර්වාද කරනවා.+මම පවිත්‍ර ජීවිතයක් ගත කරන නිසා ඔහු මට හොඳින් සලකනවා.+ 22  මම යෙහෝවා දෙවියන්ගේ මාර්ගයේ දිගටම ගමන් කරනවා.මම කවදාවත් දුෂ්ට විදිහට මගේ දෙවියන්ව අත්හැරලා ගියේ නැහැ. 23  ඔහු දුන්න හැම තීන්දුවක්ම+ මගේ සිතේ තියාගත්තා.මම කවදාවත් ඔහුගේ පනත්වලින් ඉවතට යන්නේ නැහැ.+ 24  මම හැමදාටම ඔහු ඉස්සරහා නිර්දෝෂව ඉන්නවා.+වැරදි දේවලින් ඈත් වෙලා ඉන්නවා.+ 25  මම ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන නිසාත්+ඔහු ඉස්සරහා පවිත්‍රව ඉන්න නිසාත්+යෙහෝවා මට ආශීර්වාද කරනවා. 26  ඔබව අත්හරින්නේ නැති අයව ඔබ කවදාවත් අත්හරින්නේ නැහැ.+නිර්දෝෂ, ශක්තිමත් අයට ඔබ හැමදාමත් කරුණාවෙන් සලකනවා.+ 27  අවංක සිත් තියෙන අයට ඔබ ආශීර්වාද කරනවා.+ඒත් වංක අයව ඔබ ලැජ්ජාවට පත් කරනවා.+ 28  නිහතමානී අයව ඔබ ගලවගන්නවා.+ඒත් උඩඟු අයව ඔබ පහත් කරනවා. ඔබ ඔවුන් දිහා පිළිකුලෙන් බලනවා.+ 29  යෙහෝවා, මගේ පහන ඔබයි.+යෙහෝවා, මගේ අඳුර ආලෝකයට හරවන්නේ ඔබයි.+ 30  ඔබේ උදව්වෙන් මට සේනාවක් එක්ක වුණත් සටන් කරන්න පුළුවන්.දෙවියන් දෙන ශක්තියෙන් මට පවුරකට වුණත් නඟින්න පුළුවන්.+ 31  සැබෑ දෙවියන් කරන හැම දෙයක්ම පරිපූර්ණයි.+යෙහෝවා කියන හැම දෙයක්ම පවිත්‍රයි.+ ඔහුගේ රැකවරණය සොයන හැමෝටම ඔහු පලිහක්.+ 32  යෙහෝවා හැර වෙන දෙවි කෙනෙක් ඉන්නවාද?+ අපේ දෙවියන් පර්වතයක්. ඔහුට සමාන තවත් කෙනෙක් ඉන්නවාද?+ 33  සැබෑ දෙවියන් මගේ බලකොටුවයි.+ඔහු මං යන මාවත සමතලා කරනවා.+ 34  ඔහුගේ උදව්වෙන් මං මුවෙක් වගේ දුවනවා.ඔහු මාව උස් තැන්වලට ගෙනියනවා.+ 35  ඔහු මට සටන් කරන්න උගන්වනවා.ඔහුගේ උදව්වෙන් තඹ දුන්නක් වුණත් නමන්න මට පුළුවන්. 36  ඔබේ පලිහෙන් ඔබ මාව ආරක්ෂා කරනවා.ඔබ නිහතමානී නිසා ඔබ මාව ගෞරවයට පත් කරනවා.+ 37  මම යන මඟ ඔබ එළිපෙහෙළි* කරනවා.මගේ පාද ලිස්සන්නේ නැත්තේ ඒ නිසයි.+ 38  මම මගේ සතුරන් පස්සේ ගිහින් ඔවුන්ව විනාශ කරනවා.ඔවුන්ව නැත්තටම නැති කරන කල් මම ආපහු හැරිලා එන්නේ නැහැ. 39  මම ඔවුන්ව විනාශ කරලා සුනුවිසුනු කරලා දානවා.ඔවුන් මගේ කකුල් දෙක ළඟ ඇදන් වැටෙනවා.ආයෙත් නැඟිටින්න බැරි වෙන්නම+ මම ඔවුන්ව පාගලා දානවා. 40  ඔබ මාව ශක්තිමත් කරලා සටනට සූදානම් කරනවා.+මගේ සතුරන්ව මං ඉස්සරහම වැටෙන්න සලස්වනවා.+ 41  ඔබ මගේ සතුරන්ව මගේ ඉස්සරහින් පන්නලා දානවා.+මට වෛර කරන අයව මම විනාශ කරනවා.*+ 42  ඔවුන් උදව් ඉල්ලලා කෑගැහුවත් ඔවුන්ව බේරගන්න කවුරුවත්ම එන්නේ නැහැ.ඔවුන් අඬඅඬ යෙහෝවාගෙන් උදව් ඉල්ලුවත් ඔහු උත්තර දෙන්නේ නැහැ.+ 43  මම ඔවුන්ව පොඩි කරලා පොළොවේ දූවිලි වගේ වෙන්න සලස්වනවා.පාරේ තියෙන මඩ වගේ මම ඔවුන්ව පාගලා දානවා. 44  මගේම සෙනඟ මට විරුද්ධව කරන චෝදනාවලින් ඔබ මාව නිදහස් කරනවා.+ ඔබ මාව ආරක්ෂා කරලා ජාතීන්ගේ නායකයා විදිහට මාව පත් කරනවා.+මම නාඳුනන සෙනඟක් මට සේවය කරයි.+ 45  විදේශිකයන් බයෙන් මං ඉස්සරහා වැඳ වැටෙයි.+මං ගැන අහන්න ලැබෙන දේවල් නිසා ඔවුන් මට කීකරු වෙයි.* 46  විදේශිකයන්ගේ ධෛර්යය නැති වෙලා යයි.*ඔවුන් තමන්ගේ බලකොටුවලින් බයෙන් ගැහිගැහී එළියට එයි. 47  යෙහෝවා ජීවමානයි. මගේ පර්වතය වන ඔහුට ප්‍රශංසා වේවා!+ මගේ පර්වතය, ගැලවීම දෙන මගේ දෙවියනි, ඔබ හැම කෙනෙක්ගෙම පැසසුමට ලක් වේවා!+ 48  සැබෑ දෙවියන් මගේ සතුරන්ට දඬුවම් කරනවා.+ජාතීන්ව මට යටත් කරලා දෙනවා.+ 49  මගේ සතුරන්ගෙන් මාව බේරගන්නේ ඔහුයි. දෙවියනි, මට පහර දෙන අයට මාව අල්ලගන්න බැරි වෙන්න ඔබ මාව උස් තැනකට අරන් යනවා.+දාමරිකයාගේ අතින් ඔබ මාව මුදවගන්නවා.+ 50  යෙහෝවා දෙවියනි, ජාතීන් ඉස්සරහා මම ඔබට ස්තුති කරන්නෙත්+ඔබේ නමට ප්‍රශංසා ගී ගයන්නෙත්*+ ඒ නිසයි. 51  දෙවියන් පුදුම දේවල් කරලා* තමන් පත් කරපු රජව ගලවගන්නවා.+ඔහු අභිෂේක කරපු තැනැත්තාට නොසැලෙන ආදරයක් පෙන්වනවා.දාවිත්ටත් ඔහුගෙන් පැවතෙන අයටත් හැමදාටම ආදරෙන් සලකනවා.”+

පාදසටහන්

මූ.අ., “ගැලවීමේ අඟ.” “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “ආරක්ෂාව ලබා දෙන උස් ස්ථානයත්.”
හෝ, “සුළඟේ.”
හෝ, “හොඳට ඉඩ තියෙන තැනකට.”
මූ.අ., “පළල්.”
මූ.අ., “නිහඬ කරනවා.”
මූ.අ., “මං කියන දේ ඇහුණ ගමන්ම ඔවුන් මට කීකරු වෙයි.”
හෝ, “විදේශිකයන් ටිකෙන් ටික නැති වෙලා යයි.”
හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරන්නෙත්.”
හෝ, “විශිෂ්ට ජයක් අත් කරගෙන.”