දෙවෙනි තිමෝති 1:1-18

  • සුබ පැතුම් (1, 2)

  • තිමෝතිගේ විශ්වාසය ගැන පාවුල් දෙවියන්ට ස්තුති කරයි (3-5)

  • දෙවියන්ගෙන් ලැබුණ තෑග්ග තව තවත් උද්‍යෝගයෙන් පාවිච්චි කරන්න (6-11)

  • සත්‍ය ඉගැන්වීම්වලට දිගටම ඇලිලා ඉන්න (12-14)

  • පාවුල්ගේ හතුරන් සහ යාළුවන් (15-18)

1  මේ ලියුම ලියන්නේ දෙවියන්ගේ කැමැත්තට එකඟව ක්‍රිස්තුස් යේසුස්ගේ නියෝජිතයෙක්* විදිහට සේවය කරන පාවුල් වන මමයි. මං මේ විදිහට සේවය කරන්නේ ක්‍රිස්තුස් යේසුස් එක්ක එකට බැඳිලා ඉන්න අයට දෙවියන් දෙන්න පොරොන්දු වෙලා තියෙන ජීවිතය ගැන කියන්න.+ 2  මං මේ ලියුම ලියන්නේ මගේම පුතෙක් වගේ ඉන්න ආදරණීය තිමෝතිට.+ අපේ තාත්තා වන දෙවියන්ගෙන් සහ අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස්ගෙන් ඔයාට මහත් කරුණාවත්* දයාවත් සමාදානයත් ලැබේවා! 3  මං දෙවියන්ට මොන තරම් ස්තුතිවන්ත වෙනවාද! මගේ මුතුන්මිත්තන් කළා වගේ මමත් දෙවියන්ට පරිශුද්ධ සේවයක් කරලා ඔහු ඉස්සරහා මගේ හෘද සාක්ෂිය නිදොස්ව තියාගෙන ඉන්නවා. ඒ වගේම මම රෑ දවල් ඔයා වෙනුවෙන් දිගටම දෙවියන්ට කන්නලව් කරනවා. 4  ඔයාගේ ඇස්වලින් ගලපු කඳුළු මතක් වෙද්දී ඔයාව ආයෙත් දකින්න මට තියෙන ආසාව තවත් වැඩි වෙනවා. මං දන්නවා ඔයාව දැක්කාම මගේ හිත සතුටින් පිරිලා යයි කියලා. 5  ඔයා ගොඩනඟාගෙන තිබුණ විශ්වාසය ගැන මට තාමත් මතකයි. ඒක කිසි කුහකකමක් නැති අවංක විශ්වාසයක්.+ ඒ වගේ විශ්වාසයක් මුලින්ම තිබුණේ ඔයාගේ ආච්චි ලොයිස්ටයි, ඔයාගේ අම්මා යූනිස්ටයි. දැනුත් ඔයාට ඒ විදිහේම විශ්වාසයක් තියෙනවා කියලා මට කිසිම සැකයක් නැහැ. 6  මං ඔයා පිට අත තියපු වෙලාවේ ඔයාට දෙවියන්ගෙන් ලැබුණ තෑග්ග හොඳින් පාවිච්චි කරන්න කියලා මං මතක් කරන්නේ ඒ නිසයි.+ හරියට ගින්නක් තව තවත් අවුළුවනවා වගේ ඒ තෑග්ග තව තවත් උද්‍යෝගයෙන් පාවිච්චි කරන්න. 7  මොකද දෙවියන්ගෙන් අපිට ලැබුණ බලය නිසා අපි තුළ බියගුලුකමක් ඇති වුණේ නැහැ.+ ඒ වෙනුවට අපිට ලොකු ශක්තියක් ලැබුණා.+ ආදරෙන්, හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන්න හැකියාව ලැබුණා. 8  ඉතින් අපේ ස්වාමීන් ගැන සාක්ෂි දරන එක ගැනවත් ඔහු වෙනුවෙන් හිරකරුවෙක් වෙලා ඉන්න මං ගැනවත් ලැජ්ජා වෙන්න එපා.+ ඒ වෙනුවට දෙවියන්ගේ බලයේ උදව්වෙන්+ ශුභාරංචිය වෙනුවෙන් දුක් විඳින්න ලෑස්ති වෙන්න.+ 9  දෙවියන් අපිව ගලවගෙන ශුද්ධ අය වෙන්න අපිව තෝරගත්තේ+ අපි කරපු කිසිම දෙයක් නිසා නෙමෙයි. ඔහු අරමුණු කරපු දේ සහ ඔහු පෙන්නපු මහත් කරුණාව නිසයි ඔහු අපිව තෝරගත්තේ.+ දෙවියන් අපිට ඒ මහත් කරුණාව ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් පෙන්නන්න තීරණය කළේ හුඟ කාලෙකට කලිනුයි. 10  ඒ කරුණාව අපේ ගැලවුම්කරු වන ක්‍රිස්තුස් යේසුස්ව+ දකින්න ලැබුණ අවස්ථාවේදී ගොඩක් පැහැදිලිව පේන්න තිබුණා. ක්‍රිස්තුස් මරණය නැති කළා.+ අපිට ලැබෙන ජීවිතය+ සහ කවදාවත් කුණු වෙලා යන්නේ නැති ශරීරය+ ගැන ඔහු ශුභාරංචිය+ මාර්ගයෙන් අපිට හෙළි කළා. 11  ඒ ශුභාරංචිය දේශනා කරන්න, ඒ වෙනුවෙන් නියෝජිතයෙක් සහ ගුරුවරයෙක් විදිහට වැඩ කරන්න මාව පත් කරලා තියෙනවා.+ 12  ඒ නිසයි මට මේ තරම් දුක් විඳින්න වෙලා තියෙන්නේ.+ ඒත් මං ඒ ගැන ලැජ්ජා වෙන්නේ නැහැ.+ මොකද මං විශ්වාස කරන දෙවියන්ව මං හොඳින් හඳුනනවා. ඒ වගේම මං දෙවියන්ට ලොකු විශ්වාසයකින් භාර දීලා තියෙන හැම දේම ඔහු ඒ දවස එන කල් බලාගනියි කියලා මට කිසිම සැකයක් නැහැ.+ 13  ඔයා මගෙන් ඉගෙනගත්ත සත්‍ය* ඉගැන්වීම්වලට* දිගටම ඇලිලා ඉන්න.+ ඔයා හැම වෙලේම ආදර්ශයට ගන්න ඕනෙ ඒ ඉගැන්වීම්. ඒ වගේම ක්‍රිස්තුස් යේසුස් එක්ක එකට බැඳිලා ඉන්න කෙනෙක් විදිහට ඔයාට තියෙන ආදරේ, විශ්වාසය රැකගන්න. 14  ඔයාට ලොකු විශ්වාසයකින් භාර දීලා තියෙන ඒ වටිනා තෑග්ග ආරක්ෂා කරගන්න. අපි හැමෝම තුළ ක්‍රියාත්මක වෙන දෙවියන්ගේ බලයේ උදව්වෙන් ඒක කරන්න.+ 15  ආසියා පළාතේ+ ඉන්න හැමෝම මාව අත්හැරලා දාලා කියලා ඔයා දන්නවා. ඒ අය අතරේ ෆිගෙලස් සහ හර්මොජෙනිස් ඉන්නවා. 16  ඒත් ඔනෙසිෆරස්ටත්+ එයාගේ ගෙදර ඉන්න හැමෝටමත් ස්වාමීන්ගේ දයාව ලැබෙන්න කියලා මං පතනවා. මොකද එයා නිතරම වගේ මට ලොකු ශක්තියක්, සහනයක් වුණා. මාව දම්වැල්වලින් බැඳලා තිබුණත් එයා මං ගැන ලැජ්ජා වුණේ නැහැ. 17  ඒ වෙනුවට රෝමයට ආවාම එයා කොහොමහරි මං ඉන්න තැන හොයාගෙන මාව හම්බ වෙන්න ආවා. 18  එයා එෆීසයේදී මං වෙනුවෙන් කරපු හැම දෙයක් ගැනම ඔයා හොඳින්ම දන්නවා. විනිශ්චය දවසේදී එයාට යෙහෝවාගේ* දයාව ලබාගන්න ස්වාමීන්ගේ උදව් ලැබෙන්න කියලා මම පතනවා.

පාදසටහන්

^ හෝ, “යවනු ලැබූ කෙනෙක්.”
^ හෝ, “ලබන්න නොවටිනා කරුණාවත්.” “පැහැදිලි කිරීමක්” බලන්න.
^ හෝ, “ප්‍රයෝජනවත්; සුවදායක.”
^ හෝ, “ඉගැන්වීම්වල රටාවට.”
^ උප. A5 බලන්න.