ලෙවී කතාව 11:1-47
-
පවිත්ර සහ අපවිත්ර සත්තු (1-47)
11 යෙහෝවා දෙවියන් මෝසෙස්ටයි, ආරොන්ටයි මෙහෙම කිව්වා.
2 “ඊශ්රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘පොළොවේ* ඉන්න සතුන්ගෙන් ඔබට කෑමට ගන්න පුළුවන් මේ සතුන්ව විතරයි.+
3 කුර දෙකට බෙදුණු, වමාරා කන හැම සතෙක්ම කෑමට ගන්න ඔබට පුළුවන්.
4 “‘ඒත් වමාරා කන හරි කුර දෙකට බෙදුණු හරි සතුන් අතරින් ඔබට මේ සතුන්ව කෑමට ගන්න අවසර නැහැ: ඔටුවා. ඌ වමාරා කෑවත් උගේ කුර බෙදිලා නැහැ. ඒ නිසා ඔබ ඌව අපවිත්ර සතෙක් විදිහට සැලකිය යුතුයි.+
5 බෙන්හාවා.*+ ඌ වමාරා කෑවත් උගේ කුර බෙදිලා නැහැ. ඒ නිසා ඔබ ඌව අපවිත්ර සතෙක් විදිහට සැලකිය යුතුයි.
6 හාවා. ඌ වමාරා කෑවත් උගේ කුර බෙදිලා නැහැ. ඒ නිසා ඔබ ඌව අපවිත්ර සතෙක් විදිහට සැලකිය යුතුයි.
7 ඌරා.+ උගේ කුර දෙකට බෙදිලා තිබුණත් ඌ වමාරා කන්නේ නැහැ. ඒ නිසා ඔබ ඌව අපවිත්ර සතෙක් විදිහට සැලකිය යුතුයි.
8 ඒ සතුන්ගේ මස් ඔබ කොහොමටවත් නොකෑ යුතුයි. ඒ වගේ සතෙක් මැරුණාම උන්ව අල්ලන්න එපා. උන් අපවිත්රයි.+
9 “‘වතුරේ ඉන්න සතුන්ගෙන් ඔබට කෑමට ගන්න පුළුවන් මේ සතුන්ව විතරයි. මුහුදේ හරි ගංගාවල හරි ඉන්න සතුන් අතරින් වරල් සහ කොරපොතු තියෙන සතුන්ව කෑමට ගන්න ඔබට පුළුවන්.+
10 මුහුදේ හරි ගංගාවල හරි රංචු පිටින් ඉන්න සතුන් ඇතුළුව වෙනත් සතුන් අතරින් වරල් සහ කොරපොතු නැති සතුන්ව ඔබ ඉතා පිළිකුල් සතුන් විදිහට සැලකිය යුතුයි.
11 ඔබ උන්ව පිළිකුල් සතුන් විදිහට සලකන්න ඕනෙ වගේම උන්ව කොහොමටවත් නොකෑ යුතුයි.+ උන්ගේ මළ කුණුත් පිළිකුල් දෙයක් විදිහට සලකන්න.
12 වරල් සහ කොරපොතු නැති වතුරේ ඉන්න හැම සතෙක්ම ඔබ පිළිකුල් දෙයක් විදිහට සැලකිය යුතුයි.
13 “‘පියාසර කරන ජීවීන්ගෙන් ඔබ මේ සතුන්ව නොකෑ යුතුයි. උන්ව ඉතා පිළිකුල් සතුන් විදිහට සැලකිය යුතුයි. ඒ සතුන් නම්: රාජාලියා,+ මාළු උකුස්සා, කලු ගිජුලිහිණියා,+
14 රතු උකුස්සා, එක එක වර්ගයේ කලු උකුස්සන්,
15 එක එක වර්ගයේ කපුටන්,
16 පැස්බරා, බකමූණා, මුහුදු කපුටා,* එක එක වර්ගයේ කුරුලුගොයන්,*
17 පුංචි බස්සා, දියකාවා, කන් දිග බකමූණා,
18 හංසයා, පැස්තුඩුවා, ගිජුලිහිණියා,
19 මානකොකා, එක එක වර්ගයේ කොක්කු, පොරෝ කුරුල්ලා* සහ වවුලා.
20 පියාපත් ඇති, කකුල් හතරක් තියෙන, රංචු ගැහෙන හැම කෘමි වර්ගයක්මත් ඔබ පිළිකුල් සතුන් විදිහට සැලකිය යුතුයි.
21 “‘ඒත් ඒ කෘමීන් අතරින් දිග කකුල් හතරක් තියෙන බිම පැනපැන යන සතුන්ව ඔබට කෑමට ගත හැකියි.
22 එක එක වර්ගයේ සංක්රමණික පළඟැටියන්, කෑමට ගන්න වෙනත් පළඟැටි වර්ග,+ රැහැයියන් සහ තණකොළ පෙත්තන් කන්න ඔබට පුළුවන්.
23 පියාපත් තියෙන, කකුල් හතරක් තියෙන, රංචු ගැහෙන වෙනත් හැම කෘමි වර්ගයක්ම ඔබ පිළිකුල් සතුන් විදිහට සලකන්න ඕනේ.
24 ඒ කෘමීන් කෑවොත් ඔබ අපවිත්ර වෙනවා. ඒ වගේ සතෙක් මැරුණාම කවුරු හරි ඌව ඇල්ලුවොත් ඔහු හවස් වෙන කල් අපවිත්ර වෙනවා.+
25 ඒ මළ කුණ අතට ගන්න ඕනෙම කෙනෙක් තමන්ගේ ඇඳුම් හෝදගෙන+ හවස් වෙන කල් අපවිත්ර කෙනෙක් විදිහට වෙන් වෙලා සිටිය යුතුයි.
26 “‘කුර වෙන් වෙලා තිබුණත් ඒක දෙකට බෙදිලා නැති, වමාරා කන්නේ නැති හැම සතෙක්ම ඔබ අපවිත්ර සතුන් විදිහට සැලකිය යුතුයි. කවුරු හරි කෙනෙක් උන්ව ඇල්ලුවොත් ඔහු අපවිත්ර වෙනවා.+
27 කකුල් හතරින් ඇවිදින සතුන් අතරින් කකුල්වල පතුල පොළොවේ වදින විදිහට ඇවිදින හැම සතෙක්ම අපවිත්ර සතුන් විදිහට සැලකිය යුතුයි. ඒ වගේ සතෙක් මැරුණාම කවුරු හරි ඌව ඇල්ලුවොත් ඔහු හවස් වෙන කල් අපවිත්ර කෙනෙක් විදිහට වෙන් වෙලා සිටිය යුතුයි.
28 උගේ මළ කුණ කවුරු හරි උස්සගෙන යනවා නම් ඔහු තමන්ගේ ඇඳුම් හෝදගන්න ඕනේ.+ ඔහු හවස් වෙන කල් අපවිත්ර කෙනෙක් විදිහට වෙන් වෙලා සිටිය යුතුයි.+ ඒ හැම සතෙක්ම ඔබ අපවිත්ර සතුන් විදිහට සැලකිය යුතුයි.
29 “‘පොළොවේ ඉන්න පොඩි සතුන් අතරින් ඔබ අපවිත්රයි කියලා සැලකිය යුතු සතුන් නම්: බිම හාරන මීයා,* මීයා+ සහ හැම වර්ගයකම උරගයන්,
30 හූණා, තලගොයා, හිකනලා, වැලි හූණා සහ කටුස්සා.
31 ඒ සතුන්ව ඔබ අපවිත්ර සතුන් විදිහට සැලකිය යුතුයි.+ ඒ වගේ සතෙක් මැරුණාම කවුරු හරි ඌව ඇල්ලුවොත් ඔහු හවස් වෙන කල් අපවිත්ර කෙනෙක් විදිහට වෙන් වෙලා සිටිය යුතුයි.+
32 “‘උගේ මළ කුණ ලී භාජනයක් හරි ඇඳුමක් හරි හම් භාජනයක් හරි ගෝණියක් හරි වෙන ඕනෙම දෙයක් උඩට වැටුණොත් ඒක අපවිත්ර වෙනවා. පාවිච්චියට ගන්න භාජනයක් එහෙම අපවිත්ර වුණොත් ඒක වතුරේ ගිල්ලලා තැබිය යුතුයි. ඒක හවස් වෙන කල් අපවිත්ර දෙයක් විදිහට සැලකිය යුතුයි. ඊටපස්සේ ඒක පාවිච්චියට ගන්න පුළුවන්.
33 උගේ මළ කුණ මැටි භාජනයකට වැටුණොත් භාජනයේ ඇති ඕනෙම දෙයක් අපවිත්ර වෙනවා. භාජනයත් බිඳලා දාන්න ඕනේ.+
34 ඒ වගේ භාජනයක තිබුණ වතුර කෑමවලට වැටුණොත් ඒකත් අපවිත්ර වෙනවා. ඒ වගේ භාජනයක තියෙන ඕනෙම බීම වර්ගයක් අපවිත්රයි.
35 මැරුණු ඒ වගේ සතෙක් වැටෙන ඕනෙම දෙයක්, ඒක උදුනක් වුණත් කුඩා මැටි ලිපක් වුණත් ඒවා කඩා දැමිය යුතුයි. මොකද ඒවා අපවිත්රයි. ඔබ ඒවා අපවිත්ර දේවල් විදිහට සැලකිය යුතුයි.
36 උගේ මළ කුණ නිසා අපවිත්ර වෙන්නේ නැත්තේ දිය උල්පතක් සහ පොකුණක් විතරයි. ඒත් මැරුණු ඒ වගේ සතෙක්ව කෙනෙක් ඇල්ලුවොත් ඔහු අපවිත්ර වෙනවා.
37 වපුරන්න තියෙන බීජවලට ඒ වගේ සතෙක්ගේ මළ කුණක් වැටුණොත් ඒ බීජ අපවිත්ර වෙන්නේ නැහැ.
38 ඒත් ඒ බීජ තෙත් කළාට පස්සේ සතෙක්ගේ මළ කුණක කොටසක් ඒවාට වැටුණොත් ඒ බීජ ඔබ අපවිත්ර දෙයක් විදිහට සැලකිය යුතුයි.
39 “‘ඔබට කෑමට ගන්න පුළුවන් ඕනෙම සතෙක් මැරුණොත් ඒ සතාව අල්ලන කෙනා හවස් වෙන කල් අපවිත්රයි.+
40 කවුරු හරි කෙනෙක් උගේ මස් කෑවොත් ඔහු තමන්ගේ ඇඳුම් හෝදගෙන හවස් වෙන කල් අපවිත්ර කෙනෙක් විදිහට වෙන් වෙලා සිටිය යුතුයි.+ කෙනෙක් ඒ මැරුණු සතාව උස්සගෙන ගියොත් ඔහුත් තමන්ගේ ඇඳුම් හෝදගෙන හවස් වෙන කල් අපවිත්ර කෙනෙක් හැටියට වෙන් වෙලා සිටිය යුතුයි.
41 පොළොවේ රංචු පිටින් ඉන්න පොඩි සතුන් ඉතා පිළිකුල්.+ උන්ව කොහොමටවත් කෑමට ගන්න ඔබට අවසර නැහැ.
42 ඒ සතුන් අතරින් බඩ ගාගෙන යන ඕනෙම සතෙක් හරි කකුල් හතරක් තියෙන ඕනෙම සතෙක් හරි කකුල් ගොඩක් තියෙන ඕනෙම සතෙක් හරි ඔබ නොකෑ යුතුයි. මොකද උන් ඉතා පිළිකුල් සතුන්.+
43 රංචු පිටින් ඉන්න ඒ වගේ පොඩි සතුන් කෑමට ගන්න ඕනෙම කෙනෙක් මට පිළිකුල්. ඒ නිසා උන්ව කෑමට අරන් අපවිත්ර තත්වයකට පත් වෙන්න එපා.+
44 මම ඔබේ දෙවි වන යෙහෝවා.+ ඔබ පවිත්ර සෙනඟක් විදිහට වෙන් වෙලා සිටිය යුතුයි. මම ශුද්ධව+ සිටින නිසා ඔබත් ශුද්ධව+ සිටිය යුතුයි. ඉතින් ඔබ පොළොවේ රංචු පිටින් ඉන්න පොඩි සතුන් කෑමට අරන් අපවිත්ර වෙන්න එපා.
45 ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාවේ යෙහෝවා වන මමයි. එහෙම කළේ මම ඔබේ දෙවියන් කියලා ඔබට ඔප්පු කරලා පෙන්නන්නයි.+ මම ශුද්ධව+ සිටින නිසා ඔබත් ශුද්ධව+ සිටිය යුතුයි.
46 “‘ගොඩබිමේ ඉන්න සතුන්, පියාසර කරන සතුන්, වතුරේ ඉන්න සියලුම සතුන් සහ පොළොවේ රංචු පිටින් ඉන්න කුඩා සතුන් ගැන නීතිය ඒකයි.
47 ඒ නීතිය දුන්නේ පවිත්ර දේ සහ අපවිත්ර දේ අතරත් කෑමට සුදුසු සහ නුසුදුසු සතුන් අතරත් තියෙන වෙනස පැහැදිලිව හඳුනගන්නයි.’”+

